‘කරුමක්කාරයෝ’ නවකතාව පිළිබඳව අපට ඇසිය හැකි මානව-විද්‍යාත්මක ප‍්‍රශ්නයකින් අපි පටන් ගනිමු. ආඛ්‍යානය තුළ අත්විඳින රහසිගත විනෝදය සහ පුපුරා යන බාහිර හිංසනය 50 දශකය තුළ ලාංකීය ගැමි පරිසරය තුළ සැබැවින්ම පැවතියේද? 89 අරගලය සමයේ සිදු වූ හිසක් නැති අතාර්කික හිංසනය අර්ථකථනය කිරීමට විකල්ප මාර්ගයක් සොයා ගිය බෲස් කෆ්රර් නම් මානව විද්‍යාඥයා 89 අරගලයේ හිංසනයට අදාළ නිරුක්තිය සොයා ගත්තේ ගමේ පන්සලේ බුදු මැදුර තුළ ඇති වැරැුදි කළ අයට දඬුවම් දෙන ආකාරය පිළිබිඹු කරන ප‍්‍රතිමා කලාවෙනි. කෆ්රර්ට අනුව 89 යුගයේ සිංහල සොල්දාදුවා තරුණ පිරිමි ශරීරයට හිංසා කරන විට තදාත්මික වූයේ මෙම බුදු මැදුරට අදාළ වතාවත්වලටය.

සුදු ජාතික පිරිමියා

අමරසේකර මෙම ‘කරුමක්කාරයෝ’ නවකතාව ලියද්දී ඊට ආභාසය ලබා ඇත්තේ බටහිර සංදෘෂ්ටික නවකතාවෙනි. එවැනි ආභාසයක් ඔහුට දකුණේ දුප්පත් ගමකින් සොයාගත නොහැකිය. පසු කාලයක දී ඔහු මෙම නවකතා ශානරය මනස් පුතුන්ගේ නිර්මාණයක් ලෙසින් හඳුන්වන විට ඔහු උත්සාහ කරන්නේ අපගේ යටත්විජිත ස්වාමියා වන සුදු ජාතික පිරිමියාගේ ආශාව රඟ දක්වන ෆැන්ටසියෙන් ඉවත් වීමටයි. බෲස් කෆ්රර්ට වෙනස්ව (සමහර විට ස්ටැන්ලි තම්බයියාව පවා මෙහි දී විචාරය කළ හැකිය) අපට කිව හැක්කේ සිංහල සොල්දාදුවා සහ සිංහල ගැමි තරුණයා හිංසනය පිළිබඳ සාක්ෂරතාව ලබා ගත්තේ බටහිර ජනප‍්‍රිය සංස්කෘතියේ ත‍්‍රාසජනක සහ යුද චිත‍්‍රපට (වියට්නාම යුදවාදී චිත‍්‍රපට) නැරඹීමෙන් මිස පන්සලේ බුදුගෙය තුළින් නොවන බවය.

චිත‍්‍රපටයේ වඩාත්ම ආචාර-විද්‍යා (සරලව කිවහොත් මිනිසකු තම ඇතුළු අභ්‍යන්තරයට අවංක ලෙස හැසිරෙන විට පළ කරන නියාමයන්) භූමිකාව රඟ දක්වන්නේ ගුණපාල විසින් බව අප අමතක නොකළ යුතුය. අප යථාර්ථයට වසඟ වන්නේ නම් ගුණපාල ගමට එන්නේ කඩයක් අලුතින් පටන්ගෙන මනුස්සයකු (ධනපතියකු වීම) වන්නටය. ඒ අපට බාහිරින් පෙනෙන දෘශ්‍යමාන සංකේත ප‍්‍රබන්ධයයි. චිත‍්‍රපටයේ පළමු කතාව වන්නේ නගරය තුළ දුෂ්කරතා අත්විඳින පුරුෂයෙක් ඉන් මිදෙන්නට ගම කරා යළි පැමිණීමකි. ඇත්තටම ගතහොත් එය නීරස ආර්ථික විද්‍යා පාඩමකි. යම්කිසි අඩුවක් නිරූපණය කරන එම ආර්ථික පුංචි කතන්දරය මඟින් සංකේතවත් වන්නේ ආශාවේ ලෝකයයි. මෙම ලෝකය තුළ සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරයි. නමුත් පළමු කතාව ද්විගුණ වී දෙවැනි කතාවක් අවශ්‍ය වන්නේ ඇයි? දෙවැනි කතාව මඟින් නිරූපණය වන්නේ ෆැන්ටසි ලෝකයයි. ඒ තුළ ඇත්තේ ආශාවේ ප‍්‍රහේලිකාවෙන් හෙම්බත් වී සිටින අපට උත්තරයක් ලබා දීමයි. ‘කරුමක්කාරයෝ’ කතාවට අදාළව ගතහොත් දෙවැනි කතාවක් අපට අවශ්‍ය වන්නේ සෝමක්කාගේ ‘ආශාව’ අප සියලු දෙනාට ප‍්‍රහේලිකාවක් නිසාය. මින් අදහස් වන්නේ ආශාවේ ලෝකය තුළ අපට ‘අහිමි වස්තු’ ගැන න්‍යායික අදහසක් බිහි වන බවත්, ෆැන්ටසියේ ලෝකය තුළ එම ‘අහිමි වස්තු’ අපට ප‍්‍රායෝගිකව ලබාගත හැකි මඟක් යෝජනා වන බවත්ය. මෙහි තේරුම වන්නේ ෆැන්ටසිය යනු ප‍්‍රායෝගික හේතුව බවය.

අප කලින් යෝජනා කළ පරිදි තදබල විෂාදයක ගිලී ගිය ස්ත‍්‍රියක් අභියස වඩාත්ම බිහිසුණු උත්තරය සම්පාදනය කරන්නේ නෝංජල් බාහිර පෙනුමක් ඇති ගුණපාල විසින්ය. සෝමක්කාගේ විසඳිය නොහැකි ආශාවේ ප‍්‍රහේලිකාව ඉදිරිපිට ගුණපාල විසින් ඉදිරිපත් කරන්නේ ඉතාම විනීත ප‍්‍රතිචාරයකි. එය උපයෝගීතා සැලැස්මකි.

ගමක ‘කඩයක්’ හරහා පුනරාවර්තනය වන ගැමි ආර්ථිකයේ ඌන-සංවර්ධනය ගැන මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයකුට පර්යේෂණයක් කළ හැකිය. ඒ බාහිර දෘශ්‍යමාන යථාර්ථයයි. නමුත් බාහිරින් පෙන්වන මෙම ආර්ථික කතන්දරයට එහා පැත්තෙන් ඇත්තේ සෝමක්කාගේ විෂාදයයි. කඩයට තේ එකක් බීමට හෝ සිගරැුට්ටුවක් බීමට එන කෙනෙකුට දෙවැනි කතාව විශද වන්නේ නැත. ඒ ඔහු යථාර්ථයට වෙරි වී ඇති නිසාය. පසමිතුරුභාවය අපට හඳුන්වා දෙන දෙවැනි කතන්දරය දිගහැරීම සඳහා අලුත් ආකෘතියක් (Form) අවශ්‍යය. සිනමාව නම් මාධ්‍යය යනු මෙම නව ආකෘතියයි. යම් මාධ්‍යයක අර්ථය වන්නේ අන්තර්ගතය නොව ආකෘතියයි යන්න මැක්ලුහාන් න්‍යායගත කරන්නේ මේ නිසාය.

ගුණපාල විසින් පේ‍්‍රක්ෂක පිරිමි අපටත්, ඔහුගේ පියාටත්, ඔහුගේ බාල සොහොයුරාටත් ඉදිරිපත් කරන චර්යාධාර්මික (Ethical) ප‍්‍රවේශය මෙලෙස ප‍්‍රවාදගත කළ හැකිය.

අම්මාගේ මාක්ස්වාදියා

body-heat 1

”මට ආසයි සෝමක්කා එක්ක නිදාගන්න උඹලාට ඇති අශ්ලීල-අවිඥානික ආශාව කුළුගැන්වෙන හැටි නරඹා විනෝද වන්න. හැබැයි එයා උඹලාට දෙන්න වගේ ඉඳලා නොදී ඉන්නව නම් ඒකට මම වැඩිය ආසයි. කෙටියෙන් කිව්වොත් උඹලාගේ අසික්කිත ආශාව භාෂා ලෝකයට ගෙනෙල්ලා ඒක හැමෝටම පේන්න දිග ඇරල පෙන්නල පස්සේ විනීතව ඒක ප‍්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි නිර්වාණ සම්පත්තිය”

බාහිරින් නැරඹූ විට ගුණපාල යනු නපුංසක පෙනුමක් සහිත විකාරරූපී පිරිමියෙකි. නමුත් ඔහු නූතන ධනවාදී සමාජය තුළ අම්මාගේ මාක්ස්වාදියෙකි. තල දෙකක දුවන කතාව කතා දෙකක් කරන්නට ඔහුගේ භූමිකාව අවශ්‍යය. මේ හේතුව නිසා ඔහු රහසිගතව මාක්ස්වාදී භාවිතාවක් ප‍්‍රකාශමාන කරයි.

ගුණපාල හෝ ඔහුගේ ආත්මීය-ස්ථාවරයට තදාත්මික වන  ඕනෑම පිරිමියකු ක‍්‍රියාවෙන් පෙන්වන්නේ කුමක්ද?

(A) මා සමඟ විවාහ වූ මගේ සුන්දර බිරිඳ ගැන අශ්ලීල ෆැන්ටසි අනන්ත සංඛ්‍යාවක් බිහි කර ගැනීමට ඔබට මගෙන් අවසර ඇත. ඔබගේ එම අශ්ලීල ෆැන්ටසි සාක්ෂාත් කර ගැනීමට ඔබ තටමන සෑම වාරයක් පාසාම මමත්, මගේ බිරිඳත් සිටින්නේ ඔබගේ එම අශ්ලීල හැඟීම් ගැන වැටහීමක් නැති මෝඩයෝ ලෙසය. සිදු වන දෙය බාහිර සංකේත පද්ධතියට සහ සංකේත නීතියට අනුව කෙතරම් අසභ්‍ය වුවත් අප එක දෙයක් ඔබට පොරොන්දු වෙමු. (ප‍්‍රබල සංකේත නීතිය නෛසර්ගිකව උල්ලංඝනය කරන ඔබට දෛනිකව කොකේන් තෘප්තියක් හිමි වනු ඇත) තමන්ගෙ බිරිඳ වෙන කෙනකුට පාවා දී එය නොදන්නා සේ ජීවත් වන එක අලුත් කලාවකි. අප මේ ගැන අන් කිසිවකුට නොකියන නිසා ඔබ මේ කරන අශ්ලීල වැඩය මහා අනෙකා නොදකියි. මේ හේතුව නිසා ඔබට අමතර වාසියක් හිමිව ඇත. සමාජ වපසරිය තුළ ඔබ ප‍්‍රගතිශීලී, රැඩිකල්, අවංක, වංචාවක් නැති සුදු පාට පිරිමියෙකි. නමුත් ඔබ මට එක දෙයක් පොරොන්දු විය යුතුය. මම ඔබට මගේ විවාහක බිරිඳ දන් දී නැත. ඇයව මම ඔබට Subcontract දී ඇත. ඒ තුළ ඇය ඔබට බැල්ලියක් මෙන් සේවය කරයි. – මෙය අතිරික්ත විනෝද කොටසකි.

 

(B) ලිංගික විනෝදය අප කරා එන්නේ ලිංගික ක‍්‍රියා තුළින් නොවේ. එය කෙනෙකු වෙතට එන කාර්යක්ෂම පථය වන්නේ කතාවයි. කෙනෙකුගේ පෞද්ගලික විනෝදය වඩාත්ම විද්‍යමාන වන්නේ කථනය වීම මේ අනුව අහම්බයක් නොවේ. ඒ අනුව පොදු ස්ථානයක දී ලිංගික ක‍්‍රියා නොකොට ඒ ගැන කතා කිරීම පිරිමි නොවන ලිංගික තෘප්තියක් ආශ්වාදනය කිරීමකි. ඔබ මගේ බිරිඳගෙන් මනස් පුතකු ලෙස තෘප්තියක් ලබනවාට මට ගෙවීමක් කළ යුතුය. ලිංගික සබඳතා විශ්වයක ‘මගේ වැඩය’ ඔබට කිරීමට කැමැත්තෙන් ඉඩ දීමට ඔබ මට දීමනාවක් ගෙවිය යුතුය. ලිංගික තෘප්තියේ වඩාත්ම කාර්යක්ෂම සහ ආරක්ෂිත මාර්ගය එය වෙන කෙනෙකුට බාර දීම යැයි නොදන්නා මගේ මෝඩ සෝමක්කා මට මෙසේ යෝජනා කරයි. ‘‘ඔයත් කා එක්ක හරි යාළු වෙන්න” මම අනෙකාට ඉදිරිපත් කර ඇති ‘දර්ශනය’ වෙනුවෙන් මට අනෙකා මිලක් නියම කර ඇත. රජයෙන් වැටුප් දෙකක් ලබා ගැනීම නීති විරෝධීය. – මෙය අතිරික්ත ආර්ථිකය නොහොත් දේශපාලන – ආර්ථික කොටසයි.

අද බැහැ වෙන දවසක

පළමුවෙන්ම ගුණපාල අපගේ විඥානය තුළ ගිලී ගොස් අපටත් රහසක්ව පවතින ‘ෆැන්ටසිය’ මතුපිට දෘශ්‍යමාන තලයට රැුගෙන ඒමට පූජක මෙහෙයක් කරයි. එබැවින් ගුණපාලගේ භූමිකාව එක අතකින් දේවධාර්මිකය. මටවත් සවිඥානක නැති මගේ ෆැන්ටසි සාරයක් (මෙය වඩාත්ම තදාත්මික අනන්‍යතාවයයි) ගුණපාල බාහිර ලෝකයට ඇද දමයි. කෙනෙකුගේ අතිපෞද්ගලික රහස් සන්ථවය (Intimacy) බාහිරට ඇද දැමීම එක අතකින් අතිකෲර පහත් වැඩකි. නමුත් එම අශ්ලීල ෆැන්ටසිය පූර්ණ ලෙස සාක්ෂාත් වීමට ඉඩක් නැති නිසා (දෙන්න වගේ මිස ඇත්තටම නොදෙන නිසා) එතැන දී ‘සෝමක්කා’ සදාචාරාත්මක වශයෙන් විනීතය. දෙන්න වගේ සිට වැඩ ගොඩකට පටලවයි. අනතුරුව පිරිමියා වැඬේ කරන්නට හැම මොහොතකම සූදානම් වේ. එවිටම සෝමක්කා මෙසේ පවසයි.

”අද බැහැ. වෙන දවසක මීට වඩා හොඳ තැනක කරමු” තම බිරිඳගේ මෙම පිළිතුර නිසා ගුණපාල ද නිරායාසයෙන් විනීත පුද්ගලයෙක් වේ. ඔහුට අනුව කතාව මෙහෙමයි. ”තාත්තෙ තාත්ත මගේ ගෑනි හින්ද ඔළුව අවුල් කරගත්ත එක ඇත්ත. ඒත් මේ කඩයක් අස්සේ  ඕව කරන්න පුළුවන්ද? පස්සෙ දවසක අපි පොඩි සොමියක් දාමු”

කඩයක් වැනි ප‍්‍රසිද්ධ ස්ථානයක දී කෙනෙකුට ලිංගික ක‍්‍රියාවකට ඉඟි කිරීම අවිනීත ක‍්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එම ක‍්‍රියාව ඔබේ සිත තුළ වන දෙයක් නිසා කිසිවකු දුටුවේ නැත. එනිසා ඔබ බාහිර ලෝකයේ පරමාදර්ශ සහ මහා අනෙකා ඉදිරිපිට නිර්දෝෂය. ඔබ සිතින් ස්වයං වින්දනයේ යෙදුණාට බාහිර කිසිවකුට හානි වන්නේ නැත. (නමුත් ඔබේ පේ‍්‍රක්ෂකයන් මෙම ක‍්‍රියාව නිසා වලත්ත වීම කිසිවකුට වැළැක්විය නොහැකිය.)

ගුණපාල වැනි පිරිමින් ලෝකයේ බිහි වීමට පෙර ‘සිත-තුළ-පමණක්’ ලිංගික ක‍්‍රියා සිදු කිරීම ගැන පූර්වාදර්ශයක් අපට තිබුණේ නැත. අප තදින් ආශා කරන දෙයක් ගුණපාල එළියට ඇද දමා ඇත. නමුත් එය සැබැවින් සාක්ෂාත් කර ගැනීම අද නොවේ හෙට වශයෙන් කල් දමා ඇත. මෙය ගුණපාලගේ පැත්තෙන් විනීත ක‍්‍රියාවක් නොවේද? අශ්ලීල ආශාව ප‍්‍රසිද්ධ පොදු ස්ථානයක දී ඉවතට ඇද පසුව එය සාක්ෂාත් කිරීම කල් දැමීම විනීතකමක් නොවේද? ‘සංකේත නීතිය’ නැති තැන කඩයට එන මිනිසුන්ට යෝජනා කළ හැක්කේ පශ්චාත්-නූතන කේවල නීති පද්ධතියක් නොවේද? ෆැලික නීතියෙන් (වචනයට සීමා වන විනෝදය) පාලනය නොවන ගුණපාලගේ සොහොයුරිය කඩයේ පවතින මෙම අශ්ලීල නීතිය පළමු මොහොතේම විවේචනය කිරීම අහම්බයක්ද? ”තාත්තේ මේ උඹ නිදාගන්න හදන්නෙ තමන්ගෙ පුතාගෙ බිරිඳ එක්ක නේදැයි” පළමුවෙන්ම අසන්නේ ඇයයි.

නරුමයාගේ නිහඬ ව‍්‍රතය

අනෙක් අතට ගුණපාල මඟින් නියෝජනය වන්නේ පශ්චාත්-නූතන යුගයේ නරුමයාගේ නිහඬ වෘතයයි. ලිංගික ක‍්‍රියාවලට අන්තර් අක‍්‍රීයතාවය [Inter- passivity] – මිනිසුන් තමන්ගේ වඩාත්ම ආත්මීය කාරණා පවා දූතයන් කරා සම්පේ‍්‍රෂණය කිරීම – අවමඟුලක දී තමා අඬනවා වෙනුවට එම කර්තව්‍ය සඳහා බාහිරින් පිරිසක් කුලියට ගැනීම) හඳුන්වා දෙන ඔහු එමඟින් ලාභ ලබන්නේ ආර්ථිකය නම් වෙනත් ක්ෂේත‍්‍රයකය. එමඟින් සංකේතවත් වන්නේ පශ්චාත්-නූතන ධනවාදය තුළ ‘ස්ත‍්‍රිය’ හුවමාරු භාණ්ඩයක් වන අදෘශ්‍යමාන ආකෘතියයි.

ගුණපාල වැනි පිරිමින් ඔහුගේ උගුලට හසු වී විකාර කරන පිරිමින්ට වඩා කෲරය. අවිඥානය පැත්තෙන් ගත් විට අධික‍්‍රියාකාරී වන්නේ ගුණපාලය. මනෝ-ආර්ථිකයක් තුළ ඔහු රඟන්නේ ස්වාමියාගේ භූමිකාවයි. ඔහුගේ බිරිඳගේ ලිංගික තෘප්තිය සමඟ සෙල්ලම් කරන පිරිමින් වනාහි ගුණපාලගේ වහලුන්ය. නමුත් මෙම වහලුන්ගේ ලිංගික තෘප්තිය සැබෑ ලොවක දී තහවුරු වීම වළක්වන බාධකය ලෙස ඔහු ක‍්‍රියා කරන නිසා ඔහු විපරිතභාවයට අපගමනය වූ සංකේත පියෙකි. අනෙකාට විනෝදය සපයන ඔහු තමා තුළ අධික‍්‍රියාකාරීය.

දැන් අප ගැටලූවේ අවසාන අදියරට යොමු වී ඇත.

ස්ත‍්‍රීන් ඉදිරිපිට මෙවැනි උදාසීන ආර්ථිකයක් නඩත්තු කරන පිරිමින් බිහි වන්නේ මන්ද? මීට දිය හැකි පළමු උත්තරය සරලය. නූතන හුවමාරු වටිනාකම් ලෝකයට තවදුරටත් මිනිසාගේ විනෝදය කප්පාදු කරන සංකේත ආධිපත්‍යයක් අවශ්‍ය නැත. මේ නිසා අද දවසේ පවතින  ඕනෑම සංකේත භූමිකාවක අණ දීම වන්නේ ‘විනෝද වන්න’ යන්න    පමණි. සංකේත නාමකරණය යළි හඳුන්වා දීමට උත්සාහ කරන භූමිකා නිසා මෙම උදාසීන පිරිමි තැති ගැන්වෙන අතර ඔවුහු අභ්‍යන්තරික වශයෙන් සුපිරි අහමේ නියෝගය ඔප්පු කිරීම සඳහා බාහිරින් බාධා සොයමින් සිටිති. මේ අය සිතන්නේ තමන්ව උදාසීන කරනු ලැබ ඇත්තේ බාහිර සතුරකු විසින් කියාය. නමුත් එය සිදු වන්නේ තමන්ට තමන් තුළින්ම ඇහෙන කටහඬක් හරහා බව ද කිසිවකු වටහාගෙන නැත. ඉහත ප‍්‍රශ්නයට සංකීර්ණ පිළිතුරක් දීමේ දී අප හැරිය යුත්තේ ග‍්‍රස්ථික නියුරෝසියාව නම් පිරිමි රෝගය වෙතටය. තම බාහිර අනෙකා දෙකට පළන සුලූ ග‍්‍රස්ථිකයකින් පෙළෙන මෙම පිරිමින් තමාව කරකවන ව්‍යුහය ගැන අනවබෝධයකින් ක‍්‍රියා කරයි. ග‍්‍රස්ථික නියුරෝසිකයකු උත්සාහ කරන්නේ තම මව ඉදිරිපිට තීන්දුවට පත් වූ පියාගේ නම සංකේත රෙජිස්ටරය තුළ යළි යළිත් තහවුරු කරන්නටය. මෙම තේමාව මෙම ලිපියේ සීමාව ඉක්මවා යයි.   

 දීප්ති කුමාර ගුණරත්න        

ඔබේ අදහස කියන්න...