ගුණදාස අමරසේකර විසින් ‘කරුමක්කාරයෝ’ නවකතාව රචනා කර ප‍්‍රකාශ කරන ලද්දේ වර්ෂ 1955 දීය. එම නවකතාව මත පදනම් වෙමින් තිස්ස අබේසේකර විසින් ‘කරුමක්කාරයෝ’ චිත‍්‍රපටය නිපදවන ලද්දේ 1980 වර්ෂයේදීය. චිත‍්‍රපටයේ කතා වස්තුව සැකෙවින් මෙසේය. ගුණපාල යටලමත්ත ගමට යළි පැමිණෙන්නේ කතිකාවට අනුව ලස්සන බිරිඳක් සමඟය. ඔහු එහි පැමිණි වහාම ගමේ බස් නවත්වන හන්දියේ සාර්ථක වන සිල්ලර කඩයක් සහ පාන් බේකරියක් ආරම්භ කරයි. ගුණපාලට විලිසොං නමින් බාල සහෝදරයෙක් සහ සහෝදරියක සිටියි. ගුණපාලගේ පියා ද ඔහුගේ ව්‍යාපාරයට සහාය වෙයි. ටික කලකින් කඩයේ ආර්ථික වර්ධනය ඉහළ මට්ටමට ළඟා වෙයි. කතාවේ ආර්ථික කොටස එලෙස වර්ධනය වෙද්දී ගුණපාලගේ තරුණ බිරිඳ ඔහුගේ බාල සොහොයුරා වූ විලිසොං සමඟ විකල්ප ලිංගික සම්බන්ධයක් ආරම්භ කරයි. එහි උච්චස්ථානය අවසන් වන්නේ කතරගම දේවාලය පසුබිම් කරගෙන නාගසලං සංගීතය තීව‍්‍ර වන මොහොතක, මැණික් නදිය අසබඩ සිදු වන උද්වේගකර රමණයකිනි. මෙම කාල සීමාවේ දී එක්වරම අහේතුවකින් මෙන් කඩයේ දියුණුව කඩා වැටී එය වේගයෙන් පරිහානියට පත් වන අතර තුන්වන පාර්ශ්වයෙන් ලැබෙන තොරතුරු අනුව ගුණපාලගේ බිරිඳ ඔහුගේ පියා සමඟත් විකල්ප සම්බන්ධයක් පවත්වයි. (පුරුෂයාගේ පාපයට එන සොබාවික විපත)

 

තමන් ගැලවී අනෙකා බිල්ලට දීම

 

කතාවේ දෙවන භාගයට අනුව ඇත්තේ අතීතය යළි සිහිපත් කිරීමකි. එහි දී ගුණපාල කියන්නේ අමුතුම කතාවකි. ඒ කතාවට අනුව ඔහු ගමට පැමිණ ඇත්තේ කඩයක් දැමීමට නොවේ. ඔහුට අවශ්‍ය වී ඇත්තේ වැරැුදීමකින් විවාහ වූ සෝමාගෙන් ගැලවෙන්නටය. ඔහුට අනුව ඔහු සාර්ථකය. ඔහුගේ අභිප‍්‍රාය ඉෂ්ට වී ඇත.

තමන් වැටුණු මරාලයෙන් තම පියා සහ සහෝදරයා තමන්ව ගලවාගෙන ඇත. ඒ තමන්ට තෘප්තිමත් කළ නොහැකි තමන්ගේ බිරිඳව ඔවුන්ට පාවා දීමෙනි. අවසානයේ පවුල සතු සියල්ල විනාශ වෙයි. සහෝදරිය ද පිට මිනිසකු අතින් දූෂ්‍ය වන අතර සියලූ දේපළ විකුණා දැමීමට සිදු වෙයි. සහෝදරියගේ දෙබසකින් මේ සියල්ල එකට කැටි වෙයි. ”අපේ පූරුවේ කරුමයකට මෙහේ ආපු මළ යක්ෂණී” මෙය ගුණපාලගේ දෙබසකින් යළි මෙසේ තහවුරු වෙයි. ”මම සෝමාගෙන් ගැලවුණේ උඹවයි, තාත්තවයි ඒකට බිලි දීල. මම උඹලට ඒකි මත්තේ විනාශ වෙන්න ඉඩ දුන්නා”

මෙම නවකතාව ලියවුණේ නවසිය පනස් ගණන්වලය. එය චිත‍්‍රපටයකට පදනම් වූයේ 80 දශකය ආරම්භයේය. මේ චිත‍්‍රපටය ගැන හෝ නවකතාව ගැන විශේෂ අවධානයක් ඒ කාලයේ ඇති වූයේ නැත. බොහෝ දෙනකුට මේ කතාව ගැන ලිංගික කුතුහලයට එහා ගිය අවධානයක් ඇති වූයේ ද නැත. එසේ නම් මෙම චිත‍්‍රපටය ගැන ‘දැන්’ කතා කරන්නේ ඇයි? (චිත‍්‍රපටය නැවත ලිවීම)

‘හිස්ටීරියාව’ ගැන යම් අවබෝධයක් දැන් ලංකාවේ සිංහල පිරිමින්ට ඇත. ඒ අපගේ හිස්ටීරියාව පොත නිසා සහ තවත් මැදිහත්වීම් නිසාය. ඒ සඳහා පෞද්ගලිකව මා විසින් ගෙවන ලද වන්දිය විශාලය. අඳුරු ආගාධයකට ආලෝකය එල්ල කිරීම අප සිතනවාට වඩා බිහිසුණුය. මම දැන් තවත් බිහිසුණු වැඩකට අත දැමීමට උත්සාහ කරමි. මේ බිහිසුණු වැඩය සඳහා අවශ්‍ය මූලික හැඳින්වීම පමණක් දැනට බලාපොරොත්තු වන්න!

 

ගුණපාලගේ ‘අමුතු බැල්ම’

damage 2

 

‘කරුමක්කාරයෝ’ චිත‍්‍රපටය තරමක් කල්පනාවෙන් ඔබ නරඹන්නේ නම් (මේ සඳහා Youtube වෙත ප‍්‍රවේශ වන්න) ‘ගුණපාල’ චිත‍්‍රපටය නරඹන අප දෙස අමුතු බැල්මක් දමන බවක් විශද වෙයි. එම බැල්ම තුළින් ගම්‍ය වන්නේ ‘ඔබ නොදන්නා දෙයක් මම දන්නවා’ වැනි හැඟීමකි. චිත‍්‍රපට කතාවට අනුව සෝමක්කාගේ දේහය සමඟ පිරිමි පේ‍්‍රක්ෂකයන් අනන්‍ය වෙයි. නමුත් විටින් විට ගුණපාල අප දෙස නෝක්කාඩුවට මෙන් බලයි. ඔහුගේ මෙම නිරීක්ෂණ බැල්ම අමුතුය. සෝමක්කා සමඟ ලිංගිකව බැඳෙන විලිසොං සහ පවුලේ ගෘහමූලිකයා වන පියා සමඟ අවිඥානිකව පිරිමින් වශයෙන් අප අනන්‍ය වෙයි. නමුත් ගුණපාලගේ මේ බැල්ම තුළ ඇත්තේ අපගේ අවිඥානික ආශාව (වෙනත් පිරිමියකුට අයිති ස්ත‍්‍රියක් සමඟ රමණය කිරීමෙන් වඩා විනෝදයක් ලැබිය හැකිය යන ප‍්‍රවාදය) කුළුගන්වන බැල්මක් වෙනුවට, එය අපහාසයට ලක් කරන බැල්මකි. චිත‍්‍රපටය අවසානයේ ඔහුගේ දෙබස විසින් ඒ දක්වා අප පැමිණි ආශාවේ ගමන් පථය අර්ථකථනය කරයි. එහි අදහස සාරාංශගත කළහොත් මෙසේය.

”ඔබලාගේ විපරිත ආශාව ගැන සැමියා ලෙස මම නොදන්නා වගේ සිටින විට ඔබ සුරතාන්තයට ගමන් කරයි. නමුත් මම ඒ ගැන දන්නේ නම් ඔබලාගේ ආශාව ගමන් කරන්නේ වැරැුදිකාර හැඟීමකටය.”

කසාද බැන්ද පිරිමියා තම බිරිඳව අන්‍ය පිරිමින්ට පූජා කරන්නේ මන්ද? එමඟින් කසාද පිරිමියා අපේක්ෂා කරන්නේ කුමක්ද? (විවාහක පිරිමි විනෝදය Outsource වන්නේ මන්ද?)

ලංකාවේ මේ වන විට හිස්ටෙරික ස්ත‍්‍රියකගේ අනෙකා වීම ගැන පිරිමින් දැනුමක් ලබා ඇත. නමුත් ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති අලූත් වර්ගයක ස්ත‍්‍රී ප‍්‍රවර්ගයක් දැන් බිහි වී ඇත. මෙම නූතන ස්ත‍්‍රී ප‍්‍රවර්ගයේ හැපීමෙන් අතිවිශාල පිරිමි ප‍්‍රමාණයක් දැනටමත් විනාශ වී ඇත. මට මේ පිරිමි ගැන විශේෂ අනුකම්පාවක් නැත. මට අවශ්‍ය කරන්නේ ධනවාදය විසින් ස්ත‍්‍රියගේ ආත්ම මූලිකත්වයට කරනු ලබන හානිය පෙන්වා දීමය. ඒ සඳහා කදිම උදාහරණයක් මෙම චිත‍්‍රපටයේ සෝමක්කාගේ චරිතය තුළින් විද්‍යමාන වෙයි. චිත‍්‍රපටයේ මුල සිටම සෝමක්කා සිටින්නේ හේතුවකින් තොරව අධික ශෝකයකින්ය. ඇයව ශෝකයෙන් ප‍්‍රීතිය දෙසට ඇදීමට මුලින්ම උත්සාහ කරන්නේ ගුණපාලය. එහෙත් ඔහු විකාරසහගත ලෙස අසමත් වෙයි. ඊළඟට එම සද්ව්‍යාපාරය සඳහා කැප වන්නේ ගුණපාලගේ පෞරුෂයක් සහිත පියාය. ඔහු එයින් විනාශයට පත් වෙයි. ඊළඟට එයට මැදිහත් වන්නේ විලිසොං නම් කඩවසම් බාල සොහොයුරාය. ඔහු මේ සියල්ලට මැදිහත් වන්නේ නොදැනුවත්වය. අවසානයේ ඔහු නතර වන්නේ කෙලෙස් නසන භික්ෂුවක් බවට රූපාන්තරණය වීමෙනි. තවදුරටත් ඇගේ ආශාව ප‍්‍රහේලිකාවක් නොවේ.

 

සෝමක්කාගේ ආත්ම මූලිකත්වය

 

සිග්මන් ෆ්‍රොයිඞ්ගේ බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු නොකරන ලිපියක් වෙතට ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ලිපියේ නම මෙසේය. ”ශිෂ්ටාචාරය සහ එහි අසහනයන්”. විමුක්ති දේශපාලනයේ දී සහ මාක්ස්වාදී දේශපාලනයේ දී බොහෝ දෙනා සරලමතික ලෙස නොසලකා හරින තීරණාත්මක සාධකයක් ෆ්‍රොයිඞ් අපගේ අවධානයට ලක් කරයි. ඔහු එම ලිපියෙන් දිශානතීන් දෙකක් ගැන අවධාරණය කරයි.

 

(1) ධනවාදී සමාජ-ක‍්‍රමය විසින් ඉලක්කගත කරනු ලබන නිෂ්ටාව වූ ප‍්‍රීතිය. ෆ්‍රොයිඞ්ට අනුව මනුෂ්‍ය ජීවිතයේ නිෂ්ටාව ප‍්‍රීතිය නොවේ. එය වේදනාවයි. ඒ නිසා ධනවාදී ව්‍යුහය සහ මිනිසාගේ නිෂ්ටාව අතර පරතරයක් ඇත. ව්‍යුහය සහ ඒ ගැන ඇති දැනුම අතර ප‍්‍රවාදයක් ඇත.

(2) ධනවාදය විසින් වඩ වඩාත් මිනිසාට ප‍්‍රීතිය- happiness– යෝජනා කරනු ලබන විට මිනිසා තමා අවට අර්ථවත් සංකේත ලෝකයෙන් ඉවත් වී (උදා- පවුල, සමාජය, කලාව, දේශපාලනය] විකල්පයක් ලෙස ‘අසහනයන්’ සමඟ තදාත්මික වෙයි.

 

ඉහත ෆ්‍රොයිඩියානු මූලධර්මය අප විසින් සෝමක්කාගේ ආත්මමූලිකත්වය සඳහා ආදේශ කළහොත් අපට ලැබෙන උත්තරය බිහිසුණුය. ඇය මෙලෙස තමා අවට පිරිමින්ගෙන් ඉල්ලා සිටින්නේ ‘වඩා-ලිංගික-තෘප්තියක්’ නොවේ. ඇය පිරිමින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් ගිලී සිටින වේදනාබර තටාකයෙන් ඉවතට යොමු වන අක්ෂයකි.

සමකාලීන ගෝලීය ධනවාදය පශ්චාත්-ධනවාදීය. එයින් න්‍යායිකව අදහස් වන්නේ ‘ප‍්‍රාග්ධනය’ නම් ආත්මයට තවදුරටත් ධනවාදී සමාජ ව්‍යුහය නමින් සාරයක් නඩත්තු කිරීමට අවශ්‍ය නොවන බවයි. ලංකාවට අනුව කිවහොත් ධම්මික පෙරේරා හෝ ඉෂාර නානායක්කාරට ලංකාවේ ධනවාදයක් දියුණු කිරීමට අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය වන්නේ හැකි තරම් බදු ගෙවීම් නොකර තම ලාභ රේට්ටුව වැඩි කර ගැනීමටය. ධනවාදයට වඩා ‘ප‍්‍රාග්ධනය’ බලවත් සමාජ සම්බන්ධයක් බවට පත් වූ පසුව එවැනි සමාජයක කම්කරුවා, මිනිසා, පිරිමියා, පූජකයා, බුද්ධිමතා, කලාකරුවා යනාදී උත්කර්ෂවත් භූමිකා ඉතුරු වන්නේ නැත. එම භූමිකාවල ඔපය දිනෙන් දින අතුරුදන් වන අතර අවසානයේ සියලු දෙනා නතර වන්නේ වේදනාවේ අනන්ත නිම්නයකය. මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය අනුභූති උත්තර වන අතර ‘වේදනාව’ දෘශ්‍යමාන යථාර්ථය බවට පරිවර්තනය වෙයි.

මෙවැනි පසුධනවාදී සමාජයක ස්ත‍්‍රියට වන්නේ කුමක්ද?

නිසැක ලෙස ඇයට පිරිමියාගේ ෆැන්ටසි වස්තුව වීමට තිබූ විභවය දැන් අහෝසි වී ඇත. තවදුරටත් ස්ත‍්‍රිය යනු පිරිමියාගේ ෆැන්ටසියක් නොවේ. ඒ වෙනුවට ‘ඇය’ ඍජු ලෙස ‘විනෝදය’ (වේදනාවෙන් සතුටු වන ඒජන්තයාගේ භූමිකාව – මෙය ඉතා ප‍්‍රබල දේශපාලන සාධකයකි) රඟදක්වන වේදිකාවේ ප‍්‍රබල භූමිකාවකි.

 

පුරුෂයා හිස්ටරිකයකු ලෙස

 

සංකේත නීතිය නැති තැන දී පිරිමින්ට වඩා අමාරුවේ වැටෙන්නේ ස්ත‍්‍රීන්ය. සංකේත නීතිය යනු විනෝදයට තහනම ගෙන ඒම සහ ඊට ආදේශක සැපයීමය. (උදා – මව වෙත වූ අනුරාගය පෙම්වතියට යොමු කිරීම, ද්‍රව්‍ය වෙතට වූ අනුරාගය කලාව හෝ විද්‍යාවට යොමු කිරීම) නමුත් සංකේත නීතිය අත්හිටවූ පසු ස්ත‍්‍රිය පසුබසින්නේ ගුප්ත කළු කුහරයකටය. මෙම නව තත්ත්වය සායනික නොවන අර්ථයකින් ස්ත‍්‍රී විශාදය (Feminine Depression) ලෙස නම් කළ හැකිය. සංකේත නීතිය විසින් කප්පාදුව (අපගේ විනෝදය සීමා කිරීම) අතහැර දමන ලද තත්ත්වයක් තුළ ස්ත‍්‍රිය ගමන් කරන්නේ හිස්ටීරියාව දෙසට නොව විශාදය දෙසටය. (මාස්ටර් නැති නිසා)

පුරුෂයකුට හිස්ටරිකයකුගේ අනෙකාගේ භූමිකාව රඟදැක්වීම පහසු වුවත් විශාදයට පත් ස්ත‍්‍රියකගේ විශාද විෂයේ වස්තුවක් වීම පහසු නැත. පළමුවෙන්ම මෙම භූමිකාව අලූත් එකකි. එය නූතන ධනවාදය විසින් ඇති කරන ලද තත්ත්වයකි. එම තත්ත්වයට ඊඩිපස් සංකීර්ණය හෝ පවුල් සංකීර්ණයන් සම්බන්ධ නැත. මේ සන්දර්භය නිසා විශාදයට පත් ස්ත‍්‍රියක් එම ආගාධයෙන් අවදි කිරීමට යාමේ දී අගතිගාමී සහ විපරිත සමාජ ව්‍යුහයක් (Pervert Social Structure) බිහි කර ගැනීමට සිදු වෙයි. සරලව කිවහොත් විශාදයට පත් වූ ස්ත‍්‍රියකගේ පතුලක් නොපෙනෙන ආගාධය රසවත් පිහිනුම් තටාකයක් වන්නේ විපරිත අවිඥානික ආශා ව්‍යුහයක් ඇති පිරිමින්ටය.

 

විපරීතයාගේ යතුර

 

සමකාලීන සමාජය තුළ විපරිත පිරිමින් ගවේෂණය කරන්නේ වෙනත් පිරිමියකුට (Law) අයිති ස්ත‍්‍රියකි. මැය බොහෝ විට විවාහක ස්ත‍්‍රියක් වෙයි. නාට්‍යය ආරම්භ වන්නේ කිසිදු ප‍්‍රබෝධයක් නැති ගුණපාල වැනි නෝන්ජල් පිරිමියකු කේන්ද්‍ර කරගෙනය. ඊළඟට විනෝදය තහනම් වූ නමුත් ඊට ඇති බාධාව අවිඥානිකව නොදන්නා නිසා එය අනෙකාගෙන් බලාපොරොත්තු වන ආකෘතියක් ගොඩනැෙඟ්. විපරිතයා තම විනෝදයේ ‘යතුර’ තබන්නේ විශාදයට පත් ස්ත‍්‍රියගේ සාක්කුවේය. විපරිතයාගේ විනෝද-ආර්ථිකය (මෙය අතිරික්තයකි) දැන් අපට සලකුණු කළ හැකිය. සමකාලීන විපරිතයා අශ්ලීල ලෙස විනෝද වන්නේ වෙනත් පිරිමියකු සතු ස්ත‍්‍රියකගේ ශරීරය විනිවිද යාමෙන් නොවේ. ඒ සඳහා ඔහු විශේෂ ප‍්‍රයෝගයක් ක‍්‍රියාත්මක කරයි. ඔහු විනෝද වන්නේ අන්‍යයාගේ ස්ත‍්‍රිය තමා විඥානගත කිරීමෙන් අන්‍යයා පත් වන බලවත් අපහසුතාව සමපේක්ෂණය කිරීමෙනි.

තත්ත්වය මෙසේ අපට සරල කළ හැකිය. නූතන විපරිතයා විනෝද වන්නේ අන් සතු ස්ති‍්‍රයක් ලිංගිකව අපහරණය කිරීමෙන් නොවේ. ඊට පරස්පරව ඔහු විනෝද වන්නේ අන් සතු ස්ත‍්‍රියක් තමා සතු යැයි කතන්දර ගෙතීමෙන් වේදනාවට පත් වන අනෙක් පිරිමියාගේ වේදනාව අභ්‍යන්තරීකරණය කිරීමෙනි. ධනවාදය ශිෂ්ටාචාරයෙන් වේදනාව ඉවත් කර එතැනට නොනවතින ප‍්‍රීතිය එන්නත් කරන විට ශිෂ්ටාචාරය යළිත් නිශේධනය හඳුන්වා දෙන්නේ අතිකෲර ආකෘතියකින්ය.

විශාදයට පත් ස්ත‍්‍රියක් විපරිත පිරිමියාගේ ඉහත මනෝ-ලිංගික ක‍්‍රීඩාවට අවිඥානිකව ආශා කරන්නේ මන්ද? ඇයට එය පුරුෂ මර්දනයක් නොව විමුක්තියේ විද්‍යුත් – කම්පන ප‍්‍රතිකාරයකි. බාඳුරා මලක ව්‍යුහය ගන්නා ස්ව-පීඩක/ පරපීඩක මනෝ-ලිංගික ව්‍යුහයක් පාදක කරගන්නා නූතන ස්ත‍්‍රී-පුරුෂ මිනිස් සම්බන්ධය පෙරළා ධනවාදී දෘෂ්ටියේ ප‍්‍රීතියට පොල්ලෙන් ගසයි. ධනවාදයේ හිඟය පැවති යුගයට වඩා එය අතිරික්තය හඳුන්වා දෙන මෙම යුගයේ දී ස්ත‍්‍රිය අතින් සියලූ තාර්කික සමාජ-සබඳතා බිඳ වැටීම ඒ අනුව අහම්බයක් නොවේ. හේතු-ඵල සම්බන්ධය සහමුලින් විනාශ කරන මෙම ‘ස්ත‍්‍රී විශාදය’ විසින් සියලූ සමාජ ආයතන ඇතුළත ‘ස්ත‍්‍රී ආධිපත්‍යයක්’ (Fermdom) නොනිල තලයේ අටවා ඇත. ඇත්ත වශයෙන්ම මෙම ‘ස්ත‍්‍රී විශාදය’ යම් සමාජ පීඩනයක ඵලය නොවේ. එය මේ සමාජ-ක‍්‍රමය විසින් යෝජනා කරනු ලබන ප‍්‍රීතියේ දෘෂ්ටිවාදය බිඳ දමන තාර්කික හේතුවයි. පිරිමියකු තවත් පිරිමියකුගේ ‘බැල්ම’ වෙනුවෙන් මනෝ-ලිංගික ක‍්‍රීඩාවක පැටලෙයි. විශාදයට පත් ස්ත‍්‍රියගේ පැත්තෙන් ගත් විට මෙය ‘ආසයි – බයයි’ ක‍්‍රීඩාවකි. නමුත් ඬේවිඞ් ලින්ච්ගේ චිත‍්‍රපටවල දී මෙන් තමන්ට ‘ඇත්තටම – වැඬේ කරන’ පිරිමින් මේ විශාදී ස්ත‍්‍රීන්ට හමු නොවේ. තමාව විශාදයෙන් ගලවාගත හැකි ෆ‍්‍රෑන්ක් බුත් වැනි ප‍්‍රචණ්ඩ පිරිමින් ලංකාවේ බාඳුරා මල් මතට පාත් වන්නේ නැත. එසේ වන්නේ ඇයි?

 

ඊළඟ කොටස ඉදිරියට –

දීප්ති කුමාර ගුණරත්න          

ඔබේ අදහස කියන්න...