විසි එක්වන සියවසේ මාක්ස්වාදය මනෝ විශ්ලේෂණය විසින් අති මූලික ව්‍යුහාත්මක වෙනසකට ලක්කරමින් ඇත. යන්න සත්‍යක් නම් මෙතෙක් මාක්ස්වාදය පදනම් කර ගනිමින් අප අවබෝධකර ගත් පශ්චාත්-යටත්විජිත ආත්මයේ මනස මුල්වරට මනෝවිශ්ලේෂණය  පාදක කරගනිමින් තේරුම්  ගැනීමට උත්සහ කළ ප්‍රථම විශ්ලේෂකයා බවට පත්වන්න් ෆ්‍රාන්ස් ෆැනොන්ය.  ෆැනොන් මඟහරිමින් අප වැනි රටවල මිනිස් විෂයේ[subject] ස්වභාවය තේරුම් ගැනීමට උත්සහ  කිරීම ඔස්සේ බොහෝ විචාරකයින් එක් මූලික මනෝ විශ්ලේෂී  වරදක් මෙහිදී කරයි. [එනම් ලැකැනියානු මනෝ විශ්ලේෂී වරදක් මෙහිදී කරයි.] එනම් ලැකැනියානු මනෝ විශ්ලේෂණය වරක් යටත් විජිත ලෙස පැවැති ජාතීන්ගේ මනස තේරුම් ගැනීම සඳහා කළ ප්‍රථම න්‍යායික උත්සහාය මඟහැරීම ඔස්සේ මනෝ විශ්ලේෂණය අප වැනි රටවලට අදාළකර ගැනීම සඳහා වන මූලික දයලෙක්තික ව්‍යායාමය ස්වාමි- සේවක සම්බන්ධයේ හේගලියානු-ලැකැනියානු අදාළතාවය පිළිබඳ මූලික න්‍යායගත කිරීම මඟහැර එය හුදු දේශපාලනික-සාහිත්‍ය කතිකාවක් පමණක් ලෙස අධිනිශ්චය කිරීම ඔස්සේ ප්‍රාථමික ලාංකීක භූමිය නිර්වචනය කර ගැනීමට නොහැකි වීම එම අති මූලික වරදයි. ෆැනොන් මෙහිදී අපට අදාළ වන අයුරින්ම ඔහුගේ න්‍යාය තව දුරටත් දියුණු කළ හොම්. කේ බාවාද, තවත් දායක්ත්වය පෞරුෂයන් කිහිප දෙනෙක්ද මෙහිදී අතීශයින් වැදගත්වේ.

ෆැනොන් මෙසේ කියයි.

                 ” මිනිසා තම්නගේම වටපිටාව (පරිසරය) තුළ ආගන්තුකයෙක් වීම (තව දුරටත්) වැලැක්වීම මනෝ විශ්ලේෂණයේ සායනික  (වෛද්‍යමය) කාර්යය වේ. මෙහිදී තමාගේම රටෙහි ජීවත් වන මිනිසා පරම- නිර්පුද්ගලබාවයක් (depersonalize) අත්පත් කර ගනිමින් තම තමන්ගේම භූමියේ පිටස්තරයෙක් වීම මා විසින්ම එත්තු ගැනීම මා මටම පවරා ගතිමි.”

 

                         යටත් විජිත ආත්මයේ සහ අනේකත්වය (සුදු ස්වාමිය) අතර සනිටුහන් වන මාක්සියානු-හේගලියානු දයලෙක්තිකය අප වැනි රටවල මිනිසුන්ගේ අවිඥාණය තේරුම් ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන් වී.එස්. නයිපෝල් වැනි රචකයින් ගේ The Mimic Men වැනි නවකතාවක් මඟින් නිරූපනය කරන්නේ, පශ්චාත් යටත් විජිත ආත්මය තුළ ඇති “අතීරනාත්මක, අනියත, අවිනිශ්චිත” බවයි. පසු යටත්විජිත දේශපාලඥයෙක් වන රැල්ස් සිං තම ආසියාතික උරුමයන්ගේ නිකැලැල් බව සහ වර්තමාන දේශපාලනයේ ගැටළු සහගත බව අතර තෝන්තු වී ඇත. කුමක් කළ යුතුද යන්න ඔහුට තීරණය කළ නොහැක. තුන්වන ලෝකයේ නැවත ලන්ඩනය වෙත ගියද ඔහු තවදුරටත් තම මව් රට ගැන අතීතකාමයෙන් ශෝක වේ. නමුත් නැවත මව් රටට ගිය විට එම රටේ ‘අපිළිවෙල’ විසින් නැවත ලන්ඩනයේ ‘පිළිවෙල’ වෙත යෑමට ආශා කරයි. නමුත් එම ‘පිළිවෙල’ තුළම පවත්නා ස්ත්‍රී වසඟය, සූරාව, ලෞකික බව, නාගරික විගලිත බාවය විසින් නැවත ඔහු පාර භෞතික අතීතයේ වෙත ගමන් කරයි. මේ අයුරින් වර්තමානය පිළිබඳව අතීරණාත්මක වන ඔහු ලන්ඩන් භූමියටත් යටත් විජිත භූමියටත් අයත් නොවන නමුත් ඒ දෙකටම අයිති ‘ස්ථානීය නොවන ස්ථානයකට’ මානසිකව ගමන් කරයි. වෙනත වචනයකින් කිවහොත් සිහිනය හා නපුරු සිහිනය අතරත් ෆැන්ටසිය සහ යථාර්ථය අතරත් අවිනිශ්චිතව ඔහු ගමන් කරයි.

                      එක් අතකින් තම අතීතය තමා දෙස බලා සිටිනු ඇතැයි ඔහු සිතන අතරේම තම දුක්ඛිත ආත්මය තම සුදු ස්වාමියාගේ ‘පිළිවෙල’ විසින් මුදවාගනු ඇතැයි ඔහු තවත් විටෙක කල්පනා කරයි. නමුත් සුදු ස්වාමියා, විසින් අප ‘අත්හැර ඇති බව’ නම් තත්වය අපගේම නිදහසේ පූර්ව කොන්දේසියක් ලෙස ඔහු මදකටවත් නොසිතන්නේ ස්වාමියා අපට නිදහස් ලෙස සිතන්නේ කෙසේද යන්න උගන්වා ඇති හෙයිනි. ඔහු අප නිදහස් කළද තව දුරටත් අපව මානසික ලෙස යටත් කරගෙන ඇත්තේ අපට නිදහස් ලෙස සිතීමට වෙනුවට පරායාත්ත ලෙස සිතීම උගන්වා ඇති හෙයිනි. නිදහස් ලෙස සිතීම යනු ‘වැරදි කිරීමට බිය නැති කිරීමය’. (fear of errors) වැරදි කිරීම යනු නව යමක් නිර්මාණය කිරීමේ මූලික කොන්දේසියකි. නමුත් අප සිතන්නේ වැරදි කිරීම යනු ස්වාමියා ඉදිරියේ ‘ලැජ්ජාවීමට’ සිදුවන දෙයක් ලෙසය. උදාහරණ ලෙස ඉතා කුඩා කාලයේ සිට අපට ඉංග්‍රීසි (ස්වාමියාගේ භාෂාව) ඉගැන්වීමට පැසැල්-පෞද්ගලික ආයතන උත්සහා කරන නමුත් එය මේ වන විට බෙහෙවින්ම අසාර්ථක උත්සාහයකි. නමුත් වසරක් දෙකක් පමණ ශිෂ්‍යයෙක් චීන, ජපන්, කොරියන් හෝ හින්දි වැනි භාෂාවක් ප්‍රගුණ කිරීමට පටන්ගතහොත් ඉතා කුඩා කලකින් ඒ ගැන ප්‍රවීණතාවයක් ලබයි. විශේෂයෙන් ජපන් යනු ඉගනගැනීමට අසීරු භාෂාවකි. එයට හේතුව ‘වැරදි කිරීම’ සම්බන්ධ ස්වාමි නිරික්ෂක ලැජ්ජා සංකීර්ණයක් ඉහත භාෂා සඳහා නැති බැවිනි. එම සිසුන් ඉංග්‍රීසි ඉගන ගන්නා සිසුන්ට වඩා නිදහස්ය. ඔවුන් ඉගන  ගන්නේ භාෂාවක් වුවද ඉංග්‍රීසි සිසුන් ඉගන ගන්නේ භාෂාවට වඩා වැඩි දෙයකි. ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි අතිරික්තයකි. ස්වාමියාගේ භාෂාවකි. අප යටත්කළ ස්වාමියාගේ ස්වාමීත්වය ඉක්මවා යා යුතු (තුවාල වූ අහම) (hurt ego) ප්‍රකාශනයකි.

     මෑතකදී ජයසිරි අලවත්ත සොයුරාගේ ලිපියකට පිළිතුරක් ලියු එක් විචාරකයෙක් ප්‍රශ්න කර තිබුණේ අප දෙමළ මිනිසුන් දෙසට දෑත් දිගු කළද, දෙමළ මිනිසුන් අපට දෑත් දිගු නොකරන්නේ මන්ද යන ගැටළුවයි. සිංහල අප විසින් තුවාල කළ අහමක් නැවත සුවපත් කළහැක්කේ අපටම විනා ඔවුන්ට නොවේ. එම විචාරකයා දෙමළ මිනිසුන්ගෙන් ඉල්ලන්නේ මෙවැන්නකි. අප උඹලාගේ ආත්මය තුවාල කළා තමයි හැබැයි එම තුවාලය දරාගෙනම අපට දෑතක් දියල්ලා. එනම් ඔවුන්ගේ ආත්මය නිර්මාණය කරන තුවාලයම දැන් අපට පාවා දියල්ලා යන නරුම ඉල්ලීමයි. දෙමළා දෙමළා බවට පත්කරන්නේ ඔවුන්ගේ – සටන් ආත්මය මුවහත් වන්නේ ඉහත තුවාලය මගිනි. තුවාලය සුවපත් කළ හැක්කේ තුවාලය සිදු කළ ඊ තලයට පමණි. අවසානයේ මහත්මා ගාන්ධි අධිකරණයට පැමිණෙන විට නැගී සිටින විනිශ්චය කරු (සුදු ස්වාමියා) විසින් පිළිගන්නේ මෙම ස්වාමි සේවක සම්බන්යේ අහමේ කොන්දේසිය වේ.

            එඩ්වඩ් කුමරු වෙනුවෙන් අප පුදසත්කාර කළ යුතුයයි මා නොසිතන්නේ අප තව දුරටත් වහලුන් වශයෙන් ලෙස සිටිය නොයුතුයි මා විශ්වාස කරන බැවිනි. ඔවුන්ට අපගේ තුවාලය සුවපත් කළ නොහැකිය. අපගේ පාලකයින්ගේ පරාධීන මානසිකත්වය විසින් අපගේ පරම්පරාවට උරුම කරදුන් කිසිවක් නැත. එඩ්වඩ් , හැරී හෝ කේට් විසින් අපව මුදවා ගන්නේ යයි නොසිට, ස්වාමියා විසින් කළ දේ අපද කළ යුතු යයි මා විශ්වාස කරමි. ස්වාමියා විසින් කළ දේ මෙවැන්නකි. ලැකැනියානු විශ්ලේෂණයට අනුව ඔහු ගෝලීය ආධිපත්‍ය ලබා ගත්තේ එක් දෙයක් මඟිනි. එනම් ‘කළ නොහැකි යයි’ අනෙක් අය සිතූ දෙයම කිරීමට ඔහු වෙහෙස ගත් බැවිනි. ලෝකය තරණය කිරීමට ඔහු උත්සුක විය. ලෝකයේ එක් කෙළවරක් මහා ප්‍රපාතයකින් අවසන් වේයැයි සිතු මධ්‍යතන දෘෂ්ටිවාදය අභියෝගයට ලක්කරමින් ලෝකයේ කෙරවර තරණය කළ ඔහු ලෝකය සම්බන්ධ කළ හැකි බව සොයා ගත්තේය. ප්‍රපාතය වෙනුවට ඔහුලෝකය ගෝලාකාර බව සොයා ගත්තේය. අධිරාජ්‍යවාදය පටන් ගන්නේ මෙතැනනි.  නොකළහැකි දේ කිරීමට ඔහු ‘බිය’ වූයේ නැත.

            නමුත් අප කරන්නේ කුමක්ද? අප හුරුවී සිටින්නේ සුදු ස්වාමියා ‘නොකළහැකි දෙය’ හැකි දෙයක් බවට පෙන්වු පසු  (possible) ඒ මාර්ගයේ ගමන් කිරීමයි. අමරිකාව සොයාගත් පසු අමරිකාවට යෑමයි. මෙතෙක් යථාවක් වූ දෙය සංකේතනයට ගෙන ආ පසු (සිතියම් කර නාවික සිතියමට නැංවූ පසු) එය කිරීමට උත්සාහා කිරීමයි. මෙතෙක් නේපාල ජාතිකයින් දැක තිබු එවරස්ට් කන්ද සුදු ජාතික මිනින්දෝරුවන් විසින් මිනුම්ගත කිරීම (ගණිතමය සංකේතනයට ගෙන ඒම) සඳහා එය තරණය කළ පසු (කළ හැකි දෙයක් බවට අපට ඔප්පු කළ පසු) එය තරණය කිරීමට උත්සාහා කිරීමයි. කිසිදා එය අප විසින් සිතියම් ගත කිරීමට අප උත්සාහා නොකළේ භූගෝලය නිෂ්පාදනයේ උපකරණයක් ලෙස අප එය හීලැ නොකර නිසා වෙනි. මෙම නොකළ හැකි දෙය ‘කළ’ කොළම්බස්, වස්කෝදී ගාමා, එඩ්මන්ඩ් හිලරි මරණය වෙත ගොස් (යථ) එය කළ හැකි යයි ඔප්පු කළ නිසාවෙන් ඔවුන් ‘ස්වාමි’ බවටත් බලා සිටින අප ‘වහලුන්’ බවටත් පත්වී ඇත.

            අපගේ නිදහසේ පදනම නම් ෆැනොන් දක්වන ආකාරයට අපගේ ගැඹුරු සංස්කෘතික බිය ( cultural fear) නැති කර ගැනීමයි. බටහිර ලිංගිකත්වය දුටුවිට දනිස් වෙව්ලන ගතිකත්වය (trembling) වෙනුවට ඔවුන් උත්සහා කරන ‘නොකල හැකි දෙය’ (impossible)  අප විසින් ද ඔවුන්ගේ අනුමැතියකින් (දැක්ම) තොරව කිරීමට උත්සාහ කිරීමයි.  ඇතැම් විට චීනය සිදු කරමින් සිටින්නේ මෙයයි යනුවෙන්ද දැන් අපට සිතිය හැකිය.

  • මහේෂ්-
  • මේ අදහසේම දිගුවක් තමයි X දේශපාලනය තුල දීප්ති සහෝදරයා විසිනුත් කලේ . බටහිර ස්වාමියෙක්ගේ නිරික්ෂයෙන් තොරව බටහිර අනෙකාගේම දැනුම භාවිතා කරමින් නව අවකාශයක් නිර්මාණය කිරීම. මෙතනදී ‘මධ්‍යම පන්තියේ බුද්ධිමය කුසිත කම’ (ෆැනොන් ගේ යෙදුම) පරාජය කිරීමක් තමයි සිදුවුනේ. එයටම වමේ බුද්ධිමය පරිහානියත් අයිතියි . එතැනදී තමයි නව ස්වාමිත්වයක් අපි හදන්නේ වමේ භාවිතාවයට විකල්පව. අපි කළේ ෆැනොන් ප්‍රයෝගිකව යොදා ගැනීම. මීලග ලිපියෙන් අපි එය පැහැදිලි කර ගනිමු. කළ නොහැක්ක තමයි අපි කරලා පෙන්නුවේ. නමුත් අපේම එවුන් අපිව පරණ වම්මුන්ට පාවල දුන්නා. ඔවුන් වහලුන්… වහලට කවදාවත් බැහැ නිදහස් වෙන්න ස්වාමියාගේ යථාව (Real) අත්පත් කර ගන්නේ නැතුව.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දීප්ති මේ දේශපලනය දිගටම කරගෙන යාම ලොකු දෙයක්.
    //නමුත් අප කරන්නේ කුමක්ද? අප හුරුවී සිටින්නේ සුදු ස්වාමියා ‘නොකළහැකි දෙය’ හැකි දෙයක් බවට පෙන්වු පසු (possible) ඒ මාර්ගයේ ගමන් කිරීමයි. අමරිකාව සොයාගත් පසු අමරිකාවට යෑමයි. මෙතෙක් යථාවක් වූ දෙය සංකේතනයට ගෙන ආ පසු (සිතියම් කර නාවික සිතියමට නැංවූ පසු) එය කිරීමට උත්සාහා කිරීමයි. මෙතෙක් නේපාල ජාතිකයින් දැක තිබු එවරස්ට් කන්ද සුදු ජාතික මිනින්දෝරුවන් විසින් මිනුම්ගත කිරීම (ගණිතමය සංකේතනයට ගෙන ඒම) සඳහා එය තරණය කළ පසු (කළ හැකි දෙයක් බවට අපට ඔප්පු කළ පසු) එය තරණය කිරීමට උත්සාහා කිරීමයි. කිසිදා එය අප විසින් සිතියම් ගත කිරීමට අප උත්සාහා නොකළේ භූගෝලය නිෂ්පාදනයේ උපකරණයක් ලෙස අප එය හීලැ නොකර නිසා වෙනි. මෙම නොකළ හැකි දෙය ‘කළ’ කොළම්බස්, වස්කෝදී ගාමා, එඩ්මන්ඩ් හිලරි මරණය වෙත ගොස් (යථ) එය කළ හැකි යයි ඔප්පු කළ නිසාවෙන් ඔවුන් ‘ස්වාමි’ බවටත් බලා සිටින අප ‘වහලුන්’ බවටත් පත්වී ඇත.//

Comments are closed.