ෆිදෙල් කැස්ත්‍රෝ කියුවා  යයි කිවූ දෙයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය කියුබාව සමග තානාපති සම්බන්ධතා පටන් ගන්නේ ලතින් ඇමෙරිකානු පාප් තුමෙකු හා කළු ඇමෙරිකන් ජනාධිපතිවරයෙකු යටතේ බවට ඔහු අනාවැකියක් පළ  කල බවයි. මෙය ප්‍රචලිත වන්නේ ෆේස්බුක් හි  සංසරණය වන පින්තුරයක් ආධාරයෙනි. මේ මහා අනාවැකිය කියා ඇත්තේ 1973 දීලු.   බිබීසී ලෝක සේවයේ අපේ මිතුරු සරෝජ් පතිරණ මේ පින්තුරයට ඇලුණු තවත් මාධ්‍යවේදියෙකි. ඔහු විසින් උත්පත්තියෙන්  සමාජවාදී, ලතින් ඇමෙරිකානු ගරිල්ලා සටන් වල ප්‍රධාන න්‍යායාචාර්ය  තමන් සේ කාලයක් සැලකූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ගෙන් මේ බව විමසා තිබුණි. ඒ ලිපියේ යොමුව මෙයයි. ප්‍රශ්නය වන්නේ ෆේස්බුක් පින්තූරයක් මුලාශ්‍ර කරගෙන ඔවුන් කතා කරන්නේ එය සැබෑවක්ද කියා පැහැදිලි නොකරය. කස්ත්‍රෝ කල මෙවැනි කතාවක  මූලාශ්‍රයක් කොහේවත් නැත. දෙදෙනාගෙන් කාට හරි එය සොයා පල කල හැකිද?
අසූව  දශකයේ අග භාගයේ, කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කල, විප්ලවකාරී මොඩ්  කැප් තොප්පියක් පැළඳ ලතින් ඇමෙරිකානු ගරිල්ලා ව්‍යාපාරය ගැන ගර්ල් ගයිඩ් මුලස්ථානයේ හා වෙනත් තැන්  වල දයාන් කල දේශනා ඇසීමට ගියෙමි. මට මතක විධිහට ඔහුගේ පියා පල කල ගාර්ඩියන් සඟරාවේ ද එවැනි ලිපි පළවුණි. ජවිපෙ පුර්ණ කාලින ක්‍රියාකාරිකයෙකු වූ කැමිලස් මට කීවේ  මාර්ග ආයතනයටද සම්බන්ධ දයාන් සිඅයිඒ ඔත්තු කරුවකු බවයි. ජේඩීඑස් සංවිධානයේ අතුල සහෝදරයා කිවේ කැමිලස් පසුව දයාන් ගේ කුමක් දෝ සංවිධානයකට සම්බන්ධ වූ බවයි. මා සිතුවේ කැමිලස් 88 කාලයේ අතුරුදහන් වූවා කියායි.  කෙසේ හෝ ලතින් ඇමෙරිකානු පන්නයේ ගරිල්ලා ව්‍යාපාර කිරීමට ගිය දෙතුන් ගොල්ලක්ම ඇණ  ගත්හ.

ආචාර්ය දයාන් ජයතිලක ඉන්පසු බිබීසියට කියන්නේ මේ අනාවැකිය  නිවැරදි වුන බවත් ඇමෙරිකාවට පුංචි කියුබාව ඉදිරිපිට යථාර්තය පිළිගැනීමට සිදුවූ බවත්ය. ඒ කියන්නේ “කියුබාවේ සමාජවාදය ” ඇමෙරිකාව පිලි ගත්තා කියාද? මේ සාවද්‍ය කතාවට අමතරව දයාන් තවත් සාවද්‍ය කතාවක්  කියයි. එනම් “නමුත් ෆිදෙල් කැස්ත්‍රෝට පුළුවන් වුනා, ධනවාදය කරා නොගිහින් එහෙත් ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් කියුබාවේ සමාජවාදී විප්ලවය සුරකිමින් ඒ ඉතාම භයානක අවස්ථාවෙන් කියුබාව බේර ගන්න” – (උපුටා ගැනීම මගෙනි)  මේ තවත් බොරුවකි. ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කලේ රාවුල් කස්ත්‍රෝ විසිනි. රාවුල් විසින් පසුගියදා තමන් ජිවත්වන  රජයේ නිවාස මිලදී ගැනීමට (තැචර් වාදය?) හා විකිණීමට  කියුබානුවන්ට ඉඩ දුන් අතර ඊට කලින් සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමටද ඉඩ දෙන ලදී. (ලෙනින් ගේ නෙප් ක්‍රියාවලිය ?)

ෆිදෙල් කලේ ජනතාවට පටි තද කර ගන්න කියා කීමයි. සෝවියට් දේශය බිඳ වැටුන පසු කියුබාවට බොහෝ විට උදව් කලේ යුරෝපියන් සංගමයයි. අනිත් පැත්තෙන් යුරෝපීයන් ප්‍රමුඛ වුනු සංචාරක කර්මාන්තයෙන් ඔවුනට සැලකිය යුතු ආදායමක් ලැබුණි. කියුබානු දොස්තරවරුන් බොහෝ රටවලට යවා ලබාගත් ඩොලර් ආදායමයද ඉතාමත්  අඩු මිලට වෙනිසියුලාව විසින් සැපයූ තෙල් නිසාද කියුබාව පණ  ගැට ගසා ගත්තාය. මේවා නැත්නම් කැස්ත්‍රෝ ට කියුබාවේ ආර්ථිකය හැසිරවීම ඔහුගේ රාජ්‍ය ධනවාදී ස්ටාලින්වාදී ක්‍රමය යටතේ ඉතාමත් අපහසු කාර්යයක් වී තිබුණි.
අනික ඇමෙරිකාවට යථාර්තය පිලි ගැනීමට සිදුවූ බව හෙවත් කියුබාව සමග
සම්බන්ධතා ඇති කර ගැනීමට තිබු හේතු අතර බලවත්ම හේතුව පූටින් මිස දයාන් කියන පරිදි කියුබාවේ ඊනියා සමාජවාදී ජයග්‍රහණයක් නම් නොවේ.
එම පළමුවන හේතුව ඇත්තේ මෙතනය.  සෝවියට් දේශය පැවති  කාලයේ සෝවියට් හමුදා වල හා ඔත්තු සේවයේ 3000 පිරිසක් යොදා පවත්වාගෙන රහස් ඔත්තු මධ්‍යස්ථානයක් (listening post ) හවානාහි ලුර්දු නමැති පෙදෙසේ තිබුණි. මෙය ඇමෙරිකාවේ වැඩිහරියක් සන්නවේදනයන් නිරික්ෂනය කරමින් ඔත්තු බැලූ අතර නැටෝ සබ්මැරීන හා නැව් ස්ථානගත වන දත්ත ද මොස්කව් වලට සපයන ලදී. සෝවියට් දේශය බිඳ වැටුණ පසු රුසියාව මෙය අත් හැර දමා තිබුණි. 2014 ජුලි මාසයේ රාවුල් කස්ත්‍රෝ හමුවූ පුටින් මෙම මධස්ථානය නැවත ක්‍රියාත්මක කරවීමට කැමැත්ත පල කළේය. රාවුල්ට මෙයට විරුද්ධ වීමට හේතුවක් නැත්තේ මින් රැකියා හා විශාල මුදල් ප්‍රමාණයක් ද කුලිය වශයෙන් ලැබෙන නිසාය.
මේ තත්වය ඇමෙරිකාවට අනතරු ඇඟවීමක් ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ සැලකුහ. රුසියාවට ආසන්න ජෝර්ජියාව දෙකඩ කිරීම, ක්‍රිමියා ව පවරා  ගැනීම, උක්රයිනයේ බෙදුම්වාදයට සහයෝගය දීම වැනි හේතුන් නිසා පුටින් ට එරෙහි වී සිටින ඇමෙරිකාවට පුටින් කියුබාවට පා තැබීම ඔරොත්තු දුන්නේ නැත. බොලිවියාව, වෙනිසියුලාව හා ආර්ජන්ටිනාවද පුටින් ගේ රුසියාව සමග හොඳ සම්බන්ධතා පවත්වා ගෙන යයි.
දෙවැනි හේතුව නම් කියුබාව පරණ සෝවියට් දේශයට හා රුසියාවට තිබු මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 32 ක් පුටින් කපා හැරීමය. දැන් කියුබාවට ඉතිරිව ඇත්තේ ඩොලර්  බිලියන් 3.2 ක ණයක්  පමණි.  එයද අවුරුදු දහයකට සහනදායි ලෙස ගෙවන්නට පුටින් ඉඩ දී තිබේ. මේ හේතුවෙන් කියුබාවේ හා ලතින් ඇමෙරිකාවේ පුටින් වඩාත් ජනප්‍රියය.
තව දුරටත් සම්බාධක තබාගෙන කියුබාවට දඬුවම් දීමෙන් තමන්ටම  පාඩු සිදුවන බව ඇමෙරිකන් ආරක්ෂක අංශ වටහා ගත්හ. මියාමි වල කියුබානු ඇමෙරිකානුවන් කුමක් කීවත්,  ජනාධිපතිට චන්දය නුදුන්නත්,  කියුබාව සමග සම්බන්ධතා ඇති කර ගෙන සම්බාධක ක්‍රමයෙන් අත හැරීම හැර ඇමෙරිකාවට වෙනත් මගක් ඇත්තේ නැත. දයාන්  කල එකම නිවැරදි නිරීක්ෂණය වඩාත්ම වැදගත් සම්බන්ධීකරණ පුරුක වුනේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා බව කීම පමණි. නමුත් මෙහිදීද  මේ ක්‍රියාවලියට අඩිතාලම දැම්මේ කලින් සිටි පාප් තුමෙකු වූ පෝලන්ත ජාතික ජෝන් පාවුළු II ය. දැන් සිටින පාප් තුමා නොවේ. ඉතා විශාල කතෝලික ජනගහණයක් ඇති කියුබාව මුලිකවම අදේවවාදී රාජ්‍යයක් වුවද එහි කතෝලික ආගම බලවත්ය. 1998 ජෝන් පාවුළු පාප් තුමා ගේ සංචාරයට ප්‍රථම කියුබාව 1992 දී කස්ත්‍රෝ යටතේ ව්‍යවස්ථාව සංශෝධනය කර  අදේවවාදය අත් හරින ලදී. ඉන්පසු දින පහක ක්‍රිස්මස් නිවාඩුවක් ද 1998 දී ලබා දුනි.

මේ අනුව ඇමෙරිකාව හෝ වතිකානය නිකම් සිටියේ නැත. වතිකානය සිතුවේ වතිකානයේ සහයෝගයෙන්  පෝලන්තය රජය ලේක් වවෙන්සා  හරහා බිඳ දැමු ආකාරයට බිඳ දැමීමට වුවත් කියුබානු ජනතාව එයට සහයෝගය දෙන්නේ නැති  බව ඉතා ඉක්මනින් වටහා ගත්හ. (මෙයට හේතුව ඊළඟ ලිපියෙන් පැහැදිලි කරමි. ) මේ නිසා ඉන්පසු වතිකානය  කළේ  යුරෝපා සංගමයේ හොඳ හිත හරහා කියුබානු නායකත්වයට සමීප වීමයි. කොටින්ම වතිකානය  ඇමෙරිකාව විරුද්ධ වෙද්දී පවා කියුබාව සමග
වෙළඳම්  කිරීමට යුරෝපියානු ප්‍රජාවට සහයෝගය දුනි. අන්තිමේදී ඇමෙරිකාවට පසුගිය අවුරුදු කීපයේ තමන්ගේ සම්බාධක ගෙනයාමට කියුබානු සබඳතා ඇති යුරෝපියානු සමාගම් වලට තර්ජනය කිරීමට පවා සිදු වුනි. මේ සියල්ල හදිසියේ අත්  හැර දැමුවේ පුටින්ගේ ආගමනයත් සමගයි.
එනිසා මේ කළු ඇමෙරිකන් ජනාධිපති හා ලතින් ඇමෙරිකානු පාප්  තුමාගේ කතාව නිකන් ෆේස්බුක්  හිතලුවක් පමණි.
මගේ ඊලඟ  ලිපියෙන් වතිකානය කියුබානු ජනතාව පෝලන්තයේ මෙන් කස්ත්‍රෝට එරෙහිව හැරවිය නොහැකි බව තේරුම් ගැනීමට මා  දන්නා හේතුව මගේ ම අත්දැකීමක් ඇසුරෙන් පැහැදිලි කරමි. ඒ කස්තීයෝ හා එචෙවරියා ආදී මගේ කියුබානු මිතුරු සිසුන් කී දේ ඇසුරුණි.
Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...