නලින් ද සිල්වාට ඌනපූර්ණයක්

ජාතික නිදහස් [යැයි කියාගන්නා] දිනය දා කිෂානි ජයසිංහ නම් වූ ගායිකාව විසින් ගයන ලද ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ ඔපෙරා ශෛලිය පිළිබඳ සාධනීය අදහස් මෙන්ම නිශේධනීය අදහස් ද කුණාටුවක් සේ විසිර යන්නට විය. එම සිදු වීම අළලා කළ ප‍්‍රකාශයක් හේතුවෙන් මෙරට ප‍්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සේවය කළ මාධ්‍යවේදියකුගේ සේවය අත්හිටවා ඇත. මෙම කරුණු පදනම් කරගනිමින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා කාලය නමැති සිය බ්ලොක් අඩවියේ ‘රනිල්, කිෂානි සංඛ හා දන්නෝ බුදුන්ගේ’ නමින් ලිපියක් පළ කර තිබුණි.
දේශපාලනික වශයෙන් පසමිතුරු අදහස් දැරුව ද මෙම ලිපිය ලියන්නේ නලින් ද සිල්වාගේ ලිපියට ඌනපූර්ණයක් වශයෙනි. ඇතැම්විට මෙම ලිපිය ද සංවාදයට භාජනය වීමට ඉඩකඩ තිබිය හැකිය. ඒ සඳහා ද අවකාශ සලසන බව අවධාරණය කරමි.

කිෂානිගේ ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයත් සමඟ නැවත වරක් නූතනවාදී යැයි සිතන පිරිස් සහ සාම්ප‍්‍රදායික යැයි හඳුන්වාදිය හැකි කොන්සර්වේටිව්වාදීන් දෙපිල බෙදී ඇත. කිෂානිගේ ඔපෙරා ආකෘතියේ සංස්කරණය opera Version- වහාම ප‍්‍රගතිශීලී ලෙස අර්ථකථනය කිරීමට නූතනවාදී යැයි හඳුන්වා ගන්නා පිරිස් උත්සාහ කරන විටම සම්ප‍්‍රදාය වෙනුවෙන් පෙනී සිටි ජාතිකවාදී පිරිස් එය පතුරු ගැසීමට පටන්ගෙන ඇත. ජනමාධ්‍ය සේවකයකුගේ වැඩ තහනම් වී ඇති අතර අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ නිකුත් කරන තැනකට ප‍්‍රශ්නය දුරදිග ගොස් ඇත. වෙනත් විදියකින් කිවහොත් යම් ‘සිද්ධියක්’-Event- විසින් ‘සත්‍යය’ -Truth- ගවේෂණය සඳහා අප යොමුකර ඇති අතර ඒ අර්ථයෙන් මතු වී ඇති මෙම කතිකාමය අවකාශය යහපත් එකකි.
එන්රික්ගේ ප‍්‍රසංගයේ දී සිදු වූ පරිදිම යම් ජන සමාජයකට අයිති වස්තුවක් හෝ වටිනාකමක් උල්ලංඝනය වූ බවට වන හඳුනා ගැනීම සමඟ ඉහත කී සංවාදය ඒ මත කේන්ද්‍රගත කිරීම ජාතිකවාදීන්ට දේශපාලනිකව වාසි සහගතය. යම් ඓතිහාසික සංකේතීය බවක් ඇති ගීතයක් වුව ද ඕනෑම ආකාරයකින් සංස්කරණය කළ නොහැකිද යන ප‍්‍රශ්නය සමඟ ‘නූතනවාදීන්’ එයට අභියෝග කරයි. ලාංකික ඉතිහාසය තුළ යම් වැදගත්කමක් ඇති රජවරුන් හුදු චණ්ඞීන් නැත්නම් නාහෙට නාහන මදාවියන් ලෙස හඳුන්වා දීමට තරම් දුරට මෙම ‘නූතනවාදී’ පිරිස් උල්ලංඝණීය – transgression- බව දෙසට ගමන් කරමින් ඇත. ඒ ඔස්සේ ඔවුනට කළ හැකි වී ඇත්තේ පූර්ව නූතන පීතෘත්වය ප‍්‍රකෝප කිරීම පමණි. ඒ තුළින් සමාජයක් ලෙස යා හැකි උපරිම දුර හිස්ටරික දේශපාලන අවකාශයක් හා පරපීඩන, මූලධාර්මික සයිකෝටික අපගමනයකි – return of the repressed.
රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිචාරය මෙම නිශ්චිත සිද්ධිය සම්බන්ධයෙන් ගත්විට ඉතාම නොගැඹුරු තලයක පවතී. මා එසේ පවසන්නේ ඇයි? එයට හේතුව ‘සංස්කෘතික උපරි-ව්‍යුහය’ තුළම ඉස්මතු වී ඇති මෙම පරස්පරතාවය අරභයා පවතින සාම්ප‍්‍රදායික ප‍්‍රතිරෝධය දෘෂ්ටිමය වශයෙන් මැඩපැවැත්වීමට එයට නොහැකි වීමයි. ජාතිවාදය ප‍්‍රතික්ෂේප කිරීමේ දී ඔහු ඉතාම ප‍්‍රගතිශීලී වී ඇති මුත් සංස්කෘතික තලයේ දී ඔහුගේ ස්ථාවරය පවත්නා සංකීර්ණතාවය ‘ප‍්‍රමාණවත් තරම් බරපතළකමකින් ග‍්‍රහණය නොකරනු ලබයි’ .ක‍්‍රීඩාවෙහි ඉත්තන් එහා මෙහා කිරීමේ අදෘශ්‍යමාන ශක්‍යතාව විසින් ශේෂ කරනු ඇත්තේ අනේකත්වයේ වික්ෂේපය -paraoia of the other – වර්ධනය කිරීම හා අනෙකා කුමන්ත‍්‍රණ න්‍යාය – conspiracy theory- වෙත තල්ලූ කිරීම පමණි. මෙය විශ්වීය දේශපාලනයක ලක්ෂණයක් නොවේ.
නූතනත්වය හා සම්ප‍්‍රදාය අතර මතු වී ඇති ඉහත තත්ත්වය සම්බන්ධයෙන් ඉතා වැදගත් නිරීක්ෂණයක් යර්ගන් හබර්මාස් විසින් කරනු ලබයි. ඔහු පවසන්නේ අපගේ ජීවන ලෝකය සබුද්ධිකකරණය කිරීමේ ක‍්‍රියාවලියේ දී නූතනත්වය විසින් සිදු කරන කාර්යය තරම්ම බරපතළ කාර්යයක් සම්ප‍්‍රදාය විසින් ද සිදු කර ඇති බවයි. උදාහරණයක් ලෙස මිනිසා ශිෂ්ට සම්පන්න කිරීමේ කාර්යයේ දී නූතන දර්ශනය විසින් සිදු කරන ලද කාර්යයට පෙරාතුව මිනිසාට ‘හොඳ-නරක’, ‘යහපත-අයහපත’ හා ආචාරධාර්මික බව හඳුන්වා දෙනු ලැබුවේ ආගම විසිනි. අද දවසේ ද මිනිසාගේ ආත්මීය අන්තර්ගතය සකස් වී ඇත්තේ නූතන ඉගැන්වීම්වලට වඩා සාම්ප‍්‍රදායික ආගමික ඉගැන්වීම් මතිනි. එමෙන්ම සම්ප‍්‍රදාය විසින්ම සබුද්ධිකකරණය කරන ලද දැනුම් පද්ධතියක් අප සතු වේ. උදාහරණයක් වශයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව විසින් සුවපත් කිරීමට අසමත් වන රෝගීන්, විශේෂයෙන් අංශභාගයට ලක්වූ ස්නායු ආබාධ සහිත රෝගීන්, සාම්ප‍්‍රදායික සිංහල වෙදකම යොදාගෙන සුවපත් කරන්නේ ඉහත කියන ලද සම්ප‍්‍රදාය විසින්ම සබුද්ධිකකරණය කරන ලද දැනුම විසින්ය. එම සබුද්ධික දැනුම නූතනවාදී රූපකය තුළ සිටිමින්ම අප මිනිසාගේ යහපත වෙනුවෙන් යොදාගත යුතු නොවේද? එම අර්ථයෙන් නූතනවාදීන් හා සාම්ප‍්‍රදායිකවාදීන්ගේ මෙම පරස්පරතාවය තුළම ඇති විරුද්ධාභාෂය අප හඳුනාගත යුතුය.
අද දවසේ සිදු වී ඇත්තේ පෙරදා යටපත් කරන ලද දෙය වර්තමානයේ ඉස්මතු වීමෙනි. නූතනත්වය විසින් [දෙවියන් මරා දමා]මර්දනය කරන ලද සම්ප‍්‍රදාය ’නව පීතෘ මූලිකත්වයක්’ තුළ ඉස්මතු වී සාම්ප‍්‍රදායික සමාජයන්හි අක්මුල් උදුරා දැමූ ධනේශ්වරයේ ප‍්‍රාග්ධනයට විපරීත අයුරකින් අමානුෂික ලෙස ප‍්‍රතිචාර දක්වමින් සිටී. ලාංකික ජාතිවාදය [නැත්නම් බුද්ධිමතුන්ගේ ජාතිකවාදය] ධනවාදයට ප‍්‍රතිචාර දක්වන්නේ සම්ප‍්‍රදායට ආපසු ගමන් කිරීමෙනි. ධනවාදය විසින් මරා දමා ඇති පීතෘ මූලිකත්වය ඔවුන් ණයට ගන්නේ සම්ප‍්‍රදායික අතීතකාමී පසුගමනයෙනි. නමුත් සම්ප‍්‍රදාය විසින්ම සබුද්ධිකකරණය කළ ‘මෛත‍්‍රිය’, ‘කරුණාව’ හා ‘අන්‍යොන්‍ය ගෞරවය’ යන තේමාවන් ඔවුන් තම දේශපාලනයට වැද්ද නොගැනීමට තරම් උඩඟු වී ඇත.
කිෂානිගේ සංවිධායකවරුන් අවධානය යොමු නොකළ කරුණ නම් ලාංකික සංගීත සම්ප‍්‍රදාය තුළ කරන ලද අත්හදා බැලීම්වල සංක්ෂිප්තයයි. අවම වශයෙන් කේමදාස මාස්ටර් මෙවැනි අත්හදා බැලීමක් ජාතික දිනයක සංස්කෘතික උත්සවයක නොකළේ මක්නිසාද? ඔහු සංගීත සම්ප‍්‍රදායන් සම්මිශ‍්‍රණය කළේ කෙසේද? ඔහු විසින් නොකරන ලද දේ කුමක්ද? ‘ඖචිත්‍යය’ යනුවෙන් සම්ප‍්‍රදාය තුළ සබුද්ධික කරනු ලැබ ඇත්තේ කුමක්ද? යන තත්ත්වය කිෂානිට බොහෝ දේ ඉගැන්වීමට හැකියාවක් තිබූ කාරණා විය හැකිව තිබුණි. අප මීටත් වඩා ජනප‍්‍රිය උදාහරණයට යමු. චිත‍්‍රාල් සෝමපාල නම් විශිෂ්ට රොක් සංගීතකරුවා විසින් තම දෙමව්පියන් විසින් ගායනා කළ ‘දඹුලූගලේ’ ගීතය නැවත ගායනා කර ඇත්තේ කෙසේද? ඔපෙරා ආකෘතිය යම් පමණකට හෝ ලාංකික සංස්කෘතිය තුළ ‘අවශෝෂණය’ වී තිබුණ ද [නලින් ද සිල්වාගේ අදහසට අනුව] චිත‍්‍රාල්ගේ දෘඪ රොක් ආර -Hard Rock- කෙසේවත් මීට පෙර හඳුනාගෙන තිබුණේ නැත. නමුත් ඔහු ‘දඹුලූ ගලේ’ ගීතයට ඔහුට සුපුරුදු බැරූඬි හඬ -Rattle voice- රැුගෙන නොඑන අතර විනාශ වෙමින් යන දඹුලූ ගලේ දෘශ්‍ය තත්‍යභාවය – visual authenticity- සම්බන්ධයෙන් වූ ශෝකී පඨිතයක් ගීතයේ මුල් ආකෘතියේ පවතින ප්‍රෞඪ බවට අමතරව රැුගෙන එයි. විශිෂ්ටභාවය යනු එයයි. කොතරම් අදේශපාලනික හා වාණිජ කලාකරුවෙක් වුවද චිත‍්‍රාල් පවත්නා තත්ත්ව ‘උල්ලංඝනය’ කිරීමට උත්සාහ කළේ නැත.
මෙතැන දී සිදු වී ඇත්තේ දේවල් ‘වෙනස්’ කිරීමට ගොස් මීට පෙර සිදු වූ උපුල් ශාන්ත සන්නස්ගල පන්නයේ අමාරුවක කිෂානි ද වැටීමය. එම හිස්ටරික වෙනස විසින් ජාතිකවාදී ආත්මය කුළුගන්වමින් එහි පීතෘමූලික රූපකය ඉල්ලා සිටී. බොහෝ දේවල දී නලින් සමඟ බරපතළ ගැටලූ තිබුණ ද මෙම කාරණයේ දී ඔහුගේ මතුපිට නිරීක්ෂණය සමඟ වෙනස් න්‍යායික තලයක දී, අපි එකඟ වන්නෙමු. නව ලෝකයක් පිළිබඳව උපකල්පනය කළ හැකි එකම ආකෘතිය පවතින්නේ සෞන්දර්යය තුළ බැවින් ද, විමුක්තිවාදී දෘෂ්ටිය තමන් සම්ප‍්‍රදායට ඇති ණයගැතිභාවය සම්බන්ධයෙන් ඉතාම සවිඥානික බැවින් ද, ධනේශ්වර සන්දර්භයක් තුළ ‘ජීවන ලෝකය’ නැවත සංවිධානය කිරීම ඉතාම දුෂ්කර ව්‍යායාමයක් වන හෙයින් ද, කිෂානිට කිව හැකි එකම දෙය ‘වර්තමාන තත්ත්වය’ යැයි අප හඳුනා ගන්නා දෙය ‘උල්ලංඝනයේ විනෝදය’ තුළ විකෘති වී ඇති දෙයක් යන්නය. ධනවාදය විසින් වපුරා ඇති ‘අවිනිශ්චිතභාවය’ තුළ ‘සම්ප‍්‍රදාය හා මූලධාර්මික’ බව නැවත පුනර්ජීවනය ලැබ ඇත. නැවත පණ ගැසූ මූලධර්මවාදය සමාජ නූතනකරණයේ බටහිර හදවත අභියෝගයට ලක් කරයි. දිනෙන් දින අප කරන ‘උල්ලංඝනය’ විසින් නූතනත්වයේ පදනම් ශීඝ‍්‍රයෙන් බිඳ වට්ටමින් පවතී.
‘වාමාංශික දේශපාලනය අසමත් වන්නා වූ සෑම අවකාශයක්ම මූලධර්මවාදය විසින් පුරවා දමනු ලබමින් ඇත.’ – ස්ලෙවොයි ජිජැක්

මහේෂ් හපුගොඩ

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Dear Mahesh, It is so refreshing to read an article written with such a broad perspective and balancing different opinions with proper respect to each of them. This PRECISELY IS how the present antagonism in our country between tradition (that quickly becomes racism)and modernity (worshiping every crap that comes from the West)should be tackled. Well Done Mahesh!

Comments are closed.