[dropcap color=”red”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය ජන අරගල ව්‍යාපාරය ජ.වි.පෙ ට වඩා ප්‍රගතිශීලී මාවතකට පැමිණ ඇති බවත්, ඔවුන් සමග සහයෝගීව පොදු පෙරමුණකට පැමිණෙන ලෙසත් පසුගිය කාලයේ අපෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින ලදී. මාතෘකාව සංකීර්ණ බැවින් අපි පාර්ශ්වීය ආකාරයකට සිදුවීමට ඇතුඵ වෙමු.

ජන අරගල ව්‍යාපාරය අපේ නම සොරකම් කිරීම පිළිබව චෝදනාව දෙසට අපි අවධානය යොමු කරමු.

කොළඹ ජීවත් වන සමහර දේශපාලන මැට්ටන්ට අනුව මෙය අහිංසක සිදුවීමකි: “පෙරටුගාමී‘’ වැනි පොදු නාමයක් කාටවත් “පුද්ගලික‘’ භුක්තියකට ලියා දී නැත. එය ඕනෑම අයෙකුට නිදහසේ පාවිච්චි කිරීමට අයිතිය ඇත. ජන අරගල ව්‍යාපාරය “පෙරටුගාමී‘’ යන නාමය තම පක්ෂයේ නම සදහා යොදා ගැනීම ඉහත අයිතිය අනුව යුක්තිසහගතය. වෛරයේ දේශපාලනය පතුරුවන දීප්තිලා අවංක අරගලකරුවන්ට අයුක්ති සහගත ලෙස කෙනෙහිලිකම් කරයි.

ඉහත ආකාරයේ නරුමවාදියෙකුට භාෂා විශ්වයේ භෞතිකත්වය හා සංකේතනය කළ නොහැකි පසමිතුරුතා නොවැටහෙයි. නරුමවාදියා සොයන්නේ ආත්මීයත්වයෙන් දූෂිත නොවූ පිරිසිදු වාස්තවිකත්වයන්ය. අවම තරමින් ජන අරගල ව්‍යාපාරය වත් එතරම් තකතීරු නැත.

අපට අනුව මෙම නම උපුටා ගැනීම තක්කඩි වැඩකි. මෙය ජන අරගල ව්‍යාපාරයේ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම “හොදින්“ ගණනය කර තැබූ පියවරකි. මීට කුමාර් මහත්තයා ද සෘජුවම සම්බන්ධය. කුමාර් මහත්තයා යනු ප්‍රායෝගික දේශපාලනයේ දී දේශපාලන නරුමවාදියෙකි (political cynic). වර්ෂ 1990 න් පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අවස්ථාවාදයේ ප්‍රමුඛ නිර්මාපකයෙක් ලෙස ඔහුගේ භූමිකාව 2009 දී දෙමළ ජනයා මුහුණ දුන් මහා විනාශය  මත පැහැදිලි මුද්‍රාවක් තබා ඇත. විප්ලවාදියෙකු ලෙස ඔහු අවංකය. නමුත් සත්‍යවාදී නැත. එනිසාම ඔහු මාක්ස්මය අර්ථයකින් විපර්යාසකාරක නැති අතර බල කේන්ද්‍රීය අවස්ථාවාදයට උපන්ගෙයි නැඹුරුතාවයක් දක්වයි. මෙය ඔහුගේ දේශපාලන භාවිතාවේ සියලු පැතිකඩයන් සිසාරා විහිද යයි.

උදාහරණයක් ලෙස ඔහු පක්ෂයේ ක්‍රියාධරයන් ලවා සගරාවක් මුද්‍රණය කරවන්නේ එමගින් උපක්‍රමික වාසියක් හා බලයක් අත්පත් කර ගැනීම තකා අනෙකුන්ගේ ඇස් ඉලක්ක කර ගෙනය. එසේ නොමැතිව ලියවෙන දෙයෙහි හරය හා සත්‍යය මගින් සමාජ දේහය මත ඇති කරන දිගුකාලීන සටන්කාමී ගුණාත්මක විපර්යාසයන් තකා නොවේ. ඔහුගේ චරිතයේ ආවේණික ආකර්ෂණීයත්වය හා බලපෑම් සහගත බව මීට සංකලනය වූ විට විප්ලවවාදී වැඩ කටයුතුවල නිර්ණායකයන් අනුව ගත් කළ සමාජ දේහය මත ඇති කරන හානිය  මහත්ය. ඔහු අතින් විප්ලවාදී දේශපාලනය හැම විටම චෙස් ක්‍රීඩාවක් දක්වා ඌනනය වෙයි. ඔහුගේ සමාජ භාවිතාවයේ  රැඩිකල් වෙනසක් සිදු නොවුණහොත්, සමාජය කෙරෙහි වන ඔහුගේ අතිමහත් කැපවීමට කවදා හෝ දේශපාලනිකව වර්ධනය වීමට හැකි උපරිම දුර විය හැක්කේ ඉවරයක් නැති භූ දේශපාලනික දාම් පෙතක අතරමං වීම පමණි.

කුමාර් සහ ඔහුගේ ගෝලයන්ගේ ගණන් බැලීම කෙබදු ද?

දේශපාලන වැඩ කටයුතු වලදී කුමාර් අධි-සංවේදී කලාපය වන්නේ බලවේග සහ ඒවා අතර ගැටුම්, ප්‍රතිවිරෝධතා ක්ෂේත්‍රයයි. වර්ෂ 2000 පමණ වන විටත් X කණ්ඩායමේ දේශපාලනයට හා එහි කතිකාවට තරුණ ජනයා දේශපාලනය කරා ආචරණය කිරීමෙහිලා ඇති  ශක්‍යතාවය ගැන කුමාර් විමසිලිමත්ය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අවකාශය X දේශපාලනය නිසා හැකිලී යාමේ විභවාත්මක තර්ජනය ගැන ඔහු දැනුවත්ය. 2004 දෙසැම්බර් සිදුවීමෙන් පසු සංවිධානයෙන් ඉවත් කළ කණ්ඩායම (අමාරිස් කණ්ඩායම) මුණගැසීමට ජ.වි.පෙ ශිෂ්‍ය සංගම් කණ්ඩායමක් මහරගම ග්‍රැන්බර්ග් වත්තේ ‘රහසිගත කදවුර’ ට එව්වේ අහම්බයකින් නොවේ. පාවාදීම, දේශපාලනික ප්‍රතිගාමීත්වය යනාදිය ගැන වන වාමාංශික මිනුම් දඩු සමග කුමාර් අනන්‍ය නැත. ඒ නිසාම අමාරිස් කණ්ඩායම ගැන කුමාර්ට අපුලක් ද නැත. බාහු සහ සමාජවාදී සමානතා පක්ෂය හැරුණු විට ස්ටැලින්වාදී ප්‍රැට්‍රික් ප්‍රනාන්දුගේ සිට ට්‍රොට්ස්කිවාදී ගම්ලත් දක්වා වාමාංශිකයන් “මධ්‍යම පාන්තික පබාගේ “ තට්ටම හා අමාරිස්ගේ විශ්ව විද්‍යාල ආචාර්ය පට්ටම නව ලෝකයක් උදෙසා අරුණඵ උදා කරන ප්‍රගතිශීලීත්වයේ අනම්‍ය මිනුම් දඩු බවට පත් කර ගත්තේ මේ කාලයේදීය. කුමාර්ගේ ගරුත්වය උදෙසා සටහන් කර තැබිය යුතු දෙය නම්, එතැනදීත් ඔහු ප්‍රැට්‍රික් හෝ ගම්ලත් තරම් ග්‍රාම්‍ය නොවූ බවය. බොහෝ දේ කෙරෙහි වන ඔහුගේ උපහාසාත්මක සිනහව එතැනදීත් ඔහුව ගලවා ගත්තා විය හැකිය. (වැරදුණේ කොතැනදැයි අපත් නොදන්නා මුත් කුමාර් දැනගත යුතු කාරණය වන්නේ, අපගේ නිරීක්ෂණ වලට අනුව, උදුල් සිට පුබුදු ජයගොඩ දක්වා වන ඔහුගේ ගෝලයන්, හරි හෝ වැරදි හෝ වේවා ජීවිත කාලයක් ප්‍රතිපත්තිගරුකව සටන් වැදුණ බාහුව එතරම් ගණන් නොගන්නා අතරේ, යාපනයට ගොස් එනතුරුවත් එක අරමුණක් තියාගනීවි යැයි තම බිරිද විසින් පවා විශ්වාස නොකරන අමාරිස් අයියාව දුටු විට හිදගෙන සිටින අසුන්වලින් ඇඹරෙමින් නැගිටින බවයි.)

‘’සර්යා“ සගරාව කරළියට එන්නේ ඊට පසුවය. “සර්යා“ සගරාව හරහා කුමාර් පෙරමුණු දෙකක සටන් කළේය. එක පසෙකින් ජ.වි.පෙ ඇතුළතට පීඩනයක් යෙදීම ඉලක්ක කළ අතර, අනෙක් පසින් X පක්ෂයේ කතිකාව ප්‍රති-අවශෝෂණය කිරීම මගින් X පක්ෂය වටා ගොඩනැගෙන දේශපාලන බලය පාලනය කළ හැකි මට්ටමකට තුලනය කිරීමට අපේක්ෂා කළේය. එකල මව්බ්ම පත්තරය සමග බෙදා හැරි X පක්ෂය විසින් ප්‍රකාශයට පත්කල AK-47 අතිරේකය රට පුරා අත්පත් කර ගත් ජනප්‍රියතාවය ඉක්මන් ප්‍රතික්‍රියාවක් සදහා කුමාර් මහත්තයාව උත්තේජනය කළේය. මේ සන්දර්භය තුළ X හි සුළගක් වැදුණු අයෙක් පවා වටිනාකමක් අත්පත් කර ගත්තේය. X පක්ෂයට පෙරළා පහර දෙන සගරාවක් කළ හැකි ජගතෙකු සොයා පුබුදු ජයගොඩ හෙවත් ලසිත් අයියා රටපුරා කාල් ගෑවේ දිගුකාලීන හිසරදයකින් මිදෙන්නටය. ඒ කාලයේ පුබුදු ජයගොඩ, විපරිත ටින් ටින් කොලුවා සහ තවත් අය හමුවන්නට ආවේ ගියේ ඔවුන් හෝ යොදවා X පක්ෂය හීලෑ කළ හැකි දැයි සොයා බැලීමටය. 2008 දී පමණ විමල් වීරවංශ බෝම්බය පිපිරුණු පසු වෙනත් වැඩ ප්‍රමුඛ වීම නිසා අවුරුදු දෙක තුනක් කාර්ය බහුලව ගතවිය.

2011 දී ජ.වි.පෙ හි බලය අත්පත් කර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයෙන් පසු ජන අරගල ව්‍යාපාරය ආරම්භ වීමෙන් ලාංකීය දේශපාලන සිතියම නව ආකාරයකට ප්‍රති-ව්‍යුහගත කෙරුණි. අපේ ප්‍රස්තුත ගැටලුවේ වර්තමාන සන්දර්භය බිහිවුණේ ඉහත නිමේෂයට පසුවය. (සමහර තකතීරුවන් සිතන ආකාරයට එය දීප්ති සාදු විසින් සොයාගත් නාභිය ගැන අවධානය යොමු කිරීමේ නව භාවනා ක්‍රමයකින් පැන නැගුණක් නොව, සත්‍ය ව්‍යවහාරික සමාජ ජීවිතයේ ප්‍රතිවිරෝධයන් මගින් බිහිවුණු සන්දර්භයකි.)

අපේ ප්‍රස්තුත ගැටලුවට අදාළව ගත්විට ජ.වි.පෙ හි පූර්ණ කාලීන කේඩරයෙන් විශාල කොටසක් අවශෝෂණය කරගත් ජන අරගල ව්‍යාපාරය මුහුණ දුන් මූලික අභියෝග දෙකක් ලකුණු කරන්නට දැන් අපට පුලුවන.

 01-   ජ.වි.පෙ ට එරෙහිව නව දේශපාලන අනන්‍යතාවක් හා දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කිරීම:

ජ.වි.පෙන් කැඩී ආ කේඩරය අතර සංඝත ඒකාග්‍රකරණයක් රදවා ගැනීමටත්, ජ.වි.පෙ හි පැවැත්ම ඉතිහාසය තුළ අයුක්ති සහගත කිරීමටත් මෙය අත්‍යාවශ්‍යකය.

02-   තෙවන දේශපාලන අවකාශයක් සදහා සටන් කිරීමේ දී තමන්ට අතිශයින්ම බාධාකාරී විය හැකි බලවේගයක් වන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය (කලින් X පක්ෂය):

-එක්කෝ දේශපාලනිකව බලපෑම් සහගත නොවන කුඩා හැදෑරීම් කවයක මට්ටමේ දීර්ඝකාලීනව  සිරකොට තැබීම.

– නැත්තම් විනාශ කිරීම

මෙවන් තැන් හිදී කුමාර් ක්‍රියාකරන ආකාරය වටහා ගැනීමට අයෙකුට මෑත අතීතය නැවත සිහිපත් කර ගැනීම පමණක් වුවද සෑහේ .

තම ජාතික විමුක්තිය උදෙසා සිංහල ජනයා මත පරායත්ත නොවන ශක්තිමත් දෙමළ සටන්කාමී ව්‍යාපාරයක් (L.T.T.E ය) පැවතීම ජනතා විමුක්ති පෙරමුණේ අනාගත දේශපාලන ව්‍යාපෘතිය තුළදී බාධාවක් ලෙස සැලකුණු අතර , තම ව්‍යාපාරයම දෙවරක් මර්ධනයට ලක් කළ රජයේ හමුදාවන්ට මානෙල් මල් පලදවමින් එම හමුදාවම ලවා අදාල දෙමළ ව්‍යාපාරය කුඩු පට්ටම් කරවීමට කුමාර් දෙවරක් කල්පනා කලේ නැත. ඔහු සෘජුය. සරළය.

 ‘‘ විප්ලවය කරන්නට කටිටි ගොඩක් අවශ්‍ය නැහැ. අපි හිටියම ඇති.’’

ඉතිහාසයේ රෝදය කරකවන්නේ නරක විසින් බව ඔහුට එතරම් ප්‍රත්‍යක්ෂය.

 ‘‘ මම දෙමළ වුණා වුනත් L.T.T.E  එක ඉවර කරන්න ඕනේ.’’

කුමාර් රෝ ඒජන්තයෙකු බවට විමල් වීරවංශගේ හිස තුළ භ්‍රාන්ති පහළ වීම ගැන අයෙක් පුදුම විය යුතු නැත. තමා තවත් අයෙකු ගේ දාම් පෙතක ඉත්තෙක් බව වටහා ගැනීමට සිදුවීම මනුෂ්‍ය ආත්මයකට කෙතරම් නම් වේදනාකාරීද?

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට එරෙහිව පවත්වා ගත යුතු ජන අරගල ව්‍යාපාරයේ ස්ථානගතය ගැන එම ව්‍යාපාරයම ස්වයං-උභතෝකෝටිකයක පැටලී ඇත. (මේ උභතෝකෝටිකය අද දක්වාමත් නොවිසදී පවතී. ජන අරගලයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා දඵ ලා වැඩෙන විට අප සම්බන්ධයෙන් වන මෙම උභතෝකෝටිකය එම ප්‍රතිවිරෝධයන් ගේ අභ්‍යන්තර හැඩරටා වල වෙස් ගනිමින් ඒවා කරා ප්‍රති-අවශෝෂණය කරගනු ඇත.)

එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමට කුමාර් මහත්තයා සහ කණ්ඩායම තීරණය කරන්නේ ඉහත සන්දර්භය තුළය.

කුමාර්ගේ විශ්වය තුළ තම අවම පැවැත්ම, නැතහොත් යන්තමින් වැටෙන හුස්ම පොද රදවා ගැනීමත්, උපරිම, පූර්ණ විකසිත ආක්‍රමණශීලී දේශපාලන ක්‍රියාකාරීත්වයත් එක මත අතිපිහිතය. ඉහත ගැටඵ දෙකට  ඔහුගේ විසදුම අපූරුය:

01-   ‘පෙරටුගාමී’ යන නම සිය පක්ෂයේ නමට ඈදා ගැනීම:

ඉලක්කය කරා වේගයෙන් ඇදී යන අශ්වයෙකු සේ ඔහු මුල් වටය ජයගෙන ඇත. මිරිහාන පොලීසිය පවා පක්ෂ දෙකේ නම් පටලවා ගෙන ඇත. මාධ්‍ය මගින් පක්ෂ දෙකම ජනප්‍රිය ආකාරයට හදුන්වන්නේ ‘පෙරටුගාමී පක්ෂය’ කියාය. කුමාර් මහත්තයා, අපෙන් පළිගෙන, අපේ නම අකා මකා දැමීමේ සියුම් සතුට බෝනස් එකක් ලෙස මාධ්‍යවේදීන්ට ලබා දී ඇත. තල්මසුන් අස්සේ හාල්මැස්සන් අතුරුදන් කිරීමේ නව තාක්ෂණයක් ඔහු හදුන්වා දී ඇත.

අලි මදිවට හරක් කීවා සේ පක්ෂ දෙකේ නායකයන් ගේ නම් දෙක ද එක වාගේය. එක පෙරටුගාමී පක්ෂයක නායකයා දීප්ති කුමාර ගුණරත්නය. අනෙක් පෙරටුගාමී පක්ෂයේ නායකයා ප්‍රේමකුමාර් ගුණරත්නම්ය. නමුත් බහුලව යොදන්නේ කුමාර් ගුණරත්නම් කියාය. අපට හමු වන මිනිසුන් අපෙන් අසන්නේ “ ඕගොල්ලන්ගේ ලොක්කා ඔස්ට්‍රේලියාවට පැන්නා නේද කියාය“. හාස්‍යය පිරි  ජීවිතයක් ගෙවන කුමාර් විසින් ඛේදජනක සිදුවීම්වලින් ගහන රටකට ඉල ඇදෙන විහිලුවක් ලබා දී ඇත. දීප්ති කතා කරන වීඩියෝ පට අධ්‍යයනය කිරීමට අවුරුදු කිහිපයකට පෙර වෙන් කළ කාලය අපතේ ගියා කියා සිතීමට හේතුවක් නැත. කවුරු කාගෙන් කොපි කරනවා දැයි කාටවත් සොයා ගන්නට බැරිය. කුමාර් ඉදිරිපත් කරන දේශපාලනික-දාර්ශණික ගැටලුව වන්නේ සදාචාරයක් නැති රටකට මුල් පිටපත බම්බු ගහන්න දැයි යන්නය.

02-   X කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දක්වා දිවෙන ප්‍රවාහයේ කතිකාමය සංඝටක ක්‍රමානුකූලව ජන අරගල ව්‍යාපාරයට අවශෝෂණය කර ගැනීම:

මේ සම්බන්ධයෙන් මුල් වටයේ දී ඔහු මූහුණ වල් පාට කර උද්ඝෝෂණ කිරීම, බැලුම් එල්ලා උඩ යැවීම, අවිඥානය, පශ්චාත්-නූතනවාදය, දෘෂ්ටිවාදය, වියමන, දෙවන වර කියවීම, life style politics වැනි (තේරුම නිවැරදිව නොදන්නා) වචන නිතර කතා කිරීම යනාදියේ සීමාවේ රැදී සිටියි. ජනරළ වැනි පක්ෂයේ ප්‍රකාශන ද මේ සදහා යොදා ගනියි. කලා සංගම් ද, තරුණ සංගම් ද, ශිෂ්‍ය සංගම් කටයුතු ද මේ අරමුණ ඉටුවන ආකාරයට හසුරුවයි. X දේශපාලනයෙන් ඉවත්ව ඒ සමග එදිරිවාදී කමක් සහිතව කටයුතු කරන පුද්ගලයන්ව ලියන්නට, වේදිකාවල කතා කරන්නට හයර් කරන්නේ (outsourcing) ඉහත සන්දර්භය තුළය.

මෙහිදී තම ගෝලයන්ට X කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දක්වා දිවෙන X කතිකාව පුහුණු කළ යුතුය. මෙතනදී උභතෝකෝටිකයක් ඇත: X කතිකාව ඒ ආකාරයෙන්ම අවශෝෂණය කර ගන්නවාද? එසේ නැතිනම් පළමු පියවරේ දී එය අවශෝෂණය කර ගෙන ඒ සමගම ඊට පහර දිය හැකි තමාගේම භාෂාවක් දියුණු කරනවා ද?

කුමාර් මෙතනදී ද අයෙකුට දරාගත නොහැකි තරම් සරළය. ‘‘ වැඩේ වෙනවා නම් මොක කලත් කම් නැත.’’

ජනරළ පුවත්පතෙහි සහ විවිධ වෙබි අඩවි වල හැලප සාමුහිකයේ ලිපි සදහා විශාල ඉඩක් වෙන් කරන්නේත්, පුබුදු ජයගොඩ වෙනත් නම් වලින් ඊට පිළිතුරු ලියන්නට පුහුණු වන්නේත් ඒ අනුවය. පුබුදු ගේ පිළිතුරු ඊට ප්‍රමාණවත් නොවූ විට ලිපි ලියන්නට හැකි අය සොයමින් රට වටා දුවන්නට සිදු වන්නේත් ඒ අනුවමය. කවදාවත් පිළිවෙලට කිසිවක් ඉගෙන නොගත්, රැකියාවකට ගියහොත් තමා සූරා කැවෙනවා යැයි කියා ගෙදරට වී දෙමාපියන්ව සූරාකමින් සිටින ගොඩේ බයියා විහිඵවට ලියන ලිපි වලට පිළිතුරු දීමට රටේ කැරළි දෙකක් මෙහෙය වූ පක්ෂයක තට්ටය පවා පෑදී ඇති නායකයන් ඇඹරෙනවා දකින විට සිහිය විකල් වන්නේ අපටය. 1990 ගනන් දක්වාත් දේශපාලනය ගැන පරිචයක් ඇති අයෙකුට තමා අවට ලෝකය මැනීමට ඛණ්ඩාංක සහ මිනුම් දඩු වලින් සමන්විත විධිමත් සංජානන සිතියමක් තිබුණු බව අපට මතකය. අප දැන් දන්නා එකම දෙය නම් අප කිසිවෙක් නොදන්නා මොහොතක බොහෝ දෙනෙකුට අදාලව එය අතුරුදහන් වී ඇති බව පමණි.

කුමාර් ගේ ගෝලයන් පුහුණු කිරීම සදහා ඩමි විදිහට පාවිච්චි වුණ අය ගැන අප බැරෑරුම් විදිහට සැලකිය යුතුද? පිළිතුර ඇත්තේ කුමාර් ගේ ඊළග පියවර තුළය.

03-   ලීවර තාක්ෂණයට අනුව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය සමග වෛර බැදගත් පැරා-දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් උඩ යැවීම නොහොත්    ඌරාගේ ඇගේ මාඵ ඌරාගේම ඇගේ තියා කැපීම:

මේ සදහා අතරමැදියන් ලෙස පුබුදු ජයගොඩ ඇතුඵ පිරිසක් යොදවා ඇති අතර X කණ්ඩායමෙන් වෙන්ව ගිය අය ප්‍රධාන ඉලක්කයක් වේ. මේ මැරතන් තරගය දිවීම සදහා තරගකරුවන් විශාල පිරිසක් සූදානමින් සිටියි. මෙය තර්කානුකූලව කාලයක් තිස්සේ කරගෙන ආ ක්‍රීඩාවකි.

ජනරළ පුවත් පතේ දේශපාලන සාකච්ඡා, කලා සංවාද, පක්ෂයට හැසිරවිය හැකි ප්‍රකාශනවල පිටු, මැයි දින හා වමේ සංවාදවල බහුජන වේදිකා යනාදියේ ඉඩකඩ නිර්ලෝභීව මැරතන් ධාවකයන් වෙනුවෙන් වෙන් කරන්නේ ඒ අනුවය. එක පසෙකින් තම අඵත් පක්ෂයේ සාමාජිකයන්ට දේශපාලන වැඩසටහනක් හා හුස්ම ගැනීමේ කතිකාමය අවකාශයක් නිර්මාණය කෙරෙන අතර ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලන අවකාශය බලපෑම් සහගත ලෙස හැකිලවීම එයින් ඉෂ්ට සිද්ධ වෙන බවට ඔවුන් විශ්වාස කරයි. ගොඩේ බයියාගේ සිට කන්නා දක්වා අය පසුගිය කාලයේ චණ්ඩින් වූයේ ඉහත සන්දර්භය තුළය.

තමන් දීප්ති ගැන සහ ඔහුගේ රහස් ගැන දන්නා බවක් ඇගවීමත්, X කණ්ඩායමේ වදන් උච්චාරණය කිරීමේ තම හැකියාවත්, ඉංග්‍රීසි මුල් කෘති කියවා ඇති බව ඔප්පු කිරීමත් මගින් පුබුදු ජයගොඩගේ දෑස් නිලංකාර කෙරනු ඇති බවට ඔවුන් නිවැරදිව අනුමාන කළ අතර, සවස් කාලයේ දී  තම  නව අනන්‍යතාවය දෙස බලා ලබන  නිරාමිස සතුටත්, ජාතික දේශපාලන ප්‍රපංචයක් සමග මුල් වතාවට ගනුදෙනු කිරීමේ අවස්ථාව හා ඊට උපක්‍රමික උපදෙස් දීමේ අවස්ථාව මගින් අත්විදින ජොලියත්, වන්දිය ලෙස පෙරළා ලබයි. (අයෙකුට පුබුදු ජයගොඩ මහතා වෙනුවෙන් දැක්විය හැකි වඩාත් කාරුණික අභිනය වනු ඇත්තේ බොස්ටන් මැරතන් ධාවන තරගය ඔහුට මතක් කරදීම විය හැක.)

කුමාර්ගේ පියවර තුනේ ඉහත විසදුම සාර්ථක කර ගත හැකි බවට ඔහු මෙතරම් විශ්වාස කරන්නේ මන්ද?

X කණ්ඩායම කාලයේ X කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ජ.වි.පෙ නිල උපාය වූයේ ‘නොතකා හැරීම මගින් අහෝසි වන්නට හැරීම’යි. එම උපාය තවදුරටත් රදවා ගන්නා අතරේම 2011 දී කුමාර් මහත්තයා වඩා ආක්‍රමණශීලී අඵත් පියවරක් තැබුවේය.

ජ.වි.පෙ සම්ප්‍රදාය තුළ දීර්ඝ කාලයක් ගොඩනැගුණු රටපුරා විහිද ඇති සමාජ සම්බන්ධතා ජාලයේ ශක්තිය, දිගු කාලීනව වෙහෙසකර සමාජ වැඩ කටයුතු වලට පුහුණු වූ, අත්දැකීම්වලින් පොහොසත් පූර්ණ කාලීන හා විභවාත්මකව පූර්ණකාලීන මිනිස් සම්පත, අවශ්‍ය මොහොතක ළගාවිය හැකි මට්ටමේ පවතින ද්‍රව්‍යමය සම්පත්වල පරිමාව හා ජාත්‍යන්තර සබදතා ජාලය යනාදිය මත ඔහු ඔට්ටු තබා ඇති බවට අපට සාධාරණව උපකල්පනය කළ හැකිය.

ඉහත මොන පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දුර්වලය යන කාරණය ඔහුට ප්‍රත්‍යක්ෂයය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය යනු දීප්ති නැමති කැරිස්මැටික නායකයා වටා එකතු වී ඔහුට හුරේ දමමින් bookmark  විකුණන හා පොත්පත් කියවා වෙබ් අඩවි සහ සගරා පත පොත පල කරන කුඩා කල්ලියක්ය යන අදහසට කොළඹ අහස පුරා තටු ලැබෙන්නේ ඉහත සන්දර්භය තුළය. ඒ බව යළි යළි ඔප්පු කරන්නට වලිකන වාචාලයන්ට පුබුදු ජයගොඩ ආශාවෙන් බැදෙන්නේ ඒ නිසාය. පුබුදුගේ හෝ චමීරගේ ආශාව කුමාර්ගේ උපක්‍රමික ප්‍රවේශයේ සන්දර්භය හරහා යුක්ති සහගත බවක් අත්පත් කරගෙන ඇත.

හෙමින් කතා කරන, තැන්පත් විප්ලවවාදියෙකුගේ පෙනුමක් සහිත චමීර කොස්වත්තගෙන්, වරක්, පෙරටුගාමී නම හොරකම් කළේ ඇයි දැයි එතෙක් ඔවුන්ට හිතවත්ව සිටි අයෙක් ඇසූ විට චමීරගේ පිළිතුර පහත පරිදිය:

          පිළිතුරේ පළමු කොටස – දීප්තිලා දේශපාලනය කරන කට්ටියක් නෙවෙයි.

වැඩි දුර ප්‍රශ්ණ කල පසු,

          දෙවන කොටස – අපිට කැමති නමක් අපිට දා ගන්න පුලුවන්. කාටද ඒකේ ප්‍රශ්ණයක් තියෙන්නේ?

චමීරගේ චරිතය දන්නා අයෙකුට මේ පිළිතුර බොහෝ හැගවුම් ජනිත කරයි. චන්ඩියෙක් වනවාට අමතරව දශක එක හමාරක් රටේ දේශපාලනය කළ සංවිධානයක් දේශපාලන සංවිධානයක් නොවේ කියන්නට තරම් අධිෂ්ඨානයක් ඔහු සතුය. කපුවා හිටගෙන කරන විට ගෝලයන් දුව දුවා කරන්නේ එලෙසය.

පක්ෂයේ නම ගැනීම ගැන ඇසූ විට වරක් උදුල් පවසා තිබුනේ සියඵ දෙනාට shock therapy එකක් දෙන්නට එසේ කළ බවය. ඒ ඔහුට ලෝකය වැටහෙන ආකාරයයි.

සාධාරණව හිතන පතන, ‘ශිෂ්ට’ සගයින්ට ද කුමාර්ලාගේ විශ්වය තුළ තර්කනයක් ඇත: ‘’දීප්තිලා පොල් කඩනවා,අපි පොල් ඇහිදිනවා’’.

කුමාර් අපිට හොද වෙට්ටුවක් දමා ඇත. මේ දිනවල නේපාලයේ මාවෝවාදීන්ට සතුරු ප්‍රතිවිරෝධතා සහ මිතුරු ප්‍රතිවිරෝධතා අතර වෙනස ගැන දේශන මාලාවක් පවත්වමින් සිටින, අප කවුරුත් හොදින් හදුනන ජයම්පතීගේ මනසට වඩා කුමාර්ගේ මනස  සංකීර්ණ බව කෙනෙක් පිළිගත යුතුය.

නමුත් වෙට්ටුව සදාචාරාත්මක නැත. එවැනි අජූව ක්‍රියා ඓතිහාසික විප්ලවවාදී සම්ප්‍රදාය තුළ හෙලා දැකීමට තුඩු දෙන වග ද කුමාර් දනී. නමුත් කුමාර් යනු ‘අවසාන ප්‍රතිඵලය මගින් ඒ කරා වූ මාර්ගය යුක්ති සහගත වන බව’ තදින් අදහන අයෙකි. නමුත් ‘මාර්ගයේ’ ගුණාත්මකය විසින් නිල වශයෙන් ප්‍රකාශිත අවසන් අරමුණ නාට්‍යානුසාරීව අපගමනය කරන බවත්, සමාජ ක්‍රමයක ව්‍යුහය අවසන් අණුව දක්වා විපර්යාස කිරීම තමාගේ චින්තනයට වඩා අතිශයින්ම සංකීර්ණ බවත්, ප්‍රපංචයක අභ්‍යන්තර ගතිකතා සංකීර්ණව හදාරන්නට උනන්දුවක් නැති ඔහු නොදනී. 20 වන සියවසේ විප්ලවවාදී ව්‍යාපාරවල අසාර්ථකත්වයේ අභිරහස හැදෑරීම වැනි බරපතල, අත්‍යාවශ්‍යයික කටයුතු ඔහුට අනුව අනවශ්‍ය දුක් කම්කටොලු ගොඩ ගසන පණ්ඩිතමානී ක්‍රියාවන් වන බවක් බාහිරට දෘෂ්‍යමානය.

ප්‍රතිඵලය ලෙස ඔහුට අපේ නම උච්ඡාරණය කරන්නට බැරිය. අපේ සමාජ-දේශපාලන වැඩ කටයුතු ඔහු කෙරේ කෙතරම් බලපෑම් සහගත වුව ද තවමත් ඔහුට අපේ නම ප්‍රසිද්ධියේ කියන්නට බැරිය. ඔහුට අපේ නම කියවිය හැක්කේ එහි ‘අයථා ලෙස පරිහරණය කරනු ලබන ස්වරූපයෙන්’ පමණි.

එනම් ‘’පෙරටුගාමී සමාජවාදී පක්ෂය’’ ලෙසය.

දශක තුනක් විහිද යන කුමාර්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ අවසන් දශක දෙක තුළ ඔහු විප්ලවවාදී උපක්‍රමිකයෙකුගේ බලපෑම් සහගත භූමිකාව නියෝජනය කළේය. අයෙක් මෙය වටහා ගැනීම සදහා දෙමළ ජනයාගේ ජාතික විමුක්ති අරගල ව්‍යාපාරයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හැසිරීම විධිමත්ව හැදෑරීම ප්‍රමාණවත්ය.

වරක් එක්තරා පුද්ගලයෙක් හාවුන් ඇල්ලීම සදහා අපූරු ක්‍රමවේදයක් යෝජනා කළේය.

            හාවුන් දඩයමේ යන්නා මුලින්ම හොද උදුපියලිය පිට්ටනියක් තෝරාගත යුතුය.

දෙවනුව එය සද පායා ඇති රාත්‍රියක් විය යුතුය.

ඉන්පසුව උදුපියලිය පිට්ටනිය මැද කලු ගලක් තබා ඒ වටා ගම්මිරිස් කුඩු යහමින් ඉස පදුරකට මුවා වී බලා සිටිය යුතුය.

දැන් හාවුන් රංචුවක් පැමිණෙනු ඇත. හාවුන් ටිකෙන් ටික උදුපියලිය කමින් කලුගල කිට්ටුවට පැමිණෙයි.

උදුපියලිය මත ඇති ගම්මිරිස් නිසා හාවුන්ට ‘හච්චිං’ යාමට පටන් ගනී. ‘හච්චිං’ යන විට හාවුන්ගේ ඔලුව කලු ගලේ වැදෙන අතර, ඒ මගින් හාවුන් සිහි මුර්ජා වී වැටෙනු ඇත.

මේ දක්වා පදුරකට මුවා වී බලා සිටි දඩයක්කරුගේ මොහොත මෙයයි. ඔහුට දැන් සිහි නැතිව බිම වැටී සිටින හාවුන්ගේ කන් කෙටිවලින් අල්ලා තමන්ට කැමති දෙයක් කල හැකිය.

ඉහත කතාව අසන අයෙකුට සිනහා යන්නේ මන්ද?

කොටින්ම ඉහත කතාව විහිඵ කතාවක් වන්නේ මන්ද? ක්ෂණිකව නැගෙන සිනහව පසෙක තබා බැරෑරුම් ලෙස එම කතාවේ පියවර පරීක්ෂා කලොත් එහි කිසි වැරැද්දක් නැති බව පෙනේ. කතාව ඇත්ත නම් තවමත් ශිෂ්ඨාචාරය තුළ හාවුන් ඇල්ලීම මෙතරම් දුෂ්කර අභ්‍යාසයක්ව ඇත්තේ මන්ද?

කුමාර් ඔහුගේ විරුද්ධවාදීන් බොහෝ දෙනෙකුට හා ඔහුට බලෙන් කඩේ යන උදවියට වඩා සංකීර්ණ චින්තනයක් සහිත මිනිසෙකි. ඔහුගේ උපායන් ඔහු ගැන නොදන්නා බොහෝ දෙනාගේ ඉරණම තීන්දු කරන තරම් බලවත්ය. ඇති එකම ගැටලුව නම් එක්කෝ හද පායා නැත; එක්කෝ හාවුන් පැමිණ නැත; එක්කෝ හාවාට ‘හච්චිං’ එක යන්නේ නැත; එක්කෝ ඔලුව ගලේ වදින්නේ නැත.

දෙමලුන් දහස් ගණනක් මරා තබා සිංහලයන් කිරිබත් කන්නේ එනිසාය. එකම කුඩා දූපතේ එක අන්තයක වාර්ගික විනාශයක් ක්‍රමානුකූලව සිදුවෙමින් පවතින විටක එම දූපතේම අනෙක් කොනේ ජනයා හාංකවිසියක් නැතිව ජීවත් වන්නේ එනිසාය. උපායන් පසෙක තිබියේවා! කුමාර් පණ බේරාගත්තේ ද අනූනවයෙනි.

එල්ටීටීඊය විනාශ කර දෙමළ ජනයා සංවිධානය කර විප්ලවය කරන්නට හැදූ උපාය දින කිහිපයක් තුළ විශාල සංහාරයකින් අවසන් විය. සංවිධානය කරන්නට දෙමළ සමාජයක් නැතිවා පමණක් නොව ඒ ප්‍රදේශය ඔහුගේ පක්ෂයටම තහනම් කලාපයක් කර ඇත.

එක අතකින් උපක්‍රමික ජාතිවාදය පිළිබද සෙල්ලම අහවර වූයේ  පක්ෂයේ දේශපාලන මණ්ඩලයම බැරෑරුම් ජාතිවාදීන් කිරීමෙන් අනතුරුව වන අතර අනෙක් අතින් දෙමළ ජන සමාජය ඉතා ගැඹුරින් ලාංකීය සමාජ දේහයෙන් වෙන් කොට, ඈත් කිරීමෙන් පසුවය. ඇතිව ඇති තුවාල බොහෝ ගැඹුරට විහිදී ඇති අතර එකට අරගල කිරීම තබා එක රටක ජීවත් වීමට තිබූ අවම ඉඩ ප්‍රස්ථාව පවා අහිමි වෙමින් ඇත. අනාගත දිනෙක ඊශ්‍රායලය ඉදිරියේ පලස්තීන ජනයාට සිදුවෙමින් පවතින දෙය දෙමළා ඉදිරියේ සිංහලයාට සිදු නොවනවා යන්න ගැන සහතිකයක් ද නැත.

ලෙනින්වාදී දෘෂ්ටි කෝණයකින් නැරඹූ විට කුමාර්ගේ භාවිතාවේ ගැටලුව වන්නේ කිසිවිටෙක හාවාට ‘හච්චිං’ එක නොයාමයි.

උදාහරණයකට ලීවර සෙල්ලම මගින් කුමාර් උත්සාහ කළේ තක්කඩි අවස්ථාවාදීන් රෑනක් ඉදිරිපිට අපේ වෙහෙසකර සමාජ ශ්‍රමය පාච්චල් කරන්නටය. නමුත් දැන් සෙල්ලම අහවර වී ඇත්තේ කට ඇරපු ගමන් මොළේ ලොක් වෙන මෝඩ කන්නා ඉදිරියේ තමන්ගේම සාමාජිකත්වය පාච්චල් කිරීමෙන්ය. කාට හෝ ඈනුමක් ගියත් එය බදිවියානු ‘සිදුවීම’ක් බවට මොහු සපථ කරයි; කුමාර්ගේ ගෝලයන් කටවල් ඇරගෙන එය අසා සිටියි; මොහුගේ ප්‍රියතම යෙදුම ‘පශ්චාත් නන්දිකඩාල් නිමේෂය’ යන අනුරාගික වදන් පෙළයි. තමා මෙය ලියන විට තමාම ආඩම්බරයෙන් ගැහෙයි. තමාම එය නැවත කියවන විට තමාගේම ඇගේ මවිල් පවා කෙළින් වෙයි. තමා ශක්‍යතා පරිපූර්ණ තරුණයෙක් බවට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු පුබුදු ජයගොඩ මහතා ඉදිරියේ ඔප්පු කරන්නට මේ වචන සෙල්ලම කෙතරම් උදව් වුණා දැයි ඔහුයි අපියි හැර දන්නා වෙන කෙනෙක් නැත.

මේ සෙල්ලම් නිසා අහිංසක ඕපාත මහත්තයා පවා විශාල අමාරුවක වැටී ඇත.

දේශපාලනය චෙස් බෝඩ් එකක් ලෙස වටහා ගන්නා කුමාර් සංකීර්ණ ආකාරයකට තම ඉත්තන් අදිමින් සිටී. කුමාර්ගේ ඉත්තන් මිනිසුන්ය. එනිසා කුමාර්ගේ කරුමය නම් කුමාර්ගේ පාලනයෙන් තොරව ඉත්තන් සිතීමයි. ඉත්තන් සිතන්නට පටන් ගත් විට සිදුවන විනාශය ඔහු තම දේශපාලන දිවියේදී දැනටමත් කිහිපවරක්ම අත්දැක ඇතිවාට සැකයක් නැත. එනිසා ඔහු ඉදිරියේ ඇති උභතෝකෝටිකය වනු ඇත්තේ ඉත්තන්ගේ සිතීම, අවම වශයෙන් තමාට වාසිදායක වටපිටාවක් නිර්මාණය වනතුරු, නතර කරන්නේ කෙසේද යන්නයි. ඔහු ජයග්‍රහණය කළහොත් අපට අපේ නම මාරු කළ හැකිය. තවමත් භූමියේ වාසිය ඔහුට ඇති අතර අපට අපේ සත්‍යවාදිත්වය ඇත.

මේ උභතෝකෝටිකයට ඔහු දෙන ප්‍රායෝගික පිළිතුර මත අනාගත කොළඹ දේශපාලන සිතියමේ සමහර පැතිමාන තීන්දු වනු ඇත.

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2013/05/PDF-article.pdf” width=”690″ height=”600″]

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. පහතින් දක්වව ඇත්තේ දීප්ති සහෝදරයා ලියන ලද ඉහත ලිපියෙන් උපුටා ගන්න ලද කොටස් දෙකකි. එම ලිපියේ මූලික විවේචනයන්ගේ පදනම් ලෙස සැලකිය හැකි මෙම කොටස් දෙකෙහි අර්ථයන් පැහැදිලි කොට දෙන්නේ නම් එය ඉහත ලිපිය තේරුම් ගැනීම සනදහා මහෝපකාරී වේ.

    ඉහත ආකාරයේ නරුමවාදියෙකුට භාෂා විශ්වයේ භෞතිකත්වය හා සංකේතනය කළ නොහැකි පසමිතුරුතා නොවැටහෙයි. නරුමවාදියා සොයන්නේ ආත්මීයත්වයෙන් දූෂිත නොවූ පිරිසිදු වාස්තවිකත්වයන්ය. අවම තරමින් ජන අරගල ව්‍යාපාරය වත් එතරම් තකතීරු නැත.

    අනාගත දිනෙක ඊශ්‍රායලය ඉදිරියේ පලස්තීන ජනයාට සිදුවෙමින් පවතින දෙය දෙමළා ඉදිරියේ සිංහලයාට සිදු නොවනවා යන්න ගැන සහතිකයක් ද නැත.

  2. සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් , ඒත් උත්තරයක් නැති වෙයි

  3. machan vimukthi,kal yal balannek lesa mata kiyanna thiyenne ok oya onvata vada therumganna yanna epa!(Peratu gami samajavadeenta )veplaveeya kondak thiyenavanam denvath geme gahanne nethuva oya prekasanayata uththara badinda vei baavithava tula!

  4. ලංකාවේ සිටින විවිධ පිස්සන් විසින් බෝපගේ සමග සම්මුඛ සාකච්ඡා කරනු අප අනන්තවත් දැක ඇත්තෙමු. ඒවා මේ වන විට අනේකවාරයක් පළ වී ඇතිවාට ද සැකයක් නැත. කිසිඳු දේශපාලන සවිඥාණිකත්වයකින් තොරව ඕනෑම කෙනෙකුට බෝපගේ සම්මුඛ සාකච්ඡා දෙන බව අපි දන්නෙමු. නමුත් මේ මෑතකදී ඔහු සම්මුඛ සාකච්ඡාව දුන් පුද්ගලයන් අනිත් අයට වඩා වෙනස්ය. මේ අය බෝපගේ ගේ දුවලා ගැන කී කතා අපිට මතකය.

Comments are closed.