නූතන අධික‍්‍රියාකාරී නිදහස් වෙළෙඳපොළ සමාජය අභ්‍යන්තරයේ සිට නැරඹූ විට මිනිසාට ‘චරිතයක්’ (Character) නිෂ්පාදනය කිරීමට හෝ ඒ සඳහා කැප වීමට කාලයක් නැත. ඒ අතින් බලන විට කෙනකුට ‘චරිතයක්’ පැවතීම යනුම සුඛෝපභෝගී කටයුත්තකි; වියදම් අධික කාර්යයකි. සමකාලීන මහජනයා Facebook වැනි ‘චරිත ගොවිපොළවල්’ කරා යොමු වන්නේ ලේඛකයන්ට පවා මේ යුගයේ චරිත නිෂ්පාදනය දුෂ්කර වැඩක් නිසා විය හැකිය.

ජීවත් වන්නට වෙස්මුහුණක් අවශ්‍ය අයට ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද ‘නිධානය’ (1973) චිත‍්‍රපටය හොඳ අත්වැලකි. විලියම් රොත්මන් නම් සිනමා විචාරකයා ඇල්ෆ‍්‍රඞ් හිච්කොක් අරබයා ගොඩනගන ලද ප‍්‍රවාදය අපට ලෙස්ටර් උදෙසා ද කදිමට ගැළපෙයි. රොත්මන් තරමක් දුෂ්කර ලෙස මෙසේ ප‍්‍රකාශ කරයි. ”ඔහුගේ (හිච්කොක්) චිත‍්‍රපටවල චරිත පවතින්නේ අප වෙනුවෙන් පමණි. අපගේ නැරඹීමට ප‍්‍රථම ඔවුන් පවතින්නේ නැත”

            ‘නිධානය’ චිත‍්‍රපටයේ විලී අබේනායක නම් චරිතය එය නරඹන්නියගෙන් පිටත සැබෑ ලෝකයේ පවතීද? අමරසේකරගේ භාෂාව අනුකරණය කරමින් කිවහොත් ‘විලී අබේනායක’ යනු අප විසින් තිරයට ප‍්‍රක්ෂේපණය කරන භූමිකාවක් පමණද? එසේ නම් එය අපගේ දෛනික ජීවිතයේ උමතුවක්ද? චිත‍්‍රපටයේ එක් දර්ශනයක දී මොනර කූඩුවක් පෙන්වා විලී අබේනායක තම අලූතින් සහායට ගත් බිරිඳට මෙසේ උපමා කතාවක් ගොතා කියයි ”මේ මොනර කූඩුවේ ඉන්න පිරිමි සතා පිල් විදහා නටනකොට හරිම ලස්සනයි. නමුත් උගේ කූඩුවට ළඟ දී ගෑනු සතෙක් දැම්මම කොටල මැරුවා. ඒ විතරක් නෙවි මොනරගේ කටහඬ හරිම ප‍්‍රබලයි. තවත් භයානක තිරිසනෙක් වෙච්ච නයින්ගෙ බිත්තර පවා උගේ මූසල හඬට පුපුරා යනව”

original-7442-1438603390-17

       නිධානය චිත‍්‍රපටය විසින් එකවර ප‍්‍රබන්ධ යථාර්ථයන් (ෆැන්ටසි යථාර්ථයන්) දෙකක් නිපදවනවා. එකක් ‘අප’ දෙස බලා සිටින කෙනෙක් නැතැයි යන භ‍්‍රාන්තියෙන් පසු වන අපට අනන්‍යකරණය ඉක්මවා යන පතුලක් රහිත අනන්‍යතාවක් අවශ්‍යයි. එය අප කරා එන්නේ ධනවාදී සමාජ යථාර්ථයක පිරිහීමකට ලක් වූ ප‍්‍රභූ පුද්ගලයකුගේ ගැලවීමේ මඟක් ලෙසය. අනෙක් අතට මේ පිරිහීමට ලක් වූ පිරිමියාගේ ආශාව (අභ්‍යන්තරය – සන්ථවය) බාහිරකරණයට ලක් කරන ‘නොදන්නා ස්ත‍්‍රිය’ (Unknown Woman) හඹා යෑමක ස්වරූපයෙන් අපට අභිමුඛ වෙයි.

වෙළෙඳපොළ දෙස හැර අන් මිනිසුන් දෙස නොබලන යුගයක කලා කෘති නිෂ්පාදනය හරහා අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? කලා කෘතියක චරිතයක් අපව නරඹමින් සිටිනවා යැයි අප අනුමාන කරන්නේ මන්ද?

            විලී අබේනායක එක්තරා ප‍්‍රභූ පෙලැන්තියක අවසානය නිරූපණය කරයි. ඔහුට අවශ්‍ය වන්නේ යළිත් තම පරපුර පුනර්ජීවනය කරන්නටය. මිනියක් මරා හෝ තමන්ගේ නැති වී ගිය ප‍්‍රභාව නැවත දල්වා ගන්නට ඔහු උත්සාහ කරයි. ඒ සඳහා ඔහු යෝජනා කරන්නේ නූතන සමාජයේ හොරකමක් වැනි දෙයක් නොව ඊට ප‍්‍රථම පුරාණ ලෝකය නියෝජනය කරන මිථ්‍යා මතයකි. එනම් උපන් ලප තුනක් සහිත ස්ත‍්‍රියක් බිලි පූජාවට දී නිධානයක් ලබා ගැනීමයි. මිසයිල්වලින් යුද්ධ කරන යුගයක මෙලෙස නිධන් හැරීමට නූතන ආසියාතිකයා පෙලඹෙන්නේ ඇයි? මිනිසුන් බිලි සඳහා යොදා ගන්නේ කුමක් සහතික කිරීමටද? එය දෙවියන්ගෙන් කප්පම් ඉල්ලීමට එහා යන දෙයකි. සොබාදහමේ ස්ථිර බව (අද ඉර පායනවා සේ හෙට ද ඉර පෑයීම විය යුතුය) උදෙසා තමයි මිනිස් බිලි අවශ්‍ය වෙන්නෙ. සංකේත පිළිවෙළෙහි පවතින යමක් යළිත් එම ස්ථානයේම පිහිටුවීමට යම් ආකාරයක සංකේතීය මැදිහත් වීමක්ම අවශ්‍ය කරයි. බිලි පූජාවේ හෝ අලින්ව තම ආලින්දයේ ගැට ගැසීම බැඳී ඇත්තේ මෙම සංකේතීය මැදිහත් වීම උදෙසාය.

            ‘නිධානය’ චිත‍්‍රපටයේ දී එක් පසෙකින් විලී අබේනායක නම් මිනීමරුවා සමඟ චිත‍්‍රපටය නරඹන නරඹන්නිය අනන්‍ය වෙයි. ඔහුගේ දුක-සැප සහ ඔහුගේ ව්‍යාපෘතියේ ගුණ – දොස් සමඟ පේ‍්‍රක්ෂිකාව අවිඥානිකව අනන්‍ය වෙයි. නිධානයේ දොර නොහැරෙන විට විලී මෙන්ම පේ‍්‍රක්ෂක අප ද කලබලයට පත් වන්නේ මේ නිසාය. අනෙක් පසින් අප ගමන් කරන්නේ නොදන්නා ස්ත‍්‍රියගේ ආශාවේ ප‍්‍රහේලිකාව දෙසටය. ඉහත පැහැදිලි වන අන්ත දෙක නොහොත් එකම කාසියේ දෙපැත්ත යනු අනෙකක් නොව අනෙකාගේ දැක්මයි. චිත‍්‍රපටය නරඹද්දී අප නොදැනුවත්ව අපගේ අනෙකාගේ නිරීක්ෂණයට භාජනය වෙයි. එපමණක් නොව අනෙකාගේ මෙම නිරීක්ෂයට ලක් වීම අපගේ පැත්තෙන් අසහනය ජනිත කරන සහනයකි. විලී අබේනායකට අපගෙන් තොරව පැවැත්මක් නැත යන්නෙන් අදහස් වන්නේ මෙයයි. ලෙස්ටර් ඔහු නිර්මාණය කර ඇත්තේ අප වෙනුවෙනි.

            ගැටලුව වන්නේ මෙම බාහිර අනෙකාගේ නිරීක්ෂය නොහොත් අනෙකාගේ නැරඹීම දේශපාලන මාතෘකාවක් වන්නේ කෙසේද යන්නය. 56 පෙරළිය ගැන සමාජ-විද්‍යාත්මක විග‍්‍රහයක් කරන ආචාර්ය නිව්ටන් ගුණසිංහ එවකට පන්ති දේශපාලනය රජ කළ යුගයක සහ වාමාංශය තාර්කිකව වඩා සවිමත් යුගයක බණ්ඩාරනායක සමඟ සිංහල බහුතරය අනන්‍ය වීම ගැන පහත පරිදි ඓතිහාසික විවරණයක් සිදු කරයි.

”බණ්ඩාරනායක යනු, එකල දේශපාලනමය වශයෙන් සේනානායක පෙලැන්තියට එරෙහිව 1956 දී විවිධ සමාජ ස්තර, පන්ති කොටස්, කුල සහ ඇතැම් වාර්ගික ජන සමූහයන් ගොනු කිරීමට සමත් වූ දේශපාලන නායකයෙකි. තමාගේ ඇවෑමෙන් පසු තම පුතා ඩඩ්ලි සේනානායක අනාගත අගමැති ලෙස ඩී.ඇස්. සේනානායක විසින් අග‍්‍රාණ්ඩුකාරවරයාට නිර්දේශ කර ඇති බව නවසිය හතළිස් ගණන්වලදීම එවකට UNP යේ ජ්‍යේෂ්ඨ නායකයකු වූ බණ්ඩාරනායක දැන සිටියේය. තම අභිලාෂය වූ අගමැතිකම UNP ය තුළ සිට ලබාගත නොහැකි බව බුද්ධිමත් පුද්ගලයකු වූ බණ්ඩාරනායක දැක්කේය.

එබැවින් ඔහු UNP යෙන් ඉවත්ව ඉතා විචක්ෂණ ලෙස සිංහල බෞද්ධ සංස්කෘතික පාඨ උපයෝගී කරගනිමින් කපටි ලෙස නැගී එන අලූත් විවිධ සමාජ බලවේගයන් තම ව්‍යාපාරයේ ද්‍රව්‍යයන් බවට පත් කළේය. කොටින්ම ඔහු මෙම කාර්යය සඳහා තම ආගම පවා වෙනස් කළේය. එයින් ශපථ වන්නේ බණ්ඩාරනායකගේ උපායශීලීත්වයයි. ඔහු තම පුද්ගල ආධිපත්‍යය දේශපාලන භූමිය තුළ පිහිටුවා ගත්තේ ඉන් පසුවය.

ජනප‍්‍රිය සිංහල – බෞද්ධ සටන් පාඨ හරහා ඔහු බලය අත්පත් කරගත් මුත් අනෙක් අතට තම අවකාශයෙන් ‘දෙමළ’ මිනිසා දුරස් කළේය.

black_tigers_anuradhapura

56 සිදු වූ දේශපාලන පෙරළිය:

            ‘නිධානය’ චිත‍්‍රපටයේ විලී අබේනායක නම් දැක්ම හෝ නිරීක්ෂය සමඟ පේ‍්‍රක්ෂිකාව අනන්‍ය වීමත් බණ්ඩාරනායක සමඟ 56 දී සිංහල – බෞද්ධ මහජනයා ජනප‍්‍රිය සංස්කෘතිය හරහා අනන්‍ය වීමත් එක මංසන්ධියකට ගමන් කරනු පෙන්වන්නට දැන් අපට හැකියාවක් පවතියි.

       එක ආඛ්‍යානයක ප‍්‍රභූවරයෙක් තමන්ගේ නැති වූ ද්‍රව්‍යමය සංස්කෘතිය යළි පුනර්ජීවනය කිරීමට ස්ත‍්‍රියක් බිලි දෙයි. අනෙක් ආඛ්‍යානයේ දී දේශපාලන ප‍්‍රභූවරයෙක් තමන්ගේ පෙළපත සහ අධ්‍යාත්මය යළි පුනර්ජීවනය කිරීමට ‘දෙමළ ජනයාව’ ඝාතනය කිරීමේ ‘සුජාත මාර්ගයට’ අවතීර්ණ වෙයි. අපගේ අවිඥානික ආශාවේ මධ්‍ය ලක්ෂ්‍යය වන්නේ මිනීමැරීමට ඇති ආශාවයි. Psycho චිත‍්‍රපටයේ දී නෝමන් බේත් හරහාත්, ‘නිධානය’ චිත‍්‍රපටයේ විලී අබේනායක හරහාත්, ‘56 පෙරළිය’ හරහා බණ්ඩාරනායක චරිතය හරහාත් අප සාක්ෂාත් කරගන්නේ මිනීමැරීමට අප තුළ ඇති අවිඥානික ආශාවේ ආකෘති තුනකි. නමුත් මෙතැන දී අවබෝධ කරගත යුත්තේ මර උගුල ඇත්තේ අපගේම ආත්මමූලිකත්වය තුළ මිස බාහිර ලෝකය තුළ නොවන බවයි.

       අපවම එක පැත්තකින් මනුෂ්‍ය ඝාතනයටත්, අනෙක් පැත්තෙන් ස්වාත්මය ඝාතනය කිරීමටත් තුඩු දෙන මෙම මිනීමරු නිරීක්ෂය (Murderous Gaze) අපි දැන් න්‍යායිකව අවබෝධ කරගමු. ඉහත අප සාකච්ඡා කළ නිරීක්ෂය එක පැත්තකින් බාහිරය. එහි කේන්ද්‍රය ඇත්තේ අප තුළ වන අතර එය විලී, බණ්ඩාරනායක, ස්ටාලින් වැනි හැඟවුම්කාරක හරහා බාහිරට ගමන් කර වෙනත් හැඟවුම්කාරක සමඟ සංසේචනය වෙයි. ‍Hegel නම් ජර්මන් දාර්ශනිකයා මිනිසාගේ තියුණු අභ්‍යන්තරය පවා පවතින්නේ බාහිරත්වය තුළ යැයි කියන්නේ මේ සන්ධියේය.

            බාහිර භූමිකාවක් වෙතට අප අපගේ අභ්‍යන්තර ෆැන්ටාස්මැතික අන්තර්ගතයන් ප‍්‍රක්ෂික්ත කරන විට ඒවා සමඟ අනන්‍ය වන බාහිර චරිත යනු සිමියුලේ ක‍්‍රමයක්ය. නැතහොත් මුල් පිටපත අහිමි වූ අතුරු විපරිත පිටපතකි. ‘නිරීක්ෂය’ පිළිබඳව වටහාගත යුතු මූලික මූලධර්මය මෙසේ සංක්ෂිප්ප කළ හැකිය.

       අනෙකා වෙතට අප හෙළන බැල්ම යනු අපගේම බැල්ම අනෙකා වෙතට විස්ථාපනය කරන ලද්දක් මිස අනෙකා අප වෙතට හෙළන අව්‍යාජ බැල්මක් නොවේ. බාහිර සමාජ යථාර්ථය අනෙකාගේ බැල්මට තුල්‍ය වන්නේ මෙම සාධකය නිසාය. මෙම නව අවබෝධය සහිතව අපට මෙසේ පැවසිය හැකිය. අප දෙසට ඉලක්කගත වන අනෙකාගේ බැල්ම අඥාත එකකි. එය තවත් කෙනකුගේ එකක් නොව අපගේම ‘බැල්ම’ අප නරඹන දෘශ්‍ය තිරය මතට එල්ල වීමකි. බණ්ඩාරනායක අපව නරඹමින් සිටිනවා නොවේ. අප අපවම නරඹමින් සිටිනා තිරයක් මතට පැල්ලමක් ලෙස බණ්ඩාරනායක ද ඇතුළත් වෙයි. අප වරදවා තේරුම් ගන්නේ අප වනාහි ද ‘ඔහු’ බවයි. ඔහුගේ උපායශීලීත්වය යනු අප අප දෙසම නරඹමින් සිටින ‘මායාව’ සඳහා ඔහු අලූත් මායාවක් අපගේ කැමැත්තෙන්ම නිර්මාණය කිරීමයි. City Lights චිත‍්‍රපටයේ දුප්පත් මල් විකුණන සුන්දර යුවතිය පොහොසත් මිනිසකු තම මෝටර් රථයේ දොර වසන ‘ශබ්දය’ සමඟ චැප්ලින්ගේ පාදඩ චරිතය තුල්‍ය කර පාදඩයාව පොහොසතකු ලෙස වැරැුදියට හඳුනා ගනියි. බණ්ඩාරනායක සිංහල ජනයාට කරන්නේ ද එයමය. අපව අපි ‘ඔහු’ යැයි වැරැුදියට හඳුනාගත් විට ඔහු එය නිවැරැුදි නොකර වැරැදෙන්නට ඉඩ දෙයි. එවිට ඔහු ලංකාවේ අගමැති වෙයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ නිරීක්ෂයේ අපට ලැබෙන විනෝදය වන්නේ දෙමළ ජනයා ඝාතනය වීමයි. එනම් අප අපගේ නිරීක්ෂයට හෙළන වැරදි අවබෝධයේ ලුබ්ධි පගාව ලෙස මිනීමරන්නට කොන්දේසි විරහිත ප‍්‍රජාතාන්ත‍්‍රික වරණයක් අපට හිමි වෙයි. ඒ අනුව වැරැදි වටහා ගැනීම් අහිංසක නැත. ඒවායේ ෆැන්ටාස්මැතික මිනීමරු අර්ධය අප සලකා බලන්නේ නැත. මේ නිසාම නිධානය චිත‍්‍රපටයේ නොදන්නා ස්ත‍්‍රියගේ ඥානය සතු සමාජ භාවිතාව අපගේ අවධානයෙන් ගිලිහෙයි.

tinto-brass-1

            ආදරය කරන්නට, ලිංගික සබඳතා පවත්වන්නට, දේශපාලනය කිරීමට අපට අනෙකෙකුගේ බැල්ම අවශ්‍යය. එය අපටත් වඩා කලාකරුවකුට අවශ්‍යය. කලාකරුවන් උත්සාහ කරන්නේ මෙම ‘බැල්ම’ හැකි තරම් වෙන කෙනකුගේ බව අපට හැඟවීමටය. නමුත් අඥාන දැක්ම නිපදවීමට අප ගැන නොදැනුමක් සහිත ස්ත‍්‍රියක් ද අවශ්‍යය. ආදරය සහ ලිංගික සබඳතා විශ්වයේ දී අනෙකා අප වෙතට එල්ල කරන දැක්මේ අන්තර්ගතයන් අප සතු ඒවා යැයි අප බොරුවට පිළිගත යුතුය. ඒ අර්ථයෙන් ගත්විට සමාජ යථාර්ථය නම් මිථ්‍යාවේ කාර්යක්ෂමතාව ස්ත‍්‍රිය නම් හාස්‍යය රහිතව මෙලොවේ පවතින්නේ නැත. ලෙස්ටර්ගේ චිත‍්‍රපට වඩාත් සමකාලීන ඒවා බව වැටහෙන්නේ එවිටය. ස්ත‍්‍රියගේ කටහඬ නිසා අර්ථවත් දේශපාලන බිත්තර පුපුරා යයි. ලෙස්ටර් ස්ත‍්‍රියකි. 

 

දීප්ති කුමාර ගුණරත්න

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙම අවස්ථාව anti hegelian තමා තුල යම් හෙගලියානු…..
    This event is antihegelian even though himself a Hegelian

Comments are closed.