‘ගම්පෙරළිය’ නවකතාව විචාරකයන් විසින් යථාර්ථවාදී සාහිත්‍ය කෘතියක් ලෙසින් අර්ථ ගන්වන්නේ ඒ තුළ පවතින යථාර්ථය නියෝජනය කිරීමේ ශක්‍යතාවය නිසා ය. යම් කලා කෘතියක් වියමනක් ලෙස සලකන්නේ නම්, එහි ප්‍රථම කියවීම (ප්‍රථම මුද්‍රාව) යනුවෙන් හැඳින්වෙන්නේ එමඟින් ඉදිරිපත් කරන සමාජයේ අධිපති බලය නිරූපණය කරන කතිකාව හඳුනා ගැනීමයි. වික්ටෝරියා ඩිසිකාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අපට පළමුව හමුවන්නේ, හොරකම් කරන ලද බයිසිකලයක් සොයා දෙන යහපත් චරිතයක් ලෙසිනි. නමුත් චිත්‍රපටය අවසන් වන්නේ, එම ප්‍රධාන චරිතය ම බයිසිකලයක් හොරකම් කරන්නට ගොස් අසු වීමෙනි. පළමු සිදුවීමේ දී අප ‘ප්‍රධාන චරිතය’ දකින්නේ, අධිපති දෘෂ්ටිවාදී කාචයක් (යහපත් මිනිසෙකු පිළිබඳ සමාජ කතිකාව) තුළිනි. නමුත් දරිද්‍රතාවය නිසා එම චරිතය ම ඔහු පිළිබඳ යහපත් ප්‍රතිරූපයට පයින් ගසා අධිපති කතිකාව විසංයෝජනය කර විමුක්තිය සඳහා ‘භාෂාව’ වෙතට පසු බසියි.[Non civil act]

                ‘ගම්පෙරළිය’ නවකතාව මඟින් නිරූපිත සත්‍යය වන්නේ, සාම්ප්‍රදායික සමාජයක් නූතන සමාජයක් බවට පරිවර්තනය වීම මධ්‍ය කොටගෙන ‘නන්දා-පියල්’ අතර ආදර කතාව කියා පෑමයි. පසුකාලීනව, චිත්‍රපටය මඟින් නිරූපණය වූයේ ගමක පෙරළිය නොව ප්‍රේම කතාවක් යන විරුද්ධාභාසයට එකල කිසිවෙකු වැඩිපුර කිඳා බැස්සේ නැත. ලංකාවේ අධිපති පුරුෂත්වයට අනුව ‘ගම්පෙරළිය’ මඟින් නියෝජනය වන්නේ, වැඩවසම් සමාජ ක්‍රමය බිඳ වැටී ඒ වෙනුවට වෙළඳාම මූලික කොටගත්, හුවමාරුව මාධ්‍ය කොට ගත් නූතන සමාජයකි. ඉතා සංක්ෂිප්තව කියන්නේ නම්, ගම්පෙරළිය යනු ලංකාවේ කොම්ප්‍රදෝරු පැරණි වංශාධිපති පාලක පවුල් විනාශ වී ඒ වෙනුවට කොළඹ කේන්ද්‍රීය ධනවාදී සමාජය බිහි වීමයි. එහිදී, සුසංවාදී මිනිස් සබඳතා වෙනුවට අපට හුවමාරු වටිනාකම් මත පදනම් වන නූතන ධනවාදීත්වයක් හමු වෙයි. අප මෙයට කියන්නේ, ‘ගම්පෙරළිය’ පිළිබඳ ”අධිපති පිරිමි විචාරක දෘෂ්ටිය” [dominant male discourse] කියා ය. අද දක්වා රජයන ගම්පෙරළිය පිළිබඳ ‘කතිකාව’[Discourse] එය යි. වෙනත් කෝණයකින් කිවහොත්, අප ඉහත උපුටා දැක්වූයේ ‘ගම්පෙරළිය’ පිළිබඳ හෙජමොනික අදහසයි.

                අද අප උත්සහ කරන්නේ, ‘ගම්පෙරළිය’ පිළිබඳ ඉහත යථාර්ථවාදී විචාර කලාලය විසංයෝජනය කොට ‘නන්දා’ කේන්ද්‍රීයව එය නැවත කියවීමට ය. එය දෙවන කියවීමකි.[ 2nd Reading] මෙම දෙවන කියවීම හරහා ‘සමාජය යන අදහස’ විසංයෝජනය කළ හැකි ය.[Society does not exist] අප මෙතෙක් කියවූ ‘ගම්පෙරළිය’ විචාර වියමන් තුළ ‘සමාජය’ යනුවෙන් අදහස් කරන ලද්දේ, පියල්-කේන්ද්‍රීය වාග් කේන්ද්‍රීත්වය යි.[Phallocentrism] ඒ වෙනුවට, අප නන්දා-කේන්ද්‍රීය විනෝද ආර්ථිකය මතු කළ විට පියල් කේන්ද්‍රීය ‘සමාජය’ බිඳ වැටී ඊට නන්දා-කේන්ද්‍රීය ‘සමාජය’ යන අදහස ආදේශ වෙයි. පශ්චාත්-මාක්ස්වාදය තුළ කතාබහට ලක්වන ‘සමාජය’ යනුවෙන් දෙයක් සාරාත්මකව ස්ත්‍රියකගේ දෙසින් නොමැති බව මෙතැන දී විද්‍යාමාණ වෙයි. තැචර්ගේ අදහසට අනුව සමාජය යනුවෙන් දෙයක් නො පවතින අතර පවතින්නේ ‘පවුල්’ පමණි.

                ‘ගම්පෙරළිය’ නවකතාවේ සමාජ දෘෂ්ටිය විසංයෝජනය කිරීමේ දී එය විච්ඡේදනය කළ හැකි සිදුවීමක් නවකතාවේ අවසානයට ඇත.

                    ”ලැක්ලෝ සහ මුෆ්” නම් පශ්චාත්-මාක්ස්වාදී චින්තකයන් දෙදෙනාට අනුව ‘සමාජ අනන්‍යතාවයන්’ යනු, ස්වභාවික හෝ සංස්කෘතික ඒවා නොව සංස්කරණාත්මක(Constructivism) හරයකින් යුක්ත ඒවා ය. ඉන් අදහස් වන්නේ, සමාජ අනන්‍යතා සද්භාවාත්මක -Ontological-වන අතර ඒවායේ මූලය පසමිතුරු ආකල්පවලින්-Antagonisms- යුක්ත බවයි.

                අපි දැන් නැවතත් ‘ගම්පෙරළිය’ වෙතට යොමු වෙමු.

               

                ‘ගම්පෙරළිය’ නවකතාවේ මුඛ්‍ය භූමිකා දෙක වන්නේ, පියල් සහ නන්දා ය. අපි දැන්, අධිපති කතිකාවෙන් මිදී විසංයෝජන අදහසක් පෙරදැරි කරගෙන මෙම භූමිකා දෙක අතර ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවය නැවත කියවමු. නන්දා සහ පියල් අතර සමාජ කතිකාව පිළිබඳ ලංකාවේ ‘ප්‍රථම මුද්‍රාව’ වන්නේ, එය සාර්ථක විවාහයකින් අවසන් වූ ප්‍රේම සම්බන්ධයක් යනුවෙනි. විවාහ සංස්ථාවට ඇතුල්වීමේ දී පිරිමින්ට මෙන් නොව ස්ත්‍රීන්ට තම මහා අනෙකා නො පැවතීම පිළිබඳ මානසික අත්දැකීමකට ලක්වීමට සිදු වෙයි. විවාහයක් සිදු වීමෙන් පිරිමි ලෝකය තුළ සංකේතීය පිළිවෙළ ඛණ්ඩනය වන්නේ නැත. ස්ත්‍රියක් එක වාගීශ්වරයෙකුගෙන් (පියාගෙන්) ඉවත් වී අලුත් වාගීශ්වරයෙකුට (පෙම්වතා හෝ සැමියා) සම්මුඛ වෙයි. මෙමඟින්, ඇගේ ආත්මීය ලෝකය ඇයටම අහිමි වී යයි. [ subjectivity]මෙය, එනයින් සංකේතීය කප්පාදුවකි; වේදනාවකි.[Castration] ප්‍රජාතන්ත්‍රවාදී පියෙක්ගේ සංකේත ලෝකය තුළ හැදුණු ස්ත්‍රියක් විවාහය නිසා ෆැසිස්ට් පිරිමියෙකුට සම්මුඛ වූවා යැයි සිතන්න. එවිට, ඇයට නව සංකේත පරිසරයට හැඩ ගැසීම පිළිබඳ උභතෝකෝටිකයකට මුහුණ දීමට සිදු වෙයි. මේ අර්ථයෙන් ගත් විට, ප්‍රේමය අත්විඳින ඕනෑම ස්ත්‍රියක් (ලෙස්බියන් සබඳතාවයක දී පවා) සංකේත ආධිපත්‍යයන් දෙකක් අතර හිර වෙයි. ‘සමාජය’ යනුවෙන් ඇත්තටම දෙයක් නැති බව ස්ත්‍රීහු තම අත්දැකීමෙන්ම අවබෝධ කර ගනිති. අනෙක් පසින්, ස්ත්‍රීන් තමන්ගේ අනන්‍යතාවය බහිර් අනන්‍යතාවයක් සහ සමාජීය එකක් බව ද අවබෝධ කර ගනිති. පිරිමින් තමන්ගේ ‘අනන්‍යතාවය’ අභ්‍යන්තරික එකක් ලෙස සලකන විට, ස්ත්‍රීන් තම ‘අනන්‍යතාවය’ බාහිර සමාජයෙන් ලැබෙන එකක් බව වටහා ගනිති.

               ‘නන්දා-පියල්ගේ’ විවාහය (ඇයට විවාහය යනු, වැරදි වටහා ගැනීමකි. Misrecognition) සංකල්පයක් ලෙස ගැනීමේ දී එහි දයලෙක්තික ස්වභාවය විභාග කළ යුතු ය. නවකතාව සහ චිත්‍රපටය තුළ නන්දාට සම්බන්ධ පිරිමින් දෙදෙනෙක් අපට අභිමුඛ වෙයි. ඒ, ජිනදාස සහ පියල් ය. පසුව වටහා ගන්නා පරිදි, මෙම විවාහ දෙකම නන්දාගේ වැරදි වටහා ගැනීම් ය. වැරදි වටහා ගැනීම්වල දේශපාලන මානය වන්නේ, එවැනි තලයක දී අපට සත්‍යය මුණ ගැසීමක් සිදු වීමයි.

                 නන්දාගේ පැත්තෙන් නවකතා වියමන කියවීමේ දී අපට පැහැදිලි වන්නේ, ඇය ජීවත් වන්නේ මුලාවන්ගෙන් සහ දෘෂ්ටිවාදයන්ගෙන් තොර සමාජයක බවයි. ලෝකය සහ එහි ජීවත් වන පුද්ගලයන් වටහා ගැනීමට යාමේ දී අප බොහෝ දෙනා සිතන්නේ, සෘජු සහ පිරිසිදු ලෙස ඒ අයව අපට හමුවන බවයි. මෙය, නූතනවාදය තුළ දී එහි ජීවත්වන මිනිසුන්ට මුහුණ දීමට සිදු වන විරුද්ධාභාසයකි. 

                නමුත් අප ජීවත්වන සැබෑ ලෝකය තුළ දී අප අවට ලෝකය සහ එහි ජීවත්වන මිනිස්සු ගැන පූර්ව අගතීන්ගෙන් පෙළෙන බව අපට අවිද්‍යාමාන ය. නමුත් සත්‍ය ලෙසම අප මේ ලෝකය තුළ අන් මිනිසුන් සමඟ ජීවත්වීමේ දී අපගේ සත්‍යයන්, අපගේ දැනුම, අප ගැනම අප සිතන විදිහ යනා දී මේ සියලු අංග වල දී පූර්ව අගතීන් වලින් ඒවා පිරී පවතියි. ඒ නිසා, අප සහ අපගේ සමීප අනෙකා අතර පවා (අතරමැද) පූර්ව අගතීන් පවතියි. ඇස් කණ්ණාඩියක් නොදා අපට අපගේ අනෙකා දෙස නැරඹීමට නො හැකි ය. කාන්ට්ගෙන් පැහැදිලි කළහොත්, ප්‍රාග්-අනුභූතීන්ගෙන් [Apriori]තොරව අපට අපගේ අසල්වැසියා නිර්වචනය කිරීමට නො හැකි ය. ඒ අනුව, අපව මෙහෙය වන්නේ මෙම අවිඥාණක අගතීන් විසිනි. මේ අගතීන් විසින් පොළඹවන අපව, අප අවට සිටින මිනිසුන්ව සරලමතිකව හොඳ/ නරක ලෙස බෙදා තේරුම් ගැනීමට උත්සාහ කරයි.

                ‘නන්දා-පියල් සම්බන්ධය’ ගත් විට, ඔවුන්ට ඔවුන් දෙදෙනා ගැන ඔවුන්ටම ප්‍රබල අගති දෙකක් ඇත. නන්දා යනු, වංශාධිපති පවුලක සාමාජිකාවකි. ඇය ඒ පිළිබඳව ඉන්නේ ගර්වයකිනි (Pride). අනෙක් පසින්, පියල් යනු, නැගී එන ධනවාදයේ සාමාජිකයෙකි. ඔහුට නන්දා ගැන ඇත්තේ, සංකීර්ණ පූර්ව අගතීන් සමූහයකි (Prejudice). සරලව කිවහොත්, මෙතැන ඇත්තේ වලව්කාරයන් සහ බටහිර සංස්කෘතිය අතර ගැටුමකි. පුද්ගලයන් ලෙස ගත්විට නැතහොත්, සාරාත්මක ලෙස ගත් විට නන්දා සහ පියල් යනු, ඔවුන් එකිනෙකා දෙස බලන දෘෂ්ටිකෝණයකි. ඒවා, පරාර්ථක ය. එනම්, ඔවුන් දෙදෙනා එකිනෙකාව නරඹන විට ඔවුන් ප්‍රාග්-අනුභූතීන් හරහා ගමන් කරයි.

                ලංකාවේ ‘විවාහය’ නම් සංස්ථාපිතය පිළිබඳ මිනිස් අවබෝධය දයලෙක්තික නැත. ‘විවාහය’ හුවමාරු වටිනාකම් ලෝකයක් තුළ දී බොහෝවිට නරුමවාදී (Cynical) ය. නරුමයා යනු, බාහිර සංකේත පිළිවෙළ සහ අර්ථ සමඟ යම් පරතරයක් තබා ගන්නා, ඒ නිසා ම සැබෑවට කිසිවක් විශ්වාස නො කරන්නෙකු වේ. අන් සෑම සමීප සම්බන්ධයක් මෙන්ම නරුමයා තම විවාහය ද පවත්වාගෙන යන්නේ, තමන්ට බාහිරින් ගසක අත්තක උඩ පවතින කුමක් හෝ ප්‍රපංචයක් මෙනි. ඔහු විනෝද වන්නේ, විවාහයෙන් නොව විවාහය සහ තමන් අතර පවතින පරතරයෙනි. විවාහය ඔහුට විපරිත අවකාශයකි.

                ඉහත අර්ථයෙන්, පියල් නරුමයෙකි. ඔහු නන්දාව විවාහ කර ගන්නේ, ආදරය නිසා නොව ඇගේ ගර්වය නිසා ය. එය, ඔහුට ඇය ගැන ඇති පර්යාවලෝකනය යි. අනෙක් පසින්, තම සමාජීය වංශයේ පිරිහීමෙන් ගොඩ ඒමට නන්දා පියල්ව තෝරන්නේ ඇයගේ වංශය පිළිබඳ පූර්ව අගතීන් සමූහයක් පාදක කොටගෙන ය. දෛනික විවාහ ජීවිතය තුළින් ඔහු ඇගෙන් බලාපොරොත්තු වන්නේ, ‘සමාජ පිළිගැනීමයි’. අනෙක් පසින්, ඇය ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ අහංකාරකමින් තොර මහා කරුණාවයි. නන්දා තම පැරණි ලෝකය නූතන ධනවාදයේ මුදල් මත තීන්දු වන සදාචාරයෙන් ආරක්ෂා කරන අතර අනෙක් පසින්, පියල් තමා අවට අයව මනින්නේ මූල්‍යමය වියුක්ත තර්කනයකිනි. එක් අයෙකුට තම අනෙකාව හමුවන්නේ, පර්යාවලෝකනයක් – Perspective-හරහා පමණි. මේ නිසාම අනෙකාගේ ‘අඩුව’ ලෙස එක් සහකරුවෙකු අත්විඳින්නේ, තම ආත්මමූලිකතාවය යි. දෙදෙනා සතුට ලෙස සලකන්නේ, එක් අයෙක් අනෙකා වටහා ගන්නා වැරදි දෘෂ්ටි කෝණය යි.

                ඉහත තත්වය සංස්කෘතික ගැටුමක් හෝ සංස්කෘතික විශ්ලේෂණයක් නොවේ. සංස්කෘතියේ අනේකත්වය වන ‘දෛනික පුරුදු’ අවිඥාණක විශ්වාස ලෙස අප තුළම තහවුරු වෙයි. මෙම නව සන්දර්භය තුළ සංස්කෘතියේ අවසන් නිෂ්ටාව අර්ථය නොව වේදනාවෙන් සතුටු වීමට පුහුණු කිරීමයි.

                නන්දා-පියල් සම්බන්ධයේ දී එකිනෙකා පිළිබඳ හාස්‍ය රසයක් බිහි වන්නේ, ඔවුන් වෙලා සිටින සමාජ අගතීන්ගෙන් තොරව ලෝකයක් නැති නිසා ය. නරුමයන් යෝජනා කරන්නේම අගතීන්ගෙන් තොරව මිනිසුන් ඇසුරු කිරීම භයානක බවයි. නන්දා හෝ පියල් එකිනෙකාගෙන් අලුත් යමක් ඉගෙන ගන්නේ නැත. ඔවුන් අතර පවතින ගැටුම නිසා ම ඔවුන් තුළම ගිලී ගිය සත්‍යය ඔවුන්ටම සිදුවීම්වල දී වැටහෙයි. ඔවුන් එකිනෙකාට හමු නොවුණා නම්, ඔවුන් සතුටින් ජීවත් වනු ඇත කියා අප සමපේක්ෂණය කිරීම යථාර්ථවාදී ය. නමුත් ඔවුන් එකිනෙකා දෙස පූර්ව අගතීන්ගෙන් නරඹන නිසා ම ඔවුන්ට යම් දිනක සත්‍යය හමු වීමට නියමිත අතර එකිනෙකාව නිරුවත් ලෙස සම්මුඛ වීමට ද නියමිත ය. ඒ නිසා, සත්‍යය අපට මුණගැසෙන්නේ අහඹුවකින් හෝ හදිසි අනපේක්ෂිත සිදුවීමකිනි. මෙවැනි අහඹු සිදුවීම්, අප තුළ ඇති අපගේ ගැඹුර අනෙකාගේ මානයෙන් නැරඹීමට අපට බල කරයි.

                ක්‍රීඩාවේ නීති රීති හොඳින් දැන සිටීමෙන් අපට ක්‍රීඩාව නැවැත්වීමට නො හැකි ය. ක්‍රීඩාවට සහභාගී නො වීම රැඩිකල් වෙනසක් බිහි කරන්නේ ඒ නිසා ය.

                එක්තරා සිදුවීමක් වනතුරු නන්දා-පියල් ඔවුන්ගේ ව්‍යාජ පර්යාවලෝකනයන් එකිනෙකාගේ සත්‍යය ලෙස විභාග කරන ලදී. එක් අයෙකුගේ ප්‍රතිරූපය (Image) යනු, අනෙකාව වැරදියට වටහා ගන්නට තමන්ම හදාගත් කතන්දරය යි. කෙනෙකු පශ්චාත්-මාක්ස්වාදී කතිකා විශ්ලේෂණයට එළඹෙනවා යනු, තම අනෙකා පිළිබඳ මේ පූර්ව අගතීන් (ප්‍රාග්-අනුභූතීන්) අනුභූතියට රැගෙන ඒම හෝ විවේචනය කිරීමයි. සමන් පුෂ්පකුමාර මම දේශපාලනය කරන්නට ‘චතුරිකා’ සමඟ එකතු වීම ගැන අප්පිරියාවෙන් කතා කිරීම ඒ අනුව ඔහුට මා ගැන ඇති පර්යාවලෝකනයක් මිස මා ගැන ඇති සත්‍යයක් නොවේ. ඔහු කළ යුත්තේ, කාන්ට්ගේ ‘ප්‍රාග්-අනුභූතීන්’ දෘෂ්ටිවාදී විශ්ලේෂණයට අදාළ කර ගැනීමයි. අපට සත්‍යය සෘජුව සම්මුඛ නොවන අතර එය හමු වන්නේ වක්‍රාකාරයෙනි. කළ යුත්තේ, අනෙකා පිළිබඳ පරාර්ථකය තම ආත්මීයත්වයේ ස්වාර්ථකය බහිෂ්කරණයක් බව අවබෝධ කර ගැනීමයි. සමන්ට ඒ සදහා අමතර දුරක් ගමන් කිරීමට ඇත.

                 

                 අපි දැන් නැවතත් ‘ගම්පෙරළියේ’ සිදුවීමට එමු.

                නවකතාවේ සහ චිත්‍රපටයේ අවසාන කොටසේ දී නන්දා විසින් ජිනදාසගේ මළගම කර පියල්ගේ කොළඹ නිවසට එයි. ඒ තුළ ඇතිවන සංවාදයක දී පියල් මෙසේ නන්දාගෙන් අසයි.

        “ඔයා ජිනදාසගේ අවමගුල කරේ මගේ සල්ලි වලින්”. මෙම දෙබස විසින් එතෙක් කල් ‘විවාහය’ දෙස එකිනෙකා බලමින් සිටි පර්යාවලෝකනය බිඳ දමන ලදී. දෙදෙනාටම කලින් සිටි තත්වයට මෙම දෙබස නිසා යාමට නො හැකි ය.

                නන්දාගේ පැත්තෙන්, ඇය රැකියාවක් නො කරන ගෘහණියක් නිසා ඇගේ පැත්තෙන් ‘සංකේතීය ණයක්’ පිළිබඳ ලැජ්ජාවක් සහ මානසික අවපීඩනයක් බිහි වෙයි. විවාහය යනු, එකිනෙකාගේ ලිංගික අවයව නොමිලේ පාවිච්චි කිරීමට ඇති සදාචාරාත්මක නිදහස යන කාන්ටියානු ආප්තය මෙතැන දී අපට සිහි වෙයි. එසේ නම්, කාන්ට් කියන්නාක් මෙන් ආදරය විරහිත විවාහය යනු ලිංගික අවයව එකිනෙකාට කුලියට දීමකි.

                පිරිමින්ගේ විනෝදය දිශානත වන්නේ, සියල්ලට පිටතින් පවතින ව්‍යතිරේඛයක් ලෙසිනි. පිරිමි ලෝකය තුළ ‘සියල්ල’ (All) ඇත. නමුත් ස්ත්‍රීන්ගේ ලෝකය තුළ ‘සියල්ලම නැත’ (Not all). පිරිමින්ට යුතෝපියාවක් ඇති අතර ස්ත්‍රීන්ට යුතෝපියාවක් නැත්තේ හෝ එම යුතෝපියාවන් පවතින යථාර්ථය තුළම ය.

                ‘නන්දාගේ යුගය’- ’50-70′- තුළ පියල්ගේ සංවාදයට පසුව ඇයට කිසිදු විකල්පයක් ඉතුරු නොවේ. ඒ අනුව, 60 දශකය තුළ විවාහය තුළ හෙජමොනික අදහස පිරිමින් සතු ය. නන්දා සහ පියල්ගේ පසමිතුරුභාවය ඉන් එපිට බාහිර සමාජයේ පවතින පන්ති පසමිතුරුභාවයකට [External or reality] වඩා හෙජමොනික ය. සංවෘත ආර්ථික ක්‍රමයක් තුළ ලංකාවේ විවාහය නිර්වචනය වන විට, එහි කතිකාමය බලය ඇත්තේ පිරිමියාට ය. ස්ත්‍රිය ගෘහණියක් නිසා ඇයට නිහඬ වීම හැර වෙන විකල්පයක් නොමැත. ප්ලෝබෙයා හෝ හෙන්රික් ඉබ්සන් හෝ මාර්ටින් වික්‍රමසිංහ හෝ ගුණදාස අමරසේකර හෝ සයිමන් නවත්තේගම හෝ තම ආඛ්‍යාන කලාව තුළ ගොඩනගන ‘ස්ත්‍රිය’ යනු, පුරුෂාර්ථ තුළ අඩස්සිගත ස්ත්‍රිය යි.

                පියල් යනු, 60 දශකයේ ජීවත් වූ ‘පුරුෂත්වය'[Masculinity] කේන්ද්‍රකොටගත් පුරුෂාර්ථ ස්ත්‍රියට ඉදිරිපත් කරන්නෙකි. ඔහු තම සමාජ-ආර්ථික බලය නම් පුරුෂාර්ථය මත පදනම් වී තම බිරිඳව රාමුගත කරයි.[Framing] එවිට, නන්දාගේ පැත්තෙන් එය මර්ධනයක් නිසා ඇය ස්ත්‍රියක් වෙයි. [Her Form] 70 දශකය වනතුරු ‘ස්ත්‍රීය’ යනු, පුරුෂාර්ථ සාධනය වෙනුවෙන් ස්ත්‍රිය පුරුෂයාගේ රෝග ලක්ෂණය බවට පරිවර්තනය වන යුගය යි. තම මානසික අවපීඩනය දරාගෙන හිස්ටෙරික වීම හැර එකල ස්ත්‍රියට වෙන විකල්පයක් තිබුණේ නැත.

                නමුත් පිරිමින් මෙන් නොව ස්ත්‍රීන් එක කුලකයකට දැමීමට නො හැකි ය. පිරිමින් සියලු දෙනා එක කුලකයකට දැමිය හැකි වන්නේ, ඔවුන් සියල්ල සංකේත ලෝකයෙන් පිටත පරමාදර්ශ පතන බැවිනි.[ideals] නමුත් ස්ත්‍රියට පරමාදර්ශ ඇත්තේ, තම සංකේත විශ්වය තුළම ය. පිරිමින් සියලු දෙනා පුරුෂාර්ථ වලට හිස නමන මුත් ස්ත්‍රිය එතැන දී උභයාවේගී ය. ඇය ද පුරුෂාර්ථවලට විරුද්ධ වන්නේ නැත. මෙය, බොහෝ ස්ත්‍රීවාදීන් අමතක කරයි. නමුත් ඇගේ යම් කොටසක් (Some part) පුරුෂාර්ථ වලට විරුද්ධ වෙයි. එම කොටස ඇය විනෝද වන ආකාරය යි. මේ හේතුව නිසා, ඇය ඒකාවචර [Singular]වන අතර අන්‍ය ස්ත්‍රීන්ගෙන් වෙනස් වෙයි.  එක් එක් ස්ත්‍රිය පුරුෂාර්ථවලට විරුද්ධ වන්නේ, විවිධ දෘෂ්ටිකෝණ වලිනි. ඒ නිසා, ලෝකයට පොදු වූ සාර්වත්‍රික ස්ත්‍රියක් මෙලොව නැත. ඇය අනෙක් ස්ත්‍රීන්ට සමාන වන්නේ, ජීවවිද්‍යාත්මක සහ සමහර සංකේත නීතිවල දී පමණි. සුනේත්‍රා බණ්ඩාරනායකගේ ‘ස්ත්‍රීත්වයෙන්’ සුනිලා අබේසේකරගේ ‘ස්ත්‍රීත්වය’ වෙනස් වන්නේ මේ නිසාය. එබැවින්, පිරිමින්ට මෙන් ස්ත්‍රීන්ට තම ‘විනෝදය’ කේන්ද්‍රකොටගෙන දේශපාලන ව්‍යාපාර තැනීමට නො හැකි ය. එවැන්නක් ඇයට අවශ්‍ය නැත.

                ‘ගම්පෙරළිය’ තුළ සිටි නන්දාගේ  ස්ත්‍රීත්වය සාධනය කළ හැක්කේ, 21 වැනි සියවසේ දී ධනවාදයේ සිදු වූ ව්‍යුහාත්මක පෙරළි ඉදිරිපත් කිරීමෙනි. එනම්, ”සමකාලීන ධනවාදය” නන්දාගේ හිස්ටෙරික ප්‍රතිරූපය පසු ආවර්තිතව නිපදවයි.

                ඩිජිටල් සමාජ මාධ්‍ය පැතිරී ගිය අවකාශයක කිසිවෙකු ‘ස්ත්‍රිය’ නම් හැඟවුම්කාරකය ගැන උනන්දු නොවන බවක් පෙනේ. නන්දා වැනි ස්ත්‍රියක් බිහි වූයේ, පියල් වැනි පිරිමියෙකු ඇයව කප්පාදු කළ නිසා ය. ‘ස්ත්‍රියක්’ බිහි වීමට ප්‍රතිවිරුද්ධ ලිංගයේ කෙනෙකු විසින් ඇයට තහංචියක් හෝ සීමාවක් ඉදිරිපත් කළ යුතු ය. නමුත් 21 වැනි සියවසේ දී, එවැනි පිරිමින් වේගයෙන් අතුරුදහන් වෙමින් පවතියි. 21 වැනි සියවසේ දී ස්ත්‍රිය පමණක් නොව පිරිමින් ද අතුරුදහන් වී ඇත. පිරිමියෙකු තවදුරටත් ස්ත්‍රීයට ‘ඔබ මගේ පෙම්වතිය’, ‘බිරිඳ’ කියා අමතන්නේ නැත. එතැනට ආදේශ වී ඇත්තේ බබා, මැණික, රත්තරන් වැනි ළමා වියේ දී වැඩිහිටියන් පොඩි අය අමතන භාෂාවේ විනෝද පුංජනයන් ය. මින් අදහස් වන්නේ, සමාජ වැඩ බිමට සමානාත්මතා පදනමෙන් ස්ත්‍රීන් අවතීර්ණ වී ඇති නිසා ‘ස්ත්‍රිය’ යන හැඟවුම්කාරකය දෛනික වහරින් ඉවත් වී එය ලිංගික-ආදර ලෝකයට පමණක් ඌනනය වී ඇති බවයි. මේ සන්දර්භය තුළ ස්ත්‍රීත්වයේ ප්‍රහේලිකාමයභාවය ද වාෂ්ප වෙමින් පවතියි. තවදුරටත්, බහුතර දෙනෙකුට ස්ත්‍රිය ප්‍රහේලිකාවක් නොවේ. අනෙක් පසින්, සාරාත්මක නොවන ස්ත්‍රිය නිදහස් ස්ත්‍රියක් බව සැවොම දනිති. සංකේත කප්පාදුව යනුවෙන් දෙයක් සමකාලීන සමාජය තුළ දකින්නට නොලැබීම නිසා එහි විපාකයක් ලෙස ‘ස්ත්‍රිය’ තවදුරටත් බහුතරයට ප්‍රහේලිකාවක් නොවේ. ඉන් අදහස් වන අනෙක් මානය වන්නේ, භාෂාවේ සීමාවෙන් ඔබ්බෙහි ඇතැයි අනුමාන කරන අපරිමිත විනෝදය සහ එහි වියුක්ත වස්තුව (Object) ද අතුරුදහන් වී හඹා යාම පමණක් සමකාලීන සමාජය තුළ අධිනිශ්චය වීමයි. භාෂාව නම් වක්‍ර ගමන් මඟ හැර සෘජු ලෙසම හඹා යාම හරහා විනෝදයට අවතීර්ණ වීමට හැකි ය. අන්තර්ජාලය ප්ලග් වී  ඇත්තේ, මෙම අතිරික්ත විනෝදයට ය. මේ හේතුව නිසා, ලිංගික වෙනස වැඩක් නැති වී ලිංග දෙකම ‘අතිරික්ත විනෝදය’ සාධාරණ විනෝදයක් ලෙස සලකනු ලබයි. මෙහි සරල අදහස වන්නේ, ‘හුදු විනෝදය’ වෙනුවෙන් පුරුෂත්වය සහ ස්ත්‍රීත්වය යන සංකල්ප දෙකම මිනිසා අතහැර ඇති බවයි. එබැවින්, මෙම නව ‘අතිරික්ත- විනෝදය’- Surplus enjoyment- භාෂාවෙන් සීමා නොවන එකක් නිසා එය ‘ස්ත්‍රී විනෝදයක්’ වන අතර එය තමන්ට හිමි සීමාවක් නො දනියි. අතිරික්තය එකතු වීම හැර අන් පරමාර්ථයක් ඊට නැත. ධනවාදයේ ව්‍යුහාත්මක පෙරළිය නිසා එනම්, අසීමිත විනෝදය නිසා භාෂාව මත සීමා කොටගත් විනෝදය යල්පැන ගොස් ‘අතිරික්ත විනෝදය’ නව සමාජ සම්බන්ධය වී ඇත.

                මෙහි විපාකය කුමක්ද? නන්දාට නොමැති වූ විකල්පයක් ‘පශ්චාත්-නූතන නන්දාට’ ඇත. එනම්, අන්තර්ජාලය මත පදනම් වූ සමාජ ජාල වෙබ් අඩවි විසින් ඉදිරිපත් කරන ‘අතිරික්ත- විනෝදය’ යි. (මර්ධනයෙන් තොර විනෝදය) අපි ඊළඟ කොටසින් ඒ ගැන සාකච්ඡා කරමු.

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6




   

ඔබේ අදහස කියන්න...

10 COMMENTS

  1. Deepthi,,,
    ඔයාට වෙලත් තියෙන්නෙ ඕකමයි! 2000 පස්සෙ පරම්පරාව්ට විවිද ඔපොචුනිටි තියෙනෙ නිසා ඔයා කියන දෙවල් හරහා ඔයා පොරක් නෙමෙයි!

    ඒත් එපා වෙනකම්ම ඔයා කියවනවා සුමිත් චාමින්දලා නිර්මාල්ලා වන්ගීසලා කල්යානන්දලා නැවත නැවත ඔයාට ඕන වෙන්නෙ ඒක නිසා තමයි!

      • Deepthi,,,
        ඔයාට වෙලත් තියෙන්නෙ ඕකමයි! 2000 පස්සෙ පරම්පරාව්ට විවිද ඔපොචුනිටි තියෙනෙ නිසා ඔයා කියන දෙවල් හරහා ඔයා පොරක් නෙමෙයි!

        ඒත් එපා වෙනකම්ම ඔයා කියවනවා සුමිත් චාමින්දලා නිර්මාල්ලා වන්ගීසලා කල්යානන්දලා නැවත නැවත ඔයාට ඕන වෙන්නෙ ඒක නිසා තමයි!

  2. Why buddy you insulting “Good Sri Lanka “ you think other nationalities are good in reading books? What are you fantasizing to insult idiot Sri Lankan

Comments are closed.