පසුගිය දිනෙක පුවත්පත් වෙබ් අඩවියක කටකතාවක ස්වරූපයෙන් පළවූ ප්‍රවෘත්තියක හරය තුළ අපගේ දෛවය පිළිබද ගැටළුව විසදී තිබුණි. පුවතට අනුව එක්තරා ඇමතිවරයෙකු වරුණි අමුණුගම මහත්මියට කතා කර මෙසේ කියයි. ‘මම මේ රාජපක්ෂලා වෙනුවෙන් පොඩි ඉල්ලීමක් කරන්න යන්නෙ. ඔයාගෙ සැමියට බැරිද කියන්න ඔලිම්පික් සභාපතිකමට ඉල්ලන්න එපා කියල.‘ මෙය අසන වරුණි පසුව රාජපක්ෂ පවුලේ කෙනෙකුට කතා කර ඇමතිවරයා කියූ දෙය සත්‍යදැයි විමසයි. ගත් කටටම ඔහු කියන්නේ එය බොරුවක් බවයි. යළිත් ඇමතිවරයාට කතා කරන වරුණි ඔහු කියූ බොරුව ගැන දෝෂාරෝපණය කරයි. එවිට වරුණිට ඇමතිවරයා මෙලෙස පිළිතුරු දෙයි. ‘ඇයි වරුණි ඔයා දන්නෙ නැද්ද ඒ අයට මේ කියන දේ මේ මතක නැහැ. එක වෙලාවකට එකක් කියනව. තව වෙලාවක තව එකක් කියනව.’

මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමට පෙර ඔහු වටේ සිටි බොහෝ දෙනා ඔහුට ආමන්ත්‍රණය කරනු ලැබුයේ ‘මහින්ද අයියා“ කියාය. ජනාධිපති වූවාට පසුව සමහරු ඒ නමින්ම ඔහුව ඇමතීමට ගොස් බැනුම් අසා ගත්තේය. ‘බලය ලැබුණම හැමෝම පිරිහෙනව“. මේ සමහරුන්ගේ මතයයි.

අපි අපේ මාතෘකාවට බහිමු. ග්‍රස්ථික නියුරෝසියාව (Obsessional Neurosis) නම් මානසික රෝගයේ ව්‍යුහය (structure) කුමක්ද? මෙම ව්‍යුහය ලංකාවේ දේශපාලනය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද? පුද්ගලයා සහ සමාජය යනුවෙන් දෙකට බෙදා සමාජය විශ්ලේෂණය කිරීම මනස්ගාත ලෝකයකට අපව රැගෙන යාමකි. ඒ වෙනුවට පුද්ගලයා යනුම සමාජයේ නිෂ්පාදිතයක් යන සූත්‍රය භාවිතා කරමු.

ඕනෑම සමාජ සමස්තයක් (Totality) ගත්විට එය පාලනය වන කේන්ද්‍රය නැතහොත් න්‍යෂ්ටිය ඉන් ඉවත් කර ඇත. මේ නිසා සමස්තය ඇතුළත නැතිවූ යතුර සොයා වැඩක් නැත. දේශපාලන විශ්ලේෂණවලදී අප වඩ වඩා විඥානය විවේචනය කර මහේක්ෂ සමාජ-ව්‍යුහයන් (ධනවාදය, සමාජ ගැටලු, ජාතික ගැටලුව, දුප්පත්කම, සම්පත් විෂම ලෙස බෙදී යාම, ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, මැරකම් හා දූෂණ, ප්‍රජාතන්ත්‍රවාදය) මග හරිනවා නේදැයි සමහරුන් අපගෙන් අසයි. සමාජීය විශ්ලේෂයෙන් විඥානය විචාරය කිරීම දක්වා පල්ලම් බැසීම ප්‍රතිගාමී දේශපාලනයක් දැයි තාර්කික මිනිසෙකු ඇසීම යුක්තිසහගත ප්‍රශ්නයකි. නමුත් එවැනි අය අමතක කරන්නේ කුමක්ද?

1959 දී බණ්ඩාරනායකට වෙඩි තැබූ දින සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. බොහෝ අය ඇයව විශ්ලේෂණය කරන විට ඇගෙන් ඇසුවේ ආර්ථික ප්‍රතිපත්ති වැනි මහේක්ෂ ප්‍රශ්නය. තීරණාත්මක මිනිසෙකු විසින් ඇගේ ආශාව කුමක්ද? (what is her desire?) යන ප්‍රශ්නය ඇසුවා නම් ලංකා සම සමාජ පක්ෂයේ ඉතිහාසය වෙනස් ආකාරයකට ලියන්නට සිදුවනු ඇත. යම්කිසි පිරිමියෙක් 1993 ට පෙර (මේ සදහා කිසිදු සුදුසුකමක් අයිවන්ට නොතිබුණත් චන්ද්‍රිකා පාලනයට පසු පළවූ ‘චෞර රැජින‘ යනු ඇගේ ආශාව කුමක්ද යන ප්‍රශ්නයට අයිවන්ගේ පිළිතුරයි) චන්ද්‍රිකාගේ ආශාව කුමක්දැයි ඇසුවා නම් ජනතා විමුක්ති පෙරමුනේ ඉතිහාසය වෙනස් ආකාරයකට ලියන්නට සිදුවනු ඇත. මෙපරිදිම වසර 2005 දී කිසිදු මහේක්ෂ ප්‍රශ්නයක් සැලකිල්ලට නොගෙන මංගල හෝ රුවන් හෝ LTTE ය මහින්ද රාජපක්ෂගේ ආශාව කුමක්දැයි ඇසුවා නම් ලංකා ඉතිහාසය වෙනස් ආකාරයකට ලියන්නට සිදුවනු ඇත.

ආශාව එතරම් බලවත් ප්‍රපංචයක්ද? ඔබ අසනු ඇත.

සමාජ ව්‍යුහය ඇතුළත ‘ආශාව (Desire) නැත. එය ඇත්තේ ඉන් පිටතය. එබැවින් සමාජ ව්‍යුහය ඇතුළත ආශාව ඇත්තේ පැල්ලමක්, සලකුණක්, තුවාලයක් ලෙසය. අපි සරල උදාහරණයක් ගමු. ‘සරුංගලය‘ යනු ගාමිණී ෆොන්සේකා  විශිෂ්ට ලෙස රගපාන, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ජාතික ගැටළුවට මානවවාදී දෘෂ්ටියක් එන්නත් කළ චිත්‍රපටියකි. එම අදහස සමාජීය ව්‍යුහයකි. නමුත් ගාමිණී විසින් වීණා ජයකොඩිව එම චිත්‍රපටයේ රගපෑම සදහා තෝරාගන්නේ ඇය ගැන ඔහුට ඇති ලිංගික ආශාවක් නිසාය. සරුංගලයේ කොතැනකවත් ගාමිණීගේ ලිංගික ආශාව නැත. එය ඇත්තේ සරුංගලයෙන් පිටතය. වීණා නම් ස්ත්‍රී ශරීරයක් නැතිනම් සරුංගලයක් ද නැත. එය අහසේ පියාසර කරවන්නේ වීණා නම් නූල අල්ලාගෙන කෙනෙක් පොළව මත සිටින නිසාය. ගාමිණීගේ අවිඥානක ආශාව නම් (ඔහු දන්නව තමන්ගෙ ආශාව ගැන. නමුත් තමන් ඒ දන්න දේ ගැන සමාජය ඉස්සරහදි නොදන්නව වගේ ඉන්නව-ඒ නිසා තමයි ඔහුගේ ආශාව ඔහුටම අවිඥානක වෙන්නෙ) මේ තත්වාරෝපිතය නිසා ‘සරුංගලය’ චිත්‍රපටිය සදහා තලයන් දෙකක පැවැත්මක් බිහිවෙනව. එක පැත්තකින් ජාතික ගැටළුව ගැන ජාතිවාදී නොවන චිත්‍රපටියක් හැදීම හරහා ගාමිණී පොන්සේකා නම් ශ්‍රේෂ්ට නළුවාට සමාජයේ පිළිගත් සංකේතීය පිළිගැනීමක් ඇතිවෙනව. අනෙක් තලයට අනුව ස්වරූපරාගී ආකාරයට එවැනි සංකේත බලයක් නැති අසරණ ස්ත්‍රියකට පිහිට වෙනව. එකවර ක්‍රියාත්මක වන මෙම තල දෙකක ආශාව නිසා ගාමිණීගේ අහම (ego) දෙකට පැලෙනව. එක පැත්තකින් ‘සරුංගලය‘ නිසා ලැබෙන සමාජ සංකේත භූමිකාව. අනෙක් පැත්තෙන් එම භූමිකාව විනාශ කරන එනමුත් තමන්ට ‘විනෝදය‘ ලබාදෙන ස්ත්‍රිය.

ග්‍රස්ථික නියුරෝසිකයෙක් කියන්නෙ දෙන ලද සමාජ සමස්තයක් ඇතුළත එකවර ‘ආශාව‘ දෙයාකාරයකින් තෘප්තිමත් කරගන්න ගිහින් ආශාව ලොප් කරගන්නා පිරිමි මානසික ව්‍යුහයක්. මේ නිසා ග්‍රස්ථික නියුරෝසිකයකුගේ මානසික ලෝකය කියන්නෙ විරුද්ධාභාසයක් (Paradox). තමන්ගේ ආශාවේ උභතෝකෝටිකයෙන් ගැළවෙන්න ග්‍රස්ථිකයා දරන වෑයම නිසා ඔහුගේ ලෝකය ද්විගුණ වෙනව. ඇහේ බබාව ඇගිල්ලෙන් තද කරාම අවට පෙනෙන වස්තුවක් දෙකක් වෙලා පේනවා වගේ (Diplopia – එකක් දෙකක් වගේ පෙනීම) ග්‍රස්ථිකයාගේ ලෝකයේත් හැමදෙයක්ම දෙකක් වෙනව. උදා- එක පැත්තකින් ආදරය කරන එහෙත් ආශා නොකරන බිරිදක් ඉන්නව. අනෙක් පැත්තෙන් ආශා කරන ආදරය නොකරන රැඩිකල්, නිදහස්කාමී පෙම්වතියක් ඉන්නව. (එක්කෝ වයසට ගිය මහලු බිරිදක් ඉන්නව, අනෙක් පැත්තෙන් තරුණ ගිනි කිකිළියක් වගේ ලේකම්වරියක් ඉන්නව-අද ලංකාවේ රජයේ සහ පුද්ගලික ආයතන ඇතුළේ පරිපාලන ව්‍යුහය කියන්නෙ ග්‍රස්ථිකයාගේ මෙම මනෝ-ලිංගික ව්‍යුහයයි) එක පැත්තකින් යහපත් විදිහට හම්බ කරල දානමාන පින්කම් කරනව. අනෙක් පැත්තෙන් අනිත් මිනිසුන්ව විනාශ මුඛයට යවල සමාජයේ පොදු මුදල් ගසාකනවා. එක පැත්තකින් තමන් ඉතාම ක්‍රියාශීලී, විනෝදකාමී, ක්‍රීඩාකාමී කෙනෙක් බව හගවන්න අවශ්‍ය බාහිර සැරසිලි ඇගේ දවටගන්නවා. අනෙක් පැත්තෙන් කොට්ටයක් ඔලුවෙ ගහගෙන ඉතාම අක්‍රියාකාරී විදිහට වක් ගැහිලා තමන් මේ ලෝකයේ කෙතරම් හුදකලා පුද්ගලයෙක්ද කියලා හිතනව. ග්‍රස්ථික නියුරෝසිකයකුගේ ආශාව විරුද්ධාභාසයක් වන්නේ ඇයි? සිග්මන් ප්‍රොයිඩ්ට වඩා වෙනස්ව (ඔහු ග්‍රස්ථිකයාගේ ගැටළුව විසදන්නෙ ඊඩිපස් සංකීර්ණය මගින්) ජාක් ලැකාන් මෙම ගැටළුව පියා පිළිබද සංකේත ගැටළුවක් ලෙස හ‘දුනාගන්නව.

බොහෝවිට ග්‍රස්ථිකයන්ගේ පියවරුන් යනු සමාජය ඉදිරිපිට විවිධ ගර්හාවට ලක්වූ අයයි. උදාහරණයක් වශයෙන් උසාවියක නීතිඥවරයෙකුගේ ලිපිකරුවෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් ගුරුවරියක් සමග විවාහ වන්නේ තමන් නීතීඥයෙකු යැයි කියාය. විවාහයට පසු ගුරුවරිය මෙය දැනගන්නා අතර බොහෝවිට ඇය තම සැමියාට මෙසේ කියයි. ‘තමුසෙ මාව රැවට්ටුවා‘. එම නිවසේ ඇතිදැඩි වන පිරිමි ළමයා බොහෝවිට දකින දසුනක් වන්නේ ‘අපවාදයන්ට ලක්වන තම පියාය.‘ දරුවා වැඩිහිටි වූ පසු උත්සාහ කරන්නේ තමන්ගේ සැබෑ පියාගේ මෙම නොහැකියාවට ප්‍රතිචාරයක් ලෙස සංකේතීයව ඉහළ මට්ටමකට පැමිණෙන්නටය. පියා තම මවට වූ ‘සංකේතීය ණය‘ ගෙවීම සදහා පුතා ඉහළ තැනකින් කසාදයක් කරගන්නට වලිකයි. එය ද අවසන් වන්නේ තමා ද පියාගේ උභතෝකෝටිකයට ඇතුළු වීමෙන් යන්න මෙහිදී අදාළ නැත. මෙම සන්දර්භය නිසා ග්‍රස්ථික නියුරෝසියාව යනු පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රහස් පණිවුඩයකි. ග්‍රස්ථිකයෙකු අවසිහියෙන් මෙන් හම්බ කරන්නේ පියාගේ ණය තමන් බේරන්නටය. තමන් ගේ සැබෑ පියාට කරන්නට නොහැකිවූ ‘සංකේත මෙහෙයුම’ ග්‍රස්ථිකයා විසින් තමන් වෙතට ආදේශ කරගන්නා නිසා ‘පියා’ දෙපළු වෙයි. පියා තමන්ගේ බලාපොරොත්තු කඩ කළ නිසා ඔහුට ද්වේෂ කර සර්ව සාර්ථක පියෙකු මෙන් තමන් හැසිරිය යුතු යැයි ග්‍රස්ථිකයා අවලෝකනය කරයි.

ග්‍රස්ථිකයාට ඉහත මානසික ව්‍යුහය නිසා සැමදාම ජීවත් වන්නට සිදුවන්නේ අන්ත දෙකක්, අදහස් දෙකක් අතර දෝලනය වෙමින්ය. මන්දයත් ග්‍රස්ථිකයාගේ අහම දෙකට පැලී ඇති නිසාය. හිස්ටෙරිකයකු අනෙකාගේ (තවත් කෙනෙකුගේ) ආශාව පිළිබදව දැඩි සැලකිල්ලකින් සිටිනා මුත් ග්‍රස්ථිකයා සෑමවිටම තම අනෙකාගේ ආශාව ලොප් (අහෝසි) කරවයි. හිස්ටෙරිකයා තම ඉරණමට එරෙහිව අනෙකාට හැමවිටම චෝදනා කරන මුත් ග්‍රස්ථිකයා තම ඉරණමට එරෙහිව අනෙකාව පිළිකුල් කරයි. නැතහොත් තම අනෙකාව තම ඉරණමේ වාසිදායක කොන්දේසි වෙනුවෙන් පාවාදෙයි. මේ නිසා ග්‍රස්ථිකයා සෑමවිටම ජීවත් වන්නේ තමන්ට තමන්වම පිළිකුල් කරමින් වැරදිකාර හැගීමකය. මේ නිසා හිස්ටෙරිකයාගේ අනෙකා පැමිණිලි බාරගත්තකු විය යුතු නම් ග්‍රස්ථිකයාගේ අනෙකා දෝෂාරෝපණ බාරගැනීමට සූදානමින් සිටිය යුතුය.

ග්‍රස්ථිකයාගේ ජීවිතය යනු මිථ්‍යා ප්‍රබන්ධයකි. මිථ්‍යාවක් කිසිවිටෙක සැබෑ ලෝකයේ ප්‍රශ්නයක් විසදන්නේ නැත. සැබෑ ලෝකයේ ප්‍රශ්න විසදනවාට වඩා මිථ්‍යාවක් විසින් සැබෑ ලෝකයට සමාන්තරව තවත් ලෝකයක් නිර්මාණය කරයි. මිථ්‍යාවන් අපගේ කිසිදු ප්‍රශ්නයක් නොවිසදන අතර ඒවා අපගේ ප්‍රශ්න වෙනත් අඩවියක් වෙතට රැගෙන යයි. ග්‍රස්ථිකයා විසින් අපගේ ප්‍රශ්න රැගෙන යන මෙම නව අඩවිය හරහා ඔහු පුද්ගලික මිථ්‍යාවක් ගොඩනගා ගනියි. එය ඔහුගේ නියුරෝසියාවයි. මේ නිසා සිදුවන්නේ ‘නියුරෝසික අනෙකා’ සමාන්තර ලෝක දෙකක් අතරමැද අන්දමන්ද වීමයි. අනෙක් අතට තම ආශාව ලොප් වීම නිසා ග්‍රස්ථික නියුරෝසිකයාගේ අනෙකා ඉක්මනින්ම විෂාදයට ලක්වෙයි. අවසානයේ පළා යෑම හෝ අවලාද නැගීම ආරම්භ වෙයි. ග්‍රහලෝක, සූර්යයන්, ක්ෂීරපථ, තාරකාවලින් පරමාණු ලෝකයට ගමන් කරන අයට ඊළගට හමුවන්නේ පරමාණුවේ න්‍යෂ්ටියයි. එහි ඇත්තේ ඉලෙක්ටෝන, පොසිටෝන, බෙසෝන, හිග් ආචරණ ආදියයි. බොල්ෂෙවික් පක්ෂය, ට්‍රොට්ස්කිවාදය, සමාජවාදය වැනි ලෝකවලින් ගෝලීයකරණය හරහා අප දැන් පැමිණෙමින් සිටින්නේ හිස්ටීරියාවට, ග්‍රස්ථික නියුරෝසියාවට, විපරිතභාවයට, සයිකෝසියාවටය. අර්ථයෙන් අප දැන් ඇවිත් සිටින්නේ විනෝදයටය. සමාජය දැන් සංවිධානය වී ඇත්තේ අර්ථාන්විත න්‍යෂ්ටියක් වටා නොව (ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණය, සමානාත්මතාවය) හිස්ටීරියාව, ග්‍රස්ථිකත්වය, සයිකෝසියාව, විපරිතත්වය වැනි විනෝද කලාපයන් වටාය. විශ්ලේෂණය කළ යුත්තේ අර්ථයන් නොව (මන්දයත් මිනිසුන් අර්ථ වටා සංවිධානය වී ඇත්තේ දැනුවත්ව බොරුවට නිසා-එනම් නරුමවාදීව නිසා)අවිඥාණක විනෝදවීම්ය.

ග්‍රස්ථික නියුරෝසිකයකු විසින් අවසාන විග්‍රහයකදී තම සමීප අනෙකා සමග පසමිතුරුතාවයකට යන්නේ මන්ද?

ග්‍රස්ථික නියුරෝසිකයකු තමන්ගේ ‘විනෝදය‘ වෙනුවෙන් තම අනෙකාව (other) දූතයකු බවට පරිවර්තනය කරයි. (බොහෝවිට ග්‍රස්ථික පිරිමින් තම පෙම්වතියට හෝ බිරිදව තම සමීප මිතුරෙකුට පූජා කරනවා යැයි ජනවහරේ පවතින්නේ මේ නිසාය. මිනිස් ආශාව අවසාන විග්‍රහයකදී විපරිත නිසා මේ ගැන කලබල විය යුතු නැත) මේ නිසා ටික කලක් යන විට ග්‍රස්ථිකයාට තම අනෙකාව පෙනෙන්නේ තමන්ගේම සමරූපයක් (semblable- සමාන රූප දෙකක්) ලෙසිනි. සරලව කිවහොත් තම අනෙකාව ග්‍රස්ථිකයාට තමන්ගෙන් වෙන්කර ගත නොහැකි තරම් සමීප වූ විට දයලෙක්තිකව විරුද්ධ ක්‍රියාව ආරම්භ වෙයි. එනම් අනෙකාව තමන්ගෙන් වෙන්කිරීමයි. මේ යුගය පාවාදෙන, බිහිසුණු, ප්‍රචණ්ඩ, හිංසාකාරී යුගයකි. ග්‍රස්ථිකයා මේ සියල්ල කරන්නේ කැඩපතේ තමන් වැනිවම පෙනෙන අනෙකාගෙන් තමාව විඝටනය කිරීමටය. මන්දයත් කැඩපතේ පෙනෙන තම අනෙකාව ග්‍රස්ථිකයාට නිරූපණය වන්නේ තමාව ඉක්මවා යන දක්ෂ, තමාට වඩා පරිපූර්ණ කෙනෙකු ලෙසින් නිසාය. තමන්ගේ ස්වරූපරාගය රැකගැනීමට නම් තමන්ගේ සමරූපය වී ඇති නිවුන් අනෙකාට පහරදී තම අඩවියෙන් එළවිය යුතුය. පරිකල්පනීය වශයෙන් අනෙකාගේ මරණය අපේක්ෂාවෙන් කරන මෙම ව්‍යාජ ක්‍රියාව හේගල්ගේ දර්ශනයේ සාකච්ඡා වන වහල්-ස්වාමි විඥාන බල රටාවට සමපාතය. ග්‍රස්ථිකයා ශුද්ධ බලය, කීර්තිය සහ ස්වාමිත්වය වෙනුවෙන් තම අනෙකාගේ මරණය පරිකල්පනීයව සමපේක්ෂණය කරයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.