ෆ්රෑන්ස් ෆැනන් සහ තවත් බොහෝ පශ්චාත් යටත්විජිතවාදී දේශපාලන චින්තකයන් අධිරාජ්‍යයට එරෙහිව දේශීය මිනිසාගේ සාරය සෙවීමට ගොස් අවසානයේ අමාරැවේ වැටුනේය. ගෝලීය ධනවාදයට අදාළ පසු ජාතික ප්‍රාග්ධනය විසින් මිනිසුන්ගේ සියලුම පොදු වටිනාකම් විනාශ කරමින් සියලුදෙනාව සමතල මිනිසුන් කර ඇත.
‘යහපාලනය’ යනු මොනම අර්ථයකින්වත් දේශපාලන දර්ශනයේ හෝ දේශපාලන විද්‍යාවේ සංකල්පයක් නොවේ. රාජ්‍ය පාලනය යනු ව්‍යාපාරික කටයුත්තක් නොවුණත් ලංකාවේ බහුතර දෙනාට දේශපාලකයන්ට එය ව්‍යාපාරික කටයුත්තකි. එබැවින් යහපාලනය යනු ‘ව්‍යාපාර අධ්‍යයනයට’ අදාළ සංකල්පයකි. මිනිසුන් හොරැන් වන්නේ ඔවුන්ගේ ගතිගුණ නරක නිසා බවට මතයක් ලංකාවේ ඇත. ‘ප්‍රාග්ධනය’ නම් සමාජ සම්බන්ධයට ඇතුළු වන ඕනෑම මිනිසෙකුට ප්‍රාග්ධනය යම් මිලක් ගෙවයි. උදා- ෆොක්ස්වගන් සමාගමේ කම්හලක් ලංකාවේ යම් දිනෙක් ඇති කළ හොත් ඊට හිමි කොමිස් මුදල UNP ඇමතිවරයාට හිමි වනු ඇත. එය හොරකමක්ද? අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක මිස සදාචාර සමාජයක නොවේ. මහින්ද චින්තතනය යටතේ වෙළෙද දැන්වීම් ලැබුණ අය වෙනුවට ඉදිරියට UNP යේ ව්‍යාපාරිකයන්ට ඒවා ලැබෙනු ඇත. ඒවාත් එවිට හොරකම් වනු ඇත්ද? අද වන විට නූතන ධනවාදය තුළ රාජ්‍ය පාලනය සහ ධනවාදී වෙළෙද ගනුදෙනු අතර වෙනසක් නැත. ‘ප්‍රාග්ධනය’ ගැන වචනයක් කතා නොකරන දේශපාලකයන් ඉන්නේ ලංකාවේ විතරක් විය හැක. පාලන තන්ත්‍රයන් දූෂ්‍ය වන්නේ ආර්ථික මොඩලය නිසා නම් එය වෙනස් නොකර කෙතරම් නීති ප්‍රතිසංස්කරණ බිහි කළත් වැඩක් නැති බව සියලුදෙනාට ළගදීම වැටහෙනු ඇත.

ඔබේ අදහස කියන්න...