මානව පැවැත්මේ විපරිවර්තනයකට දායකවීමක් කරන්නට නො හැකි නම්, කිසිම අවබෝධයක් වැඩක් නැත. යනුවෙන් පවසන මාක්ස්ගේ අදහස රෝසා ලක්සම්බර්ග් විසින් ද සිහිගන්වයි. ඒ බව ඇගේ චරිතාපදායක් ලියන කෘතිය තුල රිචර්ඩ් එබ්‍ර්හම් (Richard Abraham)[1] සඳහන් කරන්නේ රෝසා ගැන පමණක් කියන්නට නොව, අප ලබන දැනුම හා ඒ තුලින් ඇති කර ගන්නා අවබෝධය මානව යහපතට සේවයක් විය යුතුය යන්න මනුෂ්‍යවර්ගයාටම පොදු වූ සත්‍යයක් බව තේරුම් ගැනීමට ය.

පශ්චාත් යටත් විජිත දේශපාලනය හා රාජ්‍ය ගොඩ නැගීම යන කාරණය යටත් විජිත රාජ්‍යයක්ව පැවැති ලංකාව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව වරින් වර බලයට පත් වූ ආණ්ඩුවලින් වර නැඟුනු කාරණයක් වූ අතර එයට ඇති නො හැකියාව විවිධ මානයන්ගෙන් පෙන්නුම් කරන්නට විය. මෙම බහුවිධතාවන් සමස්ථයක් ලෙස ගැනීමේ දී පෙන්විය හැකි ගැටලුව ලෙස ගත හැකි වන්නේ දැනුම පිළිබඳ ඇති දේශපාලන සමාජ ආගමික හා දාර්ශිනික ප්‍රශ්නයන් ය. මෙම රාජ්‍ය ගොඩ නැගීම යන කාරණය නව වටයකින්  පෙර නොවූ විරූ ලෙස යළි පැමිණ ඇත. නමුත් දැනුම පිළිබඳ න්‍යාය එනම් ඥාණවිභාගය (Epistemology) පිළිබඳ අවබෝධය හා රාජ්‍ය ගොඩ නැගීම අතර ඇති පරස්පරතාවන් නැවත විග්‍රහ කරගත යුතු වන්නේ ඥාන විභාගයන්ගෙන්ම පමණි. පළමු ලිපියට ලියන  ලද  හැඳින්වීමේ සටහනින් නැවත අපගේ සවිස්තර විග්‍රහයට යොමු වීමේ දී, කරුණු තුනක් ගැන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

  1. දැනුම යනු කුමක්ද යනු කුමක්ද යන්න සඳහා ඇති න්‍යායික අවබෝධය
  2. පළමු ලිපිය තුලින් විශේෂිතව මතු කරන ලද රාජ්‍ය ගොඩ නැගීම සම්බන්ධව ඇති ඥාණ විභාගයන් තුන (සිංහල ජන වර්ගය මත පදනම් වන, දෙමළ ජන වර්ගය මත පදනම් වන සහ මුස්ලිම් ජනවර්ගය මත පදනම් වන ඥාණ විභාගයන්)
  3. අපගේ පළමු ලිපියට ත්‍රිමාන විසින් කරන ලද ගෝලීය වමේ දේශපාලනයට පෙරවදනක් යන ලිපිය පදනම් කාරණය.

පළමු හා දෙවැනි කරුණු ඉදිරියේ දී විග්‍රහයන්ගේ ස්වරූපය අනුව විග්‍රහ කිරීමට ඉඩ තබා තුන් වැනි කාරණය සම්බන්ධව යම් කිසි එළඹුකට පැමිණිය යුතු යැයි කල්පනා කරන්නෙමු. එය ඉදිරි සංවාදයන් හා වමේ දේශපානය සම්බන්ධ ප්‍රජාතන්ත්‍රීය මානයන් සාමුහිකව බෙදා ගැනීමට ඉඩ ඇති වී තිබෙන බව විශ්වාස කිරීම නිසාවෙනි.

මේ නිසා පෙර කී පරිදි “ගෝඨාභයානු රාජ්‍ය උතෝපියාව පිළිබඳ ඥානවිභාගයක්” යන ලිපියේ දෙවැනි කොටස හා ඉන් ඉදිරියට ලියන්නට ඇති කරුණු කාරණාවල ගමන් මග වෙනස් කරන්නට සිතුවෙමු. ඒ අන් කවරක් නිසා නොව, අපගේ ලිපියට සහෝදරාත්මකව “ගෝලීය වමේ දේශපාලනයට පෙරවදනක්” ලෙස කුඩා උවත්, සංයුක්ත සම්පිණ්ඩනයක් ලෙස ත්‍රිමාන වෙබ් සඟරාවේ ලිපයක් පලවන්නට විය. මෙම ලිපය තුලින් ගම්‍ය කරන එක දෙයක් වන්නේ  ඉහත සඳහන් මාක්ස්ගේ උපුටනය උපුටා දක්වන ලක්සම්බර්ග් හා ඇය ගැන කියන අදහස හා සමානකමක් දැක්වීම ය. අපගේ ලිපියට ප්‍රතිචාරය  ත්‍රිමාන සඟරාවේ ඵල වන්නේ වුවත් ඒ තුලින් කතෘ පිළිබඳ කරන හැඟවුම වන්නේ සාමුහික අදහසක් බව ය. එනිසා අපට එම අදහස සලකා බැලීමට සිදු වන්නේ වාම සංවිධානයක ඇති දේශපාලනික අවබෝධයක් ලෙස ය.

අපි දන්නා පරිදි සහ දැනෙන පරිදි,  ලාංකීය මෑත දේශපාන සංවාදයේ දී විඥ්ඥානයෙන් හා අවිඥ්ඤානයෙන් පලවා හැරිය නො හැකි දැනුම් ප්‍රවාහයක් ලෙස පශ්චාත් යටත් විජිත ලංකා දේශපාලන සංස්කෘතියට විශාල බලපෑමක් කළ මෑත කාලින දැනුමක් වේ නම්, ඒ එක්ස් (X) දේශපාලනයේ දැනුම යි. එහි දී සංකේතීය බලපෑමක් කළ චරිතයක් වේ නම්, ඔහු දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා ය. ඔහු දැන් “සංකේත පියෙකු” (a symbolic father) බවට පත්ව සිටින්නේ එක්ස් විසින් ඇති කරන ලද දැනුම පිළිබඳ සංස්කෘතියේ හැඟවුම්කරණයක් ලෙස ය. මේ තුල හොඳ හා නරක යන ද්විත්ව ප්‍රතිවිරෝධයන්ට (Binary opposition)  වඩා ත්‍රිත්ව ප්‍රතිවිරෝධයන් (Trinary oppositions) දක්වා දයලෙක්තික සහවාදයන් ඇති කර ඇත. ඒ අතර, ඒවා විපරිවර්තනය වෙමින් ද පවතී. මේ සඳහා සංයුක්ත නිදසුනක් ගෙන එන්නේ නම් හා එය අපගේ අවබෝධයට යටත්ව වඩාත් නිවැරදි යැයි විශ්වාසයක් පවතින්නේ ඊට පදනම් ප්‍රකාශිත දැනුම පදනම් කරගෙන ය. එනම් එක්ස් පරම්පරාවේ  මෑත කාලයේ බිහි වූ ඉතා ප්‍රබුද්ධ චින්තනමය විභයන් ප්‍රකට කරන මහේෂ් හපුගොඩ සහෝදරයා ය. එක්ස් ව්‍යාපෘතියේ  කලු සුදු පාට අතරට නව වර්ණයක්  හා දැනුමේ සංස්කෘතිය යම් කිසි හැඩයකට හැරවීමට ගන්නා උත්සාහය හපුගොඩගෙන් දැකිය හැකි ය. එක්ව සිටීම හෝ වෙන්ව සිටීම යන කාරණයට වඩා දේශපාලනයේ ප්‍රජාතාන්ත්‍රීය ගුණය මත පිහිටීම තුල, අන් අයට වඩා වෙනස් ලෙස  කටයුතු කරන්නෙකු ලෙස හඳුනාගත හැකි වේ. දීප්ති අනෙකා බවට පත්කර ගැනීමට වඩා අපට පෙන්නුම් කරනුයේ ගෞරවය විසින් ගෞරවයක් ලැබීම ය. එය කිසිවකු ඉල්ලා සිටිය දෙයක් නො වුවත්, එය මානව සම්බන්ධතාවල ඉතා හොඳ ගුණාංගයක් මෙන්ම එය දැනුමේ ආත්මීය කොටසක් ලෙස තේරුම් ගැනීම ද වරදක් නැත.

 


ගුත්තිල මූසිල සාධාරණීයකරණය


සිංහල අපගේ ජාතක පොතේ එන ගුත්තිල ජාතකය නැතිනම් ගුත්තිල කාව්‍ය විසින් ඉතා ප්‍රබුද්ධ ආදර්ශයක් ලබා දෙයි. නමුත් එය පශ්චාත් නූතන හෝ නූතනවාදී  අර්ථකතනය තුල නැවත යම් විකෘති කිරීමකට ලක් වන්නේ ටියුෂන් අධ්‍යාපනයේ තරඟකාරීත්වය තුල ඇති කරන දැනුමේ ප්‍රති නිෂ්පාදනීය රැඩිකල්කරණය නිසා ය. එනම් ගුත්තිල කාව්‍යයේ මූසිලගේ චරිතය සාධාරණීයකරණය කිරීමට සත්‍ය හා විශ්වාසය ගොඩ නැගිය හැකි තර්කය ධනේෂ්වර දෘෂ්ටිවාදය විසින් කැඳවීම ය. එය කරනු ලබන්නේ ධනවාදයේ නග්න තරඟය හා අචාරධාර්මිකත්ව විරෝධී කෑදරකම සහ ලාභය එතුලින් අපට ප්‍රක්ෂේපණය කිරීමෙනි. ගුත්තිල ගාන්ධර්වයන්ගේ මහලුබව යන සංසාර ධර්මතාවයට අභියෝග කරමින් මූසිල විසින් වැඩි වැටුප් ඉල්ලීම තුල සමානත්මතාව පෙන්නුම් කිරීමට උත්සාහ දරන   නූතනවාදී දැනුමේ තර්කය විසින් අමතක කරනු බලන්නේ විවිධත්වය නම් වූ විශ්ව සත්‍යයේ ගුණාංගයයි. ඉන් අනතරුව එන තර්කය වන්නේ මූසිල හා තරඟ කිරීමට නො හැකි වයෝ වෘද්ධ ගුත්තිලට පිහිට වන්නේ  ශක්‍රයා විසින් වීම ය. මේ නිසා ගුත්තිලගේ ජයග්‍රහණය පිළිගත නො හැකි යන සාධාරණීයකරණය ය. මෙම කොටස ඉතා වැදගත් සාධකයක් ලෙස ඥාන විභාගයට සම්බන්ධ කරගත හැකි වේ. එය බටහිර වේවා පෙරදිග වේවා දර්ශනවාදයන්ගෙන්  විග්‍රහ වන පාර භෞතික (Metaphysics )කොටස දැනුමේ සත්භාවීය (ontological) කොටස ද එහි නො තේරෙන (unknown) කොටසට බලපෑම් කරන ආකාරය තේරුම් ගැනීමට ය.

තවත් න්‍යායිකව පැහැදිලි කළොත් දැනුම පිළිබඳ න්‍යායික ප්‍රවේශය Epistemology විෂයක් ලෙස බිහි වන්නේ ඩෙස්කාටස්( Descartes) ගෙන් පසුව ඇති වන දාර්ශනික පරිසරය තුල ය. එසේ වුවත්,  ඊට පෙර ඒ හා සම්බන්ධ තේරුම් ගැනීම ග්‍රීක දර්ශනය තුල සාක්ච්ඡා කරන්නට වූයේ පාර භෞතික කොටසක් ලෙස ය. පැවැත්ම පිළිබඳ තේරුම් ගැනීමට ගන්නා උත්සාහයන් වල දී මෙන්ම යහපත යන්නත්, සත්‍යය හා විශ්වාසය යන්නත් පදනම් වූයේ විග්‍රහකර ගත නො හැකි මෝරල් කොටසක් සහිත උසස් මිනිස් හෝ සත්ව කොට්ඨාසයක ඇති අධිබලය විසින් කරන සත්‍ය තහවුරු කිරීම මත පදනමු වූ දැනුමට ය. විද්‍යාත්මක ලෙස ලෝකය දකින්නට අවශ්‍ය දැනුමට ආදාල දේවල් සිදු වුවත්, ලෝකය තවමත් නො දන්නා දේ වලින් පිරී පැවතීම අදට ද යථාර්ථයකි. එසේම සමස්ථ ද්‍රව්‍යයන්ගේ නිෂ්පානවල හා ප්‍රති නිෂ්පාදනවලදී මානව සම්බන්ධතා හරහා ගොඩ නැගෙන අචාර ධාර්මිකත්වය පංති සමාජයට එහා ගිය විශ්විය ගුණයක් ලෙස හඳුන්වාගත හැකි අතර, එම ගුණයන් පැරණි දර්ශනයන් තුල සිට අද දක්වා පැවැත ආවද, ධනේෂ්වර දෘෂ්ටිවාදය විසින් කෙළෙසා දමන්නට සමත් උවත්, මිනිසා කරන අරගලවල පරමාරථය පදනම් වන්නේ මේ මත ය. මෙම වැකුම පියවා ගැනීමට ඇති අපහසුතාව දැනුමක් බවට පත් කර ගනු ලබන්නේ මිනිසා සහ ද්‍රව්‍යයේ පාරාවර්තීනීය ශක්තින් තුලිනි. එය පාර භෞතික කොටසට ගැනෙන්නේ වුවද තේරුම් ගනු ලබන්නේ වෙනත් ආකාරයකට නම්, එය තේරුම් ගන්නා ආකාරය මත සත්‍ය රඳා පවත්නේ ය. අප මෙම කොටස විඥ්ඥවාදයට බැර කළ ද එම අර්ථ ගැන්වීම තුල යම් අඩුවක් හැඟවුම් කරන්නේ මිත්‍යාව(Myth) යන වචනයට ඇති අර්ථය මෙනි.


මෙවැනි නිදසුනක් ඉදිරිපත් කිරීමට සිදු වන්නේ ඇයි?


එක්ස් (X) ව්‍යාපෘතිය විසින් ඇති කළ දැනුම දැනුමක් බවට පත් වී තිබේ ද නැද්ද යන කාරණයේ දී ඔව් සහ නැහැ කියනවාට වඩා එම දැනුමේ හා අවබෝධයේ වටිනාකම් මානව පැවැ.ත්ම පිණිස විපරිවර්තනය වී ඇති ද යන්න විමසීම වැදගත් වන්නේ අපගේ ලිපියට පෙරවදනක් ලෙස ඉදිරිපත් කරන ගෝලීය වමේ දේශපාලනය නව අරුත සොයා ගැනීමට දායක වේද යන පැනයට හේතු සොයා ගැනීමට ය.

“ගෝලීය වශයෙන් සංවිධානය වන වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැඟීමට අප උත්සාහ කරන්නේ නම්, ධනවාදය තුළම සිදුවී ඇති සුසමාදර්ශී ඛණ්ඩනයක්-Paradigm Shift– ගැන නාභිගත විය යුතුය. ගෙවී ගිය ඓතිහාසික පර්යාවලෝකනය තුළ බහුතර ක්‍රම විරෝධීන් සමපේක්ෂණය කරන ලද්දේ, ‘ධනවාදය’ ඇත්තේ අපේ මනසට පිටතින්-Capitalist Realism– බවයි. මෙය දැන් මිත්‍යාදෘෂ්ටික අදහසක් වී ඇත. 19 වන සියවසේ හටගත් නිෂ්පාදනය ඉලක්ක කරගත් ධනවාදයට අවශ්‍ය වූයේ, විධිමත් ශ්‍රමිකයන් සහ සිහිය ඇති මිනිසුන් නම්, තත්ත්වය දැන් සහමුලින්ම කණපිට හැරී ඇත. ‘මිචෙල් ෆූකෝ’ විසින් ගොඩනඟන ලද නව ඉතිහාසයට අනුව ධනවාදය උමතු වූවන්, අලසයන්,අපරාධකාරයන්, ළමයින්, ස්ත්‍රීන්, යටත්විජිත වැසියන්, සමලිංගිකයන් පවතින බල රටාවෙන් පිටමන් කරයි. නමුත් නූතන ධනවාදය විසින් ඉහත සියලු දෙනාවම ක්‍රමයේ උන්නතිය සඳහා සහභාගී කරගනියි. ඉතිහාසයේ මේ නිමේෂයේ මිචෙල් ෆූකෝ විඥානවාදියෙක් වී ඇත. ‘Google Lense’ මෘදුකාංගය නිසා ලෝකයම අන්තර් වියමනක් (Intertexual) වී ඇත. ‘Facebook’ මෘදුකාංගය උන්මන්තකයන්ගේ සිට අපරාධකරුවන් දක්වා යන සියලු දෙනාවම ක්‍රමයට සහභාගි-participate- කරවයි.”[2]

 ඉහත උපුටා ගැනීම තුල අපට වැදගත් කාරණා දෙකක් මතුව පැමිණේ

  1. ගෝලීය වමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පවතී හා කළ යුතු කාරයයක් වීම
  2. ඉහත අදහසට එක්සත් ක්‍රියාමාර්ගික වාම සංස්කෘතියක් තිබේද නැතිනම් අවම ලෙස හෝ මුල පිරීමට තරම් ප්‍රජාතන්ත‍්‍රීය සංස්කෘතියක් ඇති කර ගත හැකි ද යන කාරණය

පළමු කරුණ සඳහා දෙවැන්නට පිවිසීමට සංවාදයක් ඇති කිරීමට පදනම අදාල මාතෘතාව විසින් ඉඩකඩ ඇති කර ඇත. නමුත්, ගැටලුව වී ඇත්තේ, අප මතු කරන්නට උත්සාහ කරන දැනුම පිළිබඳ අදහස හා එයට පෙරවදනක් ලෙස යම් ප්‍රතිවාදයක් සපයා ඇති ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය  “ අපි” දෙගොල්ල ලාංකීය වම ලෙස නියෝජනය කරන බහුතර සහෝදරත්වය විසින් මෙය  පයිසයකට ගනන් නො ගැනීම පෙන්නුම් කිරීම සිදු වන්නේ ඇයි ද යන ප්‍රශ්නය යි.


මේ අය ඇත්තටම පයිසයකටවත් ගනන් ගන්නේ නැති ද ?/ නැතිනම් එතැන ඇති ගැටලුව කුමක්ද?


අපිට වැටහෙන කාරණයක් වන්නේ දීප්ති නියෝජනය කරන කොටස පිටුවහල් කරන ලද නිර්ප්‍රභූ පාර්ශවයක ස්වභාවයකට පත් කිරීමට දැනුම නැමැති ආයුධවලින් නිමක් නැකි තරඟයක නියැලීම. එය සිදු වන ස්වභාවයම අනුව මෙහි ඇත්තේ විරුද්ධාභාසය යැයි කියා ද යමෙකුට කිව හැකි වේ. නමුත් මෙහි සිදු වන්නේ  පව්කාරියට ගල් ගැසීමට පව් නො කළ අයෙක් වේ ද යන පැනය විමසීම ය.    එක් මිනිසෙකු කුරුසයේ ඇණ ගැසීමට එම මිනිසාගේ මිනිසුන්ම අවි අමෝරා පැමිණ එන්නේ යුරෝපීය දර්ශනය යනු ප්ලෝටෝගේ පාද සටහන්ය යන යථාර්ථය තුල දී ය. මෙවැන්නක් මෙලෙස සඳහන් කිරීම විසින් තව තවත් සතුරන් බවට පත්වීම වෙනුවට දැනුම ද දර්ශනයන් ද දේශපාලනයන්ද ආත්ම මූලිකව බැලීමට හැකි වේ නම්, බොහෝ දුරට එක්වීමට දුර වුවත් වෙන් නොවීමේ සහෝදරත්වය අලුත් ලෙස ඇරඹිය හැකි වනු ඇත.  මේ සඳහා හඳුනා ගත හැකි  හේතු දෙකක් ප්‍රධාන වශයෙන් ඇත.

  1. එක්ස් ඉතිහාසය හා එහි ඇති වූ බහුවිධ ගැටුමේ ක්ෂතීන් (Trauma) තවමත් සුව නො වීම හා සංහිඳියාවකට පැමිණීමට අවශ්‍ය ආත්ම මූලික කාරණා පැවැතීම
  2. වාම දේශපාන සංස්කෘතියේ ඇති ජරා ජීරණබව. එනම් එක්ස් නොවන වමේ ඇති ලෝක දෘෂ්ටියේ ඇති සීමා කම් සහ ආචාරධාර්මිකත්වය මෙන්ම වාම සංස්කෘතියේ නෛසර්ගික ප්‍රජාතන්ත්‍රීය විරෝධී බව.

මෙවැනි ලිවීමකින් පවා අනතුරක් ඇති බව අප දනිමු. නමුත්, මෙම තාප්පය පෙරලා දැමීමට ආබාධ අතකින් හෝ පහරක් ගැසිය යුතුය. ඔබලා එලිපිට ප්‍රතිචාර නො දැක්වුව ද චෛතසිකව කල්ලි ගැසෙනු ඇත. එසේ වී හෝ සංවාදයක් ඇති වීමට විභවයක් ඇත්නම්, එය අප හැමට ජයක් වනු ඇත.  නමුත් මේ  ගැන කල්ලි   ගැසීම  සිත්වල කුමන්ත්‍රණ ලෙස  පාර භෞතික කල්ලි ගැසීමක් නම්, මොන දැනුමක් ලැබුවද එහි බොහෝ හිල් පැවැතිය හැකිය. මෙය තම තමන්ගේ අනන්‍යතාවන් සලකුණු කර ගැනීමට වෙහෙසන ව්‍යායාමයක් උවත්, එය තමා තුල ඇති අභ්‍යන්තරික සත්‍යයෙන් තුරන් වීමට නො හැකි යථාර්ථයක් වී සමාජයට වැඩක් නොවනු ඇත.

කුමන තත්වයන් යටතේ උවත්, මේ පිළිබඳව  ලියන්නට සිදුවන සත්‍යය කාරණය මතු වන්නේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් ගෝලිය වම පිළිබඳ අවධාරණය කරන අදහස පාර ජාතික වමක සහයෝගය ගැන කතා කරන අපට වැදගත් වන බැවිනි. අප හිතන්නේ සැම දෙනෙකුටම ප්‍රතික්ෂ්‍යප කළ නො හැකි කාරණයක් වන්නේ එය වමේ මූලික අරමුණුවල කොටසක් වීම නිසාය.

 හතර වැනි ජාත්‍යන්තරයේ සිට සියලු ගුරුකුලවල සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය  ගැන කතා කරන ජාත්‍යන්තරවාදී ලාංකීය සිංහල වාම සහෝදරත්වයට දැනුම ගැන නව න්‍යායයකට එළඹීමට සිදු වන්නේ නම් හෝ ඒ ගැන සිතන්නේ නම්, කළ යුතු කාර්යයන් කීපයක් ඇත. අපට අනුව

  1. පෙර ලෙස හොරට නිදා ගැනීම නතර කළ යුතු යැයි අවබෝධයකට පැමිණීම
  2. අවංකව දැනුම හා නො දැනුම සමඟ සංවාදයකට පැමිණීම ( මෙය දැනුමේ ලයිසන් සහතික වලින් හෝ කියවා ඇති හෝ නැති ප්‍රමාණය මනින්නක් නොවන බව කිව යුතු වන්නේ වැරදි සංජානනයක් ඇති විය හැකි බැවිනි.)
  3. නාම මාත්‍රික විදෙස් ශාඛා ලෙස අටවා ඇති මිතුරු සමාජ හා ජාත්‍යන්තර දේශපාලනය යනු කුමක්දැයි යලි සලකා බැලීම
  4. ජාත්‍යන්තර පාක්ෂිකයන් දැනුවත් කළ යුත්තේ කෙසේද යන්න මව් සංවිධානයන් ඉගෙන ගැනීම
  5. විදේශ මුදල් සපයන ආධාරකරුවන් හෝ කොටස් පක්ෂයක මූල්‍ය කොටසට වඩා දේශපාලනිකව සවිඥ්ඥනගත කිරීම
  6. පිටරටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුල කටයුතු කර ඒවායේ වරප්‍රසාද බුක්ති විඳ, ලංකාවේ වම තුල අති ප්‍රබල විරෝධීබවක් පෑම යන අන්ත දෙක ගැන සමාජයට වසංකර ව්‍යාජ රැඩිකල්බවක් පෙන්වීම
  7. රටක සංචාරය කිරීම හා දේශන පැවැත්වීම ගැන ඡායාරූප හා මාධ්‍ය වාර්තාකරණය හා සත්‍ය තත්ත්වය යනු කුමක් දැයි අවබෝධකරගෙන ක්‍රිියා කිරීමට අවංක විය හැකි ද යන කාරණය
  8. ගෝලීය වමක් තැනීමට නිසි සුදුස්සන් මිසක වාහන ඇති මුදල් ඇති, හොඳට කෑම වේලක් දිය හැකි යන සුදුසුකම් පමණක් ප්‍රමාණවත් නැතිබව වම දැන ගැනීම
  9. ගෝලීය වමේ නාමය තුල ලෝකල් වාම ලක්ෂණ හා ලංකාව රැවටවීමේ උවමනාව තේරුම් ගැනීම
  10. මේ සියල්ල සිදු වන්නේ එකි නෙකා දැනුවත්ව නම්, එය වලක්වා ගන්නේ කෙසේද යන්න

 මෙහි පළමු කාරණය වෙත පැමිණෙන්නේ නම්, වමේ සහෝදරත්වය තුල මෙම කරුණ සම්බන්ධයෙන් කොටස් තුනක් ඇත. පළමු කොටස හොරට නිදා ගත්තද එම කොටස ඇත්තටම නින්දේය. ඔවුන් කිසිවිට අවධි නො වන්නේ ය. දෙවැනි කොටස, හොරට නිදා ගෙන අවදි වී කිසිත් නොදන්නා ළදරුවන් සේ හැසිරීම ය. තුන් වැන්න සත්‍යයක් යැයි පිළි ගන්නේ වුවත්, එම විශ්වාසය තමාගේ අභ්‍යන්තරය තුල තබා, සත්‍ය කිසිවිටක සාධාරණ කිරීමට තරම් සත්භාවයක් නැති අනන්‍යතාව පිළිබඳ ව්‍යාධියෙන් පෙළෙන අතර, එය විකල්ප දේශපාලනයටත්, විප්ලවීය දේශපාලනයටත් අධාකාරීවාදීව ගැලපීමට උත්තාහ කිරීම. එය එසේ කළ ද ලත් තැන ලොප්වීමේ ගැටලුව. වාම දැනුම පිළිබඳ වංකබව.


ඇයි මේ තුන් ගොල්ලක් ගැන කතා කිරීමට සිදු වන්නේ?


 

The coincidence – functionalism, Marxism and Modernity …

අඩු වැඩි වශයෙන් මෙම තුන් ගොල්ලට වැටෙන කොටස “ අපි” යන උත්තම පුරුෂයෙන් හඳුන්වන්නේ නම්, අපිට මෙම ගැටලුවෙන් එලියට පැමිණෙන්නේ නැතිව සමාජයක් වෙනස් කළ හැකි ද යන කාරණයට සංවාදයක් ඇති කළ යුතු නිසා ය. අවුරුදු තිහකට අධික යුද්ධයක් හා ඒ වෙත ආතතිය ඇති කළ ගැටුම් සංස්කෘතියක ජීවත් වූ අප ගැටුම විසින් කෘත්‍යවාදීන් (Functionalists)කරන්නට විය. අපි මොනවාදීන් (whoeverism) වුවත් අවසානයේ සිදු වී ඇත්තේ ක්‍රමයන්ගේ කෘත්‍යවාදීන් වීමට  ජීවත් වීම  හා බැඳී ඇති වීම ය.

අපිට අනන්‍යතාවන් ගොඩ නැගුණි. ඛණ්ඩනයන් සිදු වුණී. විනාශයන්වලට මුහුණ දුන්නෙමු. එහි අවසානයක් නැති අවසානය අර්ථයක් නැති දැනුමක් බවට පත් කරන්නට විය. දේශපාලනයේ ආත්මය තුවාල වී අභ්‍යන්තර වේදනාවක පෙළෙන්නට වූ අතර ආත්මය සුව කර ගැනීමට දැනුමක් හෝ අවබෝධයක් ලැබුණේ කුමන ප්‍රමාණයකට ද යන්න ගැන පවා අවබෝධයක් නැති තරමට සඟවාගත් ශූන්‍යත්වයකින් පෙළෙණු ලැබුවත්, එය එලියට පෙන්වීමට තරම් අවංක වීමට නො හැකි විය.

ඉන් අනතුරුව ඉතා මැතක, කිසිවකු නො සිතූ පරිදි, පාස්කු ප්‍රහාරයකට සමාජය අභිමුඛ වන විට යන්තම් පණ ගැට ගසා ගැනීමට කළ දේශපාලනයේ අතාර්කිකත්වය හා සඟවාගත් ශූන්‍යත්වය විසින් සමස්ථයේ පරිපතය විසන්ධි කරන්නට විය. ලංකා දේශපාලයේ දැනුම් න්‍යායන් දෙකක් (සිංහල ඥාණවිභාගය සහ දෙමළ ඥාණ විභාගය) බවට පත්ව තිබුණු අර්තකතන කථිකාවට තුන් වැන්නකු (ඉස්ලාම් ඥාණ විභාගය) බිහි කරන්නට විය. රාජ්‍ය හෝ ජාතිය ගොඩ නැගීමේ දැනුම් දෙකක් වෙනුවට තුනක් බවට පත් කිරීමෙන් පසු වාම අභ්‍යන්තර දේශපාලනය සුන්නදූවිල කර දැමී ය.

ඉන් අනතරුව අපට මුහුණ දීමට සිදු වූයේ 2019 නොවැම්බර් ජනාධිපතිවරණයටයි. ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම සුන්නදූවිලිවලින් පරමාණු බවට පත් කරන්නට විය. එය සර්ව ජන ඡන්ද ප්‍රථිපලය විසින් පෙන්නුම් කරනු ලැබුවේ “අපේ” දැනුමේ ඇති අසාර්ථකත්වය මිස වෙන යමක් ද. සිදු වීමකට පසු පරාජය යන දැනුම පවා අවබෝධකර ගැනීමට නො හැකිව සත්‍යය යනු කුමක්ද යන්න සඟවන්නටත්, මිථ්‍යා විශ්වාසයක් ගොඩ නැංවීමටත් වාම සහෝදරත්වයට සිදු වන්නේ පාර භෞතික පාපය (Metaphysics Evil) විසිනි. පරමාණු බවට පත්වුවත් දේශපාලනය, මානව  සමාජ යහපත හා ඒ වෙනුවෙන්  වෙනස් කිරීම යන්නට වන ආත්ම උත්පාදනයකට රැස් වූ කුසලයන්ගේ විශ්ව ශක්තියක් නොමැති කම ය. බෞද්ධ දර්ශනයට අනුව මේ අවබෝධය අපට ගත යුතුව ඇත්තේ අපේ ප්‍රශ්න සියල්ල ආත්ම මූලික කාරණාවන් වන නිසා ය. එය භෞතිකවාදය හෝ භෞතිකවාදීන් කියා ගන්නා “අපිට” ලොකු අනන්‍යතා රිදීමක් සිදු විය හැකි ය. නමුත් මෙම නූතනත්වය හා දර්ශනවාදය දේශපාලනයට සම්බන්ධ කිරීමේ දීත්, මාක්ස්වාදීන් ලෙස පෙනී සිටීමට කැමැති අපිට “හේගල්” ගැනත්, කාන්ට් ගැනැත්, නැවත සිතන්නට වන්නේ නම්, යුගන් හබාමාස් වඩාත් නිවැරදි විය හැකි ය. එරික් ෆෝම් ගැන නැවත සිතන්නට සිදු වනු ඇත. හබාමාස්  පෙන්වා දෙන කාන්ට් හේගල් මාක්ස් දක්වා දර්ශනවාදයන්ගේ ඇති ගැටලුව ඇත්තේ  දර්ශනවාදයන් විෂය මූලික (Objective) වීම යන්න නැවත සිතීම මොළයට පාඩුවක් නොවනු ඇත.  ඒ ගැන සිතීමට බටහිර දර්ශනයටත් වඩා අප සතු බෞද්ධ දර්ශනය මඟ සපයන්නේ නැති ද?

ඊ. එච් කාර්ගේ මිනිබිරියක, ලේඛිකාවක හා ඉතිහාසඥවරියක වන Helen Carr  විසින් මෑතක දී History according to EH Carr[3] නමින් ලිපයක් ලියයි. එය ඉතා වැදගත් තොරතුරු රැසක් මතු කර පෙන්වන්නේ ඊ. එච් කාර්ගේ ඉතිහාසය යනු කුමක්ද යන කෘතිය ලියන්නට වන හේතුව සම්බන්ධ කාරණය ඉහත සඳහන් අදහසට ගැලපෙන නිසා ය

 කාර් ලිබරල් චින්තකයෙකු ලෙස මතුව එන්නේ ඔක්ස්ෆර්ඩි සරසවියේ උපාධිදරයෙකුව සිටත් පසුවත් මතු කරන අදහස් නිසා ය. නමුත් 1931 වන තෙක් ධනවාදය පිළිබඳ ඔහු තුල තිබුණු විශ්වාසය දුර්මුඛ වන්නට වූයේ ලෝක ආර්ථික අර්බුදය (Great Depression) හේතුවෙනි. ඉන් අනතුරුව ඔහු ලෝකය දෙස විවිධ ඇස්වලින් බලන්නට වූවේ ය. එයට අනුව රුසියානු ඉතිහාසය පිළිබඳ උනන්දුවෙන් යුතුව ඔහු සතු වූ රුසියානු මූලාශ්‍ර ඇසුරු කරමින් වෙළුම් 14 න් යුතුව සෝවියට් දේශයේ ඉතිහාසය ලියන්නට විය. 1950 දී එම පළමු කොටස ප්‍රකාශ කරන්නට විය. මෙම කාලයේ දී, ඔහු සෝවියට් දෘෂ්ටිවාදය මත සිට ගැනීමට පෙළඹෙන්නට විය. 1982 දී ඔහුගේ මරණයට පෙර සිය දේශපාලනික විශ්වාසයන් හා ස්ථාවරයන්  සකස් කිරීම සඳහා බල කරන ලද කාරණා ඇතුලත් පිටු තුනක ලිපියක් ඔහුගේ සීයා වෙත යවා ඇත. එහි සඳහන්ව ඇත්තේ ඔහු මාක්ස්වාදියෙකු බවය.

මෙතෙක් සටහන ඉහත කාරණයට සම්බන්ධ වාදගත් කම වන්නේ ඔහු සෝවියට් දේශයේ ඉතිහාසය ලියනු ලැබුවේ වාස්තවික ප්‍රවේශය objective approach මත පදනම් වීමෙනි. නමුත් තමන් අනුගමනය කරන ලද ප්‍රවේශයට පටහැනිව අවබෝධ කර ගනු  ලැබුවේ ඉතිහාසය පිළිබඳ න්‍යාය සඳහා වාස්ථවික ප්‍රවේශය තුලින් අරමුණු සාධනය කර ගත නො හැකි බවයි. සෝවියට් රුසියානු ඉතිහාසය ලිවිමේ ක්‍රියාවලිය තුල දී, එම ප්‍රවේශය විසින් සිය අරමුණු ඉරා දමන ලද අතර ඔහු “අශුභවාදය” කරා ගමන් කරන්නට විය.

it is possible to maintain that objective truth exists”, yet by 1950 he concluded: “objectivity does not exist”

වාස්තවික යථාර්ථය පවතී යන්න පවත්වාගෙන යෑමට හැකියාව ඇතැත්, වාස්ථවිකත්වය නො පවතී” [4]යනුවෙන් ඔහු 1950 පසුව අවසාන කරන්නට විය. ස්ටාලින්ගේ කාලයේ දී කරුණු හා වාර්තා  සැඟවීම, විකෘති කිරීම හා වැරදි අර්ථකතන දීමෙන් සිදු කරන ලද ගොඩ නැංවීම සිත මත දරා ගනිමින් ඔහු විසින් “ ඉතිහාසය යනු කුමක් ද” යන්න ලියන්නට වූයේ ය.


උදය ආර්. තෙන්නකෝන්/ ටෙරල් අබේසිංහ


කියවීම් හා මූලාශ්‍ර

  1. Abraham Richard.1989.Rosa Luxemburg; A life for the International, Berg Publication Limited, Oxford UK[1]http://3mana.com/
  2. newstatesman.com/culture/books/2019/05/eh-carr-what-is-history-truth-subjectivity-facts
  3. https://opiumaleft.com/
  4. වෙනත් කෘති

[1] Abraham Richard.1989.Rosa Luxemburg; A life for the International, Berg Publication Limited, Oxford UK

[2] http://3mana.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b6%b8%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb/

[3] https://www.newstatesman.com/culture/books/2019/05/eh-carr-what-is-history-truth-subjectivity-facts

[4] එම

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Interesting article and there are some valid points here. Somehow I lost the objective here . Creating or maintaining global
    Left or helping Sri Lankan left to absorb globs love Leftist tendencies ?

Comments are closed.