[dropcap color=”green”]ජ[/dropcap]නරළ පුවත් පතෙහි ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත 90 දශකයේ මැදභාගයේ සිතිජය සගරාවට මිචෙල් ෆූකෝ නම් දාර්ශනිකායගේ ලිපියක් පරිවර්ථනය කරනවා. ඔහු එකල ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයෙක්. ඒ චන්දන සිරිමල්වත්තම 2000 දශකයේ අග භාගයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලංකා විවිස් වෙබ් අඩවියට ස්ලෝවොජ් ජිජැක් ගේ ලිපියක් පරිවර්තනය කරනව.

ඉතිහාසයේ‍ සිදුවීම් සහ පෞෂයන් දෙවරක් ඇතිවන බව හේගල් විසින් පැවසූවා.  මාක්ස් විසින් මෙයට අලුතින් එකතු කිරීමක් කර මෙසේ පැවසීය.. ඔහු පවසන්නේ ඉතිහාසයේ එකම සිදුවීම දෙවතාවක් සිදුවිය හැකි බවත් එය පළමු වර ඛේදවාචාකයක්  වන බවත් දෙවන වර හාස්‍යයක් වන බවත්ය. මාක්ටද අමතක වූ දෙයක් එම අදහසට අපට එකතු කළ හැක.ලංකාවේදී ද එකම සිදුවීම දෙවරක් සිදුවන අතර එය පළමුවර හාස්‍යයක්  ලෙසත් දෙවනවර ඛේදවාචකයක් ලෙසත් නැවත සිදුවේ.

චන්දන සිරිමතල්වත්ත මෙහිදී ජිජැජක්ව හදුන්වා දෙන්නේ පහත අකාරයෙනි. ස්ලොවොජ් සිසැක්, ස්ලෝවේනියානු දාර්ශනිකයෙකි, මනෝ විශ්ලේෂකයෙකි, සමාජ න්‍යාය සම්පාදකයෙකි. ඔහු මේ වනවිට ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ බර්කබෙක් නීති විද්‍යාලයේ සේවය කරයි. එසේම ඔහු Less Than Nothing(ශුන්‍යයට අඩුවෙන්) The Year of Dreaming Dangerously(අනතුරුදායක ලෙස සිහින දකින වසර),Demanding the Impossible(නොලැබිය හැකි දේ ඉල්ලා සිටීම) වැනි කෘති කිහිපයක කර්තෘවරයා වේ.

ජිජැක් විසින්ම තමන් ගේ නම නිවරදිව උච්චාරණය කරන අකාරය පහත වීඩියෝවෙන් නඹන්න. චන්දන ගේ පරිවර්තන ලිපිය පහතින් කියවන්න.

 

 

 

මැන්ඩෙලාගේ සමාජවාදයේ පරාජය

මැන්ඩෙලා ජීවත් වූ අවසන් දශක දෙක තුළ ඔහුව උත්කර්ෂයට නැගුනේ ධනපති විරෝධයක් නොදක්වා රටක් යටත් විජිත වියගසින් මුදාගෙන ඒකාධිපතිත්වයට පා නොතැබූ ආදර්ශමත් නායකයකු වශයෙනි.

කෙටියෙන් කිවහොත් මැන්ඩෙලා මුගාබේ කෙනකු නොවීය. ඔහු යටතේ දකුණු අප‍්‍රිකාව, බහුපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනමාධ්‍ය නිදහස් පවත්වාගෙන යමින් ආර්ථික විවිධාංගිකරණය යටතේ ලෝක ආර්ථිකයට සම්බන්ධ වූ රාජ්‍යයක් ලෙස පැවැතිණි. ඒ නිසාම සමාජවාදී වෙනස්කම් කිරීමේ හදිසි උත්සාහයක් එරටදී ප‍්‍රායෝගික කරගත නොහැකි විය.

දැන් මැන්ඩෙලාගේ මරණයත් සමගම ඔහු ඒ සාන්තුවර ප‍්‍රාඥභාවය සදාකාලයටම ස්ථාපිත විය. ඔහු පිළිබඳව හොලිවුඞ් චිත‍්‍රපට පවා බිහි කෙරිණි. එක්තරා චිත‍්‍රපටයකදී දෙවියන්ගේ චරිතයට පනදුන් ‘මෝගන් ෆී‍්‍රමන්’ විසින් මැන්ඩෙලාගේ චරිතය නිරූපණය කරන ලදී. රොක් සංගීත තාරකා, ආගමික් නායකයන්, කීඩකයන් සහ බිල් ක්ලින්ටන්ගේ සිට ෆිදෙල් කැස්ත්‍රෝ දක්වා දේශපාලන නායකයන් ඔහුගේ චරිතය අලංකාර කිරීමට එක් වී තිබේ.

කොහොම වෙතත් මුලූ කතාවම ඒ පමණක්ද? මේ ජනප‍්‍රිය දැක්ම තුළ කරුනු දෙකක් අවතක්සේරුකර තිබේ. ඉන් පළමුවැන්න, දකුනු අප‍්‍රිකාවේ වර්ණභේදවාදය තුළ අසරණභාවයට පත් ව සිටි දිලිඳු බහුතරය තවමත් එලෙසම ජිවත් වෙති. දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ඉහල යත්ම අනෙක් පසින් එම තත්වය තුලනය කරමින් අනාරක්ෂිතභාවය, ප‍්‍රචණ්ඩත්වය හා අපරාධ ඉහළ නැග තිබේ. ප‍්‍රධාන වෙනස්කම වන්නේ දකුනු අප‍්‍රිකානු සුදු පාලක පැළැන්තියට කලූ ජාතික ප‍්‍රභූන් එක්ව සිටීමය.

දෙවනුව, පැරැණි දකුණු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය පොරොන්දු වූයේ වර්ණබේදවාදය අවසන් කිරීම පමනක් නොව, සමාජවාදයට සමීප සමාජ සාධාරණත්වයක් එයින් පොරොන්දු වූ බව ජනතාවට මතකය. වඩා රැඩිකල් අප්‍රිකානු ජාතික කොංග‍්‍රසය අපේ මතකයෙන් බොඳව ගොස් තිබේ. දිළිඳු කලූ ජාතික දකුණු අප‍්‍රිකානුවන් අතර කෝපය වර්ධනය වෙමින් පැවැතීම අරුමයක් නොවේ.

මේ අනුව, දකුනු අප‍්‍රිකාව යනු සමකාලීන වමේ ව්‍යාපාරයේ කතාවට අදාල එක් රූපාකාරයකි. ලෝක පරිමාණ ආශ්වාදයකින් ‘නව ලෝකයක්’ තැනීමට පොරොන්දුවන පක්ෂයක් හෝ නායකයෙක් තෝරාපත් කරනු ලබයි. එහෙත් ඉක්මනින් හෝ ප‍්‍රමාද වී හෝ ඔවුන් ක‍්‍රියාත්මක වීමේදී මූලික අර්බුදයක පැටලෙනු දක්නට ලැබේ. එනම් ධනපති යාන්ත‍්‍රනයට අත තබනවාද? නැතිනම් ‘සෙල්ලම දිගටම කරගෙන යාමට’ තීරණය කරනවාද යන්නය. යමෙක් මෙම යාන්ත‍්‍රනයට බාධා කරන්නේ නම් ඔහුට හෝ ඇයට දරුණු දඩුවම්වලට ලක්වන්නට සිදු වේ. එවැන්නකු ආර්ථික ගැටලූවලට හා බාධාකිරීම්වලට ලක් වේ. මැන්ඩෙලාගේ නායකත්වය වර්ණභේදවාදය අවසන් කළ පසුව සමාජවාදී අපේක්ෂාවන් අතහැරදැමීම ගැන විවේචනය කිරීම එතරම් සරල කාරණයක් නොවන්නේ ඒ නිසාය. ඔහුට තෝරාගන්නට යමක් තිබිණිද? සැබැවින්ම සමාජවාදය කරා යාම තෝරාගැනීමක් ලෙස ඔහුට තිබිණිද?

‘අයින් රාන්ඩ්’ වෙත අවමන් කිරීම පහසු දෙයකි.  නමුත් ඇයගේ Atlas Shruggedනමැති ඇගේ නවකතාවේ එන ‘මුදලේ ගීතය’ තුළ සත්‍යයෙන් බිඳක් ඇත. ‘‘සියලූ යහපත් දෙයෙහි මූලය වන්නේ මුදල් බව සොයා නොගන්නා තාක් සහ සොයා නොගන්නා විට ඔබ ඉල්ලා සිටින්නේ ඔබේම විනාශයයි. මුදල් යනු මිනිසුන් එකිනෙකා සමග ගනුදෙනු කරන මාධ්‍ය නොවන විට මිනිසුන් අන්‍ය මිනිසුන්ගේ උපකරණ බවට පත්වේ. රුධිරය, කසය සහ තුවක්කු හෝ ඩොලර්. තෝරාගැනීම ඔබේය. වෙනත් යමක් නැත.’’

පාරිභෝගික භාණ්ඩ විශ්වයකදී, ‘මිනිසුන් අතර සබඳතාවය භාණ්ඩ අතර සබඳතාවයේ වෙස් ගනී’ යනුවෙන් පවසන විට මාක්ස් කීවේ මීට සමාන කරුණක් නොවේද?

වෙළෙඳපොළ ආර්ථිකයේදී මිනිස් සබඳතා පෙන්නුම් කරන්නේ සම්මුතික ලෙස පිළිගත් නිදහස හා සමානාත්මතාවය ලෙසය.  බලහත්කාරය තවදුරටත් සෘජු ලෙසින් නොපවතින අතර පෙනෙන්නට ඇති දෙයක්ද නොවේ. ප‍්‍රශ්නය වන්නේ රාන්ඩ්ගේ මූලධාර්මික පදනමයි.  එනම් බලහත්කාරය හා සූරාකෑම සඳහා වූ සෘජු හා වක‍්‍ර සබඳතා යන දෙකින් එකක් තෝරාගනනා ලෙස ඇය පවසයි. වෙන  ඕනෑම විකල්පයක් මනෝරාජික බව ඇය කියයි.

කෙසේ වෙතත් යමකු සිතේ තබාගත යුතු වන්නේ පිළිකුල්සහගත ලෙස න්‍යායවාදී වන රාන්ඩ්ගේ කොන්දේසියයි. එනම්, රාජ්‍ය සමාජවාදයේ වැදගත්ම පාඩම වන්නේ, නිෂ්පාදන ක‍්‍රියාවලියේ සමාජයීය නීති නිශ්චිත ලෙස පිහිටුවා නොමැති තත්වයකදී පෞද්ගලික දේපල සහ වෙළෙඳපොළ මගින් පාලනය කරන මුදල් හුවමාරුවත් සෘජු ලෙස අහෝසි කිරීම විසින් පෙරලා තහවුරුවන්නේ වහල් ස්වරූපයේ සබඳතා සහ ආධිපත්‍යයත් පමණක් බවයි. නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා වූ නිශ්චිත කොමියුනිස්ට් සංවිධාන ක‍්‍රමයකින් තොරව වෙළෙඳපොළ (එහි සූරාකෑම සමග) අහෝසි කරන විට පළිගැනීම සහිතව සෘජු සූරාකෑම සහිත ආධිපත්‍යයක් නැවත ස්ථාපිත වේ.

සාමාන්‍ය නීතියක් වන්නේ, 2011මැදපෙරදිගදී මෙන් අර්ධ ප‍්‍රජාතාන්ත‍්‍රික මර්දනකාරී පාලනයකට එරෙහිව නැගිටීමක් සිදුවනවිට හුදු සාමුහික තෘප්තිය උදෙසා වූ සටන් පාඨ ලෙස කිව නොහැකි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්, දූෂණය පිටුදැකීම වැනි සටන් පාඨ ඔස්සේ විශාල ජනකායක් ඒකරාශි කළ හැකිය. එහෙත්, ඉන්පසුව අප එළඹෙන්නේ තරමක් අසීරු තෝරාගැනීම් වෙතයි. අපට සැබැවින්ම ගැටලූවක් වූයේ නිදහස සීමාකරනු ලැබීමත් පහත් ලෙස සළකනු ලැබීමත් වැදගත් ජීවන රටාවක් පිළිබඳ අපේක්ෂා භංගත්වයත් යන මේවා බවට වැටහීමක් ඇතිවන්නේ අපගේ අරගලය එහි සෘජු ඉලක්ක වෙත ළඟාවන විටය. එවිට එම අරමුණු වෙනත් ස්වරූපයකින් ඉදිරියට ගමන් කරන බව අපට දක්නට ලැබේ. අප එම නිගමනය වෙත එළඹීම වැලැක්වීම පිණිස පාලක මතවාදය විසින් සිය පූර්ණ ශක්තිය යොදාගනී. ඔවුන් අපට කියා සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි නිදහස ලබාගැනීමට මිලක් ගෙවිය යුතු බවත් එය අපට වගකීමක් ඇතිවීම බවත්ය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් වුවමනාවට වඩා යමක් අපේක්ෂා කරනවා නම් එය දිනාගැනීමට තරම් අප පරිණත නොමැති බවත් කියනු ලැබේ. මේ ආකාරයට ඔවුහු අපගේ පරාජය ගැන අපටම දොස් පවරති. නිදහස් සමාජයකදී අප සියලූ දෙනාම අපේ ජීවිත වෙනුවෙන් ආයෝජනය කරන ධනවාදීන් බවත් සාර්ථකත්වය කරා යාම පිනිස විනෝදය වෙනුවෙන් කරන යෙදවුමට වඩා අධ්‍යාපනය වෙනුවෙන් යෙදවීමට තීරණය කළ යුතු බවත් ඔවුහු කියති.

වඩාත් දේශපාලනික තලයකදී, එක්සත් ජනපද විදේශ පිළිවෙත තුළින් ජනතා නැගිටිම්, පාර්ලිමේන්තුවාදී ධනවාදී පාලනයන් කරා යොමුකිරීමට හැකි වන ආකාරයට ආපදා පාලනය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේදැයි පෙන්වන උපායමාර්ගයක් ක‍්‍රියාවේ යොදවන ලදී. වර්ණභේදවාදී පාලනය බිඳවැටීමෙන් පසුව දකුණු අප‍්‍රිකාවේදී, මාකෝස් පරාජය කිරීමෙන් පසු පිලිපීනයේදී සහ සුහර්තෝ පරාජය වීමෙන් පසු ඉන්දුනීසියාවේ ආදි වශයෙන් එය සිදු විය. මෙම නිශ්චිත සන්ධිස්ථානයේදී, රැඩිකල් විමුක්තිවාදී දේශපාලනය විසින් සිය ප‍්‍රධානතම අභියෝගයට මුහුණ දෙයි. එනම්, අත්තනෝමතිකභාවයේ ව්‍යසනයට ගොදුරු නොවී, ආශ්වාදජනක පළමු අදියරෙන් ඔබ්බට අරගලයේ ඊළඟ චලනය ඇතිකරන්නේ කෙසේද යන්නයි. කෙටියෙන් කිවහොත්, මුගාබේ කෙනකු නොවී මැන්ඩෙලාගෙන් ඔබ්බට යන්නේ කෙසේද යන අභියෝගයයි.

මැන්ඩෙලාගේ පුරාවෘත්තයටම භක්තිවන්ත වී රැඳෙන්නට අපට අවශ්‍ය නම්, උත්සවකාරී ලෙස කිඹුල් කඳුළු හෙලීම නවතා දමා ඔහුගේ නායකත්වය විසින් ලබා දුන් පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු වේ. මැන්ඩෙලා අරභයා නිසැකයෙන් පවතින සදාචාරමය හා දේශපාලන ශ්‍රේෂ්ඨත්වය තුළ අපට සීරුවෙන් කළ හැකි උපකල්පනයක් තිබේ. එනම්, දේශපාලන ජයග‍්‍රහණය සහ ලෝක පරිමාණ වීරයකු බවට ඔසවාලීම යනු නීරස පරාජයක් ආවරණය කළ වහන්තරාවක් පමණක් බව හොඳින් වටහාගත් මැන්ඩෙලා, තම අවසාන කාලය අතෘප්තිමත් මහල්ලකු ලෙස කල් ගෙවූ බවයි. ඔහුගේ ලෝක පරිමාණ කීර්තිය පවා ඔහු විසින් ලෝක පරිමාණ බලයේ පැවැත්මට බාධා නොකළ බවට ලකුණකි.

 

පරිවර්තනය – චන්දන සිරිමල්වත්ත

ඔබේ අදහස කියන්න...