ලංකාවේ අයට නව ආකාරයකට හිතන්න යමක් අශෝක හඳගම ඉදිරිපත් කරන මුල් වතාව මෙය නෙමෙයි.

නිර්මාණයක් බිහිකරන්න කරළියෙන් අරමුදල් සෙවීම ලෝකයේ අලුත් දෙයක් නෙමෙයි. 1884 දී ඇමෙරිකාවට ප්‍රංශයෙන් තෑගි ලැබිච්ච නිදහසේ ප්‍රතිමාව තියන පාදස්තලය හදන කමිටුවට ඒක ඉවරයක් කරගන්න සල්ලි මදිවුණා. නිව් යෝර්ක් නගරයේ පුවත්පත් හිමියා වූ ජෝසෆ් පුලිට්සර් එයාගෙ පත්තරෙන් ඇමෙරිකන් ජනතාවගෙන් ඒ සඳහා සල්ලි ඉල්ලුවාම මාසය හයක දී ඩොලර් ලක්ෂයකට වඩා ගාණක් ඔවුනට එකතු කරගන්නට ලැබුණ. වැඩියෙන් පිරිසක් දුන්නෙ ඩොලරයක් නැත්නම් ඊට අඩුවෙන්.

අන්තර්ජාලය හරහා ලෝකයේ රට රටවල වාසය කරන අය වෙතින් අරමුදල් ලබාගත හැකියාව නම් ලැබුනේ මෑතක දී. ස්ටාර් සිටිසන් නමින් පිටසක්වල යුද වදින විඩියෝ ගේම් එකට සල්ලි එකතු කරන්න පටන් ගත්තෙ 2012 ඔක්තෝබර් 10 වැනිදා මේ බ්ලොග් ලියන වර්ඩ්ප්‍රෙස් වලින් ලැබෙන කරළිය අරමුදල් සොයන ඉග්නිෂන්ඩෙක් කියන ප්ලග් ඉන් එකෙන්. සතියක් යද්දි ඔවුන් කික්ස්ටාටර් නමින් පවතින එවැනි යාන්ත්‍රණය ද සහායට ගත්ත. 2012 නොවැම්බර් 17 වෙද්දී ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ ඉක්මවා යමින් ඉග්නිෂන්ඩෙක් වලින් $4,104,189.00 ක් ද, ඔක්තෝබර් 19 සිට නොවැම්බර් 19 දක්වා සහායට ගත්ත කික්ස්ටාටර් වලින් $2,134,374.00 ක් ද, ඒවා අවසන් වූ පසුවත් ඔවුන්ගේ පළමු අඩවියෙන් $3,044,770.00 ක් ද අරමුදල් හැටියට ලබාගන්නට සමත් වුණා. අද වෙනකොට ඔවුන්ට ඇමෙරිකන් ඩොලර් මිලියන 38 ක් අරමුදල් හැටියට ලැබී ඇති බව වාර්තා කරනව.

ලංකාව වගේ නෙමෙයි හැබැයි ඇමෙරිකාව කියන්නෙ නම් ලෝකයේ ලාබ හොයන අය බහුලව සිටින රටක්නෙ. ඒත් ඔවුන් 1884 දී වෙන රටකින් තෑගි ලැබිච්ච ප්‍රතිමාවක් තමන්ගේ රටේ සුප්‍රසිද්ධ අගනුවරක තියන්නට කැමැත්තෙන් මුදල් පරිත්‍යාග යැව්ව. පසුගිය වසර තුන ඇතුලත ඉහත කිව්ව විඩියො ගේම් එක හදන්නට ඇමෙරිකන්කාරයාට ලෝකෙ මිනිස්සු මිලියන 38 ක් මුදල් පරිත්‍යාග කැමැත්තෙන් යැව්ව.

හඳයාගේ මේ උත්සාහය, එනම් ලංකාවේ ප්‍රථම වරට චිත්‍රපටියක් හදන්නට සිද්ධ වෙන වෑයමෙන්, කරළියෙන් අරමුදල් සෙවීමට අන්තර්ජාලය භාවිතා කිරීම ගැන දැනගන්නට ලංකාවේ බහුතරයකට ලැබීම පමණක් නොව, ලංකාවේ අයෙකුට කොතරම් දුරකට කරළියෙන් කෙරෙන අරමුදල් පරිත්‍යාගයෙන් නිමැවෙන කලා නිර්මාණයන්ට අතගහන්න අනාගත අවස්ථා ගැන හෝඩුවාවක් දැන ගැනීමට සහ අරයාගෙ මෙයාගෙ සල්ලි ආයෝජන විධි ගැන විවේචන කරන අය කොතරම් දුරකට මෙවැනි වැඩකට අතදී ලාබ නොසොයන පරිත්‍යාගශීලීත්වය පෙන්වාවි ද කියාත් අපිට දැනගන්නට ලැබේවි.

කැමැත්තෙන් එවන පරිත්‍යාග සොයන හඳයාට ජයෙන් ජය පතමි!

“අරුණි ශපීරෝ‍ වෙතින්”

ඔබේ අදහස කියන්න...