යම්කිසි ජන සමාජයක් ‘ගලා යන නදියක’ සිට එක තැන පල් වන පොකුණක් බවට රූපාන්තරණය වූ පසු අපට කළ හැක්කේ කුමක්ද? මහින්ද රාජපක්ෂ රෙජීමයේ පූර්වජ – පියාගේ ලක්ෂණ සහිත සමාජය 2015 වර්ෂයේදී නිදහස් ඡන්දය මඟින් පෙරළා දමා දැන් වර්ෂ 4 ක කාලයක් ගත වී ඇත. නමුත් ගුණාත්මක වශයෙන් සිදු වූ පෙරළියක් නැත. යුගයක් වෙනස් වීමට ගලා යාම පමණක් ප්‍රමාණවත්ද?

ලංකාවේ 1977ට පසු බිහි වූ පූර්ණ විකසිත “ධනවාදී සමාජය” (ධනවාදයේ වර්ධනයට අවිඥානිකව මිනිස් ආත්මයේ සහයද හිමිව) 2015 දක්වා රූපකයක් ලෙස සැලකුවහොත් එය ගලා යන ජීවිතයක් මඟින් නිරූපණය කළ හැක. එනම් “ගලා යන නදියයි”. මේ යුගයේදී ලාංකේය මිනිසා ප්‍රභේද දෙකකට වෙන් වී ගියේය. එක් කට්ටියක් ධනවාදයට එරෙහිවූවන් විය. ඔවුහු වාමාංශිකයෝය. අනෙක් කට්ටිය ‘නිදහසට’ මුල් තැන දෙන ලිබරල්වාදීන්ය. ඔවුහු දක්ෂිණාංශිකයෝය. දැන් මෙම බලරටා දෙක වෙන් කර ගැනීමට අපහසු තරම් බොඳ වී ඇත. දැන් අපට කිව හැක්කේ සියලුදෙනාම ධනවාදයට පක්ෂපාතී වී ඇති බවයි. මෙම සන්දර්භය නිසා ලංකාවේ සමාජය දැන් “පොකුණක්” (pond) වී ඇත. එහි ජලය (මිනිසුන්) එකතැන පල්වෙයි. සැබෑ අභියෝගය ඇත්තේ දැන්ය.

 

බාහිරින් ධනවාදයට විරුද්ධ මිනිසුන් ධනවාදයම ඉල්ලා සිටියි. විරෝධාකල්පකරුවන්, උද්ඝෝෂකයන්, වැඩවර්ජනය කරන්නන්, සමලිංගිකයන්, ප්‍රතිසංස්කරණවාදීන් යනාදී මෙකී නොකී සියලුදෙනාම මෙම සමාජ – ක්‍රමයේ ප්‍රතිපෝෂණයට අවශ්‍යය. දැන් අප සොයා ගත යුත්තේ ධනවාදයට පක්ෂපාතී මිනිසුන්ය. පොකුණේ ජලය පල් වී ගඳ ගසන බව දැන් අපි දන්නෙමු. එහි ඇත්ත තත්ත්වය කීමට නහය වසා ගත යුතු නැත.

ජීවිතයක් බිහි වූ විට එය විවිධ හේතු නිසා විවිධාකාරයෙන් සංස්කරණය වෙයි. එය පළමුව ඊඩිපස් දෙමාපියන්ගේ සහය ලැබ ඉදිරියට ගමන් කරයි. එය විශාල වන, පිපෙන, ගුමු ගුමු නාදය දෙන බාහිර සම්භෝගයට සූදානම් ක්‍රියාවලියක් බවට පත්වෙයි. මින්පසු පුද්ගලයෙක් සිටිනා වූ සමාජය මඟින් රැස්කරගත් ඥාන සම්භාරයට හඳුන්වාදීමක් සිදු වේ. මෙබඳු ඥානයක් ලැබුණා වුවත් බිය, අනිත්‍යතාවය හා අනාරක්ෂිතභාවය නිසා පුද්ගලයා වික්ෂිප්ත වෙයි. මෙබඳු විට පුද්ගල විඥානය ක්‍රියාත්මක වන්නේ කඳු ප්‍රපාතයන්ගෙන් හා පර්වත ප්‍රාන්තයන්ගෙන් පහතට වැටෙන නදිය මෙනි. මින්පසු ජීවිතයට පරමාර්ථ දෙකක් හමු වෙයි. එක්කෝ සාගරයට ගලා ගොස් නැවත උත්පත්තියක් ලැබිය හැකිය. එසේ නැත්නම් පිටවීමට අවකාශයක් නොමැතිව සමතලාවෙහි නතර වී පල් විය හැකිය. මෙම පල් වල තුළදී නැවත සිතීම – නෙළුම් මල – යනු මිනිසුන් විසින්ම සංග්‍රහ කරන ලද සංකල්පයන්ගේ හෝ සිද්ධාන්තයන්ගේ ගොදුරු බවට මිනිසාම පත්වීම මෙනෙහි කිරීමයි. එම ක්‍රියාකාරීත්වයට අප කියන්නේ ප්‍රබුද්ධත්වය කියාය. ඡන්දයක් අපව ඒ කරා රැගෙන යන්නේ නැත.

දීප්ති කුමාර ගුණරත්න විසින් 2016 සමබිම සැත්තැම්බර් කලාපයට රචිත ලිපියකි

ඔබේ අදහස කියන්න...