දෙරණ’ නාලිකාවේ රාත්‍රියට ප්‍රචාරය වන ජනප්‍රිය සංගීත වැඩසටහනක් වන්නේ ‘මා නොවන මම’ යන වැඩසටහනයි.

කැළුම් ශ්‍රීමාල් විසින් මෙහෙය වන මෙම වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය ඔබව පැයක පමණ කාලයක් ද්‍රව-නයිට්‍රජන් භාජනයක ගිල්වා තැබීමයි. ‘මා නොවන මම’ යනු මනෝවිශ්ලේෂණ තේමාවකි. ටර්මිනේටර් නම් ත්‍රාසජනක ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටය මාතෘකාව අතින් රැඩිකල්ය. එහිදී අපට හමුවන්නේ අතිශය රැඩිකල් සතුරෙකි. මෙම සතුරාට වෙඩි තැබූ විට කුඩා කුඩා කැබලිවලට විසිරී යන අතර ක්ෂණයකින් යළිත් එම කුඩා කුඩා අංශු ඒකාබද්ධ වෙයි. චිත්‍රපටය අවසන් වන්නේ කතාවේ වීරයා සතුරාට වෙඩි තබන මොහොත්දීම ඔහුව ද්‍රව නයිට්‍රජන් භාජනයකට වැටෙන්නට සැලැස්වීමෙනි. එවිට සතුරාගේ බිඳී යන අංශු යළි ඒකාබද්ධ වීමකට ඉඩ නොලැබෙයි. කැළුම්ගේ සංගීත වැඩසටහන තුළ පුද්ගලයෙකුගේ ඔහු හෝ ඇය නොවන කොටස් ජනප්‍රිය සංගීතය සමග මුසු වෙයි. එවිට මා නොවන මම මගින් අලුත් පුද්ගලයකු බිහි නොවෙයි. එනිසා එම වැඩසටහන හිම මෙන් සීතල අත්දැකීමකි.

මෙම වැඩසටහනට මේ මෑත දිනකදී ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක් වන උමාලි තිලකරත්න සහභාගි විය. ඇය තරමක අලුත් දෙයක් වැඩසටහන ආරම්භයේදීම ප්‍රකාශ කළාය. ඇය කීවේ තමන් තුළ තමන්ටත් වටහාගත නොහැකි ‘මා නොවන මා කෙනෙක්’ ජීවත් වන බවයි. ඒ කෙනා ජීවත් වන්නේ කෙසේද? ඒ කෙනාව හඳුනා ගන්නේ කෙසේද යන්න සඳහා ඇයට ඇති ක්‍රමවේදය බුදු දහම බවත් ඇය එඩිතර ලෙස ප්‍රකාශ කළාය.

පුද්ගලයකු තුළ ජීවත් වන, තමන්ටම එරෙහිව යන අමුත්තකු පිළිබඳ මාතෘකාව මනෝවිශ්ලේෂණ මාතෘකාවකි. තමන්ගේ ‘සත්‍යය’ තමන්ටම සම්මුඛ වීමකි. උමාලි තිලකරත්න යනු මීට වසර කිහිපයකට පෙර ජනප්‍රිය නළුවකු සමග පෙමින් වෙළී ජනප්‍රිය විවාහ උත්සවයක්, ජනප්‍රිය මාධ්‍යවල මාතෘකාවක් බවට පත් කළ කෙනෙකි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය වැනි නව ලිබරල් අවකාශයකදී (කුමාර් ගුණරත්නම්ට අනුව නව ලිබරල්වාදය යනු මිනිසා සතු සමාජීය සියල්ල වෙළෙඳපොළකරණයට ලක් වන දේශපාලන ක්‍රියාවලියකි) උමාලිට සත්‍යවාදී පෙම්වතෙක් හමුවීමට ඉඩක් නැත. නොම්මර එකේ බඩුකාරයන්ගේ තිප්පොළක් වන ටෙලිනාටක ක්ෂේත්‍රය තුළ ඇය සත්‍ය ප්‍රේම බෘංගරාජයෙක් ෆැන්ටසිකරණය කරන්නේ මන්ද? ටෙලිනාට්‍ය නළුවකු පෙම්වතෙක් ලෙස ෆැන්ටසිකරණය කිරීම තුළ උමාලිට ‘මම නොවන මම’ හමු වී ඇත. එනම් ඇය විසින් විවාහක පෙම්වතා ලෙස තෝරා ගත් පුද්ගලයාව ඇය තෝරාගෙන නැත. ඔහුව තෝරාගෙන ඇත්තේ ‘ඇය-නොවන-ඇයයි’ එනම් ඇගේ අවිඥානයයි. උමාලි ජනප්‍රිය සංගීත වැඩසටහනක් හරහා අපට දෙන දැනුම සත්‍යවාදීය.

පුද්ගලයකුට යම් මොහොතකදී තමන්ට තමන් ගැන ඇති දැනුමක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වෙයි. උමාලි තිලකරත්න ඇයගේ කතිකාවට අනුව (කතිකාව යනු සිදුවීමට ඇති දේවල්වල අවිනිශ්චිතභාවය තහවුරු කිරීමයි. එනම් ආපතිකභාවයයි. ප්‍රේමය උමාලි සලකන්නේ සිදුවීමට ඇති දෙයක් ලෙස මිස නිශ්චිත අදහසක් ලෙස නොවේ) බුද්ධිමත් කාන්තාවකි. ඇයගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකි. ඇය ද ජපානයේ උසස් අධ්‍යාපනය හදාරා ඇත. නමුත් ගැටලුවක් ඇත. උගත් – පොහොසත් – මධ්‍යම පන්තික කාන්තාවක් සරුව පිත්තල ටෙලිනාට්‍ය නළුවෙක් සමග පෙමින් බැඳී ජනප්‍රිය ප්‍රසිද්ධ විවාහයක් කර ගත්තේ ඇයි? එය අපට මෙන්ම ඇයට ද ප්‍රහේලිකාවකි. කවුරුත් දන්නා අසාර්ථක විවාහයක අතාර්කික නියුරෝසීය කඩවසම් පිරිමියෙක් වූ ඇගේ පෙම්වතා (දරුවා) මනෝවිශ්ලේෂණයට අනුව පියාගේ තහනම හඳුනා නොගත්තෙකි. ඔහු මමීගේ පුතෙකි. මවගෙන් කැඩී වෙන් නොවූ ඔහු නෝමන් බේට්සේ මෙන් (The Psycho) ජීවත් වන්නේ මවගේ සුපිරි – අහම තුළය. ඇය තුළ ජීවත් වන ‘ඇය – නොවන – ඇය’ යනු ඇගේ කපාළය තුළින් එළියට ආ අභිරහසක් නොවේ. ඇගේ ‘ඇය – නොවන – ඇය’ ඇය වෙතට එන්නේ පිටත ලෝකයෙනි. ඇයට සල්ලි තිබුණත්, සුන්දර වුවත්, මධ්‍යම – පන්තික වුවත්, ජපානයට ගියත් ඇයට මනේවිශ්ලේෂණය ගැන දැනුමක් නැත. මධ්‍යම – පන්තිකයන්ට අත්‍යාවශ්‍යම විද්‍යාවක් වන්නේ ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයයි. නෝමන් බේට්ස් මෙන්ම උමාලි සහ විවාහ වූ ටෙලි-නාට්‍ය නළුවා බාහිරින් හරිම අහිංසක පුද්ගලයෙකි. ඔහුගේ දෑස් යට ගැඹුරක් ඇතැයි අපට ද සිතෙයි. ගැඹුර යනු අඳුරයි.

උමාලි දැන් පසුතැවිලි වන්නේ තමන්ගේ ජීවිතයේ වටිනාම සම්පත – ආදරය – නවලිබරල්වාදය තුළ ගිලී යාම ගැනය. කැටිපෙආරච්චිගේ භාෂා – කැටයම් විද්‍යාවට අනුව කිවහොත් ඇය පුද්ගලයෙකුගේ ප්‍රථම මුද්‍රාවට රැවටී ඇත. ඇගේ පෙම්වතා විනාශ වී ගිය අතීත පවුලක සාමාජිකයෙකි. විනාශ වී ගිය පවුල්වල සාමාජික සාමාජිකාවන් ජීවත් වන්නේ හෝ අනුන්ව රවටන්නේ කෙසේදැයි හොඳින් දනිති. ලිංගික සබඳතාවලින් ලබන අසීමිත තෘප්තිය මධ්‍යසාරවලින් ලැබිය හැකි යයි සිතන පුද්ගලයකු තමන්ගේ දරුවාව මවගේ ලෝකයක සිර කර දමයි. තම කුඩා කාලය පීතෘ හැඟවුම්කාරකයේ අවිනිශ්චිතභාවය තුළ ගිල්වා දැමු පුද්ගලයකු පහසුවෙන් වැඩිහිටියකු වන්නේ නැත. ජනතාවගේ මිතුරකු වන නාමල් රාජපක්ෂ ද, රනිල් වික්‍රමසිංහ මෙන්ම මවගේ පෙකණිවැලෙන් කතුරක් (හැඟවුම්කාරකය) හරහා කැපී නොආ පුද්ගලයෙකි. එසේ නම් ජනතාවගේ සතුරා කවුද?

උමාලි තිලකරත්න සද්ගුරු කැළුම් ශ්‍රීමාල් සමග සංවාද කරමින් අපට මෙවැනි පිළිතුරක් නිර්මාණය කරයි. “මා තුළ ජීවත් වී මා විනාශ කළ ‘මා – නොවන – මම’ සොයා ගැනීමේදී බුදුදහම සිතට සනීපයක්’’ අප මේ ගත කරන ජීවිතය මායාවන්ගෙන් ගහන මුළාවකි. මේ මායාවෙන් එනම් මට මා ගැනම ඇති දැනුම මා විසින්ම ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි ගවේෂණය නොකර එවැන්නක් මා තුළ නැතැයි සිතා ක්‍රියා කිරීමට අවශ්‍ය දර්ශනය සමග මම අනන්‍ය වෙමි. මේ උමාලි තිලකරත්නගේ සහ තවත් බහුතර මධ්‍යම – පන්තික ස්ත්‍රීන්ගේ ජීවන දර්ශනයයි. නමුත් ගැටලුව වන්නේ උමාලි තිලකරත්න මෙම ජනප්‍රිය ටෙලිනාට්‍ය චක්‍රයෙන් ඉවත් වුවත් එම චක්‍රය දිගින් දිගටම කැරකි කැරකී තිබීමයි. ඉන් අදහස් වන්නේ ‘මම විමුක්තිය ලැබුවත්’ ඉතිරි අයව මුලා කිරීමට තරම් විෂම චක්‍රය ප්‍රබල බවයි. උමාලි තම ගොදුරු ස්වභාවයෙන් ගැලවී ඉතිරි වුවත් ඒ තැනට දැන් වෙනත් ස්ත්‍රියක් ආදේශ වී ඇත. මේරියන් ක්‍රේන්ට, උමාලි තිලකරත්නට වූ දෙය X නම් අනාගත ස්ත්‍රියකට ද සිදු විය හැක. උමාලි කළ යුත්තේ ඇය නෝමන් බේට්ස්ගේ අහිංසක හිනාවට වශී වූයේ මන්ද යන්න සොයා බැලීම මිස ඇයගේම චිත්ත අභ්‍යන්තරයට යොමු වීම නොවේ. එය මනෝ විද්‍යාවයි.

Deepthi

Lankanewsweb

ppppppppppppppppppppppppppppppppppppppppppppppppppp

ලංකාවේ ක්‍ෂිතිමය පරම්පරාව නියෝජනය කළ දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ සොහොයුරා වූ ‍දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.

වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු 71 කැරැල්ලේදී හා ඉන් පසුව දීර්ඝ වදබන්ධන වලට ලක් වූ වින්දිතයෙකි. 1971 වසරේ දිනක දිනක්‌ රාත්‍රියේදී පණ පිටින් පුළුස්‌සා මැරීම සඳහා ඔහුගේ සිරුරට පෙට්‍රල් වත් කරනු ලැබේ. එහෙත් රත්නපුර රෝහලේ ටෙනිස්‌ පිටියේදී ඔහු සමග ටෙනිස්‌ ගැසූ පැරණි මිතුරකු වූ සහකාර පොලිස්‌ අධිකාරි නීල් වීරසිංහ ඔහු හඳුනාගෙන ඔහුගේ සිරුරට ගිනි තැබීම වළක්‌වයි. 1989 දී ගම්පහ රෝහලේ වෛද්‍යවරයකුට පහර දීම නිසා යළි පොලිස්‌ කූඩුවට දමනු ලැබේ. ඊට දින කිහිපයකට පසු ගම්පහ පිහිටි “වයිට්‌ හවුස්‌” නමැති ඔහුගේ නිවස ජ.වි.පෙ. සාමාජිකයෝ ගිනි තබති. මේ වන විට ඔහු හත් වතාවක්‌ හිරේ ගොස්‌ ඇත. සිය වතාවකට වඩා පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. (කාලයෙන් කාලයට රට කළඹන විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌)

ඔහුගේ ක්ලමථකාරී හැසිරීම් රටාව ( Post-traumatic Stress Disorder) මාධ්‍ය විසින් වාර්ථා කල තිබුණි. වරක් අධිකරණය ඉදිරිපිටදී කැත්තක් රැගෙන කළහකාරි ලෙස හැසිරුණු වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණි. ඉන්පසු කොළඹ අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අණතුරුව වෛද්‍ය සුභාෂ් පිළිබඳව මානසික තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කිරීමෙන් පසුව ඔහුව අංගොඩ මානසික රෝහලට යොමු කරන ලදි.

වධ බන්ධනයට ලක් වීමත් හිසට සිදු කරන ලද පහර දීම් නිසාත් දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයෙන් මෙන්ම TBI (Traumatic Brain Injury) තත්වය නිසා හටගත් පෞරුෂ වෙනස් වීම් වලින් ද පෙලෙන බවට අනුමාන කිරීමේ සාධක තිබේ. මේ පිලිබඳව මම වරක් ලිපියක්ද ලියූවෙමි. වෛද්‍ය ‍ සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මෙවැනි කුරිරු ලෙස තම ජීවිතය අවසන් කර ගැනීම සඳහා ඔහු ලද ක්‍ෂිතිමය ජීවන අත්දැකීම්ද හේතු කාරකයන් වන්නට ඇත. සියදිවි නසා ගැනීම අනුමත නොකරන මුත් දිවි නසා ගැනීම සඳහා ඔහුට තම වෛද්‍ය දැණුම උපයෝගී කර ගෙන මාරක නමුදු සෞම්‍ය ක්‍රමවේදයක් උපයෝගී කර ගැනීමේ හැකියාව තිබුන නමුදු ඔහු තෝරා ගත්තේ ඉතා සාහසික මෙන්ම දරුණු ක්‍රමවේදයකි. මෙයද ඔහු පෙළූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාව හේතු කාරකයක් වන්නට ඇත. දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු යනු 1971 / 1988-89 යුග වල අන්තවාදී ප්‍රචණ්ඩ දේශපාලනයේ මෙන්ම රාජ හිංසනයේ කොටස්කරුවෙකු මෙන්ම ගොදුරකි. ඔහු නියෝජනය කලේ ලංකාවේ ක්‍ෂිතිමය පරම්පරාවය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දීප්ති ගේ “ජනතාවගේ මිතුරන් සහ හතුරන්” ලිපියේ මේක මට තේරෙන්නේ නැහැ:
    “මේ මායාවෙන් එනම් මට මා ගැනම ඇති දැනුම මා විසින්ම ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි ගවේෂණය නොකර එවැන්නක් මා තුළ නැතැයි සිතා ක්‍රියා කිරීමට අවශ්‍ය දර්ශනය සමග මම අනන්‍ය වෙමි”
    බෞද්ධ දර්ශනය මිනිස් චිත්ත පරම්පරාව ගවේෂණය කළ හැකි ධර්මයක් හැටියටයි අර්ථ දක්වන්නේ. දීප්ති ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාෂකරනවානම් දීප්ති ඒක ටිකක් පහැදිලි කරන්න ඕනේ.

    “උමාලි කළ යුත්තේ ඇය නෝමන් බේට්ස්ගේ අහිංසක හිනාවට වශී වූයේ මන්ද යන්න සොයා බැලීම මිස ඇයගේම චිත්ත අභ්‍යන්තරයට යොමු වීම නොවේ. එය මනෝ විද්‍යාවයි.”
    ඇයගේ චිත්ත අභ්‍යන්තරයට යොමු නොවී ඒක කරන්නේ කොහොමද? දීප්ති කියන්නේ උමාලි මනෝවෛද්‍ය වරයෙක් ගාවට ගිහින් psychoanalysis කරගත යුතුයි කියලද? ලංකාවේ Psychiatrist ලට එහෙම දෙයක් සාර්ථකව කරන්න පුලුවන්ද?

Comments are closed.