“මනෝවිශ්ලේෂණ අධ්‍යයන, ගවේෂණ සහ සම්ප්‍රේෂණ පදනම” නම් සංවිධානය විසින් X කණ්ඩායම වෙත 2004 වර්ෂයේ අගභාගයේ දී නිර්නාමිකව එවන ලද ‘පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය’ නම් ලිපිය විසින් මතු කළ ප්‍රශ්න විශාල ගණනකට අප පිළිතුරු දුන් අතර අද මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඔවුන් විසින් අසන ලද තවත් තීරණාත්මක ගැටළු කිහිපයකට ලබා දෙන අපගේ පිළිතුරු සහ ඒවායේ දේශපාලන සන්දර්භයයි. මෙම ලිපිවල ප්‍රධාන කතුවරුන් වන්නේ ප්‍රභා මනුරත්න සහ බුද්ධික බණ්ඩාරය. මේ පුද්ගලයන් දෙදෙනාගේ සාකච්ඡාවෙන් උපන් නමුත් පසුව තමාව පුද්ගලික හේතු මත රවටන ලද බවට ආඩපාලි කියන ලද්දේ සුමිත් චාමින්දය. ඔහු ද විසින් මතු කරන අපගේ විවිධ විරුද්ධාභාසයන්ට ද මෙහි දී පිළිතුරු දීමට අපි උත්සහ කරන්නෙමු. මනුරත්න-බණ්ඩාර යුගලය X දේශපාලනය ගැන මෙසේ විචාරයි.

“අන් තැන් වලදී ඉතා සියුම් විශ්ලේෂකයන් වන ඉහත කතුවරුන්ට, දේශපාලනය යනු ධනාත්මක සංකේතීය අර්ථ ගැන්වීමක් නොවන බව පෙනී නොයාමේ දේශපාලනය……….”

[In brief, dialectics can be defined as the doctrine of
the unity of opposites. This embodies the essence
of dialectics, but it requires explanations and develop-
ment -Lenin.]

මනුරත්න – බණ්ඩාර යුගලයේ ලිඛිත ගැටළුවක් වන්නේ ඔවුන් නාමිකව ලියූ දේවල්වලට නිර්නාමිකව ඔවුන් ම අභියෝග කිරීමයි. (උදා- පියාගේ පරිකල්පන කාර්යය X කණ්ඩායම තේරුම් ගන්නා ඉතා සීමිත ආකාරය ,“මාළිමාව අහිමි වීම සහ සදාකාලික ළමා විය යන බුද්ධික බණ්ඩාරගේ ලිපිය කියවන්න.” දැන් මේ ලිපිය ප්‍රශ්ණ කරන්නේ ද බණ්ඩාරමය. මෙය මෙසේ කීවා නම් යහපත්ය. දීප්ති විසින් ලැකාන්ගේ සංකේත පියා පිළිබඳව අපට උගැන්වූ අතර එය වැරදි යැයි බණ්ඩාර වන මට දැන් වැටහෙයි. එබැවින් එය දැන් මම විචාරය කරමි.) මෙම හේතුව නිසා යම් න්‍යායක් සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය වටහා ගැනීම දුෂ්කරය.  උදාහරණයක් ලෙස ‘සංකේත පියා’ පිළිබඳව මාගේ න්‍යාය වැරදි නම් ඒ ගැන ඔවුන්ගේ ස්ථාවරය ගැන ඔවුන් යමක් කියන්නේ නැත. ඒ ගැන ඔවුන් කියන්නේ ජිජැක්ගේ ස්ථාවරයයි. ඔවුන්ගේ අර්ථයේ ක්ෂතිජය තීරණය කරන්නේ ස්ලාවොජ් ජිජැක් ය. ඔවුන්ට අනුව ජිජැක් යනු කතිකාවක් නොව අදහසකට අවසාන අර්ථය සපයන උත්තරීතර පුද්ගලයෙකි. එතැනදී ඔවුන් නො දැනුවත්ව මගේ මාර්ගයට අවතීර්ණ වී ඇත. මන්ද යත් ඔවුන්ට අනුව සංකේතීය පියා සමාජයේ භෞතිකව හමු වන පියවරුන් වර්ගයක් නොවන නිසාය. නමුත් මනුරත්නලාගේ කතිකාවේ අවසාන කරකවන්නා ස්ලාවොජ් ජිජැක්ය. ඔහු ඔවුන්ගේ කතිකාවේ භෞතික බාහිර විමර්ශකයයි. ජිජැක් ඉතා හොඳින් ජාක් ෙඩරීඩාගේ දර්ශනය කියවා ඇති නිසා ඔහු කිසිදා භාෂාව මඟින්, භාෂාවෙන් පිටත දේවල් කියන්නට යන්නේ නැත. ප්‍රභා මනුරත්න කිසිදා අපගේ ව්‍යුහවාදී පන්ති වලට සහභාගී වී නැති නිසා ඇයට භාෂාව යනු ‘වෙනස්කම්වල එකතුවක්’ පමණක් බව වැටහී නැත. ඇය භාෂාව තුළ විවිධ අර්ථ සොයයි.

ඇය මෙසේ වහරයි:

‘එනම් එක් පියකු සංකේත පියකු වී, තවත් පියකු පූර්වජ පියෙකු වී, ඔබේ පියාට වඩා මගේ පියා හොඳ (ශිෂ්ට,උගත්,සංස්කෘතික, උසස්…..) යැයි පැවසීම න්‍යාය විරෝධීය.’

ප්‍රභා මනුරත්නට අමතක වී ඇති සෝෂියර් ගේ සාධාරණ වාග්විද්‍යාවේ මූලික මූලධර්මය මතක් කරමු. ඇය අපට කියන්නේ සංකේත පියා පිළිබඳ සහසම්බන්ධ ප්‍රතිපක්ෂ නිර්මාණය කිරීම න්‍යාය විරෝධී (විරුද්ධාභාසය?) බවයි. නමුත් ඇය තමන් නොකරන්නේ යැයි සපථ කරන ධර්මය ඇය විසින්ම ව්‍යුහාත්මකව උල්ලංඝනය කරයි. ඇයගේ න්‍යාය සාරාත්මක වන්නේ කොතැනදී ද?.

‘සංකේත පියා’ පිළිබඳ න්‍යායේ අවසන් විමර්ශකය ලෙස බටහිර පිරිමියා (ලැකාන්,ජිජැක්,ෆ්‍රොයිඩ්) ඇය සලකන විට ඇයගේ න්‍යායේ වඩා පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට ඇයට අලුත් සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් ගොඩ නැඟීමට සිදු වී ඇත. එනම් ‘සංකේත පියා’ පිළිබඳ න්‍යායේ නිවැරදි අදහස දරන්නේ ෆ්‍රොයිඩි, ලැකාන් ජිජැක් වැනි සිවිල් බටහිර පිරිමියා ය. එහි වැරදි, දෝෂ සහගත, ව්‍යාකූල, අත්තනෝමතික අදහස දරන්නේ දීප්තිය. ඒ අනුව ඇය හොඳ සංකේත පියා සහ නරක සංකේත පියා රහසින් යළි ගොඩ නඟා ඇත. කාන්ට් නම් දාර්ශනිකයාට අනුව මිනිස් සත්වයා ශික්ෂණය කිරීමට මාස්ටර්වරයෙකු අවශ්‍ය ය. මින් අදහස් වන්නේ ශාරීරික දඬුවම් නොවේ. කාන්ට් ගැන ගැඹුරින් කියවන විට අවබෝධ වන්නේ මිනිසාගේ පරිසරය භාෂාව මිස ස්වභාව ධර්මය නොවන බවය. ( ඉදිරි වර්ධනයන් පොතකට රැගෙන ඒමට අදහස් කරමි)

‘සංකේත පියා’ පිළිබඳ දිගු විවාදයක අප පැටලෙන්නේ නම් ඉන් අදහස් වන්නේ ‘මනස’ යන අදහස නොවේ. එක් සමාජයක් තවත් සමාජයකට වඩා උසස් වන්නේ සංස්කෘතිය තුළ නොවේ. එය සිදු වන්නේ ලැකානියානු යථ නම් ක්ෂේත්‍රයේදීය.  ‘බටහිර සංස්කෘතිය’ සිංහල සංස්කෘතියට වඩා උසස් වන්නේ සංකේතනීය ලෝකය තුළ නොව යථට අදාල ස්ථානයේය.

සංකේතීය පියා දරා සිටින “සත්‍ය” පියෙකු සිටිය යුතුය යන්න ද ප්‍රභා මනුරත්න ප්‍රතික්ෂේප කරයි. ඇය ‘එක්සත් ජාතික පක්ෂයේ’ සිවිල් සමාජ සාමාජිකාවක නොවී ‘ජනතා විමුක්ති පෙරමුණේ’ විද්වත් සභාවේ සාමාජිකාවක වන විට ඇය අමතක කරන්නේ තමා ද සංකේත පියා දරා සිටින බාහිර විමර්ෂකයන් අනුමාණ කරන බවයි-objective belief. එනම් ඇය විසින්ම ප්‍රතික්ෂේප කරන ‘සංකේත පියා’ සංකල්පයේ අනෙකත්වය ඇය අතින්ම යළි ප්‍රතිනිර්මාණය වන බවයි.

 ඇය අතින් හාස්‍යයට ලක් වන සුරංගනා කතාවක් බඳු වූ X කණ්ඩායමේ සමාජ න්‍යායට ඇය සරදම් කරන්නේ පහත ආකාරයට ය.

‘සමාජ විප්ලවය නිර්ධන පංති සහෝදරත්වය තුළ නොව ශිෂ්ට ලස්සන පවුල තුල ඉපදුන, ස්ත්‍රීන් ශික්ෂණය කිරීමට සමත් සුන්දර පුතුන් අතින් සිදු වන දෙයක් බවට පවසන X කණ්ඩායමේ හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් වර්ගයේ සමාජ න්‍යායට පදනම වැටෙන්නේ ඉහත අප සඳහන් කළ න්‍යායික වරද තුළය.’

Titanic චිත්‍රපටයේ රෝස් භූමිකාවට සාම්‍ය පරිදි X දේශපාලනයට ඇතුල් වූ ප්‍රභා මනුරත්න එහි කම්කරුවෙකු හරහා ඇගේ අනන්‍යතා අර්බුධය විසඳා ගැනීම එක අතකින් X කණ්ඩායමේ හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් සමාජ න්‍යායේම ඵලයක් බව ඇයට නොපෙනී යාම දෛවයේ සරදමක් ද? නරුමවාදයේ ලක්ෂණයක් ද?

අපගේ දේශපාලන සංවිධානය විසින් එහි සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා ගෙන්වන ලද සමහර මූලික කෘතීන් ප්‍රභා මනුරත්න සහ බුද්ධික බණ්ඩාර ඉතා බරසාර ලෙස බාරගෙන ඇත. පෝල් ෆර්හාක්, යානිස් ස්ටැව්රකාකිස් සහ තවත් අය ලැකානියානු මනෝවිශ්ලේෂණය සහ වාමවාදය සංකලනය කිරීම සම්බන්ධයෙන් යම් යම් ඌනතා පෙන්වූවන් බව පසුකාලීන දේශපාලන සාහිත්‍යය තුළ තහවුරු විය. මේ අය ඔවුන්ව ඉතා බැරෑරුම් ලෙස සලකා ඔවුන්ගේ කෘති මත මේ අයගේ විවාදය ස්ථානගත කිරීම නිසා සිදු වූයේ අපගේ ව්‍යාපාරය අලුත් වටයකින් පුනර්ජීවනය වීම පමණි. මේ අය අසන ලද අනෙක් සියළු ප්‍රශ්ණ වලටද පිළිතුරු සැපයිය හැකි මුත් එයට කාලය යෙදවීම නිරර්ථකය.

‘ස්වාමියා සහ සේවකයා’ පිළිබඳ හෙගේලියානු දයලේක්කිත අදහස ද ප්‍රභා සහ බුද්ධික අවබෝධ කර ගත්තේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වන ද්විඝඨනයක් ලෙසිනි. නමුත් ඉන් හේගල් සහ ජිජැක් හැඟවීමට උත්සහ කරන ලද්දේ විඥාණ ප්‍රවර්ග දෙකක් ගැනය. උදාහරණයක් ලෙසට ගතහොත් ජිජැක් සහමුලින් දේශපාලනය තුළ ස්වාමීයත්වය ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ වෙනුවට එහි ඇති නව – සංවිධානාත්මක විභවය ගැන සාකච්ඡා කරයි. පසුගිය සමීප අතීතයක ප්‍රංශයේ හටගත් කහ ජැකට්කරුවන්ගේ අරගලය විචාරය කරමින් ජිජැක් මෙසේ ලිවීය.

“At this point, we should be very clear: to accomplish this key step, a shift from the tlysteric to Master has to Occur: a new Master is needed. there we encounter the fatal limitation of the mach-Praised “leaderless”character of the French Protesters, of there chaotic Self- Organization……..”

ප්‍රභා මනුරත්න සහ බණ්ඩාර 2006 වසරේ ඔක්තෝම්බර් 24 වනදා පළ වූ ‘දිනමිණ’ පුවත්පතේ මංසල අතිරේකයට “න්‍යායික වංකගිරියක අතර මං කළ සංකේතීය පියා” නමින් ලිපියක් ලියමින් මෙසේ ප්‍රකාශ කරයි.

“ලැකාන් පෙන්වා දෙන්නේ ධනවාදයේ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස පියාගේ මෙම මියගිය නීතියෙහි ‘මියගිය ස්වභාවය’ එනම් එහි සංකේතීය ස්වභාවය යටපත් වන බවයි. සංකේත නීතිය මියගිය විට එය සමාජය ව්‍යුහගත කරන, ඕනෑම ආත්මයකට ආදේශ විය හැකි ස්ථානයක් බවට පත් වෙයි. භාෂාව විසින් ඉටු කරන්නේ මෙම ක්‍රියාවලියයි.මෙම මියගිය නීතිය වෙනුවට එයට මිය නොගිය පියවරුන් ආදේශ වෙයි. එනම් මෙම නීතිය තම ශරීරය කරගත් පියවරුන්ගේ මතු වීමයි. පූර්වජ පියා යනු මෙහි එක් ස්වරූපයකි.‘ඔබේ පියාට වඩා මගේ පියා හොඳ සංකේත පියෙකු’ යැයි පැවසීම න්‍යායාත්මක වශයෙන්ම වැරදි වන්නේ එහෙයිනි. එසේ පවසන විටම මතුවන්නේ මිය නොගිය පූර්වජ පියාගේ අවඥාසහගත සිනහවයි.”

පූර්වජ පියා යනු ඉහත උපුටනයේ සඳහන් වන පරිදි සංකේතීයකරණය කළ හැකි පියෙකු නොවේ. ඔහු ‘සැබෑ පියෙකි.'(Real Father) ප්‍රාන්ස් කෆ්කා නම් චෙක් ලේඛකයා පිළිබඳව ස්ලාවොජ් ජිජැක් ලියා ඇති දීර්ඝ ලියවිල්ලට අනුව පුත්‍රයා විසින් පියා තමාට වඩා විනෝද වනවා යැයි ෆැන්ටසිකරණය කරයි. එනිසාම පුත්‍රයා විසින් පරිකල්පනය කරන්නේ තමා ට වඩා පරිපූර්ණ ජීවිතයක් පියා ගත කරනවා ඇත යනුවෙනි. නමුත් කෆ්කාගේ පියා සංකේතීයව ගත් කළ ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගත කරන කිසිදු පුරුෂාධිපත්‍යයික ලක්ෂණයක් පෙන්නුම් නොකරන සාමකාමී පුද්ගලයෙකි. ලැකාන් යනු ධනවාදය පිළිබඳව න්‍යායගත කළ පුද්ගලයෙකු නොවේ. ලැකාන් සහ ධනවාදී කතිකාව අතර සම්බන්ධය ගොඩනඟන්නේ පසුකාලීනවය. මනෝවිශ්ලේෂණය විසින් ‘ධනවාදය’ ගැන අමතර දැනුමක් අපට නිශ්පාදනය කරන්නේ නැත. මාක්ස්වාදය ලැකානියානුකරණය කිරීම ආදේශපාලනිකය. ධනවාදයේ චලිත නියාමයන් සමඟ ආත්මයේ න්‍යායන් තුල්‍ය කිරීම දෘෂ්ටියකි.කළ යුත්තේ එම විෂයන් දෙක අතර පවතින ‘පරතරය’ (Gap) නැතහොත් අසම්පාතය අවධාරණය කිරීමයි. ප්‍රභා මනුරත්න සහ බුද්ධික බණ්ඩාර පවුලක් ගොඩනඟා මේ වන විට වසර 14 ක් පමණ වෙයි. ඔවුන්ගේ න්‍යාය හරහා ඔවුන් සමකාලීන පරිභෝජන සංස්කෘතියෙන් ගැලවී ඇත්ද? නැතහොත් ඊට අධික ලෙස අනන්‍ය වී ඇත්ද? මෙම ප්‍රශ්ණ ගැන විවෘතව සත්‍යය කතා කළ හැකිද? ලැකාන් ස්ත්‍රිය සහ පුරුෂයා යනුවෙන් නාමකරණය කරන්නේ තාර්කික සහ ආකෘතිමය ස්වභාවයක් මිස ජීව විද්‍යාත්මක ස්ත්‍රිය සහ පුරුෂයා ගැන නොවේ.  ඔවුන් මෙසේ කියයි.

“ගැහැණිය යනු පිරිමියාගේ සහසම්බන්ධය ප්‍රතිපක්ෂය නොවේ. ඒ වෙනුවට ගැහැනිය සහ පිරිමියා යනු යථ සහ භාෂාව අතර වන ගැඹුරු නොගැළපුම වෙත ආත්මය සම්බන්ධ වන ආකාර දෙකකි.”

අපගේ ගැටළුව සරලය. අපට අනුව හැඟවුම්කාරකයට ඇති ද්විත්ව සහසම්බන්ධය ස්ත්‍රීමය සහ පුරුෂබව නිර්ණය කරයි. නමුත් ප්‍රභා මනුරත්නට සහ බුද්ධික බණ්ඩාරට වෙනස්ව අප මෙසේ කියන්නෙමු. කෙනෙක් ස්ත්‍රියක් වනවාද යන්න තීරණය කරන්නේ ඒ කෙනාගේ අවිඥාණය විසිනි. එය සවිඥාණක ක්‍රියාවලියට සම්බන්ධ නැත. අනෙක් අතට මේ ලෝකයේ ඇත්තේ එකම එක ලුබ්ධියක් පමණි. ඒ පිරිමි ලුබ්ධියයි. එබැවින් භාෂාවේ ආධිපත්‍යයට ගැටගසන ඕනෑම ලුබ්ධියක් පිරිමිය. ඩෙරිඩා වැනි දාර්ශනිකයෙකු ප්‍රකාශ කර සිටින්නේ සියලු වාගීශ්වරවාදයන් පුරුෂාර්ථ බවයි.

එනිසා ඔබ ස්ත්‍රියක් යැයි කියන්නේ ඔබ නොව ඔබගේ අනෙකාය. නොදැනුමට අප තුළ ඇති අනුරාගය මඟින් තීරණය වන්නේ අපගේ විනෝදයයි. ජර්මානු විඥාණ දර්ශනය මගින් ප්‍රකාශ වන අභ්‍යන්තර නිදහස මෙහිදී නිර්වචනය කළ හැක. ඔබට ඔබගේ අඳුර ගැන කතාකරන්නට හැකිද ?කිසිවකු අප දෙස බලන්නේ නැතිනම් අපගේ අඳුර අපටම නිරීක්ෂණය කිරීමට නොහැකි ද? ආත්මරාගය දැඩි මිනිසකු සෑමවිටම නමන්ගේ අඳුරට සාප කරන්නේ ”අනෙකා” සමතික්‍රමණය කිරීමෙන් ය. එනිසා ලැකානියානු ආප්තයක්ම ප්‍රකාශ කරමින් මම මේ ලිපිය මෙසේ අහවර කරන්නෙමි. මා තුළ සිටින ස්ත්‍රියට අවශ්‍ය කුමක්දැයි මම නොදනිමි. සමහර විට මා තුළ සිටින පිරිමියා තමන්ගේ බාහිර සතුරා ලෙස ඔබව වටහාගෙන ඇතිවාට සැකයක් නැත. නමුත් ඒ මා තුළම ඇති ස්වයං බාධාවක් බහිශ්කරණය කිරීමක් පමණි. පළමුවැන්න ආදරයයි. දෙවැන්න ඊර්ෂ්‍යාවයි.

Deepthi kumara Gunarathne

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. “බටහිර සංස්කෘතිය’ සිංහල සංස්කෘතියට වඩා උසස් වන්නේ සංකේතනීය ලෝකය තුළ නොව යථට අදාල ස්ථානයේය”.
    ඉහත අදහස උදාහරණයක් මගින් පහදන්න පහදන්න පුලුවන් ද?Thx

  2. “බටහිර සංස්කෘතිය’ සිංහල සංස්කෘතියට වඩා උසස් වන්නේ සංකේතනීය ලෝකය තුළ නොව යථට අදාල ස්ථානයේය”.
    ඉහත අදහස උදාහරණයක් මගින් පහදන්න පුලුවන් ද?Thx

  3. “එක් සමාජයක් තවත් සමාජයකට වඩා උසස් වන්නේ සංස්කෘතිය තුළ නොවේ. එය සිදු වන්නේ ලැකානියානු යථ නම් ක්ෂේත්‍රයේදීය. ‘බටහිර සංස්කෘතිය’ සිංහල සංස්කෘතියට වඩා උසස් වන්නේ සංකේතනීය ලෝකය තුළ නොව යථට අදාල ස්ථානයේය”.
    මෙහි යථ යනුවෙන් ඔබ අදහස් කරන්නේ ” විනොදය ” ද?

  4. “Titanic චිත්‍රපටයේ රෝස් භූමිකාවට සාම්‍ය පරිදි X දේශපාලනයට ඇතුල් වූ ප්‍රභා මනුරත්න එහි කම්කරුවෙකු හරහා ඇගේ අනන්‍යතා අර්බුධය විසඳා ගැනීම එක අතකින් X කණ්ඩායමේ හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් සමාජ න්‍යායේම ඵලයක් බව ඇයට නොපෙනී යාම දෛවයේ සරදමක් ද? නරුමවාදයේ ලක්ෂණයක් ද?” – Excellent point. From what I have read about Prabha Manuratne-X Group Saga in this website itself, the Titanic trope above and the follow up question explicitly summarizes the whole episode.
    What follows from that point is a lucid explanation of some key theoretical points. Thank you so much.
    However, the ending is a bit confusing to me.

Comments are closed.