වසර 2005 සිට ජාතිකවාදී දේශපාලනය සහ සංවිධානය විය යුත්තේ කෙසේද යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් හමු නොවීම නිසා අපගේ සංවිධානයේ සමාජීය දේශපාලන අධ්‍යාපනය බිඳ වැටුණේය. එම අඩුව පිරවීම සඳහා විවිධ පන්නයේ මධ්‍යම – පාන්තික (පහළ මැද පන්තිය) රැඩිකලූන් සහ රැඩිකල් මනෝ ව්‍යාධිකාරයන් ආදේශ විය. එවැනි විකාර පටන් ගත්තේ ලේක්හවුස් පුවත්පත් දෙකක් වන ‘දිනමිණ’ සහ ‘සිළුමිණ’ පුවත්පත් දෙකෙනි. එය ඉන්පසු සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (රංජිත් පෙරේරා) හරහා වාර්ගික ආයතනය උඩින් ගොස් කතිකා අධ්‍යයන කව තුළින් අවසන් වී ඇත. මේ කිසිදු විකාරයකින් ලංකාවේ වාමාංශික චින්තනයට කිසිදු සුගතියක් අත් නොවුණි. සිදුවූයේ වාමාංශික චින්තනය අභ්‍යන්තරයෙන් ඇමීබාකරණය වීම පමණි.

‘කොමියුනිස්ට්වාදය’ යනු මනෝ රාජ්‍යයක් නොව විද්‍යාත්මක දර්ශනයක් මත පදනම්ව ගමන් කළ හැකි සාමූහික ප‍්‍රජාවක් පිළිබඳ අදහසකි. මාක්ස්වාදය යනු ධනවාදය පමණක් නොව ‘ප‍්‍රාග්ධනය’ද විචාරය කරන විද්‍යාවකි. ශ‍්‍රී ලංකාවේ වාම චින්තනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සමාජවාදී රටක ඓතිහාසික අත්දැකීම් ලැබූ ස්ලෝවේනියානු ජාතික බුද්ධිමතකු වූ ස්ලාවෝජ් ජිජැක් සිංහල සමාජයට අප හඳුන්වා දුන්නේ අධික මේද ආහාරයකට පසුව මේදය දහනය කිරීමට දිගු පා ගමනක් ලෙස නොවේ. ඔහුගේ චින්තනය අවුල් කිරීම සඳහා සමාජයට කරන ලද කැත වැඩ සමූහයට අදාළ වගකීම සාමූහිකව අපි බාර ගන්නෙමු. බොහෝ කැත වැඩ කෙළේ අපේ සංවිධානයේම පැරැණි සගයන්ය.

දැන් අලුත් කාලයක් පැමිණ ඇත.

ජිජැක්ගේ දේශපාලන දර්ශනය හිමින් හිමින් ක‍්‍රමවත්ව පාඨක ඔබ වෙත රැගෙන එන්නට අපි උත්සාහ කරන්නෙමු. විශේෂයෙන් කොළඹට පැමිණ පොරවල් වන ගම්වල දුප්පත් තරුණ ජනයා වෙනුවට ඒ ඒ පළාත්වල ජීවත් වෙමින් ම ජිජැක්ගේ දර්ශනය හදාරන ලෙස අපි යෝජනා කරන්නෙමු. ඒ කතිකාවත සඳහා පළමුවෙන්ම ප‍්‍රවේශ වන්නේ ‘මහේෂ් හපුගොඩ’ ය.

ජිජැක්ගේ ප‍්‍රධාන දේශපාලන මැදිහත්වීම පටන් ගන්නේ ඓතිහාසික අත්දැකීමක් ලෙස ‘සමාජවාදය’ අසමත් වූ තැනේ සිටය. ඔහු පළමුව උත්සාහ කළේ සමාජවාදය පැවති රටවලට අදාළව රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමටය. නමුත් එය නැග ගෙන එන ගෝලීය ධනවාදී වෙළෙඳපොළ ඉදිරිපිට වාෂ්ප වී ගියේය. ඉන්පසු ඔහුගේ අවධානය යොමු වූයේ දෘෂ්ටිවාදය විචාරය කිරීම පිළිබඳ න්‍යාය සංවර්ධනය කිරීමටය. ඕනෑම විමුක්ති ව්‍යාපාරයකට අදාළව මුහුණ දිය යුතු ගැටලු ගණනාවකට ඔහු විසින් පිළිතුරු සපයන ලදී. නරුමවාදය විචාරය කිරීම, සර්වාධිකාරය විචාරය කිරීම, ධනවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය රහිතව ගමන් කිරීමේ විභවය ඉන් කිහිපයකි. ජිජැක්ගේ චින්තනයට මූලික අවධි දෙකක් ඇත. පළමුවැන්න වන්නේ රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවධියයි. මේ යුගයේ දී ධනවාදයට විසඳුම ලෙස ඔහු ඉදිරිපත් කළේ රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුම්ය. එය 1989න් ඇරැඹී 1997න් පමණ අවසන් විය. දෙවන අවධිය වන්නේ ‘කොමියුනිස්ට් උපන්‍යාසය’ යුගයයි. මේ දෙවන යුගය රැඩිකල් ලෙස පළමු යුගයෙන් ඛණ්ඩනය වී ඇත. පළමු යුගයේ පදනම ‘මහා – අනෙකා’ නැත යන ප‍්‍රවාදය නම්, දෙවන යුගයේ පදනම ‘මහා – අනෙකා’ අවිඥානික විමර්ශකයක් ලෙස ගෙන සාමූහික ප‍්‍රශ්නවලට අදාළව ‘භක්තිය’ මත පදනම්ව සාමූහික ප‍්‍රජාවක් ගොඩනැගීමයි. පළමුවැන්න ආගම විවේචනය කිරීමක් නම් දෙවැන්න ආගම යනු දෘෂ්ටිවාදය විචාරය කිරීමේ පදනම ලෙස ගැනීමකි.

මුල් යුගයේ දී ඇමෙරිකානු ඇකඩමියාව ජිජැක් ගණන් ගත්තෙ නැහැ. ඔහු භාවිත කරන ඉංග‍්‍රීසි වුණත් ප‍්‍රබුද්ධයි කියල සම්මත වුණ ඉංග‍්‍රීසි නොවෙයි. ඒ නිසා ඔහු පිළිබඳ ඒ කාලෙ කතා කළේ නැහැ. නමුත් ඔහුගේ විවිධ කෘති හරහා ඇමෙරිකාවෙ ඇකඩමියාවට සිද්ධ වෙනවා ඔහු පිළිගන්න. ඔහු දෘෂ්ටිවාදය විවේචනය කරන බර සහ එහි පවත්නා කොන්දේසි විරහිත ස්වභාවය තුළ ම ඔහු පිළිගැනීමට සිද්ධ වෙනවා. එතැනදි ඇමෙරිකානු ඇකඩමියාවට වගේ ම දේශපාලන විචාරකයන්ටත් ජිජැක් මඟහැර යන්න බැරි වෙනවා. ජිජැක් පවත්නා ධනේශ්වර දෘෂ්ටිවාදය ක‍්‍රියාත්මක වන ආකාරය බරපතළ ලෙස විවේචනය කරනවා. එමෙන්ම ඔහු සම්බන්ධයෙන් විචාර සහ විවේචන රාශියකුත් තිබෙනවා. අප එයත් අමතක නොකළ යුතු යි.

මම කැමැතියි ඔබ කැමැති තැනකින් ම කතාව ආරම්භ කරන්න

අපි අද ජිජැක් ගැන යම් දෙයක් කතා කරනවා නම්, ඔහු පිළිබඳ කතා කරන්න සිද්ධ වෙන කාරණය වගේ ම තවත් වැදගත් කාරණයක් වෙන්නෙ ජිජැක් ලංකාවට එන්නෙ කොතැනින්ද සහ කොහොමද කියන කාරණය. අපි ජිජැක් ගැන කතා කරනව නම් මතක තබාගත යුතු පළමුවන කාරණාව වෙන්නෙ ලංකාවේ බොහෝ දාර්ශනිකයන්ට වගේ ම උගතුන්ට, බුද්ධිමතුන්ට ජිජැක් හමුවෙන්නෙ දීප්ති කුමාර ගුණරත්න හරහා. නමුත් බහුතරයක් පිරිස මේ කාරණය අතහැරලයි ජිජැක් ගැන කතා කරන්නෙ. ඒ නිසා ජිජැක් ගැන කතාව පරිපූර්ණ වෙන්න නම් අපිට දීප්ති අත්හරින්න බැහැ. දැන් ලංකාවෙ බොහෝ පිරිසක් ජිජැක් ගැන දන්නවා. නමුත් අපි නොසිතන දෙයක් තිබෙනවා. එනම් ආසියානු කලාපයේ ම වැඩිපුර ජිජැක් ගැන කතා කරන්නෙ ලංකාවෙ. ඇයි එහෙම වෙන්නෙ? ඒකට හේතුව දීප්ති. අද ඔයා මගෙන් ජිජැක් ගැන අහන්නෙත්, මම අද ජිජැක් පිළිබඳ කතා කරන්නෙත් දීප්ති නිසා. ඒ නිසා මම යළිත් කියනවා දීප්ති මඟහැරලා ජිජැක් පිළිබඳ කතා කරන්න බැරි බව.

හොඳයි… අපි කතා කරමු ලංකාවට අදාළ වෙන්නෙ කොහොමද කියල

එතැනදි අපිට වඩාත් ම වැදගත් වෙන්නෙ අපි ඉන්නෙ ධනවාදයේ කුමන ස්ථානයේද කියන කාරණය. ධනවාදය අපිට වැදගත් වෙන්නෙ කුමන අවස්ථාවේද? අපිට ඒ අවස්ථාවේ ධනවාදය අතික‍්‍රමණය කළ හැකි ද? යන සන්දර්භය තුළයි අපිට ජිජැක් පිළිබඳ කතා කරන්න පුළුවන් වෙන්නෙ.

මම හිතන්නෙ අපිට ජිජැක් වැදගත් වෙන්නෙ කාරණා දෙකක් නිසා. එකක් නම් ජිජැක් මාක්ස්වාදියෙක් කියන කාරණය නෙවෙයි. ජිජැක්ට දේශපාලන ඉතිහාසයක් තිබෙනවා කියන කාරණය. ඔහු ක‍්‍රියාකාරී දේශපාලනය තුළත් සිටිනවා. ඒ වගේ ම ඔහු පරිණාමය වෙන්නෙ ඓතිහාසික දේශපාලන සාකච්ඡාව තුළ ම යි. මෙන්න මේ කාරණාව නිසා ජිජැක් එක් අතකින් වැදගත්.

ජිජැක් වැදගත් වන දෙවන කාරණාව වෙන්නෙ ඔහු දෘෂ්ටිවාදය විවේචනය කිරීම. ඇත්තට ම මේ මොහොත දෘෂ්ටිවාදියි. මේ පවතින යහපාලනය ඇතුළු හැම දේශපාලන සන්දර්භයක් ම ගොඩනැගෙන්නෙ දෘෂ්ටිවාදය මත. මේ හැම දෙයක් ම දෘෂ්ටිවාදයක් ලෙස ගොඩනැගෙන විට ධනවාදය ඇවිත් ඇ‍ෙඟ් හැපෙනවා. එහි හොඳම අවස්ථාව වෙන්නෙ මහබැංකු ප‍්‍රශ්නය. අපි කවුරු කොහොම කතා කරත් ප‍්‍රාග්ධනය ක‍්‍රියාත්මක වෙන විදියක් තිබෙනවා. මේ පාලකයො කිව්වද ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙනව කියල, එහෙම නැත්නම් ධනවාදය මානුෂිකකරණය කරනව කියල? නැහැ. ඇයි ඒ? ධනවාදයට ඒ කතන්දර අවශ්‍ය නැහැ. එය ඍජුව ම ක‍්‍රියාත්මක කරන හෝ ක‍්‍රියාත්මක වෙන විදියක් තිබෙනවා. අන්න ඒ විදිය නිර්වස්ත‍්‍රව ම දැකපු අවස්ථාව වෙන්නෙ මහබැංකු සිද්ධිය. එතැනදි අහවලා අහවලා වැරැදියි කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල සාකච්ජාව කරන්න අවශ්‍ය යි. අපි මොන තර්ක ගෙනාවත් එය ක‍්‍රියාත්මක වෙන්නෙ එයට ම ආවේණික තර්කයක් තුළ. ඒ නිසා අපට මහබැංකුවේ සිද්ධිය හරහා ප‍්‍රාග්ධනයේ තිබෙන අශ්ලීල (Obscene) කොටස හමුවෙනවා. එය මීට පෙරත් නිර්වස්ත‍්‍රව ම සිද්ධ වුණා. නමුත් කවුරුවත් දැක්කෙ නැහැ. ඒ නිසා අපි මේ යහපාලනය ගැන කෙතරම් කතා කළත් ගැටලුව තිබෙන්නෙ එතැන නෙවෙයි. ප‍්‍රශ්නය තිබෙන්නෙ ධනවාදය ක‍්‍රියාත්මක වෙන ස්ථානයේ. ජිජැක් වගේ දාර්ශනිකයෙක් අපිට වැදගත් වෙන්නෙ අන්න එතැනදි යි.

ට්‍රොට්ස්කිවාදය තුළ ම ස්ටාලින්වාදයත් තිබෙනවා කියල මම යෝජනා කළොත්?

දැන් මම ඔබේ දෙවන ප‍්‍රශ්නයට යොමු වෙන්නම්. ඔබේ ප‍්‍රශ්නය වෙන්නෙ ට්‍රොට්ස්කිවාදය තුළ ම ස්ටාලින්වාදය තියනවද කියන කාරණය. මෙය වඩාත් පැහැදිලි කරනවා නම්, ඒකාධිකාරී ස්වරූපය. එහෙමත් නැත්නම් සමස්තතාවාදී ලක්ෂණය. මේ අත්දැකීම ගැන සාපේක්ෂව කතා කරන්න අපි ලංකාව දෙසට ම හැරෙමු. ට්‍රොට්ස්වාදය තුළින් පමණක් නොවෙයි, අද දකින ලිබරල් ධනවාදය තුළින් ම තමයි අද දකින්න තිබෙන ඒකාධිකාරිය මතු වී තිබෙන්නේ. මෙච්චර කාලයක් ලෝකය ධනවාදය දැක්කෙ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙන දෙයක් විදියට. නමුත් අද ඒක වෙනස් වෙලා. අද ධනවාදය හොඳින් ම ක‍්‍රියාත්මක වෙන්නෙ ඒකාධිකාරිය හරහා. ඒක චීන සහ සිංගප්පූරු මොඩලයේ ධනවාදය. පසුගිය සමයේ ලංකාවෙ ක‍්‍රියාත්මක වෙන්න හැදුවෙත් මේ ක‍්‍රමය ම යි. අනෙක් පැත්තෙන් බැලූවම සමාජවාදයේ ලක්ෂණ හරහාමත් ඒකාධිකාරී ලක්ෂණ මතුවීම. අපි දන්නවා ලංකාවෙ තිබුණ වම තුළින් ම මේ ලක්ෂණ මතුවුණා. 71, 87-89, දෙමළ අරගලය හරහා අපි අත්වින්දෙ මෙන්න මේ කියන වාමාංශික ඒකාධිකාරිය. ඇයි එහෙම වෙන්නෙ? ඒ ප‍්‍රශ්නයට ජිජැක් පිළිතුරු සපයනවා. ජිජැක් මේ සම්බන්ධයෙන් දක්වන අදහස වෙන්නෙ මේ කාරණය අවිඥානිකයි කියලා. මේ සම්බන්ධයෙන් දීප්තිත් යම් යම් අවස්ථාවල අදහස් දක්වා තිබෙනවා. අපි මහා අනෙකාට එහෙමත් නැත්නම් ස්වාමි හැඟවුම්කාරකයාට යටත් වීමට තිබෙන කැමැත්ත නිසයි මේ ඒකාධිකාරිය මතු වෙන්නෙ.

ට්‍රොට්ස්කි නිතරම පවසන දෙයක් වෙන්නෙ ‘මනෝමූලිකතාවය තුළින් විෂය මූලිකත්වයට යා යුතුයි’ කියල. ඒක ඉතා පැහැදිලි සහ නිවැරැදි ප‍්‍රකාශයක්. අපි හැම මොහොතෙම මනෝමූලිකත්වය පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් ප‍්‍රායෝගික තත්ත්වය වෙනස්. ඍජුවම ගිහින් ගලේ හැපෙනවා. එහෙම නම් අපි අවබෝධ කරගන්න ඕන මොකක්ද? අපි අවබෝධ කරගත යුත්තේ වාස්තවික තත්ත්වය යි. ඒ විදියට ගියාම අපිට සත්‍යය හමු වෙන බව ට්‍රොට්ස්කි කියනවා. ලංකාවෙ සමාජවාදය පිළිබඳ කතා කරන හැම දේශපාලන පක්ෂයක් ම ආරම්භ කරන්නෙ මනෝමූලිකතාවයෙන්. මම දන්න විදියට වාස්තවික තත්ත්වයෙන් වෙනත් විදියකින් කියනවා නම් මනෝමූලිකත්වයෙන් බැහැර වෙලා විචාරය ගෙනාවෙ දීප්තිලා.

| මතු සම්බන්ධයි

සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

ඔබේ අදහස කියන්න...

9 COMMENTS

  1. ජිජැක් ගේ පොත් හෝ යූ ටියුබ් වීඩියෝ නැද්ද ..ඔන්ලයින් ගන්න පුළුවන් ඒවා

  2. thank you very much for your reply ..any way I do not want to be a zizek expert ..just curious what he is saying …any way thank you

  3. දිප්තිගෙන්ම තමයි ජිජැක් ඉගෙන ගන්න වෙන්නේ ..මේ යකා කියන ඉංග්‍රීසි තේරුම් ගන්න ගියාම ඔලුව කොලොප්පන් වෙනවා …

Comments are closed.