එරික් ඉලයප්ආරච්චි සුචරිත සිරිත යනුවෙන් ලියන්නේ කවි පොතක් වුවද එහි ප්‍රස්තූතය වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය. ඒ අනුව මෙය එක්තරා ආකාරයකින් ගම්ලතුන්ගේ ආලේඛ්‍ය (portrait) චිත්‍රයක භාෂාත්මක වූ සවිකල්ප (reflective) ප්‍රකාශනයකි. කවියා මෙය පෙළ ගස්වන ශෛලිය ම අප සසල කරවන සුළු වන්නේ ගම්ලතුන්ගේ මළ නිසල මුහුණ එම අකුරු අතර පන ගැහෙන අයුරු දැකීමෙනි.

මෙය කියවාගෙන යද්දී සුචරිතගේ ප්‍රාණ නිරුද්ධ දේහය ජයරත්න මල් ශාලාවේ උඩුමහලේ උඩුබැලිව වැතිර තිබුණ අයුරු අප මතකයට නැ‍ඟේ. එතැන ස්ත්‍රීන් දෙදෙනෙක් තම තමාගේ පිරිස් සමඟ දෙපස නැගී මිනිය උදෙසා සටන් වැද සිටියහ. මියගිය සුචරිතගේ කුනුකය ඔවුන් තව තවත් අවුලුවමින් ඔවුනට සටන් වදින‍ ලෙස පෙලඹවීය. තැන තැන නොයෙක් කුසු කුසු නඟති. අවමංගල කාලසටහන හදිසියේම වෙනස් කෙරිනි. පිරිසක් මිනිය කර තබාගෙන කනත්ත වෙත වෙලෙවිව දිවගියහ. මේ සියල්ල කර වූයේ සුචරිතගේ මළ සිරුරය. එහෙයින් එය ජීවමාන මළ සිරුරකි. කවියකු ලෙස එරික් ඉලයප්ආරච්චි ග්‍රහණය කර ගැනීමට ප්‍රයත්න දරන්නේ මළ සිරුරක ඇති මේ ජීවමාන ස්වරූපයයි.

කවියාට මෙය ඉටු කර ගැනීමට ඉවහල් වන්නේ සසල බව (Movement) සහ නිසල රූපය (image) අතර ඇති දයලෙක්තික සබඳතාවය බව ජිජැක් අපට පැහැදිලි කරයි. ගලා යන සසල ජීවිතය තුළම මරණයාගේ රූපය ඉන්ද්‍රජාලික ලෙස පණ ගැසෙන්නට නියමිතය. එසේම “නිෂ්ප්‍රාණික” ප්‍රතිමාවක් හෝ ඡායාරූපයක් සැලකෙන්නේ ජීවිතයේ ගලායාම අක්‍රීය කළ කැටි ගැසුන (Frozen) අවස්ථාවක් ලෙසය.

සසල ගලා යාම සහ නිසල රූපය අතර මේ දයාලෙක්තිකය වඩාත්ම ප්‍රකට ව කැපී පෙනෙන්නේ ඡායාරූප කලාවේදීය. එය සැලකෙන්නේ ජීවිතය අක්‍රීය කරනා (immobilization) මාධ්‍යයක් ලෙසය. වැඩි දියුණු වූ ඡායාරූප කලාව X කිරණ මගින් ජීවමාන ශරීරයේ අභිභවනය (Mortification) සටහන් කර ගැනීමට සමත් විය. එවිට X කිරණ කෙනෙකු ජීවත්ව සිටියදීම ඔහුගේ ශරීර අභ්‍යන්තරය ඔහු මිය ගියා සේ සලකා දැක ගැනීමට සලස්වයි. (ලියෝතාද් ඔහුගේ Libidinal Economy) ලුම්ධිමය ආර්ථිකය) නම් වියමන ආරම්භ කරන්නේ ක්ෂනා භංගුර වූ මහා චර්මය විවර කර ශරීරාභ්‍යන්තර පිළිබඳව සිත් සසල කරවන සුළු විස්තරයකිනි.)

මෙහිදී අප වටහා ගැනීමට ප්‍රයත්න දරන්නේ දෘශ්‍යමානතාව (visibility) සහ සංචලනය (Movement) අතර ඇති නිෂේධනීය සබඳතාවයයි. යමක් සචලව තිබෙන විට එම රූපය අපට පැහැදිලිව දැකිය නොහැක. එය අපට පැහැදිලිව ග්‍රහණය කර ගැනීමට නම් එහි චලනය නවත්වා මිදුන (Frozen) තත්ත්වයට පත් කළ යුතුය. එලෙස යමක් අක්‍රිය කිරීම එය දැකීමට හැකි බවට පත් කරයි. මෙම නිශේධනීය සබඳතාවය (negetive Link) මනාව පැහැදිලිවන අවස්ථාවක් නම් අදිසි මිනිසා (Invisible Man) සිනමා පටයේ එම අදෘශ්‍යමානව සිටි තැනැත්තා මිය ගිය වහාම ඔහුගේ සිරුර අපට පෙනෙන්නට වීමය. ස්ලවෝර් ජිජැක් පෝල් විරිලියෝ (Paul Virilio) මෙසේ උපුටා දක්වයි. “ජීවත් වීම අත්හිටවු කෙනෙකු ඔහු සැබවින් ම ජීවත්ව සිටියාටත් වඩා අප අතර පවතින්නේය.”

මම තවදුරටත් ඔබ නොවෙහසමි. මෙම න්‍යායික පිළිවිසීම එරික් ගේ කාව්‍ය තුළ අනුශීලනය වන අයුරු පැහැදිලි කළ යුතුය. ඔහු තම පරිකල්පනය අරඹන්නේ සචලතාව (Movement) පිළිබඳ අපූර්ව වූ රූපික කියවීමකිනි. (Metaphorical reading) එය ජල මත සිදුවන සිදුවීම් ගණනාවක් පිළිබඳ විස්තරයකි. එසේම ඩාන්ටේ නම් මහා කවියා පරිකල්පනීය ලෙස වර්ජිල් සමග පර්ග‍ටෝරියෝ (පාප විශේධනය වන ස්ථානය) නම් ශිඛර මුදුනට යන ගමන පිළිබඳ මතකය ද එරික් මෙහි සිහිපත් කරයි.

මෙහි විස්තර වන පරිදි සුචරිත ගම්ලතුන්ගේ ජීවිතය එකම ගමනක් (expedition) මෙනි. කවියා පරිකල්පනීය ලෙස ගම්ලතුන් විවිධ ඉසව් ඔස්සේ මෙහෙයවයි. සිවුරු දරා සිටි සුචරිත සිවුරු හැර විදෙස්ගත වීම සියරට පැමිණීම කලකිරීම, යාපනයට දඬුවම් මාරු ලැබ යාම, රැකියාව අහිමි වීම, කම්කරු සටන්, පක්ෂ කාර්යාල ආදී වශයෙන් වේගයෙන් චලනය වන ජීවිතය තුළ සුචරිත ගම්ලත් අපට හසු නොවේ. කවියා අවසානයේදී ස්වකීය මහත් වූ කවි බසින් මෙසේ පවසයි.

“කාබනික එම නට සිරුර යට

අකාබනික වූ කිතු සිරුර විය

‍නොනට එම මහ කිතු සිරුර දැක

උමතු වී ගිය පවිටු පඬිලොව

වෙර යොදා යළි දවන්නට විය

කැළැල් පෙණහලු සහිත කුණුකය

දැවෙන්නට පෙර කියන්නට විය

නොයෙක් අවමන් වසල දා කවි

එයින් නොදැනෙන සිනාවක් විය

නොමළ ලෙස මා ඇදුරු මුව කොන

මුවට ඔසුවිස වෙනස නොදැනෙන

වෙසින් ආ ලෙස සොඳුරු මරණය

ප්ලෝටෝ ගේ පාමසියෙන් මිලට ගත් ඔසු විසක් (phamakon මයියොක්කා දලු කොටා ලබා ගත් යුෂ) පොවා ගම්ලතුන් ගේ මරණය ඉක්මන් කළ බව කියන්නට එරික් මෙතනදි ඩෙරිඩා සාක්කියට කැඳවයි. (වැඩි විස්තර සඳහා ඩෙරි‍ඩාගේ Dissemination වියමන කියවන්න) සුචරිත මියගිය තැන් සිට ඔහු දවන‍ තෙක් ජයරත්න මල් ශාලා පරිශ්‍රයේ සිදු වූ සියලු දේ කවියා කිතු ගොස නම් වූ තිර පටින් වසා දමන සුචරිත ගම්ලත් තම සැබෑ ජීවිතයේ වින්දා වූ ගැටුම්කාරි වේදනාවයි. එම වේදනාව සමාන වන්නේ නගරයක හෝ මං සන්දියක ප්‍රතිමාවක් සේ පෙනී සිටින ජීවමාන මිනිසකු ගේ වේදනාවටය.

ඇත්තටම නම් මෙහිදී සිදුවන්නේ එරික් ඉලයප් ආරච්චි සුචරිත ගම්ලත් ගේ ජීවිතය ෆැන්ටසිකරණය කරයි. ඔහු සුචරිතගේ ලිංගික ජීවිතය ෆැන්ටසිකරණය කරයි. ඔහුගේ මහත් වූ ප්‍රඥාව ෆැන්ටසිකරණය කරයි. මෙම ෆැන්ටසිකරණය, අපට සිහි ගන්වන්නේ Diego Rodrigues Velazauez නම් සිත්තරාගේ Las Meninas නමැති සිතුවමයි. මෙම සිතුවමින් නිරූපණය වන්නේ එම සිතුවම අඳින ඉහත සඳහන් කළ වෙලාස්ක්වේස් නම් සිත්තරාමය. එම නිමැවුව තුළ සිත්තරාගේ බැල්ම (gaze) ආපසු අපකරා එයි. ගම්ලත් පිළිබඳ එරික්ගේ ෆැන්ටසිකරණය තුළ සිටින්නේ ගම්ලතුන් නොව එරික්මය. අපකරා ආපසු එන්නේ ඔහුගේ බැල්මයි.

එරික් ඉලයප්ආරච්චි මෙම කාව්‍ය ග්‍රන්ථය අවසානයේදී තමා ලියූ දේට අරුත් වියකැන් සපයන සටහන් කියවන්න. ඔහු ඩාන්ටේගේ සිට පශ්චාත් නූතන අවදිය දක්වා වූ පුලුල් පරාසයක නම් වැලක් සමග බැඳුන ප්‍රවාද රාශියක් ‍එහි ලා තොරොම්බල් කරයි. එම නම් වැල ‍ජේම්ස් ජොයිස් සහ ටී.එස්. එලියට් පමණක් නොව රොලන්ඩ් බාත් ගේ සිට ලැකාන් ජිජැක් සහ ඩෙරිඩා දක්වා විහිදෙයි. මෙහි අන්තිමට කී විද්වතුන් ගම්ලත්ගේ ගර්හාවට ලක් වූ අය වීමත් ඔහුගේ මරණය සොක්‍රටීස්ගේ මරණය තරම් වන ලෙස ඔසොවා තැබීමට එරික් ට ඩෙරිඩා කැඳවීමට සිදුවීමත් උත්ප්‍රාස ජනකය. ඇත්තටම නම් එම ප්‍රවාද අතරින් ගම්ලත් පෙනෙන්නේ අපහැදිලි ඡායාවක් මෙනි. ඩාන්ටේ මහා කවියා Purgatori මහා කාව්‍යයේ දී තමාගේ දෘඩ බැල්ම (gaze) සුරූපි බ්‍රියට්‍රිස් කෙරේ අලවාගෙන සිටියාක් මෙන් එරික් ගේ බැල්ම රඳන්නේ එම සටහන් අතර විඩාපත් වන දැනුම මතය. මේ නිසා ඔහුගේ කාව්‍ය සන්දර්භයෙන් සුචරිත එළියට විසිවේ.

අප එහි දකින්නේ දැනුම් පිපාසාවෙන් පෙලෙන එරික් නම් වූ වියතෙකි. අප සුචරිත පැහැදිලිව දකින්නට පටන් ගන්නේ ඔහු මළ සිරුරක් ලෙස නිසල වන මොහොතේ ය. කවියා ගේ මෙහෙයවීමෙන් මෙම කාව්‍ය සන්දර්භය තුළ සංචලය වෙමින් සිට ඒ නිසාම හරිහැටි ග්‍රහණය කරගත නොහැකි වූ සුචරිත ගම්ලත් ජීවමාන මළ සිරුරක් වෙමින් යථාර්ථය (reality) සහ යථ (real) අතර පරතරය පවත්වාගෙන යාමට උපකාරි වේ. ඔහුගේ අවමගුල ඔහුට අවමන් සහගත පරිසරයක සිදු වූයේ යයි සමහරු කියතත් එතන සිටියේ සැබෑ ගම්ලත්ය. අවට සිටියවුන් එතැනට මෙහෙය වූයේ ඔහුගේ මළ සිරුරය. එහෙයින් මියගිය ගම්ලත්ගේ මළ සිරුර සක්‍රීය විය. එම භාවමය යථාර්ථය මග හැරී ගියද එරික් ඉලයප්ආරච්චිගේ කවිත්වයට ඉන් අවැඩක් වී නැත.

ඔබේ අදහස කියන්න...