1.වාමාංශික අරගල වලදී සාමාන්‍යයෙන් අනුගමනය කරන උපායක් තිබේ .එනම් මුලු සමාජයටම අදාල විපර්යාසයන් කිරීමට  ජනයා පෙළඹවීමට නම් මුලින් කලයුත්තේ උපායශීලිව තෝරාගත් ඉල්ලීම් කිහිපයක් ජනගත කිරීමයි . ඉන් මුලිකව බලාපොරොත්තු වන්නේ එම ඉල්ලීම් දිනවීමට යාමේදී ,ඉතා සරලයයි සිතූ දේවල් තිබෙන සමාජ ආර්ථික ක්‍රමයම ප්‍රශ්න කරන ජාතියේ ඒවා වීමයි. තවද එම මාර්ගය ඔස්සේ ජන සහභාගිත්වය ඇතිව සමාජ ක්‍රමය පෙරළීමට උත්සාහ දැරීමයි. උදාහරණයක් ලෙස ඇමරිකාවේ සන්දර්බයේදී පොදු සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමට ඉල්ලීම ඇමරිකානු මූලික දෘෂ්ඨිවාදය වන පුද්ගලික නිදහස හා ඒ හා බැදුණු ආදායම් විෂමතාවන් ද තර්ජනයට ලක් කිරීමයි . බර්නි saන්ඩර්ස්ගේ උපක්‍රමය වුයේ එයයි.එම අර්ථයෙන්  “ගෝඨා එළවීම ” නම් නිශ්චිත ඉල්ලීම හා එය ජයග්‍රහණය කිරීමෙන් පසු පුළුල් සමාජ විපර්යාසයකට  නොයාම රනිල් වික්‍රමසිංහට බැර කිරීම , මා දකින අන්දමින් වංක කමකි . මෑතකදී ”  හරනි අමරසුරිය ” ද පැවසු පරිදි ,ගෝඨා එලවිමෙන් පසු කරන්නේ කුමක්ද කියා ඔවුන් සිතා තිබුනේ නැත ,සෑම දේම සැලසුම් කර තිබිය නොයුතු වුවත් ,  ගෝඨා එළවීම ලංකාවේ දෘෂ්ඨිවාදය ප්‍රශ්න නොකෙරුණු බව අවංකව පිළිගත යුතුයි .

 

2. මොකද්ද ලංකාවේ මුලික දෘෂ්ඨිවාදය? [ideology]  මම මෙය දෙයකාරව ප්‍රකාශ කරන්නම් .වඩා න්‍යායික භාෂාවකින් සදහන් කලොත් එය නම් ” නිදහස ” [ freedom ] තිබෙන්නේ ජනයාගේ  ( පවුල්වල ,කැම්පස්වල, පක්‍ෂවල  සිට පෙළපාලි වල දක්වා ) එකතු වීම තුළ යැයි සිතීම . නිදහස් මම නෙමෙයි වෙන කෙනෙක් , අල්ලපු කෙනා යැයි  සිතීම . ඒ තුළින් තමන්ව කුහක වීමට හා විනෝද වීමට තිබෙන වගකීම් විරහිත පැවැත්මට ලොල්වීම . මෙම දෘෂ්ඨිවාදය නිශ්චිත දේශපාලන සංරචනයකින් ප්‍රකාශ කළහොත් ,එනම් දෙමළ අරගලය නොතේරීම ,හෙවත් ජාතිවාදයයි . මනුෂ්‍ය නිදහස යනු කේවල ආත්මීය  (singular subjective  ) අත්දැකීමක් ලෙස අපට අවලෝකනය නොවන නිසා , අපට දෙමළ මිනිසුන් බෝම්බ බැදගෙන ගැස් නැතිව ,පෙට්ට්‍රල් නැතිව ,වෙනම රාජ්‍යක් ඉලීම ( කිසි තේරුමක් නැතිව ) අර්ථකතනය කිරීමට භාෂාවක් නැතිවිය . ඒ අර්ථයෙන් ,ලංකාවේ පන්ති අරගලය ජාතික ප්‍රශ්නයම බව නොවැටහියයි .එනම් ලංකාව ගැන ගොඩ නැගු මුලික මනෝමුලික මිත්‍යාව , සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදය ,බිඳ හෙලන මුලික බාධාව නම් දෙමළ ස්වයං නිර්ණය වීමයි .  මා හිතන විදියට ,එය දෙමලු සාසනයේ චිර පැවැත්ම පසෙකලි එකවර නිවන් දැකීමට කරන ලද උත්සාහයකි (නිවන නිවන ) වන්නේ එහි අනේකත්වය වන සාසනය චිරස්තායිනම් පමණි .මේ අර්ථයෙන් දෙමලුන් නිර්ධනයන් බවද ,දෙමළ අරගලය හා අනුබද්ධ නොවී ,ඒකාත්මික නොවී ,පන්ති අරගලය කතාකිරීම නම් වරදට ජනතා විමුක්ති පෙරමුණ සදාකාලිකව වරදකරුවන් හා කාර්යන් වේ . මෙම නිශ්චිත හේතුවමක ජවිපෙ අපේ දේශපාලනයට ශුද්ධ ලෙස විරුද්දයි (pure opponent ) . ඔවුන් සමඟ කිසිදු ගනුදෙනුවක් මට නැත . ඔවුන් අපේ රටේ සැබෑ පන්ති සතුරන්ය පන්තිය සිංහල කළේ  ඔවුන්ය .

 

  3. දැන් මෙම දේශපාලන වාතාවරණය තේරුම් ගැනීමට අප මෑත ඉතිහාසය කෙටියෙන් මතක් කරගනිමු , සරත් ෆොන්සේකාද  මෑතකදී කී පරිදි 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පැමිණියේ සාමය මූලික ප්‍රතිපත්තියක් කර ගනිමිනුයි . මට මතකයි ඔහු  ඡන්දය දමා , ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ තමා ” ගෞරවාන්විත සාමයක් “රැගෙන ඒමට ක්‍රියා කරන බවට  සදහන් කලා . එතකොට ඔහුව රාජ විරුවෙක් කළේ කව්ද ? දෙමලු ඝාතනය කොට (මතක තබාගන්න හැට දහසක් දෙමල්ලු  )අපට සුකිත මුදිත වී, සෞභාග්‍යමත් විය හැකි බවටද ,යාන වාහන , කාපට් පාරවල් , කුළුණුවලින් විනෝද වීමට අවශ්‍ය ” මහින්ද චින්තනය ” නම් ජාතිවාදී දෘෂ්ඨිවාදය ජනගත කොට , සාමාන්‍ය ජනතාව එදිනෙදා ජීවිකා තුළ ජාතිවාදී කළේ කව්ද  ? මා  සිතන  විදියට ගෝල්පේස් එකේදී බොහෝ ජනයාට අවශ්‍ය වුයේ 2020 පෙර සිටි ගෝඨාභය කෙනෙක් , ආර්ථිකය ශේප් කර ගත හැකි  හිට්ලර් කෙනෙක් ,මා කියන්නේ බොරුනම් අල්ලපු ගෙදර බ්‍රැන්ඩිස් එකේ වැඩකරන ,පුංචි පවුලක් හෙබි අයියා කෙනෙක්ගෙන්  අසා බලන්න

 

 4. මේ ආර්ථිකයෙන්, 2022,ජූලි 09 දා සිදු වුයේ “රාජපක්ෂ චින්තනය” රාජපක්ෂලාගෙන් වෙන්වීමයි  . එනම් හේගලියානු  අර්ථයකින්  “රාජපක්ෂ චින්තනය “නම් සංකල්පය එය තුලටම ගමන් කිරීමයි ( movement of the notion to it self ) . එම දෘෂ්ඨිවාදය  මුහු කුරා යාමයි .තවදුරටත් රාජපක්‍ෂ චින්තනයේ පැවැත්මට රාජපක්‍ෂ ලා අවශ්‍ය නොවීමෙන් අප තේරුම් ගත යුත්තේ   , එය එතරම් තියුණු ලෙස සමාජය තුළ මුල් බැස   ගැනීමයි . මෙහි දයලේක්තිකව අප අවබෝධ කරගතයුත්තේ දෘශ්‍යමාන   තලයේ රාජපක්‍ෂ වරුන්ගේ අවසානය මෙන් අපට පෙනෙන්නේ ඔවුන් ඔවුන්ට නොදැන ගෙනා අදහස් හා සිහින පද්ධතිය  ,ස්වාධීන ජනයා තුළ  පැල පදියම් වීමයි . ලංකාවේ ජනයාට අවශ්‍ය වන්නේ බාධා නොමැති පරිපුර්ණ විනෝදයයි . මෙවර බාධාව  වුයේ ගෝඨාභයයි. නමුත් එය ඔහු ද අවබෝධ කරගත් බවට අපට ආරන්චිවී ඇත . අපේ විනෝදයට ඇති මුලික හේතුව  බාධාවම බවට කියන තවත් දේශපාලකයින් ඇත්ද ?නිදහස ඇත්තේ බාධාව තුළින්මය .

 

5. මේ ආකාරයෙන් ගත් විට 2000 න් පසු ලංකාවේ සමාජය තුළ ජීර්ණය වූ මතවාදයන් ඇත්තේ තුනකි , ජාතික චින්තනය , රාජපක්ෂ  ( මහින්ද 2005 -2014 ) චින්තනය හා X චින්තනය මින් පළමුවැන්න හා තුන්වැන්න ක්‍ෂුද්‍ර ආඛ්‍යාන වන අතර දෙවැන්න ,පළමුවැන්නෙන් හටගත්  අනුප්‍රාප්තයකි . ප්‍රශ්නය වන්නේ X චින්තනයට ( එය මා මීටපෙර නිර්වචනය කොට ඇත ) මීට පෙර නොවූ විරූ  ලෙසත් වඩාත්ම අවිඥානක ලෙස ජනගත වී ඇති රාජපක්‍ෂ චින්තනය නොහොත් ජාති වාදය සමඟ සටන් කිරීමට හැකිද  යන්නයි  . මා දීප්තිට සතියකට වරක් පමණ රෑ 10.30 ට කියන පරිදි ඔහුවත් ඔහු කියන දේවල් ඔහු සිතනවාටත් වඩා නිවැරදි  බව තේරුම් නොගැනීමයි ගැටළුව  ,මගේ විවේචනය සෑමවිටම එයයි .  Vertigo චිත්‍රපටියේ සිට Psycho චිත්‍රපටිය දක්වා වූ වර්ධනයත්  /වෙනසත් හිච්කොක් අත්කරගත්බව  අප මතක තබා ගතයුතුයි .ලංකාවේදී  නම් මගේ අර්ථකතනය අනුව , හංස විලක්  චිත්‍රපටයට පසුව ධර්මසිරි බණ්ඩාරනායකට psycho වැන්නක් කිරීමට නොහැකිවිය  (තුන්වැනි යාමය psycho නොවෙයි ) ”සමබිම සංවිධානයේ”   මුඛය ගැටළුව එයට “හංස විලක් අවධිය “පසු කිරීමට ඉක්මනින් හැකිවේද යන්නයි . Psycho වක් නිර්මාණය කිරීමට ” නොමන්ස් බෙට්ස් ” නොමැතිව (ප්‍රියදර්ශන නොවේ ) බැරිය යන්න මගේ විශ්වාශයයි.

 

  6. මෑතකදී බිහිවූ ආකර්ශනීය ආර්ථික විශ්ලේෂණ ගැන කිවහැක්කේ කුමක්ද ? විශේෂයෙන්ම මගේ පරම්පරාවේ බොහෝදෙනෙක්  ඉතාම අලුත් සංකල්ප මගින් අප මුහුණ දී ඇති අවපාතය තේරුම් ගැනීමට සමත් වුවා .නිසැකයෙන්ම අප ඒවා  හැදෑරිය යුතුයි  ” misinvoicing  ”  සිට modern monitory theory    දක්වා අප කියවිය යුතුයි, ඒවා සමග මට කිසිදු විරොධයක් ද නැත. නමුත් දේශපාලන-ආර්ථිකය යනු බොළද ලෙස ආර්ථිකය පිටුපස දේශපාලන තීරණ තිබේ යැයි සැලකීම පමණක් නොවේ එය ලිබරල් අය ද  පිළිගනී  . ඊට විකල්පව ආර්ථිකය පිලිබඳ පන්ති මානය යනු දේශපාලන දේහයේ විසංයෝජන අක්ෂය (objective)  හදුනාගැනීමයි,ආත්මය සෙවීමයි. දේශපාලනය ඉගෙනගමු!

Dilshan Fernando.

 

 

ඔබේ අදහස කියන්න...