[dropcap color=”orange”]මේ [/dropcap]දවස් වල වැඩියෙන්ම ජනප්‍රිය මාතෘකාව වන්නේ රතුපස්වලයි. ඊට අමතරව කාගේත් කතා  බහට ලක්ව ඇත්තේ කිරිපිටි අර්බුදයයි. මේ වන විටත් ෆොන්ටේරා කිරි ආනයනය මුලුමනින්ම නතර කර තිබෙන අතර වේ ප්‍රෝටීන් සහිත කිරි වර්ගද අලෙවියෙන් ඉවත් කර ඇත. දැන් සියළු දෙනාගේම දෛනික ජීවිතය අර්බුදයකට ලක්ව ඇත.  කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ මොනවද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට නිනව්වක් නැත. අප ජීවත් වන මේ යුගයේ ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය නිවරදිව සංජානනය කරන්නට දක්ෂිණාංශයට මෙන්ම වාමාංශිකයන්ටත් නොහැකි වී ඇත. මේ නිසා බහුතරයක් වාමාංශිකයන් හුදු උද්ඝෝෂකයන් බවට පත්ව ඇත. මාතලේ සමූහ මිනි වල නිසා කළබල වූ අයම රතුපස්වල නිසා මවිතයට පත් වෙයි.ඒත් මේ වාමාංශිකයන් (විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ) එදා යුද්ධයේ අවසන් හෝරාවේ දී දෙමළ විමුක්ති අරගලය අවි බලයෙන් මර්ධනය කරන්නට අත් දෙකම ඔසවා මහින්ද රාජපක්ෂට සහය පළ කලහ.

දැන් කිරි පිටි ප්‍රශ්ණයක් මුල්කරගෙන පවතින පාලනයට එරෙහිව ජනතාව පාරට බස්සවා වෙනත් රජයක් බලයට පත් කරවන්නට වලි කන කිසිවකුට ක්‍රම විරෝධයක් නැත. ඇත්තේ හුදු ඊනියා ප්‍රතිසංස්කරණවාදී විරෝධයන් පමණි. ලංකාවේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන්නයි. සමාජවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදයට පැවතිය නොහැකි බව මේ වාමාංශික මහත්වරුන් දන්නේ නැත. ඒ නිසා අපේ රටේ වාමාංශිකයන් යනු ධනවාදයට කැමති ප්‍රතිසංස්කරණවාදයට සමීප පිරිසකි. ඔවුනට යම් ගැටළුවක් ධනවාදය පිළිබද ගැටළුවක් ලෙස පෙනෙන්නේ නැති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ සාමකාමී රටකි. මේ යුගයේ අප වඩාත් පරිස්සම් විය යුත්තේ සාමයයෙන් බව මේ අය දන්නේ නැත.

පොන්ටේරා සමාගමට එරෙහිව පාරට බැස උද්ඝොෂණය කරන වාමාංශික මහත්වරුන් කිසි විටෙකත් කතා නොකරන්නේ මේ ආයතන තුළ සේවය කරන පීඩිත පංතියේ කම්කරුවන් ගැනයි. මේ ගැටළුව නිසා රැකියා අහිමි වන පිරිසගේ පවුල් වල දෛනික ජීවිතය වියවුල් සහගත වීම සම්බන්ධයෙන් මේ අයට සිතෙන්නේ නැත. උතුරේ මිනිසුන් හතලිස් දහසක් මරා දමන විට ඒ ත්‍රස්තවාදී යැයි කී ලෙසින්ම ලාභ ආකාරයෙන් මේ රැකියා අහිමිවන පිරිස සම්බන්ධයෙන් මේ අය කියන්නේ සුළු පිරිසක් බහුතරය වෙනුවෙන් කැප කිරීම් කල යුතු බවයි. නැති නම් පටිතදකර ගත යුතු බවයි. දක්ෂිණාංශික වාමාංශිකයන් සිටින ලෝකයේ එකම රට අපේ රටයි. මෙය අවබෝධ කර ගන්නට උදාහරණයක් ගත හැකිය. ලලිත් කොතලාවල ගේ සමාගම් සියල්ල අර්බුදයට ලක් වීම නිසා දහස් ගනණකගේ රැකියා අහිම වීම මේ අයට අනුව ප්‍රගතීශීලිය. මේ නිසාම කලින් සෙලින්කෝ සමාගමේ අධ්‍යක්ෂකවරුන් වූ ඇතැම් අයට කොට්ටාව හන්දියේ ත්‍රීරෝද රථ රියදුරන් වන්නට සිදු වී ඇත.

කිරිපටි වල ඩී.සී.ඩී නම් විෂ ද්‍රව්‍ය අඩංගු යැයි කියන නිසා බොහෝ අයට දැන් කිරිපිටි බොන්නට දෙගිඩියාවක් ඇත. ඇත්තටම ඩී.සී.ඩී යනු මොනවාද වේ ප්‍රෝටීන් යනු මොනවාද කියා කවුරුවත් දන්නේ නැත. හැමෝම දන්නේ කිරිපිටි බොන්නට බැරි බවයි. මිනිස් ජීව්තය මේ ආකාරයෙන් අවුල් සහගත වීම මේ මැට්ටන්ට අනුව මහින්ද රජපක්ෂගේ ඒකාධ්පති පාලනය නිසා හෝ නැතිනම් රනිල් වික්‍රමසිංහ දුර්වල විපක්ෂනායකවරයෙකු වීම නිසා ඇති වී ඇති ගැටළුවකි. අනාගතයේ ලෝක පරිමාණයෙන් ඇති වන්නට නියමිත අර්බුදයන් ගණනාවක පෙර නිමිති ලෙස මේවා ඇතිවන බව මේ දක්ෂිණාංශික වාමාංශිකයන් දන්නේ නැත. මේ වන විටත් ලෝක පරිමාණයෙන් අප උග්‍ර ජල අර්බුදයකට මුහුණ දී සිටිමු. මේ වන විටත් ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් දෛනිකව මිය යන්නේ බීමට පිරිසිදු ජලය නොමැතිකමිනි. ලෝක ආහාර අර්බුදය අප සිතනවාට වඩා සංකීර්ණ ආකාරයෙන් මිහිතලයේ මිනිසුන් ගේ ජීවිතයට බලපා ඇත. ලෝක ජනගහනයෙන් බහුතරයක් මන්ද පෝෂණයෙන් පෙළන අතර තවත් විශාල පිරිසක් පෝෂණ නිරක්තියෙන් පීඩිවට පත්ව සිටියි. ධනවාදය මනුෂ්‍ය ජීවිතය  වඩාත් සංකීර්ණ කර තිබෙන අතර ජීවත් වීම අරගලයක් බවට පත්කර තිබේ. ලෝක පරිමාණයෙන් පරිසර අර්බුදය ඇතිකර තිබෙන ගැටළු වඩාත් සංකීර්ණය.

ලංකාවේ දක්ෂිණාංශික වාමාංශිකයන් තවමත් ජනතා ප්‍රශ්ණ ලෙස වටහා ගන්නා දේ සහ ගෝලීය මට්ටමින් ඇත්තටම මනුෂ්‍යයන් මුහුණ දෙන ගැටළු අහසට පොලොව තරම් දුරස්ථය. හුදු උද්ඝොෂණ විරෝධතා වලින් ධනවාදය නම් සමාජ ක්‍රමය පෙරලා දමා මිනිසුන්ට යහපත් ආකාරයෙන් ජීවත් විය හැකි වෙනස් සමාජ ක්‍රමයක් ඇතිකරවීම යනු සිතන තරම් පහසු දෙයක් නොවන බව කිව යුතුය. එය පිටිකිරිද?දියරකිරිද? යන්න තරම් සරල නැත.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ගැරට් හාර්ඩින් හා ඔහුගේ පුරෝගාමියා වූ මැල්තුස් අපදෙස විරිත්තමින් බලා ඉන්නා මුත් අපි නොදැක්කා මෙන් පාන් ගන්න කඩේ යමින් ඉන්නෙමු.

Comments are closed.