ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 05

ජිජැක් පිළිබද විවිධ මතවාද පැතිර යමින් ඇති නිමේෂයක සැබෑ ලෙසම ජිජැක් යනු කවුද සහ ඔහුගේ දර්ශනය කුමක්ද යන්න පිළිබද මහේෂ් හපුගොඩ සමග කළ සාකච්ඡාවේ පස්වන කොටස අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනයක් සාකච්ඡා මාලාවේ මෙවර අන්තර්ගත වන්නේ පසුගිය සතියේ සාකච්ඡා කළ පක්ෂ නායකත්වය සහ සාමාජිකයා පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමකි.

ඔබේ පැහැදිලි කිරිම්වලට අනුව දැනෙන්නෙ ධනවාදයට අභියෝග කරන එකත් අභියෝගයක්?

ඔව්… අපි දැන් නැවතත් ප්‍රශ්නයේ ආරම්භයට යමු. මම මීට පෙර ප්‍රකාශ කළා ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේ මෙහෙමයි කියල අදහසක් ධනවාදී ලිබරල් දේශපාලන පක්ෂ සමාජ ගතකරන බව. අපි සාකච්ඡා කරන්න අවශ්‍යයවෙන්නෙ මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන කාරණය. මෑත සිදුවුණ ක්‍රියාවලිය තුළින් (බැඳුම්කර සිද්ධිය) මේ කාරණය හොඳින් ම ඔප්පු වුණා. කවුරු මොන තර්ක ඉදිරිපත් කළත් ධනවාදය කියන්නෙ තම තමන්ට වුවමනා විදියට කළමනාකරණය කරන්න පුළුවන් ක්‍රියාවලියක් නොවෙයි.

අපි මෙහි දෙවන පියවර විදියට මතු කළේ නායකත්ව ගති ලක්ෂණ. ධනවාදය තුළ පක්ෂ නායකත්වය කියන සංකල්පය ක්‍රියාත්මක වන ආකාරය ජිජැක් හරි ලස්සනට පැහැදිලි කරනවා. ඔහු එය හඳුන්වන්නෙ ‘ඒ ඒ සමාජයන්හි ඓතිහාසික පරිනාමයේ අවිඥානය’ යනුවෙන්.

 මේ වචන සමූහය පිටුපස තිබෙන ගැඹුරු අර්ථය පැහැදිලි කරන්න පුළුවන්ද?

ඓතිහාසිකව සමාජ විකාශනය පරිනාමය වීමත් සමග ම නිර්මාණය වන අවිඥානයක් තිබෙනවා. ධනවාදය ප්‍රයෝජනයට ගන්නෙ මෙන්න මේ සුවිශේෂී පරිනාමීය ලක්ෂණ සමග මතුවෙන පක්ෂ නායකත්ව. අපි මේකට උදාහරණයක් ගනිමු. ලංකාවේ එක් පැත්තකින් බුර්ෂුවා, මධ්‍යම පාංතික ධනපතියො පිරිසක් ඉන්නවා. ඔවුන් ටයි කෝට් ඇඳ පැලඳගෙන කියනවා අපිට විතරයි මේ ආර්ථිකය නියමාකාරයෙන් කළමනාකරණය කරන්න පුළුවන් කියල. ඒ එක් පාර්ශවයක්. ඊට අමතරව බාක්තියානු කානිවල්කරණයක් පවතිනවා. පසුගිය මහමැතිවරණයේ දී මේ තත්ත්වය වඩාත් හොඳට ම ප්‍රදර්ශනය කළේ ජනතා විමුක්ති පෙරමුණ. මේ ප්‍රකාශය මම යළිත් අවධාරණය කළොත් තමන්ට ලංකාවේ ශිෂ්‍ය සංගම්වල බලය වැඩියෙන් ම තියෙන්නෙ අපිට කියල හිතාගෙන ඉන්න ශිෂ්‍ය සංගම් වැටෙන්නෙත් මේ ගනයට. අනෙක් පැත්තෙන් ලංකාවෙ විශ්වවිද්‍යාලවලටත් මේක අදාළයි. වමේ දවස්වල විශ්වවිද්‍යාල පවතින්නෙක් කලින් සඳහන් කළ කානිවල් ආකෘතියට. න්‍යාය පොඩ්ඩක් ඉගෙනගන්න ලැබෙනවා. නමුත් සමාජය, ජීවිතය හෝ දේශපාලනය තේරුම් ගන්න ඒ දන්න න්‍යාය හෝ භාවිතා කරන්නෙ නෑ. දැන් සමහර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු චිත්‍රපට පෙන්වනවා. සමහරු මියුසික් කරනවා. තවත් සමහරු තමන්ගෙ අශිලීලත්වය ප්‍රදර්ශනය කරනවා. පරපීඩක කාමුකත්වය මුදා හරිනවා. දැන් විශ්වවිද්‍යාල කියන්නෙ මෙන්න මේ සියල්ලම එකතු වුණ සැණකෙළියක්. කවුරු හරි කියනවනම් දැන් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික පාර්ශවයෙන් ප්‍රබුද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනව කියල ඒක සම්පූර්ණ මුසාවක්.

ඔබ සදහන් කළා ජනතා විමුක්ති පෙරමුණේ ‘කානිවල්කරණය’ පිළිබඳ. මේ කාරනය තව දුරටත් පැහැදිලි කරගමුද?

අනුර කුමාර දිසානායක විශේෂ වූ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළා සහ කරනවා. මොනවද මේ අමුතු ගතිලක්ෂණ…? එක් පැත්තකින් ඔහු මහා විප්ලවීය හඬකින් කෑමොර දෙනවා. නමුත් ඔහුගෙ කතා තුළ කිසිම මාක්ස්වාදී අදහසක් අන්තර්ගත වෙලා තියෙනවද? අවම වශයෙන් ‘පංතිය සංවිධානය කළ යුතුයි’ කියන වාක්‍යයවත් අනුර කුමාර දිසානායකගෙ මුවින් ගිලිහෙනවා ඇහිල තියෙනවා ද? අවම වශයෙන් පැරණි වාමාංශික අර්ථයකින් හෝ එබඳු වචන දැන් ජනතා විමුක්ති පෙරමුණ තුළින් අපිට ඇහෙන්නෙ නැහැ. නමුත් ඒ වෙනුවට දැන් මොනවද අනුර කුමාර දිසානායක කියන්නෙ? මොනවද ඔහු කරන්නෙ? ඔහු දැන් චිත්‍රපට විචාරය කරන්න යනවා. ‘ආදරණීය වික්ටෝරියා’ විචාරය කරන්න යනවා. නවකතා වැඩමුළුවලට සහභාගි වෙන්න යනවා. මෙන්න මේ විදියට අනුර කුමාර දිසානායක රුපාන්තරණය වෙලා. සරලව ම කිවොත් අනුර කුමාර දිසානායක කියන්නෙ මොන වගේ නායකයෙක් ද කියල කාටවත් හිතාගන්න බැරි තත්ත්වයට පත්වෙලා. 

අපි බලමු ඔහු පසුගිය කාලයේ භාවිතා කරපු වචන. ‘පන්සල් ටොක්ක’ මේ කියන්නෙ හාමුදුරුවරුන්ගෙ වචන. විප්ලවීය නායකයා මෙබඳු වචන භාවිතා කරන තත්ත්වයට පත්වෙලා. වඩාත් සරලව කියනවා නම් ඔහු සම්ප්‍රදාය ඇතුළෙ තිබෙන වචන සහ අදහස් සමාජ ගතකරන්න උත්සාහ කරනවා. එහෙම නම් අපි කොහොමද මේ තත්ත්වය තේරුම් ගන්නෙ?  දැන් ඔබට පැහැදිලි නැද්ද මේ වෙලාවෙ ධනවාදයේ ලොකුම ගොදුර ජනතා විමුක්ති පෙරමුණ බව. ඇයි මම එහෙම කියන්නෙ? ජනතා විමුක්ති පෙරමුණේ නායකය දිහා ඇස් ඇරල බැලුවොත් ඒක හොඳින් ම ප්‍රදර්ශනය වෙනවා. ඔවුන් කොහොමද තමන්ගෙ දෘෂ්ටිවාදය සමාජ ගතකරන්නෙ? ඔවුන් තමන්ගෙ දෘෂ්ටිවාදය සමාජ ගතකරන්නෙ ධනවාදයට අභියෝගයක් වෙන විදියට නොවෙයි. ධනවාදය තවදුරටත් පවත්වාගෙන යමින්, ඒ ධනවාදය ආරක්ෂා කරන දෘෂ්ටිවාදයයි ඔවුන් සමාජ ගතකරන්නෙ. එහෙම කියන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඇයි කියන කාරණය තව ටිකක් පැහැදිලි කරගනිමු. ඔවුන් සමාජ ගත කරන්නෙ දූෂණ විරෝධි කතා. ධනවාදයේ කොහෙද දූෂණ විරෝධී කියල සංකල්පයක් තියෙන්නෙ? දූෂණය නැති ධනවාදය, මාණුෂික ධනවාදය, කළමනාකරණය කළ හැකි ධනවාදය. මෙන්න මේ හඬ නේද දැන් අපිට ජනතා විමුක්ති පෙරමුණෙන් ඇහෙන්නෙ? ඇත්තට ම ධනවාදය ඇතුළෙ මේ මොනවත් නෑ. තියෙන්නෙ ‘ධනවාදය’ ම පමණයි.

ධනවාදයට සත්‍යය ලෙස ම අභියෝග නොකර, සත්‍යය ලෙසම පංති අරගලය පිළිබඳ සාකච්ඡා නොකර, පංති සවිඥානිකත්වය විමසීමට ලක් නොකර කොහොමද මේ ධනේශ්වර මොහොත තේරුම්ගන්නෙ? කොහොමද අපි ධනවාධය අභියෝගයට ලක් කරන්නෙ? මේ කිසිඳු කාරණයක් සම්බන්ධයෙන් න්‍යායික, ඓතිහාසික සහ හැදෑරීම් සහිත මැදිහත්වීමකින් තොරව මොනවද ඔවුන් රැගෙන එන්නෙ? ඒ විදියට ඔවුන් අද රැගෙන එන්නෙ ඔවුන්ගේ ම වූ දෘෂ්ටිවාදයක්. අද යහපාලනය වෙනස් වුණ ක්ෂණයකින් ඔවුන් එතනින් ඉවත් වෙනවා; ඉතා වේගයෙන් ඉවත් වෙනවා. මහින්ද ගේන්න උපරිම සහය දුන්නා. මහින්ද විවේචනය කලා. ඊට පස්සෙ යහපාලනය ගේන්න උදව් කළා. මැතිවරණය ආසන්න වන විට එයින් ඉවත් වුණා. හෙට අනිද්ද වන විට ඔවුන් මොන දිශාවකට ගමන් කරාවිද කියල ඔවුන්වත් දන්නෙ නැහැ. මෙන්න මේ නිසයි මම ප්‍රකාශ කළේ සහ නැවත නැවතත් අවධාරනය කරන්නෙ: ධනවාදය මේ මොහොතෙ නායකත්ව සොයා යන්නේ කෙසේ ද? ඒ, සමාජයේ ඓතිහාසික පරිනාමයේ අවිඥානය භාවිත කරමින්. ඒක තමයි යථාර්ථය. මේ මොහොතෙ අනුර කුමාර දිසානායක කියන්නෙ අපේ සමාජයේ ම නිර්මිතයක්; අපේ සම්ප්‍රදාය විසින් ම ඇති කරන ලද නිර්මිතයක්.

නමුත් ඔවුන්ගේ වෙනස් විම තුළ ම නේද වර්තමාන තත්ත්වයට පාර කැපෙන්නෙ?

ඔව්… නමුත් දේශපාලනික යතාර්ථය පවතින්නෙ එහෙම නොවෙයි. අපි මේ මතුපිට පෙනෙන දේට අමතරව බැලුවොත් ඇතැම් ස්ථානවල ‘පූර්ව පියා’ ඉන්න බවක් අපිට පේනවා. තවත් තැනෙක ‘ශිෂ්ට පියා ඉන්නවා. අපි මේ විදියෙ උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. පරණ අශ්ලීල විදියට විපරීතකාමිත්වයට උඩ ගෙඩි දුන්න මහින්ද රාජපක්ෂ වෙනුවට දැන් ඇවිල්ල ඉන්න නායකය අපිට පේන්නෙ තරමක් ශිෂ්ට පියෙක් විදියට. එහෙමත් නැත්නම් ඊඩිපස් පියෙක් විදියට. නීතය හරියට ක්‍රියාත්මක කරනව වගේ පෙන්වනවා. රනිල්ටත් ටොක්කක් අනිනවා. ඒ නිසා අපිට හිතෙනවා දැන් ඉන්නෙ ශිෂ්ට පියෙක් කියලා. මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට තිබෙන බරපතල ප්‍රශ්නයක්. මොකද මේ දෘෂ්ටිවාදයෙන් ගැලවිලා යන්න පුළුවන් කියල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිතනවා නම් ඒකත් ගැටලුවක්.  මට දැනෙන්නෙ ඔහු පවා මේ ධනේශ්වරයේ විශාල ගොදුරක් බවට පත්වෙලා අවසන් බවයි.

 

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02  මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 03 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 04 මෙතනින් කියවන්න

 

 

ඔබේ අදහස කියන්න...