80 දශකයේ ලොව පුරා ජනප්‍රිය වූ මයිකල් ජැක්සන්ගේ Thriller ඇල්බමයේ එක් ගීතයක වීඩියෝවට අනුව අහිංසක පෙම්වතෙක් එක්වරම දත් විලිස්සාගෙන යක්ෂයෙකුගේ හැඩය ගනියි. පෙම්වතිය ඉන් බිය වෙයි. පසුව පෙම්වතා පවසන්නේ එය බොරුවක් බවයි. නමුත් දෙවන වරටත් පෙම්වතා දත් විලිස්සාගෙන යක්ෂයෙකු බවට පත් වෙයි. එවර එය පෙම්වතිය නොදකින අතර එය දකින්නේ ප්‍රේක්ෂක අප පමණි.

දශක දෙකකට පසු මයිකල් ජැක්සන්ට ළමා අපචාර චෝදනා එල්ල වන්නට විය. එවිට ජැක්සන් ඇතුළු ඔහුගේ රසික – රසිකාවන් කීවේ ඒවා අභූත චෝදනා බවයි. නමුත් සියලුදෙනාට වැරදුනේ කොතැනද?

ජැක්සන්ගේ බොහෝ සංගීත වීඩියෝවල කතා තේමාවන් වන්නේ පාතාල මානසික ආර්ථිකයන්ය. ඒවා නැරඹූ මිලියන ගණනක් රසික-රසිකාවන්ට අනුව ඔවුන් ඒ නැරඹූ දෘශ්‍යමානය බොරුය. ජැක්සන්ගේ ඇත්ත ජීවිතය ඇත්තේ ඊට යටින්ය. විද්‍යාවක් අපට අවශ්‍ය වන්නේ දෘශ්‍යමානයට යටින් ඇති ‛යථාර්ථය’ කුමක්ද කියා සොයා ගැනීමටය. නමුත් අවුරුදු 20කට පමණ පසු සියලුදෙනාට අත්විඳීමට සිදු වූ යථාර්ථය කුමක්ද? මයිකල් ජැක්සන්ගේ ‛සත්‍ය’ පැවතුනේ ඔහුගේ දෘශ්‍යමානය තුළ මිස ඊට යටින් සැඟවුණු ස්ථානයක නොවේ යන්නය.

සනත් ගුණතිලක යනු තිරයේ අහිංසක පෙම්වතෙකි. ඔහුගේ චිත්‍රපටි නැරඹූ රසිකාවන් දහස් ගණනක් අතරින් චන්ද්‍රිකා බණ්ඩාරනායක යනු ද එක් කෙනෙකි. දෘශ්‍යමානය සැබෑ යැයි සිතු ඇය සනත්ව තමන්ගේ මාධ්‍ය උපදේශකයා කර ගත්තේය. පසුව ඇයට වැටහුනේ ඇගේ චිත්‍රපටි ප්‍රතිරූපය බොරුවක් බවත් ඊට යටින් පවතින කෲර මිනිසකු සියල්ල භයානක අන්තයකට යවන බවත්ය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඉවර වී දැන් මහින්ද රාජපක්ෂ බලයට පැමිණ ඇති අතර නැවතත් සනත් ගුණතිලක ‛අහිංසක පෙම්වතාගේ’ භූමිකාව රඟන්නට පටන් ගෙන ඇත. ඒ අනුව සනත්ගේ ‛දෘශ්‍යමානය’ (අහිංසක පෙම්වතා) සහ ඊට යටින් ඇති ‛කෲර මිනිසා’ අතර වෙනස කුමක්ද?

සනත් ගුණතිලක යනු දෘශ්‍යමානය තුළ ස්ත්‍රියක වැනි පිරිමියෙකි. එනිසාම ඔහු අහිංසක මිනිසෙකි. නමුත් ඔහු බලවත් පිහිටුමක ස්ථානගත වූ වහාම මාධ්‍යවේදීන්ට හිරිහැර කරන කෲර මිනිසෙක් බවට පරිවර්තනය වෙයි. එසේ නම් ‛සත්‍යය’ අපට හමු වන්නේ කොතැනකද?

හිස්ටෙරික කාන්තාවන් බොහෝ දෙනෙකු අහිංසක ලෙස දෘශ්‍යමානයේ පෙනෙන පිරිමින්ට කැමතිය. නමුත් ඒ බොහෝදෙනා දන්නා කරුණක් නිසා නම් නොවේ. මෙම අහිංසක ස්ත්‍රී ලක්ෂණ ඇති බොහෝ පිරිමින් කුමක් හෝ හේතුවක් නිසා එක්තරා මොහොතකට පසු කෲර වෙයි. එම කෲරත්වය නිසා එවැනි පිරිමින් සමඟ ආදරයෙන් බැඳෙන බොහෝ ස්ත්‍රීන් අධික පීඩාවකට පත් වෙයි. ස්ත්‍රීන් ආකර්ෂණය වන්නේ ‛අහිංසක පෙම්වතා’ නම් චරිතයට නොවේ. ඔවුන් ආකර්ෂණය වන්නේ ඊට යටින් පවතින කෲර චරිතයටය.

එබැවින් සනත් ගුණතිලක අරඹයා ‛රාවය’ කර්තෘ වික්ටර් අයිවන් ඇසූ ප්‍රශ්නයට අපට සෘජු පිළිතුරක් ඇත. ඔහුගේ ප්‍රශ්නය මෙවැනිය.

‛ඇයි මේ තක්කඩියාට මේ ගෑනි රැවටුණේ?’

(ඉහත ප්‍රශ්නයට අයිවන්ට පිළිතුරක් නැති නිසා ඔහු විසින් ‛චෞර රැජින’ නමින් ශාස්ත්‍රීය නිබන්ධනයක් රචනා කරන ලදී.)

සාමාන්‍ය ‛සමාජ යථාර්ථය’ තුළ සාමාන්‍ය පිරිමියෙකු ලෙස හැසිරීමට නොදන්නා පිරිමියෙක් ස්ත්‍රියකගේ චර්යාවක් අනුගමනය කිරීම පුදුමයට කාරණයක් නොවේ. මේ රීතියට අනුව සනත් ගුණතිලකගේ දෘශ්‍යමානය වන්නේ අකර්මණ්‍යතාවයි. නමුත් හිස්ටෙරික ස්ත්‍රියක් මෙවැනි පිරිමියෙකුගේ ඇතුළාන්තයට රිංගන නිසා එවිට හමුවන්නේ ඇත්ත ජීවිතයේ පිරිමියෙකු වීමට බැරි විවිධ හේතුන්ය. ‛අහිංසක පෙම්වතා’ යන සමාජ භූමිකාවම බැරිකමේ ප්‍රතිඵලයකි. එය පිරිමියෙකු වීම ප්‍රතික්ෂේප කරන පිරිමියෙකුගේ ආශාව විය හැකිය. එනම් ‛අහිංසක පෙම්වතා’ වීමට දරන උත්සාහයම ෆැන්ටසියකි. දෘශ්‍යමානය වන්නේ එම ෆැන්ටසියයි. ඊට යටින් වෙනත් රහසක් නැත. නමුත් රාජ්‍ය නායිකාවක් වැනි බලගතු චරිතයක් මෙවැනි චරිතයකට කිට්ටු වූ විට ඒ තැනැත්තාගේ අහිංසක භූමිකාව අතුරුදහන් වෙයි. එවිට ඒ පුද්ගලයාගේ රහස වියැකී යයි. මෙය අදාළ පුද්ගලයාට දැනෙන්නේ තමන්ගේම වටිනාම සම්පත අහිමි වී යාමක් ලෙසිනි.

දෙවැනි අදියරේදී මෙවැනි පිරිමියකු කෲර වන්නේ තමන්ට අහිමි වූ අහිංසක ප්‍රතිරූපය යළි ලබා ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තරික නීතියක් ස්වාත්මය තුළ නැති නිසා එය ඔහු ඉල්ලන්නේ බාහිරින්ය. බාහිර ලෝකයෙන් එම නීතිය ලැබුණු වහාම නැවතත් මෙවැනි පිරිමින් තමන්ට ආවේණික ‛අහිංසක පෙම්වතාගේ’ චරිතය යළි රඟන්නට පටන් ගනියි. මහින්ද රාජපක්ෂ බලයට ආ විගස සනත් ගුණතිලකගේ කෲර රංගය අතුරුදහන් වූ අතර ඔහු යළිත් අහිංසක පෙම්වතෙක් බවට පරිවර්තනය විය.

චන්ද්‍රිකාට සිදු වූ වැරැද්ද කුමක්ද?

‛අහිංසක පෙම්වතෙකුගේ’ වෙස්මුහුණක් දමා ගෙන සිටින පුද්ගලයකුගේ එම වෙස්මුහුණට යටින් ඇති අභිරහස සෙවීමට ඇය උත්සාහ කළාය. එම අභිරහස ඇය කරා ළඟා වූයේ ඇගේම රහසේ ප්‍රතිලෝමය ලෙසිනි. එනම් ඇගේ ආශාවේ ‛රහස’ ඇයට සම්මුඛ වූයේ වෙනත් කෙනෙකුගේ ආශාවක් පරිද්දෙනි. වික්ටර් අයිවන් අනුභූතික තලයේ සිදුවූ සිනමා ජවනිකාවක් වැරදියට වටහා ගත්තේය. ඔහු කීවේ සනත් ගුණතිලක කෲර බවයි. නමුත් ඔහු තම නිවසේ තල දර්පණය ඉදිරියට ගොස් මෙසේ ඇසුවානම්, ‛මම කොහොමද මේ තරම් කෲර වූයේ?’ උත්තරය සරලය. චන්ද්‍රිකාගේ ආශාවේ අභිරහස වටහා ගන්නට ගොස් වික්ටර් අයිවන් නම් අහිංසක මාධ්‍යවේදියා තම සුළුජාතියේ විනාශය මිනීමරුවෙක් මෙන් රස වින්ඳේය.

ඔබ අහිංසක මිනිසුන්ට ආශා කළාට කමක් නැත. නමුත් ඔබ එවැනි අයට ආදරය කරන්නට ගිය විට ඔබ නිසාම ඔවුන් කෲර මිනිසුන් බවට පරිවර්තනය වෙයි. ද්‍රව්‍යමය ලෝකය සම්බන්ධයෙන් විද්‍යාව අපට ආලෝකයක් සැපයුවත් ආත්මීය ලෝකය සම්බන්ධයෙන් විද්‍යාව අපව රැගෙන යන්නේ අන්ධකාරය දෙසටය∎

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මම අවුරුදු 10 ක තරම් කාලයක් ත්‍රිරිමාන කියවන කෙනෙක්.පෙරටුගාමී පක්ෂයේ පොත් කීපයකුත් අරන් කියවල තියෙනවා.පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නත් කැමතියි.සමාජ වෙනසක් වෙනුවෙන් යමක් කරන්න දැඩි උවමනාවක් තියෙනවා.මම විශ්වාස කරන විදියට ජීවිතයට අර්ථයක් ලැබෙන්නේ තමන්ගෙන් ඉවතට ගමන් කිරීමෙන් කියන එක මමත් විශ්වාස කරනවා.

Comments are closed.