01-දෘෂ්ටිවාදය සම්බන්ධ අලුත් අදහස කුමක් ද?

02-එම අලුත් අදහස උදාහරණයක් මගින් පහදන්නේ කෙසේද?

සම්භාව්‍ය මාක්ස්වාදය අනුදත් ලෙනින්වාදය,ස්ටැලින්වාදය,මාඕවාදය සහ ට්‍රොට්ස්කිවාදය මගින් දෘෂ්ටිවාදය විවේචනය කිරීමේ දී අදාල කරන්නේ යථාර්ථය දෘෂ්ටිවාදය මගින් අවුල් කරන බවයි. නමුත් ලැකාන් අනුදත් මාක්ස්වාදය යටතේ ( මෙහි ප්‍රධාන ප්‍රකාශකයා ස්ලොවෝ ජිජැක්ය) දෘෂ්ටිවාදය විචාරය වන්නේ කෙනෙකු අනුදත් යථාර්ථය නොව ඉන් ගිලිහී යන විනෝදයයි. දැනුම වෙනුවට අප ජීවත් වන නරුමවාදී යුගයේ දී විචාරයට ලක් විය යුත්තේ විනෝදයයි. තවම ලංකාව මෙම අදහස වටහා ගෙන නොමැත. මෙය වටහා ගත් දිනක සිට අපට දෘෂ්ටිවාදය විචාරය කිරීම දෙවන අධියරකට රැගෙන යා හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස විප්ලවවාදී පක්ෂයක් විසින් හදුනා ගත යුතු යථාර්ථය පිළිබද අවබෝධයද කණපිට හැරෙනු ඇත. මාක්ස්වාදී දේශපාලනයේ ඉලක්කය මිනිසුන්ට සතුට ලබා දීම නොවන බව එවිට වැටහෙනු ඇත.

                 පහත පළ වන්නේ දීප්ති කුමාර ගුණරත්න විසින් පසුගිය සමබිම කළාපයට ලියන ලද ලිපියයි.

ලංකාවේ පවතින ඉඩම් පිළිබඳ අයිතිය මූලික වශයෙන් දෙයාකාරය.

(1) පුද්ගලික ඉඩම්.

(2) රජයේ ඉඩම්. 

 

ලංකාවේ ජීවත් වන ඕනෑම මිනිසෙක් (විශේෂයෙන් සිංහල) දන්නා පරිදි ඉඩම් යනු තවදුරටත් ආධ්‍යාත්මික වශයෙන් පිරිසිඳු දෙයක් නොවේ.

 

ඉඩම් පිළිබඳ ධනවාදී වටිනාකම –

 

සිංහල මිනිසුන් සියලු දෙනාම දන්නා පරිදි ඉඩම් යනු අද වෙළඳපොළේ හුවමාරු වන පාරිභෝගික භාණ්ඩයකි. හදිසි කරදරයක් වූ විට මිනිස්සු තමන් සතු පුද්ගලික ඉඩම් විකුණති. නැතහොත් වෙනත් කෙනෙකුට කරදරයක් වූ විට ඒ කෙනා සතු වටිනා ඉඩමක් හෙට්ටු කර ලාභයට ගනියි. තවත් සමහරවිට අපි අප සතු ඉඩමක් බැංකුවට උගස් තබා ඉන් ලැබෙන ප්‍රාග්ධනයෙන් නිවසක් එම ඉඩමේම ඉදිකර වාරික ලෙස එම ණය ටිකෙන් ටික බැංකුවට ගෙවනු ලැබේ.

රජයට අයත් ඉඩම්වල සරුසාර කොටස රාජ්‍ය පරිපාලනයට වරින්වර පත් වන මහජන නියෝජිතයන් විසින් වරින්වර තම හිතවතුන්ට සහ ව්‍යාපාරිකයන්ට විකුණා දමා අයවැය වාර්තාවේ අය ශීර්ෂයට එය එකතු කර ගනියි. මෙය එතැනින්ද නොනැවතී දැන් ලංකාවේ ඉඩම් විදේශීය ව්‍යාපාරිකයන්ටද විකුණා දමයි. මන්දයත් ලංකාවට මේ වන විට විකිණිය හැක්කේ සොබාදහම සහ ශ්‍රමය පමණක් නිසාය.

 

ඉහත කී සියලු කාරණා මේ ලියන මටත් වඩා හොඳින් සිංහල – බෞද්ධයා දනියි. නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර ද දනියි. සරලව කිවහොත් ලංකාවේ මේ මොහොත වන විට ඉඩම් යනු මුදලට විකිණෙන දෙයකි. එහි ඇත්තේ ගනුදෙනු ස්වභාවයක් පමණි. ඉඩම්වල කිසිඳු ආධ්‍යාත්මික පිරිසිදුභාවයක් සිංහල මිනිසා මේ වන විට දකින්නේ නැත. එය ඔවුන්ට විකිණිය හැකි, හුවමාරු කරගත හැකි තවත් පාරිභෝගික භාණ්ඩයක් පමණි. ලංකාවේ පරිසර හානිය පවා නොතකා පාරිසරිකව තීරණාත්මක ඉඩම්වල (වැව් තාවුල්ල, කඩොලාන පරිසර, තෙත් වනාන්තර, වන ජීවීන් හැසිරෙන ස්ථාන, මුහුදු වෙරළ…) හෝටල් ඉදිකිරීම ගැන කිසිවෙකුට ප්‍රශ්නයක් නැත. කොළඹදී පරිසර වැඩමුළු පවත්වන මැදපන්තිකයන් පාසිකුඩා වෙරළේ ඇති ‛මාලු මාලු’ හෝටලයට ගොස් එහි මුහුදු වෙරළ දූෂණය කරමින් විනෝද වෙයි. මේ දෙපිටකාට්ටුකම ගැන කිසිවකුට ප්‍රශ්නයක් නැත. මන්දයත් සිංහලයාට අනුව ‛ශුද්ධ භූමි’ නැති නිසාය.

පොලීසිය පිළිබඳ පොදුජන ආකල්පය –

 

ශ්‍රී ලංකාවේ පොලීසිය යනු රාජ්‍ය ආයතනවලින් වඩාත්ම දූෂණයට ලක් වූ ආයතනයයි. ඒ තුළ පිරිසිදු නිලධාරීන් යනුවෙන් කෙනෙක් දැනට නොමැත. දවසේ ජීවිතයේදී ලංකාවේ හුදීජනයාට පොලීසිය හමුවන්නේ නීතිය සුරකින නිලධාරීන් ලෙස නොව නීතිය උල්ලංඝනය කරන්නට ඉඩ දෙන පිරිසක් වශයෙනි. අපි උදාහරණයක් ගමු – මිතුරන් කිහිපදෙනෙකු මත්පැන් බෝතල් කිහිපයක් සහ කටගැස්මක් සහිතව මෝටර් බයිසිකල්වලින් සුන්දර වෙරළ තීරයට යන්නේ මදක් මත් වන්නටය. මීවිත පානයට පසු සතුටින් සාමූහිකව ගීත ගයන ඔවුන් මධ්‍යම රාත්‍රියට ආසන්නව යළි නිවෙස්වලට යන්නට තමන්ගේ මෝටර් බයිසිකල්වලට නැග ගනියි. වෙරළේ සිට අතුරු පාරකින් ප්‍රධාන පාරට එකතු වන තැන පොලිස්කාරයන් සැඟව සිටින්නේ බීමතින් එන රියදුරන්ව අල්ලා ගන්නටය. සංයුක්ත වශයෙන් ගත් කළ පොලිස්කාරයෙක් ලංකාවේ කරන්නේ වැඩ දෙකකි.

 

(1) නීතිය කැඩීමට අනුබල දී ඉන් ආතල් ගන්නා මිනිසුන්ගෙන් ඒ සඳහා වන්දි වශයෙන් පෙරළා කප්පම් අය කිරීම.

 

(2) පොලීසිය යනු නීතිය සුරැකීමට හෝ නීතිගරුක පුරවැසියන් බිහි කරන ආයතනයක් නොව ‛ප්‍රාග්ධනය’ එකතු කරන බුකියකි. එය රාජ්‍යය වෙනුවෙන් සහ තමන් වෙනුවෙන් ධනය රැස් කරයි. නීතිය යනු ඔවුන්ට ව්‍යතිරේකයකි. මීට අමතරව පරපීඩා කාමය (අනුන්ට අපහාස කිරීමෙන් සහ පහර දීමෙන්) මගින් අවිඥානිකව විනෝද වන්නේ ද ඔවුන්මය.

 

ඉහත පොලීසිය ගැන මා කී කාරණා මටත් වඩා හොඳින් සිංහල බෞද්ධයා දනියි. නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර ද දනියි. සරලව කිවහොත් ලංකාවේ මේ මොහොත වන විට ‛පොලීසිය’ යනු අන්ත දූෂිත, පීඩාකාරී අනුන්ගේ ආතල් කඩන ආයතනයකි. ඒ තුළ කිසිදු ආධ්‍යාත්මික නිලධාරියෙක් වැඩ කරන්නේද නැත. පොතේ හැටියට ඉඩම් බලතල සහ පොලිස් බලතල උතුරට ලබා දුනහොත් සිදු වීමට නියමිත වන්නේ එම ව්‍යුහ දකුණේ ක්‍රියාත්මක වන ආකාරයටම උතුරේත් ක්‍රියාත්මක වීමයි. ටික කලක් යන විට උතුරේ ඉඩම් ද විකිණෙන භාණ්ඩයක් වීමට නියමිත වන අතර පොලීසිය විසින් (දෙමළ පොලිස්කාරයන්) කිරීමට නියමිත වන්නේ අනුන්ගේ ආතල් කැඩීම මිස සාමය සහ පිළිවෙළ ආරක්ෂා කිරීම නොවේ.

 

එසේනම් උතුරට ඉඩම් සහ පොලිස් බලතල දීමට ජාතිවාදීන් විරුද්ධ ඇයි?

 

මේ සඳහා අප වාස්තවික විග්‍රහයක් ඉදිරිපත් කළ විට ගැටලුව විසඳේවිද? නැත. ඒ වෙනුවට සිදු වන්නේ ගැටලුව ද්වීගුණ වීම පමණි. ඉඩම් සහ පොලිස් බලතල ගැන කරන වාස්තවික විග්‍රහයන් විසින් වඩ වඩා අපව සැබෑවෙන් එළිපත්තට රැගෙන යයි. (පිටු නාස්ති කිරීම) මිනිසෙක් ජාතිවාදියෙක් වන්නේ වාස්තවික සාධක නිසා නොව ආත්මීය පසමිතුරුභාවයක් නිසාය. (සම්භාව්‍ය මාක්ස්වාදය සහ සම්භාව්‍ය ලිබරල්වාදය සෑමවිටම උත්සාහ කරන්නේ මෙම ප්‍රේරණය වාස්තවිකව විග්‍රහ කරන්නටය. උදා – ජාතිවාදය මතු වන්නේ ඒකාධිකාරී ප්‍රාග්ධනය නිසාය, ආගම රාජ්‍යයෙන් වෙන් නොකිරීම නිසා රාජ්‍යය ජාතිවාදයේ උපකරණයක් වෙයි.)

 

අවසාන නවාතැන්පොළට පසු…-

සමකාලීන ගෝලීයකරණ ධනවාදය ඇතුළත ඉඩම් සහ පොලිස් බලතල ගැන මිනිසුන් තම සමාජ අත්දැකීමෙන්ම දන්නා දෙයක් ඇත. අනුභූතිකව සැලකුවහොත් ඉඩම් සහ පොලිස් බලතල මිනිසුන්ගේ නිදහස පුළුල් කරනවා නොව සීමා කරනවාය. සැබෑ සමාජ යථාර්ථය මගින් අත්විඳින මෙම අත්දැකීම (දැනුම) ක්‍රියාකාරී වන මොහොතේදී උඩු යටිකුරු වෙයි. සිංහල මිනිසුන්ගෙන් බහුතරයක් දෙමළ ජනයාට ඉඩම් සහ පොලිස් බලතල ලබා දෙනවාට විරුද්ධය. එබැවින් එය තවම විසඳී නැති දේශපාලන ප්‍රශ්නයකි. සිංහල විඥානයට අනුව ඉහත බලතල බෙදා ගැනීම යනු තමන් අත්විඳින “විනෝදයක්” තමන්ට අහිමි වීමකි. සැබෑ සමාජ ව්‍යවහාරය ඇතුළත සැබැවින්ම අහිමි යැයි හොඳින්ම දන්නා දෙයක් ක්‍රියාකාරී ලෝකයක් තුළදී එසේ නොවේ යැයි මිනිසුන් සිතන්නේ මන්ද?

 

මිනිසුන් යමකට මුලා වීම සම්බන්ධව මාක්ස්වාදයේ මුල් අදහසට අනුව (පාරිභෝගික භාණ්ඩ දේවත්වයෙන් සැලකීම) ‛ඔවුන් ඒ දෙය ගැන දන්නේ නැත. නමුත් එයම ඔවුන් කරනවාය.’ (උදා – ක්‍රිස්තුව කුරුසියේ තබා ඇණ ගසන රෝම සොල්දාදුවන් ඔවුන් කරන්නේ කුමක්දැයි නොදනියි.) මෙම සම්භාව්‍ය සූත්‍රයට අනුව මුලාව ඇත්තේ අවබෝධය හෝ දැනුම පැත්තේ නොව “සමාජ යථාර්ථය” (Social Reality) පැත්තේය. වෙනත් කෙටි ක්‍රමයකින් ප්‍රකාශ කළහොත් මිනිසුන් අන්ධ වන්නේ යමක් නොදැන ගන්නා මොහොතේදී නොව ඔවුන් ක්‍රියා කරන (doing) විටය. ඇත්ත වශයෙන්ම මිනිසුන් නොමග (Ignorance) යන්නේ ‛සමාජ යථාර්ථය’ ඇතුළතදීම මිස ඉන් පිටතදී නොවේ.

 

මිනිසුන් තම සැබෑ සමාජ ව්‍යවහාරය ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයේදී සරල සුගම ලෙස මග හරින කාරණය මෙලෙස සූත්‍රගත කළ හැක. “මුලාව” ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ට යමක් ගැන දැනුම ක්‍රියාශීලී වන ස්ථානයේදී නොව ඔවුන් සමාජ යථාර්ථය යැයි සිතන ස්ථානයේය. මේ නිසා සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව මිනිසුන් ක්‍රියා කරන විට ඒ ගැන නොදැන ක්‍රියාත්මක වනවා යැයි සිතීම උපන්‍යායක් ලෙස ගත් විට සත්‍යය. සංක්ෂිප්ත ලෙස කරුණු සාරාංශ ගත කළහොත් අදාළ කාරණයට පහත පරිදි පැති මාන දෙකක් ඇත.

 

(1) සමාජ යථාර්ථය ව්‍යුහගත කරන මුලාව.

 

(2) ඉහත මුලාව අවිඥානික නිසා විඥානය විසින් එය ප්‍රපංචයක් ලෙස නොගැනීම.

 

සම්භාව්‍ය මාක්ස්වාදයේ සාකච්ඡා වන ඉහත මුලාව (දෘෂ්ටිවාදය) පිළිබඳ අදහසට අනුව කරුණු සලකා බැලුවහොත් දැනට අප ජීවත් වන සමාජය නම් කළ හැක්කේ ‛පශ්චාත් – මුලා – කරන’ සමාජයක් හැටියටය. මන්දයත් සමකාලීන සමාජයේ ජීවත් වන්නන් තමන්ව අනෙකෙක් මුලා කරන බව හොඳටම දන්නා නිසාය. එබැවින් මෙම ‛පශ්චාත් – මුලා – කරන’ සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ ව්‍යාජ විඥානයට අපිට කියන්න පුළුවන් ‛නරුමවාදය’ (Cynicism) කියලා. අනෙක් මිනිස්සු ‛ඇත්ත’ කියලා කියන දේවල් සාමාන්‍ය ජීවිතය ඇතුළත අපි සලකන්නේ ‛බොරු’ කියලා. ඔවුන් වෙනත් අය විදාරණය කරන සත්‍යයන් (සංවර්ධනය, ප්‍රගතිය, ප්‍රජාතන්ත්‍රවාදය, උසස් මානව ගුණාංග) බැරෑරුම් කොට සලකන්නේ නැහැ. නමුත් ඉහත නිගමනයෙන් අදහස් වෙන්නේ නැහැ අපි ජීවත් වෙන්නේ පශ්චාත් – දෘෂ්ටිවාදී සමාජයක කියලා. (Post-Ideological Society)

වෙනත් මිනිසුන් කියන දේවල් සැහැල්ලුවෙන් ඉවත දැමීම මගින් (උදා – මුහුණු පොතේ  comment හරහා) අපට දෘෂ්ටිවාදයෙන් ගැලවෙන්න බැහැ. දෘෂ්ටිවාදයට අපි මුලා වෙන්නේ අපි ‛හිතන තැනේදී’ නොව ‛ක්‍රියාකරන’ තැනේදීය. සරලව කිවහොත් දෘෂ්ටිවාදයට ඇති අපගේ අනුරාගික බන්ධනය අප තහවුරු කරන්නේ සවිඥානිකව නොව අවිඥානිකවය. මෙම තත්වාරෝපිත තදාත්මිකභාවය අපට පහත පරිදි ප්‍රවාදයක් ලෙස ආකෘතිගත කළ හැක.

 

දැන් අපට සම්භාව්‍ය මාක්ස්වාදයට වෙනස්ව සමකාලීන සමාජයේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරය නිර්වචනය කළ හැක. එය මෙසේය. “ඔවුන් දන්නවා හොඳින්ම ඔවුන් කරන්නේ කුමක්ද කියලා; නමුත් ඔවුන් එයම කරනවා” (ඔවුන් දන්නවා ඔවුන් ක්‍රියාකරන විට අනුගමනය කරන්නේ මුලාවක් කියලා. නමුත් ඔවුන් ඒ මුලාවම අනුගමනය කරන්නේ අනෙකාගෙන් අපේක්ෂා කරන කප්පම (විනෝදය) නිසාය.) උදාහරණයක් ලෙස ගතහොත් ‛දෙමළාට ප්‍රශ්නයක් තිබේද’ යනුවෙන් ප්‍රශ්නයක් අසා ඊට පුනරාවර්තිතව ලිපි ලියන බුද්ධිමතෙක් තම දැනුම තුළ හොඳටම දන්නවා තමන් කරන්නේ නිස්සාර වැඩක් කියලා. තමුන් තමන් ඒ ලියන ලිපි පුවත්පතක පළ වූ විට (ඒවා කිසිවකු කියෙව්වත් නැතත්) තමන්ට සමාජ තත්ත්වයක් (සමාජයෙන් – යථාර්ථයෙන්) පෙරළා ලැබෙතැයි අවිඥානිකව අපේක්ෂිතය. එවිට කප්පම වන්නේ (විනෝදය) මේ අපේක්ෂිත අවිඥානික සමාජ පිළිගැනීමයි. තමන්ට අහිමි වූ විනෝදය යළි සහතික කිරීමට ග්‍රස්තික නියුරෝසිකයෙකු සැමවිටම මෙවැනි චාරිත්‍ර-වාරිත්‍ර තොගයක අඛණ්ඩව පැටලෙයි. අවධානය යොමු කළ යුත්තේ මෙම කතිකාවට නොව එමගින් ඇති කරන අතිරික්ත විනෝදයටය.

 

සරල ලෙස කිවහොත් සෑම හොඳ සිංහල බෞද්ධයෙක්ම දන්නා පරිදි ඉඩම් සහ පොලිස් බලතල යනු තවදුරටත් ආධ්‍යාත්මික හෝ යහපාලනයට අදාළ ප්‍රපංච නොවේ. ඒවා තම අත්දැකීමෙන්ම දන්නා පරිදි අත්‍යන්තයෙන්ම දූෂිතය. එබැවින් මෙම බලතල දෙමළ ජනයාට ලබා දීමෙන් ඔවුන්ට අමතර සෙතක් අත්නොවන අතර අපට සිදු වූ දෙයම අනාගතයේදී ඔවුන්ට සිදුවේවි. නමුත් මෙම අවබෝධයට පරස්පරව සිංහල මිනිසා ක්‍රියාකාරී වීමේදී අප නොවිඳින විනෝදයක් දෙමළා ඉඩම් සහ පොලිස් බලතල හරහා විඳිතැයි සමපේක්ෂණය කරයි. මෙම සමපේක්ෂණය අවිඥානිකය. අප හිතන විට දැනුම අපට මග පෙන්වූවත් අප ක්‍රියා කරන විට අපට මග පෙන්වන්නේ ෆැන්ටසියයි. මෙම සන්දර්භය තුළ දෙමළාට කෙසේ වෙතත් සිංහලයාට නම් ඉඩම් සහ පොලිස් බලතල යනු දෘෂ්ටිවාදයේ උත්කර්ෂවත් වස්තූන්ය. එවා කතිකාවට ඌනනය කළ නොහැක්කේ මේ නිසාය. දෙමළාගේ ආශාව නම් ප්‍රහේලිකාවට දෙන සිංහල පිළිතුර වන්නේ ඔවුන්ගේ ආශාව අපට සැක බවයි∎

 

       -දීප්ති කුමාර ගුණරත්න-

417492_309849385740522_100001463897692_857525_655374560_n

ඔබේ අදහස කියන්න...