සමන් වික්‍රමාරච්චි නවතම කෙටිකතා සංග්‍රහයේ නාමය අහම්බයකින් දයලෙක්තිකය පිළිබඳ ගතානුගතික අදහස විචාරය කරයි. කලාකෘතියක් යථාර්ථය ජය ගැනීමට ධාරිතාව සපයයි හෝ ඒ ගැන සංජානනයක් සපයයි යන ට්‍රොට්ස්කිවාදී අදහස ද මේ කෘතිය නිසා විසංයෝජනය වෙයි. ප්‍රබන්ධ කලාව සතු චරිත සංකීර්ණතාවය ද මෙම කෘතිය තුළ නැත. කෙටියෙන් කිවහොත්, මෙතෙක් පැවති සාහිත්‍ය සාරධර්ම කිසිවක් මෙහි නැත. ලියනගේ අමරකීර්ති ප්‍රබන්ධකරුවාගේ කෘතිවල සුලභව පෙනෙන්නට තිබෙන ප්‍රධාන චරිතයේ උන්නතීකාමය හෝ තම සමීප අනෙකා ධාවන තරඟයක ප්‍රතිවාදියෙකු ලෙස සැලකීම ද මෙහි නැත. ඔහුගේම කෘතිවල පෙනෙන්නට තිබෙන තවත් ලක්ෂණයක් වන්නේ, අතීතයේ පෙම් කළ පෙම්වතිය පසුකලෙක දුටු විට ‘ අහා ඔබ දැන් මේ මොහොතේ තමයි හොඳටම ලස්සන’ යන වාක්‍යද මෙම කෙටිකතා සංග්‍රහයේ නැත.

           එසේ නම්, මෙම කෙටිකතා සංග්‍රහයේ කෘති තුළ තිබෙන්නේ මොනවාද? උත්තරය- සාහිත්‍ය යැයි ඇදහූ සියල්ල මෙහි අඩු කර ඇත. ඉවත් කර ඇත. නිශේධනය කොට ඇත. ලෙනින් අපෝහවාදී තර්කනය මෙසේ නිර්වචනය කළේ ය.

               “උචිත අර්ථයෙන් අපෝහවාදය යනු, අපගේ වස්තුකරණයන් හී හරය තුළම  තිබෙන ප්‍රතිවිරෝධය අධ්‍යනය කිරීමයි. එසේ නම්, අපගේ අධ්‍යයන ක්ෂේත්‍රය පුළුල් විය යුත්තේ කෙසේද? ‍ප්‍රතිවිරෝධයේ සර්ව-ව්‍යාප්ත බව, ප්‍රතිවිරෝධයේ සුවිශේෂය, ප්‍රධාන ප්‍රතිවිරෝධය සහ එහි ප්‍රධාන පැත්ත,  ප්‍රතිරෝධයක පැතිවල එකීයභාවය සහ අරගලය, ප්‍රතිවිරෝධය තුළ ගැටුමට තිබෙන පරාසය.”

          සමකාලීන දේශීය සාහිත්‍යයට මූලික ලක්ෂණ දෙකක් ඇත. එකක් වන්නේ, අනුන්ගේ ප්‍රශ්න අපගේ මුහුණේ ඇතිල්ලීමයි. එනම්, පරිවර්තන සාහිත්‍යය යි. අවම වශයෙන්, සෝවියට් සාහිත්‍යය (පශ්චාත්-විප්ලවීය) නිසාවත් සිංහල මිනිසා මානුෂිකරණය වූයේ නැත. මෙම පරිවර්තන සාහිත්‍යය පිළිබඳ දිග හෑලි පුවත්පත්වල දීර්ඝකාලීනව පළ වෙයි. ලෙනින් මේ ගැන මෙසේ කියයි. (ඔහු කියන්නේ ටෝල්ස්ටෝයි පිළිබඳ පත්තර විචාර ගැන.)

      “’ශිෂ්ට මනුෂ්‍ය වර්ගයාගේ කටහඬ’, ‘ලෝකයේ ඒකමතික අදහස’ වැනි ගතානුගතික හිස් පාඨවලට මුවා වී තමන්ගේ විස්තර ලියා ඇත. ටෝල්ස්ටෝයි හෙළා දැක්කේ ද මෙයයි.”

            අපෝහක තර්කනය පිළිබඳ ශ්‍රී ලංකාවේ කියවන්නියගේ දෝෂය නැතහොත් භයානක අපගමනය කුමක්ද? ඔවුහු බොහෝ දෙනෙක් ගර්භාෂය සහ මනස සමාන පද කොට සලකා මනස පරාරෝපණයක් ලෙසත් , ගර්භාෂය සුසංවාදයේ මධ්‍යය ලෙසත් සලකයි. එවිට, චින්තනයේ එක් සංඝටකයක් ඊට පරිබාහිරින් පවතී යැයි අනුමාන කරන තවත් සංඝටකයක් සමඟ ගැටෙතැයි සමපේක්ෂණය කරයි. ඉන්පසු, පළමු සංඝටකය අන්තරස්ථ-immanent– ලෙස සලකා දෙවැනි සංඝටකය බාහිරකරණය කරයි. මෙය, අපෝහක තර්කනය පිළිබඳ ජාතික චින්තනවාදයේම දිගුවකි. අපෝහක තර්කනය යනු, පළමු සංඝටකය බෙදී යාමයි. ඒ අනුව, ගැටුම යනු පළමු සංඝටකයටම අන්තරස්ථ එකකි. මෙම පළමු සංඝටකය යනු, පසු ආවර්තිතව ගොඩනගන මුලාවකි. එය, අපෝහක තර්කනයේම ඵලයකි. ඒ අනුව, බාහිර බාධකය යන්න අභ්‍යන්තරයේම තර්කනයකි. 

          උදාහරණයක් ලෙස, Rights Now යන මානව හිමිකම් ආයතනයේ හිමිකරුවා වන සුදර්ශන ගුණවර්ධන යනු, තනි පුද්ගලයෙක් දෙකට බෙදී -‘UNPකාරයෙක්’ සහ ‘හිටපු ප්‍රගතිශීලී අරගලකරුවෙක්’– යාමක් නොවේ. එනම්, තනි පුද්ගලයෙකු දෙකට කැඩී යාම- ඇමීබාවක් මෙන්- නොවේ. ඔහුව අප පරිහාසාත්මක UNPකාරයෙකු ලෙස සිතීම පසු ආවර්තිත මුලාවකි. තත්වයේ සැබෑ ස්වරූපය වන්නේ, මානව හිමිකම් සුරකින්නෙකු තමාවම UNPකාරයෙක් ලෙස භෞතීෂ්ම කරගන්නේ මන්ද යන්නය.

      සුදර්ශන ගුණවර්ධන තවදුරටත් ප්‍රගතිශීලී මානව හිමිකම් සුරකින්නෙකු ලෙස අනෙකා සලකන්නේ නම්, මේ මොහොතේ ඔහුට එය ක්ෂතියකි. ඔහුට සැනසුම වන්නේ, ඔහුව බාහිර ඊනියා විප්ලවවාදියෙකු පරාජික ‘UNPකාරයකු’ ලෙස හඳුනා ගැනීමයි. අපෝහක තර්කනයේ නියම හැඩය වන්නේ, පරාරෝපණය සහමුලින් සමතික්‍රමණය කිරීම නොව එය කළමනාකරණය කිරීමයි. ලැකානියානු යථ වන්නේ,සුදර්ශන නම් හැඟවුම්කාරකය ‘UNPකාරයා’ සහ ‘මානව හිමිකම් ආරක්ෂකයා’ අතරමැද (Gap)  පිහිටීමයි. ඔහු UNPකාරයෙකු හෝ මානව හිමිකම් ආරක්ෂකයකු වන්නේ, ඔහු ඔහුගෙන්ම පරාරෝපිත -self Gap- නිසාය. එවිට,සැබෑ සුදර්ශන යනු, UNPකාරයා හෝ මානව හිමිකම් ආරක්ෂකයා හෝ නොවේ. එම භූමිකා දෙක තුළ ඔහුව වටහා ගැනීම, සිවිල් සංකේතීය චින්තකයන්ගේ ඌනිතවාදයකි. සැබවින්ම, ‘ඔහු’ යනු , රෝමාන්තික ආදරවන්තයෙකි. එනම්,දයලෙක්තිකරණය නොවන ඔහුගේ ශේෂයයි. සමාජ පිළිගැනීම උදෙසා,රනිල් ළඟ පහත් වුවත්, ස්ත්‍රියක් ළඟ ඔහු නිවට වුවත් සැබෑ සුදර්ශන යනු, එම භූමිකා දෙකම නොව, ඒ දෙක අතරමැද හිස්තැනයි.[void] X කණ්ඩායමේ විමතිකයන් සමඟ ඔහු වරක් තෝසේ කඩයක උළුදු වඩේ එකක් කෑමට වාඩි වූ නමුත් ‘දීප්ති’ යනු, වෙරළු ගෙඩියක මැද ඇති හැපිය නොහැකි ශේෂය බව ඔහු කිසිදා වටහා ගත්තේ නැත. අනුභව කළ  ‘වඩය’ ජීරණය වුවත් ‘දීප්ති’ නම් හැඟවුම්කාරකය අජීර්ණයකි.

           සමන්ගේ කෙටිකතා සංග්‍රහයේ විශිෂ්ටම කෙටිකතාව වන්නේ, “දෙන්නෙක් නොවෙයි- එක්කෙනෙක්” යන්නයි. මාඕගේ ආප්තයක් සිහිපත් කරන මෙම කෙටිකතාව, වෘත්තීය සමිති දේශපාලනයට පසු බිහි වූ කාඩර්වරයා මැදි කරගත් දේශපාලන ව්‍යාපාර පිළිබඳ කදිම ඥාන-විභාගයකි. කතාව ගලා යන්නේ, කඩදාසිය දෙකට බෙදා ගමන් කරන සිදුවීම් දෙකක් හරහා ය. එකක ඇත්තේ, ණය වාරික ගෙවීම පැහැර හැරීම නිසා වාහනය පස්සේ එලවන සීසර්වරුන් සහ එහි අයිතිකරුවා අතර ත්‍රාසජනක ජවනිකාවකි. අනෙක් පැත්තේ තිබෙන්නේ, දේශපාලන කැරැල්ලකදී පොලිසියට පහරදීමට පැමිණි සන්නද්ධ විප්ලවවාදීන් පිරිසක් වෙඩි වැදුනා යයි බොරුවට පවසා පසුබැසීමයි. එක පැත්තක ඇත්තේ, ලාභය සහ සමාජ පිළිගැනීම මත පදනම් වූ සමාජයක සුලභ අත්දැකීමකි. අනෙක තුළ ඇත්තේ, සන්නද්ධ අරගලයට මැදි වූ පුද්ගලයෙකුගේ සාටෝප පාපොච්චාරණයයි. මෙම කතා දෙක මැද්දේ ඇත්තේ, හිස්තැනකි. මේ මැද සිටින සිතන්නාගේ සංකේත භූමිකා දෙකක් ලෙස මෙම ද්විත්ව ආඛ්‍යානය සැලකිය හැකිය.

             කොමියුනිස්ට්වාදය යනු, උත්තරයක් නොව අප සමාජීයව අත්විඳින ගැටලුවකට කියන නමක් ලෙස හඳුනා ගන්නේ නම්, තත්ත්වය අපට කළමනාකරණය කිරීමට හැකිය. එක පැත්තකින් , විප්ලවවාදියකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු තව පැත්තකින් , තමන්ගේ පුද්ගලික වාහනය සීසර්වරුන්ගෙන් බේරා ගැනීමට මාරාන්තික ජවනිකාවක් අපට පෙළගස්වයි. ඒ අනුව, සැබෑ පුද්ගලයා යනු, සංකේත භූමිකාවල විප්ලවවාදියා හෝ වාහනයේ පුද්ගලික හිමිකරුවා නොවෙයි.

          ‘නිම්නාගේ ඉතිහාසය’ කෘතිය දොරට වැඩම වූ අවස්ථාවේදී, (එහි කොටහලු මංගල්‍යය) ආචාර්ය ප්‍රභා මනුරත්න තරමක හාස්‍ය ස්වරූපයෙන් තම කතාව මෙසේ ආරම්භ කළාය.

             “ස්ත්‍රීත්වය කියන්නේ කළු ගලක්. ඒකෙ ඔළුව ගහගන්න එපා!” ඉන්පසු ‘කැමරා-කම්කරුවා’ Zoom out එකක් කරන අතර අපට උත්සවයේ සහභාගී වූ ජනතාව පෙන්වයි. එනම්, ඇගේ ආත්මීය ප්‍රකාශනයේ හිමිකරුවාව සංකේතනය කිරීමයි.

            නමුත් ලැකාන් විසින් ෆ්‍රොයිඩ්ගේ ආප්තය මෙසේ පුනරීක්ෂණය කළේය.

          “ඔව්, ස්ත්‍රීත්වය කියන්නේ කළු ගලක්. නමුත් ස්ත්‍රිය දන්නෙ නැහැ ඇයට අවශ්‍ය කුමක්ද යන්න.” මෙම ලැකානියානු ආප්තය කෞශල්‍ය කුමාරසිංහ වැනි පිරිමින් සසල කරවන ප්‍රතිවාදය යි. එනම්,  ‘ඔබට අවශ්‍ය කුමක්දැයි මම දන්නවා’ යන සටන් පාඨයයි. එසේ නම්, ග්‍රස්ථික නියුරෝසික ‘රියදුරු-ස්වාමි’ පිරිමින් වෙනුවට හිස්ටෙරික ස්ත්‍රිය සමකාලීන යුගයේ දී විපරිත මනෝභාවයන් සහිත පිරිමින්ට ආශක්ත වන්නේ මන්ද?  එය විනෝද කළමනාකරණය පිළිබඳ සමකාලීන ස්ත්‍රී ගැටලුවක්ද? සමන්ගේ කෙටිකතා සංග්‍රහයේ ‘පිවිතුරු උරුමය’ කෙටිකතාවේ අන්තර්ගත වන්නේ, මෙම මාතෘකාවයි. මාස්ටර් කතිකාව යල් පනින විට හිස්ටෙරිකයන්ගේ සීමා මායිම් බොඳ වී යයි. එය රැඩිකල් අනන්‍යතා අර්බුදයකි.JVP රැස්වීම් වල අමතන ප්‍රභා මනුරත්න ඉන්පසු කෞශල්‍යගේ පොත් ගැන ද කතා කරයි. ‘ඇය’ යනු, මේ දෙකම නොවේ. ප්‍රභා යනු, දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. ඒ එක්කෙනා (One) කවුද? ඒ මනෝවිශ්ලේෂණය කතා කරන, සංකේතනය නොවන ශේෂය යි.

 -දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...