මුලදී විශ්වාස නොකෙරුවත්, පසුව හා මෑත වන විට නැඟී එන ගෝඨාභය රාජපක්ෂගේ ජනප්‍රියභාවය හා ඔහු ජනාධිපති තනතුරට පත් වීමට ඇති ඉඩකඩ වැඩි වීම නිසා බොහෝ “ප්‍රගතිශීලී” සිතන්නන් කලබලයට පත් වී ඇත. වාමාංශික ජනබලයේ වික්‍රමය ගැන ඉතා උජාරුවට කතාකළ අය පවා දැන් “රාජපක්ෂවාදය” පැරදිය යුතු යැයි කඳවුරු ගැසීම ආරම්භ කර ඇති බව පෙනී යයි. මේ සන්ධර්භය තුළ වාමාංශික – ප්‍රගතිශීලී-ප්‍රජාතාන්ත්‍රික- තුන්වැනි විකල්ප වාදීන් නැමැති අක්ෂය මුහුණ දී ඇති ගැටළුව පහත පදිරි සූත්‍ර ගත කළ හැක.

(1) රාජපක්ෂවාදී පසුගාමී-අධිකාරවාදී අක්ෂය පරාජය කළ යුතුයි.

(2) එහෙත් සජිත් ප්‍රමුඛ එජාපයට ඡන්දය දිය නොහැක.

(3) හැමදාම මෙන් තෙවැනි විකල්ප අනාගතයට කල් දැමිය නොහැක. (අප වාමාංශික විය යුතුයි).

(4) වාමාංශික තෙවැනි විකල්පයට මැතිවරණය දිනිය නොහැක.

(5) එපමණක් නොව, තෙවැනි විකල්පය (ජනබලය) නිසා අවසානයේ රාජපක්ෂවාදී කඳවුර ජයග්‍රහණය කිරීමට ව්‍යංගයෙන් රුකුල් දිය හැක (උයන්ගොඩ).

සුමිත් චාමින්දගේ සිට ජයදේව උයන්ගොඩ දක්වා මෙම තත්වය විසඳීමට යන්නේ ඉහත සමීකරණ එලෙසම බාරගෙනය. ප්‍රථමයෙන් මෙහිදී මතක් කර ගත යුතු කාරණය වන්නේ චාමින්දගේ අර්ථයෙන්ම “පටිපාටිගත ප්‍රජාතන්ත්‍රවාදය” ක්‍රියාත්මක වූ (වන?) ලංකාවේ එම ක්‍රියාවලියට පදනම සැකසූයේ මධ්‍යම ආණ්ඩුකරණය – මධ්‍ය වාමවාදී(Centre-Left) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මධ්‍ය- දක්ෂිණාංශික (Centre-Right) එක්සත් ජාතික පක්ෂ හා ඒවා තුළ අරක්ගත් එම පටිපාටීන් අනුගමනය කිරීමට ආකෘතිගතවූ පැළැන්තියක් සිටීම නිසාය. නමුත් 2009 න් පසු සිදු වූයේ එම පටිපාටිමය සම්මුතිය බිඳ වැටී, මධ්‍ය-වාමවාදීව සිටි කඳවුර දක්ෂිණාංශික අන්තවාදයක් කරා පසුබෑමයි. දෛවයේ සරදමක් මෙන් 2014 දී එජාපයට නියෝජනය කිරීමට සිදු වූයේ ඉහත තත්වයන් තුළ හිස්ව ගිය මධ්‍ය-වාමවාදී කඳවුරයි. එවකට රනිල් වික්‍රමසිංහ යනු පොකුරු ගම්මාන හා රැකියා දසලක්ෂයක් පොරොන්දු වූ, ප්‍රගතිශීලී සිවිල් සමාජය තම කරට ගෙන රාජපක්ෂවාදයට විරුද්ධ පිලට නායකත්වය දුන් නායකයාය.

2015 සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පසුව ඉහත සමීකරණ විය යුතුව තිබුණේ පහත පරිදිය. ජවිපෙ ප්‍රමුඛ වාමාංශිකයන් සයිටම් වෙනුවෙන් මරාගෙන මැරීමට පෙර සිතන්නට තිබුණේ මෛත්‍රීපාල සිරිසේන පැමිණියේ කොහොමටවත් සමාජවාදය උදා කරන්නට නොවන බවයි.

(1) රාජපක්ෂවාදී ජාතිවාදය පරාජය කර අවසානය.

(2) සජිත්-රනිල් පසුගාමී පැළැන්තිවාදය අවසන් කළ යුතුය.

(3) වාමාංශික හා සියලු සුළුජාතික ප්‍රගතිශීලී බලවේග එක පෙරමුණක දෙවැනි විකල්පය ලෙස පැමිණ ඇත.

(4) ජාතිකවාදී පොහොට්ටු පිල තෙවැනි විකල්පයට පසු බැස ඇත.

(5) ජාතිකවාදීන් අවසාන විග්‍රහයේදී පැළැන්තිවාදීන්ම නිසා (රාජපක්ෂ-පඩිලබන බූෂුවා පන්තිය- ලුම්පන් ධාමරිකයින්) ඔවුන් එජාප කඳවුරට අභියෝගයක් වේ.

අප කැමති පරිදි දේශපාලන සමීකරණය ඉහත පරිදි සිදු නොවී, දෙවන මනාපවාදී අරවින්වාදය නැමැති පෙර සඳහන් කළ සමීකරණයන්ට පසු බැසීමට සිදු වීයේ ඇයි?. මෙයට දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා දැනටමත් විවිධ ආකාරයෙන් පිළිතුරු සපයා ඇත. අප එකෙන් එක ගනිමු.

ප්‍රථමයෙන් හොඳින් මතක ඇති අප සිහි කර ගත යුත්තේ, ඇත්ත වශයෙන්ම 2015 දී රාජපක්ෂවරුන් මදි නොකියා ගෙදර ඇරිය බවයි. කවුරුත් නොසිතූ පරිදි, මහින්ද රාජපක්ෂ මැදමුලනටත්, බැසිල් රාජපක්ෂ ඇමරිකාවටත්, ගෝඨාභය සොයාගැනීමටත් බැරි පරිදි පන්නා දමන ලදී. කවුරු කෙසේ කීවත් මෙයට ප්‍රධාන හා අමාරුම දේශපාලන තීරණය ගන්නා ලද්දේ මෛත්‍රීපාල සිරිසේන විසිනි. එම ප්‍රථම ආනුක්‍රමණය (defection) හැරෙන්නට එය සිදුවිය නොහැකිව තිබිණ. එම නිසා අද අප රාජපක්ෂවරුන් පරාජය කිරීමට වෙර දරන්නේ වරක් මදි නැතිව ඔවුන් පරාජය කර තිබූ පසුබිමකය. එම කර්තව්‍යයට මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ සභාපතීත්වය ගෙන එහි මුහුණු මාරු කිරීමද වැදගත් කොටසකි. කෙනෙක් සිතන පරිදි එසේ නොකොට ස්වාධීන මෛත්‍රී කෙනෙකුට මුලදී වූවත් රාජපක්ෂකරණය කිරීමට නොහැකි වනු ඇත. දීප්ති සහෝදරයා කියූ පිරිදි ගැයටළුව වූයේ මෛත්‍රී යා යුතු දුර නොයාමයි.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහගේ හා රාජපක්ෂලාගේ පැළෑන්තිවාදී සංයෝගයන් ජවිපෙ පමණක් නොවන සබුද්ධික සියලු දෙනා තේරුම් ගෙන සිටිය යුතුව තිබූ  තත්වයකි. එය සංස්ථාපිතය (Establishment) නියෝජනය කරන දේශපාලකයන්ගේ ක්‍රමයයි. එයට සදාචාරවාදී විවේචන කර ඵලක් නැත. අධිරාජ්‍යයාගේ හෙළුව වාමාංශික සිතන්නන් අළුතෙන් සොයාගත යුතු දෙයක් නොවේ. මේ අර්ථයෙන් 2015 වේ වෙනසින් පසුව එවකට තෙවන විකල්පය වූ ජවිපෙ ප්‍රමුඛ අනෙක් සියලු ප්‍රගතිශීලී බලවේග 2020 ගැන සවිඥානිකව සිටිය යුතුව තිබිණි. නොයෙකුත් හාස්‍යජනක පරිවාරයේ ප්‍රශ්න (සයිටම් සිට COPE දක්වා) තොරොම්බල් නොකොට, 2015 දේශපාලන බලවේග ප්‍රධාන පිටියේදීම හැපී තමන් දෙවැනි බලවේගය කර ගැනීමට යුහුසුළු වීමට තිබුණි. එහෙත් ජවිපෙ කරන්නට යෙදුනේ ඉන්දියාවේ අරවින්ද් කේජ්‍රිවාල් හා අන්නා හසාරේ ප්‍රමුඛ ධනවාදය පාරිශුද්ධ කිරීමේ ව්‍යාපෘතියට එළඹීමයි. එම නිසා හඳුන්නෙත්ති විකල්ප ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ සිට COPE විදුහල්පති දක්වා පසු බැස්සේ ය.

මධ්‍ය- දක්ෂිණාංශික හා මධ්‍ය – වාමාංශික දේශපාලන පිටියක තුන්වැනි රැඩිකල් ස්ථාවරය ලෙස ජවිපෙට නිරන්තරයෙන් විවේචන කාර්යභාරය උරුම විය. බලන අයටද එය අස්වැසිල්ලකි. ඒ Auditor ගේ කාර්යභාරය ඔවුන් කළ නිසාය. එහෙත් මැතිවරණය දිනිය හැකි පුධාන දේශපාලන බලවේගයක් වීමට ඔවුන් බැසිල්ගෙන් උගත යුතුව බොහෝ දේ තිබුණි. තම පාරිශුද්ධභාවය සමාජයට කීම සිතට හොඳ වූවත්, දේශපාලනයට මදිය.

මෙම අලකලංචි උඩ දැන් දැන් නැඟී එන මතයක් වනුයේ රාජපක්ෂවාදය පරාජය කිරීම සඳහා ජවිපෙ හා අනෙකුත් විකල්ප බලවේග විසින් තම දෙවන මනාපය සජිත් පිළට දිය යුතුය යන්නය. සුමිත් චාමින්ද වංගීස සුමනසේකර වෙත කරන විවේචනය නිවැරදිය. එනම් ජිජැක් ට්‍රම්ප් ජනාධිපති වීමෙන් ඇමරිකානු සමාජයට බර්නි සැන්ඩර්ගේ වැදගත්කම මතු වීමට ඉඩ සැලසූ ලෙස ගෝඨාගේ පැමිණීමෙන් ලංකාවේ වාමාංශිකත්වයට යුක්තිසහගතභාවයක් ඇති වීම මනස්ගාතයකි. ඒ ජිජැක්  ලෙ පෙන් (Le Pen) හෝ බොරිස් ජොන්සන්  (Boris Johnson)  යුරෝපයේ බලයට ඒම, ඉහත ඇමරිකාවේ තත්වයට වෙනස් නිසා එයට විරුද්ධ වීම නිසාය. ගෝඨා ලංකාවේ වාමාංශික මතවාදයට රුකුල් වීමක් යනු දේහපාලන වැරදි කියවීමක් විය හැකිය.

ගැටළුව වන්නේ මෙම ආසයි බයයි සෙල්ලම කුමක් ද යන්නයි. 2020 වන විට වාමාංශික- ප්‍රගතිශීලී සුළු ජන අක්ෂය දියුණු නොකිරීමේ වගකීම ඇත්තේ රාජපක්ෂලට හෝ එජාපයට නොව ජවිපෙටමය. චින්තනමය අතින් ඔවුන් මීට වඩා සන්නද්ධ විය යුත්තේ, ඔවුන් තවමත් ආර්ථිකයේදී සමූපකාරවාදී මානසිකත්වයකින් සිටින බැවිනි. ජාතික ජනබලවේගය යනු ග්‍රීසියේ සිරීසා හෝ ස්පාඤ්ඤයේ පොඩෙමස් වැනි නූතවාදී ව්‍යාපාරයකට වඩා ඉන්දියාවේ අන්නා හසාරේවාදී ව්‍යාපාරයකි. ඔවුන් වාමාංශික වීමට වඩා පාරිශුද්ධවාදී වීමට උත්සහ කරයි.

ළඟම දොරටුව අප පසු පස විය හැක. මධ්‍යසාර නොමැතිව විස්කි බීම වැනි දෙවන මනාපවාදයකට පසුබැසීමට වඩා සෘජුව තමන් තම ප්‍රෙෘඪ ජනකායද සමඟ රාජපක්ෂවාදයට අවංකව සටන් කරන බවට ප්‍රකාශ කිරීම හා ඒ සඳහා සජිත්ට සහය වීම තමන් සිතනවාට වඩා ප්‍රතිඵලදායක විය හැක. බාධාව ඇත්තේ තම චින්තනය තුළය. තමන් වාමාංශික යැයි සිතා සිටින දෙය තුළය. තමන්ට සමාජ ක්‍රමය තේරෙන ආකාරය තුළය. ශ්‍රීලනිපය ජාතිවාදී කොට පොහොට්ටුවෙහි වූවාක් මෙන් එජාපය රැඩිකල්කරණය කොට අනාගත පෙරටුගාමී වාමාංශික පක්ෂයක් වුවද බිහිවිය හැක.

Dilshan Fernando

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “මෛත්‍රීට එතැන් සිට ඉදිරියට යමින් පක්ෂය ගොඩනැගීමට නොහැකි වූයේ ඇයි?. ඔහුට හැකියාව තිබුණා අලුත් මුහුණු පක්ෂයට දාලා ඒකාබද්ධ විපක්ෂය නීත්‍යානුකූලව අවසන් කරලා ජයග්‍රාහී අලුත් මිනිසෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න. එලෙස ඔහු ක්‍රියාත්මක වූවා නම් අද පොහොට්ටු පක්ෂයත්, රාජපක්ෂලත් මේ මැතිවරණයේදී නොමැත”

    “මෙම මැතිවරණයේදී ගෝඨාභයට හමුවී ඇත්තේ ඩ්‍රන්කන් මාස්ටර් කෙනෙක්. ඔහු මොනවා කරයිද මොනව කියයිද කියා ඔහුද නොදනී. නමුත් ඔහු ඒහේ මෙහේ විසිකරන අත පය වැදීමෙන් ගෝඨාගේ සංවිධාන ව්‍යුහයේ පළු ගැලවීයාමට ඉඩ ඇත.”

    “මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ ස්නයිපර්වරුන්ද ඩ්‍රන්කන් මාස්ටර්ලාද යන්න තීරණය වන්නේ අවසාන සති දෙක තුළ ක්‍රියාත්මක වන මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම අනුවයි”
    “ප්‍රථමයෙන් හොඳින් මතක ඇති අප සිහි කර ගත යුත්තේ, ඇත්ත වශයෙන්ම 2015 දී රාජපක්ෂවරුන් මදි නොකියා ගෙදර ඇරිය බවයි”
    “ප්‍රගතිශීලී බලවේග 2020 ගැන සවිඥානිකව සිටිය යුතුව තිබිණි. නොයෙකුත් හාස්‍යජනක පරිවාරයේ ප්‍රශ්න (සයිටම් සිට COPE දක්වා) තොරොම්බල් නොකොට, 2015 දේශපාලන බලවේග ප්‍රධාන පිටියේදීම හැපී තමන් දෙවැනි බලවේගය කර ගැනීමට යුහුසුළු වීමට තිබුණි”

    ඉහත ඇත්තේ ඔබලා විසින් පල කරන ලද මේ ලිපිය හා කලින් ලිපියේ උපුටා ගත් කොටස්‍ ය​. මට අනුව මෙය ඉතාමත් දුර්වල දේශපාලන කියවීමකි. 2015 රාජපක්ශ වරුන් මදි නොකියා ගෙදර යැවූ බව පැවසීමම දේශපාලන අදබාල​, ස්වයංවින්දන ප්‍රකාශයක්. ඇත්ත නම් 2015 රාජපක්ශලා පරාජය වූයේ චන්ද ලක්ශ 4.5 කින් වීමත් ඔවුන්ට ලක්ශ 58ක අති බහුතර සිංහල වන්ද ප්‍රමානයක් ලැබුනු බවත්‍ ය​. මේ ලියුම් කරු වචන ගොඩකින් වසා දමන්නේ මහ පොළොවේ සිටින මෙම ලක්ශ 58 වන සිංහල චන්ද ප්‍රමාණයයි. කොටින්ම රාජපක්ශලාව නැවතත් දේශපාලනයට ගෙනෙනුයේ මෙම ජාතිකත්වය නියෝජනය කරන, පහසුවෙන් පරාජය කළ නොහැකි සිංහල ජාතිකත්ව කදවුරයි. සිංහල ජාතිකත්ව කදවුර මෛත්‍රී පක්ශ නායකයා උනා කියා හෝ ඔහු මුහුණු මාරු කරා කියා හෝ කුට්ටිය පිටින් මෛත්‍රීගේ ඔඩොක්කුවට වැටෙන්ඩ සිටියේ යැයි පැවසීම අද බාල දේශපාලන කියවීමක්. 2018 පුංචි චන්දෙන් ඔප්පු වූයේ ඒකයි. රාජපක්ශලා පසු පස යන මෙම සිංහල සමාජ තීරුවේ අපේක්ශාව ජාතිකත්ව අපේක්ශායි. මෛත්‍රී කිසි දිනක ජාතිකත්වයේ නියෝජිතයා ලෙස බාර ගැනීමට ජාතිකත්ව කදවුර කැමති නොවූයේය​. ජාතිකත්ව කදවුරේ නියෝජිතයා ලෙස වෙන කිසි කෙනෙක් පෙනෙන්නට නොමැති නිසා එම කදවුර රාජපක්ශලාගේ පිහිට පැතීම වැරදි නැහැ. නලින්, විමල්, උදය​, ඉන්දික​, මහා සංඝ රත්නය වැනි ජාතිකත්ව කදවුරරේ නියමුවන් විසින් මෙම සිංහල ජාතිකත්ව කදවුර එක මිටට ගෙන 2015 ඉදන් අද දක්වා ආරක්ශා කර ගෙන ආ බවයි ඇත්ත​. එම කදවුරේ අපේක්ශකයා ගෝඨාභය වීම රාජපක්ශලාගේ තේරීමක් නෙමෙයි. මෙම ලියුම් කරු ඉතා බොළද විදිහට අමතක කර​, යටපත් කර දමන්නට උත්සාහ කරන්නේ එවැනි මහ පොළොවේ ඇත්ත යථාර්තයක්ව පවතින සිංහල ජාතිකත්වයේ (චන්ද ලක්ශ 58) අපේක්ශාවයි. 2015 රාජපක්ශලාව මදි නොකියන්ට පන්නා දැමූ බවට වහසි බස් දොඩන්නන්ට බිය කරු සිහිනයකින් අවදි වන්නට සිදුවන්නේ 19 වැනිදා මැතිවරණ ප්‍රතිපල ඇසූ විටයි. ඊට හේතුව පරාජය කරා යැයි වහසි බස් දෙඩූවත් එය එදාටත් වඩා ශක්තිමත්ව අද නැගී සිටිමින් පැමිණ ඇති බව ලැබෙන වැඩි චන්ද සංක්‍යාවේ තරමෙන් තේරුම් ගත හැකි වේවි. ඔව් ඔය බොරු වචන හරබ වල හැංගිලා දේශපාලන ස්වයං වින් දනය නොවී පුලුවන්නම් ඒ සිංහල ජාතිකත්වයේ නැවත නැගී සිටීමත් සමග මහ පොළොවේදී දේශපාලනිකව හැප්පෙමු.

  2. “සීතාවක රාජසිංහ ශිවාගම වැළඳ ගත්තේ ඇයි ද කියන එකට මට තවමත් පැහැදිලි පිළිතුරක් නැහැ. (කරුණාකර තම තමන් දන්න සරල කරුණු ප්‍රතිචාර ලෙස දක්වන්න එපා.) ඔහු පරංගින්ට විරුද්ධ ව සටන් කළා. මුල්ලේරියාවේ සටන ගැන බටහිරයන් කියන්නේ නැත්තේ එය බටහිර රාජ්‍යයකට විරුද්ධව ආසියාතික රටක් කළ එකක් නිසා. මට තේරෙන විධියට සීතාවක රාජසිංහ ලෝකයේ ම අති විශිෂ්ට රණ ශුරයෙක්. එහෙත් කොනප්පු බණ්ඩාර පරංගි වෙතට යැව්වෙ ඔහු. කොනප්පු බණ්ඩාරට සීතාවක රාජසිංහගෙන් පසු සීතාවක මෙන් ම සෙංකඩගල ද රජ වෙන්න තිබූ අවස්ථාවක් මග හැරුණා. සීතාවක රාජසිංහ කොනප්පු බණ්ඩාරට සෙංකඩගල රජවෙන්න ඉඩ හැරිය නම් මොකක් ද වෙන්න තිබුණෙ? ඒ ප්‍රශ්නවලින් ඉතිහාසය වෙනස් කරන්න බැහැ. එහෙත් වර්තමානයට කල්පනා කරන්න දේ ප්‍රශ්නයෙහි තියෙනවා. වහෙන් ඔරෝ කියන්නෙ නැතිව කෙලින් ම කියන්නම් මෛත්‍රිපාල රනිල් වෙත යැව්වෙ කවුද? අද රනිල්ගෙන් මෛත්‍රිපාල වෙන් කරන්නෙ කොහොම ද? එහෙමත් නැත්නම් රනිල් ඉවත් කරන්නෙ කොහොම ද? කොනප්පු බණ්ඩාර පරංගින්ගෙන් මිදිල ඇවිත් විමලධර්මසූරිය නමින් බෞද්ධ රජ කෙනකු වුණා. පරංගි ළඟ හැදුණු කුසුමාසන දේවි විවාහ කර ගත්තා. ඒත් ඇය දිගට ම කතෝලික වුණා.”

    “කොනප්පු බණ්ඩාරට තිබුණු ශක්තිය මෛත්‍රිපාලට නැහැ. ඔහුට ශක්තිය නොදුන්නොත් ඔහු කාගෙන් සහාය ලබා ගනීවි ද? මේ ඡන්ද සෙල්ලමේ ඔහුත් ඡන්ද එකතු කරන බව පමණක් මා දැනට පවසනවා. ඡන්ද සෙල්ලම පැවැත්වීමට නියමිත දිනට පෙර රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි.”

    “මින් පසු අගමැති වැදගත් වන බව කී මෛත්‍රිපාල එබැවින් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී අගමැති ධුරයට (පාර්ලිමේන්තු මැතිවරණයට) ඉදිරිපත් වන බවක් කිව්වෙ නැහැ. මෛත්‍රිපාල ඒ වෙනුවට අගමැති ධුරයට සුදුසු තැනැත්තා සතු විය යුතු ගුණාංග කිහිපයක් කිව්වා. ඒ අතර රටට ආදරය කිරීම, දේශීයත්වය ඇගයීම, සංස්කෘතියට වටිනාකමක් දීම, ඉතිහාසය සමග වගකීම් දැනගැනීම, අවංක වීම, දූෂණයෙන් වංචාවෙන් තොරවීම ද වුණා. වත්මන් අගමැතිට මේ සුදුසුකම්වලින් කීයක් තියෙනවා ද? එකක්වත් තියෙනවා ද? නැත්නම් මෛත්‍රිපාල කළ යුත්තේ කුමක් ද? මේ සුදුසුකම් තිබිය යුතු ය කියා ව්‍යවස්ථාවේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථානුකුලව ඒ නිර්ණායක මත පිහිටා කටයුතු කරන්න මෛත්‍රිපාලට බැහැ. අද පඬියන් කියන්නෙ මෛත්‍රිපාල විශ්වාස නැති බවයි. මට නම් කිසිම දේශපාලනඥයකු විශ්වාස නැහැ.”

    “මෛත්‍රිපාල විකල්පයක් සෙවීමත් අවසානයේ දී මහින්දට අගමැති වීමට ආරාධනය කිරීමත් එහි ප්‍රතිඵලයක්. මහින්ද ඒ ශක්තිය ලබා දුන්නා. මෛත්‍රිපාලත් මහින්දත් යම් ජාතිකත්වයක ඇති අය. ජාතිකත්ව ප්‍රතිපත්ති මත මේ රට ගොඩ ගන්න පුළුවන්. එහෙත් එය අවුරුද්දකින් දෙකකින් කරන්න බැහැ. මෛත්‍රිපාලටත් මහින්දටත් එයට ආරම්භයක් දෙන්න පුළුවන්.”

    නලින් ද සිල්වා

Comments are closed.