“When people tell me that nothing can change [I respond by saying] no it can, because things are already changing like crazy. And what we should say is just this: if we let things change the way they are changing automatically we are approaching a kind of new perverse, permissively authoritarian society, which will be authoritarian but in a new way.”

Slavoj Žižek

 

පවතින සමාජ ක්‍රමය වෙනස් කල නොහැකි බව බොහෝ දෙනා විශ්වාස කරන මතයකි. දීප්ති සමග දීර්ඝ කාලයක් දේශපාලනය කල සගයෙකු පවා අවසානයේ ඔහුගෙන් වෙන් වන්නේ දීප්තිගේ දේශපාලනයට අනාගතයක් නැති බව පවසමිනි.[NO Future] ඒ අනුව එකී විශ්වාසය ධනවාදයට හොදින්ම අනන්‍ය වූ සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිට දැඩි වාමවදියෙකු දක්වා  වූ පිරිසක් නියෝජනය කරනු ලබන  විශ්වාසයකි. කෙනෙකු ධනවාදය පෙරළාදමා සමාජවාදය යලි පිහිටුවිය හැකි බව ප්‍රකාශ කිරීමට පුළුවන. නමුත් එසේ ප්‍රකාශ කරන අයගේ ක්‍රියාව කුමක්දැයි සියුම් ලෙස පරීක්ෂා කල විට අපට පෙනීයන්නේ ඔවුන් පවතින ක්‍රමය තව තවත් පෝෂණය කිරීම සදහා දායක වන ආකාරයයි. එසේනම් ඉහත උපුටා දැක්වීමේ සදහන්,  ජිජැක් වෙත යොමු වන ගැටලුව අප වෙතද ඉතා තදින් යොමුවන ප්‍රශ්නයකි. බැලු බැල්මට ජිජැක් එම ගැටලුව සදහා ලබා දෙන පිළිතුර ඉතා සරළය. නමුත් ගැටලුවේ ඇති සංකීර්ණ බව අනුව ගත්විට  පිළිතුර එතරම් සරළ විය නොහැක.  මේ නිසා ජිජැක්ගේ ඉහත අදහස පුළුල් ලෙස විශ්ලේෂණය කිරීම මේ මොහොතේ අපට ඉතා වැදගත් වේ.

දේවල් වෙනස් කිරීම සදහා කිසිවෙකුත් ඉදිරිපත් නොවන මොහොතක ඒවා ඉතා පිස්සු තත්වයක් වෙත පරිණාමය වෙමින් යන බවට උදාහරණ ඕනෑ තරම් පෙන්වා දිය හැක. ලෝකයේ ප්‍රධාන රටවල රාජ්‍ය නායකයන්ගේ පෞද්ගලික සහ රාජකාරීමය ක්‍රියාකලාපයන් පිළිබද අසන්නට ලැබෙන තොරතුරු මෙම පිස්සු තත්වයෙහි බලපෑම ගෝලීය වශයෙන් කොතරම්ද යන්න අපට පෙන්වාදෙයි. මෙම වෙනස් වීම අවසානයේ ගමන් කරන්නේ කොතැනටද? අගතිගාමී , සියලු දෙයට ඉඩදෙන සර්වාධිකාරී නව සමාජයක් බිහි වීම තෙක්  මෙම ස්වයංක්‍රීය වෙනස් වීම  සිදුවේ. අද අප ජීවත් වන්නේ එවැනි සමාජයකය. නමුත් ඒ බව ඔබ මීට පෙර දැන සිටියේ නැත. එසේ නම් පවතින සමාජය වෙනස් කල නොහැකි බව විශ්වාස කරන්නේ කුමන පදනමකින්ද? දෘෂ්ටිවාදය මිස ඒ සදහා කිසිදු  තාර්කික පදනමක් නොමැත.

අලුත් ආකාරයක සර්වාධිකාරී පාලනයක්  බිහි වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සර්වාධිකාරී පාලනයක් මගින් සහතික වන්නේ සියලුම අවශ්‍යතාවයන් සපුරා දෙනු ලබන පාලනයකි. එනම් අපගේ අවිඥානික ආශාවන්ට ඉඩ දෙනු ලබන පාලනයකි. ඒ අනුව අලුත් අකාරයකට බිහිවන සර්වාධිකාරී සමාජය යනු මිනිසුන් තම තමන්ගේ අවිඥානික ආශාවන් මගින්  පාලනය වනු ලබන  සමාජයකි. තවත් පැත්තකින් එය පුද්ගලයා බලාපොරොත්තු වන විනෝදය සැබෑ කරගැනීමට ඉඩ ලබා දෙන සමාජයකි. රාජපක්ෂ පාලනය යනු මෙවැනි සමාජයක් ලංකාවේ බිහි වීමේ සංධිස්ථානයයි. දෙමළා යනු අපගේ අවිඥානික සතුරෙකි. මෙම අවිඥානික සතුරා විනාශ කිරීමට රාජපක්ෂ පාලනය සමත් විය. එසේම, මත්ද්‍රව්‍ය , ගණිකාවන්[?], සුදුව  ඉතා තදින් තහනම් කර තිබු නිසා එම තහනම බිද විනෝද වීමට අවස්ථාව උදා කෙරිණ . වාහනයක් ගැනීමේ ආශාව ඉටු කළේය. සමස්ථයක් ලෙස රාජපක්ෂ පාලන සමය තුල පුද්ගලයාට  තම විනෝදය  පවත්වා ගැනීමට අවශ්‍ය සියලු දේ  ඉටු කෙරිණ.

අඩුවක් නැති පාලකයෙක් ඉල්ලීම පුද්ගලයාගේ අවිඥානික ඉල්ලීමකි. මෙවැනි පාලනයක් තුල පුද්ගලයා විනෝද වන අකාරය ඔහුට /ඇයට දැන ගැනීමට ලැබීම පිළිබද ඇතිවන්නේ පිළිකුලකි. අප විසින් රාජපක්ෂ මතවාදය විවේචනය කරමින් අදහස් දක්වන විට එම මතවාදයට අනන්‍ය වූ පිරිස් පෙරළා අපට ප්‍රතිචාර දක්වනු ලබන්නේ ඉතාමත් අශ්ශීල ආකාරයකටය. කිසිදු තාර්කික පදනමක් රහිත ඔවුන්ගේ ප්‍රතිචාර මගින් ගම්‍ය වන්නේ කුමක්ද? කෙනෙකුගේ අවිඥානික ආශාව අර්ථකථනය කිරීම තුල තම ආත්මයේ සැබෑ ස්වරුපය ඔහුට හෝ ඇයටම පරාවර්තනය වී පෙනීම දරා ගත නොහැකි අත්දැකීමකි. එවැනි අත්දැකීමකට මුහුණ දුන් විට පුද්ගලයා තුල අනෙකා කෙරෙහි ඇති වන්නේ  වෛරයකි.මෙය තමන්ගේම ගැටළුවක් වුවද එය ජය ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකිය. අපගේ කතිකාවට බාහිරින් සිටිනා රාජපක්ෂ මතවාදීන්ට පමණක් නොව අපට බොහෝ සමීප සගයන්ට පවා මෙම මානය තේරුම්ගත නොහැක.

සර්වාධිකාරී සමාජය බිහිවීමත් සමග සමාජ අවකාශය හැකිලී යයි. මෙය අදේශපාලනය ලෙස හැදින්වීමටද හැකිය. දේශපාලනය කල හැකි වන්නේ පෞද්ගලික ජීවිතයේ පමණි. අලුත් අකාරයේ ලිංගික සබදතා, උණුසුම් පුද්ගල සබදතා, මත්ද්‍රව්‍ය සමග දේශපාලනය කිරීම ආදිය බිහි වන්නේ දේශපාලනය පෞද්ගලික අවකාශයට විතැන් වීමේ ප්‍රතිඵලයක් ලෙසය. දේශපාලනය නිවසට වී මිතුරන් සහ හිතවතුන් සමග පමණක් කිරීමට බල කරන මුල් ආකෘතිය බිහි වන්නේ ස්ටාලින්වාදය හරහාය. දැන් මෙය ජාතිවාදය දක්වා විතැන් වී ඇත. ප්‍රේමදාසගේ පාලන සාමය තුල ක්‍රියාත්මක වූ මර්ධනයට එරෙහිව සටන් කිරීම සදහා ”විභවි” ආයතනය බිහි වෙයි. ප්‍රේමදාස හදිස්සියේ ඝාතනය වූ පසු විභවි ආයතනයද නැත්තටම නැති වී යයි. එපමණක් නොව විභවියට සම්බන්ධ බුද්ධිමතුන් ද නැත්තටම නැති වී යයි. රාජපක්ෂ පාලනය පැමිණීමත් සමග නැවත එම පාලනය අනෙකා කර ගනිමින්  විභවිය වැනි ගුප්ත සංවිධාන බිහි වීම ආරම්භ වෙයි. රාජපක්ෂ පරාජයෙන් පසු මෙම සංවිධානද අර්බුදයකට ලක් වෙයි. රැඩිකල් වාමාංශිකයන් ලෙස හදුනාගන්නා කල්ලි තුල වර්තමානයේ ඇති වී ඇති දැඩි අර්බුදය , ඔවුන් එකිනෙකා අතර ප්‍රතිවිරෝධතා බිහිවී තිබීම, මේ සදහා කදිම නිදසුනකි. මෙවැනි තත්වයක් බිහි වීම අප තේරුම් ගන්නේ කෙසේද?

 

”ප්‍රේමදාසගේ සිට චන්ද්‍රිකා දක්වා පාලන බලය වෙනස් වන විට විභවි ආයතනය නැත්තටම නැති වී යයි. සුනිල් විජේසිරිවර්ධන සිතන්නේ තමන් හොද දෙයක් කළා ඒක හදිස්සියේ නැති වී ගිය බවයි. නමුත් මෙම සිතීම ව්‍යාජයකි. විභවි ආයතනයේ සැබෑ ව්‍යුහය කුමක්ද යන්න පිරික්සා බැලීම මගින් එය පැහැදිලි කල හැක. විභවිය යනු පැවති මර්දනකාරී පාලනයට එරෙහි සියල්ලට ඉඩ දෙන ආයතනයක් විය. ඔවුන් සමාජයට කියන දෙය කුමක් වුවත් ආයතනය තුල පැවතියේ විනෝද ආකෘතියකි. අනුන්ගේ ගැහැනුන්ට පෙම් කිරීමට කෙනෙකුට අවශ්‍ය නම් විභවිය තුල ඒ සදහා අවස්ථාව තිබිණ. සුනිල් විජේසිරිවර්ධනට  පවා තරුණියක්   සමග විවාහ වීමට අවස්ථාව ලැබෙන්නේ විභවිය නිසාය. කෙසේ වෙතත් මේ සියලු අවිඥානික ආශාවන් හබා යාම සදහා වූ ව්‍යුහයක් ගොඩනැගෙන්නේ පැවති මර්දනකාරී පාලනයේ ප්‍රතිඵලයක්  ලෙසය. අවසානයේ පසමිතුරුතාවයේ එක්  කොටසක්  හදිසියේ විනාශ වීම තුල අනෙක් කොටසද විනාශ වී යයි.”

 

විභවියට පසු චන්ද්‍රිකාගේ පාලන සාමය තුල බිහිවන ජනප්‍රිය දේශපාලන සංවිධානයක් වන්නේ x කණ්ඩායමයි. සියලු දෙයට ඉඩදෙන චන්ද්‍රිකාගේ පාලනය තුල එවැනි රැඩිකල් සංවිධානයක් බිහි වන හේතුව කුමක්ද? දීප්තිගේ දේශපාලනය ඉදිරියට ගමන් කරන අතර හමුවන එක්තරා සන්ධිස්ථානයක්  පමණක් x කණ්ඩායම මගින් සනිටුවහන් වෙයිද? පසුගිය සතියේ ලිපිය ඔබට මතක නම් x කණ්ඩායමේ දේශපාලනය අතරතුර විශාල අතුරුඵල සංඛ්‍යාවක් බිහි වූ බව සදහන් කල හැක. ඇත්ත වශයෙන්ම x දේශපාලනය යනු එහි දේශපාලන මැදිහත් වීමට වඩා දෙයකි. මේ වඩා දෙය වන්නේ ඒ තුල අපට මුණගැසෙන පුද්ගලයන්ය. අතේ කැපුම් පාරවල් සහිත  මධ්‍යම පාන්තික තරුණියකට පෙම්බදින බුද්ධික සහ බස්නායක වැනි  විශාල පිරිසක්  එම සංවිධානය තුලින් මතුවිය. 80 දශකය අග ජ .වි.පෙ කැරැල්ලට තම ජීවිතය භෞතිකව කැප කල තරුණ තරුණියන් ගේ විනෝදය කුමක්ද යන්න සොයා 21 වන සියවසේ මුල බිහි වූ දේශපාලන සංවිධානයකට  ඔවුන් සම්බන්ධ වුවාද නොදන්නා මුත් ඔවුන් බොහෝ දෙනෙක් තමන්ගේ  ජීවිතය මෙම දේශපාලනය නිසා සංකේතීයව විනාශ කර ගන්නා ලදී.

චන්ද්‍රිකා සියලු දෙයට ඉඩලබා දෙන්නේ නම් ඊට ප්‍රතිවිරුද්ධව බිහිවන රැඩිකල් දේශපාලනයක් අවිඥානිකව ඉල්ලා සිටින්නේ කුමක්ද? එවැනි දේශපාලනයකට අනන්‍ය වන තරුණයන් ඉල්ලා සිටින්නේ  තහනමයි. පාලනය ලිහිල් වන විට ඔවුන් ඉල්ලා සිටින්නේ දැඩි පාලනයකි. දීප්ති සමග ඔවුන් එකතු වුයේ දේශපාලනය හැදෑරීමට නොවේ. ඒ වෙනුවට දීප්ති වැනි නායකයෙකුගන් ඔවුන් බලාපොරොත්තු වන්නේ- Unconsciously -සර්වාධිකාරී පාලනයකි. සාමාජිකයාගේ අවිඥානික ආශාවත් සවිඥානික දේශපාලනයත් අතර දෝලනය වෙමින් x දේශපාලනය ඉදිරියට යන අතර දක්ෂිණාංශික පාලන බලය චන්ද්‍රිකාගේ සිට රාජපක්ෂ දක්වා මාරු වෙයි. ලිබරල් කතිකාව වෙනුවට සමාජය තුල අධිනිශ්චය වන්නේ ජාතිවාදයයි. රාජපක්ෂ විසින් පොදු සමාජය තුල සර්වාධිකාරී පාලනයක් ස්ථාපනය කිරීමට ප්‍රතිඥා දෙන විට ඊට විකල්පයක් ලෙස x දේශපාලනයේ සාමාජිකයන්ගේ අවිඥානික ආශාව ගැලපෙන්නේ නැත. මේ නිසා x කණ්ඩායම විසිරී යයි. 2004 වර්ෂයේ සිදුවන මෙම ඛණ්ඩනය සදහා හේතුව ලෙස බොහෝ දෙනෙක් ඉදිරිපත්කරන ලද්දේ දීප්ති ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කිරීම බවයි. සැබෑවටම මෙම හේතුව පැමිණෙන්නේ ඔවුන්ගේ අවිඥානය තුලිනි. ඒකාධිපති දීප්ති කෙනෙකු යනු ඔවුන්ගේ අවිඥානික ආශාවයි. දීප්තිව ඔවුන් ෆැන්ටසිකරණය කරමින් සිටියේ ඒකාධිපති නායකයෙකු ලෙසය.

x දේශපාලනයේ අවසානය ඇතැමුන් බැස්ටලීනයට පහර දී ලබා ගත් ජයග්‍රහණයක් ලෙස හැදින්වීය. නමුත් මෙම ජයග්‍රහණයෙන් පසු සිදුවන්නේ කුමක්ද? නැවත x දේශපාලනය ඔවුන්ට අවශ්‍ය වෙනස් කම් සහිතව ආරම්භ කිරීමද? නැත. x දේශපාලනය අවසාන වන විට මුළු සමාජයම x බවට පරිවර්තනය වී තිබිණ. සමාජය තුල පුද්ගලවාදී දේශපාලනය ජාතිවාදය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙන්නට විය. තවදුරටත් පැරණි අර්ථයෙන් රහස් සංවිධාන ගොඩනැගීමෙන් ඵලක් නොවිණ. මේ නිසා නව ආකෘතියක දේශපාලන කණ්ඩායම් විකල්ප සංවිධාන ලෙස බිහි විය. ඉහත සදහන් කල පරිදි මෙවැනි සංවිධාන වල  කේන්ද්‍රය වන්නේ විනෝදයයි. අසම්මත ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය ආදී ජාතික අනන්‍යතාවයක් තුල තහනම් කරන දේ මෙවැනි දේශපාලන සංවිධාන වල විකල්ප ප්‍රවනතාවයන් බවට පත් වෙයි. වර්තමානයේ පිස්සු තත්වයක් දක්වා වර්ධනය වී ඇත්තේ මෙම විකල්ප දේශපාලනයයි. එක් අතකින් පැරණි ජ. වි.පෙ සාමාජිකයන් මෙන් නොව මෙම විකල්ප මත දරන පුද්ගලයන් ධනවාදය විසින් හෝ අවශෝෂණය කර නොගනී. මන්ද ඔවුන් තුල කිසිදු සාරයක් නොමැති බැවැනි.

මේ යුගයේ අප අතරින් වියැකී යන්නේ ප්‍රධාන දේශපාලන ආකෘති දෙකකි. ඉන් එකක් නාසිවාදී ආකෘතිය වන සතුරා නැති කර ප්‍රතිවිරෝධතා නැති සමජයක් බිහි කිරීමේ ධෙර්යවන්ත උත්සහයයි. මෙම ආකෘතියේ නියෝජිතයන් වන්නේ විමල් වීරවංශ වැන්නන්ය. මීලග ආකෘතිය වන්නේ ස්ටාලින්වාදයයි. එනම්  සතුරන්ව ඝාතනය කර ධනවාදය නැති සමාජවාදයක් බිහි කර ගැනීමේ බුද්ධිමය උත්සහයි. මේ ආකෘතිය නියෝජනය කරනු ලබන එක් කොටසක් වන්නේ  පැරණි x සාමාජිකයන් ස්වයං සිරගත වීමකට ලක්වී  සිටින ගල්කිස්සේ නිවසයි. විකල්ප දේශපාලනය, රැඩිකල් දේශපාලනය , වාමාංශික දේශපාලනය ආදී ලෙස දේශපාලනය කණ්ඩායම් නම් කිරීම මගින් පමණක් එවැනි දේශපාලනයක් පවතින ක්‍රමයට විකල්පයක් යෝජනා කරන්නේ යැයි නිගමනය කල නොහැක. මේ නිසා අප හැදින්වීමටද ඉහත නම් යොදා ගැනීම සුදුසු නැත. නමුත් මේ සියල්ලට වඩා වෙනස් දෙයක් අප හදුන්වා දෙයි. ඒ විනෝදයට එරෙහි දේශපාලනයයි. එවැනි දේශපාලන ව්‍යාපාර ලෝකය තුල  මේ දක්වා බිහි වී නැත . නමුත් එවැනි දේශපාලනයක් සදහා අවශ්‍ය දැවැන්ත න්‍යායික පදනමක් ලොව පුරා ගොඩනැගෙමින් පවතී. අපගේ දේශපාලන ව්‍යාපෘතිය වන්නේ ඔබව ඒ සදහා එකතු කරවීමයි. නව සමාජ ක්‍රමයක් තුල ලෝකය අර්ථදැක්වෙන්නේ වෙනස් ආකාරයකටය. ලෝකය පිළිබද නව සංකේත පද්දතියක් බිහි වනු ඇත. මේ මොහොතේ අප නොසිටින්නට අනාගත පරපුරකට එවැනි සංකේත ලෝකයක් යනු කුමක්ද යන්න පවා නොවැටහෙනු ඇත. පැරණි ලෝකය කෙසේ වෙතත් අලුත් ලෝකය අප විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ නිසා ආසියාවේ වෙනත් රටවලට වඩා එවැනි ලෝකයක් තුල අප සිටින්නේ ඉදිරියෙනි. අප කියන දේ ඔබට වැටහේ නම් , මේ දක්වා අප කරමින් සිටින්නේ දේශපාලනයද නැද්ද යන්න තීරණය කිරීම ඔබ සතු කාර්යයකි.

Anushka Ariyarathne

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ‘තහනම’ සහ තහනම කඩකිරීම ‘විනෝදය’ට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස:
    “මත්ද්‍රව්‍ය , ගණිකාවන්[?], සුදුව ඉතා තදින් තහනම් කර තිබු නිසා එම තහනම බිද විනෝද වීමට අවස්ථාව උදා කෙරිණ.”
    මට හිතෙන හැටියට ‘තහනම’ හරහා විනෝද වීමේ හැකියාව ලැබෙන්නේ වරප්‍රසාද ඇති පන්තියකට පමණයි. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය ලැගුම්හල්වල (guesthouses) පවත්වාගෙන යන ගණිකා නිවාස නිතර පොලිසියෙන් වටලනවානම්, සාමාන්‍ය ලිපිකරුවෙක් හෝ ගුරුවරයෙක්[තහනම බිඳ] ‘විනෝදවන්නේ’ කොහොමද?
    අනිත් අතට ඔබකියන සර්වාධිකාරී රාජපක්ෂ පාලන සමයේ මෙන්ම දැන් පවතින ඊනියා ලිබරල් වාදී පාලනයේදීත් ඔවුන්ගේ “සිංහල-බෞද්ධ සංස්කෘතියට” ඇති අනුගත බව පෙන්වීම සඳහා ‘තහනම’ තවමත් ක්‍රියාත්මක වෙමින් පවති.

    ‘තහනම’ ක්‍රියාත්මක වන්නේ සර්වාධිකාරී පාලනයක් තුල පමණක්ම නොවේ. ඕනෑම විපරිත චර්යාවකට නිදහසක් ඇතැයි කියන ඇමෙරිකාවේ පවා ඇතැම් ප්‍රාන්ත වල පර- ස්ත්‍රි, පර-පුරුෂ සේවනය (adultery) දඬුවම් ලැබිය හැකි වරදකි.
    ප්‍රංශයේ 2016 පැනවූ නීතියකින් ගණිකාවන් සමග ගනණුදෙනු කතා කරමින් සිටියදී (soliciting) එම ගණිකාව සහ සේවාදායකයා අත්අඩංගුවට ගෙන විශාල දඩයක් අයකර ගැනීමේ නීතියක් ගෙනාවා. ඉන් හය මාසයකට පසුව ගණිකාවන් කිව්වේ ඒ ගොල්ලන්ගේ ජීවිකාවට අතිවිශාල බලපෑමක් මේ නීතිය කර ඇති බව. (https://www.thelocal.fr/20160928/prostitution-in-france-has-fining-clients-changed-anything)
    මිට ප්‍රතිවිරුද්ධව [ගණිකාවන් පාරෙන් ඉවතට ගැනීමේ අරමුණින්] එංගලන්තයේ ගණිකා නිවාස නීතිගත කිරීම ගැන සලකා බලමින් ඉන්නවා (https://www.dailystar.co.uk/news/latest-news/684453/brothels-uk-government-legalised-prostitution-off-the-streets)

    ඔබ ඔබේ ලිපියේ කියනවා “සියල්ලට වඩා වෙනස් දෙයක් අප හදුන්වා දෙයි. ඒ විනෝදයට එරෙහි දේශපාලනයයි” කියලා. ඒ කියන්නේ ඔබලා හදුන්වාදෙන දේශපාලනය සර්වධිකාරයට එහා ගිය සදාචාරවාදී දේශපාලනයක්ද (ඉරානයේ අයතුල්ලා කොමෙයිනි හෝ ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය වැනි) එහෙම නැත්නම් ලිබරල් වාදයට එහා ගිය ‘නිදහස්’ (permissive) දේශපාලනයක් ද?
    ඔබ තව දුරටත් කියනවා “එවැනි දේශපාලන ව්‍යාපාර ලෝකය තුල මේ දක්වා බිහි වී නැත”. එහෙම වෙන්නට හේතුව ඔබ යෝජනා කරන දේශපාලනය ප්‍රයෝගික නොවන අතාත්වික ක්‍රමයක් නිසා වෙන්නට බැරිද? ඔබ තව දුරටත් කියනවා “නමුත් එවැනි දේශපාලනයක් සදහා අවශ්‍ය දැවැන්ත න්‍යායික පදනමක් ලොව පුරා ගොඩනැගෙමින් පවතී” කියලා – ලංකාවතුල නෙවියි ලෝකය තුළ.
    එතකොට ඔබ යෝජනා කරන්නේ දැවැන්ත න්‍යායික පදනමක් ගොඩනැගෙමින්ප පවතිද්දීත් ලෝකය තුල තවමත් [අංකුර වශයෙන් හෝ]බිහි නොවූ දේශපාලන ක්‍රමයක් ඒ ලොවපුරා ගොඩනැගෙමින් පවතින න්‍යාය පාවිච්චි කරලා මේ ලංකාවේ බිහිකළ හැකියි කියනෙකද? එහෙම නම් ඒ සඳහා ලංකාව තුල පවතින යහපත් සාධක (favorable conditions)මොනවාද?

    විභවිය ගැන:
    ඔබ ලිපියේ එකතැනක කියනවා “ප්‍රේමදාසගේ පාලන සාමය තුල ක්‍රියාත්මක වූ මර්ධනයට එරෙහිව සටන් කිරීම සදහා “විභවි” ආයතනය බිහි වෙයි” කියලා. මම දන්නා තරමින් “විභවි” ආයතනය බිහිවුනේ තරුණ තරුණියන් විකල්ප මාවතකට යොමුකර ගැනීමට. “මර්ධනයට එරෙහිව සටන්කිරීමක්” ගෑවිලාවත් තිබුනේ නැහැ. ඔබම ඊට පස්සේ කියනවා “ඔවුන් සමාජයට කියන දෙය කුමක් වුවත් ආයතනය තුල පැවතියේ විනෝද ආකෘතියකි”. මේක ඔබේ ලිපිය තුල පරස්පරයක්.

    X කණ්ඩායම ගැන :
    මම මේ ලිපිය තුල දකින විශේෂත්වය වන්නේ X කණ්ඩායම බිඳවැටීම සහ එවකට සිදුවූ දේශපාලන විපර්යාස අතර සෘජු සම්බන්ධතාව විශ්ලේෂණය කරලා තියෙන එක එනම් විභවිය බිඳවැටීම=X කණ්ඩායම බිඳවැටීම. මෙතෙක් මම දැකල තියෙන්නේ X කණ්ඩායමේ බිඳවැටීම හුදෙක් ගමෙන් නගරයට සංක්‍රමණය වී නගරයේ අත්දැකිම් සංකේතකරණය කරගන්ට බැරිවූ, ද්වේශසහගත මානසිකත්වයක් ඇති පිරිමින් දෙතුන්දෙනෙක් සහ ඔවුන් සමග රොමැන්තිකව පටලවුනු මානසික සමබර තාවය නැතිවුණු (psychologically unstable)නාගරික මධ්‍යම පාන්තික ගැහැනියක් නිසා සිදුවූ දෙයක් බව.
    දැන්වත් X කණ්ඩායමේ බිඳවැටීම මේ “ආදර ත්‍රිකොණයෙන්” (love triangle) එකෙන් එහාට විශ්ලේෂණය කීරීම වැදගත් ඉදිරි පියවරක්.

    දීප්ති ඔබ ඇතුළු ඔබ සංවිධානය අනිවාර්යයෙන්ම කරමින් සිටින්නේ සුවිසේෂි දේශපාලනයකි. එමෙන්ම X කණ්ඩායමේ සිට මේ දක්වා නව දේශපාලනයකට අත්‍යවශ්‍ය න්‍යායික පසුබිම සිංහලට පරිවර්තනය කීරීම පමණක් නොව එමගින් පවතින සමාජ-දේශපාලනික ‘යථාර්තය’ (socio-political ‘reality’) නිවැරදිව අර්ථකථනය කීරීම සහ විශ්ලේෂණය කීරීම දීප්ති, මහේෂ් ඇතුළු ඔබ සියලු දෙනා කර ඇති සුවිසේශි කාර්යකි. නමුත් සැබෑ සමාජීය වෙනසක් සඳහා (real social change)මේ සුවිසේශි න්‍යායාත්මක දැනුම භාවිතා කිරීමේ ඔබ සංවිධානයේ “ඉදිරි දැක්ම” (Vision) සහ වැඩපිළිවල (Mission) තවමත් පහැදිලි නැත.
    එහි පළමු පියවරක් වශයෙන් මේ ලිපියේ ඔබ යෝජනා කරන පවතින ක්‍රමයට එරෙහි “විකල්ප දේශපාලනය”, “නව සමාජ ක්‍රමය” , “ලොව පුරා ගොඩනැගෙමින් පවතින න්‍යායික පදනම සහ එහි දාර්ශනිකයන්”, මේ නව සමාජ ක්‍රමය පදනම් වන ආර්ථික වියුහය, යනාදිය පැහැදිලිව අර්ථකථනය කලයුතු වන අතර දීර්ඝව සාකච්චා කළ යුතුව ඇත.

Comments are closed.