රුසියානු-යුක්රේන යුද්ධය මිලිටරි දෘෂ්ටිකෝණයකින් බලන විට දී පෙනෙන්නේ, රුසියාව විසින් විශාල වශයෙන් කාලතුවක්කු ප්‍රහාර යුක්රේනයට එරෙහිව සිදු කරන බවයි. ඒසේ කරන්නේ, රුසියන් හමුදාවට අවශ්‍ය තරම් තරුණ ජනගහනයක් එහි නැති නිසා ය. එවිට, සටන් කිරීමට වඩා වෙඩි බලය යොදා ගැනීම සිදු වෙයි. අනෙක් අතට, මෙම යුද්ධයේ දී යුක්රේනයේ නගර විශාල වශයෙන් විනාශ වීම දක්නට ලැබේ. එලෙස සිදු වන්නේ, යුක්රේනය යුද්ධය කරන ස්ථානය ලෙස කඳු හෝ ගම් හෝ කැලෑව හෝ ජල මාර්ග අවට ප්‍රදේශ තෝරා නොගෙන නාගරික ප්‍රදේශ තෝරා ගැනීම නිසා ය. රූපවාහිනියෙන් යුද්ධය පෙන්වන නිසා, මෙම නාගරික ප්‍රදේශ තෝරා ගැනීම යුක්රේනයට වාසි ගෙන දෙන්නේ එමගින් සිවිල් ජනයාට වන හානිය පෙන්විය හැකි නිසා ය. අනෙක් අතට, යුද්ධයක දී පිරිස් බලය යොදා ගැනීම වියදම් අධික වන අතර ඒ සඳහා තාක්ෂණය යොදා ගත් විට දී වියදම අඩු වෙයි.

        අපි දැන්, ලංකාවේ සිවිල් අරගලය දෙසට නාභිගත වෙමු. ධනවාදී ‘සමාජ-ක්‍රමය’ දුප්පත් රටවල අධිනිශ්චය වන විට දී, එමගින් විශාල සමාජ අසාධාරණයක් බිහි වෙයි. මේ හේතුව නිසා, එවන් සමාජයක යහපැවැත්ම සඳහා විවේචන එම ක්‍රමයට අවශ්‍යය. ධනේශ්වර සමාජ-ක්‍රමයට එරෙහි විවේචකයන් මෙතරම් බිහි වන්නේ, අභ්‍යන්තරයෙන් එය ඉතා අසාධාරණ සමාජ-ක්‍රමයක් නිසා මිස එය පෙරළා දැමීමට නොවේ. 

        ලෝකයේ බහුතර දේශපාලන ව්‍යාපාර රාජ්‍ය බලය හෝ වෙනත් ප්‍රතිසංස්කරණමය ජයග්‍රහණයක් ලබාගෙන ඇත්තේ, ‘දේශපාලන අධ්‍යාපනය’ හරහා ය. උදාහරණ වශයෙන්, රුසියාවේ ලෙනින්වාදී ව්‍යාපාරය, චීනයේ මාඕවාදී ව්‍යාපාරය, ලතින් ඇමරිකාවේ දුගීන් මත පදනම් වූ මහජන ව්‍යාපාර යනාදී මේ කුමන ව්‍යාපාර ගත්තත් ඒවා පදනම් වී ඇත්තේ, කුමන හෝ න්‍යායික දර්ශනයක් මත ය. කිසියම් නිශ්චිත න්‍යායික දර්ශනයක් මත පදනම් වූ මහජන ව්‍යාපාර ලංකාවේ ඉතාම දුර්ලභය. උදාහරණයක් ලෙස, ලංකාවේ LTTE ව්‍යාපාරය ගත් විට දී එය ‘මහජන යුද්ධය’ යන සංකල්පය මත පදනම් වී ආරම්භ විය. ඔවුන්ගේ Hit & Run යුගයේ දී, මහජනයා අතර සිටින සටන්කාමීන් එක්වරම ප්‍රහාර වලට සම්බන්ධ වන අතර සටනට පසුව මහජනයා අතරම දිය වී යයි. මෙය මාඕ විසින් නිපදවන ලද න්‍යායකි. මේ න්‍යායට අනුව, මහජනයාගේ හදවත් දිනා ගන්නේ සටන් දිනීමෙන් නොව සටන් කිරීමෙනි. 

Balraj.

       ‘යාපනය’ නගරය හමුදාව අල්ලා ගත්තාට පසුව LTTE යට යළි දෙමළ ජනයාගේ හදවත දිනා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා, තවදුරටත් ‘පහර දී පළා යාම’ තාර්කික නොවීය. ඒ වෙනුවට, සුසමාදර්ශී විතැන් වීමක් අවශ්‍ය විය. එහිදී, LTTEය සතුව සිටි ‘වෙඩි රවී’ නම් සටන්කාමියා සාම්ප්‍රදායික හමුදාවකට පහර දෙන සටන් ශෛලියක් හඳුන්වා දෙන ලදී. එය හැදින්වූයේ, ‘නොනවතින රැල්ල’ යනුවෙනි. එය, පළමුව අත්හදා බලන ලද්දේ 1996 වසරේ දී මුලතිව් කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදී ය. මේ ප්‍රහාරයට පසුව LTTE ය ගරිල්ලා හමුදා තත්ත්වයක සිට සාම්ප්‍රදායික යුධ හමුදාවක් බවට ගුණාත්මකව වර්ධනය විය.

    දයාන් ජයතිලක 80 දශකයේ ලියන ලද මිලිටරි-දේශපාලනික ලිපි වලට අනුව ‘වියට්නාම් ජාතික විමුක්ති අරගලයේ’ ගුරුත්ව කේන්ද්‍රය වූයේ, ජෙනරාල් ගියැප් ය. නමුත්, ඒ අරගලය අභ්‍යන්තරයෙන් හදාරන විට දී වැටහෙන්නේ, 68 වර්ෂයේ ‘ටෙට් ප්‍රහාර’ යනු, ගියැප්ගේ සංකල්පයක් නොවන බව ය. ටෙට් ප්‍රහාර යනු, වියට්නාම් අරගලයේ එකතැන පල්වීම අවසන් කළ මොහොතයි. ඒ සඳහා න්‍යායික අදහස දුන්නේ, ලේ ඩුවාන් විසිනි. ඔහුගේ න්‍යායික අදහස වූයේ, මෙය යි.“සතුරා අපට පහර දී අපව විනාශ කිරීමට පෙර අප විසින් ඔවුන්ගේ කඳවුර විනාශ කළ යුතුය.” ටෙට් ප්‍රහාර නිසා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ඉතාම ක්‍රියාකාරී සාමාජික-සාමාජිකාවන් 75,000 ක් පමණ විනාශ විය. නමුත්, මේ ප්‍රහාරය නිසා වියට්නාම් යුද්ධයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් විය. LTTE යට සිතාගත නොහැකි වූයේ, ශ්‍රී ලාංකික ‘ටෙට් ප්‍රහාරයකි’.

Le Duan of Vietnam.

            මීට අමතරව, ලංකාවේ දේශපාලන පක්ෂයකට න්‍යායික දර්ශනයක් තිබුණා නම්, ඒ කොමියුනිස්ට් පක්ෂයටයි. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට මේ රටේ පාලක පන්තිය ගැන න්‍යායික අදහසක් පැවැතිණි. ඔවුන්ට අනුව, UNP ය කොම්ප්‍රදෝරු ධනපති පන්තිය වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ධනපති පන්තිය යි. ඊට අමතරව, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට රටේ ‘ධනවාදය’ ගැන ද න්‍යායික අදහසක් පැවැතිණි. ඊට අනුව, ලංකාවේ පූර්ව-ධනේශ්වර සමාජ සබඳතා ධනේශ්වර සබඳතා වලට පරිවර්තනය නොවන්නේ, ඌණ සංවර්ධනය නම් සාධකය නිසා ය. මෙය, ඉන්පසු පරායත්තතා න්‍යායට සම්බන්ධ කරන ලදී. එස්. බී. ඩී. ද සිල්වාගේ ඌණ සංවර්ධනය පිළිබඳ තිසීසයේ මූලය ඇත්තේ, මෙතැන ය. සමන් පුෂ්පකුමාරට අනුව, එස්. බී. ඩී. ද සිල්වාගේ කෘතිය ‘සමාජවාදයට’ සම්බන්ධ වුවත්, ඔහුගේ න්‍යායික තිසීසිය අදාළ වන්නේ, ධනවාදය ලංකාවේ වර්ධනය නො වූයේ මන්ද යන තිසීසයට මිස සමාජවාදයට යන ගමන් මාර්ගයට නොවේ.

        වෙනත් බොහෝ දේශපාලන-ආර්ථික විද්‍යාඥයන්ට අනුව, S. B. De Silva ගේ පර්යේෂණ ක්ෂේත්‍ර වූයේ ලංකාවේ ගැමි ආර්ථිකය සහ තාක්ෂණය පැමිණීමට තිබූ වතු වගාව එක සේ ධනේශ්වරකරණය නොවුයේ මන්ද යන කාරණය යි. ‘දේශපාලන-ආර්ථික විද්‍යාව’ යනු ද සමාජ විද්‍යාවකි. අද දවසේ, එය උපයෝගීතාවය මත පදනම් වූ දර්ශනයකින් ක්‍රියාත්මක වෙයි. එම නිසා, නූතන ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට ආර්ථික නොවන සූරා කෑම් ගැන අවබෝධයක් නැත. මයිකල් රොබට්ස් විසින් ‘බ්‍රිතාන්‍ය ලංකාව’ (British Ceylon) විසින් ගැමි ආර්ථිකය තුළ ඇති කළ උත්තේජනය වහරන්නේ, වෙනත් ආකාරයකට ය. ලංකාවේ දී, වෙනත් බටහිර ජාතීන්ට වෙනස්ව බ්‍රිතාන්‍ය ජාතිකයන් ‘ප්‍රයෝජ්‍ය වටිනාකම්’ පමණක් දැන සිටි ස්වදේශිකයන්ට ‘හුවමාරු වටිනාකම’ හඳුන්වා දෙන ලදී. එය, ඔවුහු බුරුමයේ දී ‘අබිං’ පුරුදු කිරීම හරහා සිදු කරන ලදී. ලංකාවේ ‘මුඩුබිම් පනත’ (1840) හරහා බ්‍රිතාන්‍යයින් වී වගාවට අවශ්‍ය කරන ගවයන්ගේ ජනගහණය අඩු කළ නිසා, ඉඩමේ වගා කිරීමට සත්ව ශ්‍රමයට වඩා මිනිස් ශ්‍රමය යොදා ගැනීමට සිදු විය. මේ හේතුව නිසා, භූමිය සකස් කිරීමේ දී ගැමියන්ට මිනිස් ශ්‍රමයට ගෙවීමට සිදු විය. එම නිසා, වතු වගාවට අදාළ ශ්‍රම වෙළඳපොලේ වටිනාකමට ගැමි ශ්‍රමය ඇදි ආවේ නැත. එම නිසා, වතු ආර්ථිකයට ඉන්දීය දෙමළ ජනයා ලංකාවට රැගෙන එන ලදී.

          60 දශකයට පසුව බිහිවන ‘ජනතා විමුක්ති පෙරමුණට’ හෝ ඉන් ඛණ්ඩනය වු වෙනත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට බොහෝවිට න්‍යායික දර්ශනයක් පැවතියේ නැත. ඔවුන්ගේ න්‍යාය වූයේ, හුදු ව්‍යහාරික ඥාණය පමණි. එය, රඳා පැවතුණේ ඉන්ද්‍රිය ඥාණය මත පදනම් වූ ප්‍රපංච විද්‍යාවෙනි. 20 වැනි සියවස අග භාගයේ දී, චම්පික රණවක ට්‍රැක්ටරයට වඩා උදැල්ල ගැන කතා කිරීම අහම්බයක් නොවේ. මන්ද, මේ ව්‍යාපාර කිසිවක් න්‍යායික දර්ශනය මත නොව අනුභූතිය මත රඳා පවතින නිසා ය. 

        ලංකාවේ මුඛ්‍ය දේශපාලන ගැටලුව වන්නේ, ගැමි ආර්ථිකයේ ‘එකතැන පල්වීම’ සහ ගැමියන් විසින් අපොස උසස් පෙළ සහ පාර්ලිමේන්තු දේශපාලනය උපයෝගී කරගෙන රටේ ‘ජාතික-රාජ්‍ය-මතවාදය’ තමන්ට අවශ්‍ය උපයෝගීතා මඟින් විකරණය කිරීම නිසා ය. සරලව කිවහොත්, කොළඹ ප්‍රශ්න වන්නේ, කොළඹ ආ ගැමියන්ගේ ජාතික අර්බුදය යි. මෙම ජාතික අර්බුදය සාහිත්‍යයේ, ගෘහනිර්මාණයේ සිට විශ්ව-විද්‍යාල, සංස්කෘතිය, රාජ්‍යය දක්වා විහිදෙයි. මේ අර්බුදයේ මුඛ්‍ය දේශපාලන ප්‍රකාශකයා වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති සමාගම් ය.

       චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රාග්ධනයේ මෙහෙයුමට ලබා දුන් ගෑස් සහ ‘එයාර් ලංකා සමාගම’ පවා යළිත් රජයේ ව්‍යාපාර බවට පත් වන්නේ අහම්බයකින් නොවේ. කොටින්ම, ලංකාවේ වාමාංශික පක්ෂ ‘රාජ්‍ය ධනවාදයට’ [State Capitalism] විරුද්ධ නැත. ඔවුන් විරුද්ධ වන්නේ, ධනපතියන්ට ය. අඩුම තරමින්, ඔවුන් නිදහස් වෙළඳපොලටවත් විරුද්ධ නැත. මේ උභයාවේගය නිසා, පසුගිය වසර 40 තුළ ජවිපෙ සමඟ 40 වරක් පමණ තරහ වී, යාලු වූ මිනිසුන් මේ රටේ සිටිති.

        2020 වර්ෂයේ මුල පටන් ගත් කොවිඩ් වසංගතය නිසා රට විටින් විට විවිධ රූපවාහිනි අලුත් නළුවන් නිසා (PHI ලා, වෛද්‍ය විශේෂඥයන්…..) වසා දමන්නට සිදු වූ අතර, එම නිසා ආර්ථිකයට සිදු විය හැකි කම්පන තරංග නොසලකා හරින ලදී. මෙම තතු යටතේ, විපක්ෂයේ අධිපති මතය නියෝජනය කරමින් ජවිපෙ යළිත් කරළියට පැමිණි අතර ඔවුන් එසේ ඉදිරියට එන්නේ, තත්වය ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය වන බව නො දැනය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔවුහු තම ජීවිත කාලය තුළ යළි මෙවන් අවස්ථාවක් නොඑන බව දැන මිනිසුන් සංවිධානය කරන්නට පටන් ගත්තේය. වැඩේ නැඟලා යන ගතියක් පෙනෙන නිසා ඔවුහු ක්‍රීඩාව තව තවත් තීව්‍ර කරන්නට විය.

         ඉහත ක්‍රියාව සිදුකරන විට දී, එය මෙහෙයවන කිසිදු න්‍යායික දර්ශනයක් ඔවුනට තිබුනේ නැත. ජවිපෙන් කැඩී ගිය ඉලෙක්ට්‍රෝනයක් වන කුමාර්ලාට එම තත්ත්වය පිළිබඳව හිනාවනවා හැරෙන්නට වෙන විකල්පයක් නැත.

          අප කතා කරන්නට යන්නේ, මෙම න්‍යාය විරෝධය ගැන නොවේ. ඊට පරස්පරව, ඔවුන්ගේ උපායික පියවර ගැනය. රාජ්‍යයට එරෙහි මහජන කැළඹීම උත්සන්න වූයේ, මැයි 9 වන දාය. මේ කැළඹීම් දිනය තුළ දී, කිසිවෙකු කලින් අපේක්ෂා නොකළ බොහෝ දේවල් සිදු විය. රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතු වැඩසටහන් පැවතිය දී, ඊට පරස්පරව ජවිපෙ සහ එහි සහායකයන් සජිත්ගේ සහයත් සහිතව විප්ලවීය වැඩසටහනක් හරහා ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ආණ්ඩුවක් පෙරළා දැමීමට උත්සාහ කරන ලදී. අපට ඒ පිළිබඳව සදාචාර විවේචනයක් නැත. නමුත්, ඔවුන් පාවිච්චි කරන වචන පාර්ලිමේන්තු සම්ප්‍රදායට අදාළ නැත.

    න්‍යායික දර්ශනයකින් තොරව රාජ්‍ය බලය ලබා ගැනීමට තනිවම හෝ තවත් පිරිසක් සමඟ හෝ ප්‍රයත්න දැරීම අනතුරුදායක වැඩකි. උදාහරණයක් ලෙස, රාජ්‍ය බලය ලබා ගැනීම ගැන සංයුක්ත න්‍යායකින් තොරව වික්ටර් අයිවන් සහ සිවිල් සමාජය දරණ ලද උත්සාහය අවසන් වූයේ UNP යට වඩා මර්දනකාරී පාලන තන්ත්‍රයක් බිහි කිරීමෙනි.

       ඉහත දෙයම නැවත වරක් අත්හදා බලමින්, 2005 වර්ෂයේ දී ජාතිවාදය වපුරමින් ජවිපෙ විසින් මහින්ද රාජපක්ෂව බලයට ගෙන එන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉතාම සාහසික යුද්ධයක් සහ මහා ජන සංහාරයක් ද සිදු වී ඉතාම අධිකාරිවාදී රාජ්‍යය සැකසුමක් ඉදි විය. එහි ඵලයක් ලෙස, ‘ජනතා විමුක්ති පෙරමුණ’ දෙවරක් ඛණ්ඩනය විය. එවැනි දේවල් සිදු වීම පිළිබඳව සංකීර්ණ සංවාදයක් ද ඇති වූයේ නැත. පක්ෂයේ සංස්කෘතික අංශය ද දිය වී ගිය අතර ඉන් බහුතරය මත්ද්‍රව්‍ය පාවිච්චියට යොමු විය.

       දැන්, නව වටයකින් ජවිපෙ විසින් බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය සියලු අංග වලින් සංවිධානය කරමින් සිටිති. මෙහිදී, කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, 87-89 යුගයේ මෙන් මැදිවියේ නායකයන් පිරිස පක්ෂයේ කඳ ලෙස අති බහුතරයක් තරුණයන්ව තෝරාගෙන ඇත. සරලව කිවහොත්, සංවිධානයේ න්‍යෂ්ටිය කොම්ප්‍රදෝරු නායකයන්ගෙන් පිරී ඇති අතර එහි කඳ ලෙස ඉබාගාතේ හැසිරෙන තරුණ ජනගහනයක් මඟින් ආදේශ වී ඇත. එබැවින්, මෙම නව සංයුතියේ දයලෙක්තික පරාවර්තනය කුමක් ද? 2024 හෝ ඊට පෙර කැපී පෙනෙන ජයග්‍රහණයක් ජවිපෙට ලබා ගත නොහැකි වුවහොත්, සංවිධාන ව්‍යුහයේ හිස එහි කඳෙන් වෙන් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවයි.

      හේගලියානු දයලෙක්තික චින්තනයේ මූලික හරයට දැන් අපි අවධානය යොමු කරමු. ‘ප්‍රාග්ධනය’ සෑම විටම ඔට්ටු අල්ලන්නේ, අනාගතය වෙනුවෙනි. විද්‍යාව ඔට්ටු අල්ලන්නේ, වර්තමානය වෙනුවෙනි. නමුත්, හේගල් විසින් යෝජනා කරන්නේ, අතීතයෙන් ගැලවීමක් පිලිබඳව ය. මිනිසා විමුක්තිය ලබන්නේ, ‘අතීතයෙන්’ නිදහස් වීම තුළනි.

      X සංවිධානයේ සිදු වූ ප්‍රථම පිපිරීම එනම්, 2004 වසර හේගලියානු දර්ශනයේ දයලෙක්තික අර්ථයෙන් ගතහොත්, මෙලෙස අර්ථකථනය කළ හැකි ය. 95 සිට 2004 දක්වා සංවිධානයේ දේශපාලන සාහිත්‍යය කෙනෙකු අධ්‍යයනය කළහොත් ඒ තුළ පවතින මූලික උපන්‍යාසය වන්නේ, ඒ දක්වා පැවති ලංකාවේ වාම චින්තනයෙන් X දේශපාලනය කැඩී ඇති බවයි. මෙය හේගල්ට අනුව, සංවිධානයේ සමපේක්ෂණ න්‍යාය යි. එනම්, අප අතීතයෙන් සහමුලින්ම වෙන් වී ඇත යන තිසීසය යි. මෙය න්‍යායිකව අදටත් සත්‍යයක් වන අතර ඩිල්ෂාන් සහෝදරයා X කණ්ඩායම නිර්වචනය කරන්නේ ද මෙම සන්දර්භය තුළ සිට ගනිමිනි.

         අනෙක් අතට, 2004 වර්ෂයේ සිට 2014 දක්වා සහ ඉන්පසුව ද තනි තනි පුද්ගලයන් වශයෙන් සංවිධානයෙන් ඉවත් වූ අය ද විද්‍යාමාන කරන්නේ ඔවුන් අතීතයෙන් කැඩී වෙන් වී නැති බවයි. එම නිසා, 2004 සිදුවීමට පසුව සංවිධානයේ නමට ආශා කර එහි ආකෘතිය පිළිකුල් කර බහුතරය වහා වැළඳගත්තේ, අතීතය යි. එනම්, ලංකාවේ පැරණි වමේ සම්ප්‍රදාය යි. 2004 ට පසුව, හිරිකිතයකින් තොරව ජවිපෙට සහ පෙරටුගාමීන්ට මතවාදීව සහය දක්වන්නන් මඟින් නිරූපණය වන්නන් ද අයිති වන්නේ, අතීතයට යි. සරලව කිවහොත්, ඔවුහු ෆ්‍රොයිඩියානු අර්ථයෙන් මෙලන්කෝලිකයන් ය. සිංහලෙන් කිවහොත්, අතීතයෙන් ගැලවීමට බැරි අය යි. ගැටලුව වන්නේ, අතීතයෙන් නිදහස් වීමට මෙතරම් දුෂ්කර ඇයි ද යන්නයි. මෙය, ඇත්තක් කියා විශ්වාස කළ දෙයක් බොරු වීමට එහා ගිය කතන්දරයකි. ‘Vertigo’ චිත්‍රපටයේ කතා වස්තුව අප යළි යළිත් සිහි කරන්නේ මේ නිසා ය. මැඩලීන් යනු, අතීතයේ ජීවත්ව සිටි ගැහැණියක් නොවේ. එය, ස්කොටී නම් පිරිමියාගේ ෆැන්ටසියක් පමණි. ඔහුට සැබැවින්ම ආදරය කරන්නේ, ඔහුගේ ෆැන්ටසියේ කාබන් කොපියක් වීම කැමැත්තෙන් භාරගත් ජූඩී ය. අප යථාර්ථයෙන් මනස්ගාතය ඉවත් කළහොත්, යථාර්ථයේ සංගතභාවය නැතහොත් එහි සොමි ගුණය ඉන් වාෂ්ප වී යයි. ගම්ලත් 90 දශකය තුළ කීවාක් මෙන්, යථාර්ථය පිළිගන්නවා ද? ෆැන්ටසිය පිළිගන්නවා ද? යන ගැටලු දෙක මැද හිරවීම නරුම ය. අපගේ සමාජ යථාර්ථය වෙනස් කිරීමට හෝ ඉන් ගැලවීමට අපට ඇත්තටම අවශ්‍ය නම් කළ යුතු පළමු දෙය වන්නේ, මෙම යථාර්ථයට අපව ගැටගසා ඇති අපගේ මනස්ගාතය විසංයෝජනය කිරීමයි.

        2004 තුළ දී සහ ඉන්පසුව ගරිල්ලා සත්‍යයක් යෝජනා කළ X කණ්ඩායමේ විමතිකියන්ගේ සහ ඔවුන්ගේ ආත්ම මූලිකත්වය මඟින් නිරූපණය වූයේ, ඔවුහු ෆැන්ටසියේ ආයෝජනය ප්‍රතික්ෂේප නොකිරීමයි. 2004 වසරට පසු X හී පලා යන්නන් වර්ග දෙකක් බිහි විය. එක් පිරිසක්, X ට පෙර වාම දේශපාලනය නිවැරදි යැයි විශ්වාස කළ පිරිසකි. අනිත් කණ්ඩායම වූයේ, ලතින් ඇමරිකානු නාගරික ගරිල්ලා චින්තනය විකල්පය බව කී අය යි. මැඩලීන් යනු, තම ෆැන්ටසියේ කෙළවර පැවති බොරුව බව වටහා ගැනීම සත්‍යය අවබෝධ වීමක් නොවේ. නමුත්, තමන්ට ඇත්තටම ආදරය කරන්නේ මැන්ඩලීන් නොව ජූඩී නම් ‘කාබන් පිටපත’ බව අවබෝධ කර ගැනීම පහසු නැත. සරලව කිවහොත්, 2004 වර්ෂයේ X හී අසාර්ථකත්වයට හේතු වූ අහේතුව ‘තමන්ම’ මිස දීප්ති නොවේ යැයි වටහා ගැනීමට තරම් මේ කිසිවෙකු වීරෝධාර වූයේ නැත. එවිට සිදු වන්නේ, යථාර්ථයට සහය පළ කරන ෆැන්ටසි අර්ධය නොහොත් මනස්ගාතය X ට පෙර පැවති වාම භාවිතාව ලෙස පිළිගැනීමයි.

      X විමතිකයන් සහ ඔවුන්ගේ ක්ෂමාපකයන් විසඳිය යුතු ගැටලුව කුමක්ද? X සංවිධානයේ ශරීරය වූයේ, හද්දා ගම් වලින් පැමිණි ගැමියන් ය. ජවිපෙ මෙවැනි ගැමියන්ට නගරය තුළ දී කරන්නේ, තමා අවට නාගරික සංකේත වලට වෛර කරන්නට ඉගැන්වීමයි. ජවිපෙ සාමාජිකයා පුද්ගලික දේපළ සම්බන්ධයෙන් සිටින්නේ, අනුරාගික වෛරයකිනි. ඉතිහාසය ඔවුන්ට පුද්ගලික දේපළ රසවිඳින ආකාරයකට වඩා උගන්වා ඇත්තේ, වියරුවෙන් විනාශ කිරීමක් ගැන ය.

       ඉහත තත්වයට ප්‍රතිවිරුද්ධව X කණ්ඩායම ගැමියන්ට සහ නාගරික ලුම්පන් සංස්කෘතික නිර්ධනයන්ට ඉගැන්වූයේ, ‘නගරයට’ ආදරය කිරීමට ය. එම නිසා, ‘ X ගැමියා’ යනු, ‘ජවිපෙ ගැමියා’ නොවේ. X ගැමියා ජීවිතය ලාලසාවක් ලෙස අදහන්නෙකි. X ගැමියාගේ ආත්ම මූලිකත්වය තුළ පරිභෝජනයට ආශා කරනවා මිස වෛර කිරීමක් නැත. නමුත්, යථාර්ථය වෙනස් කිරීමට යාමේ දී X ගැමියාගේ මෙම නගරය ගැන මනස්ගාතයන් විසින්ම ඔහුට ඇයට සීමාවක් ලකුණු කරනු ලැබේ. එසේ නම්, X සංවිධානය තුළ පැවති සාද, උපන්දින උත්සව, ලිංගික නිදහස, පොත් කියවීම, චිත්‍රපට නැරඹීම, විනෝද චාරිකා යෑම මගින් සංකේතවත් වූයේ කුමක්ද?

      අපි දැන්, අන්තර් විශ්ව-විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු සහ දැන් සිටින නායකයන්ගේ භූගෝලීය පිහිටීම කියවමු. එය, උදුල් ප්‍රේමරත්නගේ සිට සංජීව බණ්ඩාර හරහා වසන්ත මුදලිගේ දක්වා එන විට පරාරෝපණය වැඩි වෙයි. X හී ගැමියාට, නගරය ගැන සහ ස්ත්‍රිය ගැන ‘අතිරික්ත දැනුමක්’ ආරෝපණය වී ඇත. X සංවිධානය තුළ ‘දැනුම’ අධිනිශ්චය බවට එන අදහසේ මූලය ඇත්තේ, මෙතැනයි. නමුත්, ජවිපෙ ගැමියාට නගරය හෝ ස්ත්‍රිය පිළිබඳව අතිරික්ත දැනුමක් නැති අතර ඇත්තේ, පරාරෝපණයකි.[Alienation]

       දැනුම සහ අතිරික්ත දැනුම යනු, ප්‍රපංච දෙකකි. ඉන් පළමුවැන්න, යථාර්ථයට අයිතිය. නමුත්, දෙවැන්න වන ‘අතිරික්ත දැනුම’ නැතහොත් යමක් ගැන ඊට වඩා ඇති දැනුම අයත් වන්නේ, ෆැන්ටසි මානයට ය. ජවිපෙ සාමාජිකයෙකුට වඩා පහසුවෙන් ‘X ගැමියාට’ නාගරික මැද පාන්තික ස්ත්‍රියක් රැවැට්ටවීම ඉතාම පහසු වන්නේ, ‘අතිරික්ත දැනුම’ තුළ ෆැන්ටසි ආයෝජනය ප්‍රබල නිසා ය. පොදුවේ ගත් කල, ‘X ගැමියාට’ ඉහළ පන්තියේ සාමාජික-සාමාජිකාවන් පහසුවෙන් රැවටිය හැක්කේ, එක්තරා ව්‍යුහාත්මක හේතුවක් නිසා ය. මිනිසාගේ ඥාණ- ක්‍රියාකාරීත්වයේ සන්තතික බව බිඳ වැටෙන එක්තරා උපායික ඥාණයක් ‘X ගැමියාට’ හිමි ය. න්‍යායිකව නොදන්නවා වුවත්, ‘X ගැමියා’ මිනිසුන් අතර සන්නිවේදනයේ දී ‘අත්දැකීමට’ වඩා ‘භාෂාව’ ප්‍රාථමික බව ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත. තමන්ගේ ‘ඖෂධීය ගම’ (Generic Place) මින්නේරියව තිබිය දී, ‘Branded ගම’ මහරගම යැයි අනෙකෙකුට ඒත්තු ගැන්වීම ජවිපෙ සාමාජිකයෙකුට සිතා ගැනීමටවත් නො හැකිය. මෙය, ‘X ගැමියාට’ කළ හැක්කේ, ව්‍යුහවාදය ගැන ඇති ව්‍යවහාරික දැනුම නිසා ය. එම නිසා, මෙවැනි අය වාමාංශික පක්ෂවල අධ්‍යාපන ලේකම්වරුන් පවා රැවටීම පුදුමයට කාරණයක් නොවේ. තමන්ගේ ඖෂධීය ගම කුරුණෑගල වුවත්, එයට ‘අතිරික්ත දැනුම’ හරහා යම් පැණි රසක් එකතු කළ විට දී, (තිත්ත රසැති ‘කැහි පැණියට’ තරමක් සීනි කලවම් කළ විට කුඩා ළමයින්ට එය රසවත් පානයකි) එවැන්නෙකුට රත්මලාන ප්‍රදේශයේ දෘශ්‍යමාන මැද පාන්තික ස්ත්‍රියක් සමඟ විවාහ වීමට හැකි ය. එය, පරාරෝපණය ජයගෙන ඇති රිප්ලි වර්ගයේ භූමිකාවක බාහිර ප්‍රකාශනයකි.

 Ripley with a Couple.

        මෙතැන දී, අපට ‘පරාරෝපණයට’ අමතරව ‘වෙන් වී යාම’ [For Lacan, alienation is inevitable, (there is no original identity) and structurally incomplete. Separation offers an escape from a total determination of the subject by the Other via an identification with the ‘sinthome’.]යන සංකල්පය ගැන අවබෝධයක් අවශ්‍ය වෙයි. පරාරෝපණය ගැන මූලික අදහසක් ඇති අයෙකුට අනුව, එහි මූලික මාක්සියානු අර්ථය වන්නේ මිනිසෙකු තම ශ්‍රමය මගින් නිපදවන භාණ්ඩය අන් සතු වීමයි. එබැවින්, පරාරෝපණය ධනේශ්වර සමාජයක පැවැත්මේ කොන්දේසියකි. නමුත්, මානුෂිකවාදයේ මූලික හරය වන්නේ, පරාරෝපණයෙන් නිදහස් කල්පිත සමාජයක් අනාගතයේ දී නිම වීමයි. (පාරදෘශ්‍ය සමාජය)

         මනෝවිශ්ලේෂණය පැත්තෙන් බැලූ විට දී, පරාරෝපණය යනු, පසු කළ නොහැකි ක්ෂිතජයක් නොවේ. මානුෂිකවාදයට වෙනස්ව මනෝවිශ්ලේෂණය තුළ දී සාකච්ඡා වන්නේ, සමාජ සබඳතා, නිෂ්පාදන සබඳතා නිසා සිදුවන පරාරෝපණයක් පිළිබඳව නොවේ. මනෝවිශ්ලේෂණයට අනුව, පරාරෝපණය ගැඹුරින් ගත් විට දී, හුදු ශ්‍රමය බාහිරකරණය වීම නිසා සිදුවන පරාරෝපණයක් පමණක් නොවේ. වෙනත් තලයකින් අපට මෙම පරාරෝපණය විග්‍රහ කළ හැකි ය. ඊට අනුව, පරාරෝපණයේ මූලය වන්නේ, ශ්‍රමය හෝ අත්දැකීම නොව භාෂාවයි. භාෂාව නිසා සිදුවන පරාරෝපණය සිදු වන්නේ, ආත්මීය තත්වයක් ලෙසින් ය. කෙනෙකු තමාට සමීප අනෙකාට සාපේක්ෂව සිදුවන පරාරෝපණයක් මෙහි දී හඳුන්වා දෙයි. මෙහිදී එම නිසා, සංකල්ප දෙකක් යොදා ගැනේ. එකක්, භාෂාව නිසා අනෙකාගෙන් පරාරෝපණය වීමයි. අනෙක වන්නේ, මෙම අනෙකාගෙන් වෙන් වීමයි.[Separation]

උදාහරණයක් වශයෙන්, කෙනෙකු දෙවියන් අදහනවා යැයි සිතන්න. එවිට, ඔහු දෙවියන් නම් සංකල්පය තුළ පරාරෝපණය වෙයි. ඉන්පසු, දෙවියන් පිළිබඳව තිබූ භක්තිමත්භාවය නැති වූවා යැයි සිතන්න! එවිට, ඔහු දෙවියන් පිළිබඳ අදහසෙන් ඉවත් වෙයි. එය ඔහුට දැනෙන්නේ, නිදහසක් ලෙසිනි.[freedom] ඉන් අදහස් වන්නේ, අපගේ භක්තිය තහවුරු කරන අනෙකෙක් මේ ලෝකයේ නොමැති බවයි. එය, අදේවවාදයේ මුල් පියවරයි.

         පළමු අවස්ථාවේ දී, කෙනෙකුගේ පරාරෝපණය වෙනුවෙන් බාහිර මහා අනෙකෙක් පෙනී සිටියි. මෙම තත්වය සංකේත ලෝකය තුළ ජීවත් වන ඕනෑම මිනිසෙකුට අදාළ ය. මන්ද, ආත්මය කතා කරනවා නොව ආත්මය තුළින් භාෂාව කතා කරන නිසා ය. මේ හේතුව නිසා, පුද්ගලයාගේ ක්‍රියාවන්වල ඵලය තීරණය වන්නේ, බාහිර සංකේත සාරයෙනි. ‘වෙන් වීම’ ආරම්භ වන්නේ, මේ මහා අනෙකාගේ අඩුව පුද්ගලයා දුටු විටදී ය. පුද්ගලයා තමන් තුළ දකින අඩුවට හිමි දෙය මහා අනෙකා තුළ ද නැති බව වටහා ගත් විට දී, පුද්ගලයා එතැනින් ඉවත් වෙයි. මෙම ක්‍රියාව ආත්මය දකින්නේ, නිදහසක් ලෙසිනි. කරුණා මුල් වටයේ දී ප්‍රභාකරන් දුටුවේ, දෙවියෙකු ලෙසිනි. දෙවැනි වටයේ දී ඔහුට ප්‍රභාකරන් යනු, මිනීමරුවෙකි. කරුණා පළමු අවස්ථාවේ දී, ප්‍රභාකරන් නම් මාස්ටර් හැඟවුම්කාරකය නිසා පරාරෝපණය වන අතර දෙවන අවස්ථාවේ දී, ඉන් නිදහස් වෙයි. එය, LTTE යෙන් ඔහුගේ වෙන් වීමයි. කරුණාගේ රහස ප්‍රභාකරන් නොදන්නවා පමණක් නොව, ප්‍රභාකරන් ඔහුගේ රහස ද නොදනියි. ‘දෙවියන්’ මිය ගිය සමාජය සොහොන් බිමක් ලෙස නියට්ෂේ සලකන්නේ, මේ නිසා ය. ජීවිතයට අර්ථය එන හැඟවුම්කාරකය ද අතුරුදහන් වූ විට දී, ජීවිතය මුඩු බිමකි. මන්ද, දෙවියන් අපගෙන් පරාරෝපණය වනවා පමණක් නොව දෙවියන් දෙවියන්ගෙන් ද පරාරෝපණය වෙයි.

         ‘වෙන් වීම’ හරහා අනෙකාගෙන් ආත්මය නිදහස් වීම තුළම අනෙකාට බිය නැතිව මැදිහත් වීම ද සිදු කළ හැකි ය. එනම්, අනෙකා තවදුරටත් තමන්ව පාලනය නොකරන බව ආත්මය වටහා ගන්නා නිසා ය. අනෙකාගේ අඩුව දන්නා ආත්මයට තම අනෙකාව පාවිච්චි කිරීමට සහ ප්‍රයෝජන ගැනීමට ඇති සියලු බාධාවන් ‘වෙන්වීමට’ පසු ඉවත් වෙයි. අප සිතනවාට වඩා පරාරෝපණයට වෙනස්ව ‘වෙන් වීම’ නම් ක්‍රියාව තුළ ඇති දේශපාලන ප්‍රතිවිපාක සංකීර්ණ ය. වෙන් වීම නම් ක්‍රියාව හරහා අමතර ප්‍රතික්‍රියාවක් ද සිදු වෙයි.

       උදාහරණයක් ලෙස, X කණ්ඩායම තුළ සිදු වූ ප්‍රතික්‍රියාව සලකා බලමු. 2004 වර්ෂයේ සිට X දේශපාලනයෙන් ඉවතට යන විමතිකයන් බොහෝවිට X පරාරෝපණයෙන් නැතහොත් X හී මාස්ටර් හැඟවුම්කාරකයෙන් සහමුලින්ම කැඩී යයි. එය, ඔවුනගේ ක්‍රියා සහ වචන වලින් පෙන්නුම් කරන්නේ ‘නිදහසක්’ වශයෙනි. නමුත්, ඔවුන් ඒ වහාම පැටලෙන උගුල වන්නේ, ”පූර්ව-X ”වශයෙන් පවතින දේශපාලන ව්‍යාපාර සහ පුද්ගලයන් සමඟ තදාත්මක වීමයි. 2004 සිදුවීමට පසුව X විමතිකයන් දිව ගියේ, පරණ වම සහ ජවිපෙ දෙසට ය. නැතහොත්, වාසු හෝ සුනිල් විජේසිරිවර්ධන හෝ කුමුදු කුසුම්, නලින් සුවාරිස්, අර්ජුන පරාක්‍රම දෙසට ය. සරලව කිවහොත්, පූර්ව X යනු, පූර්ව-කාටීසියානු, පූර්ව-හේගලියානු, පූර්ව-ශෙලින්ගියානු සහ සමහර අංශවලින් පූර්ව-මාක්ස් වෙතට ය. වෙනත් තලයක කිවහොත්, ‘නූතන සමාජයෙන්’ (ආත්මීයත්වය ඇති ලෝකය) යථාර්ථවාදී සමාජයකට ය (පුද්ගලයාගෙන් ස්වාධීන යථාර්ථය). තවත් සරලව කිවහොත්, ෆ්‍රොයිඩ්ගෙන් ඉවත්ව යුංගියානු ලෝකයකට ය. සුනිල් විජේසිරිවර්ධනගේ යින්-යැංග්, ගැටුම් විරහිත, ශාන්තිය ගෙන දෙන, සුසංවාදී, ජුන්ඩා යෝනියේ දමා ශුක්‍ර පිට නොකර ලිංගික සබඳතා පරිපූර්ණත්වයට ගෙන යන තන්ත්‍රයාන ලිංගිකත්වය යනු, සමකාලීන යුගයේ කදිමම ධනේශ්වර ෆැන්ටසිය යි. අපගේ පැත්තෙන් අපට කිව හැක්කේ, ඔහු කිසිදා අපගේ සතුරෙකු වූවා නොව ෆැන්ටසියක් නොවුනා කියා ය. එම නිසා, X වෙන් වීමෙන් විමතිකයන් ළඟා වන්නේ, X ට වඩා තැනකට නොව X ට වඩා පසුගාමී පෙර තත්වයකට ය.

        එසේ නම්, සමන් පුෂ්පකුමාර ඇතුළුව X සංවිධානයේ විමතිකයන්ගේ ප්‍රතිහේගලියානු ස්ථාවරය අපට පැහැදිය හැක්කේ කෙසේ ද?

        කීර්ති බාලසූරිය සහ සුචරිත ගම්ලත්ගේ හේගල් කියවීම පිළිබඳ ගැටලුව ද මෙතැනදී ම පැහැදිය හැකි ය. ඔවුන්ගේ භෞතිකවාදය පිළිබඳ කෘතියෙහි සඳහන් පරිදි, යමක ‘සාරය’ චින්තනයට ඉතුරුවක් නැතිව ගිල දැමිය හැකිය. අපගේ හේගලියානු කියවීමට අනුව, සංකල්පයට ඉන් බාහිර වූ යථාර්ථය හෝ සාරය පූර්ණ වශයෙන් ඇතුළට අවශෝෂණය කරගත නොහැකි ය. යමක් ශේෂ වෙයි. එය, අප ආත්මය [subject]ලෙසින් හඳුන්වන අතර එය නිපදවෙන්නේ පසු ආවර්තිතවය. ප්‍රථම පියවර ලෙස, යම්කිසි සංකේත පද්ධතියක් තුළ පරාරෝපණය වන අතර ද්විතීයික පියවර ලෙස, ‘ආත්මය’ මතු වෙයි. මේ සන්දර්භය තුළ, ආත්මයේ ආරම්භය එයටම අදාළ නැත. එය, විජාතික ය. ඒ අනුව, ‘ආත්ම-සාරය’ සහ ‘ආත්ම-උත්පත්තිය’ එකක් නොව දෙකකි. ආත්මය උත්පාද වන්නේ, එමගින් පසු ආවර්තිතව නිර්මාණය වන පූර්ව-අගතියක් [void as something] පාදක කොටගෙන ය. උදාහරණයක් ලෙස, සමන් නම් ආත්මය බිහි වන්නේ, X නම් සංකේත මහා අනෙකා ඔහු ඊට ඇතුළු වූ සමයේ යහපත් යැයි උපකල්පනය කරන ලද නිසා ය. මේ උපකල්පනය මෝඩකමක් සහ අගතියක පැටලීමක් යැයි වර්තමානයේ සිට අතීතයට ප්‍රක්ෂිප්ත කරයි. නමුත්, එසේ කරද්දී සමන්ට අමතක වන්නේ, එම ‘අගතිය’ අතීතයට අදාළ මුලාවක් නොව වර්තමානයට අදාළ මුලාවක් යන සිද්ධාන්තය යි. 90 දශකය අග දී, X කණ්ඩායමට එකතු වූයේ මන්ද කියා සමන් නොදනියි. නමුත්, සමකාලීන සමන් තමන් එසේ X එකට එකතු වූ අගතිය, මුලාව, දෘෂ්ටිය වර්තමානයේ සිට වටහා ගනියි. එය, කලින් පැවති අවිඥාණක දැනුමක් සවිඥාණක වීමකි. තත්වය සමන් නිදහසක් ලෙසින් වටහා ගනියි. ‘ආත්මය යනු, සාරය වේ’ යන හේගලියානු අදහසේ ව්‍යාකරණය එසේ ය. වාක්‍යයක අර්ථය පසුව වැටහෙන පරිදි ජීවිතයේ අර්ථය ද වැටහෙන්නේ, පසුව ය. ප්‍රඥාව තටු සලන්නේ ගොම්මනේ දී ය.

          X විමතිකයෙක් නැතහොත් X දේශපාලනයේ සමකාලීන සතුරෙක් ලෙස සමන් තමන්ව පිහිටුවා ගන්නා විට දී, ඔහුගේ හේගලියානු දෝෂය කුමක් ද? ශේෂයක් ඉතිරි නොකොට X හී සියල්ල සංකල්පයට හෝ චින්තනයට උරාගත හැකි යැයි සමන් උපකල්පනය කරයි. එම අදහස පාරභෞතික අදහසකි. ඒ නිසාම, සමන් X සංවිධානය අරබයා විඥාණවාදියෙකි. X කණ්ඩායමේ දේශපාලනය අර්ථකතනය කරද්දී, ඔහු ද ඊට අයත් බව ඔහුට අමතක වෙයි. X යථාර්ථයේ ඇති සමන් නම් පැල්ලම ඔහුට අවිඥාණක ය. සමන් විසින් ස්ලාවෝජ් ජිජැක්ගේ ‘Less than Nothing’ කෘතියට විචාරයක් ලියමින් මෙසේ කියයි:

         “ In his project, Zizek addresses the basic problem of theory of knowledge or Epistemology, the distinction between how things seem to us opposed to how things really are. According to Zizek, this distinction is utterly useless as there is no ‘things really are’ because reality itself is in- completed.”

 

        අප නැවතත් අපගේ මූලික ප්‍රස්තුතයට යන්නේ නම්, එය මෙලෙස විසඳිය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂයක් තුළ එහි සාමාජික-සාමාජිකාවන් පරාරෝපණයට ලක් වනවාට වඩා දෙයක් සිදු වන්නේ නැත. මන්ද, ඔවුන් ‘භාෂාවට’ වඩා ‘අත්දැකීම’ ඥාණයේ මූලය ලෙස සලකන නිසා ය. නමුත්, X කණ්ඩායමේ අසලින් හෝ ගිය කෙනෙකු මිනිස් චින්තනය සහ සන්නිවේදනය භාෂාව මගින් ධ්‍රැවීයකරණය වන බව යන්තමින් හෝ වටහා ගනියි. මේ හේතුව නිසා, X සංවිධානයෙන් ඉවත්ව ගිය අය පරාරෝපණය ගැන කතා නොකර ‘වෙන් වීමක්’ පිළිබඳව කතා කරයි. ඔවුහු යථාර්ථයේ ආධාරකය සද්භාවත්මක [ontological] බව ඉවෙන් දනියි. මේ නිසා, ඔවුහු සෑම විටම තමන්ගේ විනෝදය තමන්ට බාහිරින් සිටින සතුරෙකු විසින් එක්කෝ තර්ජනය කරන බව හඟවයි නැතහොත්, පැහැර ගත් බවට පැමිණිලි ඉදිරිපත් කරයි. මාස්ටර් හැඟවුම්කාරක නැතහොත්, මාස්ටර්වරයෙකු සමඟ ඇති විශාල දුක් ගැනවිල්ලක් බාහිරට ප්‍රක්ෂේපණය වීමක් X විමතිකයන්ගේ කතිකාව තුළ දක්නට ලැබේ. මෙහිදී වැරදි කියවීම වන්නේ, X විමතිකයාගේ කතිකාවේ අඩංගු ‘නිදහස’ යන අදහස අධිනිශ්චය වී ‘සදාචාරාත්මක වගකීම’ යන අදහස් අමතක වීමයි. කාන්ටියානු අර්ථයෙන් ගතහොත්, X කණ්ඩායමේ දේශපාලන ක්‍රියාවට අදාළ ආත්මය සහ සදාචාර විවේචනය දීප්ති කේන්ද්‍රීය වන අතරම, ඊට තම ආත්මයේ සහ එහි වගවීම සමන් පුෂ්පකුමාර වැනි විචාරකයන් අමතක කිරීමයි. ‘සැබෑ වෙන් වීම’ යනු තමන්ට මාස්ටර් හැඟවුම්කාරකය සමඟ තිබූ අර්ථයේ මානය පමණක් අවධාරණය කිරීම නොවේ. ඊට පරස්පරව, මාස්ටර් හැඟවුම්කාරකය සමඟ තමා විනෝද වූ ආකාරය ද විභාග කළ යුතු ය. සමන්ගේ විචාර සාහිත්‍ය තුළ ‘දීප්තිගේ විනෝදය’ ප්‍රතිදීප්ත වන මුත් ‘සමන්ගේ විනෝදය’ අපැහැදිලි කර ඇත. මේ තත්වය, බටහිර ප්‍රබුද්ධත්වය තුළ මැඩ පවත්වන ආත්මීය මානය යි. ජර්මන් විඥාණවාදය යනු, ප්‍රබුද්ධත්වයම පැලී ගොස් හදවතේ අඳුර නැතහොත්, අශ්ලීල විනෝදය ද බුද්ධියේ අතිරේකයක් ලෙස සැලකීමයි. 

Deepthi kumara Gunarathne

Samabima Party.

අප සමග එකතු වන්න! 

=======================

Anushka- 0703232113

Nuwan – 0715324110.

Mihiran – 0774950204

ඔබේ අදහස කියන්න…

               

ඔබේ අදහස කියන්න...