මනෝවිශ්ලේෂණ සායන ඇමරිකාව යුරෝපය ඇතුළු බටහිර රටවල පැවැත්වෙන්නකි. ලංකාව තුල මනෝවිශ්ලේෂණ සායන නැත. නමුත් ලංකාව තුල දේශපාලනික සායන පැවැත්වේ. අද අප සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම දේශපාලනික  සායන (political clinic – politics නොවේ ) යනු මොනවාද යන්නයි. ඒ සදහා ප්‍රවිෂ්ට වීමට අප මනෝවිශ්ලේෂණයේ ඉගැන්වෙන නියුරෝසික  රෝග (Neurosis ) කාණ්ඩය යනු කුමක්දැයි සැකෙවින් සලකා බලමු.

ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව නියුරෝසික රෝග කාණ්ඩය නැවත උප කොටස් 3කට බෙදා වෙන්කරයි. හිස්ටීරියාව (Hysteric ), ග්‍රස්ථික (Obsession ) , ෆෝබියා (phobia ) යනු එම උප කාණ්ඩ 3යි. මින් හිස්ටීරියාව සහ ග්‍රස්ථික කාණ්ඩ දෙක විප්ලවවාදී දේශපාලනික සායනය තේරුම් ගැනීම සදහා ඉතා වැදගත් වේ. නියුරෝසියාවේ යාන්ත්‍රනය වන්නේ මර්දනයයි. ග්‍රස්ථිකයෙකු සහ හිස්ටෙරිකයෙකු වෙන්කර හදුනා ගැනීම රෝගියාගේ පළමු ලිංගික අත්දැකීම පිළිබද ඔහු /ඇය සායනයේදී කියන දේ මගින් සිදුකල හැකි බව ෆ්‍රොයිඩ් සදහන් කරයි. ඒ අනුව ග්‍රස්ථිකයා ලිංගික සම්බන්ධය නිසා වරදකාරිත්වයක් ඇති කර ගන්නා අතර හිස්ටරිකයාට ඒ පිළිබද ඇත්තේ පිළිකුලකි. ලැකාන් මෙම න්‍යාය තව දුරටත් වර්ධනය කරයි. ඒ අනුව පුද්ගලයාගේ මුලික ෆැන්ටසිය[තමා කවුද කියා තමාටම ගොනන කතාව ] ගොඩනැගී ඇති අකාරය හදුනා ගැනීම මගින් ඔහු/ඇය කුමන රෝග කාණ්ඩයට අයත් වනවා දැයි වර්ග කල හැක. එම අදහසට අනුව ග්‍රස්ථිකයාගේ ආත්මය යනු object a ට ඇති සම්බන්ධයි (s<> a -fantasy).ග්‍රස්ථික නියුරෝසිකයෙකු අනෙකා (Other ) නොසලකා හරී. ඔහුට (බොහෝ ග්‍රස්ථිකයන් පිරිමි නිසා )අනෙකාගේ පැවැත්ම වැදගත් නැත. ඔහු සොයන්නේ තමාට අහිමි වූ ෆැන්ටසි වස්තුව පමණි. ඔහුගේ ආශාව විය නොහැකි අශාවකි (impossible desire ). තමාගේ සිතුවිලි, තමාගේ අවිඥානය තමාටම පාලනය කරගත හැකි බව ග්‍රස්ථිකයා සිතයි. මීට පටහැනිව හිස්ටරිකයාගේ ආත්මය යනු අනෙකාගේ object a බවට පත්වන ආත්මයයි . ඇය (බොහෝ හිස්ටරිකයන් ගැහැණු නිසා ) අනෙකාගේ ආශාවේ වස්තු හේතුව බවට පත් වෙමින් තම පැවැත්ම සහතික කරගනී. ඇය පිරිමියාගේ ආශාව නිර්මාණය කරන අතර පිරිමියා හරහා ආශා කරයි. ඇය සෑම විටම අනෙකා පිළිබද උනන්දු වන අතර අනෙකාගේ ජීවිතයේ අඩුව (lack ) කුමක්දැයි සොයයි. හිස්ටරිකයා සෑම විටම අනෙකාව ප්‍රශ්න කරයි. තවද ඇයගේ ආශාව සෑම විටම අතෘප්තිමත් අශාවකි (unsatisfied desire ).

අප මනෝවිශ්ලේෂණය හදාරන්නේ විශ්ලේෂකයන් වීමට නොව දෘෂ්ටිවාදය විචාරය කිරීම සදහා එය ඉතා වැදගත් වන බැවිනි. මේ නිසා දැන් අප ඉහත න්‍යායන් වාමාංශික දේශපාලනයේ දෘෂ්ටිවාදය විචාරය කිරීම සදහා යොදා ගනිමු. එවිට අපට දේශපාලනික සායනය නම්  අවකාශය කුමක්දැයි පෙනෙන්නට පටන් ගනී. ”අනෙකා” සිටින ලෝකයක එකම තැනක, එකම ඇදක, එක දිගට දුම් බොමින් වසර 15 ක් පමණ  පක්ෂ කාර්යාලයක ලැගීමට  පක්ෂ සාමාජිකයෙකුට හැකිද? රහසිගතව ජීවත් වීම , කොන්ඩේ වැවීම, මිනිස්සු එක්ක වැඩිය move වෙන්න නොයෑම, double pocket කමිස ඇදීම ,හරියට කෑම බීම නොගැනීම, කාර්යාලයේ බල්ලන් ඇති කිරීම ආදිය මාක්ස්වාදී දේශපාලනයේ නිරත වන්නෙකුගේ ලක්ෂණද ? විප්ලවවාදී දේශපාලනයේ නිරත වීමේදී කාඩර්වරයෙකු නඩත්තු කල යුතු ගතිලක්ෂණ සහ චර්යාවන් පිළිබද දෘෂ්ටිවාදයක් ලංකාවේ ඇත.[විජෙවීර උරැමය] ඉහත සාමාජිකයා නඩත්තු කරනු ලබන්නේ මෙම  දෘෂ්ටිවාදයයි. සැබෑ මාක්ස්වාදී හෝ වාමාංශික හෝ කුමන දේශපාලනයකටවත්  කාඩර්වරයා අදින පළදින විධිහ, කන බොන අකාරය ආදිය වැදගත් නොවේ. නමුත් එකී දේශපාලන අවකාශයන් කාඩර්වරුන්ගේ   රෝග ලක්ෂණ පවත්වාගෙන යන අවකාශයන්  බවට පරිවර්තනය වී ඇත. හිස්ටෙරික පවුල් ආකෘතයක සිට X දේශපාලනයට ආකර්ෂණය වී කොළබට පැමිණෙන මෙම පුද්ගලයා ග්‍රස්ථිකයෙකු යැයි උපකල්පනය කරමු (මන්ද බහුතර පිරිමින් ග්‍රස්ථික වන නිසා). මුලිකව ඔහුගේ ආශාවේ වස්තු හේතුව (object a ) බවට පත් වන්නේ ගැහැනියයි. එවැනි  ගැහැණු  වර්ග දෙකකි. එනම් මව මෙන් පුජනීය ආදරය ලබා දෙන ගැහැණිය සහ වෛශ්‍යාවක් මෙන් ලිංගික සතුට ලබා දෙන ගැහැණියයි. මෙවැනි ගැහැණු සොයා යාම සමාජ සදාචාරාත්මක සන්දර්භය තුල කල නොහැකි නිසා ග්‍රස්ථිකයා තමාගේ වියනොහැකි ආශාව ලෙස  වෙනත් ව්‍යාපෘතියක් තෝරා ගනී. මෙය  ෆ්‍රොයිඩ් ට අනුව නම් පුද්ගලයාගේ ලිංගික ලිබිඩෝ ශක්තිය සමාජීයව පිළිගත හැකි දෙයක් වෙනුවෙන් ආයෝජනය කිරීමයි.ඒ අනුව පුද්ගලයෙකු ඉංජිනේරුවෙකු , වෛද්‍යවරයෙකු, කළාකරුවෙකු, ගෘහනිර්මාණ ශිල්පියෙකු වීම එම ආයෝජනයේ ප්‍රතිඵලයයි. නමුත් හිස්ටෙරික පවුල් ආකෘතයක සිට සිට පැමිණෙන ග්‍රස්ථිකයා තමාගේ සාමාන්‍ය ජීවිතයේ මෙවැනි කිසිදු ආයෝජනයක් කරගැනීමට අසමත්  වෙයි. ඒ නිසා තමාගේ රෝග ලක්ෂණය පවත්වාගෙන යාම සදහා (එනම් ආත්මයක් ලෙස තමාගේ තැන රැක ගැනීම සදහා ) ආශාව ලෙස විය නොහැකි දෙයක් දේශපාලන අවකාශය තුල සොයා ගත යුතුය. ඒ සදහා හොදම ආශාවක් වමේ දේශපාලනය තුල ඇත. එය නම්  විප්ලවයයි. බාහිරින් මෙම පුද්ගලයා දෙස බලන ඕනෑම කෙනෙකුට ඔහු විප්ලවය වෙනුවෙන් තම ජීවිතය කැප කර ඇති බව නිගමනය කිරීමට ඕනෑ තරම් සාක්ෂි ඇත. ඔහු නියම විප්ලවවාදියෙකු බව සිතන  අය වසර 15 ක් පුරා එකම තැනකට වී ඔහු කර ඇති දේ මොනවාදැයි සොයා බලන්නේ නැත. එනම් ග්‍රස්ථිකයාගේ සැබෑ ක්‍රියාව කුමක්ද? , ඔහු අනෙකාට  (සමාජය )  මුහුණ දෙනවාද?,  යන්න සොයා නොබලයි. ඒ වෙනුවට ඔවුන් ග්‍රස්ථිකයා නිර්මාණය කරන දේශපාලනික සායනය තුල තමාවත් ස්ථාන ගත කර ගනී.  ගැහැණු ප්‍රශ්න, blue films, chain smoking සමග ලලිත් ලේතන් වැනි -අතීත සමාජිකයෙක්- බෙලහීන පිරිමි සමග ග්‍රස්ථිකයා ගෙවා දමන්නේ තමාට වඩාත්ම ගැලපෙන ජීවිතයයි. ඉංජිනේරුවෙකු , වෛද්‍යවරයෙකු, කළාකරුවෙකු, ගෘහනිර්මාණ ශිල්පියෙකු හෝ වෙනත් වෘත්තියක් කිරීමට අසමත්  වීමේ ක්ෂිතියෙන් ගැලවීමට තනාගත් සංකේත අනෙකෙකු නැති හුදකලා ජීවිතයයි.   විප්ලවය ඔහුගේ object a බවට පත්වීම ඉතිහාසයේ අත්වැරදීමකි.

X දේශපාලනයේ අතුරැ ඵලයක් ලෙස බිහිවන සායනික අවකාශයට ඇතුළු වී සිටින අනෙක් පුද්ගලයන්ටද ඇත්තේ ඉහත ආකෘතියට සමාන ජීවිතයකි. කෙනෙකු චිත්‍රපට විචාරකයෙකු වීමේ ෆැන්ටසියක අතරමං වී ඇති අතර තවත් කෙනෙකු යටිබිම් ගත දේශපාලනයක් කිරීමේ ෆැන්ටසියක අතරමං වී ඇත. මීට අමතරව එම අවකාශය තුල  මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් එලියට ආ ඉංජිනේරුවන් කිහිප දෙනෙක් ද  සිටී. ඉංජිනේරුවෙකු වූ පසුවත් දේශපාලනික සායනයට ඇතුළු වන්නේ ඔවුන්ට සැබෑ ලෙසම දේශපාලනය කිරීමේ උවමනාවක් නිසාද යන ප්‍රශ්නය බාහිර නිරීක්ෂකයෙකුට ඇතිවේ. ‘බලන්න මෙයා ඩිග්‍රී එක කරලා ලොකු රස්සාවකට යන්න පුළුවන් කම තියෙද්දිත් විප්ලවය වෙනුවෙන් කැපවෙන හැටි’ මේ එවැනි නිරීක්ෂකයෙකුගේන් අපට අසන්නට ලැබෙන දෙයයි. නමුත් නැවතත් අප මනෝවිශ්ලේෂණ න්‍යාය භාවිතා කළහොත් මෙහි සැබෑ තත්වය කුමදැයි පැහැදිලි වෙයි. මොරටුව  විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් එලියට එන බොහෝ ඉංජිනේරුවන්ට ඉංග්‍රීසි  භාෂාව බැරිය. මේ නිසා ඔවුන්ව වැඩි වැටුපකට බහුජාතික සමාගම් විසින් සේවයට බදවා ගන්නේ නැත. ඉංජිනේරුවාගේ සැබෑ ආශාව වැඩි වැටුපක් සහිත රැකියාවක් සොයා ගැනීම උවත් තමාට එය නොලැබෙන විට ඇතිවන ක්ෂිතියෙන් පළා යාමට අවකාශයක් තිබිය යුතුය. මේ සදහා ඔහුට ගල්කිස්ස නිවසේ දොර විවර වේ. වසර හතරක උපාධිය විභාග අසමත් වෙමින් වසර හය හත දක්වා එය දිගු කරගෙන අවසානයේ යාන්තමින් උපාධිය සමත් වූ ඉංග්‍රීසි බැරි ගොළු ඉංජිනේරුවන්ගෙන් එම අවකාශය පිරී යන්නේ ඒ අකාරයටය.

අපගේ  දේශපාලනයේ දී මෑත කාලීනව අපගෙන් ඉවත් වූ සාමාජිකයන්ගේ ඉවත් වීමට හේතු සලකා බලන විටද  නැවතත් අපට මනෝවිශ්ලේෂණය වෙත යොමු වීමට සිදුවේ.  පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සදහා පුහුණු කල සාමාජිකයෙකු පක්ෂය නියෝජනය කරමින් රැස්වීම් මාලාවකට යොමු කරන ලදී. ඊට පෙර අප මෙම සාමාජිකයාට මනෝවිශ්ලේෂණය ඉගැන්වීමට උත්සහ කල නමුත් ඔහු එම පාඩම් වලට සවන් දුන්නේ නැත. මේ නිසා ඔහුට දැක්ම (gaze) නම් සංකල්පය මගහැරී යයි. අවසානයේ රැස්වීම් වලට  යන සාමාජිකයා සිතන්නේ තමා දෙස කට්ටියක් බලාගෙන සිටින බවයි. ”ඒ අනුව පක්ෂයේ අදහස ඉදිරිපත් කරනු වෙනුවට ඔහු තමා දෙස බලා සිටින පිරිසේ ආශාව රග දැක්වීමට උත්සහ කරයි.” කෙසේ වෙතත් ජනප්‍රිය වීමේ අවිඥාණක ආශාව අප දේශපාලනය හරහා ඉටු කර ගැනීමට නොහැකි වන තැන ඔහු අපෙන් ඉවත් වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග මතවාදීව සම්බන්ධ වේ. ඒ වෙනුවෙන්  ඔහුට විනාඩි 8 ක කාලයකට  බලපැවෙත්වෙන ලෙස ජනප්‍රිය වීමේ අවස්ථාවක් උදාවෙයි. ඉන් පසු මේ සාමාජිකයාට සිදුවුයේ කුමදැයි අප දන්නේ නැත.

පැරණි වමේ ආකෘතිය මනෝවිශ්ලේෂණ න්‍යායට අනුව හිස්ටෙරික වේ. ඇන්. එම් පෙරේරා මහජනයාගේ ආශාවේ වස්තු හේතුව (බුද්ධාගම පිළිගැනීම ) නිතර ප්‍රශ්න කළේය. රුවන්වැලි සෑය නිකම් ගඩොල් ගොඩක් පමණක් බව ඔහු ප්‍රසිද්ධියේ කිවේය. වෘත්තීය සමිති සාමාජිකයාගෙන් ගොඩනැගුන  වම කාඩර්වරුන් ගේ දේශපාලනයක් (ජ .වි. පෙ ) දක්වා විතැන් වීමේදී නව වම ජාතිවාදය වැළද ගන්නා ලදී. කෙසේවෙතත්  මෙහිදී පක්ෂයට පැමිණෙන වෘත්තීය සමිති සාමාජිකයාට හෝ කාඩර්වරයාට දේශපාලනය කිරීමට පසුබිම් වන සමාජ ආර්ථික ගැටළුවක් තිබිණ. නමුත් දැන් වමේ දේශපාලනයට එන්නේ කවුද? දැන් අප වෙත එන්නේ අනෙකාය (other). ඔහුගේ / ඇයගේ ඉල්ලීම ගුප්තය. මතුපිටින් කියන්නේ එකක් වුවත් ඇත්තටම ඉල්ලන්නේ වෙනත් දෙයකි.

අප සමග වැඩ කිරීමට පැමිණි එක්තරා සාමාජිකයෙකුට පක්ෂයේ වැඩ කිරීමට ප්‍රධාන බාධකය වුයේ ඔහුට ගෙවීමට තිබු විශාල ණය මුදලයි. එම ණය ගෙවීම සදහා විවිධ වැඩපිළිවෙලවල් පක්ෂය විසින් සකස් කර දුන්නද ඔහු ඒ කිසිදු වැඩපිළිවෙලක් සාර්ථක කරගැනීම සදහා උනන්දු වී කටයුතු නොකළේය. පක්ෂයේ වැඩ කිරීමට බාහිර ලෝකයේ කිසියම් බාධාවක් ඇතැයි යමෙකු නිතර කියන්නේ නම් එය බාහිර බාධාවක් නොව තමාගේම අභ්‍යන්තරික බාධකයකි. පක්ෂයේ සාමාජිකයන් සහ අපට සම්බන්ධ වන බොහෝ දෙනා වැඩ කිරීමට ඉතා උනන්දුය. නමුත් ඇත්තටම වැඩ කරන්න පටන් ගන්නා විට ඔවුන්ගේ උනන්දුව හීන වී යයි. ලෝකය වෙනස් කිරීමට යාමේදී අවසාන බාධකය ලෙස සම්මුඛ වන්නේ තමගේම  ආත්මයයි. මෙතෙක් කල් තමා සවිඥානිකව ආශා කල වෙනස යථාර්ථයක් වීමට ආසන්න වූ විට ඊට වඩාත් බාධා කරන්නේ මෙම  ආත්මයයි. මෙවැනි ආත්මයක් අප තුල සිටින බව මේ දක්වා අප දැන සිටියේ නැත. අසීරු වුවත් මෙම බාධකය ජය ගන්නා කාඩර්වරුන් විසින් අවසානයේ පවතින  සමාජ ක්‍රමය වෙනස් කරනු ඇත.

Anushka Ariyarathne

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. “මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් එලියට එන බොහෝ ඉංජිනේරුවන්ට ඉංග්‍රීසි භාෂාව බැරිය. මේ නිසා ඔවුන්ව වැඩි වැටුපකට බහුජාතික සමාගම් විසින් සේවයට බදවා ගන්නේ නැත.”

    මේක බහු ජාතික සමාගමක සේවය නොකරපු එහෙමත් නෑති නම් බහු ජාතික සමාගම් ගෑන නොදන්න කෙනෙකු ගේ විග්‍රහයක්. ලන්කාවේ තම ශාකා අරම්භකරන බහු ජාතික සමගම් දන්නව ලන්කවේ අයගේ ඉන්ග්‍රීසි භාවිතා කිරීමේ හෑකියාව ගෑන, ඔවුන් ලන්කාවට එන්නේ ඉන්ජිනේරුවකු ලවා ඉන්ග්‍රීසි රචනා ලියවා ගෑනීමට නොවේ, ලන්කාවේ මෝඩ වම්මුන් නොදන්න දෙයක් ඔවුන් දන්නව, එනම් ඉන්ජිනේරු ශිල්පය නොදන්නා එහෙත් ඉන්ග්‍රීසි භාවිතා කල හෑකි කෙනෙකු ලවා ඉන්ජිනේරු ශිල්පය දන්නා එහෙත් ඉන්ග්‍රීසි නොදන්නා කෙනෙකු ගෙන් ඉන්ජිනේරු වෑඩ කටයුතු කරවා ගෑනීම.

    ඔබේ වටිනා බ්ලොග් අඩවිය මෙවෑනි මෝඩ අදහස් ප්‍රකාශ කිරීම සන්දහා භාවිත නොකරන්න.

  2. අමල් පෙරේරාගේ අදහසට මම එකඟයි… අනුශ්ක සහෝදරයා ඔහුගෙ ඉන්ග්රිසි භාශාව ගැන ආඩම්බර වෙන බවක් අදහස් වෙනව ඒක දිප්ති සහෝදරයාගේ දේශපාලනයට ගැලපෙන්නෙ නැ,
    සිංහලයන් ට ඉංග්‍රිසි යනු භාෂාවකට වඩා යම් දෙයක් ,සුද්දන්ගෙ දෘෂ්ටියට අනුව ඒක හුදෙක් භාශාවක් විතරයි ඒක් නිසා මම නම් අහලා නැ සින්හලයන්ට ඉංග්‍රිසි බැ කියලා අපහු ගිය ආයොජකයෙක් ගැන.ඔව්න් ලන්කාවට එන්නෙ නැත්තේ දේශපාලන හා ගෝත්‍රක තත්වයන් නිසා . ධනේශ්වර සුරා කෑමට ඉන්ග්රිසි අදාල නෑ. චීන්නු ඉන්ග්රිසි කතා කරන විදිය බලන්න , ඉන්ග්රිසි නම් එකම සාධකය කිසිම අයොජකයෙක් යන්නෙ නැ චීනයට .
    ආයොජකයො එන්නෙ නැත්තෙ ඉන්ග්රිසි බැරි නිසා නොව, ඉන්ග්රිසි සම්බන්ධයෙන් ගොඩනැගී ඇති දෘෂ්ටිවාදය නිසා.

  3. I agrre with Anushaka, and this is true regarding jvp and peratugamee party of kumar gunarathna in the process of forming its members කාඩර්වරුන් .

Comments are closed.