ලිංගික නිදහස යනු මනෝවිශ්ලේෂණය මඟින් සාකච්ඡාවට බඳුන් කරන සෛද්ධාන්තික කරුණක් නො වේ. ‘ලිංගිකත්වය’ නිදහසක් හෝ ‘විමුක්ති මාර්ගයක්’ ලෙස මනෝවිශ්ලේෂණය නො සලකයි. ඒ අනුව එක් රටක ලිංගිකත්වය අනෙක් රටවලට වඩා නිදහස් ය යන්න හුදු ෆැන්ටසියක් පමණි. වර්තමානයේ සාහිත්‍යය තුළ පවා වසංගතයක් බවට පත් වී ඇති ‘ලිංගික නිදහස’ යනු ධනවාදය තුළ ක්‍රියාත්මක වන වෙළඳපොළ යාන්ත්‍රණය මඟින් නිෂ්පාදනය වන්නකි. මනෝවිශ්ලේෂණයට අනුව ලිංගිකත්වය යනු කැපුමක් (cut) මිස සංස්කෘතිකමය ගොඩනැංවීමක් නො වේ. එය රටකින් රටකට වෙනස් වන සුවිශේෂී යමක් නො ව සාර්වත්‍රික අදහසකි. ඒ අනුව බටහිර චිත්‍රපට, නිල් සිනමාව හා සුලභ ව අලෙවි වන තන්ත්‍රයානය වැනි දේ තුළ නිරූපනය වන ලිංගික නිදහස්භාවය යනු දෘෂ්ටිවාදයක්-ideology- පමණි. ඉහත සඳහන් කළ ලිංගික වෙනස හෙවත් කැපුම සංස්කෘතිකමය වෙනසක් බවට ඌනනයවීම කලා නිර්මාණ තුළ විවිධ ස්වරූපයෙන් දැකිය හැකි ය. නිදසුනකට ඉරානයේ අබ්බාස් කියාරොස්තාමි තම චිත්‍රපටවල ගැහැනුන් නො පෙන්වීම මඟින් ද ඩෙන්මාකයේ ලාස් වොන් ට්‍රයර් ගැහැණුන් ඕනෑවට වඩා පෙන්වීම මඟින් ද ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩේවිඩ් ලින්ච් ගැහැනුන් මත මුදා හරින හිංසනය මඟින් ද ඒ බව පෙන්වා දෙයි. නමුත් එම සියලු නිර්මාණ තුළ දක්නට තිබෙන විශ්වීය සාධකය හෙවත් මනෝවිශ්ලේෂණ සත්‍යය වන්නේ ලිංගිකත්වය යනු කිසිවිට පෑස්සිය නො හැකි පරතරයක් – absolute gap- බව ය.

ස්ත්‍රිය ව්‍යතිරේකයක් හා අතිරික්තයක් ය යන්න පුරුෂ ෆැන්ටසි මිස වෙන යමක් නො වේ. “ස්ත්‍රිය ඇය තුළ ම“ සෙවීමෙන් පළක් නො වන්නේ “ස්ත්‍රිය ඇය තුළ ම“ යන්න තුළ “කිසිඳු සාරාත්මක යමක් ඇය තුළ නො පවතියි“ යන සත්‍යය අපට මුණ ගැසෙන නිසා ය. ස්ත්‍රිය තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද හා තමන් තුළ සැබැවින් ම පවතින්නේ කුමක් ද යන ගැටලුව තුළ පිරිමියා සිර වී සිටින අතර ස්ත්‍රිය ඉදිරියේ හැඩිදැඩි බව හා දැනුම ඇති බව නිරූපණය කරන පිරිමියා අන් කිසිවෙකු නො ව දුබල, තම පරමාදර්ශය සාක්ෂාත් කර ගැනීමට නො හැකි ව ලතැවෙන පුද්ගලයෙකි. පිරිමියාගේ මෙම ව්‍යාජ නිරූපණය ඉදිරියේ ගැහැනිය වෙස්මුහුණ ව්‍යාජ ඉදිරිපත් කිරීමක් ලෙස ඉදිරිපත් කරයි. එමඟින් ඇය වෙස්මුහුණ පසුපස පවතින රහස සොයා ගන්නා ලෙස පිරිමියාට යෝජනා කරයි. මෙය ස්ත්‍රිය පිළිබඳ මූලික මනෝවිශ්ලේෂණ කියවීම යි. නමුත් වර්තමානය වන විට මෙම තත්වය වෙළඳපොළ සාධක නිසා යම් පරිවර්තනයකට ලක් වී ඇත. ඒ පිළිබඳ ව පසු ව සාකච්ඡා කෙරේ.

ස්ත්‍රිය හා පුරුෂයා අතර පවතින මෙම පසමිතුරුතාවය ඔවුන් දෙදෙනා අතර සැබැවින් ම පවතින යමක් නො වන අතර එය එම විරුද්ධවාදීබවේ ව්‍යුහාත්මක මූලධර්මය වේ. එබැවින් මනෝවිශ්ලේෂණය තුළ සාකච්ඡා වන මෙම ස්ත්‍රී-පුරුෂ පසමිතුරුතාවය-antagonism- සැබෑවට ම අපට පෙනෙන යුගලයක් නො වේ. මෙම පසමිතුරුතාවය “එක“ (one) යන්න “එකට වඩා වැඩි යමක්“ (one plus) බවට පත් වීමක් මිස “එක“ (one) හා “දෙක“ (two) යනුවෙන් වෙන් ව පවතින දෙයක් නො වේ. මෙම එකට වඩා වැඩි දෙය (plus) යනු විනෝදය යි. ඒ අනුව මනෝවිශ්ලේෂණයට අනුව පවතින්නේ ඒක ලිංගයකි.[one sex=Male] එමෙන් ම එයට අනුව ලිංගිකත්වය යනු ලිංගික වෙනස මඟින් ඇතිවන යමක් ද නො වේ. එනම්, එය සංකේතීය පිළිවෙළ තුළ තිබෙන යමක් හෝ සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් ද නො වේ. පිරිමියෙකු හා ගැහැනියක වීම යනු කුමක් ද පිළිබඳ අදහස සංකේතීය පිළිවෙළට අයත් වන නමුත් ලිංගික වෙනස හැඟවුම්කරණයේ වෙනසක් ලෙස නො සැලකේ. එය ඇතුළත් කිරීමක් හෝ බැහැර කිරීමක් (inclusion/exclusion) ද නො වන අතර එය පූර්ණ අවහිරයක්, විවෘත ගැටලුවක්, සංකේතකරණය වළක්වන යමක් හා බැරියාවක් (impossibility) ලෙස ද නම් කළ හැකි ය.

ස්ත්‍රිය පිළිබඳ මූලික කියවීම් වන ෆැල්ලසය හෙවත් අහිමිවීම නියෝජනය කරන යමක් ලෙස, පිරිමියාගේ ආශාව කුළුගන්වන වස්තුවක් ලෙස හා පිරිමියාගේ විනෝදය හා බැඳී තිබෙන රෝගලක්ෂණයක් ලෙස යන කරුණු ත්‍රිත්වයට අමතරව වර්තමානය වන විට ධනවාදය තුළ ඇය ස්වාමි හැඟවුම්කාරකයක් -Master Singnifier-බවට ද පත් ව ඇත. මීට පෙර ද සඳහන් කළ ස්ත්‍රිය පිළිබඳ මෙම නව පරිවර්තනීය මානය අප වටහා ගන්නේ කෙසේ ද?

නිශ්චිත පිතෘමූලික යුගයක සිට ලිංගික අනන්‍යතා දිය වී, විසිරී යන යුගයකට අප අවතීර්ණ වී සිටියි. ‘පසු- ධනවාදී- පවුල’ යනු දරුවන් සහිත පීතෘමූලික පවුල වෙනුවට ගිවිසුම්ගත යුවලක් හා මිතුරන් වැනි දරුවන් හිඳින පවුලක් බවට පත් ව ඇත. මහා අනෙකාගේ අසංගතභාවය ස්වාමි හැඟවුම්කාරකය මඟින් ප්‍රතිස්ථාපනය වී ඇත. සංකේතීය පියාගේ භූමිකාව බිඳවැටී ඇති නිසා අපට අද වන විට මුණගැසෙන්නේ ප්‍රාථමික ගුදීය පියෙකි.[Anal Father] මෙම පිරිමියා සයිකෝසික මතිභ්‍රමවාදී හා විපරීත යන වේශයන් දෙකෙන් ම අපට මුණ ගැසෙයි. ඔහු දැනුම, මත්ද්‍රව්‍ය හා ස්ත්‍රිය අතර දෝලනය වනු දැකිය හැකි ය. මෙම තත්වය මත සමාජය තුළ සුරක්ෂිතතාව වෙනුවට කාංසාව හා ආක්‍රමණශීලීබව ඇති වී ඇති අතර සංකේතීය ක්‍රියාකාරීත්වය නො මැතිවීම නිසා පිරිමින් නො මේරූ දරුවන් ලෙස ක්‍රියාකරන බවක් ද දක්නට ලැබේ. මේ බව වටහා ගැනීම සඳහා මුහුණුපොතේ ඊනියා දාර්ශනිකයින්ගේ විශ්ලේෂණ හා ඒවාට අයත් comments කොටස් සිහිබුද්ධියෙන් යුතු ව කියවීම වුව සෑහේ. එහි දී ඔබට අවුරුදු 30, 40, 50 හා 60 වයසේ ළදරුවන් හා ගැටවරයන් රැසක් හඳුනාගත හැකි වනු ඇත.

ධනවාදී නිෂ්පාදන ක්‍රමය නිෂ්පාදන අවශ්‍යතා තෘප්ත කිරීමෙන් ඔබ්බෙහි වූ අතිරික්තයක්-excess- සමඟ සම්බන්ධ වේ. නමුත් සැබැවින් ම ධනවාදය තුළ කිසිවෙකු සතුටු නො වන අතර සතුට, පරිපූර්ණභාවය පිළිබඳ ෆැන්ටසි හා පූර්වකල්පනා -symptoms- පමණක් එය නිපදවයි. ඒ අනුව ධනවාදී කතිකාව තුළ මෙම සාර්ථකත්වය හා තෘප්තිය, අසාර්ථකත්වය හා ශූන්‍යතාවය සමඟ ම එකට බැඳී පවතියි. මෙම ලැකානියානු ධනවාදී කතිකාවේ ශුද්ධ ප්‍රතිඵලය යනු වස්තුවක් (a) නිෂ්පාදනය කිරීම ය. අනෙකුත් ලැකානියානු කතිකා (ස්වාමි, විශ්වවිද්‍යාල, හිස්ටෙරික හා විශ්ලේශි) හතරට වඩා ලැකානියානු ධනවාදී කතිකාවේ එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ආත්මය ($) හා ඉහත සඳහන් කළ වස්තුව (a) අතර පරතරයක් නො මැති වීම යි (පහත දැක්වෙන 1 වන රූපය බලන්න). එම වස්තුව යනු හැඟවුම්කරණය මඟින් නිපදවන නිරර්ථක ලුබ්ධිමය යමකි. නමුත් එය හැඟවුම්කාරකය මඟින් නිරූපණය කළ නො හැකි යමක් ද වේ.

 

(Capitalist Discourse)

1 වන රූපය

 

(මෙම රූපයේ $ – බෙදුණු විෂය, S1 – ස්වාමි හැඟවුම්කාරකය, S2 – දැනුම හා a – වස්තුව වේ.)

 

ඉහත 1 වන රූපයට අනුව ධනවාදී කතිකාව බෙදුණු විෂයෙන් ($) ආරම්භ වී ස්වාමි හැඟවුම්කාරකය (S1) මඟින් පරාරෝපණය වෙමින් එම ආත්මීය බෙදුම මැඬපැවැත්විය හැකි බවට යෝජනා කරයි. ඒ අනුව ස්වාමි හැඟවුම්කාරකය යනු ආත්මීය බෙදුම – split- හිලව් කළ හැකි යමක් බවට ධනවාදී කතිකාව තුළ පත් වේ. ලැකාන් පෙන්වා දෙන පරිදි ධනවාදී කතිකාවේ මූලය වන්නේ සංකේතීය කප්පාදුව ප්‍රතික්ෂේප කිරීම ය. ඒ අනුව ආත්මමූලිකත්වය තුළ තිබෙන අඩුව ව්‍යුහාත්මක ප්‍රතිඵලයක් ලෙස නො ව අහඹු ප්‍රතිඵලයක් ලෙස ධනවාදය තුළ සැලකේ. එහි දී එය ඉල්ලුම හා සැපයුම මඟින් සමනය කළ හැකි බව විශ්වාස කරයි. ඒ මඟින් ආත්මයේ අතිමූලික අඩුව-gap- සඳහා සුවිශේෂී විසඳුම් යෝජනා කෙරේ. ස්ත්‍රිය මඟින් විමුක්තිය ලැබිය හැකි ය යන අදහස ඉන් එකකි. එහි දී ලිංගික වෙනස යනු තවදුරටත් පෑස්සිය නො හැකි කැපුමක් ලෙස නො සලකයි. එය හුදු වෙළඳපොළ නිෂ්පාදනයක් ලෙස සලකයි.

 

ධනවාදී කතිකාව තුළ ”ස්වාමි හැඟවුම්කාරකය” යනු ස්ථිර විශ්වාසය රැඳවිය හැකි යමක් නො වන අතර එය අනවරත විසඳුම් අතරින් හොඳම විසඳුම බවට පත් වේ. ස්ත්‍රිය යනු මෙම අඩුව පිරවිය හැකි එක් මාදිලියක් ලෙස සැලකේ. වත්මන් ධනවාදය තුළ ස්ත්‍රිය යනු තවදුරටත් වස්තුවක් නො ව ස්වාමි හැඟවුම්කාරකයක් යැයි සඳහන් කළ හැක්කේ ඉහත තත්ත්වය මත ය. ස්වාමි හැඟවුම්කාරකය යනු හැඟවුම්කාරකවලට අවසන් අර්ථය සපයන යමකි. එමෙන් ම ස්වාමි හැඟවුම්කාරකය පිරිමියාගේ සීමාව ලෙස ද කටයුතු කරයි. ධනවාදී කතිකාව තුළ ස්ත්‍රිය ස්වාමි හැඟවුම්කාරකයක් (S1) වන විට වස්තුව (a) බවට පත් ව ඇත්තේ ස්ත්‍රිය මඟින් ලැබිය හැකි යැයි සිතන ලිංගික විමුක්තිය හෝ පරම තෘප්තිය (ultimate satisfaction) නමැති සාධකය ය. ධනවාදය මඟින් යෝජනා කරන නිදහස මඟින් ද පිරිමියාගේ මෙම ස්ත්‍රී කේන්ද්‍රීය විමුක්තිය තහවුරු කරවන බවක් හැඟ වේ. ලැකානියානු ධනවාදී කතිකාවට අනුව මෙම ලිංගික විමුක්තිය අතිරික්තයක් වන අතර එය සෑම විට ම ආත්මය සමඟ සම්බන්ධ වේ (ඉහත 1 වන රූපයේ a සිට $ වෙත යොමුවුණු විකර්ණාකාර ඊතලය). නමුත් ඉහත රූපයට අනුව එම වස්තුව (a) ට ස්වාමි හැඟවුම්කාරකය (S1) සමඟ සම්බන්ධතාවයක් නො පවතියි. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් එම කතිකාවට අනුව ස්ත්‍රිය මඟින් ලැබිය හැකි යැයි විශ්වාස කළ තෘප්තිය (a) හා ස්ත්‍රිය (S1) අතර කිසිඳු සම්බන්ධතාවයක් නො මැත. එම තෘප්තිය සම්බන්ධ වන්නේ අනෙකා හෙවත් හැඟවුම්කරණ දාමය (S2) ට ය. ඒ අනුව අප වටහා ගත යුත්තේ ස්ත්‍රියට සම්බන්ධ ලෙස සැලකෙන තෘප්තිය පිළිබඳ අදහස ගොඩ නැඟෙන්නේ ස්ත්‍රිය තුළ පවතින නෛසර්ගික ගුණයක් නිසා නො ව හැඟවුම්කරණ දාමය (මාධ්‍ය, වෙළඳ දැන්වීම්, සමාජ මාධ්‍ය තුළ සිටින ලිංගික විශේෂඥයින්) මඟින් බව ය. ඉහත රූප සටහන විමසීමේ දී පෙනී යන තවත් කරුණක් නම් ධනවාදී කතිකාවේ දී ආශාව යන්න විසඳිය හැකි යමක් බවට පත් ව ඇති බව ය. එනම්, ආශාව ආත්මමූලිකත්වයේ ආධාරකය ලෙස සලකනවාට වඩා පිනවිය යුතු අවශ්‍යතාවයක් ලෙස සැලකේ. අනෙකුත් කතිකා හතරට වෙනස් ව ලැකානියානු ධනවාදී කතිකාවේ වම් පස පහළට යොමු වී තිබෙන ඊතලය මඟින් ඒ බව සලකුණු වේ.

ස්‍ත්‍රිය සමග දඹදිව වන්දනාවේ- photo credits by Quentin Meillassoux

වර්තමානයේ ස්ත්‍රිය ද තවදුරටත් පිරිමියා මඟින් විමුක්තියක් අපේක්ෂා නො කරන අතර වෙළඳපොළ මඟින් විමුක්තිය ඇයට ලබා දී තිබේ. ස්ත්‍රියට සාරයක් නො මැතිවීම ම ඇයගේ විමුක්තිය බවට පත් වී ඇත. එබැවින් අද වන විට ස්ත්‍රී සොඬෙකුගේ (womanizer) පොත් එළි දැක්වීමකට පැමිණ ස්ත්‍රියක් දේශනයක් පැවැත්වීම සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත. එය ඇගේ පැවැත්මේ ම එක්තරා කොටසක් බවට පත් වේ. එනම්, ඇය පුරුෂ ෆැන්ටසියක් ලෙස පැවතියා හැකි වුවත් ඇය දෘශ්‍යමානය තුළ තවදුරටත් එම භූමිකාව රඟ දක්වන බවක් පෙනෙන්නට නැත. ඒ අතර ම අප වටහා ගත යුත්තේ පියාගේ භූමිකාවේ කාර්යක්ෂමතාවය පවතින විට ස්ත්‍රීන්, ස්ත්‍රී සොඬුන්ගේ මෙ වැනි ආරාධනා ප්‍රතික්ෂේප කරන බව ය.

මෙවැනි ස්ත්‍රී සොඬුන් තම ක්‍රීඩාවෙන් පරම තෘප්තිය නො ලැබෙන බව හොඳින් දන්නා නමුත් ඔවුහු නරුමවාදී ලෙස එම අඩුව ප්‍රතික්ෂේප කරමින් ලිංගික විමුක්තිය නැමැති සාධකය කෙරෙහි ආශක්ත වෙති. වස්තු ලෝකයක් ඔහු දෙස බලා සිටින බවට වන දැක්මක් ඔහු තමන්ට ආරෝපණය කර ගනියි. “චී ශක්තිය“ මා දෙස සිනාසෙමින් බලා සිටී යන්න ඔහුගේ විශ්වාසය යි. ඔහු විශේෂ පුද්ගලයෙකු ලෙස තම ක්‍රීඩාවට අර්චනභාවයක් ආරෝපණය කරන අතර එමඟින් ඔහු තම ක්‍රියාව සඳහා මාවත හෙළි කර ගනියි. ඔහු ස්ත්‍රියට සැප දෙන ලේඛකයෙකු, දාර්ශනිකයෙකු, රස්තියාදුකාරයෙකු, බේබද්දෙකු, බොහිමියානුවෙකු ආදී විවිධ මුහුණුවරින් ඉදිරිපත් වේ. සැබැවින් ම ලිංගික තෘප්තිය නො මැති හඹා යෑමක් ලෙස ඔහු මෙහි දී ස්ත්‍රිය නමැති හැඟවුම්කාරකය මත පරායත්ත වේ.

ධනවාදී කතිකාව මඟින් අනෙක් ලැකානියානු කතිකාවල මෙන් සමාජ බන්ධනයක් ඇති නො කරන නිසා එය ව්‍යුහාත්මක ව බෙදී පවතියි. එම බෙදීම නිසා එය පවතින්නේ විශ්වවිද්‍යාල කතිකාව හා හිස්ටෙරික කතිකාව අතර දෝලනය වෙමින් ය. එය සිදු වන්නේ කෙසේදැයි අප මීළඟට පැහැදිලි කර ගනිමු.

 

(University Discourse)

2 වන රූප සටහන

 

(Hysteric Discourse)

3 වන රූප සටහන

ඉහත 2 වන හා 3 වන රූප සටහන් ඇසුරින් අපට පැහැදිලි වන්නේ විශ්වවිද්‍යාල කතිකාවේ නිෂ්පාදනය වන බෙදුණු විෂය ($) හිස්ටෙරික කතිකාවේ නියෝජිතයා බවට පත්වන අතර ම හිස්ටෙරික කතිකාවේ නිෂ්පාදනය වන දැනුම (S2) විශ්වවිද්‍යාල කතිකාවේ නියෝජිතයා වන බව ය. එය පුරුෂ හා ස්ත්‍රී ලිංගික තර්කනය ද සිහි ගන්වයි. පුරුෂ දැනුම හා ස්ත්‍රී හිස්ටීරියාව අතර ධනවාදී කතිකාව තුළ සම්බන්ධයක් ගොඩ නැඟෙන්නේ මේ ආකාරයට ය. එබැවින් ධනවාදය පිළිබඳ අසමපාතය අපට ආශාව (හිස්ටෙරික) හා හඹායාම (විපරීතභාවය) අතර විරුද්ධතාවයක් ලෙස ද නම් කළ හැක. ඒ අනුව විශ්වවිද්‍යාල කතිකාව යනු ස්ත්‍රිය මඟින් විමුක්තිය ලැබීමට දරන උත්සාහයක් ලෙස ද අපට නම් කළ හැකි ය. මුහුණු පොතේ දාර්ශනිකයින් වටා කුමුදු මල් පිපෙන්නේ දේශපාලන විභවයක් නිසා නො ව ව්‍යාධිවේදීමය හේතු නිසා බව අප වටහාගත යුත්තේ මේ නිසා ය.

එමෙන් ම මෙම ධනවාදී කතිකාව අද වන විට ස්වාමි කතිකාව බවට පත්වී ඇතැයි යන අදහස ද අප මේ සමඟ ම පැහැදිලි කර ගනිමු. මෙහි දී අප වටහා ගත යුත්තේ ස්වාමි කතිකාව ක්‍රියාත්මක වන්නේ එහි ආධිපත්‍යය අවරෝධනය වෙමින් බව ය. ඒ අනුව සමාජ සම්බන්ධතා ගොඩ නැඟීම වෙනුවට නිදහස් මිනිසුන් හා මිනිස් සම්බන්ධතා භාණ්ඩ අතර සම්බන්ධතා බවට ඌනනය වී ඇත. ස්වාමි කතිකාවේ මෙම අසමත්භාවය නිසා විශ්වවිද්‍යාල කතිකාව ඉස්මතු වී ඇත. එනම්, ස්වාමියාට තම ආධිපත්‍යය අහිමිවීම නිසා ඇති වන වියවුල නිසා එම ආධිපත්‍යය මධ්‍යස්ථ විශේෂඥ දැනුමක් බවට විස්ථාපනය වී නැවත මතු වී ඇත. එබැවින් වර්තමානයේ විශ්වවිද්‍යාල කතිකාව මඟින් ප්‍රදූර්භූත වී සිටින ස්වාමියාගේ උදාන පාඨය අපට මෙසේ සංක්ෂිප්ත කළ හැක. “මම බලය යොදන්නෙක් නො වෙමි, මා වාස්තවික කරුණු ඉදිරිපත් කරන්නෙක් හා දැනුම සපයන්නෙක් පමණ යි.“ ඔවුන්ගේ ක්‍රියා කිසිඳු දේශපාලන ක්‍රියාවකට තුල්‍ය නො වන්නේ එබැවිනි. එහි දී ඔවුන් ක්‍රියාත්මක වන්නේ කොහේ දෝ සිට ඔවුන් දෙස බලා සිටින දිව්‍යමය අණක් ක්‍රියාත්මක කිරීමක් ලෙස ය. ඕනෑ ම මොහොතක, ඕනෑ ම සිදුවීමක දී ඉතා තීරණාත්මක ලෙස මැදිහත් විය යුතු යැයි ඔවුන් සිතන බවක් පෙනෙන්නට තිබෙන්නේ එබැවිනි. තව ද ඉතා සුළු සිදුවීම් පවා බරපතල ලෙස විග්‍රහ කරමින් පැයකට වරක් හෝ මොනවා හෝ ලියන්නට ඔවුන් පෙළඹෙන්නේ මේ නිසා ය. ඔවුන් ව “පැයේ දාර්ශනිකයින්“ ලෙස වුව ද නම් කළ හැකි ය.

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...