පද්ධතියක් ලෙස ගත් විට, ධනවාදය ගෝලීයකරණයේ අවසන් අදියරට පැමිණ ඇත. 16 වන සියවසේ සිට ධනවාදය තම වැඩ බිම ලෙස සලකා ගත්තේ ජාතික රාජ්‍යය නම් නළුවා ය. ධනවාදය තමන්ව 20 වැනි සියවස පුරා පරීක්ෂාවට ලක් කළේ, දේශපාලන දෘෂ්ටිවාදයන් තුනක් හරහා ගමන් කිරීමෙනි. ඒවා නම්, ලිබරල්වාදය, සමාජවාදය සහ ජාතිකවාදය යි. 21 වැනි සියවසේ දී, ඉහත දෘෂ්ටිවාදයන් තුනම අභාවයට ගොස් ඇත. එසේ වී ඇත්තේ, ඉතිහාසය මඟින් ඉහත දෘෂ්ටිවාද තුනම පරීක්ෂාවට ලක් වී ඇති නිසා ය. තවදුරටත්, ඉතිහාසයට ඉහත දෘෂ්ටිවාද තුන සමඟ ඉදිරි ගමනක් නැති වීමට හේතු දෙකක් ඉදිරිපත් කිරීමට හැකි ය.

 

1. ශ්‍රමය මත පදනම් වී භාණ්ඩයක් නිෂ්පාදනය කර ලාභයක් ලැබීම ධනවාදයේ මූලික ලක්ෂණය යි. එනම්, ‘අතිරික්ත වටිනාකම’ පිළිබඳ න්‍යාය යි. අද වන විට, ධනවාදය ලාභය සොයන්නේ භාණ්ඩ නිෂ්පාදනයෙන් නොව මුදල් වලින් මුදල් මැවීමෙනි. එනම්, සමපේක්ෂණය හරහා ය. ගෝලීයකරණයේ සමකාලීන යුගය තුළ දී නිෂ්පාදනය වෙනුවට සමපේක්ෂණය අධිනිශ්චය වී ඇත. එනම්, පීතෘ හැඟවුම්කාරකය වෙනුවට තාක්ෂණය මගින් ජ්වලනය වන සමාජ සබඳතා ක්ෂේත්‍රයක් බිහි වී ඇති අතර එමඟින් මිනිස් සබඳතා නිර්වචන වෙයි. ගෝලීයකරණය නම් ක්‍රියාවලිය මඟින් ‘සමාජ සබඳතා’ විප්ලවීයකරණයට භාජනය වුවත් මිනිසාගේ විඥාණය වටහා ගැනීමේ විද්‍යාවක් තවම නිර්මාණය වී නැත. ඒ සඳහා, විප්ලවවාදී දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය පවතියි. එනම්, සමාජ නිෂ්පාදනය පිළිබඳ න්‍යායක් මෙන්ම අපට ආත්මය පිළිබඳ විද්‍යාවක් ද අවශ්‍ය වෙයි.

 

2. දෙවැනි හේතුව සංකීර්ණ ය. නික් බීම්ස් ඇතුළත් බොහෝ න්‍යායාචාර්යවරුන්ගේ අදහස වන්නේ, පද්ධතියක් ලෙසින් ධනවාදයට ”ගෝලීයකරණයට” පසු පැවැත්මක් නොමැති බවයි. ඔවුන්ට අනුව ගෝලීයකරණය නම් ප්‍රමිතියට පසුව ලාභ වැඩි කර ගැනීමේ මගක් නැත. මේ හේතුව නිසා, තවදුරටත් ධනපති විරෝධයක සාරාත්මක අදහසක් නැත. සරලව කිවහොත්, ධනේශ්වර විරෝධය යන්න ම ධනේශ්වර සටන් පාඨයකි. අද ධනවාදය ව්‍යූහාත්මකව බිඳ වැටී ඇති අතර එය ගොඩනැගීමට මිනිසුන් අවශ්‍ය ය. ධනවාදය දැන් නො පවතින්නක් වන අතර එහි පැවැත්ම සහතික කරන්නේ, මිනිසා විසිනි. පරායත්තතාවය උඩුයටිකුරු වී ඇත. මේ නිසා, ඊනියා ධනපති විරෝධය යනු ම ධනවාදයේම ප්‍රතිපෝෂණයකි.

 

                   ඉහත මූලික පදනමේ සිට නිරීක්ෂණය කර බැලූ විට අපට ධනවාදය පෙනෙන්නේ කෙසේ ද? ”අනුෂ්ක ආරියරත්න” විසින් විවිධ න්‍යායවේදීන් ඇසුරු කොට ගෙන පහත රචනාව රචනා කර ඇත්තේ, 21 වැනි සියවසේ අපගේ දේශපාලනය දිශානත විය යුතු දිශාවයි. නූතන ධනවාදය තුළ පොඩි ළමයින් සේ සෙල්ලම් නො කර එය ඉක්මවා යා හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ ඉඟිය ද මෙම ලිපිය තුළ අන්තර්ගත ය. 

 

PPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

ධනවාදී සමාජ ක්‍රමය විසින් උභතෝකෝටික, අවිනිශ්චිත, බලාපොරොත්තු විරහිත තත්වයක් එයට කිසිසේත් වැදගත්කමක් නැති මිනිස් ජීවිත තුළ උදාකර ඇත. ප්‍රාග්ධනය ස්වයංක්‍රීය ගුණනය වීම සහ එම ක්‍රියාවලියට සම්බන්ධ වීම හරහා මිනිසුන්ට තම තමාගේ ජීවිත සුන්දර ලෙස ගොඩනගා ගැනීමට හැකිය යන ‘ඊනියා ධනපති මතය’ ව්‍යාජයක් බව ස්වභාවධර්මය විසින්ම සනාථ කර ඇත. එහෙත් ප්‍රග්ධයට මීළඟ පියවර තැබීම සදහා එයට ජීවය දෙන මිනිස් ජීවිත වල මෙම ලුබ්ධිමය කොටස නව ආකෘතියකට නැවත  සම්බන්ධ කරගත යුතු වේ. ප්‍රග්ධනයේ ගතිකත්වය අපට වඩා විප්ලවීය බැවින් එයට ප්‍රතිසංවිධානය වීම අපහසු ක්‍රියාවලියක් නොවේ. ධනවාදයේ ගැටලුව වන්නේ එයට පසමිතුරුතාවය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැකිව යම් තැනකදී කඩා වැටීමට ලක් වීමයි. ධම්මික පෙරේරා වැනි ඊනියා ධනපතියෙකුට මනුෂ්‍යත්වය වැනි කොටසක් නොමැතිව ආර්ථිකය වර්ධනය කිරීම වැනි මාතෘකාවක් පිළිබදව ඍජුව කතා කිරීමට නොහැකි වන්නේ ප්‍රාග්ධන ක්‍රියාවලිය තුළ සැබෑ ලෙසම මනුෂ්‍යත්වය වැනි සදාචාර නැතත් එය ඍජුව කතා කිරීමට තරම් ධෛර්ය ඔහුට නොමැති නිසාවෙනි. ධනපතියෙකු පවතින සමාජ දෘෂ්ටිවාදයේ අදහස් හා තම ව්‍යාපෘතිය පටලවා ගන්නේ නම් ඔහුට දක්ෂ ඔට්ටු දමන්නෙකු විය නොහැක. පැවති තත්වය තුළදී අති සාර්ථකව හෝ යන්තමින් හෝ නොනැසී පැවති ආර්ථික මර්මස්ථාන ලෙස හදුන්වන සියලු සමාගම්ල ආයතන, නිෂ්පාදන ආදිය පිළිබද දැන් දේශපලනිකව සිතා බැලිය යුතුය. මන්ද ගගෙන් එතෙර වූ පසු බෝට්ටුව කරේ තියාගෙන යාමට තරම් අප නිවට නොවිය යුතු නිසාවෙනි. ප්‍රාග්ධනයට  ස්වයංක්‍රීයව ගුණනය වීමට ඉඩ දීමට නම් ඊට අරක්ගත් බහිරවයන් වැනි මිනිස් ආත්ම ඉන් ඉවත් කල යුතුය. ප්‍රග්ධනයේ දෘෂ්ටිකෝණයෙන් කවුරුන් හෝ වේවා මිනිසුන් යනු ඉලක්කම් පමණි. ප්‍රාග්ධනය පිළිබද අවබෝධයක් නොමැතිව රාජ්‍යටත් ස්වාධීනව ගොස් එය හැසිරවීමට යාමෙන් බොහෝ දෙනා අද අන්ත අසරණ තත්වයකට ඇද වැටී ඇත.

අපගේ දේශපාලනය ලද බිදවැටීම් වලින් පසුව මීට වසර පහකට පමණ පෙර යලි ආරම්භ කරන ලද්දේ ‘රාජ්‍ය සහ පක්ෂය ගොඩ නැගීමේ දර්ශනය’ යන සටන් පාඨයෙනි. ආරම්භයේදී බොහෝ දෙනාට අවබෝධයක් නොමැති වුවද එදා සිට මේ මොහොත දක්වා අපගේ ප්‍රයත්නය කුමක්ද යන්න එමගින් මනාව ඉදිරිපත් කරනු ලබයි. මේ දක්වා අප සිදු කරනු ලැබූ සියලු ව්‍යපෘති හරහා උත්සහ කරන ලද්දේ රාජ්‍ය සහ පක්ෂය ගොඩනැගීමේ විප්ලවීය මාවත සොයා ගැනීමටය. ධනවාදය අවසන් කලද සමාජ පසමිතුරුතාවය තුරන් කල නොහැක. ධනවාදය විසින් ගොඩනගන ඊනියා  සදාචාර දෘෂ්ටිවාදයට එරෙහිව අපගේ ආස්ථානය වන්නේ සියලු සදාචාරයන් අවසන් වන සන්ධිස්ථානය යි. අපට සැබෑ පසමිතුරුතාවය මුණ ගැසෙන්නේ එතැනදීය. රාජ්‍ය සහ පක්ෂය ගොඩනගනු ලබන්නේ නව පුරවැසියන් පිරිසකට මිස  ධනවාදය තුළ නව ස්වාමියෙක් ඉල්ලා සිටින ඊනියා වාමාංශිකයන්ට හෝ ධනවාදය තුළ අසාර්ථක වන  කම්මැලියන්ට පිහිට වීමට නොවේ. වාමාංශික-දක්ෂිනාංශික විභේදනය අත්හිටවන අප ඉහත දෙකොට්ඨාශයට ද යෝජනා කරන්නේ අප ගොඩනගනු ලබන රාජ්‍යයේ පුරවැසියන් බවට පත් වන ලෙසයි. අපට මේ කිසිවෙකුගේත් දාර්ශනික ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, ව්‍යාපාරික ප්‍රශ්න වලට සවන් දීමට හෝ ඔවුන් කර ඇති දේවල් මොනවාදැයි අසා සිටීමට අවශ්‍යතාවයක් නැත. ඒ වෙනුවට අප විසින් ගොඩ නගන ලද පක්ෂයක් තිබේ. ගෝඨාභය රාජපක්ෂට ජන්දය දුන් සියලු දෙනා ඔහුගෙන් දාර්ශනික ප්‍රශ්න ඇසුවේ නැත. නමුත් අප පක්ෂය සමග සම්බන්ධ වීමට එන බොහෝ දෙනාට දාර්ශනිකයන්ටත් නැති ප්‍රශ්න තිබේ. ඇතැමෙකුට අපේ වැඩපිළිවෙල පොතක ලියා දිය යුතුය. ඇතැමෙකු අහවල් දාර්ශනිකයාගේ අහවල් න්‍යාය ගැන තවම අප පැහැදිලි කර නැති නිසා ඊට පසු අප සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටී. තවත් අයෙකු අපේ වැඩපිළිවෙල ගැන කවදාවත් නොඑන අවබෝධයක් එන තුරු වැඩේට බහින්නේ නැතුව සිටී.

ලංකාව වැනි කුඩා රටක් වෙනස් කිරීමට දහස් ගණන් ඔළුගෙඩි එකතු කල යුතු නැත. ලංකාව පාලනය කරන පක්ෂයකට වැඩේ හරියට තේරෙන දස දෙනෙකුත් වැඩි තරම් ය.නමුත් එතැනට පැමිණීම අතිශයින්ම දුෂ්කරය. අප සිතන ආකාරයට අප ඒ ගමනේ බොහෝ දුර පැමිණ ඇත. පවතින ක්‍රමය ගැන අප පිටට කියන දෙයට වඩා අවබෝධයක් පක්ෂය තුළ පවතී. එමෙන්ම ලංකාව වෙනස් කිරීම සදහා පැහැදිලි සිතියමක් අපට ඇත. එය පොතක ලියා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෙස එලි දැක්වීමට අපට අවශ්‍ය නැත. ඒ වෙනුවට අප සොයන්නේ ධනවාදී ක්‍රමයට අභියෝගය කල හැකි විප්ලවීය මොහොත උදා කර ගැනීම පිළිබදවය. විප්ලවයට පසු රට වෙනස් කිරීම පහසුය. රට වෙනස් කිරීමට යෝජනා අපට ඕනෑ තරම් සොයා ගත හැක. යෝජනා, අදහස් යනු අපට මේ මොහොතේ ඇසෙන අප්‍රසන්නම වචන දෙකකි. යෝජනා අදහස් වලින් පිරුණු මිනිස්සු වැඩේ කරන්න යන මොහොතේදී සොයා ගැනීමටවත් නොහැක. අවිඥානය අන් සියලු දෙයටත් වඩා ප්‍රභල යැයි අප පවසන්නේ මේ නිසාය.

රාජ්‍ය සහ පක්ෂය ගොඩ නැගීමේ අරගලයේදී අපට සැබෑ ලෙස අභිමුඛ වන සතුරා හෝ මිතුරා වන්නේ ධනවාදයයි. ධනවාදයේ තර්කනයට ඉහලින් පක්ෂයේ දේශපාලන දර්ශනයේ ආධිපත්‍ය තහවුරු කර ගැනීමට අපට හැකි නම් අප මේ අරගලය ජය ගන්නෙමු. එය දේශීය මෙන්ම ගෝලීය මට්ටමේ ජයග්‍රහණයක්ද විය හැක. මේ තත්වය තේරුම් ගත හැකි ඕනෑම කෙනෙකුට අප සමග සම්බන්ධ විය හැක. මේ ගෙවී යන්නේ අපගේ අරගලයේ අවසාන වසර කිහිපයයි. මහජනයාට ඇත්තේ එක් තෝරා ගැනීමක් කිරීමට අවස්ථාව පමණි. ඔවුන් අප තෝරා ගන්නවා නම් එය ඔවුන් තමන්ගේ වර්තමාන පැවැත්ම විනාශ කර ගැනීම වෙනුවෙන් කරන තෝරා ගැනීමකි. එම විනාශයෙන් පසු ඔවුන්ට අලුත් දවසක් උදා විය හැක. ඉදිරි වසර කිහිපය තුළ අපගේ අරගලය ජය නොගන්නේ නම් අපගේ දේශපාලනය ඉන් නිමාවට පත් වේ. දාර්ශනික පසුබිමක ගොඩනැගෙන පක්ෂයක්  විසින් පාලනය කරනු ලබන  රටක පුරවැසියෙකු වීම තරම් වටිනා වෙනත් දෙයක් ඔබගේත් මාගේත් ජීවිත වල තිබිය හැකිද? 

ධනපති අවිඥානය

 

හැදින්වීම

මාගේ ඉගැන්වීම් තුළ ගැටලුවට පිළිතුරක් යෝජනා නොකරයි.

– ලැකාන්

                                                                 ලැකාන්ගේ ඉගැන්වීම් සදහා කාල් මාක්ස් ගේ න්‍යායන් වල බලපෑමක් ඇත. ප්ලේටෝල ඩේකාට්ස් සහ හේගල් ට අමතරව මාක්ස්ගේ ඉගැන්වීම් වල බලපෑමක් සිදුවීම තුළ ලැකාන් තවත් ෆ්‍රොයිඩ්යානු- මාක්ස්වාදී දිශානතියක් සහිත චින්තකයෙකු යැයි හෝ වාමාංශික චින්තකයෙකු යැයි ලේබල් කල හැකිද?

1960 දශකයේ ශිෂ්‍ය සහ කම්කරු අරගල වලදී ලැකාන්ගේ ආස්ථානය තේරුම් ගැනීම වැදගත් වෙයි. මිචෙල් ෆුකෝ, ඩේලුස්-ගටාරි වැනි සමකාලීන දාර්ශනිකයන් කොමියුනිස්ට් විප්ලවයක් සදහා සටන් කිරීමට පොරොන්දු වන අතර ලැකාන් එම බුද්ධිමය ප්‍රවාහයට එරෙහිව යමින් තමන් ලිබරල් යැයි හදුන්වාගත්තේය. එසේම අරගලයට සම්බන්ධ වූ ශිෂ්‍යන් යනු අලුත් ස්වාමියෙක් ඉල්ලා සිටින හිස්ටෙරිකයෙන් බව ලැකාන් පෙන්වා දෙන ලදී. එසේම විප්ලවීය- Revolution යන පදයෙහි දේශපාලනික  තේරුම වෘත්තයක් වටා චලනය වීම යන තේරුමට ලඝු කරන ලදී. ශිෂ්‍යන් ඉල්ලා සිටින්නේ ධනවාදී පරිවර්තනය ‘දැනුමේ වෙළදපලක්’ දක්වා පරිවර්තනය කරගැනීම බවත් එමගින් ‘දැනුමේ සමාජයක්’ ගොඩනැගීමට ඔවුන්ට අවශ්‍ය බවත් ලැකාන් පෙන්වා දෙයි. මේ අනුව ලැකාන් විප්ලවවාදී චින්තකයෙකුට වඩා නව චින්තකයෙකු බවට පත් වෙයි.

තමාගේ ඉගැන්වීම් සහ මාක්ස් ගේ ඉගැන්වීම් අතර සම්බන්ධයක් ඇති බව ලැකාන් විසින්ම හදුනා ගන්නා ලදී. එසේම ඔහුගේ  ඉගැන්වීම් වල වඩා විනාශකාරී දෙය වන්නේ ඔහු ගැටලුව -සමාජ පසමිතුරුතාවය – සදහා පිළිතුරක් යෝජනා කරන්නා සේ පෙනී නොසිටීමයි. ඇතැම් මනෝවිශ්ලේෂකයන් ලැකාන් විසින් විප්ලවවාදී ව්‍යාපාර වලට ගෙනෙන ලද විවේචනය ගෙනහැර දක්වමින් මනෝවිශ්ලේෂණය තුළ දේශපාලනික කාරනා සාකච්ජා නොකිරීමේ නරුමවාදී තැනකට පැමිණෙයි. මේ නිසා මෙතැන වැදගත් ගැටළුවක් ඇත. මනෝවිශ්ලේෂණය විසින් රැගෙන යන පණිවුඩය මගින් වාමාංශික  දේශපාලනය විසින් ධනවාදී සුරකෑමේ ආකෘතියට එරෙහිව ගෙනෙන සටන ප්‍රශ්න කරයි නම්  මනෝවිශ්ලේෂණය තව දුරටත් දේශපාලනිකව වැදගත්කොට සලකා බැලිය යුතු යැයි තර්ක කරන්නේ කෙසේද? ලැකාන්ගේ ”ව්‍යුහාත්මක මනෝවිශ්ලේෂණය” මාක්ස්ගේ ‘දේශපාලන -ආර්ථික’ [Political Economy] විශ්ලේෂණය සමග සම්බන්ධ කරන්නේ ඇයි? මාක්ස්ගේ ඉගැන්වීම් ඔහුට පක්ෂ සහ විරුද්ධ දෙපාර්ශවය විසින්ම එකග වන පරිදි ගැටලුවට පිළිතුරක් යෝජනා කරන සුසමදර්ශී කතිකාවකි.

ලැකාන්ගේ ඉගැන්වීම් ෆ්‍රොයිඩ් වෙත නැවත ගමන් කිරීම -return to Freud- යන ජනප්‍රිය ආදර්ශ පාඨය සමග සම්බන්ධ වේ. 1960 දශකයේ ලැකාන් ෆ්‍රොයිඩ් වෙත දෙවන ආගමනයක් සදහන් කරන අතර එතනදී ඔහු ‘ව්‍යුහාත්මක වාග්විද්‍යාව’ සොශියර් සහ ජැකොබ්සන්- මාක්ස්ගේ දේශපාලන ආර්ථික විද්‍යා විචාරය සමග සම්බන්ධ කරමින් නව කියවීමකට එලබෙයි. මෙම නව වර්ධනය ව්‍යුහවාදීන්ගේ ව්‍යාපෘතිය රැඩිකල් කරණයකට ලක් කරන ලද අතර එමගින් මාක්ස් සහ ෆ්‍රොයිඩ් පිළිබද  සහ ඔවුන්ගේ ක්‍රමවේදය, සංකල්ප සහ අරමුණු පිළිබඳ වාමාංශිකයන් මෙන්ම දක්ෂිනාංශිකයන් විසින් ගොඩනගන ලද එකාකෘත මහජන ආකල්ප බැහැර කරන ලදී. ඇතැම් වාමාංශිකයන් මනෝවිශ්ලේෂණයට එරෙහිව එල්ල කරනු ලබන චෝදනාවක් වුයේ එය බුරුෂුවා පන්තියේ මානසික සුවය සදහා පමණක් සේවය කරන බවයි. ෆුකෝ, ගටාරි, ඩේලුස් යන දාර්ශනිකයන් ඔවුනොවුන් අතර ඇති දාර්ශනික වෙනස්කම් පසෙකලා එකමුතුව මනෝවිශ්ලේෂණයට එරෙහිව පහර දෙන්නට විය. ඔවුන් ගෙනා විවේචනයක් වුයේ ආශාව සාමාන්‍යකරණ කිරීම මගින් මනෝවිශ්ලේෂණය ධනවාදී අධිපත්‍යමය ආකෘතියක් ප්‍රතිනිෂ්පාදනය කරන බවයි. ඩේලුස් සහ ගටාරි මතුකරන ලද ආකාරයට ආශාව නියුරෝසියකරණය කිරීම, මානසික ව්‍යකුලත්වය ඊඩිපස් ත්‍රිකෝණයට ලඝු කිරීම ආදිය යනු ආශාව ධනවාදී පුරුෂමුලික අණසක තුළ තබා ගැනීමේ දෘෂ්ටිවාදී ක්‍රියාවලියක සුසමදර්ශයකි. කෙසේවෙතත් ලැකාන් දිගින් දිගටම මෙම විවේචන වලට විරුද්ධව සටන් කල අතර ඊඩිපස් සංකීර්ණයේ ඇති මිත්‍යාමය තත්වය පැහැදිලි කිරීම සහ ෆැල්ලසයේ ප්‍රාථමික බව පිළිබඳ තිබු කිරුල ඉවත් කිරීම ෆ්‍රොයිඩ්යානු විවේචකයන් ෆැල්ලසය ශිශ්නයට ලඝු කිරීමට විරුද්ධ වීම – එමගින් ෆ්‍රොයිඩ්යානු මනෝවිශ්ලේෂණය ව්‍යාකුල කරවන බව ප්‍රකාශ කරයි – ආදියට උත්සහ දැරීය.

නිදහස් වෙළදපල පිළිබද දෘෂ්ටිවාදීන්, කොගිටෝ හැසිරීම් පිළිබද චිකිත්සකයන් සහ ස්නායුවේදීන් විසින් මනෝවිශ්ලේෂණය යනු කාලය සහ මුදල් වියදම් වන භාවිතාවක් බව ප්‍රකාශ කරයි. එය සමාජයට සහ  වෙළදපලට අවශ්‍ය අනුගතවන සහ නම්‍යශීලීවන  වැඩකරන ජනතාවක් ගොඩනැගීමට අසමත් වෙයි. මේ අනුව වාමාංශිකයන්ට අනුව මනෝවිශ්ලේෂණය සාමාන්‍යකරණය සිදු කරනු ලබන අතර ලිබරල්වාදීන්ට අනුව එය අවශ්‍ය තරම් සාමාන්‍යකරණය සිදුනොකරන නිසා බැහැර කල යුතුය. කෙසේ වෙතත් මනෝවිශ්ලේෂණය විසින් ”ධනපති ආත්මීයත්වය” නිෂ්පාදනය කිරීම පිළිබදව ඉතා වැදගත් ඥානයක් ලබා දෙමින් එම ආත්මීයත්වය රෝගලක්ෂනාත්මක ආස්ථානයක ස්ථානගත වන බව පෙන්නුම් කරයි.

මාක්ස්ගේ ව්‍යාපෘතිය එක විට යුතෝපියානු සහ විනාශකාරී බවට වූ විවේචන බිහි විය. මාක්ස්ගේ ව්‍යාපෘතිය ඇතැමුන් අර්ථ දැක්වුයේ ධනපති නිෂ්පාදන මාදිලිය දියකර හරින පණිවුඩයක් රැගෙන යන ආගමක් ලෙස සහ අවසානයේදී එය සියලුම ආකෘති වල සමාජ පසමිතුරුතාවයන් බැහැර කිරීමට පොරොන්දු වන දෙයක් බවයි. ”ප්‍රාග්ධනය” පොතේ සදහන් නිදහස් මිනිසාට සම්බන්ධ කරමින් මාක්ස් ප්‍රකාශ කරන්නේ ආත්මීය සහ සමාජීය පරාරෝපනයෙන් ඉවත් කරන ලද, මැදිහත් වීමකින් තොර අව්‍යාජ මිනිසෙකු බිහි කිරීම බව ඇතැමුන් පවසයි. ෆ්‍රොයිඩ් සහ මානවවාදී මාක්ස්වාදීන් මාක්ස්ගේ ව්‍යාපෘතිය හදුනා ගන්නේ එලෙසය. මාක්ස් කොමියුනිස්ට්වාදී ලෝක දැක්මක් ඉදිරිපත් කරන්නෙකු නොවේ. එසේම ප්‍රාග්ධනය කෘතිය තුළ 11 වන ෆොයර්බාග් තිසීසය පිළිබද සම්ප්‍රදායික කියවීමද ප්‍රතික්ෂේප කරයි.

අර්ථදැක්වීමේ සිට දේශපාලන ක්‍රියාව වෙත යන මාවතේදී දාර්ශනික, දේශපාලනික සහ ආගමික ලෝක දැක්මක් නිෂ්පාදනය වන තැනට ගමන් කිරීම සිදුවන බව මාක්ස් තම සංකීර්ණ ව්‍යාපෘතිය තුළ පෙන්වා දෙයි. ෆ්‍රොයිඩ් පසුකාලීනව මෙයට යථාර්ථයේ හිස්තැන් පිරවීමක් යැයි වූ විවේචනයක් ගෙනෙනු ලබයි. භෞතිකවාදී එළඹුමේදී පවතින ධනවාදී ක්‍රමය තුළ ව්‍යුහාත්මකව පවතින හිස්තැන් සහ ඒවා අවුරාලනු ලබන අකාරය පෙන්වාදෙන අතර ඒවා වෙනස් කිරීම නම් ගැටලුවට ආමන්ත්‍රණය කරයි. මෙතනදී මැදිහත් වීමක් සිදු කරන ලැකාන් පෙන්වා දෙනු ලබන්නේ දේශපාලනිකව රැඩිකල් නොවන මාක්ස් කෙනෙකු පිලිබදවයි.

මනෝවිශ්ලේෂණය ආගමික පණිවුඩයක් හෝ ලෝක දැක්මක් නොවේ. මාක්ස්ගේ දේශපාලන ආර්ථික විචාරය මගින් කොමියුනිස්ට් සමාජයක් ගොඩනගා ගැනීමේ එතිහාසික අවශ්‍යතාවයක් මතු නොකරයි. එසේම එය ධනපති රකුසන්ට බිලි වූ ජීවී ශ්‍රමය නිදහස් කර ගැනීමක් සදහා වූ ජීවාත්මවදී උත්සාහයක්ද නොවේ. මාක්ස්ගේ ගොතික් රූපිකයක් වන ධනවාදයේ නිශේධනාත්මක අවතාරය සහ ශ්‍රමිකයන් ගේ නිර්මාණශීලී විභවතාවය අපව මුලා කරවයි. මාක්ස්ගේ දේශපාලන ආර්ථික විචාරය ආරම්භ වන්නේ ”වටිනාකම” පිළිබද පරීක්ෂා කිරීමෙනි. ඒ තුළ දුෂ්කර තර්කනයක් ඇත. ප්‍රාග්ධනය කෘතියේ වඩාත් හේගලියානු කොටස එයයි. වටිනාකම් ආකෘතිය- Exchange Value- විශ්ලේෂණය කරන මාක්ස් විප්ලවීය විභවතාවය සුවිශේෂී සවිඥානිකත්වයක් හෝ වැඩකරන පන්තිය මත ස්ථාන ගත නොකරයි. නමුත් ව්‍යුහාත්මක නිශේධනය තුළ ශ්‍රම බලය යනු ධනපති නිෂ්පාදන මාදිලියේ සියලුම ප්‍රතිවිරෝධයන් එකතු වන ස්ථානයයි. එසේම ප්‍රග්ධනයේ පෙනීසිටීම ජීවාත්මවාදී ෆැන්ටසියකට සම්බන්ධයක් දක්වයි. (මුදල් මවන මුදල්). ඒ තුළ ඇති නිෂේධනයක් නොමැති ආත්මීයත්වය හදුනාගැනීම සදහා මනෝවිශ්ලේෂණය උපකාරී වේ. මාක්ස් එකිනෙකට වෙනස් එහෙත් එකිනෙක හා ගැඹුරින් සමබන්ධ වී ඇති තලයන් දෙකක් මත නිතරම ගමන් කරයි. ඉන් පළමුවැන්න වන්නේ නිෂ්පාදන තර්කනයයි. ඉන් පැහැදිළි කරන්නේ ව්‍යුක්ත සහ එකිනෙක අතර උදාසීන සම්බන්ධයක් ඇති වටිනාකම් විසින් සමාජ ප්‍රතිවිරෝධතාවයන් නිෂ්පාදනය කිරීම සහ ඒවා පවත්වා ගැනීමට වටිනාකම් සහය වන්නේ කෙසේද යන්නයි. ඉන් දෙවැන්න වන්නේ ෆැන්ටසි තර්කනයයි. එමගින් පරීක්ෂා කරන්නේ වාස්තවික ද්‍රව්‍ය ප්‍රතිනිෂ්පාදනය මගින් සිදුවන්නේ පවතින ව්‍යුහාත්මක පසමිතුරුතාවයන් මර්දනය කිරීම, අපගමනය කිරීම සහ ව්‍යාකුල කිරීම බවයි. මාක්ස්ගේ විචාරය පිළිබද අදහසේ මුලධාර්මික කොටස් දෙක වන්නේ නිෂ්පාදන තර්කනය සහ ෆැන්ටසි තර්කනයයි.

ධනවාදය විසින් සමකාලීනව නිෂ්පාදනය කරනු ලබන සහ අවුරාලනු ලබන නිශේධනය යලි හදුන්වාදීම යනු සමාජ වෙනසක් පිළිබදව සිතීම ආරම්භ වීමේ මුලික කොන්දේසියක් වන අතර වටිනාකම් ආකෘතිය නැති නව ආත්මීයත්වයක් එමගින් නිෂ්පාදනය වෙයි. වටිනාකම් වල ප්‍රභවයක් ලෙස ශ්‍රම බලය නොමැති විට ධනපති නිෂ්පාදන මාදිලියක් නොමැති වන්නා සේම ශ්‍රම බලය අවුරාලනු ලබන්නේ නැති විට සමාජ සබදතා වල අර්චනකාමයක්ද නැත. මින් අදහස් වන්නේ ධනපති නිෂ්පාදන මාදිලියේ සාමාන්‍ය ව්‍යුහය තුළ ශ්‍රමය ස්ථානගත කිරීම මගින් මාක්ස් ආත්මය පිළිබද න්‍යායක් ඉදිරිපත් කිරීමය. ලැකාන්ට අනුව මෙම නිශේධනාත්මක අත්මීයත්වය යනු අවිඥානික ආත්මයයි. ධනවාදයේ ව්‍යුහාත්මක විසංවාදය විශ්ලේෂණය කිරීම මගින් ආත්මය පිළිබද නව අවබෝධයක් මාක්ස්ගේ ප්‍රාග්ධනය මගින් ලබා දෙයි. අල්තූසර් මතු කරන ලද ආකාරයට මෙම නව ඉගැන්වීමත් සමග ආත්මයේ මානුෂික සහ කොගිටෝමය අවබෝධය බැහැර වෙයි. භෞතිකවාදීන් ආත්මීයත්වය ‘සවිඥානිකතත්වයට’ ලඝු කරයි.

සෑම ‘අහිංසක’ හුවමාරු ක්‍රියාවක් තුළම ක්‍රියාත්මක වටිනාකම් වල ස්වාධිකාරය මාක්ස්ගේ විචාරයේ ප්‍රධාන මුලධර්මයක් වේ. පාරිභෝගික භාණ්ඩයේ ද්විත්ව ගති ලක්ෂණය තීන්දු කරන හුවමාරු වටිනාකම සහ ප්‍රයෝජ්‍ය වටිනාකම අතර පරතයෙන් මාක්ස් ඉවත්වන විට ඔහු ව්‍යුහවාදයට ලගාවීමක් අපේක්ෂා කරයි. ඔහු වෙනස්කම් වල පද්ධතියක් හුදකලා කරයි. නිෂ්පාදන මාදිලියේ වෙනස්කිරීම යනු නිෂ්පාදනය සංවිධානය වීම තුළ කරනු ලබන ව්‍යුහාත්මක විස්ථාපනයකි. ආත්මය පිළිබද අදහසද මෙම නිශ්චිත සන්දර්භය තුළ හදුනා ගත හැක. ආත්මය යනු බුරුෂුවා කාණ්ඩයට අයත් යැයි සලකා ප්‍රතිෂේප කිරීමට වඩා මාක්ස්ගේ ඉගැන්වීම් මගින් ආත්මයේ ප්‍රභන්ධය සහ දේශපාලනයේ සැබෑ ආත්මය අතර වෙනස්කම හදුනාගැනීමට අවශ්‍ය උපකරණ සපයනු ලබයි. මින් පළමුවැන්න ව්‍යුක්තකරණය ලෙස විවේචනය කරන අතර දෙවැන්න නිශේධනය ලෙස හෙළිදරවු කරයි. ආත්මය පිළිබද භෞතිකවාදී න්‍යාය තුළ ව්‍යුක්තකරණය සහ නිශේධනය අතර ආතතිය මුලික වෙයි. නමුත් මෙහිදී මාක්ස්ගේ න්‍යාය ඒකීය දෙයකි. සවිඥානික ආත්මය දේශපාලන ආත්මය විය නොහැක. මීට ප්‍රතිපක්ෂව භෞතිකවාදී චින්තනය විසින් දේශපාලන ආත්මය විකේන්ද්‍ර කිරීම, අපුද්ගල කිරීම සහ මනෝමය නොකිරීම පමණක් සිදුකරයි. මෙතැනදී ලැකාන් මැදිහත් වන අතර ඔහු පෙන්වා දෙන්නේ මාක්ස් රෝග ලක්ෂණය නම් අදහස උත්පාදනය කරන බවයි.

මාක්ස් යනු රෝග ලක්ෂණය සොයා ගන්නා ලද ප්‍රථම න්‍යායවේදියා යන්නෙන් පිළිබිඹු වන්නේ නිර්ධනයා යනු අවිඥානයේ ආත්මය බවයි. නිර්ධනයා යන්නෙන් අනුභූතික සමාජ පන්තියකට වඩා දෙයක් නියෝජනය වේ. එමගින් ධනවාදයේ සාර්වත්‍රික ආත්මීය ආස්ථානය පැහැදිලි කරයි. නමුත් නිර්ධනයා රෝග ලක්ෂණය වන විට ධනවාදී ක්‍රමයේ සාර්වත්‍රිකය වන පාරිබෝගික භාණ්ඩ ආකෘතිය ඔහු විසින් දේශපාලන අවකාශයකදී ප්‍රතික්ෂේප කරනු ලබයි. නිර්ධනයා හුදු අනුභූතික පන්තියක් ලෙස නොගෙන අවිඥානික ආත්මය ලෙස සලකන විට එමගින් පන්ති අරගලයද වෙනස් ආකාරයට වටහා ගැනීමට ආලෝකයක් සපයයි. පන්ති අරගලය යනු සැබෑවටම පවතින පන්ති දෙකක් අතර අරගලයක් නොවේ. එමගින් සමාජීය සහ ආත්මීය යථාර්තයන් තුළ ඇති ව්‍යුහාත්මක ප්‍රතිරෝධය පිළිබිඹු කරයි. පන්ති අරගලය හෝ අවිඥානය මගින් පාරඓයිතිහාසික සාරයක් ගම්‍ය නොකරයි. පන්ති අරගලය සහ අවිඥානයෙහි සංගතභාවය රදා පවතින්නේ පවතින ක්‍රමයේ ප්‍රතිනිෂ්පාදනයත් සමග දෘශ්‍යමානය විකෘති කිරීම තුළය. 

නිශේධනය සහ ධනාත්මකබව, මියගිය සහ ජීවී ශ්‍රමය, වියුක්ත සහ සංයුක්ත ව්‍යුහය, ව්‍යුහය සහ ඥානය ආදී යුග්ම වල සරල ප්‍රතිවිරෝධය ලකාන් සහ මාක්ස් ප්‍රතිෂේප කරයි. අවිඥානික ශ්‍රමයේ නිර්මානශිලීත්වය සහ ජීවී ශ්‍රමය නිදහස් කර ගැනීමේ ෆ්‍රොයිඩ්යානු මාක්ස්වාදී උත්සාහයන් අසාර්ථක වීම මගින් මෙවැනි නිගමනයන් යෝජනා කරයි; ප්‍රාග්ධනය යනු නිර්මානශිලීභාවයයි, ප්‍රාග්ධනය යනු ජීවිතයයි, ධනවාදය යනු ජීවත්මවාදයේ සුවිශේෂී ආකෘතියයි. ආත්මීය සහ සමාජ පසමිතුරුභාවය ව්‍යාකුල කිරීමට සහ විකෘති කිරීමට ප්‍රාග්ධනයට ඇති ශක්‍යතාවය, එනම් ප්‍රග්ධනයේ ගතිකත්වය සහ අනුවර්තනය වීම තුළ රෝග ලක්ෂනාත්මක හෝ විනාශකාරී ආත්මයක් බිහිකරනවා යයි තේරුම් ගැනීම හරහා ප්‍රාග්ධනය යනු නිෂේධනයක් නොමැති ජීවයක් ය යන අදහසට පැමිණිය හැකිය. වඩා නිවැරදිව කිවහොත් ධනපති ක්‍රමයේ කාර්යක්ෂමතාවය සහ තර්කනය එවැනි ජීවයක් සහිත ආත්මීයත්වයක් සහ සමාජයක් පිළිබද ෆැන්ටසියක් මත රදා පවතී. මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය පාරිබෝගික භාණ්ඩය, මුදල් සහ ප්‍රාග්ධනය යන ප්‍රධාන ධනපති ව්‍යුක්තකරණයන් තුනෙහි නෛසර්ගික නිර්මානශිලීභාවයන් හි  උපන්‍යාස කරා දිශානත වේ. ‘අර්චනකාමය’ විචාරය කිරීම යනු ධනපති ජීවාත්මවාදය විවේචනය කිරීමයි. ජීවාත්මවාදය යනු ක්ෂණිකව ඇති වන ධනපති දර්ශනයකි.

ආර්ථික ලිබරල්වාදයේ මුලධාර්මික සංකල්ප හතර වන නිදහස, සමානාත්මතාවය, දේපල සහ පුද්ගල අයිතිය පිළිබද මාක්ස් විසින් ගෙනෙන දෙය සිහිපත් කල විට අපට නිශේධනය නොමැති ආත්මීයත්වයක් සහ සමාජයක් පිළිබද ෆැන්ටසියක් හමු වේ.

ෆ්‍රොයිඩියානු මාක්ස්වාදීන්ට අනුව ධනවාදයේ කාර්යක්ෂමතාවය රැදී ඇත්තේ ලිංගිකත්වය, මර්දනය කිරීම, හබායාම් වැලැක්වීම සහ ආශාව නියිරෝසීයකරණය හේතුවෙනි. සමාජ පීඩනය මර්දනයේ මානසික යාන්ත්‍රණයට සමාන වේ. පන්ති අරගලය මානසික ගැටුමේ බාහිර ආකෘතිය වේ. මේ අතර ධනපති නිෂ්පාදන මාදිලියේ තහනම් යාන්ත්‍රණයට ලුබ්ධිමය ශක්තිය ඇතුළු වීම තුළ ආත්මය පරාරෝපනයට ලක් වේ (කප්පාදුව, පාරිභෝගික භාණ්ඩකරණය). මෙහිදී අප මතක තබා ගත යුත්තේ ෆ්‍රොයිඩ්යානු මාක්ස්වාදීන්ගේ අර්ථකතන මුලිකව පදනම් වන්නේ ෆ්‍රොයිඩ් ගේ ‘දෙවන මාතෘකාව’ (id, ego, superego) මත බවයි. ඒ තුළ ආත්මයේ පැවැත්ම පෙන්වීම සදහා කරනු ලබන උත්සාහය තුළ ප්‍රොබ්ලමැතිකයක් ඉතුරු කරන අතර ඊට ජීවවිද්‍යාත්මක රුපික ගෙන එමගින් ජීවාත්මවාදී මනෝවිශ්ලේෂණයක් නිරුපනය කරයි.

ෆ්‍රොයිඩ්යානු මාක්ස්වාදීන් ගේ උත්සාහය අසාර්ථක වීමත් සමග මනෝවිශ්ලේෂණයේ සංකල්ප මාක්ස්වාදී සන්දර්භයට ඍජුව සම්බන්ධ කිරීම ලැකාන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

මාක්ස්ගේ දයලෙක්තිකය මගින් පෙන්වා දෙනු ලබන්නේ ‘දේශපාලන ආර්ථික විචාරය’ මගින් ලෝක දැක්මක් ඉදිරිපත් කිරීමට වඩා එවැනි දැක්මක් කරා යොමු වීමට බලපානු ලබන ක්‍රමවේදය කුමක්ද යන්න වටහා ගැනීම වැදගත් බවයි. එනම් පාරිභෝගික භාණ්ඩ ආකෘතියේ සාර්වත්‍රික බව සහ ධනපති ව්‍යූක්තකරණයේ ෆැන්ටාස්මැතික ජීවත්මවාදය පිළිබද ව්‍යුහාත්මක විශ්ලේෂණය වැදගත් වන බව ඉන් කියවේ. මාක්ස් ගේ ව්‍යාපෘතිය තුළ කොමියුනිස්ට් උපන්‍යාසය අඩංගු වේ නම් උපන්‍යාසය යන්නෙහි අර්ථය නිවුටන් විසින් භාවිතා කරන අර්ථයට සම්බන්ධකර කියවිය යුතුය. මන්ද භෞතිකවාදී විද්‍යාවක් මත පදනම් වූ කොමියුනිස්ට් උපන්‍යාසය කිසිවිටෙකත් වැරදි විද්‍යාවක් මත පදනම් වූ දේශපාලන ආර්ථික උපන්‍යාසයක් බලාපොරොත්තු වන්නේ නැත. ප්‍රාග්ධන බලය පිළිබද උපන්‍යාසය, වෙළදපලහි ස්වයං නියාමන හැකියාව පිළිබද ලිබරල් උපන්‍යාසය, නිදහස, සමානාත්මතාවය, දේපල සහ පුද්ගල අයිතිය පිළිබද උපන්‍යාසය. කොමියුනිස්ට් උපන්‍යාසය විද්‍යාත්මක නුතනත්වයේ ඥානවිභාත්මක ක්ෂිතිජය තුළ පවතියි. ප්‍රග්ධනයේ මාධ්‍ය උපන්‍යාසය වන සමාජ සබදතා යනුවෙන් දෙයක් නොපවතී යන්න සහ කොමියුනිස්ට් ප්‍රකාශනයට අනුව සමාජයයේ පවතින ඉතිහාසය යනු පන්ති අරගලයේ ඉතිහාසයයි යන්න මගින් කියවෙන්නේ ඉතිහාසය යනුවෙන් දෙයක් නොමැති බවයි. පන්ති අරගලයේ බහුත්ව තත්වය තුළ ඉතිහාසය විකේන්ද්‍රණය වීමක් පෙන්නුම් කරන අතර එය අවිඥානික චින්තනයේ විකේන්ද්‍රණය නිරාවරණය කිරීමට සමානය. ප්‍රාග්ධනය තුළ සංකීර්ණ ඥානවිභාගයක් ඇත. එමගින් විද්‍යාත්මක ක්‍රමය සහ දැනුම ජංගමකරණය වීම ඉතිහාසය තුළ සිදුවූ  ශ්‍රමය පරිවර්තනයේ ප්‍රෝබ්ලමැතිකයක් බවට පත් වෙයි. සමාජ සබදතා වල නිශේධනය පිළිබද නව රූපික දෙකක් වන ‘ශ්‍රම බලය’ සහ ‘අතිරික්ත වටිනාකම’ තුළ ලැකාන් ඔහුගේ සංකල්ප දෙකක්  වන හැගවුම්කාරකය සහ object a හදුනාගනී.

විද්‍යාත්මක විකේන්ද්‍ර වීම් තුනක් ගැන සදහන් කරමින් ෆ්‍රොයිඩ් විසින් නුතන විද්‍යාත්මක විප්ලවය මිනිස් නාසිස්මික බවට ප්‍රධාන අපහාස තුනක් සිදුකරන බව සදහන් කරයි. විශ්වය- කොපර්නිකස්; නමුත් කෙනෙකු අවසානයේ නිවුටන් ගේ නම සදහන් කල යුතුය. ජීවිතය- ඩාවින්; නමුත් අවසානයේ සිතීම ෆ්‍රොයිඩ්. ඒ අනුව ෆ්‍රොයිඩ් සැකයක් නොමැතිව සදහන් කරන්නේ අවිඥානය ගවේෂණය කිරීම එනම් කොගිටෝ ආත්මය නැති දැනුම් ආකෘතියක් සොයා ගැනීම සාර්ථක වන්නේ නුතන විද්‍යාවේ ක්ෂිතිජය තුළ බවයි. නිවැරදිව කිවහොත් ෆ්‍රොයිඩ්යානු අවිඥානය පිළිබද න්‍යාය යතාර්ථයක් වන්නේ නුතන විද්‍යාව  මිනිසුන්ව නිෂ්පාදනය කරන තැනට දියුණුවන විටය.

අල්තුසර් යනු මාක්ස් ගේ ව්‍යාපෘතිය ව්‍යුහවාදී ව්‍යාපෘතියට ක්‍රමවත්ව සම්බන්ධ කරන ලද දාර්ශනිකයාය. මාක්ස්ගේ දේශපාලන ආර්ථික විචාරය සහ මනෝවිශ්ලේෂණය ගැටුම්කාරී විද්‍යාවන් යැයි අල්තුසර් පෙන්වාදෙයි. මෙම විද්‍යාවන් දෙකෙහි පසමිතුරු ගුණය පැමිණෙන්නේ ඒවා ආත්මීය සහ සමාජ  නිශේධනයේ පැවැත්මෙන් ඉවතට ගමන් කරන බැවිනි. ඒ අනුව පරාරෝපනය යනු ආත්මීය සහ සමාජීය ගොඩනැංවීමක් වන අතර එමගින් නෙරපාහැරීම නොව පරිවර්තනය කිරීම සිදු කරයි. මාක්ස් පිළිබද ලැකානියානු කියවීමේදී පරාරෝපනය පිළිබද මුලික සංකල්පය යලිත් අර්ථ දක්වමින් ජීවාත්මවාදී ධනාත්මක බව සහ දයලේක්තික නිශේධනය අතර ඇති ප්‍රතිවිරුද්ධ බව ඉවත් කිරීමට උත්සහ කරයි.

මනෝවිශ්ලේෂණයේ ‘මධ්‍ය මාතෘකාව’ වන්නේ විනෝදයයි. – Enjoyment- ලිබරල් ආර්ථිකයේදී මනෝවිශ්ලේශණයේ කාර්යය වුයේ පවතින සමාජ පිළිවෙලට පුද්ගලයන් අනුගත කිරීම සහ ඉන් බැහැර වන අය නැවත එකතු කිරීමයි. [Identity Creation] විනෝදය සම්ප්‍රදායික ව්‍යුහවාදයේ සීමාවන් පෙන්වාදෙයි.

අවිඥානය පිළිබද ෆ්‍රොයිඩ්යානු ගවේෂණයේදී ඔහු ප්‍රකාශ කරන්නේ ”ශ්‍රමයේ ප්‍රධාන කාර්යය” වන්නේ අවිඥානික අවශ්‍යතා සපුරාලීම බවයි. එහිදී අවිඥානයේ නිෂ්පාදනීය මානය හෙළිදරවු කරයි. ශ්‍රම බලය තම  නව සොයා ගැනීමේ මධ්‍යයේ තබා ගැනීම තුළ ෆ්‍රොයිඩ් විසින් අවිඥානයේ ශ්‍රම න්‍යාය වඩා හොදින් පැහැදිලි කරයි. 60 දශකයේ ලැකාන්ගේ ව්‍යාපෘතිය මෙම න්‍යාය වටා දෝලනය වේ. විනෝදය නම් සංකල්පය මගින් ලැකාන් ෆ්‍රොයිඩ්යානු මානසික ශක්තිය (ලිබිඩෝව) සහ අවිඥානික ශ්‍රමය යන අදහස් මතුකිරීමට උත්සහ කරයි. ෆ්‍රොයිඩ් ගේ විප්ලවීය මානය ගවේෂණය කිරීමට නම් නිෂ්පාදනය පිළිබද න්‍යායක් අවශ්‍ය වේ. එය ගොඩනැගීමට සෝශියර්ට නොහැකි වුවද මාක්ස් ට හැකිවිය.

Anushka Ariarathne

 

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ඔබේ අදහස කියන්න...