දයා නෙත්තසිංහගේ කවි පොත් දෙකක් අරභයා පසුගියදා මාතර පැවති සාහිත්‍ය උත්සවයේදී ප්‍රධාන කතිකයන් දෙදෙනා වූයේ චූලානන්ද සමරනායක සහ සමන්ත විද්‍යාරත්නය.

සමන්තගේ දේශනයට පැයක පමණ කාලයක් ගත වූ අතර ඉන් වැඩි කොටසක් වෙන් වූයේ ධනවාදයේ මූලික ලක්ෂණ දෙකක් විකාශය කිරීමටය.

(A) ධනවාදය දුෂ්ටය. එය මිනිස් සම්පතේ සිට සොබාදහම දක්වා සියල්ල දූෂණය කරයි.

(B) ධනවාදය මේ ගත කරන්නේ එහි අවසාන අවධියයි. එය ඉතා ඉක්මනින් වියැකී යනු ඇත.

අප මේ ජීවත් වන පශ්චාත් – නූතන ධනවාදී යුගයේ දී ධනවාදයේ විනාශය ගැන අපට ඇසෙන්නේ ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් පමණි. චීනය, බ්‍රසීලය, ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, බංගාලිදේශය වැනි රටවල්වලින් අපට ධනවාදයේ විනාශය ගැන ඇසෙන්නේ නැත. ශ්‍රී ලංකාවේදී ද ධනවාදයේ විනාශය ගැන අපට ඇසෙන්නේ ආර්ථික විද්‍යා වැඩමුළුවල දී හෝ ධම්මික පෙරේරාගේ දේශනවලදී නොවේ. කොටින්ම චම්පික රණවකලා හෝ අතුරලියේ රතනලා හෝ ධනවාදයේ මරලතෝනිය ගැන කිසිවක් කතා කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ ධනවාදයේ විනාශය ගැන කතා කෙරෙන්නේ සිනමා සාකච්ඡා, කවිපොත් දොරට වැඩීම වැනි සංස්කෘතික උත්සවවලදීය. කෙටියෙන් කිවහොත් ලංකාවේ ධනවාදයේ අවසානය හෝ එහි විපත ගැන කතා කරන්නේ මේ මොහොතේ උප-සංස්කෘතියක් බවට පත් වී ඇති වාම දේශපාලනයයි. වාම දේශපාලන සංස්කෘතියේ චූල ප්‍රවර්ගයක් වන වාම බුද්ධිමතා තවමත් නොසිතන්නේ තමන් හැර වෙනත් සමාජ කණ්ඩායමක් මේ පවතින ගෝලීයකරණ ධනවාදයේ විපත ගැන කතා නොකරන බවයි.

නූතන ගෝලීය ධනවාදය පිළිබඳ සමන්ත විද්‍යාරත්න පන්නයේ අතිසරල කිරීම්වලට එරෙහිව මාක්ස්වාදී බුද්ධිය යොදාගන්නේ කෙසේද?

උදාහරණයක් වශයෙන් අප පසුගිය රාජපක්ෂ යුගයේ සිදු වූ රතුපස්වල සිදුවීම ගනිමු. මෙම සිදුවීම පිළිබඳ මාධ්‍ය අතිසරලකරණය හමුවේ චූදිතයා බවට පත්වූයේ ගෝඨාභය රාජපක්ෂ සහ හමුදා ඛණ්ඩය මෙහෙය වූ ලෙෆ්ටිනන්ට් කර්නල්වරයාය. නමුත් මෙම සිද්ධිය පිළිබඳව ආර්ථික කතන්දරයක් ද තිබෙන බව බහුතරයට අමතක විය. සිද්ධියට පාදක වන සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දේ සායනික අත්මේස්ය. ඒ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් එම සමාගමට ලෝක වෙළෙඳපොළ තුළ හිමිය. සමාගමේ කර්මාන්ත ශාලාවෙන් පිට වන අපද්‍රව්‍ය නිසා එය පිහිටි ගමේ ගම්වැසියන්ගේ ජීවන විලාශය බිඳ වැටීමට පටන් ගත් අතර එහි ඵලය වූයේ ගැමියන් සංවිධානය වී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. ගෝලීය නිෂ්පාදන මාදිලිය තුළ සිදු වූ ව්‍යුහාත්මක විපර්යාස නිසා කාර්මික නිෂ්පාදන යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් පිරිවාරයේ රටවලට විතැන් විය. එ් අනුව පරිවාරයේ දුප්පත් රටවලට විතැන් වන්නේ හුදු කර්මාන්තශාලා හෝ රැකියා පමණක් නොවේ. ඒ සමගම අප වැනි අඩු දියුණු රටවලට මෙම කර්මාන්ත සමගම සමාජීය ප්‍රතිවිරෝධනයන් ද පැමිණෙයි. පරිසර විනාශය, ශක්ති ප්‍රභවයන් සඳහා පරිසරය විනාශ කිරීම, මානසික ආතති සහ රාජ්‍යයේ මර්දන ව්‍යුහයන් ද කර්මාන්ත සමගම ආනයනය වෙයි. ලෝක ශ්‍රම විභජනයේ ඇති වන මෙම විපර්යාස නිසා සාම්ප්‍රදායික ධනවාදී ගැටුම වූ ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ගැටුම නම් එය දැන් ශ්‍රමය සහ රාජ්‍යය අතර ගැටුමක් දක්වා ගෝලීයකරණය තුළ දී පත්වෙයි.

දේශීය ප්‍රාග්ධනයට වඩා ද්‍රවශීලතාවය පසුජාතික සමාගම්වල ප්‍රාග්ධනයේ අධික නිසා එහි සුඛනම්‍ය බවද අධිකය. පරිවාරයේ රාජ්‍යයන් තම දේශය තුළ ඇති ප්‍රාග්ධන හිඟභාවය නිසා පසුජාතික ප්‍රාග්ධනයේ නියෝජිතයන් බවට පත්වීමට ඉබේටම බල කෙරෙයි. නිෂ්පාදනය ගෝලීයකරණය වීමත් සමග ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ප්‍රතිවිරෝධයේ ආකෘතියද වෙනස් වෙයි. ප්‍රාග්ධනය අද්දවා ගැනීම පරිවාර රාජ්‍යයේ ජාතික අවශ්‍යතාවය නිසා මෙතෙක් ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ගැටුම ‘ශ්‍රමය සහ රාජ්‍යය අතර ගැටුමක් දක්වා විපරිනාමය වෙයි.

සාමාන්‍යයෙන් වෘත්තීය සමිති යනු ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ගැටුම නිසා නිෂ්පාදනය වූ හෙට්ටු කරන ආයතනයකි. නමුත් ගෝලීයකරණයේ වෙනස් වූ සමාජ සබඳතා නිසා අපට දැන් හමුවන්නේ රාජ්‍යය සමග හෙට්ටු කරන වෘත්තීය සමිතිය එක පැත්තකින් මෙම නව තත්ත්වය නිසා සමාජ පන්තීන් අතර සබඳතා නව ආකාරයකට ව්‍යුහගත වන අතර රාජ්‍ය මර්දන උපකරණවලද ව්‍යුහය නව ආකාරයකට ව්‍යුහනය වෙයි. දකුණේ මනස තුළ රණවිරුවන් වූ පිරිස රතුපස්වලදී රාජ්‍ය මිනීමරුවන් බවට ක්ෂණිකව පත් විය. සැබෑ සතුරා ධම්මික පෙරේරා වුවත් චිත්‍රයෙන් ඔහු අතු ගෑ වී ගොස් චූදිතයා බවට යුධ වීරයා වූ ගෝඨාභය රාජපක්ෂ පත්විය. මෙසේ වූයේ කෙසේදැයි පැහැදිය හැකි කිසිදු වාමාංශිකයෙක් ද තවම බිහි වී නැත. රාජ්‍ය ත්‍රස්තය ගෝලීයකරණය තුළද අඛණ්ඩ වුවත් එහි ආකෘතිය නොනැසී එහි අන්තර්ගතය පමණක් වෙනස් වී ඇත. මෙහිදී සිදු වන වැදගත්ම දේශපාලන විපර්යාසය වන්නේ සමාජ ප්‍රතිවිරෝධයන් යළි නිර්වචනය කරන්නේ කෙසේද යන්නය. නව තත්ත්වය ඇතුළත දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති අවකාශ උත්තරයක් වීම වෙනුවට ගැටලුවක් බවට පරිවර්තනය වෙයි.

ස්ථාවරත්වය යන අදහස ගෝලීයකරණය  ‘වර්ධනය – (Growth) සමග ගැට ගැසෙන අතර එමගින් ගම්‍ය වන්නේ භයානක තර්කයකි. යම් මොහොතක ආර්ථික වර්ධනය අත්හිටවෙන තත්ත්වයක් උදා වුවහොත් එය රාජ්‍යයේ අසාර්ථකභාවයක් ලෙස සටහන් වන අතර එයට පුද්ගලික ප්‍රාග්ධන හිමියන්ගේ වගකීමක් නොමැත. තත්ත්වයමේ නිසා ජාතික ධනවාදයට වඩා වෙනස්ය. ගෝලීයකරණය තුළ ආර්ථික අර්බුදය වහාම දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන්නේ මේ නිසාය.

ඉහත විග්‍රහ කළ ඓතිහාසික හැරවුම ගැන සංයුක්ත විශ්ලේෂණයක් කරන්නේ නම් මෙසේය. ගෝලීයකරණය අප මෙතෙක් දැන සිටි ජාතික රාජ්‍යයන්ගේ ස්වායත්තතාවය එහි සාරාත්මක අර්ථයෙන්ම විචලනය කොට ඇත. නිෂ්පාදනය, පරිභෝජනය සහ ශ්‍රමය සාකල්‍ය අර්ථයෙන් අන්තර්ජාතිකකරණයට මුහුණ දී ඇත. ලංකාවේ වෘත්තිකයන් මෙම අන්තර්ජාතිකකරණය ඉදිරියේ රාජ්‍යයේ පිහිට පතා ඇත. නමුත් රාජ්‍යයට සුරක්ෂාවක් දිය හැකි ශීතල යුද සමය දැන් අහවර වී ඇත. විරැකියාවෙන් පෙළෙන මිලියන ගණනකගේ ඉල්ලීම් රාජ්‍යයට කැටි වූ දිනෙක වෘත්තිකයන් පසුබෑමට සිදු වනු ඇත. ගම-නගරය අතර භේදයේ අසමතුලිත පැත්ත වන ග්‍රාමීය ශ්‍රමයට ගෝලීයකරණය තුළ නව මානයක් හමු වනු ඇත. මෙම නව තත්ත්වය තුළ දී සමාජ – ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ ලිබරල්වාදීන්ට විකල්ප ඉදිරිපත් කළ නොහැක. ජාතිකත්වය යනු තාවකාලික පිළිතුරයි.

චූලානන්ද සමරනායක තම දේශනය තුළ හකුලා දක්වනු ලැබුවේ දේශපාලන අරගලකරුවා මේ නවයුගය තුළ අන් සියලු ආයුධ අතහැර ‘කවිය’ නම් ආයුධයට පසුබැස ඇති බවයි. නමුත් වරනැගිය යුතු ව්‍යක්ත ගැටලුවක් අපට මෙහිදී සම්මුඛ වෙයි. ගෝලීයකරණය තුළදී සිදුවන සමාජ පෙරළිය හෝ සමාජ ප්‍රතිවිරෝධයන් දයා නෙත්තසිංහ වර්ගයේ කවියන්ට සූත්‍රගත කළ හැකිද යන්නය. බොහෝ දෙනා ගැටලුව මෙම තත්ත්වය කරා වර්ධනය වන විට එකිනෙකාගේ පිට කසා ගන්නවා මිස විචාරයකට ගන්නේ නැත. පොල් කටුවකට බෙලි මල් යුෂ දමා පානයට දීම සුළු කර්මාන්තයක් වශයෙන් අමිලය. නමුත් ගෝලීයකරණ යථාර්ථයක් තුළ දයා වැනි කවියන්ට කුමක් සිදු වනු ඇත්ද? ඊළඟට විග්‍රහ කළ යුත්තේ මෙම තත්ත්වයයි.

Deepthi Kumara Gunarathne

Lankanewsweb

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Excellent analysis as usual Deepthi, but when it comes to this question:
    “නමුත් ගෝලීයකරණ යථාර්ථයක් තුළ දයා වැනි කවියන්ට කුමක් සිදු වනු ඇත්ද?”

    දයා වැනි කවියන්ට එහෙමට කියලා අවුලක් වෙන්නේ නැහැ නේද? මොකද ඒගොල්ලන් ඔය විප්ලවීය ටෝක් දාන්නේ තමන්ගේ කවි මාර්කට් කරගන්න මිස සමාජ වෙනසකට අරගල කරන්න නෙවෙයිනෙ.
    උදාහරණයකට අර කපිල එම ගමගේ කවියා ඕනෑම සාකච්චාවකදී කියන්නේ තමන් දෙමව්පියන් නැතිවූ පසු තනිවම තමන්ගේ ආත්තම්මාගේ පිහිටෙන් ඉගෙනගෙන හැදුනු වැඩුණු බවයි. ඔහු ගේ මවගේ වියෝවෙන් පසු පියා ඔවුන්ව හැරයාමෙන් පසු ඔහුගේ සහෝදරයන් දෙදෙනාත් සහෝදරියත් ඔහු කියන ආත්තමාවත් කුරුණෑගල සිට මහනුවරට ගෙනවිත් රැකවරණය දුන් කපිල එම ගමගේ උසස්පෙළ අධ්‍යාපනයට ධර්මරාජ විද්යාලයට ඇතුල් කොට ඉගැන්වූ, ඔහුගේ සහෝදරියට විශ්වවිද්‍යාල අධාපනය සම්පුර්ණ කරනතෙක් ඉගැන්වූ, ඔහුගේ අනිත් සොහොයුරන් විද්‍යාර්ථ විද්‍යාලයට සහ සරසවි උයන විද්‍යාලවලට ඇතල්ක කොට ඉගැන්වූ මේ අමතර බර නිසා තමන්ගේ දරුවන් ගේ අවශ්‍යතාවයන් පවා අතපසු කළ අන්තිමේදී මහත් ආර්ථික අසීරුතා වලට මුහුණදුන් කපිලගේ පුංචි අම්මා (කපිලගේ අම්මාගේ එකම සොහොයුරිය) සහ බාප්පා ගැන කිසි තැනක කිසි දවසක වචනයක් කතා කරන්නේ නැහැ. අන්තිමට ඔය කපිල එම ගමගේ කවියා ඔහුගේ සියා සතු ඉඩම විකුණා මුදල් ඔවුන්ට දෙනලෙස තර්ජනාත්මක ලිපි එව්වා ඒ තමන්ට දෙවැනි අම්ම කීක් වූ පුංචි අම්මට.
    මේ ගුණමකු කමත් සමග කපිල එම ගමගේ ලියන කවි සමපාත වන්නේ කොහොමද? ගුණමකු කම කපිලගේ marketing strategy එක නිසා.
    (මේ කාරණය මම හොදින්ම දන්නේ ඉහත සඳහන්වූ කපිලගේ පුංචි අම්මා සහ බාප්පාගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමල් දරුවා මම නිසා.)

    ඉතින් ඔය අනිත් කවියන් වාම දේශපාලනය, විප්ලවය, පිඩිත පන්තිය ගැන කතා කරන ඒකත් marketing strategy එකක්. හෙට ලංකාවේ වාමාංශික විප්ලවයක් වෙනබව ස්ථිරව ප්‍රකාශ වුනොත් ඉස්සෙරවෙලාම බඩයන්නේ රාජපක්ෂලාටවත්, රනිල්ලාටවත්, ධම්මික පෙර්රෙරාලාටවත් නෙවෙයි කපිල සහ ඒ පන්නයේ අනෙක් ඊනියා වාම වාදී කවියන්ට.

Comments are closed.