ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 08

අද පළ වන්නේ මහේෂ් හපුගොඩ සමග පවත්වන ‘ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනයක්’ සාකච්ඡා මාලාවේ අටවන කොටස යි.

අපි මේ මොහොතේ සාකච්ඡා කරමින් සිටින්නේ මිනිස්සු පමණක් නොවෙයි සමස්තය ම Pre programme වීම හෝ කිරීම පිළිබඳව යි. එබදු තත්ත්වයක් යටතේ මිනිස්සු දැනුවත් කිරිම කෙතරම් දුරට යථාර්ථයක් ද?

ඔව්… මිනිස්සු Pre programme කරලා නම් ඔවුන්ට කිසිම දෙයක් අවබෝධ කරල දීල වැඩක් නෑ. ඔයා Pre programme කළ රෙබෝ කෙනෙක් නම් මම ඔයාට වෙනත් වෙනත් දේ කීමෙන් ඵලක් නැහැ. රොබෝ වැඩ කරන්නෙ රොබෝට වුවමනා විදියට නොවෙයි. programme කරල චිප් එකේ ලියල තියෙන විදියට. මේ විදියට Pre programme කරපු මිනිස්සුන්ට අවශ්‍යය දේ ධනවාදය විසින් එක් එක් නිමේෂයන්හි දී ලබා දෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඔබට අවශ්‍යය ‘‘දූෂණ විරෝධී පෙරමුණක්’’ නම් ක්ෂණයකින් එය ලබා දෙනවා. නමුත් මේ දූෂණ විරෝධී පෙරමුණ පසුපස ගියා කියල විමුක්තියක් උදා වෙනවද? යථාර්ථය නම් නැහැ. නමුත් මේ මොහොතට සාපේක්ෂව හොඳයි. මම මේ මොහොතෙ ‘හොඳයි’ කියන වචනය පාවිච්චි කරන්නෙ වෙනත් අර්ථයකින්. පිරිසක් විශාල වශයෙන් අයුතු ලෙස මුදල් සොයාගත්තා. ඒ ක්‍රමයට අවශ්‍යය විරෝධයක් ක්ෂණිකව ම පැන නැගුණා. නමුත් අපි අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා. එනම් ජනතා විමුක්ති පෙරමුණ විසින් උත්කර්ෂයට නංවන ලද ජාතිවාදය ද්‍රව්‍යමය වශයෙන් මහපොළොවේ දෙයක් විදියට ක්‍රියාත්මක කළේ මහින්ද රාජපක්ෂ. අපි දැක්කා අනුරාධපුර රැලියටත් Pre programme කරපු මිනිස්සු යනවා. ඒ පූර්ව පියා (Prediple Father) අසලට යන්න කියල කිසිවෙක් බල කළ යුතු නැහැ. ඒ පූර්ව පියා ලස්සනට වේදිකාවට නගිනවා. මිනිස්සු ‘අප්පච්චී’ කියල කැගහනවා. අප්පච්චි කියන්නෙත් තාත්තටනෙ. එහෙම නම් කාටද මේ කතා කරන්නෙ? පූර්ව පියාට. සමස්ත සමාජය ම Pre programme කළ බව දැන් ඔබට වඩ වඩාත් තේරුම් ගන්න පුළුවන් නේද? මේ සිද්දධිය මහින්ද රාජපක්ෂට විතරක් අදාළ නැහැ. ජනතා විමුක්ති පෙරමුණටත් අදාළයි. එක්සත් ජාතික පක්ෂයටත් අදාළයි. හොඳට හොයලා බලන්න පසුගිය දවස්වල එක්සත් ජාතික පක්ෂය වටා රොක් වුණේ කවුද කියල. එක්සත් ජාතික පක්ෂය වටා රොක් වුණේ කොන්ත්‍රාත්කරුවො, මහාපරිමාණ ව්‍යාපාරිකයො, සුළුපරිමාණ ව්‍යාපාරිකයො සහ වෙනත් ජාවාරම්කාරයො. ජනතාව ඉන්නෙ කොතනද? මේ පිරිස උම්මත්තකයො වගේ එතනට රොක් වෙනවා.

ජිජැක් මිළඟට රැගෙන එන්නෙ පූර්ව වැඩසටහන් ගත කළ මානසිකත්වය (Pre programme mentality) නමැති කාරණය. ඕනැම දේශපාලන පක්ෂයක් තමන් ළඟට එන මිනිස්සු තේරුම් ගන්න නම් මෙන්න මේ කියපු Pre programme mentality නමැති කාරණයත් හොඳින්, ඉතා නිවැරැදිව අවබෝධ කරගත යුතුයි. ඒ ඇයිද කියනවා නම් අපි වටහා ගත යුතුයි ඔවුන් පැමිණෙන්නේ වසඟය හරහා බව. මේ සඳහා හොඳම උදාහරණය වෙන්නෙ පසුගිය දවස්වල ඇතිවුණ මහ බැංකු ප්‍රශ්නය. එක්සත් ජාතික පක්ෂයට මුදල් අවශ්‍ය නිසා මෙබඳු දෙයක් සිදු වුණා යැයි දේශපාලන ක්ෂේත්‍රයේ නිල නොවන මතයක් පවතිනවා. මා කලින් සදහන් කළ ලිබරල් ධනවාදය පක්ෂ ක්‍රියාත්මක වන ආකෘතියට මෙය අදාළ වන නිසා මෙය තව දුරටත් විමසා බැලිය යුතුයි.

Pre programme mentality නමැති තත්ත්වය වෙනත් ආකාරයකින් පැහැදිළි කළොත්…?

ලංකාවෙ ජිවත් වෙන අංක එකේ විපරිතයා මර්වින් සිල්වා කියන්නෙ බව අපි දන්නවා; එය අපි නිවැරැදිව ම දන්නවා. පසුගිය දිනක ඔහු කළ ප්‍රකාශය දෙස නැවත හැරී බලන්න. ඔහු පවසනවා ‘මේ මොහොතේ ලංකාවේ සිටින එකම ප්‍රාඥයා රනිල්’ කියලා. මර්වින් සිල්වා එහෙම ප්‍රකාශයක් කරන විට ලංකාවෙ මිනිස්සු අන්දුන් කුන්දුන් වෙන්නෙ නැද්ද? ඒ නිසයි නිවේදකයා අහන්නෙ ‘මේ කියන්නෙ මර්වින් සිල්වා ම ද?’ කියලා. එවිට මර්වින් අහනවා ‘ඔව්… මර්වින් තමයි. ඇයි ප්‍රශ්නයක් ද?’ කියලා. සත්‍යය ලෙස ම මේ මොහොතෙ මර්වින් නැමැති පුද්ගලයෙක් ඉන්නවද? නැහැ. මේ මොහොතෙ මර්වින් කියල පුද්ගලයෙක් නැහැ. දැන් ඉන්නෙ රනිල් වික්‍රමසිංහට අවශ්‍යය නම් ගන්න පුළුවන් මර්වින් කෙනෙක්. මර්වින් කැලණියේ සංවිධායක කරන්න එදා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වුණා නම් කරන්න තිබුණෙ මර්වින්ට කොළ පාට කමිසයක් අන්දවන එක විතරයි. මර්වින් ඒ තරමට ම Pre programme කරලා. මම නැවත නැවතත් ප්‍රකාශ කරන්නෙ ජිජැක් කියපු විදියට ම පසුගිය දවස්වල එක්සත් ජාතික පක්ෂය පසුපසින් ගිය අය, දැන් යමින් සිටින අය සහ ඉදිරියේ දි යන්න බලාපොරොත්තු වෙන අය සියලු දෙනා ම දැන් ඉන්නෙ Pre programme mentality තත්ත්වයේ.

දේශපාලන නිරවද්‍ය භාවය යනුවෙන් ජිජැක් මතු කරන සංකල්පය කුමක්ද?

දේශපාලන නිවැරදි භාවය (Politicle correctness) පිළිබඳ කතා කරනවා නම්, ජිජැක් මේ කාරණාවට විශාල අභියෝගයක් කරනවා. අපි පළමුවෙන් ම බලමු මේ ධනේශ්වර මොහොතෙ නිවැරැදි දේවල් යනුවෙන් නාමකරණය වෙන්නෙ හෝ කරන්නෙ මොනවද කියලා. ‘ස්ත්‍රින්ට සම තැන (Gendre equality) දිය යුතුයි. ඒ කාන්තාවගෙ පාර්ශවයට අදාළ කාරණා. අනෙක් පාර්ශවයෙන් ‘යහපාලනය’ නමැති සංකල්පය. එහි තේරුම වෙන්නේ සොරකම, දූෂණය නොමැතිව ධනවාදය පවත්වාගෙන යන්නෙ කොහොමද කියන කාරණය. මේ වන විට Politicle correctness විදියට පවතින්නෙ එසේත් නැත්නම් තීරණය කර තිබෙන නිර්නායක වෙන්නේ මෙබඳු කාරණා සමුහයක්. කිසියම් දේශපාලන පක්ෂයක් ස්ත්‍රිය සම්බන්ධයෙන් පවතින ගැටලුවට අනන්‍ය වෙනවා ද නැද්ද?  මේ පසුගිය වකවානුවේ දීප්තිගෙන් විමසූ ප්‍රශ්න. එබඳු ප්‍රශ්න සඳහා මෙතෙක් ප්‍රමාද වී පිළිතුරු සැපයීම කනගාටුවට කරුණක්. ‘කෝ ස්ත්‍රීන්ට සම තැන’ කියලා  මේ මොහොතෙත් කවුරු හරි දීප්තිගෙන් අහනවා නම්: මේ ගේන්නෙ අමු ම අමු ධනේෂ්වර තර්කයක්; අමු ම අමු නව ලිබරල්වාදි තර්කයක්; මේ දේශපාලන පක්ෂයක නායකයකුගෙන් අහන ප්‍රශ්න නොවෙයි. ‘ඔබ කොහොමද දූෂණයට එරෙහිව හඬ නගන්නෙ?’ කියලා දීප්තිගෙන් කවුරු හරි ඇහුවොත්…? මම දකින්නෙ එය පට්ටපල් ලිබරල්වාදි ප්‍රශ්නයක් විදියට. දේශපාලන පක්ෂයක නිරවද්‍ය භාවය කියන්නෙ එය නොවෙයි. ජිජැක් මෙම සංකල්පය ඉතා පැහැදිලිව ම ප්‍රතික්ෂේප කරනවා.

එහෙම නම් අපි සත්‍යය වශයෙන් ම මතු කළ යුතු කාරණා මොනවාද?

ඔව්… අපි සත්‍යය වශයෙන් ම ඉදිරියට ගෙන ආ යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. සූරා කෑම; විශේෂයෙන් ම තුන්වන ලොකයේ සිදුකෙරෙන අති දැවැන්ත සූරා කෑම. පංති අසමානතාව, දුප්පත්කම. මේ සඳහා ජිජැක් ඉදරිපත්කරන සම්භාව්‍යය උදාහරණය වෙන්නේ කොංගෝව. අනෙක් පසින් සියෙරාලියෝන් සහ සෝමාලියාව ප්‍රදේශ වෙත අවධානය යොමු කළොත් අපිට දකින්න ලැබෙන්නෙ මොනවාද? මිනිස් ජිවිත අකාලයේ මිය යන බව නේද? මේ වෙන කිසිවක් නොවෙයි පංති අසමානතාව, දුප්පත්කම. එහෙම නම් අපි සත්‍යය වශයෙන් ම මතුකළ යුත්තේ මේ පිළිබඳ කතිකාවතක් නොවෙයි ද?

අපේ රටේ පවතින ආර්ථික අසමානතාව පිළිබඳ විමසිලිමත් වෙන්න. එක පිරිසක් පසුගිය කාලයේ ලොරිවලින් මුදල් ප්‍රවාහනය කළා. නමුත් එදා වේල කන්න හොයාගන්න බැරි මිනිස්සු ඉන්නවා, කහට තේ එකක් බොන්න තරම් වත්කමක් නැති මිනිස්සු කොට්ඨාසයකුත් ඉන්නවා. ‘අපි ආර්ථික සහන සැලසුවා’ කියල එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව පාලකයන්ට කියන්න සිද්ධ වෙන්නෙ ඒ නිසා. ආර්ථික සහන සැලසුවා කියන කතාවේ යථාර්ථය කුමක් ද? එදා වේල කුස පුරවා ගන්න ක්‍රමයක් නැතුව හිටපු පිරිසකට කෑම වේලක් දෙන තත්ත්වයට යන්න සිද්ධ වීම නොවෙයිද? වර්තමාන ධනේෂ්වර බුරුෂුවා පාලකයන්ට කරන්න සිද්ධ වුණේ එය යි. තව දුරටත් මේ අර්බුදය පැවතීම තුළ එය පුපුරා යන බව ධනේශ්වරයට වැටහෙනවා. ඒ නිසා රවි කරුණානායකට සිද්ධ වෙනවා කන්න බොන්න නැතුව දුක්විඳින පංතියේ මිනිස්සුන්ට ආහාර වේලක් සපයා ගන්න පුළුවන් ආකාරයේ වැඩ පිළිවෙළක් අරඹන්න. එසේ නොමැතිව මේ විවෘත ආර්ථිකයට හෝ ධනේශ්වරයට මානුෂික මුහුණුවරක් දුන්නා නොවෙයි.

මෙබඳු තත්ත්වයක් පවතින රටක ම නේද තවත් පිරිසක් තමන්ගෙ මුදල් ලොරිවලින් ප්‍රවාහනය කරන්නෙ? කොහොමද මේ තත්ත්වය විග්‍රහ කරන්නෙ?

මේ විදියට ලොරිවලින් මුදල් ප්‍රවාහනය කිරීම පිළිබඳ ප්‍රවෘත්ති වෙබ්අඩවිවලින් මහත් උත්කර්ෂයට නැංවුවා: ලොරිය ආවෙ කොහෙනේද?, ගියේ කොහාටද?, ඒ ලොරියෙ දල වශයෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් තිබුණද?, මුදල්වලට අමතරව මැණික් තිබුණද?, ඇත් දළ තිබුණද?, නිධන් වස්තු තිබුණද? යනාදී කාරණා සියල්ල සාකච්ඡා කළා. නමුත් කවුද එතන තිබූණු අසමානතාව ගැන කතා කළේ?  ධනය මේ විදියට බෙදුණෙ කොහොමද කියල සාකච්ඡා කළේ කවුද? සත්‍යය වශයෙන් ම මේ පිටුපස පැවතියේ අමු ම අමු නිරුවත් ධනවාදය නමැති කාරණය බව කිසිවෙක් සාකච්ඡා කළේ නැහැ. ඒ කිසිවක් සාකච්ඡා නොකර හැම මාධ්‍යයක් ම එකතු වෙලා ඉහත සඳහන් කළ ඕපාදුප පමණක් කරළියට ගෙනාවා. ඒ මුදල් තැන්පත් කළේ ස්විස්ටර්ලන්තයේද?, ස්වාසිලන්තයේද? ඒ මුදල් අරගෙන ගියේ ෂී සෙල්ස් දුපත්වලටද?, ගුවන් යානයකින්ද අරගෙන ගියේ? යනුවෙන් අනෙක් පැත්තෙන් වාදයක් ගෙනාවා. මෙන්න මේ විදියටයි දෘෂ්ටිවාදය පැවතුණේ. ඔවුන් හරහා ධනවාදය ක්‍රියාත්මක වුණේ මෙන්න මේ විදියට කියන සාකච්ඡාව කවුරුවත් සමාජගත කළේ නැහැ. දේශපාලන නිරවද්‍ය භාවය ගැන ප්‍රශ්න කරන අය සාකච්ඡා කළ යුත්තේ මෙන්න මේ කාරණා පිළිබඳව යි. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂගෙ සල්ලි මල්ලෙ සල්ලි කොපමණ තිබුණද කියන කාරණය නොවෙයි; එය දූෂණ විරෝධයත් නොවෙයි; ධනේෂ්වර විරෝධය නොවෙයි; ඒ දෘෂ්ටිවාදය. අපි මේ මොහොතේ තේරුම් ගත යුත්තේ මෙන්න මේ සාකච්ඡා කළ කාරණා පිළිබඳව යි.

දේශපාලන පක්ෂයක් ලඝු විය යුතු සහ ලඝු නොවිය යුතු කාරණා පිළිබඳ පැහැදිලි කළොත්?

විශේෂයෙන් ම දේශපාලන පක්ෂ මෙන්න මේ කාරණාවලට ලඝු නොවිය යුතුයි. එනම්: මිනිසුන් ගේ ලිංගිකත්වය, සංස්කෘතික කාරණා (මෙය සංස්කෘතික යුද්ධය කියල හඳුන්වන්න කැමතියි), ජාතිය, ආගම, භාෂා ප්‍රශ්න යනාදියට. ඉදිරි වමක් ගැන අපි සාකච්ඡා කරනවා නම් ඒ ඕනැම දේශපාලන පක්ෂයක් පළමුවෙන් ම අවධානය යොමු කළ යුතු, සාකච්ඡා කළ යුතු සහ ක්‍රියාත්මක කළ යුත්තේ මේ  කාරණා වෙත යි. මේ සියල්ල බාරිහර කාරණා පමණයි. අපි සාකච්ඡා කළ යුත්තේ මේ කාරණා නොවෙයි. ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ කොහොමද? ධනය ක්‍රියාත්මක වන්නේ කොහොමද? සත්‍යය ලෙස ම සමානාත්මතාව ඇති කළ යුත්තේ කෙසේ ද? මෙන්න මේ ගැනයි අපි අවධානය යොමු කළ යුත්තේ. නව්‍ය ක්‍රමයකට එහෙමෙත් නැත්නම් සිස්ටම් එකක් වෙත යන්නෙ කොහොමද කියන කාරණය පිළිබඳ අපි සාකච්ඡා කළ යුතුයි. එය පක්ෂ අභ්‍යන්තරයේ මෙන් ම පිටතත් සාකච්ඡා කළ යුතුයි. යථාර්ථය නම් මේ සම්බන්ධයෙන් ඍජු නිවැරැදි පිළිතුරක් තවම ජිජැක් සතුවවත් නැහැ. ඔහු ඉන් අදහස් කෙරෙන්නේ සමාජයක් විදියට අපි එතරම් පරිනත භාවයක් නොමැති බව යි. එය වඩාත් පැහැදිලි කරනවා නම් දයලෙක්තික වශයෙන් ගත්තොත් පවතින ආර්ථික දේශපාලනික වටපිටාව දුටු පමණින් අපිට නිගමනය කරන්න බැහැ එහි ඉදිරි තත්ත්ව කෙසේද යන්න.  නමුත් පක්ෂයක් විදියට අපි අනාගතයේ එළඹෙන ඒ මොහොත වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු යි. අපිට හැමදාම මේ මඩ ගොහොරුවේ ජීවත් වෙන්න බැහැ. එහෙම නම් අපේ වගකීම වෙන්නෙ මේ දෘෂ්ටිමය මොහොත තේරුම් ගනිමින්, එයට අභියෝග කරමින් දැනට පවතින නාසිස්මික භාවය සහ නරුමවාදය (Cynicalist) අභියෝගයට ලක් කරමින් ඉදිරියට ගමන් කිරීම යි. එසේ නොමැතිව දේශපාලන පක්ෂයක් කිසිම විටෙක වසඟයට යටත් නොවිය යුතු යි.

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02  මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 03 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 04 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 05 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 06 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 07 මෙතනින් කියවන්න

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ශ්‍රී ලංකාවේ දේශපාලනය පසුගිය අවුරුදු ගණන මුළුල්ලේම නිවැරදිව විග්‍රහ කරමින් නුතන මාක්ස්වාදී දේශපාලන විග්‍රහයන් ද ඒ සමගම ලංකාවට හඳුන්වාදෙන එකම වාමාංශික දේශපාලනඥයා දීප්ති.

Comments are closed.