සමාජ සබඳතා තුළ ‘දෘෂ්ටිවාදය’ ක්‍රියාත්මක වන ආකාරය වටහා ගැනීම දේශපාලනිකව වැදගත් වන්නේ මන්ද? මෙය අපගෙන් නැවත නැවතත් අසන ප්‍රශ්නයකි. එයට දිය හැකි කෙටි උත්තරය මෙසේ කැටි කළ හැකිය. දෘෂ්ටිවාදයට අනන්‍ය වීම මේ යුගයේදී මාරාන්තිකය. ලාංකීය දේශපාලන ඉතිහාසයෙන් උදාහරණයක් ගමු. 

                     2005 ජනාධිපතිවරණයට කෙටි කලකට පෙර, ටිරාන් අලස් මඟින් මංගල සමරවීර LTTE සංවිධානයේ ක්‍රියාකාරී පුද්ගලයෙකු වූ එමිල් කාන්තන් සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් සංවිධානය කරන ලදී. බැසිල්ගේ බාහිර පෙනුම නෝන්ජල් ය. සරලමතික ය. එමිල් කාන්තන්ගේ දෘෂ්ටියෙන් බැලූ විට, මුදල් වලට ගිජු සහ බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන පුද්ගලයෙකු ලෙස බැසිල්ව ඔහුට පෙනෙන්නට ඇත. එකල, මංගල සමරවීර පවා බැසිල්ව දැක්කේ සරලමතිකයෙක් ලෙසය. නමුත් පසු කාලයකදී, ඔහු ඊට පරස්පරව ඔහු වැඩකාරයෙක් බව ප්‍රකාශ කරන ලදී.

                2004 සිදුවීමේදී ද අපගේ සංවිධානය විනාශ කිරීමට මූලික වූ පුද්ගලයන් කිහිපදෙනා ද නෝන්ජල් පිරිමින් ය. කිසිදා පෞරුෂයක් නැති අයවලුන් ය. නමුත් නිශ්චිත මොහොතේදී ඔවුන් අධික්‍රියාකාරීන් බවට පත්වී අනුන්ට කඩේ යාම සිදු කර යථාර්ථයෙන් වියැකී ගියේ ය. කිසියම් දේශපාලන සංවිධානයක දෛවය තීන්දු වන්නේ, එහි ඇති අභ්‍යන්තර සංවිධාන ව්‍යුහයේ ශක්තිය හෝ ඉන් පිටත පවත්වාගෙන යන බාහිර බහුජන ව්‍යාපාරවල බලපෑම මඟින් හෝ නොවේ. සංවිධානයක දෛවය තීන්දු වන්නේ, ඊට ඇති මිනිසුන් පාලනය වන දෘෂ්ටිවාදය පිළිබඳ විශ්ලේෂණ හැකියාවෙනි. 

                      දෘෂ්ටිවාදය මාරාන්තික වන්නේ කෙසේ ද යන්න වටහා ගැනීමට, 80 දශකය අග දී (87-89) ජනතා විමුක්ති පෙරමුණ ‘යුධ හමුදාව’ නම් දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණය වටහා ගත් ඥාණ-විභාගයේ දෝෂය අපි දැන් සාකච්ඡා කරමු. 

                       විජේවීරගේ උපක්‍රමික සංග්‍රාමය වූයේ, බහුජන සංවිධානවල ක්‍රියාකාරීත්වය (ශිෂ්‍යයන්ගේ සිට බුද්ධිමතුන් දක්වා පරාසයක) වඩ වඩා තීව්‍ර කරමින් ප්‍රේමදාසගේ රාජ්‍ය බලය දුර්වල කිරීමයි. මේ සඳහා යොදාගත් හෙජමොනික අදහස වූයේ, දේශප්‍රේමය සහ ඉන්දීය විරෝධය යි. නමුත් වෙනත් ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ අදහස විජේවීර ‘යුධ හමුදාව’ සම්බන්ධයෙන් වෙනස් කරන ලදී. ‘යුධ හමුදාව’ පිළිබඳ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සංගත අදහස මෙලෙස සාරාංශගත කළ හැකි ය. අවි ආයුධ අතින් දරා ගත්තත්, නිල ඇඳුමක් ඇන්දත් ඒවාට යටින් උණුසුම් මිනිස් හදවතක් ක්‍රියාත්මක වෙයි. සමහරවිට, මෙම අදහස ඔවුන් තුළ නොදැනුවත්ව පැළපදියම් වන්නට ඇත්තේ රුසියානු මානවවාදී සාහිත්‍යයෙනි. 

                     සමාජයක පරිවර්තනය පිළිබඳ විප්ලවවාදී අදහසක් දරණ ගමන් ‘යුධ හමුදාව’ සම්බන්ධයෙන් වෙනත් ආකල්පයක් දරන්නට ජවිපෙ දේශපාලන මණ්ඩලය පෙළඹුණේ ඇයි? මින් සිදු වුයේ, සිවිල් සමාජ තලයක ‘සතුරන්’ නිෂ්ක්‍රීය වූ අතර ‘යුධ හමුදාව’ සම්බන්ධයෙන් ‘සංවිධානය’ දෘෂ්ටිවාදී තලයකට ගමන් කිරීමත් ය. මෙය විද්‍යාමාණ වූයේ, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට හර්ෂ අබේවර්ධනගෙන්[civil] පසුව රංජන් විජේරත්න [military] පත් වීමෙනි.

                     විජේවීර ‘යුධ හමුදාව’ න්‍යායගත කරන ලද්දේ, ‘An Officer and a Gentleman’ [1982](නිලධාරියෙක් සහ මහත්මයෙක්) චිත්‍රපටයේ හමුදා පුහුණුව ලැබීමට එන කැඩෙට් නිලධාරියා තම පුහුණුකරු වූ සාජන්වරයා ගැන සිතන ලද ආකාරයෙනි. ‘සැක් මායෝ’ නම් එම කැඩෙට්වරයාට අනුව ඔහු සාජන්වරයාට අනන්‍ය වන්නේ, පුහුණු කටයුතු නම් කෲරත්වය යටින් උණුසුම් මිනිසෙකු සහ පියෙකු සිටිනා බව අනුමාණ කිරීමෙනි. 87-89 යුගයේ දී විජේවීර විසින් යුධ හමුදා සොල්දාදුවාව න්‍යායගත කරන ලද්දේ, නිල ඇඳුමට යටින් සිටින බෞද්ධ හැදියාවකින් යුතු කරුණාවන්ත මනුෂ්‍යයෙක් සිටින බවට වූ අනුමානයෙනි. 89 වර්ෂය අග වන විට, යුධ හමුදාවේ සොල්දාදුවන් තමන් කෙතරම් කාර්යක්ෂම මිනී මරන්නන් ද යන්න ඔප්පු කර පෙන්වූයේ, විජේවීරව ද බොරැල්ල කනත්තේ ආදාහනය කිරීමෙනි. ‘යුධ හමුදා’ සොල්දාදුවා යනු, හමුදාව නම් මර්ධනකාරී ආයතනයෙන් පුහුණු කළ ‘මිනීමරණ මැෂිමක්’ මිස හදවතක් සහිත මිනිසෙක් නොවේ. එයට බුදු දහමක් සම්බන්ධ නැත.  

Pure ideology

                    ‘යුධ හමුදාව’ නම් මර්දනකාරී රාජ්‍ය උපකරණයේ මතවාදී සැකැස්ම වටහා ගැනීමට නිල ඇඳුම යට උණුසුම් හදවතක් ඇත යන ප්‍රවාදයේ ‘දෘෂ්ටිවාදය’ (හමුදාව පිළිබඳ සංගත අදහස) සමතික්‍රමණය කළ යුතුය. ඒ සඳහා, අප හමුදා සොල්දාදුවා නම් යටත්වැසියා (විෂය) වෙනුවට හමුදා සොල්දාදුවෙකු බවට නිවැරදිව පොළා පනින ‘ආත්මය’ පරීක්ෂා කළ යුතුය. යම්කිසි නිල තනතුරකට පත් වූ පසු පිස්සු කෙලින්නට පත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු පිළිබඳ මතකය අපට ඇත. එක් අයෙක්, අගවිනිසුරු බවට පත් වූ සරත් නන්ද සිල්වාය. අනෙකා, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ය. මේ දෙදෙනා තනතුරුවලට පත්වීමට පෙර අල්තූෂරියානු විෂයන් වී පසුව නිල තනතුරුවලට පත් වූ පසු මනෝවිශ්ලේෂණ ආත්ම බවට පත් වූවන්ය. 

                       ‘ස්ටැන්ලි කුබ්රික්’ නම් සිනමාකරුවා විසින් 1987 වර්ෂයේ දී (හාස්‍යයට මෙන් ජවිපෙ සන්නද්ධ අරගලය පටන් ගත් මොහොතේ) නිර්මාණය කළ Full Metal Jacket (සම්පූර්ණ යකඩ ඇඳුම) නම් චිත්‍රපටය හරහා යුධ හමුදා දෘෂ්ටිවාදී යාන්ත්‍රණය ක්‍රියාත්මක වන නිවැරදි ආකාරය අපට පෙන්වා දෙන ලදී. චිත්‍රපටය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. පළමුවැන්න, සිවිල් වැසියෙක් ලෙස මෙම යාන්ත්‍රණයට ඇතුළු වන කෙනෙක් මිලිටරි ආත්මයක් නැතහොත් හමුදා සොල්දාදුවෙක් වන ආකාරය පෙන්වයි. දෙවනුව, මෙසේ පුහුණු වූ කණ්ඩායමක් සැබැවින්ම පැවැති වියට්නාම් යුද්ධයේ ක්‍රියාන්විතයට සහභාගී වෙයි. චිත්‍රපටය අවසන් වන්නේ, නියම සොල්දාදුවා කවුද යන්න හෙළි කිරීමෙනි.

CIVIL AND MILITARY DIFFERENCE

                        කුබ්රික් තම සිනමා කෘතිය තුළ පළමු පෑන් පහරින්ම හමුදා භටයා පිළිබඳ මානුෂික අදහස එනම්, නිල ඇඳුම යට මනුස්සයෙක් ජීවත් වෙයි යන අදහස විසංයෝජනය කරයි. කුබ්රික් තම රසිකයාව ‘විජේවීරවාදයෙන්’ චිත්‍රපටයේ ප්‍රථම භාගයෙන්ම ඉවත් කරවයි. ඉන් අදහස් වන්නේ, ගරිල්ලාවාදීන් හමුදා නිල ඇඳුම යට මනුෂ්‍යයෙක් සමපේක්ෂණය කිරීම මාරාන්තික වරදක් යන්නයි. ඒ වෙනුවට, කුබ්රික් අලුත් අදහසක් මතු කරයි. ඊට අනුව, යුධ හමුදාව තම සොල්දාදුවා පුහුණු කරන්නේ ‘මිනීමරණ’ පුද්ගලයෙකු ලෙසිනි. ඊට අනුව, නිල ඇඳුම යට උණුසුම් හදවතක් නැත. ඒවා මනස්ගාතය. සොල්දාදුවා අදහන්නේ තුවක්කුව මිස මනුෂ්‍යත්වය නොවේ.

Military Subject

                      චිත්‍රපටයේ ප්‍රථම භාගය අවසන් වන තුරු අප සිතන්නේ නියම සොල්දාදුවා යනු, මිනීමැරීමට පුහුණු වන යටත් වැසියෙකු කියා ය. මෙම දෘෂ්ටිවාදයට පුහුණු වන සොල්දාදුවන් පිරිස අතර එක් අයෙකු සියදිවි නසාගන්නා අතර බහුතරයක් මානසිකව සහ ශාරීරිකව අසනීප වෙයි. නමුත් මෙම පුහුණු වන්නන් අතර එක්තරා යථාර්ථවාදී පුද්ගලයෙක්ව ද අපට කුබ්රික් පෙන්වයි. ඒ හරහා, කුබ්රික් දෘෂ්ටිවාදී පොළා පැනීම පිළිබඳ අල්තුෂර්ගේ අදහස විසංයෝජනය කරයි. මිලිටරි විද්‍යාව සහ මිලිටරි දෘෂ්ටිවාදය යනු , ප්‍රපංච දෙකකි. පුහුණු වන සොල්දාදුවන් කිසිවෙක් නොදන්නේ ඔවුන්ට මිලිටරි විද්‍යාවන් උගන්වන්නේ නැති බවයි. ඒ වෙනුවට ඔවුන් ඉගෙන ගන්නේ, මිලිටරි දෘෂ්ටිවාදය සමඟ අනන්‍ය වන ආකාරය යි. එනම්, මිනීමරුවෙකු වන ආකාරය යි. මෙතැනදී, අපට විද්‍යාව සහ දෘෂ්ටිවාදය අතර බෙදුම්කඩනය හමු වෙයි. මිලිටරි විද්‍යාව උගන්වන්නේ, කැඩෙට් නිලධාරීන්ට ය.

                       චිත්‍රපටයේ ආරම්භයේ සිටම මිලිටරි පුහුණුව සහ තමන් අතර ‘යම් පරතරයක්’ [GAP]තබා ගන්නා කාව්‍යාත්මක පුද්ගලයෙක් ලෙස සොල්දාදුවෙකු අපට කුබ්රික් මුණ ගස්වයි. ඔහුගේ නම ‘මැතිව් මෝඩීන්’ ය. මැතිව් මෝඩීන් අපූර්ව පුද්ගලයෙකි. ඔහු උභය ජීවියෙකි. එක පසෙකින්, ඔහුගේ හෙල්මටයේ ගසා ඇති ස්ටිකරයේ සඳහන් වන්නේ ‘Born to kill’ (ඉපදුනේ ම මරන්න!) සංඥාවයි. අනෙක් පසින්, ඔහුගේ උරහිස් පළදනාව මත ගසා ඇත්තේ ‘ලෝකයට සාමය උදා කරනු’ යන්නයි. වරක් කර්නල්වරයෙකු මේ විකාරය කුමක්දැයි මෝඩීන්ගෙන් අසයි. එවිට ඔහුගේ පිළිතුර වන්නේ, 

             “සර් මම හිතනවා මා මඟින් නියෝජනය වෙනවා මිනිසාගේ ද්විත්ව-ස්වභාවය ගැන යමක්….

    කර්නල්වරයා– ඒ මොකක්ද?

    මෝඩීන්      – මිනිසාගේ දෙබිඩි බව… ජුන්ගියන්  

                      පුරාවෘත්තයක් සර්.

  කර්නල්වරයා– පුතා උඹ මොන පැත්තේ ද?

  මෝඩීන්      – අපේ පැත්තේ, සර්

  කර්නල්වරයා– උඹ රටට ආදරය කරන්නේ නැද්ද, 

                      පුතා?

  මෝඩීන්      – ඔව්, සර්…. හොඳටම…..”

කුබ්රික් අපට මැතිව් මෝඩීන් හරහා විද්‍යාමාන කරවන්නේ, ඉතාම කටුක ඇත්තකි. ඉහත සංවාදය කියවන විට නිලයෙන් ඉහළ කර්නල්වරයාගේ අඥානභාවය සහ හමුදාවට ඇතුල් වූ පසු උගත් බුද්ධිමයභාවය හරහා මෝඩීන් අපට පෙන්වන්නේ, සොල්දාදුවෙකු වීම ගැන අලුත් කතාවකි. හමුදා සොල්දාදුවෙකු යනු කවුරුන්ද යන ගැටලුවට අදාළ දෙවන තිමිරය ”මෝඩීන්” හරහා කුබ්රික් ගලවන්නේ කෙසේ ද?

                     චිත්‍රපට ප්‍රේක්ෂකයන් වන අපි කුබ්රික් හරහා විජේවීරවාදයෙන් ඉවත් වුණෙමු. ඊළඟට අප සිතුවේ, නියම සොල්දාදුවා යනු, මිනීමරණ මැෂිමක් වනවා යනු ය. නමුත් මැතිව් මොඩීන් කර්නල්වරයා සමඟ කරන සංවාදයේ දී ඔහු කර්නල්වරයාගේ තනතුර හෑල්ලු කරමින් ඉතා ඥානාන්විත ව පෙන්නුම් කරන්නේ, නියම සොල්දාදුවා යනු, එම සංඥාව සහ තමන් අතර යම් පරතරයක් නඩත්තු කරන්නා යන්නයි. මෝඩීන් කර්නල්වරයා හරහා ප්‍රේක්ෂක අපට පෙන්වන්නේ යුද්ධය යනු, ක්‍රීඩාවක් නොව දේශපාලනයක් බවයි. මැතිව් මෝඩීන් සාමය සහ මිනීමැරීම් අතර පරතරය හාස්‍ය රසයකින් විචිත්‍රවත් කරවන්නේ, අහම්බයකින් නොවේ. සැබෑ සොල්දාදුවා යනු, සාමය සහ තමන් අතර පරතරය පවත්වා ගන්නා පුද්ගලයා නොව මිනී මැරීම නම් ක්‍රියාව සහ තමන් අතර යම් පරතරයක් තබා ගන්නා ය. (Pathology එක)

                   ‘සාමය’ සහ ‘මිනීමරුවා’ යන හැඟවුම්කාරකය අතර සංස්ලේෂණයක් මැතිව් මෝඩීන්ට අවශ්‍ය වන්නේ ඇයි? ඒ අනුව, සාමයට ඇති අවසන් අවස්ථාව අහිමි වීම නිසා මිනී මරනවා නොවේ.

                  යම්කිසි දෘෂ්ටිවාදයකට අප සැබැවින්ම අනන්‍ය වන්නේ, ඒ සමඟ අප තදාත්මක වන මොහොතේදී නොවේ. එවන් දෘෂ්ටිවාදයක් සමඟ අප අනන්‍ය වන්නේ, එම දෘෂ්ටිවාදය හඳුන්වා දෙන දෘෂ්ටියටත් වඩා ගැඹුරු මනුෂ්‍යයෙක් යැයි අප සිතන මොහොතේදීය. මේ කියන දෘෂ්ටිවාදී වෙස් මුහුණට යටින්, “මම කියන්නේ නිර්මාණශීලී මනුෂ්‍යයෙක්. මා තුළ මටවත් හඳුනාගන්න බැරි මනුෂ්‍ය සාරයක් තියෙනවා”.

The Making of a Killer- Mr.Mordin

 

                        කුබ්රික් විසින් ඉහත තත්ත්වය අපට පහදා දීමට කදිම සිදුවීමක් චිත්‍රපටයේ අවසානයට එකතු කොට ඇත. චිත්‍රපටියේ දෙවන කොටසේ අවසානය සටහන් වන්නේ, හමුදා කණ්ඩායමට දිගටම වෙඩි තබන ස්නයිපර් වෙඩිකාරියගේ සිරුර පෙන්වීමෙනි. මුඛයෙන් එළියට රූටා එන රුධිරය සමඟ ගොරොද්දය අදිමින් ඇය කෙඳිරි ගාන්නේ ”මාව මරා දමන්න!” යන ඉල්ලීම සමඟය. එතැනදී, අන් සියලු සොල්දාදුවන් වික්ෂිප්ත සහ උභයාවේගයකින් වෙලෙන මොහොතක එක්වරම තම පිස්තෝලේ එළියට ගන්නා මැතිව් මෝඩීන් මහත්මයා ඇයගේ හිසට වෙඩි තබා ඇයව මරා දමයි. මෝඩීන්ට අනුව, ඔහු සිදු කළේ මිය යාමට වේදනාවෙන් කෙඳිරි ගාන ඇයට ස්වර්ගයට යාමට මානුෂිකව උදව් කිරීම පමණි.

                       2005 වර්ෂයේ අග දී, LTTEයේ ”එමිල් කාන්තන්ට” හමු වූයේ, ”බැසිල් රාජපක්ෂව” ය. 2009 වර්ෂයේ අග දී, සුදු කොඩි ඔසවාගෙන භාර වන්නට පැමිණි සියලු LTTE නායකයන් ඝාතනයට ලක් විය. කෙනෙකු දෘෂ්ටිවාදියෙකු වනවා යනු, එම දෘෂ්ටිය සමඟ අනන්‍ය වනවා යන්න නොවේ. දෘෂ්ටිවාදය සහ තමා අතර මානුෂික උණුසුමක්-Subjective Content] නඩත්තු කරන්නා අදාළ දෘෂ්ටිවාදයේ ඉතාම සංකීර්ණ පාක්ෂිකයා ය. අප මෙතෙක් සාකච්ඡා කරන ලද්දේ, ගරිල්ලාවාදීන්ට හමුදා දෘෂ්ටිවාදය පිළිබඳව දෙවරක් (පළමුව JVP, දෙවනුව LTTE) වැරදී ගිය ආකාරය යි. කෙනෙකුට සමාජවාදය යළි ගොඩ දැමීමට අවශ්‍ය නම්, සමාජවාදී දෘෂ්ටිය සමඟ විද්‍යාත්මක වන අය මිස එය දෘෂ්ටිවාදයක් ලෙස කාර්යක්ෂම කරන අයට රැවටිය යුතු නැත. ‘මැතිව් මෝඩීන්’ හෝ ‘බැසිල් රාජපක්ෂ’ වැඩකාරයන් නොවේ. ඔවුන්ව වැඩකාරයන් කරවන්නේ ප්‍රේක්ෂක අපය. 

Deepthi

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.