බටහිර ශිෂ්ටාචාරයේ රෝග නිධානය සොයා යන මනෝ විශ්ලේෂණය ලිංගිකත්වය අමතක කර නොදමන අතර ම එය නැවත ලිංගිකත්වය හරහා විශ්විය වර්ණවත් කිරීමේ ව්‍යාපෘතියට ද සම්බන්ධ නොවන බව සුපැන්ජිත් තම Sexual Difference and Ontology (2012) ලිපියේ පෙන්වා දෙයි. එයට හේතුව නම් අවිඥානයේ විෂයය ම නූතන විද්‍යාවේ විෂයය බවට පත්වෙන නිසා බව ඇයපෙන්වා දෙයි. අපි කතා කරමින් සිටින්නේ ‍සෛල දෙකක එකතුවීම (ලිංගික එකතුවීම නම් ප‍්‍රජනනය) ගැන වුවද, පෙරුම් පුරන ආදරය (ආකෘති ගණනාවකින් ප‍්‍රකාශ වුවද) ගැන වුවද, සියල්ලන්ගේම උත්කෘෂ්ට බව ගැන (කලාව] ගැන වුවද, මේ සියල්ල ඇතුළත මිනිස් පැවැත්ම අන්ත දෙකක් අතර දෝලනය වන චක‍්‍රයකි. එම චක‍්‍රය ගමන් කරන්නේ ජීවිතය සහ මරණය අතර වුව ද මෙම ජීවිතය සහ මරණය නම් අක්ෂ දෙක අතර ගමන් ගන්නා මිනිසා ම`දක් මෙම චක‍්‍රයෙන් ගැලවී ගන්නේ සහජාස වෙත ගමන් කිරීමෙනි. ඉනුත් වැදගත්ම සහජාසයක් නම් මරණය කරා දිශානත වී ඇති පේ‍්‍රරණයක්  වන ලිංගිකත්වය යි. ෆ්‍රොයිඞ්ට අනුව ජීවිතයේ එකම ආශය වන මරණ ආශය කල්දමා ගැනීම සඳහා මිනිසා හට උපකාරී වන්නේ ලිංගික සහජාසයයි. ජිවිතය මරණය කරා යන මාවත ලිංගිකත්වය විසින් වෙනත් මඟකට හරවනු ලබයි. එනයින් මිනිසාගේ අමරණීයත්වය සහ ලිංගිකත්වය අතර සම්බන්ධයක් දැකිය හැකි අතර එය සිදු විය හැක්කේ ලිංගික යනුවනේ හඳුනාගත හැකි දෙය වඩාත් අර්ථාන්විත – උත්කෘෂ්ට දෙයක් බවට පරිවර්තනය කිරීමෙන් බව අපි මෙයට පෙර කවබත යසුනරි හරහා පෙන්වා දුන්නා ඔබට මතක ඇතැයි සිතමු. ප‍්‍රමෝදය වෙත තම නිර්මාණ රැගෙන නොයන කවබත ලිංගිකත්වය හරහා විශ්වය වර්ණ ගැන්විමේ ක‍්‍රියාවලියට සම්බන්ධ වූයේ නැත. ඔහුගේ සද්භාභාවය සංකේතනය තුළ නතරවේ. ලිංගික ක‍්‍රියාව ලිංගිකකරණය කරන්නේ ප‍්‍රමෝදය සින් නම් ඔහු ඒ සඳහා තම නිර්මාණ ශක්තිය ආයෝජනය කරන්නේ නැත.

ලිංගිකත්වය යනු මේ අනුව මරණය තරමට ම ප‍්‍රබල සහජාසයක් වන්නේ එය මිනිසා මරණය කරා යන ගමන අන් මඟකට යොමු කිරීමට (Detour) තරම්  ප‍්‍රබලත්වයක් එය සතුව ඇති හෙයිනි. එනම් එයට මිනිසා අමරණීයත්වය දක්වා ද රැගෙන යා හැකිය. එසේනම් මිනිසාට අනේකත්වය මුණ ගැසෙන මොහොතේ එම අනේකත්ව වස්තුව සමඟ ලිංගික පැටලීමක් ඇති වීම වැළැක්විය හැක්කේ කෙසේද? රුසියානු මාක්ස්වාදී ලේඛකයෙක් වූ අන්ද්‍රේ ප්ලැටනොව් විසින් 1926 වසරේ ලියන ලද නමුත් ඔහුගේ ජීවිත කාලය තුළ දී පළ නොකරන ලද The Anti Sexus නම් ලියවිල්ල උපුටා දක්වමින් ඇලෙන්කා සුපැන්ජිත් මෙසේ පෙන්වා දෙයි.

ප්ලැටොනොව් විසින් අලෙවිකරණ දැන්වීමක් සඳහා ලියන ලද අනෙකා මුණගැසීමේදී මිනිසා තුළ ඉස්මතු විය හැකි ලිංගික උද්දීපනය සෞඛ්‍ය සම්පන්න ලෙස සහ කාර්යක්ෂමව මැඩ පැවැත්විය හැකි විද්‍යුත් චුම්බන උපකරණය පිළිබඳ කෙටි සටහන ඔස්සේ පිරිමින් සහ ගැහැනුන් යන කොට්ඨාස දෙකේම ලිංගික පේ‍්‍රරණ තනි තනිවත් සාමූහිකවත් මෙමගින් පාලනය කළ හැකිය. රුසියානු වෙළෙඳපොළට මෙම උපකරණය හඳුන්වා දීම සඳහා ප්ලෙටනොව් ලියන ලද මෙම ලියවිල්ලේ දී අදාළ සමාගම පෙන්වා දෙන්නේ ‘මිනිසාගේ ලිංගික වනචාරීත්වය’ මේ ඔස්සේ සමනය කළ හැකි බවයි. මෙම ලිංගික රෙගියුලේටරය පාවිච්චි කිරීමෙන්: යුද්ධයේ සිටින සෙබළුන්ගේ ධෛර්යය පවත්වා ගැනීමටත්, ෆැක්ටරි කම්කරුවන්ගේ කාර්්‍යක්ෂමතාව වර්ධනය කිරිමටත්, ඈත යටත් විජිතවල දේශීයයන්ගේ නොයිවසිලිමත් බව පාලනය කිරීමටත් හැකිවන බව ඉහත වෙළෙඳ දැන්වීම ඔස්සේ ප්ලෙටනොව් පෙන්වා දෙන බව ප‍්‍රබන්ධාර්ථයෙන් සුපැන්ජිත් උපුටා දක්වයි. සමාජීය තුලිතභාවය විසින් මිනිසාගේ ලිංගික මෝඩකම ඉවත් කළ හොත් වඩා යහපත් මිත‍්‍රශීලී බවක් මිනිස් ආත්මයට ලබා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. අවසානයට ඔහු ස`දහන් කරන්නේ බුර්ෂුවා ලිංගික බංකොලොත්භාවය පෙන්වාදීම පිණිස මෙම දැන්වීම ලියා පළකරන බවයි. (සුපැන්ජිත්: What is Sex: පිටුව 27)

ප්ලෙටොනව් ඉහත ලියවිල්ලේ කුමන පාර්ශ්වය නියෝජනය කරනවා ද යන්නට වඩා වැදගත් වනේනේ ඉහත ලිපියේ මුහුණත වටිනාකම සැලකිල්ලට ලක් කිරීම බව පෙන්වා දෙන සුපැන්ජිත් මෙහි දැක්වෙන පූර්ව උපකල්පනවල ඇති ගැටලූකාරී බව ඉස්මතු කරයි.

මුල්ම ප්‍රොබ්ලමැතිකය නම් අපට (පිරිමියාහට) පුරෝකතනය කළ නොහැකි අනේකත්වයක (ගැහැනිය) ඇති පැවැත්ම මේ තුළින් අනෙකා අවිශ්වසනීය තැනකට (මිනිස් පැවැත්ම) පත්වීමයි. විශේෂයෙන් ඇයගේ ම ස්වච්ඡන්දතාව සහ අනුරාගික බව අවිශ්වාස කිරීම ඔස්සේ  අනෙකා සමඟ අප ගොඩනගන සම්බන්ධතාවයේ කොන්දේසි ලිංගිකත්වය සමඟ මුසුව පැවතීම අර්බුද ජනනය කරන දෙයක් ලෙස ගැනීම සමාජ සම්බන්දතාවලට සතුරු ලෙසින් ලිංගිකත්වය පිහිටුවා ගැනීමක් වන බව සුපැන්ජිත්ගේ අදහසයි. විනෝදයේ ලිංගිකත්වය අන්තර්ගතය අහෝසි කර එය ‘නිවැරැදි මාත‍්‍රාවට’ පමණක් ලබාදීමට යෑමේදී හෝ ලිංගිකත්වයේ සාරය යම්කිසි අධිකාරිමය බලයක් ඔස්සේ පිරිපහදු කිරීමට යෑමේදී (අනෙකා නොමැති විනෝදයක්) නැත්නම් විනෝදයෙන් අනෙකා අහෝසි කරන තත්ත්වයක් උද්ගත විය හැකි බව පෙන්වා දෙයි. මේ ස`දහා උදාහරණයක් ලෙස නිකොටින් නැති සිගරට් බෙහෙවින් සමාන කළ හැකිය. ඉහත ලිංගික – විරෝධී උපකරණය ඔස්සේ ප‍්‍රතිඵල වර්ග දෙකක් නිෂ්පාදනය කරගත හැකිය.,

A         පළමුවැන්න නම් අනෙකාගෙන් ලිංගිකත්වය ඉවත් කිරීම ඔස්සේ ගොඩනැගෙන අධ්‍යාත්මික සහ  තනිකර මිත‍්‍රශීලී සම්බන්ධයයි (Sexless)

B         දෙවැන්න නම් ලිංගිකත්වයේ සැබෑ අඩංගුව මිනිසා හට මුණගැසීමයි (Pure Substance of Sex) උපකරණය ඉවත් කළ වහාම ලිංගිකත්වයඑහි ශුද්ධ අරුතින් හමුවීම

C         පළමු තත්ත්වය පැහැදිලි නමුත් මෙහි දෙවැන්නෙන් කියවෙන්නේ කුමක්ද? ඉහත උපකරණ ඔස්සේ පාලනය කරන ලිංගික පේ‍්‍රරණය එම උපකරණය කි‍්‍රයා විරහිත කළ වහාම ඉස්මතු විය හැක්කේ, යමෙකුට සිනහ පහළ විය හැකි වුවද, රැුඩිකල් මිනිස් විමුක්තියේ කොටසක් ලෙස ගත හැකි ලිංගික නිදහසයි. මිනිස් සහජාසයට ඉහත උපකරණය ඔස්සේ ලැබෙන ‘නිදහස’ (බාධාව අවසන් වීම) ඔස්සේ ඔහු තුළ තිබෙන පාර භෞතික ලිංගික ප‍්‍රහේලිකාව මේ අනුව අවසන් වී යනු ඇත. නිදහස අහිමි කළ දෙය විසින්ම නැවත නිදහස ලබාදීම යනු එක් මනෝ විශ්ලේෂි කොන්දේසියක් වන විට ඉස්මතු වන ඊළඟ ගැටලූව නම් අනෙකා වෙතින් ලිංගිකත්වය ඉවත් කළ පමණින්ම ඔහු හෝ ඇය අධ්‍යාත්මික සම්බන්ධයකට සූදානම් ද යන තත්ත්වයයි. උදාහරණයක් ලෙස ලොව පුරා ජනප‍්‍රිය චිත‍්‍රපටයක් වන මාටින් ස්කොසේසි විසින් (1995) අධ්‍යක්ෂණය කරන ලද Casino හි ජින්ජර් නම් නිරූපිකාවක් සහ හිටපු ගණිකාවක් වන ස්ත‍්‍රිය සෑම් සමඟ ජීවත් වීමට එක`ග වුව ද, ඔවුන්ට දරුවෙක් ලැබුණ ද, ඇය ඒ සඳහා සත්‍යය ලෙසම සූදානම් ද යන ප්‍රෙහේළිකාමය සහ නූතන ගැටලූව මෙහිදී අපට ඉහත සුපැන්ජිත් සඳහන් කරන කරුණුවලට සමාන්තරව මතු කළ හැකි තත්ත්වයක් වේ. ඇයගේ අධ්‍යාත්මය තුළ ඇය සම්බන්ධ වී සිටින්නේ දුර්තයෙක් සහ පිම්පියෙක් වන ඇයගේ පැරණි පෙම්වතා වන ලෙස්ටර් සමඟය. පවත්නා වාණිජ සහ සමාජ ශක්තිය මත ඇය සෑම් සමඟ වාසය කිරීමට කැමති වුව ද නිරන්තරයෙන් පැරණි පෙම්වතා වෙත මුදල් යවයි; ඔහුගේ දුක සැප සොයා බලයි. ලාස් වේගාස්හි ද්‍රවශ‍්‍රීල ප‍්‍රාග්ධනය විසින් අතිශයින්ම ගැඹුරු සාන්දෘෂ්ටික ගැටලූවක ඔවුන් සියල්ලෝම පත්කරනු ලැබ ඇත.

සෑම් ඇයට වසඟ වන්නේ ඈ තුළ අන්තර්ගත මරණීය- චාටුමය – ආකර්ෂණීය සාරයට ය. ඇය බොරු කියයි. සොරකම් කරයි. මත්පැන් බොයි. දරුවා ගැන මෙන්ම සැමියා ගැන ද තැකීමක් නොකරයි. වරෙක පැරණි පෙම්වතා සොයා යයි. වරෙක මෝටර් රථය හප්පා ගනියි. වරෙක සැමියා මරාදැමීමට කුමන්ත‍්‍රණය කරයි. ඇය යනු පූර්ණ නිකොටින් අන්තර්ගතය සහිත සිගරැට්ටුවකි. එම නිකොටින් විෂ අහිමි කළ වහාම ඇය ද අතුරුදන් වී යයි. ඇය තුළ ඇති සප‍්‍රාණික කොටස ඉවත් කළ වහාම ඇය අප‍්‍රාණික වී යයි. කැසිනෝ වටපිටාව තුළ ඇති විෂ දුමාරය අහෝසි කළහොත් එය තවදුරටත් කැසිනෝ ක‍්‍රීඩාව බවට පත් නොවී ළමුන් කරන කෝම්පිට්ටු සෙල්ලමක් බවට පත්වේ. අනෙකාගෙන් විනෝදය ඉවත් කිරීමට නම් විනෝදයෙන් අනෙකා ඉවත් කළ යුතු බවට සුපැන්ජිත් සූත‍්‍රගත කරන්නේ මේ නිසාය. ඇයගේ මරණීය බවටම ආශා කරන සෑම් පසුව ඇයගේ මරණීය අන්තර්ගතය ‘සුමට’ කිරීමට වෙහෙසෙයි. ඉන්පසුව ඔහුට ඇය කිසිම දිනක මුණ ගැසෙන්නේ නැත. අප සොයන විනෝදය අනෙකා ‘තුළ’ ඇතුවා මෙන්ම අපට අනෙකා මුණගැසීම තුළම ඇත්තේ ද විනෝදයයි. නො – සම්බන්ධය තුළම ඇති ව්‍යුහය නම් විෂය සහ අනෙකා අතර පවතින නො-සම්බන්ධයයි. එනයින් අපි විනෝදය හරහා ගොඩනගන සම්බන්ධය පලූදු කර දමනු ලබන්නේ ද විනෝදය විසින්ම ය. මෙය තේරුම් ගැනීම මෙම යුගයේ මරණීය සම්බන්ධතාවල දී බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය හැකි බව අපගේ වැටහීමයි. අපගේ දෛනික ජීවිතයේ පුවත්පත් පිටු සහ ගොසිප් වෙ අඩවි පිරී ඇත්තේ මෙම මරණිය සම්බන්ධතාවල ප‍්‍රහේලිකාමය පුවත්වලිනි. විශේෂයෙන් න`එ නිළියන් අතර ගොඩනැගෙන නෝද සම්බන්ධතාකොතරම් මරණිය දුරකට ගමන් කරන්නේ ද යන්න පසුගිය කාලය පුරා ඔවුනු ඔප්පු කරමිනි සිටියි. නමුත් විනෝද සාධකය ඉවත් කළ වහාමඔවුන්ගේ සම්බන්ධ ද අහෝසි වි යයි. ඔවුන් නොදන්නා දෙය වන්නේ ද ඔවුන්ගේ ම සම්බන්ධයේ අනේකත්වය තුළ ඇති විනෝදය යි.

අප කෙතරම් අනෙකාගෙන් මිදී ස්වාධීන වීමට උත්සාහ කළ ද අප අනෙකාගෙන් දුරස් වන ප‍්‍රමාණයටම අප අනෙකාට සම්බන්ධ වේ. අපගේ පැවැත්ම ස්ථාපිත වනුයේ ‘බහි සංසේචිත’  ලෙස අප තුළම ඇති අනේකත්වය හරහා ය. අපගේ අභ්‍යන්තරම – ගැඹුරුම විනෝදය ඇත්තේ අනෙකා තුළ ය. අනෙකා  ‘අතුරුදන්’ වූ විගසම අපගේ අත්‍යන්ත විනෝදයේ හැඟවුම ද අතුරුදන් වී යයි (පිටුව 29) ජින්ජර් ගෙදරින් ඉවත් වු මොහොතේම සෑම් නොසන්සුන් මෙන්ම අතෘප්තිමත් වන්නේ එබැවිනි. එසේ නම් කි‍්‍රස්තියානි ශුද්ධවාදී පරිසරයක් තුළ ලිංගිකත්වය තහනම් කර ඒ වෙනුවට අධ්‍යාත්මික සම්බන්ධයක් අධි – නිශ්චය කර ඇත්තේ කුමක් සඳහාද? සිගරැට්ටුවේ විෂ නිකොටින් සාරය අහෝසි කර ඔවුන් බලාපොරොත්තු වනුයේ කුමන වර්ගයේ මිනිස් සම්බන්ධතා ද? ලිංගිකත්වය නොමැති සම්න්ධතා එසේ නම් පැවැතිය හැක්කක්ද? ඔවුන් කරනු ලැබ ඇත්තේ ද ඉහත ලිංගික – විරෝධී උපකරණය විසින් කර ඇති කාර්යයට සමාන දෙයක් ද යන්න අප ලබන සතියේ සාකච්ඡා කරමු.

මහේෂ් හපුගොඩ

 

ඔබේ අදහස කියන්න...