ජීවිතේ ගෙවන්න ගෙවන්න අපිට ජීවිතේ කියවෙන විදිය වෙනස් . මිනිස්සු පරිනත වෙනවා කියන්නේ ඒකට වෙන්න පුළුවන්. ඒත් පරිනතබාවය කියන්නේ සාපේක්ෂ දෙයක්.
අපි මූන දෙන අත්දැකීම් එක්ක ජීවිතේ සමහර තැන් වලදි කරන්ට් එක වැදෙනවා වගේ එක පාරටම තේරුම් යනවා මේ වෙන්නේ මේ වගේ දෙයක් නේද කියලා. සරළවම කියනවා නම් සමහර තැන් වලදි වඩාත් පහසුවෙන් ජීවිතේ අවස්තා කියවගන්න ,වටහා ගන්න පුළුවන් වෙනවා.
ඒක මනෝවිශ්ලේශනය හැදෑරීමත් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එක ගැන මට නිවැරිදිව තේරුම් යනවා.
ඒත් එක්කම මම හිතෙන් කියනවා ඒ වැටහීම ලබා දුන්න දීප්ති ට මම ණයගැති වෙනවා කියලා.ඒ වගේ හිතෙන් දහස් වාරයක් මම මේ වෙනකොට කියලා ඇති.මේක සරළ දෙයක් නෙමේ. නිකං හිතන්න මෙහෙම ……
මම හිටගෙන ඉන්නවා ගැඹුරු ලිඳක් ලඟ.මීට අවුරුදු 6කට උඩදි හිටපු මම නං එක පාර ලිඳට පනිනවා හේතුවක් නැතුව.අනිවාර්යයෙන්ම මම ගිලෙනවා.ඊට පස්සේ මම කොහොම හරි ඒකෙන් ගොඩට එනවා.එහෙම ආවහම මට දැනෙනවා ලොකු වීරකමක්.මම වගේ හයිය ගෑනියෙක් තවත් නෑ කියල මම පාරම්බානවා.මේ වෙනකොට ළිදක් ලඟ හිට ගත්තොත් මම හිතනවා මොන බම්බුවටද මම මෙතන හිටගත්තේ කියන එක.මේකට පනින්න මට පිස්සුද කියලා.මට වීරකම් කරන්න ඕන නෑ කියලා.මම කරන්නේ ලිං පඩියෙන් පුළුවන් තරම් ඈතට යන එක. මම දන්නවා මගේ දිහා බලන් ඉන්න අනෙකෙක් නෑ කියන එක.
 මම දීප්තිගෙන් ඉගෙන ගත්තේ මගෙන් මාව බේරගෙන ජීවත් වෙන විදිය.මගේ ඇතුලේ තියන තක්කඩිකම ,කපටිකම, අසංවරකම ,කලබලකම, දුෂ්ටකම , කුණු ගොඩවල් වල රස බලන කුණු ගතිය කියන මෙකී කී නොකී සෑම මනුශ්‍ය අවිනීතී ගති එක්ක මට සටන් කරන්න ඉගැන්නුවේ දීප්ති. එක මේසේ ඉඳගෙන ඉන්න මගේ අනික් පස සහෝදරයා එක්ක අධ්‍යාපනික ගනුදෙනුව කැත කරගන්නෙ නැතුව ඉස්සරහට ගෙනියන්න මට කියලා දුන්නේ අපේ පක්ශය.අපේ පක්ශයේ දීප්ති සහ අනෙක් සහෝදරවරු.
 මට රට හදන්න,මිනිස්සු හදන්න,සමාජයට සේවයක් කරන්න මේ වෙනකොටත් කිසිම උවමනාවක් සහ බලාපොරොත්තුවක් නෑ.පක්ශය ඇතුලේ  ඉදන් මම මොකක්ද කරේ කියන එකට මට උත්තරයක් තියනවා අද. ඒක තමයි මගෙන් මාව පරිස්සම් කරගන්න ඉගෙන ගත්ත එක.
පොඩි උදාහරණයක් මට පුළුවන් ඒකට දෙන්න.
මම සාමාන්‍යයෙන් ගහලා ලමයි හදන අම්මා කෙනෙක් නෙමේ.මම හරි නිදහසින් ලමයි හදන කෙනෙක් සහ එයාලගේ මනස ගැන මම සෑහෙන්න පරිස්සම්.ඇතුලට යන දේවල් එයාලගේ ජීවිත කාලේ පුරාම බලපානවා කියන එක තේරුම් ගත්ත කෙනෙක්.ඒත් එක මොහොතකදි ඉතාම සුලු දෙයකට මම ලඟ තිබ්බ හැදි මිටින් මගේ දරුවගේ අතට හයියෙන් ගහනවා.එයා එකපාරටම ඒ පහරේ වේදනාවත් එක්ක අදහගන්න බැරුව මං දිහා ඇස් ලොකු කරලා බලනවා.ඒ වෙලාවේ කරන්ට් එකක් වැදුනා වගේ මගේ ඔලුවට එනවා , මේ මම නැවත නැවත රිපීට් කරන්නේ මගේ ළමා කාලයේ මම විඳපු අත්දැකීම් නේද කියන එක.ඒක වෘත්තයක් වගේ.එකම රවුම ඇතුලේ මම ගමන් ගන්නවා නේද කියන එක මට තේරුම් යනවා. මගේ අම්මා මට සෑහෙන්න ගහනවා පොඩි කාලේ.ඒ එයා මූන දුන්න මානසික ප්‍රශ්න එලියට දාපු එක ක්‍රමයක්.මට පහර දීලා එයා නිදහස් වෙනවා. එතකොට මගේ අම්මා මම පොඩි කාලේ මට ගහනවා. මම දැන් මගේ දරුවන්ට ගහනවා. මෙන්න මේ සිතුවිල්ල මාව මරනය තරම් බිය ගැන්නුවා.මම ඉතා තදින් මට කිව්වා බෑ..මේක රිපීට් කරන්න බෑ.මගේ අම්මගේ හිස්ටීරීයාව මම ගත්තා.මම දැන් මගේ දරුවට ඒක දෙන්න යනවා.ඊට පස්සේ එයා ඒක එයාගේ දරුවට දෙයි.මේක මගෙන් ඉවර වෙන්න ඕන.
 එතකොට මම කොහොමද එහෙම හිතුවේ.කව්ද මාව අඳුරෙන් ආලෝකය වෙන් කරගන්න පුළුවන් තැනට ගෙනාවේ. දීප්තිට මම ණය ගැති වෙන්නේ අන්න එතනිදි. වරද තිබෙන්නේ අනෙකා තුළ නෙමේ තමන් තුළය කියන සංකීර්ණ කාරණාව මට වටහා දුන්න එකට මම දීප්තිට ස්තූතිවන්ත වෙනවා.
ඒත් එක්කම මම කල්පනා කරනවා ඇයි සමහර සහෝදරියන්ට පක්ශය ඇතුලේ මනෝවිශ්ලේශනය ඉගෙන ගන්න බැරි උනේ කියන එක.ඇයි එයාලා අතරමඟින් නයාට අඳු කොළ වගේ දුවලා ගියේ කියන එක.සමහරවිට එයාලට එයාලගෙ ඇත්ත මූනට මුණගැහෙන කොට ඒක දරාගන්න බැරි වෙන්න ඇති.එහෙම වෙන්න පුළුවන්. නිකං හිතන්න අපිට අපේ ඇතුලේ හැංගිලා තියන ආශාවන් එක පෙළට එලියට එනකොට අපිව තිගැස්සෙනවා.අපි තර්ක කරනවා නෑ මේ අපි නෙමේ කියලා.මොකද ඒ ආශාවන් ඒ තරමට අප්‍රසන්නයි.ජුගුප්සාජනකයි.ඉතිං අපිට බෑ ඒවා භාරගන්න.එහෙම භාරගත්තොත් අපිට බැරි වෙනවා අපි හදන් ඉන්න අනන්‍යතාවය තවදුරටත් නඩත්තු කරන්න.ඉතින් අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි පක්ශෙන් අයින් වෙලා යන එක.දීප්තිව පේන්නේ නැති තැනකට යන එක.අපේ ප්‍රධාන සතුරා වෙන්නේ දීප්ති.මොකද අපි හිතනවා අපේ ආශාවන් දීප්ති ඉදිරියේ හෙළිදරව් උනා කියලා. ඒ සිතුවිල්ල අපිව අනාරක්ෂිත කරනවා.ඒ නිසා අපි පුළුවන් තරම් දීප්තිව සමාජය ඉදිරියේ හෙළා දකිනවා.එහෙම කරන ගමන් අපි දීප්තිට අවිඥානිකව ආශා කරනවා.එහෙම කරන්නේ අපිට අවිඥානිකව සැනසීමක් ,නිදහසක් දැනෙනවා දීප්ති මාව අඳුරගත්තා කියන එක. මම හිතන්නේ පක්ශයෙන් අයින් වෙලා ගියපු සහෝදරියන්ව අද මට වඩාත් පැහැදිලිව තේරෙනවා.
තමන් එක්ක තමන් කරන අරගලය සරළ නෑ.හැම දවසකම ඒක අභියෝගයක්. අපිට පුළුවන් වෙන්න ඕන ගඳ ගහන කුනු ගොඩක් දැක්කම ඒක අස්සට නොගිහින් මග හැරලා ඇවිදන් යන්න. මිනිස්සුන්ට කියන්න පුළුවන් ඇයි අපි කුණු ගොඩවල් අස්සට යන්නේ කියලා.සමිතා එයාගේ තරුණ පෙම්වතා එක්ක තියන සම්බන්ධකම අපි කියවන්නේ ආසාවෙන් නෙමේද?? අපේ යාලුවෙක් අපිට කතා කරලා එයාගේ අනියම් ඇසුරක් ගැන කියනකොට අපි අහන් ඉන්නේ ආසාවෙන් නෙමේද?  බෝම්බ වගේ ගෑනු හොයන් කසාද බදින පිරිමි අපි දැකලා තියනවා නේද?? එක දිගට තමන්ට ගුටි බැට දෙන පෙම්වතුන් එක්ක ඉන්න ගෑනු අපි දැකලා තියනවා නේද? කැමත්තෙන් කඳුළු ගෑස් කන්නම බලන් උද්ඝෝෂණ වලට යන අය අපි දැකලා නැද්ද? ෆේස්බුක් එකේ වලි දාගෙන එළි වෙනකල් ඒවල කමෙන්ට් දාන අය අපි දැකලා නැද්ද ? කිසිම ප්‍රශ්නයක් නැතුව හිනා වෙලා ඉඳලා නාගොල්ලාගම බෙනඩික්ගේ කවි කියවලා අඩන ගෑනු ,පිරිමි අපි දැකලා නැද්ද? ‘හිරු’ ගොසිප් වල කාන්තා දූෂණ නිව්ස් විතරක් බලන අය ඉන්නවා කියලා අපි දන්නවා නේද?  එහෙනම් අපි කැමැත්තෙන් ගඳ ගහන කුනු අස්සේ රිංගං සුවඳ උරන පෙරේත ” ආත්ම නැති මනුශ්‍යයො වෙන්න පුළුවන් කමක් තියනවා නේද? 
මනෝවිශ්ලේශනය කියන්නේ ආගමට වඩා එහා ගිය එකක්. මනෝවිශ්ලේශනයෙන් පුළුවන් ඕනම මිනිහෙක්ව කනපිට ගහන්න.මනෝවිශ්ලේශනයෙන් අපිට කියලා දෙනවා ඇක්සිඩන්ට් අඩු කරගෙන ජීවත් වෙන විදිය. දීප්ති කරන්න උත්සාහ ගන්නේ ඇක්සිඩන්ට් අඩු සමාජයක් හදන එක කියලා මට හිතෙනවා.ඒත් එක්කම මට පළවෙනි වතාවට අඳුරෙන් එළියට එන්න උත්සාහ නොගන්න අනෙකා ගැන අනුකම්පාවක් දැනෙනවා. 
මනෝවිශ්ලේශනය ගැන කතා කරන බහුතරයක් දෙනා තමන් එක්ක අරගල කරන අය නෙමේ.එයාල කෙළින්ම සමාජයත් එක්ක සහ පවතින දේශපාලන ක්‍රමයත් එක්ක අරගල කරන මිනිස්සු.එයාලා මඟ හරිනවා තමන් සමඟ තමන් කළ යුතුව තිබෙන අරගලය. එයාලා බයයි කැඩපතට.මම හිතන්නේ මම ඉන්නේ ඒ මහා සමාජ අරගලකාමීන්ට වඩා ඉදිරියෙන්.මට මේ පවතින සමාජ ක්‍රමය එක්ක අරගලයක් කරන්න උනන්දුවක් නෑ.මට අනෙකා ගැන සංවේදී වීම හිරිහැරයක්. සොහොනේ ජීවත් වෙන දරු පවුලකට ගෙයක් හදාගන්න අධාර ඉල්ලලා තියන ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කම ඒක බලලා අධාරයක් දෙන්න පුළුවන් කමක් තිබුනත් මම ඒ ගැන නොහිතා වෙන පෝස්ට් එකක් කියවන්න ගන්නවා. ඒක මගේ නරුමකමද? වෙන්න පුළුවන්. ඒත් ගත වෙන හැම තත්ත්පරයකම මම ඉන්නේ අරගලයක.මාත් එක්ක මට තියන අරගලය.මම කණ්නාඩිය ඉස්සරහ හිටගෙන මට බය වෙන්නෙ නැතුව මම දිහා බලන් ඉන්නවා.මට මාව පැහැදිලි වෙනවා. හිස්ටරික ගැහැනියකට පුළුවන් එයා ජීවත් වෙන වෘත්තය කඩන්න.එයා එකම රවුමේ දිගටම ජීවත් විය යුතු නැහැ.එයා නිර්භීත වෙන්න ඕන එයාගේ මානසික ගැටළුව අදුර ගන්න.ඒත් එක්කම එයා භාරගන්න ඕන ඒක සනීප කරන්න බැරි ඒත් යටපත් කරගැනීමට හැකි මානසික රෝගයක් ලෙස. එයාට පුළුවන් වෙන්න ඕන එයා එක්ක අරගල කරන්න. 
සමාජත් එක්ක සහ පවතින ක්‍රමයත් එක්ක සටන් කරන බහුතරයක් විමුක්තිකාමීන් හරියට හැම්ස්ටර් මීයෝ වගේ.එයාලා ඇඟට මහන්සි දැනෙන්න එකම රවුමක් වටේ දුවනවා.එයාලට ඇඟට දැනෙන්න ඕන ඒ අරගලය. එයාලට දාඩිය දාන්න සටන් කරන්නම ඕන.එයාලට කඳුලු ගෑස් කන්නම ඕන.එයාලට බෑ නතර වෙන්න.එයාලට බැහැ තමන්ට කතා කරන්න.එයාලට පිළිගන්න බෑ මං ඇතුලේ මහ නරුමයෙක් ඉන්නවා කියන්න.වැලිකඩ හිරගෙදර ඉන්න මිනිස්සු සහ ඒ තාප්පෙන් එලියෙ ඉන්න අපි අතරෙ තියන වෙනස මොකක්ද? අපි අපරාධකාරයො නොවන්නේ ඇයි?? 
මම කියන්නේ අරගලය තමන් ඇතුලේ පටන් ගන්න.තමන්ගේ නරුමකම පිළිගන්න පුළුවන් වෙන තරම් ඉගෙන ගන්න.ඔලුවට කරන්ට් එක වැදෙනවා වගේ තමන්ට තමන්ව නිරාවරණය වෙන මොහොතවල් එනකල් ඉගෙන ගන්න. 

Ramesha Siriwardana

ඔබේ අදහස කියන්න...