මෙම අදහස් පක්ෂය නියෝජනය නොකරයි- අර්බුදය නියෝජනය කරයි.

විජයකලා කල ප්‍රකාශය ගැන දයාපාල තිරාණගම මහතා පල කල අදහසක් මම බ්ලොග් ලිපියක් “විජයකලා සම්බෝලයට ගැනීම සහ ….දයාපාල තිරාණගම”  ලෙස පල කෙළෙමි.

එම ලිපිය කියවා  බොහෝ අය වරදවා වටහා ගත් දෙයක් විය. ඒ විජයකලා ගේ ප්‍රකාශයට අප සමාව දැක්වීමක් කරන බවකි. එසේත් නැතිනම් විජයකලා කීවට කමක් නැති වුවත් දකුණේ එසේ කීම වැරදි යයි අප අදහස් කරන බවකි. මෙම අදහස් දෙකම වැරදිය. විජයකලා යනු විගේනේශ්වරන් වැනිම තවත් අවස්ථාවාදී දේශපාලනයේ යෙදෙන චරිතයකි. යාපනයේ අපරාධ වැඩි වන විට ඇය තද පාලනයක් සහිත එල්ටීටිය ඉල්ලන්නේ එබැවිනි.

කොටින්ම ඇය කියන්නේ ” මේ  බලන්න ආණ්ඩුවේ වත් මගේ වත් ප්‍රශ්නයක් නෙමේ මේක. මට ඔයාල චන්දෙ දෙන්න. එල්ටීටිය ගෙනල්ල හරි  මම ඔයාලට සේවය කරන්නම්”  නමුත් ප්‍රශ්නය ඇත්තේ විජයකලා නියෝජනය කරන  රජයේ පාලනය, ඊට කලින් පැවති  රජයේ පාලනය හා තවමත් නොවිසදුනු දෙමළ  ජාතික ප්‍රශ්නය, උතුරේ  ආර්ථික ප්‍රශ්න (මුළුරටේම  ඒවාට අමතරව) තුල බව ඇය සඟවයි. ඇගේ කතාව  මෙන්ම ගෝඨා ගෙනෙන ඝෝෂාව තුල ඇත්තේද මේ සත්‍යය වසන් කිරීමයි.
ගෝඨා ගෙන ඒමේ ඝෝෂාව  ඇත්තටම ජනාධිපති ප්‍රමුඛ රජයේ වැඩක්ද කියා සැකයක්    ඇති වන්නේ මේ වෙලාවටය.

නිර්මාල් දේවසිරි මහතා විසින් “අනිද්දා” නම් පත්‍රයකට ලියන ලද ලිපියකට දයාපාල තිරාණගම ලියු පිළිතුරක් එම පත්‍රයේ (අනිද්දා ) පල කර නොමැත. එම නිසා එම ලිපිය ඉහත කරුණට ද අදාල හෙයින් මෙහි පල කිරීමට තීරණය කලෙමි.
අජිත් ධර්මකීර්ති.
************************************************************
මා මිත්‍ර  නිර්මාල් රන්ජිත් දේවසිරි අප මුහුණු පොත හරහා කරන ලද විවාදයක් මුද්‍රිත  මාධ්‍යය  ට ගෙන ඒම ගැන මා සතුටුවෙමි.අනිද්දා පත්‍රයෙන් (28/ 7/29) ඔහු කල ප්‍රතිචාරයට පිළිතුරක් දීම අවශ්‍ය වන්නේ අද පවතින  අර්බුදයෙන් අප ගොඩ එන්නේ කෙසේද  යන්න ගැන සංවාදයක් අවශ්‍ය  වනබැවිනි.

අද පවතින අර්බුදය කෙතරම් දුරට  ජනතා  බලවේගයන් ආකුල ව්‍යාකුල  කර ඇත්දැයි කිව හොත් සියලුම පක්ෂ සහ
දේශපාලන උනන්දුවක් ඇති පුද්ගලයන් පවා නන් දෙඩ විලි කරුණු ලබන්නේ දේශපාලන ළදරුවන් මෙනි.

විජයකලා කොටි සංවිධානයට නැවත ගොඩ නැගීමට කරනලද අභිලාෂයත්,නිර්මාල් රන්ජිත් කලක සිට 2020 දී ගෝඨා  බලයට පත්කිරීම සඳහා කර ඇති කතිකාවත ද අයත් වන්නේ අද  මුහුණ දෙන අර්බුදයේ එක්මානයක් ලෙසයි.නමුත් මේ දෙදෙනාම කියා සිටින්නේ තමන් ඇත්තටම  අදහස් කලේ එය නොවන බවය.විශේෂයෙන් ම නිර්මාල් ගේ අනුගාමිකයන් කියා සිටින්නේ ගෝටා 2020 බලයට පත් කොට ජනතාවට ප්‍රජාතන්ත්‍ර වාදයේ  වටිනාකම කියා දීම මිස වෙන දේශපාලන පාඩමක් නැති වන්නේ ගෝඨා  නියෝජනය කරන බලවේගයන්  එතරම්ම ශක්තිමත් නිසාය.අප විසින් ඉදිරිපත්කරන  කිසියම් දේශපාලන ව්‍යාපෘතිය  ක් සහ අද ජනතා ව සිටින තැන අතර පියවිය නොහැකි විශාල පරතරයක් ඇති  බැවින් එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ගැන විශ්වාසයක්  නිර්මාල්  තුල නොමැති බව ඔහු පෙන්නුම් කරයි.

යම්කිසි සංවිධාන ව්‍යුහයකට  සම්බන්ධවන්නේ  හෝ සාමුහික  වගකීමක් නැතිව තනි පුද්ගලයන් වශයෙන් පැවතීම සහ තමන් වුවමනාවෙන්ම  තනිවීම නිසා බොහෝවිට සාමුහිකතත්වයට වඩා තම පෞද්ගලික දේශපාලන හැකියාව පිළිබඳව ඇතිකරගන්නා  අධිවිශ්වාසය දේශපාලන ක්‍රියාවලියක  දිග හැරීම ගැන බියකරු සිහින දැකීමෙන් අප ගැලවිය යුතුය.එසේ ගැලවීමට නොහැකිවීම ගෝඨා  ගේ 2020 යෝජනා ක්‍රමයට ආ  වැඩීමේ දේශපාලන වැරැද්ද කරනු ලැබීම ජාතිවාදී සහ ආගම් වාදී ප්‍රවණතාවයන් සුජාත කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කිරීමකි.

විමුක්තිකාමී දේශපාලන බලවේගයන්ගේ බෙලහීනතාවය දේශීයව සක්‍රීය  බලවේගයක් බවට පත්කිරීමට ගෝඨා  විසින් බලයට පැමිණ කරන මර්දනයෙන් සිදුවෙතැයි සිතීම ජනතාවට පාන්  බැරිනම් කේක් කාපල්ලා යයි කීමක් වැනිය.එය ජනතා වට කෝපාන්විතව කරන තරවටුවකි.අප වාමාංශය වෙනුවෙන් පෙනී සිටින්නේ එහි උරුමයේ පවතින පසුබැසීම් මෙන්ම ජයග්‍රහණයන්  ද නිසා උරුම කරගත් පාඩම් වලින් සන්නද්ධ වෙමිනි.දශක ගණනාවක දේශපාලන නිහඬ බව සති ගණනක්  ඇතුලත  ගිගුරුම් දෙමින් ජනතාව අවධිවීම ගැන හොඳ උදාහරණයන් ටියුනිසියාවේ සහ ඊජීප්තුවේ ජනතා නැගිටීම් වලින්  පෙන්වනු  ලැබිය.

නිර්මාල් විසින් සිය පිළිතුරු ගොනු කරද්දී මෙවන් අවස්ථාවල ලෙනින් කල ආකාරයට වෘත්තිමය  විප්ලවාදීන් ගොඩ නගමින් ගෙන ගිය ආකෘතිය යල් පැනගිය එකක් ලෙස මම සලකමි. ජනතාව පීඩාවිඳින සියලුම  ක්ෂේත්‍ර  වල,කම්කරු,ගොවි,  ස්ත්‍රී,  පීඩිත ජනතා සමුහයන්හි  හා  ශිෂ්‍ය බලවේග  වෙනම ඔවුනොවුන්ගේ පීඩිත දේශපාලන අවකාශයන් තුල සංවිධානය  කොට  ජනතා බලවේග ගොඩ නැගීමේ ව්යාපෘතියක් කෙරෙහි මේ යුගයේ දේශපාලන අවශ්‍යතාවයක් ලෙස මම දකිමි. 

ගෝඨා නියෝජනය කරන ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන් ප්‍රබල  වුවද එම බලවේගයන් නියෝජනය සඳහා ඔහුගේ  යෝග්‍ය   බව පිලිබඳ දැඩි විරෝධයන් එම කඳවුරේ සමහර නායකනයන් ගෙන් එල්ල වී ඇත.එමනිසා ගෝඨා ගේ යෝජනා ක්‍රමය  සිදුවිය හැක්කක් බව ට සහතික කල නොහැක.එය එසේ වුවහොත් ගෝඨා ගෙනවිත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ඉගැන්වීමේ නිර්මාල්ගේ සිහිනය සබැ නොවනු ඇත.මෙය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට සිදුවන පාඩුවක් ලෙස ඔහු දකින්නට පුලුඑවන් කම ඇත්තේ ඒ පිළිබඳව කලක සිටි සෑහෙන බලා පොරොත්තු සහිත කතිකාවක් ඔහු ගොඩ  නගා ඇති  බැවිනි.

නිර්මල්ගේ විවාදාත්මක  ගෝඨා  2020 යෝජනා ක්‍රමය    ඔහු  ගෙන අවේ ජවිපෙ අනුර  කුමාරට 2020 පාර  කැපීමේ යෝජනා ක්‍රමය  සාක්ෂාත් කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙසයයි මම විශ්වාස කරමි.එමගින් ජනතාව අතර  භීතිය  උපදවා එමගින් අනුර කුමාරගේ චන්ද ගොඩ වැඩි කර ගත හැකිව තිබුණි.නමුත් දැන් පෙනී යන ආකාරයට එය අසාර්ථක වෙමින් පවතී.

ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම විශ්ව විද්‍යාල  මහාචාර්ය වරුන්ට පැවරුව  හොත් ඒවා නැති බංග වනබව කවුදෝ විප්ලවාදී නායකයෙක් කියූ බව මට මතකය.

ජනතාව පීඩාවට ලක් වීමේ දී ඇතිවන විනාශය සහ පසු බෑම ඉන් ජනතාව ඉගෙන ගන්න වටිනාකම් වලට වඩා හානි කරය.දුෂ්කරය.කටුකය.එය ජතාවගේ විමුක්තිය දශක ගණනාවක් ආපස්සට ගෙන යනු ඇත.එබඳු වූ ව්‍යසනයක්  අධිෂ්ඨාන කිරීම අපේ සදාචාරයට ගැල පෙන්නේ නැත.අපේ සදාචාරය සංයුක්තවන්නේ මැටි බළලා ගෙන් හෝ මීයන් අල්ලා ගැනීමක් නොවේ. අප කල යුත්තේ මිනිස් සදාචාරයේ අඛණ්ඩතාවය  රැක  ගනිමින් විමුක්ති මාර්ගයේ  ජනතාව  සමග ගමන්  කිරීමයි.
දයාපාල තිරාණගම

ඔබේ අදහස කියන්න...