“ලංකාව දියුණු කිරීම සදහා දීප්ති  විසින් යෝජනා කරන නිශ්චිත සැලැස්ම (blue print) කුමක්ද?”  යන්න බොහෝ දෙනා අසන ප්‍රශ්නයකි. එම නිශ්චිත සැලැස්ම  පිළිබද සාකච්ජාවේ පළමු අදියර මෙම ලිපිය මගින් ආරම්භ වේ. ඒ මගින්  දීප්තිගේ දේශපාලන ව්‍යාපෘතියේ සැබෑ අරමුණු මොනවාද යන්න පිළිබද  නිශ්චිත පැහැදිලි කිරීමක් කියවන්නාට ලැබෙනු ඇත.

මාක්ස් ගේ දර්ශනයට අනුව ශ්‍රමය විසින් වටිනාකම් (values) නිපදවනු ලැබේ.නමුත් ලංකාවේ ශ්‍රමයට වටිනාකමක් පවතී දැයි ගැටළු සහගතය. ශ්‍රම සුරාකෑම ගැන බොහෝ දෙනා කතා කලද තමන් සුරා කෑමකට ලක්වන බවට වූ සවිඥානිකත්වයක්  ලංකික ශ්‍රමිකයාට නැත. එය දැනගැනීම සදහා ශිෂ්ටාචාරයේ එක් මට්ටමකට පැමිණිය යුතුය. ශිෂ්ටත්වයෙන් පහත්-anti-post colonial position- පුද්ගලයාට ශ්‍රම සුරාකෑම පිළිබද කොතෙක් පැහැදිලි කලද ඔහු එය අවබෝධ කර නොගනී. ලාංකිකයාගේ ශිෂ්ඨාචාර විකාශනය බැහැර කර බටහිර කම්හල් වල සේවය කල කම්කරුවන්ගේ ශ්‍රම සුරාකෑම පිළිබද න්‍යාය ලංකාවට ආදේශ කිරීම සදහා සම්ප්‍රදායික වම තවමත් උත්සහ කරමින් සිටී. ඒ අනුව ඔවුන්ගේ අසමත් වීම මුලධාර්මික   අසමත් වීමකි. කෙසේ වෙතත් මාක්ස් ගේ ප්‍රාග්ධනය කෘතිය මගින් ලංකාවේ සමකාලීන සමාජය තේරුම් ගත නොහැකි බව ඉන් අදහස් නොවේ. ගැටලුව වන්නේ පැරණි වම කෘතිය කියවන්නේ මුලධාර්මිකව  වැරදි ආස්ථානයක වීමයි.    

ධනවාදය ලෙස බොහෝ දෙනා වරදවා වටහා ගන්නේ අවකාශයේ සිදුවන වෙනස් වීමයි. එනම් නව ගොඩනැගිලි, මං මාවත්, අධිවේගී මාර්ග, නවීන වාහන , වැඩබිම් , වෙළදපල, තාක්ෂනය ආදිය වේ. නමුත් ධනවාදය තුල වැදගත් වන්නේ කාලයයි (time). ප්‍රාග්ධනය (capital)වර්ධනය වන්නේ කෙනෙකුගේ කාලය ලබා ගැනීම මගිනි.එලෙස ලබා ගන්නේ  පුහුණු ශ්‍රමිකයන්ගෙන් වඩා ගැලපෙන කෙනාගේ කාලය පමණි. උදාහරණයකට BMW සමාගම මීලග කර්මාන්තශාලාව පිහිටුවන්නේ තම  මෝටර් රථය  වැඩිම ලාභයක් ලබා ගත හැකි ලෙස නිෂ්පාදනය කල හැකි  ශ්‍රමය තිබෙන තැනකය. ඔවුන් සොයන  තැන මිනිසුන් තම කාලය ලබා දීම සදහා සුදානම් වී සිටිය යුතුය. ප්‍රාග්ධනය යනු කාලයෙන්  දායක වීමයි (contribution by time).

නිෂ්පාදනය ඇමරිකාවෙන් චීනයට විතැන් වන්නේ ප්‍රග්ධනයේ ඉහත ගති ලක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රාග්ධනය   එක තැනක රැදී සිටින්නේ නැත. කලින් වසරට වඩා ලාභය වැඩි වන්නේ නැති නම් ප්‍රාග්ධනය ඉහත සදහන් ලාභ ශ්‍රමය සොයා වෙනත් තැනකට ගමන් කරයි. ප්‍රාග්ධනයට රටක් ,ජාතියක් හෝ ආගමක් නැත. එය ගෝලීය ප්‍රපංචයකි. ස්ථාවර ලාභයක් ලබමින්, වර්ධනය නොවෙමින් හෝ  පාඩු ලබමින් පවතින කර්මාන්ත හෝ ආයතන යනු තවදුරටත් ධනවාදයට අයත් දේවල් නොවේ. ඒවා අයත් වන්නේ ධනවාදයෙන් ස්වායත්ත  ආර්ථික කාණ්ඩයටය.   

ප්‍රාග්ධනය සම්මුච්චනය වන්නේ ශ්‍රමය අතිරික්ත වටිනාකමක් නිපදවන්නේ නම් පමණි.මුදල් එකතු කර මුල්‍ය ආයතනක තැම්පත් කර ලාභයක් ලබා ගැනීම ප්‍රාග්ධනය නොවේ. එය ධනවාදයට විරුද්ධ ක්‍රමයකි. ධනවාදී නිෂ්පාදනය ඉතා හොදින් ක්‍රියාත්මක රටවල් ලෙස යුරෝපයේ ජර්මනියත්, ආසියාවේ චීනයත් හදුනාගත හැක. එම රටවල් ඉතා සාමකාමීය. යුද්ධ වල පැටලෙන්නේ නැත. අපරාධ ආදිය සිදුවන්නේ ඉතා අඩුවෙනි. මිනිස්සු නිතරම සිටින්නේ වැඩ වලය. ඊට ප්‍රතිපක්ෂව ඇමරිකාව සහ රුසියාව සිටින්නේ දැඩි අසහනයකය. ප්‍රාග්ධනය සංක්‍රමණය වීම ඊට හේතුවයි. ඇන්ජෙලා මාර්කෙල් කිසිදු ගැටළුවක් නොමැතිව සිරියානු සංක්‍රමණිකයන්ට තම රටට පැමිණෙන්න යැයි  ආරාධනා කරයි. ඊට හේතුව මෙම සංක්‍රමණිකයන්ගේ ශ්‍රමය ඔවුන්ට ප්‍රයෝජනයට ගත හැකි නිසාය. ප්‍රාග්ධනය වර්ධනය කිරීමට දායක වන පුහුණු ශ්‍රමිකයන්ගේ නිවසේ වැඩ මෙවැනි සංක්‍රමණිකයන් මගින් ඉටුකර ගතහැක. එහි ප්‍රතිඵලයක්  ලෙස ප්‍රාග්ධනයට වැදගත්කමක් ඇති ශ්‍රම කාලය තව තවත්  දිගු වේ. ප්‍රාග්ධනය පැමිණෙන්නේ ශ්‍රමය සුරාකෑමටය  යන අදහස මෙහිදී ප්‍රතික්ෂේප කල යුතුය.

ලංකාව වැනි රටක ඇත්තේ ප්‍රග්ධනයද යන ගැටලුව දැන් අපට ඇති වේ. ලංකාව තුල අතිරික්ත වටිනාකම් නිපදවන ක්‍රම  කිහිපයක් ඇත. Glaxo, Unilever වැනි සමාගම් කිහිපය සහ විදේශ රැකියා වල නියතු ශ්‍රමිකයන්ගේ මුදල් ඒ අතර වේ. ලංකාවේ අනෙක් අතට ඇත්තේ ණය මත සහ කලින් සදහන් කල සමාගම් ගෙවන බදු මුදල් සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් වලින් යැපෙන ආර්ථිකයකි.ලිසිං මත  වාහනයක් ලබා ගැනීම , ණයට නිවසක් තනා ගැනීම ආදිය මගින් පුද්ගලයා බලාපොරොත්තු වන්නේ කවදා හෝ එම දේපල තමන් සතු කර ගැනීමයි. නමුත් මේ දේපල තමන් වෙත මේ මොහොතේ පැමිණෙන්නේ අනුන්ගේ සල්ලි වලින් බව ඔහු නොදනී. මෙවැනි ආර්ථිකයක් ප්‍රති-ධනවාදීය (anti-capitalist). ලංකාවේ වෘත්තීය සමිති බොහොමයක් සිටින්නේ මෙම ප්‍රති-ධනවාදී පිරිසත් සමගය.

දැන් අප ලංකාවේ පවතින ප්‍රති-ධනවාදී තත්වය උදාහරණ ඇසුරෙන් පැහැදිලි කර ගනිමු. ලංකාවේ දුම්රිය එන්ජින් ක්‍රියා කරුවෙකුගේ වැටුප ලක්ෂ දෙකකට වැඩිය. නමුත් එම ශ්‍රමයේ කිසිදු ඵලදායිතාවයක් නැත. ලංකාවේ වෛද්‍යවරයෙකු වැඩි වැටුපක් ලබා ගනී. නමුත් ඔහු අතිරික්ත වටිනාකමක් නිපදවන්නේ නැත. තවද විශ්ව විද්‍යාල ආචාර්යවරු යනු කිසිදු වටිනාකමක් නිෂ්පාදනය නොකර නිකම් ඉදිමින් වැඩි වැටුපක් ලබා ගන්නා පිරිසකි.මේ සියලු ප්‍රති-ධනවාදී පිරිසට වැටුප් ගෙවන්නේ  පෞද්ගලික සමාගම් සහ විදෙස් ශ්‍රමිකයන් නිපදවන  අතිරක්ත ප්‍රාග්ධනය මගිනි. එය ප්‍රමාණවත් නොවන විට ණය ලබා ගැනීමට සිදුවේ. ඒ අනුව ලංකාවේ ධනවාදය යනු ස්වයං ප්‍රතිශක්ති (auto immune) පද්දතියකි. එක පැත්තකින් ඵලදායි ශ්‍රමය විසින් උපයන ලාභය තවත් පැත්තකින් ප්‍රති-ධනවාදී ඵලදායිතාවයක් නැති පිරිසට බෙදා දීමට සිදුවේ. ප්‍රාග්ධනයට සම්මුච්චනය වීමට අවස්ථාවක් උදා නොවේ. ඵලදායි ශ්‍රමය සුරාකන්නේ නිකන් සිටින පිරිස විසිනි.

CEB , Telecom, Sri Lanka Insurance වැනි ආයතන මගින් ලබා දෙන සේවාවන් මගින් ලාභයක් උපයන නමුත් එම ලාභය නැවත එම ආයතන වල සිටින අය විසින්ම (CEB ආයතනයේ නම් ඉංජිනේරුවන් විසින් ) ඉවර කර දමයි. මේ නිසා මෙවැනි ආයතන වල ක්‍රියාත්මක වන්නේ ආයතනය තුලම වූ ස්වයං ප්‍රතිශක්ති ක්‍රමයකි.   ”ප්‍රති-ධනවාදී” ශ්‍රමය ප්‍රාග්ධනය මත පරපෝෂිත වේ. ලංකාවේ එන්න එන්නම මෙම ප්‍රති-ධනවාදී කොටස වැඩි වෙමින් පවතී. ප්‍රති- ධනවාදී ස්ථාවරයක සිටි අප සංවිධානයේ එක්තරා අවධියක සංවිධානයට ලක්ෂ 300ක මුදල් එකතු කර  ගැනීමට හැකි විය. අනුන්ගේ ප්‍රාග්ධනය ලබා ගත හැකි වන්නේ  ප්‍රති- ධනවාදී පිරිසයටය. එක් පැත්තකින් ප්‍රති- ධනවාදී භාවය යනු ධනවාදී ෆැන්ටසියකි. ලංකාවේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ප්‍රති- ධනවාදී පිරිස සමගින්ය. ඔවුන් යැපෙන්නේ ධනවාදය මතය. මෙම තත්වය තුල ලංකාවේ සමාජය යනු වටිනාකම් යල්පැන ගිය සමාජයකි. අනුන්ගේ මුදල් ණයට ගෙන තමන් ලස්සනට ජීවත් වන බව පෙන්වමින් ව්‍යාජ වටිනාකම් මවා පෑමට ලාංකිකයාට සිදු වී තිබේ. ඔහු/ඇය ගේ  ජීවිතය යනු ප්‍රදර්ශනයක් මිස තමන්ට ඇත්තටම පවතින ජීවිතය නොවේ.

අධික පරිභෝජනය නිසා (උදා: ණයට කාර් මිලදී ගැනීම, අවුරුදු ගණනක්  ගෙවන්න ණයට වෙඩින් ගැනීම) වෙළදපල තුල පාරිභෝගික භාණ්ඩ සදහා ඉල්ලුම වැඩි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය වැඩි වේ. වැඩි වන නිෂ්පාදනයට අනුව අමු ද්‍රව්‍ය වල ඉල්ලුම වැඩි වේ. මේ නිසා ස්වභාවදහම තව තවත් විනාශ කිරීමට සිදුවේ. ඉදිරියේදී තව තවත් ස්වභාවදහම විනාශ කිරීමට සිදුවීම අනිවාර්යතාවයකි. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ චීනයෙන් ණය ලබාගෙන හොදින් කා බී සිටීමට ලාංකිකයාට හැකි විය. එ සමය තුල පැවතුනේ  වටිනාකම් නිපදවා දියුණු කල රටක් නොවේ. ඒ අනුව රාජපක්ෂ යුගයද ප්‍රති – ධනවාදී වේ. Treadmill උපකරණයේ අප කැමති වේගයකින් දුවනවා මෙන්  රාජපක්ෂ සමයේ වේගයෙන් දුවමින් පැවතුන රට යහපාලනය යටතේ සෙමින් දුවමින් පවතී. නමුත් මෙම යුග දෙක තුල රටේ ප්‍රාග්ධනය වර්ධනය වීමක් සිදු නොවින.

පෙට්‍රල් මිල අඩු කල යුතු බවට ජ.වි.පෙ රට පුරා පෝස්ටර් අලවා තිබිණ. පෙට්‍රල් අඩුවට දීමට නම් ඛනිජ තෙල් සංස්ථාව ධනවාදී ආකෘතියට ප්‍රතිසංස්කරණය කල යුතුය. එය වටිනාකම් නිපදවන ආයතනයක් බවට පත් කල යුතුය. ලෝක වෙළදපලේ තෙල් මිල අඩු වුවද ලංකාවේ තෙල්  මිල අඩු කිරීමට නොහැකි වන්නේ අඩු කල නොහැකි සෙනගක් එම ආයතනයේ සිටින බැවිනි. මෙම ආයතනය පමණක් නොව වරාය, CTB, Railway, Water Board ආදී සියලු ආයතන ප්‍රති-ධනවාදීය. මෙම තත්වය ඉහලින්ම ගුවන්- Air Lanka- සමාගමට අදාලය.Water Board වැනි ආයතන වල වැඩිම ප්‍රතිලාභ ලබන්නේ ඉංජිනේරුවන්ය.

ලංකාවේ අඩුම ඵලදායිතාවයක් ඇති වෘත්තීය වන්නේ ගුරු වෘත්තියයි. එය එසේ නොවේ නම් මේ තරම් ටියුෂන් පන්ති තිබිය නොහැක. මේ තත්වය ගැන නොදන්නා සේ හැසිරෙන ජෝසප් ස්ටාලින් බෙල්ල මිරිකූ උරෙකු ලෙස කෑ ගසන්නේ මෙම  පරපෝෂිතයන් වෙනුවෙනි. ගුරුවරුන්ගේ සේවය ගැන කිසිදු ඇගයීමක් සිදු නොකරයි. ඔවුන්ගෙන් සිදුවිය යුතු සමාජ නිෂ්පාදනය පිළිබද කිසිදු නිර්නායකයන් ගොඩනගා නැත. ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් 50% කට ආසන්න පිරිසක් අසමත්ය. රටට ලැබෙන ප්‍රතිලාභය එයයි. නමුත් ස්ටාලින් කියන්නේ තවත් ගුරුවරු වැඩි කිරීමටය. ගුරුවරුන්ට වැටුප් ගෙවිය යුත්තේ කරනු ලබන නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභ සලකා බැලීමෙන් පසුවය. මෙය අනෙකුත් ක්ෂේත්‍ර සදහාද අදාළ වේ. ලබා දෙන වැටුපට සරිලන ප්‍රතිලාභයක් යන්තමින් හෝ ලැබෙන්නේ පොලිසිය සහ සෞඛ්‍ය අංශයෙන් පමණි. ඔවුන්ගේ ශ්‍රමය ගුණාත්මක නැතත් මෙම අංශ දෙකේම සේවකයන් පැය විසි හතරේ ඕනෑම මොහොතක සේවය කිරීමට බැදී සිටී. On duty සේවය නිසා පොලිස් නිලධාරියා ඇත්තටම සුරා කෑමට ලක්වේ.

ශ්‍රමය ”අතිරික්ත- වටිනාකම්” නිපදවන්නේ නැති නිසා අපට හමුවන්නේ වටිනාකම් යල්පැන ගිය සමාජයකි. එම සමාජය තුල සියලු දෙනා ව්‍යාපාර ලෙස කරන්නේ ජීවත් වීම සදහා කුමන හෝ දෙයකි. එම ව්‍යාපාර සදහා ආයෝජනය කරන්නේ අනුන්ගේ ප්‍රග්ධනයයි. ශ්‍රමය වටිනාකම නිපදවන්නේ නැති නිසා අපට කෑමට ඇත්තේ උළුදු නැති උළුදු වැඩේය. තේ වල තේ නැත. පහල පංතිය භාවිතා කරන ඕනෑම භාණ්ඩයක් ගුණාත්මක බවෙන් ඉතා පහල මට්ටමක පවතී. අප සපත්තු මිලදී ගත්තද ලෙදර් සපත්තු මිලදී ගැනීමට නොහැක. මිලදී ගන්නා ඇදුම් 4 පාරක් සේදු විට එහි හැඩය වෙනස් වී යයි. මාළු පාන් වල මාළු නැත. බිත්තර රොටී වල බිත්තර නැත. චීස් කොත්තු වල චීස් නැත. චිකන් රයිස් වල චිකන් නැත. පේස්ට්‍රි වල මදය නැත. සියලු භාණ්ඩ වල සාරය ඉවත් කර ඇත. ලංකාවේ මිනිසුන් පිෂ්ඨය අඩු කර ප්‍රෝටීන් වැඩිපුර ලබා ගත යුතු බව අහාර විද්‍යාඥයින් සදහන් කරයි. මොළය වර්ධනය වීමට ප්‍රෝටීන් අවශ්‍ය වේ. නමුත් ඒ සදහා අපට මුදල් නැත. මස් කන්න එපා කියා කියන අය මේ තත්වය තුල අපට ලොකු උදවුවක් කරයි.

ඉහත පැහැදිලි කරනු ලැබුවේ සමකාලීන ලංකාවේ සැබෑ තත්වයයි. ප්‍රාග්ධනය කෘතියේ අදහස යොදා ගනිමින් සමාජය දෙස බැලූ විට අපට පෙනී යන දෙයයි. ලංකවේ ආයෝජනය සදහා ධනපතියන් නොපැමිණෙන්නේ ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය නැති නිසාය. පවතින තත්වය වෙනස් කිරීමට නම් පළමුව  රටේ ප්‍රාග්ධනය සම්මුච්චනය වන ව්‍යපෘති ගොඩනැගිය යුතුය.  තැන් තැන් වල කඩ දමාගෙන සිටින පිරිස් , ඈත ප්‍රදේශ වල කැලෑවට වී සිටින ගොවීන් වටිනාකම් නිපදවන සමාගම් වල ශ්‍රමිකයන් කල යුතුය. අප යෝජනා කරන වෙනස ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර කාර්යකි. නමුත් මෙම  ගමනට  අනාගතයක්  ඇති බව අපට විශ්වාසය. අපගේ රාජ්‍ය සහ පක්ෂය ගොඩනැගීමේ ඉදිරි දර්ශනය  අනාගත ලංකාව අලුත් රටක් බවට පත් කරනු ඇත.

Party Line

 

 

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මේ පාටි ලයින් ලිපියට ඉතා කැමතියි. විශේෂයෙන්ම මේ හඳුනාගැනීම ඉතා වැදගත්.
    / ඊට ප්‍රතිපක්ෂව ඇමරිකාව සහ රුසියාව සිටින්නේ දැඩි අසහනයකය. ප්‍රාග්ධනය සංක්‍රමණය වීම ඊට හේතුවයි. ඇන්ජෙලා මාර්කෙල් කිසිදු ගැටළුවක් නොමැතිව සිරියානු සංක්‍රමණිකයන්ට තම රටට පැමිණෙන්න යැයි ආරාධනා කරයි. ඊට හේතුව මෙම සංක්‍රමණිකයන්ගේ ශ්‍රමය ඔවුන්ට ප්‍රයෝජනයට ගත හැකි නිසාය. ප්‍රාග්ධනය වර්ධනය කිරීමට දායක වන පුහුණු ශ්‍රමිකයන්ගේ නිවසේ වැඩ මෙවැනි සංක්‍රමණිකයන් මගින් ඉටුකර ගතහැක. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග්ධනයට වැදගත්කමක් ඇති ශ්‍රම කාලය තව තවත් දිගු වේ. ප්‍රාග්ධනය පැමිණෙන්නේ ශ්‍රමය සුරාකෑමටය යන අදහස මෙහිදී ප්‍රතික්ෂේප කල යුතුය.//

  2. This is like a concept that i was waiting for long time. I worked more than half of my life with left but I realized that it does not work.
    According to my understanding that the essence of this concept is not to destroy capitalism but implement the capitalism on correct mechanism. Somebody needs to distinguish this concept from the “Manushika muhunuwara” of late president Ms. Chandrika Bandaranayake.
    A well formed ruling mechanism is key to implement this concept, the system need not to depend on individuals but scientifically formed systems.

Comments are closed.