මහජන මන්ත්‍රී, කෝප් කමිටු සභාපති, මහාචාර්ය නිශාන්ත මහතා නියුරෝසියාවේ (නියුරෝසියාව යනු, මනුෂ්‍යයන්ගෙන් යම් වර්ගයක් තම ආශාව යථාර්ථයේ දී තෘප්ත නො කරගෙන එය කල්පිතකරණයට ලක් කර, ඉන් තම ස්නායුවලට වේදනා දී ඉන් ප්‍රීති වන ආකෘතියකි) ‍ප්‍රධාන ප්‍රභේදය වන ‘හිස්ටීරියාව’ (Hysteria) සම්බන්ධයෙන් 2005 වර්ෂයේ දී බියෙන් තැතිගත් සත්වයෙකි. නිශාන්තගේ ‘හිස්ටීරියාව’ පිළිබඳ උපදේශකයා සහ ඔහුගේ ක්‍රිකට් කණ්ඩායම සිතුවේ, මිනිසුන්ට ‘මානසික රෝග’ තිබේ යැයි මම පවසනවා යැයි කී විට මා බිය වී පසුපසට ගමන් කරාවි කියා ය. අප වකුගඩු රෝගීන්, හෘද රෝගීන්, දියවැඩියා රෝගීන් කියන විට, ඒ ගැන සියලු දෙනා නිශ්ශබ්ද වී යම් කෙනෙකු ‘හිස්ටීරියා රෝගියෙක්’ කී විට බියෙන් වෙව්ලා යන්නේ මන්ද? අප පුද්ගලික අංශයෙන් යම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරයා හමු වන කාමරය ඉදිරිපිට සිටින හෙදිය අප අමතන්නේ, ‘Number 21 පේෂන්’ ඉන්නවා ද කියා ය. එවිට, අප සතුටින් අත ඔසවා කාමරය තුළට ගමන් කරන්නට උත්සාහ කරයි. මා කළේ, හිස්ටීරියාව සිංහල සංකේත ලෝකයට ගෙන ඒම පමණි.

                      ලංකාවේ ‘මානසික ව්‍යාධි’ ගැන ඇත්තේ ද උමතු මතයකි. කෙනෙක් උමතු වූවා යැයි කී විට අපට මතක් වන්නේ, අංගොඩ මානසික රෝහල පමණි. ‘මානසික රෝග’ අපට ද්‍රාවණවල යට මණ්ඩි තැන්පත් වන ආකාරයට වටහාගත හැකි ප්‍රපංච නොවේ. මානසික රෝග සහ ශාරීරික රෝග අතර මේ වෙනකොට ඇති වෙනස නිර්මාණය කොට ඇත්තේ, දේශපාලන නිරවද්‍යභාවය නම් ඇමෙරිකාවේ උපත ලද දේශපාලන දෘෂ්ටිවාදය තුළිනි.[Political Correctness]

                     සිග්මන් ෆ්‍රොයිඩ් විසින් භෞතික චිකිත්සකයා[PHYSICIAN] සහ මනෝවිශ්ලේෂකයා[PSYCHOANALYST] අතර වෙනස සලකුණු කරන ලද ආකාරය පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු.

      “උමතු රෝග වලට ප්‍රතිකාර කිරීමේ දී ශල්‍ය වෛද්‍යවරයෙකුට මෙන් රෝගියාගේ ශරීරයෙන් පිටත සිට විශ්ලේෂකයාට ක්‍රියාත්මක විය නො හැකි ය. ඒ අදහසම මිත්‍යාවකි. රෝගියෙකු සමග විශ්ලේෂකයෙකු කතා කරන විට, නිරායාසයෙන් රෝගියා තම රෝගී තර්කනය විශ්ලේෂකයාට ද ඇතුළත් කරයි. එවිට, ශල්‍ය වෛද්‍යවරයා බඩේ ගෙඩියක් ඉවත් කරන මෙන් විශ්ලේෂකයන්ට රෝග නිධානය ඉවත් කළ නො හැකි ය. විශ්ලේෂකයාට ද ‘රෝගය’ සමඟ බද්ධ වීමට සිදු වෙයි. එය, නාට්‍යකරණ ජවනිකාවකි. භාව විරේචනය විශ්ලේෂණයේ ප්‍රථම පියවරයි. උදාහරණයක් වශයෙන්, ‘ඇනා ඕ’ එක්තරා අවස්ථාවක සිට තම විශ්ලේෂකයා වන බෲවර් නිසා තමන් ගැබ් ගෙන ඇති බවට විශ්වාස කරන ලදී. යථාර්ථයේ දී බෲවර් සහ ඇනා අතර ලිංගික සබඳතාවක් සිදු වී නැත. ඇනාගේ මෙම කල්පිතකරණය සහ වසඟකාරී ලෙස හැසිරීම විශ්ලේෂණයට අභ්‍යන්තර දෙයකි. ඇගේ ‘ගර්භනී කල්පිතය’ බොරුවක් නොවේ. ඒ අනුව, මනෝවිශ්ලේෂණය තුළ දී අපට ‘කල්පිත ලිංගික සබඳතා’ හමු වීම වැළැක්විය නො හැකි ය. එපමණක් නොව, ඇනාගේ උදරය කැක්කුමට ඉහත කල්පිත සම්බන්ධ ය. ඒ නිසා, මානසිකව ආතති දෙන විසදිය නො හැකි ගැටලු ශරීරයට සංක්‍රමණය වීම හුදු අහම්බයක් නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාවට වෙනස්ව මනෝවිශ්ලේෂණය විසින් ශාරීරික විඳවීම්වල මූලය මනෝජාත යැයි කියන්නේ මේ නිසා ය.”

                   ඉහත අදහස් දැක්වීමට අනුව ‘ඇනා’ විසින් සමස්ත ප්‍රතිකාර ක්‍රමයටම ලිංගික අර්ථකතනයක් ලබා දුන් බව පෙනේ. ඇනාට අනුව විශ්ලේෂකයා තමන් තුළට යමක් ඇතුල් කර ඇත. එමගින්, ඇය වේදනා විඳියි. නාට්‍යකරණය යනු, අධිකතර ලිංගික ස්වභාවයකි. උදාහරණයක් ලෙස, නිශාන්තගේ පොත් දෙකටම ඇඟට දැනෙන ලෙස උදව් කළ ‘බුද්ධික බණ්ඩාර’ [Former party member]ගමු. ස්ත්‍රීන්ට මානසික රෝග ඇතැයි කියා ඔවුන්ව ගර්හාවට පත් කිරීම දීප්තිගේ නෛසර්ගික පුරුද්දක් යන ප්‍රවාදයේ රහසිගත අයිතිකරුවා බණ්ඩාර වේ. ඔහුගේ මෙම ප්‍රබන්ධයේ සායනික පැත්ත ඇත්ත ය.

                     බණ්ඩාරට සහ නිශාන්තට වෙනස්ව මම සංවිධානයේ බොහෝ ස්ත්‍රීන්ගේ මානසික විඳවීම් අසා සිට ඇත්තෙමි. උදාහරණයක් ලෙස, වසර 22 දී විවාහ වී 23 දී දුවක් ලැබ තව ටික කාලයකින් සැමියා මිය ගිය ස්ත්‍රියකගේ වසර 25ක පමණ වේදනාත්මක අතීතය මම වරු ගණන් අසා සිටියෙමි. එකල, බණ්ඩාර තමන්ට ආවේණික මෝඩ, නිහතමානී හිනාවෙන් යුතුව ප්‍රසිද්ධියේ කීවේ, “එයාට හිස්ටීරියාව” කියා ය. ලංකාවේ බොහෝ ස්ත්‍රීන් තම කුඩා කාලය ‘තුළ’ යම් ක්ෂතිමය අත්දැකීමක් ෆැන්ටසිකරණය කරයි. එය, සැබෑ හෝ කල්පිත එකක් විය හැකි ය. එමඟින්, ඔවුහු වේදනාවක් භුක්ති විඳිති. නිශාන්ත යනු, සංවිධානය තුළ දී ස්ත්‍රීන්ගේ විඳවීම් කලාපයට ඇතුල් වීමට සිහිනෙන්වත් නොසිතූ කෙනෙකි. සංවිධානයක් ලෙස අප 2001-2004 කාලය තුළ ‘කළ නොහැකි වැඩක්’ බාර ගත් බව සැබෑ ය. එනම්, වේදනා විදින ස්ත්‍රීන්ගේ හඬට සවන් දී ඔවුන්ට යම් සුවයක් ලබා දීමට උත්සාහ කිරීමයි. සංවිධානය තුළ එවකට සැඟවී සිටි බඩුකාරයන්ගේ ප්‍රකෝපයට මෙය හේතු විය හැකි ය.

                    බණ්ඩාර 2004 අවසානයේ දී සිදු කළේ, සංවිධානය තුළ සිටි රහස්‍ය බඩුකාරයන්ගේ අභ්‍යන්තර විරෝධයට යම් ආකාරයක සුජාතභාවයක් ලබා දීමයි. ඔහු ද ‘ඇනා’ මෙන් තමන් සංවිධානය තුළ ඇත්තටම කළ දෙය සඟවා වෙනත් ප්‍රබන්ධ කතාවක් යථාර්ථයට මුක්ත කරන ලදී. නිශාන්ත අහුලා ගන්නේ, එම අනෛතිහාසික කතාවයි. එකල අප උත්සාහ කළේ, ‘මනෝවිශ්ලේෂණය’ සායනික ප්‍රතිකාරයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ය. බණ්ඩාර, එය තමන්ගේ පුද්ගලික ස්ත්‍රිය වෙනුවෙන් ප්‍රතිගාමීන්ට පාවා දුන්නේ ය. එය අපරාධයකි. ඔහු තවමත් සිවිල් සමාජයේ හැසිරෙන හොඳ මුහුණ සහිත අපරාධකාරයෙකි. ඔහුව කවදා හෝ නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය.

Suffering

                     නිශාන්තට මනෝවිශ්ලේෂණයේ කාර්යය ගැන ඇති හැඟීම ඔහුගේ රචනාවක් මගින්ම අපි දැන් කියවමු.

             “සමාජය තුළ සංවාද කිරීම පවතින තරමටම, නිවෙස් තුළ වාද කිරීම් ද පවතින බව මදක් විමසා බැලුවොත් පෙනී යනු ඇත….. මනෝවිශ්ලේෂණය යෝජනා කර සිටින්නේ, ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ ජීවිතය තුළ සමහර විට අනෙක් මනුෂ්‍යයාව තේරුම් ගැනීමේ ප්‍රධාන රඟමඬල වනු ඇත්තේ ද වාද කිරීම ම බවයි. වාද කිරීම යනු, යුවලකගේ ජීවිතයේ බිඳී යාමක් නොව එකිනෙකා හඳුනා ගැනීමක් බවත්, එසේ හඳුනා නොගෙන ගත කරන දෛනික ජීවිතය, ගායනයක් නැතිව කෙරෙන අතුරු වාදනයක් පමණක් බවත් මේ කෘතිය තුළ ඩේරියන් ලීඩර් පෙන්වා දෙයි.”

 -තැපැල් කරනවාට වඩා ස්ත්‍රීන් ලිපි ලියන්නේ ඇයි, පිටුව 1x- 

                      නූතන විවාහය යනු, ධනවාදී ‘හුවමාරු වටිනාකම්’ [Exchange Value]මගින් රහසිගතව පාලනය වන්නකි. උදාහරණයක් වශයෙන්, නිශාන්ත නොදැන සිටියේ තමන්ගේ ‘ඉංජිනේරුකම’ විවාහයක දී කාන්ටියානු පූර්ව අගතියක් විය හැකි බවයි. සමහරු නූතන විවාහය ‘ව්‍යාපාර ගනුදෙනුවක්’ ලෙසින් හඳුනා ගන්නේ, ඒ නිසා ය. මේ හේතුව නිසා, නූතන විවාහක ජෝඩු තමන්ගේ සහකරුවන් තෝරා ගන්නේ ‘සතුට’ පත්තරයෙන් නොවේ. ඔවුහු තම සහකරුවන් සඳහා යම් ‘වටිනාකමක්’ දෙන අතර විවාහයට පසු එහි ලාභ-පාඩු ගිණුම විවෘත කරයි. එබැවින්, නූතන විවාහය පරීක්ෂාවට ලක් වන්නේ ගිණුම්කරණයෙන් සහ විගණනයෙනි. තම සහකරුවන් තමන්ව රවටා ඇතැයි යන සැකයෙන් නිරතුරුව ජීවත්වීම නූතන විවාහයේ කොටස්කරුවන්ගේ දෛනික පුරුද්දයි.

                    එබැවින්, ‘මනෝවිශ්ලේෂණය’ අවශ්‍ය වන්නේ සංවාද කිරීමට හෝ අනෙකාගේ ආශාවේ ප්‍රහේලිකාව අනන්තය දක්වා විසඳීමට නොවේ.[Openness to the enigma of the other] ඒ යුගය වනාහි ආශාවේ යුගය යි. දැන්, ධනවාදය නිසා හඹා යෑමේ [Drive] යුගයක් පහළ වී ඇත. ක්‍රිස්තියානි ආගම සහ මනෝවිශ්ලේෂණය අසල්වැසියාව සැක කරන්න කියන්නේ ඒ නිසා ය. ඔබේ බිරිඳ හෝ සැමියා ඔබගේ සම්භාෂකයා නොව ඔබගේ රෝග ලක්ෂණය යි.[The subject who makes herself  the other’s object-cause becomes her own cause- Zizek] ඔහු හෝ ඇය ආත්මයන් නොව එකිනෙකාව වස්තු බවට පරිවර්තනය කරගත් විපරිතයන් ය. මේ විපරිතභාවය නිසා ම නූතන විවාහය සංවාද වැඩබිමක් නොව නරුමවාදී ව්‍යාධිවේදීමය අවකාශයකි. ඩේරියන් ලීඩර් පෙන්වා දෙන්නේ, ස්ත්‍රී-පුරුෂ සබඳතාවල රෝගී තර්කනය මිස සුහද සංවාදය ගැන නොවේ. එනිසා මනෝවිශ්ලේෂණය අපට අවශ්‍ය වන්නේ, නූතන ස්ත්‍රී-පුරුෂ සබඳතාවල ‘ස්වාමි-ප්‍රවේණිදාස’ සම්බන්ධය ගවේෂණය කිරීමට ය.

                      නිශාන්ත තම පෙරවදනේ මෙසේ ලියයි.

           “මානසික ලෝකය තුළ ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර වන අසමමිතිය මනෝවිශ්ලේෂණය තුළ සාකච්ඡා වන ප්‍රධානතම තේමාවක් වෙයි”

 

                      නිශාන්තගේ ඉහත අදහස කුමන අර්ථයකින් ගත්තත් දෝෂ සහගතය. මනෝවිශ්ලේෂණයට අනුව, ස්ත්‍රී-පුරුෂ ආත්ම අතර ඇත්තේ ‘සමමිතියක්’ නොව ‘අසම්පාතයක්’ (Parallax) ය. ආදරය, ලිංගික සබඳතා, ‘යථාර්ථයට ඇති සම්බන්ධය’ වන මේ කුමන අඩවියක් ගත්තත් ලැකානියානු න්‍යායට අනුව ඇත්තේ, අසමමිතියක් නොව අසම්පාතයක් ය. ඒ නයින්, පසමිතුරුභාවයකි.[Antagonism] අද අප ජීවත්වන යුගයේ පන්ති අරගලයේ – class struggle- තීව්‍රතම ආකෘතිය බවට ‘ස්ත්‍රී-පුරුෂ’ පසමිතුරුභාවය පත්වීම ම ඓතිහාසික වෙනසකි. ආදරයේ දී සහ ලිංගික සබඳතාවල දී ලැකාන්ට අනුව සිදු වන්නේ, පලු දෙකක් එකක් වීම නොව ‘සමස්තය’ පලු දෙකක් බවට පිපිරී යාමයි. නූතන ජෝඩුවක් එකිනෙකාට හමුවීම පොහොට්ටුවකින් මලක් ඒම වෙනුවට හදිසි අනතුරක් වන්නේ ඒ නිසා ය. එපමණක් නොව, නූතන වෛවාහික සබඳතා කෙළවරක් නොදකින වේදනාවක් වන්නේ ද ඒ නිසා ය.

                     සාලයේ පවතින සංවාදයකින් සමකාලීන ස්ත්‍රී-පුරුෂ පසමිතුරුතා හඳුනාගත නො හැක්කේ මන්ද?

අපි චන්ද්‍රිකා බණ්ඩාරනායකයන්ගෙන් පටන් ගනිමු. ඇය විජය සමඟ විවාහ වූයේ, ඇය විජයට ආශා කරන නිසා නොව ”සිංහල -මිනිසුන්- විජය- ලස්සන” යැයි කියන නිසා ය. නව තත්වයට අනුව ස්ත්‍රියක් තම සහකරුවා තෝරා ගන්නේ, තමන්ගේ ආශාවට නොව මහා අනෙකාගේ [Big Other]ආශාවට ය. ලියනගේ අමරකීර්තිව ඔහුගේ මැදපාන්තික බිරිඳ තෝරාගෙන ඇත්තේ, ඔහු බුද්ධිමත් නිසා නොව අවිඥාණක නීතියක් ලෙස කැත නිසා ය. කාන්ට්ගේ සාරධර්ම වලට අනුව කිවහොත්, අවිඥාණක තලය විසින් ‘කැත’ තුළ පවතින යහපත අපට පෙන්වා දෙයි. ඒ අනුව, කෙනෙක් ‘කැත’ තෝරාගත් විට ‘ලස්සන’ තෝරා ගන්නවාට වඩා විනෝදයක් ඉන් ලැබිය හැකි ය. එය, සාලයේ සංවාදයක් බවට මෙසේ පෙරළිය හැකි ය.

           “උඹ මාව තෝරා ගත්තේ කැත නිසා. ඒ නිසා, උඹ ලබන ‘අතිරික්ත-විනෝදයට’ මට වන්දි ගෙවපන්.”

 

                      ඒ අනුව, නිශාන්ත උපකල්පනය කරන පරිදි සාලය යනු ජේතවනාරාමයක් නොව ”වියට්නාම් යුධ භූමිය” වැනි තැනකි. ‘කැත පිරිමියෙකු’ තෝරා ගන්නා බිරිඳක් ලස්සන පිරිමියෙකු තෝරා ගන්නා ඒකාකාරී බිරිඳකට වඩා වේදනාත්මක සතුටක් භුක්ති විඳියි. 

‘ස්ත්‍රී විනෝදය’ දිශානත වී ඇති රැඩිකල් ආකාරයට අනුව එය සංකේත පොදු නීතිය දෙකට පලා ‘විනෝදය’ හඳුන්වා දෙයි. චන්ද්‍රිකාගේ විවාහය අපායකින් අවසන් වූයේ, ‘ලස්සන පිරිමියා’ යන අධිපති දෘෂ්ටිවාදී මතයක් – Dominant Ideology- නිසා ය. එය, සංකේතනයට ව්‍යතිරේකයක් වූ නිසා ය.[Exception]

                 අපි දැන් නිශාන්තගේ දෙවැනි පරිවර්තන කෘතියට යමු. එහි දී, ඔහුම අපට ඔප්පු කරන්නේ සාලයේ සංවාදයට ඇති විරුද්ධාභාසී – paradoxical Nature – ගුණය යි.

       “මම අනෙකාට කවරෙක්ද? යන ගැටලුව නියුරෝසිකයාගේ මුඛ්‍ය ගැටලුවයි. එය, නියුරෝසිකයා දයලෙක්තික අන්තයකට ගෙන යයි. නියුරෝසිකයෙක් තමන්ව ප්‍රශ්න කිරීම වෙනුවට තෝරා ගන්නේ අනෙකාව ප්‍රශ්න කිරීමයි.  නියුරෝසික ස්ත්‍රියක් තමන්ගේ ආශාව වටහා ගැනීමට උත්සාහ දරන්නේ, අනෙකාගේ දෘෂ්ටිකෝණයෙනි. එහි සරදම්කාරී සූත්‍රය මෙසේ ය. ඇය අසන්නේ, මෙවැනි ප්‍රශ්නයකි. ‘මා ඔහුට ආලය කරනවා ද? යන්න නොවැදගත් ය. වැදගත් වන්නේ, ඔහු මට ආදරය කරනවාද? යන ආත්මරාගී ප්‍රශ්නය යි.’

  

                     ඒ නිසා, නිශාන්තට එරෙහිව යමින් සාලයෙහි සංවාදය තුළ නූතන ස්ත්‍රී-පුරුෂ සම්බන්ධය ”ස්වපීඩා-පරපීඩා” [Master-Slave Dialectic] ගැටුමකට යනවා මිස ඉන් විකල්පයකට යන්නේ නැත. සත්‍ය ගැටලුව ඇත්තේ එතැන ය. බාහිර සංකේත නීතිය සහ සාම්ප්‍රදායික ආධිපත්‍යයන් බිඳ වැටුණු විට, නීතිය අප අත්තනෝමතිකව පුද්ගල සබඳතා තුළට ආරෝපණය කරගත යුතු ය.

                    2003-2004 වර්ෂවල දී සංවිධානයට ව්‍යුහාත්මක පැනීමක් යෝජනා කළ ස්ත්‍රියක් [98 දී මංගල මෙන්] මට දිගින් දිගටම තමන්ගේ දණහිසේ අපහසුවක් ගැන පැමිණිලි කළා ය. වරක්, අප දෙදෙනාම විකලාංග විශේෂඥයෙක්-Orthopedic Surgeon – වෙතට ගිය අතර ඔහු යෝජනා කළේ කෘත්‍රීම දණහිසක් බද්ධ කිරීමට ය. නමුත් අප දෙදෙනා එක්ව වටහාගත් කාරණය වූයේ, දණහිසේ අමාරුව ශාරීරික එකක් නොවන බවයි. එය, ආත්මීය ලෝකයේ[Subjective logic] හටගත් සංකීර්ණ විරුද්ධාභාසයක් ශාරීරික ඉන්ද්‍රියක් වෙතට විස්ථාපනය කිරීමක් ලෙසින් විද්‍යාමාන විය. ඒ නිසා, ගැටලුවට වෛද්‍ය විද්‍යා – Medicine- විසඳුමක් නොවී ය. මනෝවිශ්ලේෂණය වෛද්‍ය විද්‍යාවට විරුද්ධව යෝජනා කරන්නේ, ඖෂධ නොව කථන ප්‍රතිකාරයකි. ඊළඟට, දණහිස් අපහසුව ගැන මා සමඟ මේ කියන ස්ත්‍රිය රෝගයේ මූලය (විඳවීමේ හේතු ඵලය) හැටියට ”මාව” යෝජනා කරන්නට විය. එනම්, ඇගේ විඳවීම්වල මූලය මා බවයි. මෙය, හිස්ටීරියාවේ හිස්ටෙරික න්‍යාය වෙයි. මා ඉතාම හොඳින් දන්නා පරිදි මා ඇගේ විඳවීමේ මූලය නොවූවත්, මට මෙතැන දී ඇයව සහ මාව ප්‍රතිකාරය තුළ වෙන් කිරීමට නො හැකි ය. යමක් ඇත්තට නොවූවත්, එය කාල්පනිකව නිපදවිය හැකි ය. එනම්, මානසික ගැටලුවල දී ෆැන්ටසියේ කාර්යභාරය යි. ඇය ඇගේ වේදනාවේ මූලය ලෙස මාව ෆැන්ටසිකරණය කරයි. මට ඉන් ගැලවීමට නොහැකි වන්නේ, ඇගේ කතාවට මා සවන් දුන් නිසා ය. එබැවින්, මනෝවිශ්ලේෂණයේ දී විශ්ලේෂකයා සහ විශ්ලේෂිතයා මුහුම් වෙයි. එම වගකීමෙන් විශ්ලේෂකයාට ගැලවීමට නො හැකි ය. විකලාංග වෛද්‍යවරයාට තම රෝගියාගෙන් වෙන් වීමට හැකි වුවත් විශ්ලේෂකයාට ගැලවීමට නො හැකි ය. මන්ද, එය අවිඥාණයට අදාළ නිදහස සහ වගකීම පිළිබඳ ගැටලූවක් වන නිසා ය. ඒ  අර්ථයෙන්, මනෝවිශ්ලේෂණයේ දී අවිඥාණය සමාජ සම්මතයට එරෙහි නව-සදාචාර නීතියක් හඳුන්වා දෙයි. [ඇගේ දණහිස් වේදනාවට වෙනත් අවකාශීය මානයක් ද ඇත. ඇගේ දණහිස් අමාරුව නිසා ඇයට ගමන් යාමට දුෂ්කර වී ඇය කාමරයටම හිර විය. එවිට, ඇය බැලීම සඳහා ඇගේ කාමරයට යාමට මට සිදු විය. මෙය, අවකාශය පිළිබඳ හිස්ටෙරික න්‍යාය යි.] නිශාන්ත සහ බණ්ඩාර පහසුවෙන් අතහැර දැමුවේ, තමන් ද සම්බන්ධ සිදුවීම්වල වගකීමයි.

                     

                    ශිෂ්ටාචාරයේ එක් මොහොතකට පසුව මිනිස් සබඳතා මත පදනම් වන ලිංගික සබඳතාවල අලුත් විකේන්ද්‍රණයක් සිදු විය. මෙය, කොපර්නිකස් විප්ලවයකි. ආගමට සහ සමාජ සම්මතයට අනුව ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ, ප්‍රජනනය සඳහා ය. ඒ අනුව, ලිංගික සබඳතාවල විමර්ශකය වූයේ ප්‍රජනනය යි. නමුත් ප්‍රජනනය විද්‍යාවේ ක්ෂෙත්‍රයට ඇතුළු වූ පසුව උපත් පාලන ක්‍රමවේද සමාජයට පැමිණියේ ය. මෙමගින්, ලිංගික සබඳතාවලට විවෘතභාවයක් ආදේශ විය.

                   මෙමඟින්, දරුවන් ඉලක්ක නොකරගත් හුදු ‘සතුට’ වෙනුවෙන් වූ ලිංගික සබඳතා කලාපයක් මිනිසාට විවර විය. මේ නව සන්දර්භය තුළ පිරිමියා තම සතුටේ විවරය ශරීරය හරහා පාදා ගත්තේය. පිරිමි ලිංගික තෘප්තිය මේ නිසා ශරීර කේන්ද්‍රීය විය. නමුත් ස්ත්‍රිය ශරීරය දෙසට නොව අවිඥාණය දෙසට යොමු විය. එමඟින්, ඇය කාල්පනික ලිංගික සබඳතා ලෝකයක් නිර්මාණය කර පසුව එය ශරීරය දෙසට වර්තනය කරන ලදී. එනම්, මානසිකව නිර්මාණය කළ ගැටයක්- අන්තෝ ජටා- ශරීරයට අවිඥාණකව විස්ථාපනය කොට ඉන් වේදනාත්මක සතුටක් ලැබීමයි. හිස්ටෙරික තර්කනයේ ආරම්භක මූලය ඇත්තේ මෙතැනයි. එබැවින්, හිස්ටෙරික ලිංගිකත්වය ශාරීරික එකක් නොව කාල්පනික එකකි.

                    ඉතිහාසයේ එක් එක් යුගවලට අනුව අපට හිස්ටරීය ලිංගිකත්වය මෙලෙස බෙදීමට හැකි ය.

1. සම්භාව්‍ය යුගය– ගර්භාෂයේ රෝගය. නිසි කලට දරුවන් නො ලැබීම නිසා ඇති වන සන්නිය ලෙස පිරිමින් විසින් හඳුනා ගන්නා ලදී. උත්තරය ලෙස හඳුනා ගත්තේ, විවාහය යි.

 

2. නූතන යුගය යුගය– ඩෝරාගේ යුගය. මේ යුගයේ දී ඩෝරා විසින් තමන්ට සම්බන්ධ වන මිනිසුන් වටහා ගැනීමට සුවිශේෂී තර්ක ක්‍රමයක් භාවිතා කළා ය. එම තර්ක ක්‍රමය හිස්ටීරියාව ලෙස වටහා ගත්තාය. උත්තරය පන්සලයි.

 

3. පශ්චාත් නූතන යුගය– ‘මාස්ටර්ලා’ මේ යුගයේ නැති නිසා හිස්ටෙරික ආත්මයන් ආත්මමූලික ස්ථාවරයන් – subjective positions-වෙතට පසුබැස ඇත. ඒ අනුව, ඔවුන් විවිධ අනන්‍යතා සමග සෙල්ලම් කරමින් අනන්‍යතා වෙනස් කරති. [Borderline Personality Disorder– Borderline personality disorder (BPD) is an illness characterized by dramatic fluctuations in mood, self-image, and behavior. Individuals with borderline personality disorder generally also have a difficult time teasing apart their perceived reality with what’s actually real in regard to the behavior and moods of the people around them. Most often, individuals suffering from borderline personality disorder have very troubled relationships with loved ones and the disorder can sometimes lead to self-harm behaviors (such as cutting or eating disorders) if left untreated.] නැතහොත්, සහකරුවන් මාරු කිරීමේ තරඟයක යෙදී සිටිති. උත්තරය ‘තත්‍යසමාන’ – virtual space – ලෝකයට විගමනය වීමයි. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

 

                     

 

ඔබේ අදහස කියන්න...