[dropcap color=”red”]අ[/dropcap]ධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම වෙනුවෙන් විශාල මෙහෙයක් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා 2012 පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබයි. 43 වන අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එන්නට ආණ්ඩුව ක්‍රියා කළ මොහොතේ එයට එරෙහිව උද්ඝෝෂණය සම්බන්ධීකරණය කළ නීතිඥ එකමුතුවේ ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කළවැලිඅමුණ මහතා ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය බිහිකිරීමෙහි පුරෝගාමීව කටයුතු කළේය.
පුරවැසි සාම සම්මානය වාර්ෂිකව පිරිනැමෙන්ම ලංකාවේ ප්‍රමුඛතම සාම සම්මානය වන අතර සාමය වෙනුවෙන් කැපවී කටයුතු කළ පුද්ගලයන් වෙත මෙම සම්මානය පිරිනමන්නේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසිනි. සැප්තැම්බර් මස 18 වන දින කොළඹදී පැවැත්වෙන සම්මාන උළෙලේදී 2012 පුරවැසි සාම සමානය ඔහු වෙත පිරිනැමෙනු ඇත.
2009 වසරේදී ‘භාෂණයට හඬක්- ජීවිතයට ඉඩක්’ යන තේමාව යටතේ සිවිල් සමාජ සංවිධාන එකතුවක් ලෙස ‘නිදහසේ වේදිකාව’ බිහි කරන ලද අවස්ථාවේ එහි කැන්දවුම්කරුවන් පස් දෙනා අතරෙන් එක් අයෙකු වූයේ වැලිඅමුණය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව ලංකාවේ ප්‍රමුඛ නීතිඥයකු වන වැලිඅමුණ මහතා අල්ලස හා දූෂණයට එරෙහිව පුරෝගාමී වැඩකොටසක් සිදු කොට ඇත. 2000 වසරේදී ‘පොදු දේපළ රැකගැනීම වැඩසටහන’ ඇරඹූ ඔහු ඉන් අනතුරුව ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ සංවිධානය ගොඩ නැගීමට මුල්වූ අතර එහි ආරම්භක විධායක අධ්‍යක්ෂවරයා ලෙස 2010 දක්වා කටයුතු කළේය. වර්තමානයේදී එම සංවිධානයේ සභාපති ධුරය උසුලන ඔහු ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ විධායක සභිකයෙකුද වෙයි.
2010 වසරේදී පුරවැසි සාම සම්මානය ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා විසිනි. 2010 වසරේ පුරවැසි සාම සම්මානය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු වෙත පිරිනැමුණු අතර 2011 සම්මානය පුද කෙරුණේ ‘ලක්බිමේ මවරු සහ දියණියෝ’ සංවිධානයේ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු වෙතය. මෙවර පැවැත්වෙන්නේ තුන්වන සාම සම්මාන උළෙලයි.

ඔබේ අදහස කියන්න...