මේ කතාව ආරම්භ කරන්නට සිදුවන්නේ මනෝවිද්‍යා මහාචාර්යවරයෙකු ගෙනි. තම බිරිඳ, දරුවන් නිවාඩුවකට පිටත් කර හරින මහාචාර්යවරයා සමාජශාලාවකට යයි. එහිදී මුනගැසුන තරුණියක් සමග ඇගේ නිවසට යන ඔහු අතින් ඇගේ පෙම්වතා මරණයට පත්වෙයි. නොසැලකිලිමත් ලෙස මිනීමැරුමේ හෝඩුවාවන් ‍රැසක් ඉතිරි කරන මහාචාර්යවරයා තම මිනීමැරුම සඟවා ගැනීමට උත්සාහ දරන ත්‍රාසජනක ගමනේදී මුහුණදෙන අත්දැකීම් දිගුව අවසානයේදි ප්‍රේක්ශකයන් මවිත කරමින් මහාචාර්යවරයා සමාජශාලාවේ අසුනකදී අවදිවෙයි. මේ කතාව අපට හමුවන්නේ “Fritz Lang” අධ්‍යක්ශනය කල “The woman in the window” සිනමා පටයෙනි. මෙහි කතා නායකයා වන මහාචාර්යවරයා චිත්‍රපටය පුරාවට දැක ඇත්තේ සිහිනයකි. මහාචාර්යවරයා විසින් සිදු කරන මිනීමැරුම යථාර්තයෙන් සිහිනය බවට විලෝපනය වූයේ ඇයි? එය එසේ නොවී යථාර්තය ලෙසටම තිබෙන්නට ඉඩ හැරියා නම් කුමක් සිදුවේද?

මෙහිදී අප අවබෝධ කරගත යුත්තේ යථාර්තය යනු සත්‍ය නොවන බවයි. යථාර්තය දෙබිඩි ස්වරූපයක් දරයි. ඔබ පළමුවෙන් දකින දෙය මුලාවක් බවට පත්වන විට ඔබ සත්‍ය ලෙස හඳුනාගන්නා දෙය භ්‍රමයක් බවට පත්වේ. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ජනප්‍රිය, ගෞරවාන්විත වෘතියක නියැලෙන මහාචාර්යවරයා ඔහුගේ සිහිනයේදී සල්ලාලයෙක්, මිනීමරුවෙක් බවට පත්වෙයි. සිහිනය වන්නේ ඔහුගේ අවිඥානික අශ්ශීල ආශාවයි. ඔබ යථාර්තය ලෙස දකින්නේ එම අශ්ශීලත්වය වසා ගන්නා වෙස් මුහුණයි.

චිත්‍රපටයේ අවසානය සිහිනයක් නොවූයේ නම් සිදුවන්නේ ප්‍රේක්ශකයාගේ අශ්ශීල ආශාව හෙළිදරවුවී එහි පැවැත්මට තර්ජනයකි.

අප නිරතුරු විශාල තිරයක දිවෙන කතාවක් නරඹන්නේ එය අනෙකාගේ කතාවක් ලෙසිනි. එනම් එය තමාගේ ආශාව නොව අනෙකාගේ ආශාව බවට පරිවර්තනය කරගෙනය. එය අපට ආත්මීය සහනයක් ලබාදෙයි. තිරයේදී අප නරඹන අනෙකාගේ අශ්ශීල ෆැන්ටසියට  දඬුවමක් ලැබීමෙන් හෝ එසේත් නැත්නම් එය වාරණයට ලක් කිරීමෙන් තව දුරටත් අපගේ අවශ්‍යතාවය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙයි.  එහි ප්‍රතිලෝමය සිදුවු විට සිදුවන්නේ ඉන්දියාවේ නම් සිනමාහල් ගිනිතබා නලු නිළියන්ගේ ගෙවල් වලට ගල් ගැසීමයි. ලංකාවේ නම් සිදුවන්නේ සංස්කෘතිය, සදාචාරය ගැන නන් දොඩවනා Facebook වීරයන් ‍රැසක් බිහිවීමයි.

lawrence-Col. Lawrence[R]- Final Attacker.

ලංකාවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු යනුවෙන් පැවසූ විට ඔබගේ මනසට එන්නේ ගෞරවාන්විත, හොඳ, උගත්. පිරිසිදු යන වචනයි. එය යථාර්තයක් ලෙස අරගන්න. දැන් එහිම විරුද්ධ පද ටික ගෙන ඔබේ මනංකල්පිත මහාචාර්ය වරයාට ආදේශ කරන්න. එය මහාචාර්යවරයාගේ සඟවාගත් රහසයි. අශ්ශීල ආශාවයි. යථාර්තය යනු සැබෑව නොවන බව ඔබ දනී. ඔබ මෙම සඟවා ඇති රහස වටහා ගත්තා නම් අප නාම මාත්‍රිකව කතා කල මහාචාර්යවරයා යනු ලස්සන ක‍ටුවක් ඇතුලත සැඟවී ඇති ගොම්බෙල්ලෙකි.

සේපාල් අමරසිංහ, හඳගමගේ “ඇගේ ඇස අග” චිත්‍රපටය මෙතරම් පතුරු ගැසීමේ රහසද මේ වන විට ඔබට අනාවරණය කර ගත හැකිය. හඳගමගේ චිත්‍රපටයේ කියවෙන්නේ නූතන සමාජයේ අශ්ශීල ආශාවකි. ලංකාවේ බොහොමයක් සිනමාකරුවන් කරන ආකාරයට හඳගම මෙම අශ්ශිල ආශාව සිහිනයක් කර පෙන්වන්නේ නැත. එහි මර්ධනයක් හෝ වාරණයක් නැත. අපගේ අශ්ශීල ෆැන්ටසිය සෘජුවම අපට මුණගැසෙන විට එයින් ආත්මය පසාරු කරගෙන යන්නට රිදෙයි. සේපාල්ගේ ආත්මය හඳගමගේ “ඇගේ ඇස අග” චිත්‍රපටයෙන් දමා ගැසූ යකඩ ඉන්නට සිදුරු වී ඇත. මැදි වයසේ මහාචාර්ය වරයා තම දියණියගේ වයසේ තරුණියක් සමග යහන්ගත වන විට සේපාල්ට ගැරඬියාට භූමිතෙල් ගැසුවා වැනි වීම හඳගමගේ අවුලක් නොවේ. සේපාල්ගේ අශ්ශීල ෆැන්ටසිය මහා තිරයක් මත දිස්වන විට තවදුරටත් සේපාල්ගේ රහස සඟවාගෙන සිටීමේ ඉඩ ඇහිරී යයි. ඒ නිසා තම Facebook පි‍ටුවෙන් සේපාල් විරෝධය දක්වයි. එය ස්වභාවික තත්වයකි. හඳගමගේ පවුලේ කුණු රටම දන්නා නමුත් සේපාල්ගේ වාසනාවට ඔහුගේ පවුලේ කුණු කිසිවෙකු තවම දන්නේ නැත. සේපාල්ලා වැනි ග්‍රස්ථික නියුරෝසික පිරිමින්ට තමාගේ වැසිකිළියේ ගඳ මතක් කර දෙන්නේ ටෙලිවිශනයේ පෙන්වන “හාපික්” ඇඩ්ය. ඒවා නොදකින තාක් කල් සේපාල්ලාට තම වැසිකිළියේ ගඳ අවිඥානිකය. සේපාල්, කරුණාකර වැසිකිළිය සෝදා ගන්න. එහි ගඳට හේතුව හඳගමගේ සිනමා පටය යැයි සිතා කෝප නොවන්න.

Sunny Leon-

මිනිසුන්ට සිහින දකින්නට නම් ඔවුන්ගේ සංකේතීය ලෝකයේ අනෙකා එම සිහින වාරණය කල යුතුය. අනෙකා සිහින වාරණය කරන විට සිහින දකින්නන්ට ආත්මීය සැනසීමෙන් සිහින සමග ජීවත් විය හැකිය. රාජිත සේනාරත්න සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ගැනිමට යෑමටත් වඩා මධ්‍යම පාංතිකයින්ගේ ආත්මයට දැනුනේ අනුරගේ අයර්ලන්ත සංචාරයයි. අනුර කුමාර ලංකාවේ Face -Book- මධ්‍යම- පාංතිකයන්ගේ ඉරිසියාවයි. එය හරියටම පවුලේ සියල්ලන්ගේම අපල වෙනුවෙන් පවුලේ එකෙකු ඉදිරිපත්වී දෙවියන් ඉදිරියේ ගිනි පාගනවා වැනිය. ශ්‍රී ලංකාවේ මධ්‍යම පාංතිකයන්ගේ අපල දුරුවීමට නම් අනුර කුමාර ගිනි පෑගිය යුතුය. අනුර කුමාර වටහා ගත යුත්තේ මේ මධ්‍යම පාංතික ආත්මීය ආශාවයි. අනුර කුමාරලා හෙට දිනයේ ලක්ශ තුන්සීයේ වාහනයක ගියහොත් කඩා වැටෙන්නේ ලංකාවේ මධ්‍යම පාංතිකයාගේ ලක්ශ තුන්සීයේ වාහනයේ ෆැන්ටසියයි. නැතිවී යන්නේ ඔවුන්ගේ විනෝදාස්වාදයයි.  එනිසා කීමට ඇත්තේ ඔවුන්ට සිහින දැකීමට නම් අනුර, ඔබ නිරාශාවෙන් ජීවත් විය යුතු බවයි.

කතාව අවසන් නැත. සිහිනය තව දුරටත් සොයා ගියහොත් සිහිනය අගදී අපට ලේඛකයෙකු, කවියකු, සහ තරුණියක් හමුවෙයි. මේ කතාව කියවීමෙන් පසු ඔබට යම් ක්ෂතිමය තත්වයක් ඇතිවීමට පුලුවන. එහෙත් ක්ෂතිමය තත්වයෙන් පසු ලැබෙන ප්‍රකෘතිය සුවදායී වනු ඇත.

ලේඛකයා අතීතයේ අසන්නන්ගේ සිහින කියවූවෙකි. කවියා ප්‍රබුද්ධය. තරුණිය පිටිසර ගමකින් සිහින සොයා ආවෙකි. කවියා දු‍ටු සිහිනයක් ලේඛකයාද දකින්නට ගොස් ඔහු ඉතා බරපතල ලෙස තුවාල ලැබුවේය. පිටිසරින් කොළඹට පැමිනි තරුණිය මුලින්ම මුන ගැසෙන්නේ කවියාටය. කවියා තරුණියට අසාමාන්‍ය ආකාරයේ ලිංගික අත්දැකීමක් ලබාදෙයි. එයින් අවුල්වී අලුත් ආත්මයක් ලබා ගන්නා තරුණියට පසුව හමුවන්නේ අප කලින් කී ලේඛකයාය. තරුණිය තමා මුහුනදුන් අසාමාන්‍ය ලිංගික අත්දැකීම ලේඛකයාට පවසන අතර එතැන් සිට ලේඛකයාගේ මනසෙහි වැඩ කරන්නේ කවියා තරුණියගෙන් අත්විඳි ඒ අශ්ශීල විනෝදයයි. ඔහුට නින්ද අහිමිවන අතර ඔහුගේ ආත්මය වසා ගනිමින් අවිඥාණික අශ්ශීල ආශාව පැන නගින්නට පටන් ගනී. කවියා සහ තරුණිය අතර සිදුවූ ඒ සිදුවීම් එකින් එක ඔහුගේ මනසේ පෙල ගැසෙයි. අවසානයේ ලේඛකයා තරුණිය සමග යහලු වෙයි. මෙහිදී ලේඛකයා ඔහුගේ අශ්ශිල ෆැන්ටසිය යථාර්තයට ගෙනෙන්නේ ආදරය ලෙසිනි. තරුණියට අවශ්‍ය වන්නේ කවියා විසින් බලි කුරු‍ටු ඇඳ දමා අවුල් කල ඇගේ ආත්මය ලේඛකයාගෙන් සුවපත් කර ගැනීමටය. මේ දෘශ්‍යමාන නොවන යථාර්තයේ දෙබිඩිකමයි. මෙහිදී ලේඛකයාගේ අශ්ශීල ෆැන්ටසියට වාරණයක් ලෙස මෙම තරුණිය ක්‍රියාත්මක වන්නේ නැත. ලේඛකයාට සිදුවූයේ කුමක්ද යන්න ඔබ දනී. අපද දනී.ලේඛකයාට කවියා විඳි විනෝදය අත්කර ගැනීමට හැකි වූයේ නැත. තරුණියට සිදුවූයේ තව තවත් අවුල්වී අංගොඩ නතර වීමටයි. දැන් ලේඛකයාට ඇඳුම් නැත. ඇත්තේ තුවාල පමණි. කතාව අවසන්ය.  ත්‍රීවිලයක පි‍ටුපස මෙසේ ගසා තිබුණි.

“නුඹ ගඟක් වෙලා ගලන්න,

මට හුඟක් වෙලා නාන්න”

ඔබේ අදහස කියන්න...