‘ඔවුන් කරන දෙය ඔවුන් ද නොදන්නා බැවින්: විනෝදය දේශපාලන සාධකයක් ලෙස’ (For They Know Not What They Do: Enjoyment as a Political Factor) නම් ස්ලාවෝ ජිජැක් ගේ ජනප්‍රිය ග්‍රන්ථය (1991) ඔහු ලියනු ලබන්නේ හේතුවේ නැත්නම් දැනුමේ සීමාව තුල ම මිනිසා විඳින විනෝදය කුමක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් ය. එයින් අදහස් කරන්නේ ‘අප දන්නවා එහෙත් නොදන්නවා මෙන් සිටිනවා’ යන නරුම සහ නොසැලකිලිමත් දෘෂ්ටිවාදී ආස්ථානය දේශපාලනයේ මුඛ්‍ය පදනම බවට පරිවර්තනය වෙමින් පවතී යන්න නව දැනුමක් බවට පත් වෙමින් ඇත යන්න ය.
නොදැනුම යනු යථාවක් නම් ඉහත දැනුම යනු මේ වනවිට අපට සංකේතනයක් වේ. එහෙත් අප එම ‘දැනුම’ (නොදන්නවා මෙන් සිටීම ගැන ඇති දැනුවත් බව) ප්‍රතික්ෂේප කරමින් නොදැනුම සමග විනෝද වෙමින් ඇත යන්න මේ මොහොතේ අපට මුණ ගැසුණු සත්‍යය වේ. පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය යනු අප දැනසිටි දෙයක් ය යන්න මේ වනවිට සෑම අයෙක් තුල ම පවතින දැනුමක් වන අතර මේ සිදුවීම ගැන යම් දැනුමක් පැවතියත් (බුද්ධි අංශ විසින් ගෙනෙන ලද දැනුම) ඒ පිළිබදව යමක් කිරීමට නොහැකිවීම සම්බන්දයෙන් රාජ්‍ය පාලනයේ සිටින සියළු අය තුල ඇත්තේ වරදකාරිත්වයකි. මන්ද දැන් දැන් එළිදරව් වන පරිදි අප එම දැනුම සමග පවත්වා ඇත්තේ විනෝද සම්බන්දයකි. ‘දන්නවා එහෙත් නොදන්නවා සේ සිටිනවා’ යන ප්‍රස්තුතය සම්බන්දයෙන් මේ අනුව 1991 ලියවුණු ජිජැක් ගේ ඉහත කෘතිය ලංකාව තුළ සත්‍ය ලෙස තේරුම් යන්නේ හෝ තේරුම් ගැනීම සඳහා පසුබිම සකසන්නේ ඉහත බෝම්බ ප්‍රහාරය යි. එනයින් ඉහත පොත අපට කලින් ලැබුණා වුවත් අවබෝධය පැත්තෙන් ගත් විට එය පරක්කු දැනුමකි. නමුත් වඩාත් ම ගැඹුරු සත්‍යය වන්නේ අප අපගේ ‘නොදැනුම මතින් ඇතිකළ අසමත් බව’ මේ වනවිට විනෝද වෙමින් සිටීමයි (ජිජැක් 1991, පිටුව xii). දෙමලා හෝ මුසල්මානුවා යනු පරිකල්පනීය සතුරෙක් පමණක් (imaginary Real) යනුවෙන් අප විසින් ම වරනැගූ දෙය දැන් අප වෙත ආපසු පත්තු වී ඇත (backfire). බලන බලන හැම පල්ලියක් තුලින් ම මොනයම් හෝ අවියක් මතුවීම සහ ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩපිළිවෙලක නිරතව සිටීම සම්බන්ද සාක්ෂි මතුවීම මේ වනවිට අනුභූතික දැනුමක් බවට පත්වෙමින් පැවතීම ඉහත පරිකල්පනය දැන් සැබෑවකට වඩා සැබෑවක් වෙමින් ඇත (more real than real).     
එසේ නම් අප නිර්භීතව, විවෘතව සහ සදාචාරාත්මකව පිළිගත යුතු සත්‍යය කුමක් ද? එනම් අප බොහෝ දේ නොදන්නා බවයි. එයින් අදහස් වන්නේ මෙම ආපතික අවස්ථාව සඳහා අපට භාෂාවක් නොතිබූ බවයි. අද ඔය දැනගෙන සිටියා යැයි කියන කිසිදු අයෙකුට පවා එවන් භාෂාවක් පැවතියේ නැත (ප්‍රහාරයට පෙර දාතම සහිත ඔවුන්ගේ මුහුණු පොත් බලන්න). අප සියළු දේම දන්නේ නැති අතර අපට ඇතැම් දැනුම් ගබඩා වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇත්තේ ද නැත. ජාතික රාජ්‍යයක පවතින ‘නොදැනුම’ බොහෝ විට පුරවා දමන්නේ බුද්ධි අංශ විසින් ගෙනෙන දැනුම මඟිනි. මේ දැනුම බොහෝ විට අපව ක්ෂිතියට ලක් කරන තරම් අඳුරු අන්තර්ගතයක් දරා සිටී (dark content). ඒ ඇතැම් ක්ෂිතිමය අඳුරු දැනුම අපට නැති නිසා බොහෝ දේ ගැන අපට යමක් සිදුවන තුරු ම සිතාගැනීමට නොහැකි වේ. තනි පුද්ගලයෙක් සම්බන්දයෙන් මෙන්ම රජයක් සම්බන්දයෙන් ද මෙය එකසේ අදාලය. මේ දැනුම වෙනුවෙන් සෑම රාජ්‍යයක් ම විශාල මුදලක් වියදම් කරයි. මන්ද එය පැවැත්ම සම්බන්දයෙන් එතරම් වැදගත් නිසා ය.

එසේ නම් ‘නොදැනුමේ දේශපාලනය’ යනුවෙන් කොටස් දෙකකින් යුතුව මා මේ ලියන ළිපි වල ඉදිරිපත් කෙරෙන මුලික තර්කය කවරේ ද? මා කියන්නේ මේ රජය මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගැන නිශ්චිත තොරතුරු ලබා ගෙන (දැනුම) ඒවා සාර්ථක ලෙස මැඩ පැවැත්වූවා නම් අපට පතරංග ලෙස ළිපි ලිවීමට අවස්ථාවක් උදා නොවන බවයි. එසේ රජය සාර්ථක වුවේ නම් අප තවත් ලියමින් ඉන්නේ අසන්ධිමිත්තා තුන්වන කොටස විය හැකි බවයි. නමුත් රජය පැත්තෙන් වූ නොදැනුම හෝ දැනුවත් බව නොසලකා හැරීම (negligence) ඔස්සේ නව ක්ෂිතිමය දේශපාලන ප්‍රපංචයක් ඉස්මතුව ඇති අතර අප කරන්නේ එය අර්ථකතනය කිරීමට උත්සාහ කිරීම බවයි. මේ අප ලියන ළිපි ඔස්සේ අප කරමින් සිටිනුයේ ඔවුන්ගේ නොදැනුම මෙන්ම අපගේ ම නොදැනුමේ හිස් බව පුරවා දැමීමට උත්සාහ කිරීමයි. ක්ෂිතිමය යමක් පුරෝකතනය කිරීමට නොහැකි වූ අපගේ ම නොහැකියාව වසා ගැනීමට උත්සාහ කිරීමයි යන්න මගේ මුලික තර්කය යි. ඒ වගේම දැන් අප ගත කරන්නේ අපගේ දැනුමේ සීමාව (නොදැනුම) විනෝද වෙමින් ය යන්න මගේ අතිරේක තර්කය යි.    

මනෝ විශ්ලේෂණය තුළ සාමාන්‍යයෙන් මිනිස් අතිමුලික නොහැකියාව (fundamental impossibility) යනුවෙන් හැඳින් වෙන්නේ මිනිසා හට පොදුවේ යමක් එක්වරම පරිකල්පනය කර ගැනීමට නොහැකි වීම නම් තත්වය නිර්වචනය කිරීම සඳහා ය. එසේ මිනිසාට යමක් තේරුම් ගත නොහැකි වන්නේ හෝ සිතාගත නොහැකි වන්නේ මුලික වශයෙන් ඔහු /ඇය යම් ප්‍රපංචයක් කෙරෙහි දක්වන ‘නොසැලකිල්ල’ නිසාවෙනි (negligence). ඇතැම් විට සිගරට් බීම නරක බව අප දැන සිටියත් (දැනුම) එයින් අපට ගැලවීමට නොහැකි වීම නම් උගුල මෙයින් අදහස් කෙරේ (දැනුමේ සීමාව ඔස්සේ විනෝද වීම). 
බුදු දහම තුළ මෙම නොසැලකිල්ල ‘අවිද්‍යා’ ලෙස නම් කෙරේ (ignorance). යම් පුද්ගලයකුට සත්‍යය කරා එළඹීමට කොතරම් මාර්ග පැවතියද ඔහු එම මාර්ග දැනුවත්ව ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට කරන්නේ කුමක්ද? යමක් පවතින බව දැන දැනත් එය අප මඟ හරින්නේ ඉහත නොසැලකිල්ල නිසාය. මන්ද අප නොසැලකිල්ල ඔස්සේ විනෝද වන බැවිණි. අපගේ දැනුමේ සීමාව යනු ම විනෝදයකි. දුම්බීම සෞඛ්‍යයට අහිතකර බව පිළිබද දැනුම ඔස්සේ අප සිගරට්ටුව වඩ වඩා විනෝද වීම මෙයින් අර්ථවත් කෙරේ. සෞඛ්‍යය ට අහිතකර බව පිළිබද දැනුම විසින් සිගරට්ටුවේ විනෝදය තවත් වැඩි කරයි. බෝම්බ ගැන තිබූ දැනුම විසින් ඒවා පුපුරා යෑමෙන් පසු ඇතිකළ ක්ෂිතිය තවත් තීව්‍ර කරයි. අපගේ විනෝදය වී ඇත්තේ ද එයම ය. දැනුම විසින් විනෝදය කප්පාදු කරනවාට වඩා සිදුවන්නේ දැනුම විසින් විනෝදය තවත් තීව්‍ර කිරීමයි. 
මෙයින් අදහස් කරන්නේ ‘නොදැනුම’ (Know Not) හෝ ‘නොසැලකිල්ල’ යනු අප සිතනවාට වඩා සත්‍ය දේශපාලනික මොහොතක් යන්න ය. ඒ ගැන අප දිගටම ලිවුවේ ඒ නිසාය. යුදෙව්වන්ට අප එතරම් වධ හිංසා පැමිණුවේ ඇයි? වමේ ලෝකයක් තුල ම ස්ටාලින්වාදයක් අපට අවශ්‍ය වූවේ ඇයි? මිලියන ගණනක් මිනිසුන් චීනයේ මරා දැමුවේ ඇයි? සහරාන් අපට එසේ කළේ ඇයි? මේ කිසිවක් ගැන අප තවම දන්නේ නැත. එය ‘නොදැනුමේ දේශපාලනයකි’.
උදාහරණ වශයෙන් ආරක්ෂක ලේකම් වරයා පැවසුවේ ‘අපි මේ ප්‍රහාර ගැන දැනගෙන හිටියා තමයි ඒ වුණාට මෙහෙම දෙයක් වෙයි කියල හිතුවේ නැති’ බවයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුට කියවුනේ සත්‍යය වේ. සාමාන්‍ය මිනිස් ස්වභාවය වේ. අප ඔහුට කොතරම් බැන්නත් සත්‍යය යනු මිනිස් නොසැලකිල්ලයි. හේමසිරි ප්‍රනාන්දු මහතා ගේ මුවින් එළියට පැමිණි මේ සත්‍යය ට ෆ්‍රොයිඩ් කියන්නේ දිවග තිබෙන සත්‍යයක් යනුවෙනි (tip of the tongue). සාමාන්‍ය ජීවිතය තුල අප හැමෝම මෙසේ නොසැලකිලිමත් ය. හැම මිනිත්තුවේ ම මිනිසා සැලකිලිමත් වීමට උත්සාහ කලොත් හෝ අනෙකා සැක කිරීමට උත්සාහ කලොත් ඔහුට සාමාන්‍ය ජීවිතය මඟ හැරී යයි (පිස්සු හැදෙනු ඇත). අප සාමාන්‍යයෙන් මුස්ලිම් ගැහැණියක් හෝ මිනිසෙක් දුටුවහොත් එක් වරක් බලා පසුව අහක බලනු ඇත.
සාමාන්‍ය තත්වය එසේ වුවද දැන් අප ජීවත් වන්නේ සුවිශේෂ මොහොතකය. එනම් විශ්වීය එකමුතු වීම් (universal solidarity) වලින් ඔබ්බට ගොස් ඇමෙරිකාව පෙරට, චීනය පෙරට, රුසියාව පෙරට, ඉස්ලාම් දේශය පෙරට යන වර්ගයේ සටන් පාඨ ලෝකය පුරා ඇතිවෙමින් පවතින මොහොතක් ය මෙය. ජිජැක් පවසන්නේ ‘නව ජාත්‍යන්තරවාදයක’ (New Internationalism) අවශ්‍යතාවය දැන් ලෝකය පුරා ඉස්මතු වෙමින් පවතී යන්නය. විශේෂයෙන් පරිසර ගැටළුව හමුවේ මේ එකමුතුව වඩාත් අවශ්‍ය වී ඇත. නමුත් අප දැනට ඉන්නේ දේශීය නොසැලකිලිමත් බවක් ඇතුලේ එකිනෙකා සමග කුළල් කා ගනිමින් ය. 
ඉහත නොසැලකිල්ල අපට ගෙනදුන් විනාශය ගැන දැන් අප දනිමු. සාමාන්‍ය මිනිසුන් වන අපට ඇතැම් දේ ඇත්තටම සිතාගත නොහැක. සත්‍යය එයයි. මේ නිසා සුවිශේෂයෙන් බුදු දහමේ පවා කියවෙන්නේ තමා ජිවත් වන මේ මොහොත ගැන සවිඥාණික වන්න යනුවෙනි (here and now). මා මෙහිදී ඔබට යෝජනා කරන්නේ තමා ඉදිරිපිට දිග හැරෙන මෙම ලෝකය ගැන යම් සැක කිරීමක් කරන ලෙසයි. අප දැන් ගත කරන්නේ සුවිශේෂී මොහොතක වන බැවින් කොගිටෝමය අර්ථයෙන් සැකය මේ මොහොතේ අවශ්‍ය වේ. ගුවන් යානා වලට පවා පහර දිය හැකි යුධ අවි සහ පුහුණු කාඩරයක් සිටි එල්. ටී. ටී. ඊ. සංවිධානය පවා විනාශ කළ හමුදාවක් ඉදිරියේ කඩු හත අටක් සහිත පල්ලියකට කළ හැකි කෙමනක් නැති වුවත් මෙම මරාගෙන මැරෙන ගොන්කම ඉදිරියේ අප ප්‍රවේශම් විය යුතුය. 
ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසෙන සැක කටයුතු පුද්ගලයින්, කණ්ඩායම්, පාර්සල්, ගමන් මලු, රථ වාහන ගැන සැලකිලිමත් වන්න. ඉස්ලාම් වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා, බෞද්ධ වේවා, කවුරුන් වුවත් ඔබේ අනෙකා අනවශ්‍ය ලෙස විශ්වාස නොකරන්න. එය ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් උපකාරී වනු ඇත. ඔබේ අසල්වැසියා යනු යක්ෂයෙක් නම් එවිට කරන්නේ කුමක්ද යන්න ස්ලාවෝ ජිජැක් අසන සාමාන්‍ය ප්‍රශ්නයයි. එනිසා ඉවසීමෙන් ආරක්ෂක අංශ වෙත සහයෝගය දක්වන්න. ඒ සමග ම මංගල සමරවීරගේ හිස් විශ්වීය බව සමඟ හෝ සංහිදියාව සමග හෝ මෙය පටලා නොගන්න.
හිස් විශ්වීය බව (empty universalism) යනු කුමක් ද? එයින් අදහස් කරන්නේ ගැඹුරු වසඟය යි. අසන්ධිමිත්තා හි විකී පෙන්වන බොරු ආදරය මෙන් මිනිසාගේ සැබෑ ස්වභාවය අනෙකා ඉදිරියේ ඉස්මතු නොවේ. හරියටම වසඟය යනු කළු කුහරයකි. සියළු සඥා තමා තුලට ඇදගනී. තමාගෙන් කිසිවක් පිටට නොයයි. තමාගේ ඇත්ත ආවේගය පිට නොකරයි (සීතලයෙක් ලෙස සිටින රනිල් දෙස බලා ඔබට කිසිවක් තේරුම් ගත හැකිද? නමුත් මෛත්‍රී කොතරම් ආවේග ශීලි වන්නේ ද? ගමේ ඉපදුන මෛත්‍රී දේවල් ගැන ආත්මීය අර්ථයෙන් අනුරාගිකය).
හදිසි නිතිය යටතේ මෛත්‍රීට බුර්කාව ගැන තීරණයක් ගැනීමට ගියේ මිනිත්තු කිහිපයකි. මද්‍රසා ගැනද එසේම ය. කොළඹ එක්තරා මවුලවියෙක් ජනාධිපති ගැන කේන්තියෙන් කතා කලේ පසු නූතන පුතා ට සිදුවූ අපහසුව ඔහුට ද දැනුණු හෙයිණි. ‘මම ආච්චිලගේ ගෙදර යනවා පුතත් කැමතිනම් එන්න’ යන වර්ගයේ පශ්චාත් නූතන ගතිකයක් මෛත්‍රීගේ තීරණය තුළ තිබුණේ නැත. ඔහු පුතාට කිවේ මෙපමණය. ‘පුතා ඔයා අද ඔය තත්වයේ ඉන්නේ මම කියල කෙනෙක් ආච්චි හදපු නිසා. ඒ හින්ද කරුණාකරලා ඇදුමක් දාගන්න ආච්චිව බලල එන්න’. නූතන පියා යනු ක්‍රියාවේ වරදකාරිත්වය පුතා තුළ ඉතිරි නොකර වරද තමා වෙත ට ගන්නා පියාට ය (ජිජැක්, For They Know Not What They Do). පුතා ඇත්තට ම වෙනස් කිරීමට පශ්චාත් නූතන පියාට නුපුළුවන. හරි හෝ වැරදි වේවා ක්‍රියාවේ වරදකාරිත්වය මෛත්‍රී පිරිමියෙක් ලෙස තමා වෙතට ගත්තේය (රනිල් ඒක තලතාට සහ මුල්ලා ට පාස් කළේය – ඔහුගේ ම ප්‍රවෘත්ති නිවේදනයට අනුව). උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මහින්ද ගත්තේ ද මෙවන් පිරිමි තීරණයක් ය (කවුරු කොතරම් බැන්නත්). ඒ ගෞරවය ඔහුට හිමිය. කවුරු බැන්නත් ගෝඨා සම්බන්ද සත්‍යය පවා මෙයින් වෙනස් නැත. සරත් ෆොන්සේකා පවා පිරිමියෙක් මිස පසු නූතන පියෙක් නොවේය. හරී හෝ වැරදි කෙසේ වුවත් තීරණයක් අවශ්‍ය විට තීරණයක් ගැනීමට හැකි පාලකයින් අප පත්කර ගත යුතුය.
වසඟය යනු යමක් වෙනස් කරන මුවාවෙන් සිට ඇත්තටම දේවල් ඒ ආකාරයෙන්ම තිබෙන්නට හැරීමයි. උදාහරණ වශයෙන් උලමා වරුන් පවා මුහුණු ආවරණය ඉවත් කිරීමට එකඟ වී ඇති අවසථාවක මංගල සහ රනිල් වැනි පශ්චාත් නුතන පියවරුන් (පියවරුන්ට කරන අවමානයකි) නැවත නැවත උලමා වරුන් සහ මවුලවි වරුන් පස්සේ යන්නේ ඇයි? යමක් එතැනින් මෙතැනටත් මෙතැනින් එතැනටත් දමමින් යම් තීරණයක් ගැනීමට කල් මරන්නේ ඇයි? බුර්කාව පිළිබද තීරණාත්මක කතාවකදී එම තීරණය අධිකරණ ඇමතිගෙන් උලමාටත්, උලමාගෙන් මවුලවිටත්, මවුලවිගෙන් මුල්ලාටත්, මුල්ලාගෙන් අල් කයිඩාටත්, අල් කයිඩාගෙන් අල් සවාහිරි ටත්, අල් සවාහිරි ගෙන් බෝකෝ හරාම්ටත් පාස් කරමින් කල් මරන්නේ ඇයි? මේ සාකච්චාව, සම්මුතිය සහ සංහිදියාව ද? නැත. මේ වෙන ක්‍රීඩාවකි.
ලොව අන් සියළු සමාජ ස්ත්‍රිය ගැන සංකල්පය වෙනස් කර ගන්නා මොහොතක මුස්ලිම් සමාජයේ පමණක් ස්ත්‍රිය සම්බන්ද ෆැන්ටසිය වෙනස් නොවන්නේ මන්ද? මේ වසඟය තුළ නම් කෙසේවත් ඔවුන් වෙනස් කල නොහැකි වනු ඇත.
මා එසේ කියන්නේ රනිල් කඳවුරට සත්‍ය ලෙස මුස්ලිම් සමාජය වෙනස් කිරීමේ උමවනාවක් නැති හෙයිනි. ඔවුන්ට අවශ්‍ය තමන් මුස්ලිම් සමාජය ගැන මුස්ලිම් වරුන්ටත් වඩා සංවේදී බව පෙන්වා ඊළඟ චන්දයේ දී මුස්ලිම් චන්ද කුට්ටි කඩා ගැනීමට ය. උලමා වරුන් හිජාබය (නිකාබය) ඉවත් කිරීමට කැමැත්ත දී ඇති මොහොතක පවා ඔවුන්ට අවශ්‍ය උලමා වරුන්ටත් වඩා ඔවුන් සංවේදී බව පෙන්වා මුලධාර්මික කොටස් වල චන්දය ගැනීමට ය. මේ දිව්‍යමය ප්‍රචණ්ඩ බව (divine violence) නොව ගැඹුරු අර්ථයෙන් වසඟය යි. අප මුස්ලිම් වරුන්ට කියන්නේ මේ උගුලට අසු නොවන ලෙසයි. මුස්ලිම් සමාජය මේ අන්තවාදී කොටස් වලට කැමති නැත. මුස්ලිම් තරුණයින් විශාල වශයෙන් සයින්දමරදු ප්‍රහාරයේ දී හමුදාවට උදව් කලේ ඒ නිසාය. අප මහ ජාතිය ලෙස වඩා නුතන වනු (more modern than modern) දැකීම එම තරුණයින් ගේ බලාපොරොත්තු වයි. මන්ද අන්තවාදය ඉදිරියේ ඔවුන් තමන්ගේ භුමිය තුල අසරණ වී ඇති නිසාය (ඇඟේ හයිය මිස ඔවුන්ට වෙනත් බලයක් නැත). ඔවුන් බලාපොරොත්තු වන්නේ අන්තවාදයට එරෙහි පීතෘ මුලික පාලනයකි. එවිට ඔවුන් අන්තවාදය පරදා අප සමග එකතු වනු ඇත (සයින්දමරදු වලදී සිදු වුවේ එයයි). අන්තවාදයට එරෙහිව ඔවුන් බලවත් කල යුතුය (empowerment). අන්තවාදයෙන් පළාගිය Rahaf al-Qunun වැනි තරුණ තරුණියන් මුස්ලිම් සමාජයේ සිය දහස් ගණනින් ඇත. ඔවුන් ගැඹුරු අර්ථයෙන් බටහිර සමාජය වෙත ආශක්ත වී ඇති බව විචාරක මතයයි. එනයින් මුස්ලිම් තරුණ ජනගහනය දෙස අප අසමතුලිත ලෙස බැලිය යුතුය. අප රනිල් ට කියන්නේ අප මෙම මධ්‍යස්ථ කොටස් දිනා ගන්නා බවයි. ඔබලා අන්තවාදය සමග නිදි වදින්න!
අර මළ ඉලවු මවුලවියා ගේ ෆැන්ටසිය කුමක්දැයි මා නොදන්නා නමුත් මේ ලිපිය ලියන මගේ ෆැන්ටසිය නම් වික්ටෝරියා බෙකම් ය. නමුත් මෙහිදී මා ළිපියට අමුණන දේශපාලන චායාරූපය රහෆ් අල් කූනුන් ගේ ය (Rahaf al Qunun). 
කූනුන් …ඇය කොතරම් ලස්සන ද? ඇය එක් පිරිමියෙකු ගේ සදාකාලික දේපලක් විය යුතුද? (විශේෂයෙන් අර මවුලවියා ගේ … අපොයි!). පුදුමය නම් අර මවුලවි වරයා කරන ලද ප්‍රකාශය ගැන හෝ කූනුන් වැනි පිතෘ මූලිකයෙන් පලා යන ස්ත්‍රීන් ගැන හෝ අප දන්නා කොළඹ කොල්ලුපිටියේ ස්ත්‍රීවාදී කිසිවෙකු මේ දක්වා කට නොහෙල්ලීමයි.  
එතකොට කොල්ලුපිටියේ රනිල් ගේ ෆැන්ටසිය….මා එසේ අසන්නේ පූර්ව නූතන පියවරුන් ගෙන් පළායන කූනූන් වැනි තරුණියන් ගේ ආශාව (අර්ථවත් සම්ප්‍රදාය වෙනුවට නූතන හිස් බව වැළඳ ගැනීමට ධෛර්ය ඇති ස්ත්‍රියක් ලෙස. හිස්බව = void) තේරුම් ගැනීමට තරම් හැකියාවක් රනිල් ගේ ෆැන්ටසියට ඇත්ද යන්න තේරුම් ගැනීම සඳහා මිස රනිල් හෙළා දැකීමට නොවේය. ඇය තෝරා ගෙන ඇත්තේ සම්ප්‍රදාය වෙනුවට නූතන අර්ථ ශුන්‍ය යුරෝපීය ෆැන්ටසිය තරණය කිරීමට ය. ඒ කොන්ක්‍රීට් නගර, විදුලි බුබුළු, පතුලක් නැති හුදකලාව, එකතුවීම් සහ වෙන්වීම් ගහන විගලිත රාත්‍රී ජීවිතය සහ මත්ද්‍රව්‍ය නම් ෆැන්ටසි ලෝකය තරණයෙන් පසු (බලන්න මේ වසරේ ඔස්කාර් සම්මාන දිනූ A Star is Born සහ Bohemian Rhapsody චිත්‍රපට සහ ටැරන්ටිනෝ ගේ Pulp Fiction චිත්‍රපටය) ඇයට මෙන්ම අප සියළු දෙනාට ම මුණ ගැසෙන්නේ ශුන්‍යතාවය යි. සහරාන් ලා මොන බෝම්බ බඩේ බැඳගෙන පුපුරුවා ගත්තත් අවසානයට ඇත්තේ සියළු දෙයහි අවසන් පරම – අර්ථයක් (absolute meaning) නැති බවයි. එනම් බුදුන් වහන්සේ හරහා අවසානයට අපට ව්‍යුත්පන්න කරගත හැකි දෙයයි. පරම ශුන්‍යතාවය යි (absolute nothingness). ශුන්‍යතාවය දෙසට ගමන් කිරීම නම් තැනදී කූනූන් සිටින්නේ සහරාන් ට වඩා ගව් ගණනක් නිර්භීතව සහ ඉදිරියෙන්ය. 
Mahesh Hapugoda
කියවීම්:

Kitaro, N. (1958). Intelligibility and Philosophy of Nothingness: Three Philosophical Essays. (trans. Robert Schinzinger). Honolulu. East-West Center Press. 

Zizek, S. (1991). For They Know Not What They Do. London. Verso. 

Zizek, S. (2006). The Parallax View. lacan.com. read online

Zizek, S. (2019). The Interview: Slavoj Zizek. in New Internationalist. real online

Wells, C. (2014). The Subject of Liberation: Zizek, Politics and Psychoanalysis. New York. Bloomsbury. 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Dear Mahesh,
    From the premise you take at the beginning of your article, i.e., “එසේ නම් අප නිර්භීතව, විවෘතව සහ සදාචාරාත්මකව පිළිගත යුතු සත්‍යය කුමක් ද? එනම් අප බොහෝ දේ නොදන්නා බවයි. එයින් අදහස් වන්නේ මෙම ආපතික අවස්ථාව සඳහා අපට භාෂාවක් නොතිබූ බවයි.” what follows to the end, is FABULOUS, FANTASTIC, EXCELLENT!!!

    This is THE [ONLY] MOST SENSIBLE, MULTIFACETED ANALYSIS I read since this tragic incident and in its aftermath.
    WELL DONE!
    THANK YOU

  2. Thank you Wasantha. You have always been a good judge and critic of my articles. I really appreciate it. I also work on another article on Habermas and how his rationalization theory can be applied to deconstruct the modernist deadlock we are now confronted with. Everybody talks about modernization yet nobody says how to become ‘modern’ from a deep traditional lifeworld that is centuries old. On the other hand, there are rational elements within tradition too, for example, peace and dialogue in Buddhism (even shunyatha). However, according to Zizek, ‘know not’ is the most fundamental phenomenon in modern psychoanalysis. We did not know why we were so ignorant. And Saharan did not know why he killed so many people for a God who does not care for us (no gaze)!! Funny.

Comments are closed.