ලියෝන් ටෙ‍්‍ර‍්‍රාට්ස්කි ගේ නොනවතින විප්ලවය නමැති පොත මා නැවත පෙරලා බැලූවේ සෑහෙන කාලයකට පසුව ය. සමහර විට ඒ කාල පරාසය වසර තිහක් පමණ වෙන්නට බැරි නැත. මෙම පොතේ හේ ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ ධනේශ්වර සංවර්ධනය තවමත් හරිහැටි නො සිදුවන හෝ යටත් විජිත රටවල සමාජ පෙරළිය කුමන සීමිත ප‍්‍රශ්නයක් අරබයා ඇති වුව ද සමාජයේ දැවැන්ත පරිවර්තනයක් කරා ගමන් ගැන්මේ විභවයක් තිබේ ය යන්න ය. එමනිසා එකිනෙකට අසම්බන්ධිත අවධීනට එම ක‍්‍රියාවලිය ලඝු කරන්නට යෑම න්‍යායාත්මක වරදකට සහ ප‍්‍රායෝගික අනතුරුවලට හේතු විය හැකි බව ය. සීමිත ප‍්‍රශ්නයක් අරබයා ඇතිවන සටන් සමාජයේ දැවැන්ක පරිවර්තනයක් කරා අනිවාර්යයෙන්ම ගමන් කරන්නේ ය යන සාධ්‍යතාවාදී අදහසක් මෙහිදී ට්‍රොට්ස්කි ඉදිරිපක් නො කරයි. එය තීරණය වන්නේ සමාජ පංති බලවේගයන් හී තුලනයට අනුව ය. මෙම න්‍යායාත්මක ප‍්‍රස්තුතය අද මා සිහි ගන්වන්නේ එහි කාලෝචික වටිනාකම නිසා ය.

අද ශ‍්‍රී ලංකාවේ අප මුහුණ දෙන කර්තව්‍යයෝ කවරහු ද? මෙම ප‍්‍රශ්නයට විවිධ පිළිතුරු ඉදිරිපත් කර ඇත. ආණ්ඩුව ඇතුලත සිටින වාමාංශික නායකයින් ගේ අදහස වන්නේ වර්තමාන ආණ්ඩුව අධිරාජ්‍යවාදීන් ගේ
තර්ජනයට හසුව ඇති නිසාත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍යය දේපොල පෞද්ගලීකරණයට එරෙහිව සිටින හෙයිනුත්, මෙම අවධිය තුළ ආණ්ඩුව සමඟ සන්ධානගතව සිටීම අවශ්‍ය බව ය. ආණ්ඩුවෙන් පිටත සිටින
වාමාංශික බොහෝ පිරිස් කල්පනා කරන්නේ අද ප‍්‍රධානම සතුරා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බවත්, එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අධිකාරිවාදී දූෂිත පාලනයකට වේගයෙන් ගමන් ගන්නා හෙයින් සියළු බලවේග කරාශීකොට එය පෙරළා දැමීම මෙම අවධියේ අවශ්‍යතාවය බව ය. එනම් සමාජ ප‍්‍රතිසංස්කරණ නොව මෙම අවධියේ මූලික වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ගොඩනැගීම ය. මෙනයින් මෙම අදහස බොහෝ දුරට ලිබරල් මතය හා සමපාත වන්නේ ය. අද කර්තව්‍ය ගැන මේ අදහස් දෙකම අල්ලාගෙන ඇත්තේ ඔවුනට අභිමත කොන් වලිනි. මෙම තර්කයන් හී කිසියම් වලංගු බවක් දැකීම අපහසු නොවේ. ඊනි යා ලෝක ප‍්‍රජාව ශ‍්‍රි ලංකාව පිළිබඳ කනස්සල්ලෙන් සිටින්නේ දෙමලූනට ඇති ආදරය නිසා නොව ශ‍්‍රි ලංකාව එම බලමණ්ඩලයෙන් ඉවත් වන්නට වෙර දරන්නේ ය යන අදහස නිසා ය. ඇතැමුන් අධිරාජ්‍යවාදී අවධිය ගෙවී ගොස් ඇතැයි අදහස් කළ ද එය අද වඩාත් ප‍්‍රහාරාත්මක ය. රුසියාවේ පුටීන්ට පවා එයට එරෙහිවීමට බලකර ඇත්තේ නේටෝව තම බල කලාපයට හොටදාන හෙයිනි. අනික් අතට රාජ්‍යගත දේපොල ආරක්ෂා කිරීමෙහි ඇත්ත වැදගත් කමක් අත් ද? රාජ්‍ය දේපොල හා සමාජවාදය සමඟ බැම්මක් නැත. අනික් අතට මෙම තන්ත‍්‍රය පරාජය කිරීමෙන් කෙටි සංක‍්‍රාන්තියක් ඇති වුව ද එනයින් මෙම අදහස් දෙකම පිළිබඳ සාධාරණ විවේචන හුවමාරු කරගැන්ම ද අපහසු නොවේ.

මේ ප‍්‍රස්තුත දෙක සම්බන්ධව මා ඉදිරිපත් කරන්නේ මූලික විවේචනයකි. මෙම ස්ථාවර දෙකම නිවැරදි පරිකල්පනයකින් ගලා එන්නක් නොවේ. නිවැරදි පරිකල්පනයක් ගොඩනගා ගත හැක්කේ ජාත්‍යන්තර තත්ත්වය
ගැන සමාලෝචනයකින් සහ තේරුම් ගැනීමකිනි. කෙටියෙන් මෙම තත්ත්වය හඳුන්වන්නේ නම් එය නව ලිබරල්වාදයේ අර්බුධය ලෙස සාරාංශ කළ හැක. එසේ නොමැතිව ලිබරල් ප‍්‍රජාතනත‍්‍රවාදීන් දකින ලෙස මෙම
රාමුව වන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් රාමුව නොවේ. අප ඉදිරියේ ඇති මෙම අවධියේ කර්තව්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම ය. යහපාලනය සහතික කිරීම ය. නීතියේ පාලනය පිහිටුවීමය යන අදහසෙහි අප
හිරවන්නේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී තේරුම් ගැන්ම තුලිනි. මා දකින පරිදි වම තුල හොල්මන් කරන ඉහත සාකච්ඡා කළ අදහස් දෙකම පදනම් වන්නේ ට්‍රොට්ස්කි ප‍්‍රතික්ෂේප කළ අවධි දෙකේ න්‍යාය මත ය. අපි අනික්
අවධියට යා යුත්තේ එක් අවධියක කර්තව්‍යයන් හමාර කරමින් ය.

අවධි දෙකේ න්‍යය ප‍්‍රතික්ෂේප කිරීම මගින් අප ප‍්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරමු. පළමුවැන්න වන්නේ ඒ ඒ අවධිවල කාර්යභාරයයන් අතර ඇති සංක‍්‍රමණිය ස්වභාවය පිළිගැන්ම ය. දෙවැන්න මෙම කාර්යභාරයන් සාක්ෂාත් කරගැන්මේ දී ඒ සඳහා අවශ්‍යය පංති සහ ජන බලවේගයන්ගේ ජනප‍්‍රිය කාණ්ඩගතවීම කෙසේ සිදුවන්නේ ද යන්න ය. දෙවැනි අදහස ගත්විට ට්‍රොට්ස්කි අතින් වරදක් සිදුවිය. පංති දෙකක හෝ කිහිපයක තන්ත‍්‍රයන් නැත්නම් ආණ්ඩු පැවතීමේ හැකියාව හේ ප‍්‍රතික්ෂේප කළේ ය. ගොවීනගේ ආධාරය ලද කම්කරු ආඥාදායකත්වය යන ස‍්‍රත‍්‍රගත කිරීමට හේ මෙහෙය වූනේ එහෙයිනි. නව ලිබරල්වාදය ධනපති සහ කළමණාකරණ පංතිවල වුවමනාවට ගොඩනැගුණු තන්ත‍්‍රයකි. එම තන්ත‍්‍රය ක‍්‍රියාත්මක වන්නේ සමාජ පහල තට්ටුවට එරෙහිව ය. නව ලිබරල්වාදයට එරෙහි සටන ජනප‍්‍රිය පංති එකමුතුවක් මගින් කළ යුත්තකි.

සමාජවාදී ජනතා පෙරමුණ තම මැයි දින සටන් පාඨ ලෙස ඉදිරිපත් කළ කරුණු තුන සැළකිල්ලට ගනිමු. ඒවා නම් (1) විධායක ජනපති ක‍්‍රමය අහෝසි කරනු. (2) වැටුපේ සහ ආදායම් වල සත්‍ය අගය ආරක්ෂා වන ලෙස වැටුප් වැඩි කරනු (3) නීතියේ පාලනය පිහිටුවනු. මෙයට හතර වැන්න ලෙස 13වෙනි සංශෝධනය නිසි ලෙස ක‍්‍රියාත්මක කරනු යන්න එකතු කළ හැක. මෙම ජයග‍්‍රහණ ගැලවුම්කාරයෙකු මගින් ජයගත හැකි යැයි යමෙකු සිතන්නේ නම් එය දැවැන්ත මුලාවකි. ඒ සඳහා තාවකාලික ඇයි හොඳයිකම් ගොඩනගා ගැනීමෙහි වරදක් නැත.

එහෙත් එම ජයග‍්‍රහණ ලබාගැන්මටත්, එම ජයග‍්‍රහණ වලින් ඉදිරියට යෑමටත් හැකි වන්නේ ජනපි‍්‍රය පංති එකමුතුවක් ගොඩනගා ගැනීමෙන් පමණෙකි. ජනප‍්‍රිය පංති එකමුතුවක ආණ්ඩුවක් සඳහා සටන් කිරීමෙනි. මෙම
ජයග‍්‍රහණය සඳහා වැඩක‍්‍රම, නව සංවිධාන රටා, අළුත් ව්‍යුහයන් නිර්මාණාත්මකව සැලසුම් කළ යුතු වේ.

– රාවය-

ඔබේ අදහස කියන්න...