නිසැකවම ප්‍රභාත් ජයසිංහගේ කෙටි කතා දෘෂ්ටාන්තයන්ය (allegories). අප ඇසිය යුතු ප්‍රශ්නය නම් දෘෂ්ටාන්ත යනු කුමක් ද? යන්න නොවේ. අද්‍යතන කෙටිකතා කරුවාට දෘෂ්ටාන්ත රචනය නම් වූ වාගාලංකාරක ප්‍රයෝගයන් (rhetorical devices) භාවිත කිරීමට සිදු වී ඇත්තේ කුමක් නිසා ද යන්නයි.

ප්‍රභාත්ගේ කෘතියේ පළමු කෙටිකතාවෙන් කියවෙන්නේ තම ගමනාන්තය වෙනස් කළ දුම්රියක් පිළිබඳ පුවතකි. මෙම දුම්රිය තුළ යථාර්ථයේ විවිධ සංකේතික නියෝජනයන් පිළිබිඹු වන අයුරු විස්තර කෙරේ. ලුවිස් කැරොල් ගේ Alice in Wonderland හි ඇලිස් විසල් සිදුරක් ඔස්සේ පහළට වැටෙද්දී දකින්නේ සංකේතික වට පිටාවකි. විශාල කබඩ්, පොත් රාක්ක, කෝප්ප පිඟන් ආදී වූ භාණ්ඩ පසු කරමින් ඇය නොනැවතී පහළට ඇඳී ගියාය. ප්‍රභාත්ගේ “වැරදුන කෝච්චිය” ද එබඳු විශාල සිදුරක් මෙනි. එහි ගමන් කරමින් සිටි පිරිස සහ ප්ලේටෝ ගේ ගුහාව (Cave of allegory) තුළ මාංචු ලා සිටින සිරකරුවන් අතර වෙනසක් නැත.

ප්ලේටෝ ගේ ගුහාවේ යදමින් බැඳ සිටින සිරකරුවෝ බිත්තියකට මුහුණ ලා ඉඳගෙන සිටිති. ඔවුන් පිටුපස ගිනි මැලයක් දැල්වේ. එය ඉදිරිපිට විවිධ වස්තූන් හිසින් ගත් මිනිස්සු සක්මන් කරති. ඉදිරිපස බිත්තියට වැටෙන සෙවණැලි මඟින් එම වස්තූන් හඳුනා ගැනීමට සිරකරුවන්ට සිදුවී ඇත. වැරදුන කෝච්චියේ ගමන් කරන මිනිසුන් වෙත නිවේදනය වන පණිවිඩය ප්ලේටෝගේ ගුහාවේ බිත්ති මත ඇදෙන සෙවණැලි රූප මෙනි. තම තමාගේ දෛනික කටයුතු සඳහා යන මගින් රැගත් දුම්රියක් එකවරම සතුරු හමුදා සමඟ සටන් වැදීම පිණිස යන ඊනියා සටන්කාමීන් පිරිසක් බවට පරිවර්තනය වී ඇත.

ප්‍රභාත් මෙම කෙටි කතාවේ පෙළ තුළ හරියටම වර්තමානය ස්පර්ශ කරන තැන නම් දුම්රිය මගීන්ට ඇති නිදහස පිළිබඳ නිවේදනයයි. ඔවුනට අවශ්‍ය නම් දුම්රිය තුළ සිදුවන දේ පිළිබඳව තම මොබයිල් දුරකථන මගින් බාහිර ලෝකයට දැනුම් දීමට පිළිවන. එහෙත් ඉන් ඔවුනට විය හැකි ආන්තරාව පිළිබඳව ද එම නිවේදනය මඟින් පැහැදිලි කෙරිණි. මෙම දුම්රිය තුළ සියල්ල පාලනය කරනු ලබන්නේ සන්නිවේදනය නම් ප්‍රපංචය විසිනි.

මිනිස් සන්නිවේදනය වූ කලී ඌනනය නොකළ හැකි ප්‍රතීකත්වයක්. (irreducible reflexivity) බව පිජැකියානු සොයා ගැනීමකි. ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක්. ඊට සමගාමීව සංකේතකරණය කරන්නේ සන්නිවේදනය නම් කාරණයමය. එනම් මිනිසකු කරණා කතාවෙන් කිසි විටෙක හුදු පණිවිඩයක් සම්ප්‍රේෂණය නොවන බවයි. එය හැම විටම අවධාරණය කරන්නේ සන්නිවේදනය අන්‍යොන්‍යව සිදුවන විෂයයන් (Subjects) නැතහොත් පුද්ගලයින් අතර සංකේතික ගිවිසුමක් පවතින බවය. මේ නිසා ඔබට යමක් කිරීමට යම් නිදහසක් තිබෙන බව ප්‍රකාශමාන වන පණිවිඩය තුළම ප්‍රතික්ෂේප කළ නොහැකි බවට වූ අර්ථය ද ගැබ්වී ඇත.

ප්‍රභාත් තම දෘෂ්ටාන්තය රචනය තුළ රූපික ලෙස පශ්චාත් නූතන දුම්රියක් නිරූපණය කරන බව කියන්නේ යට කී ප්‍රවාදයට අනුවය. මෙම දුම්රිය තුළ සිටින මගීන්ගේ හැසිරීම නම් කළ යුත්තේ හිස් අභිනයන (empty gestures) වශයෙනි. වින්දිතයකුගෙන් (Victim) ඔහුට නියම වී ඇති ඉරණම ගැන එකඟතා වන්නේ දැයි විමසීම හුදු චාරිත්‍රයක් ලෙස පමණක් සිදුවන්නකි. යම් සමාජයකට අයත් අපට යමක් නිදහසේ වැලඳ ගැනීමට (හෝ නොගැනීමට) නිදහස තිබෙන බව ප්‍රකාශයට පත් වෙන්නත් අප මත පනවන අණ වන්නේ අප හැමෝම අපේ රටට, දෙමාපියන්ට, ආගමට ප්‍රේම කළ යුතු බවයි. ප්‍රභාත්ගේ වැරදුන කෝච්චිය තුළ මගීන් සටන් බිමට ගෙන යන බවට වූ නිවේදනයට පෙර එකක් පසුපස එකක් ලෙස ප්‍රචාරය වූයේ දේශාභිමානී ගීතය.

යට කී හිස් අස්නය (empty gesture) අපගේ එදිනෙදා ජීවිතයේදී නිරන්තරව අනුශීලනය වන්නකි. මෙම කෙටිකතා පොතේ එන “අඩු තරමෙ එස් එම් එස් එකක්වත්” නම් වූ කෙටි කතාවේ එන පතීගේ අර්බුදය වන්නේ එම හිස් අභිනයන් ඇත්ත සේ ගැනීමය. නිදසුනක් ලෙස අප ගමනක් යන විට කෙනෙක් ගමනක් යනවාදැයි අසන්නේ පිළිතුරක් අපේක්ෂාවෙන් නොවෙතත් අප යන ගමන ගැන ප්‍රශ්නකරුට විස්තර කිරීමට ගියහොත් සිදුවන්නේ ඔහු පුදුමයට පත්වීමය. ඔහුගේ ප්‍රශ්න කිරීම පිළිතුරක් අපේක්ෂා නොකරන හිස් අභිනයක් බව අප වටහාගත යුතුව සිටිති.

“අඩු තරමේ එස්. එම්. එස්. එකක්වත්” කෙටි කතාවේ නව සභාපතිවරයා ලෙස ජිතේන්ද්‍ර පත් වූ අවස්ථාවේදී හිටපු සභාපති එරික් ගැන නෙවිල් වර්ණනාත්මක කතාවක් කරයි. හිටපු සභාපතිවරයා ගැන අප්‍රසාදයෙන් සිටි අය පවා එයට බලවත් විරෝධයක් පළ කරන්නේ නැත. එහෙත් හිටපු සභාපතිවරයාට පහර ගසමින් පතී කරන නිර්දය කතාව අතරමැද නවතා දැමීමට ඔහුගේ ප්‍රාණ සම මිතුරා වූ නව සභාපති ජිතේන්ද්‍රට සිදු වේ.

නෙවිල්ගේ කතාව දියත් වන්නේ සංකේතික සන්නිවේදන ක්‍රියාදාමයක් තුළය. එනම් කතාව කරන්නා සහ අසන්නා අතර සම්මුතියත් (pact) ඇත්තාක් මෙනි. පතී කඩ කරන්නේ මේ සංකේතික සම්මුතියයි. එතනදී පතීගේ ඇමතීම යොමු වන්නේ මහා අනෙකා (big other) වෙතය. කෙනෙකු අන් අයගේ මත පිළිබඳ කතා කරන විට ඉන් අදහස් වන්නෙ ඔහු අවට සිටින අය සිතන දේවල් නොවේ. ඔහු අදහස් කරන්නේ අපුද්ගල අනෙකා සිතා දේය. ඔහු විනීත බවේ යම් රීතියක් කඩ කරන විට (පතී මෙන්) ඔහු කරන්නේ බොහෝ දෙනෙකු නොකරන යම් දෙයක් කිරීම නොවේ. ඔහු කරන්නේ අර මහා අනෙකා නොකරන දේ කිරීමය. පතී මෙහිදී කරන කතාව අර ගමනක් යන්නේදැයි කෙනෙකු අසන ප්‍රශ්නය බරපතළ කොට ගෙන ගමන පිළිබඳ කරන විස්තරයට දෙවැනි නැත. සීට්ටුවාගේ දිව්‍ය ලෝකය කෙටි කතාවේ එන සීට්ටුවා ද සංකේතික සම්මුතියට පිටු පෑමෙන් දෙවියන් (මහා අනෙකා) සමඟ ආරවුලක් ඇතිකර ගත්තෙකි.

මීට වඩා දෙයක් ලිවීමට මෙහි ඉඩකඩ මදි බව ඔබ හොඳින්ම දනී. කෙසේ වෙතත් මෙහි අනෙක් සෑම කෙටි කතාවකට චරිත වැරදුන කෝච්චියේ නැගුන මගීන්මය. එහෙයින් මෙහි එන කෙටිකතා කියවීම පශ්චාත් – නූතන දුම්රියක නැගී යන සවාරියක් ලෙස නම් කිරීමේ වරදක් මම නොදනිමි. ප්‍රභාත්ගේ කෙටිකතා පිළිබඳ විශේෂයෙන් බර කොට කිව යුතු දේ නම් ඔහු යථාර්ථය සහ මිථ්‍යාව අතර සීමා ඉර බොඳ කරන බවය. එය නිසැකවම යථාර්ථයාගේ ඩෙරිඩියානු විසංයෝජනයකි.

සමන් වික්‍රමාරච්චි

ජායාරැපය වැරදිමකි – චමිපිකා ඇයි අපි ගැන නිවිස් නො දාන්නෙ ? – ඒ ගැන ශපිරෝගෙන් අහන්න බය ඇයි ?

ඔබේ අදහස කියන්න...