සයිටම්’ උපාධියට උසාවිය විසින් නෛතික පිළිගැනීමක් ලබා දීමෙන් අනතුරුව සිදුවීම් පෙළ ගැසීම අලූත් වටයකින් ආරම්භ වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අනුව ‘සයිටම්’ ආයතනයේ ප‍්‍රධාන විධායකයාට වෙඩි තැබුවේ කවුද යන්න තවම සොයා ගැනීමට නොහැකි වීම මඟින් සංඥා වන්නේ ඊට ආණ්ඩුව ගෑවී ඇත්ද යන්නය. මන්දයත් පොලීසියට සොයා ගත නොහැකි බොහෝ අපරාධවලට ඒ ඒ යුගවල ආණ්ඩුව සම්බන්ධ යැයි ආකල්පයක් සමාජයේ පවතින බැවිනි.
80 දශකයේ දෙවැනි භාගය තුළ තරුණයන් ‘රැඩිකල්කරණය’ වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප‍්‍රශ්නය සහ ඉන්දීය සාම ගිවිසුම හරහාය. එක පැත්තකින් මෙම කරුණු දෙක හරහා තරුණ ශිෂ්‍ය දේශපාලනය රැුඩිකල් වූ අතර තව පැත්තකින් මෙම කරුණ නිසා වාමාංශික දේශපාලනය අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතිවාදයට දිශානත විය. ගැටුමේ එක පැත්තක ජයග‍්‍රහණය එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලබා ගත් අතර 90 වර්ෂයේ ජයග‍්‍රාහී මැයි රැුලිය ගාලූමුවදොර පිටියේ පවත්වමින් රන්ජන් විජේරත්න මෙසේ මුර ගෑවේය. ”දැන් කෝ දේශපේ‍්‍රමීන්?”
නිදහසින් පසු ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සමාජයේ බිහි වන තියුණු සමාජ ප‍්‍රතිවිරෝධතාවල දී හැසිරුණේ එකම මාදිලියකටය. එම මාදිලිය මෙසේ නම් කළ හැක. By default. එනම් පැහැර හැරීමෙන් යමක් සිදු වීමට ඉඩ දීම. ජාතික ගැටලුවට අදාළව මෙන්ම ‘සයිටම්’ ප‍්‍රශ්නයේ දී ද ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තම ඍජු මතය සමාජයට ප‍්‍රකාශ කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ නිකං ඉඳීමය. මෙම ‘නිකං ඉඳීම’ වරදවා තේරුම් ගන්නා වාමාංශික ශිෂ්‍ය දේශපාලනය සහ පැරණි තාලයේ ට්‍රොට්ස්කිවාදී චින්තනය ඉන්පසු වැඩ පටන් ගනියි. නූතන සමාජයේ ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධතා කට්ටලය වන්නේ ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමයයි. මෙම ප‍්‍රතිවිරෝධය (ගින්දර) මෙහෙයවීමට මේ කාලයේ කිසිවකු උත්සාහ කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය ජාතිවාදය හෝ බාහිර සතුරකු නිර්මාණය කරගත හැකි ද්විතීයික ප‍්‍රතිවිරෝධයක් දක්වා පල්ලමට ප‍්‍රශ්නය තල්ලූ කරනු ලැබේ. ඉන්පසු ඇරඹෙන නාට්‍යමය ජවනිකාවට අවශ්‍ය නළු-නිළියන් (ආර්. පේ‍්‍රමදාස, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, සාගරිකා ගෝමස්, දයා පතිරණ] තෝරා ගැනීමට හැකි දක්ෂ නාට්‍ය අධ්‍යක්ෂවරු රටේ ඕනෑතරම් සිටිති. නාට්‍යය පටන් ගන්නේ ප‍්‍රධාන ජවනිකාවට පිටින් රඟහලේ සිදු කරන අනපේක්ෂිත වෙඩි තැබීමකිනි. නාට්‍ය ජවනිකාව අවසන් වන්නේ රජයට පක්ෂපාතී වාමාංශිකයන් සහ රාජ්‍ය විරෝධී දේශපේ‍්‍රමීන් ලෙසිනි.

බොහෝ දෙනා සිතන්නේ නුගේගොඩ පවත්වන රැුස්වීම් ඓතිහාසික ඒවා බවය. ‘සයිටම්’ ප‍්‍රශ්නය අරබයා මෑතක දී පවත්වන ලද සයිටම් විරෝධී රැස්වීම ද දේශපාලන තලයේ සිදු වූ නව ඛණ්ඩනයක් ලෙස සැලකිය හැක. නමුත් අද අපි ජීවත් වන්නේ 80 දශකයේ නොවේ. 80 දශකයේ ජීවත් වූ මිනිසුන්ගේ විඥානය මිය ගොස් ඇත. වර්තමානයේ පවත්වන ලද නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩ වූ වාමාංශිකයන් ප‍්‍රමාණය 30 කට ආසන්නය. ඉන් අදහස් වන්නේ කුමක්ද? වාමාංශිකයන් ඔවුන් අතරම යළි යළිත් බෙදී යන අතරම අවශ්‍ය නම් තමන්ටම තමන්වම බෙදා ගැනීමට හැක. 1 යන සංඛ්‍යාව 2 වූ පසු යළිත් 1 විය නොහැකිය. එසේ නම් 30 යන සංඛ්‍යාව 1 වීමට කිසිදු ඉඩක් නැත.
‘මහජනතාවගේ’ නිරීක්ෂණය උදෙසා ඇති පෙරේතකම නිසාම තම තමන්ගේ ආත්මරාගය විශාල වී ඇති ප‍්‍රමාණය ගැන ස්වයං – අවබෝධයක් සමකාලීන වම්මුන්ට නැත.
වාමාංශිකයන් 30 කට බෙදුවේ කවුද? බොහෝ දෙනා සිතන්නේ සමාජ යථාර්ථය කෙතරම් සංකීර්ණද යත් වම 30 ට යථාර්ථය විසින් බෙදා ඇති බවයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ ද දෙකට කැඞී ඇත. ඒ අනුර පාර්ශ්වය සහ කුමාර පාර්ශ්වය ලෙසයි. අනුරලා අයිති වන්නේ සන්ධානවාදී දේශපාලනයටය. කුමාරලා නිෂ්පාදනය කරන සටන් පාඨය වන්නේ පාරිශුද්ධ වාමාංශයයි. පරිණාමය ගැන අදහසක් නැති පැරණි වම ඔවුන්ට ආකර්ෂණය වන්නේ මෙම සටන් පාඨය නිසාය. වාමාංශය අද දවසේ කීයට කැඞී තිබුණත් සටන් අවසන් වීමට නියමිත වන්නේ රාජ්‍යයට පක්ෂ සටන්කාමීන් (PRA) සහ රාජ්‍ය විරෝධීන් (සිංහල දේශපේ‍්‍රමීන්) වශයෙනි. මේ අපට ඉතිහාසය උගන්වා ඇති පාඩමයි. මෙතෙක් කල් අතීත රැඩිකල්වාදීන්ගේ චින්තනය දයලෙක්තිකව චලනය වී ඇත්තේ එපරිදිය. සමහරුන්ගේ මතය වී ඇත්තේ අප ඉතිහාසයෙන් ඉගෙන ගෙන ඇති බවයි.
‘සමාජය’ කොටස්වලට කඩා ඒ ඒ අය අතර පසමිතුරුභාවයන් ඇති කරන්නේ දෙවියන් හෝ වාස්තවික බල රටාවන් නොවේ. සැබෑ දේශපාලන බල සබඳතා මෙහෙයවන්නේ මිනිස් විඥානය මිස අනෙකක් නොවේ. ඉතාම සරලව කිවහොත් රජය සහ ඊට විරුද්ධව වාමාංශය 30 ට බෙදන්නේ විෂ්ණු නොව මිනිස් ආත්මයකි. මෙහි ‘ආත්මය’ ගැන වැටහීමක් 80 දශකයේ දී කිසිවකුට තිබුණේ නැත. යථාර්ථයේ පරමාණුක ස්වරූපය වන්නේ ප‍්‍රතිවිරෝධයයි. ‘සයිටම්’ ප‍්‍රධාන විධායකයාට එල්ල වී තිබුණු වෙඩි 3 ම ඉලක්කය වැරැුදී යාම ජවනිකාවට අවශ්‍ය ප‍්‍රථම සන්ත‍්‍රාසය අපට සපයයි. නමුත් ඉදිරියේ දී අපට හමුවීමට නියමිත පිස්තෝල විසින් මෙම සන්ත‍්‍රාසය ඊළඟ ජවනිකාවට අපව තල්ලූ කරනු ඇත. නූතන ධනවාදය වටහා ගැනීමේ දී ‘බුද්ධිය’ අනවශ්‍ය බව මෙම පිස්තෝලකරුවන් අපට කියා දෙනු ඇත. ‘කොඩිය’ තමන් අතට ගැනීමට ඕනෑම කැත වැඩක් කිරීමට සූදානම් මිනිස්සු අප අතර සිටිති. ඉතිහාසයේ පළමු වරට ලංකාව තුළ ‘බුද්ධියට’ යමක් කළ හැකිදැයි ලිට්මස් පරීක්ෂාවක් කළ හැක. අප වනාහි කොළඹ කනත්තේ දොරටුවට තට්ටු කරන අවසාන වාමාංශිකයන්ය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. කාලීනව ඉතා වැදගත් ලිපියක් බව හැඟේ. ලංකාවේ වාමාංශය ට ඕක තේරුනොත් තමා පුදුමය.

Comments are closed.