මම ‘මාඕ සේතුංගේ’ ආප්තයකින්ම මෙලෙස පටන් ගනිමි.

“බිත්තරයක් කුකුළු පැටවෙකු බවට පරිවර්තනය කළ හැකි නමුත් ගලක් බැරි ඇයි? …. එකම හේතුව, ප්‍රතිපක්ෂයන්ගේ ඒකීයභාවය අවශ්‍ය නිශ්චිත තත්ත්වයන් තුළ පමණක් පැවැතීමයි. මේ අවශ්‍ය නිශ්චිත තත්ත්වයන් නොමැතිව කිසිම ඒකීයභාවයක් ඇති විය නොහැකි ය”. 

 

 විශාල පරිමාවේ සමාජ-ආර්ථික- දේශපාලනික අර්බුදයක් පවතින බාහිර යථාර්ථයක් පවතින තත්වයක් යටතේ වුවත්, විපක්ෂයේ විවිධ බලවේග වලට ‘බලය’ ලබා ගැනීමේ පිම්මක් පැනිය නොහැක්කේ මන්ද? අපි නැවතත් මාඕ දෙසට යොමු වෙමු. අපි ඔහුව මෙලෙස උපුටා දක්වමු.

        “ගැටලුවක් අධ්‍යනය කිරීමේ දී, අපි මනෝමූලභාවය, එක පැත්තකට පමණක් සීමා වීම, උඩින් පල්ලෙන් බලන කරන ස්වභාවය මේවායින් වැළකිය යුත්තෙමු. හුදු මනෝමූල වීම යනු, වාස්තවික පැත්ත නොබැලීම ය. එක පැත්තකට පමණක් සීමා වීමේ තේරුම හැම පැත්තෙන්ම ගැටලු දෙස නොබැලීමයි. උදාහරණයක් වශයෙන්, චීනය පමණක් තේරුම් ගන්නා මුත් ජපානය තේරුම් නොගැනීම, කොමියුනිස්ට් පක්ෂය පමණක් තේරුම් ගැනීම සහ කුඕමින්තං පක්ෂය තේරුම් නොගැනීම, ගොවියන් පමණක් තේරුම් ගැනීම කරන මුත් ඉඩම් හිමියන් තේරුම් නොගැනීම, හිතකර තත්වයන් පමණක් තේරුම් ගැනීම මිස අහිතකර තත්වයන් තේරුම් නොගැනීම, අතීතය පමණක් තේරුම් ගන්නා මුත් අනාගතය තේරුම් නොගැනීම, තනි තනි කොටස් තේරුම් ගන්නා මුත් සමස්තය තේරුම් නොගැනීම, රහස් විප්ලවවාදී වැඩ තේරුම් ගන්නා මුත් එළිපිට කරන සෙල්ලම් වැඩ නොතේරුම් ගැනීම යනාදී වශයෙනි. කොටින්ම, එහි තේරුම ප්‍රතිවිරෝධයක පැති දෙකේම ගුණාංග තේරුම් නොගැනීමයි. ගැටලුවක් දෙස එක පැත්තකින් පමණක් බැලීම යන්නෙන් අදහස් කරන්නේ, මෙයයි. ගස් දකින බොහෝ දෙනාට කැලය නොපෙනී යයි. සරලව කිවහොත්, දෙපැත්තටම කන් දෙන්න. එවිට, ඔබට කරුණු අවබෝධ වනු ඇත. එක පැත්තක් පමණක් සලකන්න. එවිට, ඔබ අඳුරට පත් වනු ඇත”.

 

            අපි වර්තමාන දේශපාලන අරගලයේ සරලම ප්‍රතිවිරෝධතා කට්ටලයකින් පටන් ගනිමු. පසුගිය දිනෙක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රනිල් වික්‍රමසිංහගේ නිවසට කඩා වදින්නට ගොස් මාධ්‍ය සංදර්ශනයක් බිහි කරන ලදී. මාධ්‍යකරුවන් සහ විපරිත පිරිමින් හිරුණිකා පසුපස දුව යන ලදි. නමුත්, ‘සමගි ජන බලවේගයේ’ කාන්තා සංවිධානයේ නායිකාවන් වන්නේ, රෝහිණී කවිරත්න සහ තලතා අතුකෝරල ය. ඉන් අදහස් වන්නේ, මේ දෙදෙනා සහ සජිත් ප්‍රේමදාස අතර සරල ප්‍රතිවිරෝධයක් පවතින බවයි.

            ඊට අමතරව, සුමන්දිරන් විසින් 21 ක් වැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අදාළ නෛතික වගන්ති සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සකස් කර ඇත. ඒවා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගත්තේ නැත. මේ හේතුව නිසා, සුමන්දිරන් අරබයා සමගි ජන බලවේගය අතර නව ප්‍රතිවිරෝධයක් හටගෙන ඇත.

            කෝවිඩ් වසංගතය රට අක්‍රමණය කිරීමට පෙර, ‘ජනතා විමුක්ති පෙරමුණ’ සහ ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය’ පැවතියේ කෙසේද? මෙය, අද ජනප්‍රිය විවාදය අතර බහුතර දෙනාට අමතක වී ඇත. අනුර කුමාරට සහ කුමාර් ගුණරත්නම්ට පවා මෙම තත්වය අමතක වී ඇත. විශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ පැවතියේ ඉතා අර්බුදකාරී තැනක ය. එක්කෝ, ඔවුන් 87-89 යුගයේ ගරිල්ලා ආකෘතියෙන් සහමුලින්ම ඉවත් වී ඡන්ද වලට සහභාගී වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විය යුතුව තිබුණි. අනෙක් පසින්, මෙම ක්‍රියාවලියට පක්ෂ අභ්‍යන්තරයේ කාඩර්වරුන්ගෙන් ප්‍රතිවිරෝධයක් හටගෙන තිබුණි. අනෙක් අතට, පෙරටුගාමීන් සිටියේ ඉතාම භයානක අඩවියක ය. බාහිර තලයේ පක්ෂය දිය වෙමින් පැවති අතර ස්ථිතිකව පැවතියේ ‘සංවිධානයේ ශිෂ්‍ය අංශය’ වන ‘අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය’ පමණි. නමුත්, කෝවිඩ් රැල්ලට පසුව පැමිණි ආර්ථික අර්බුදය සමඟ එකවරම ‘මැද- පන්තිය’ පටන් ගත් අරගල රැල්ල නිසා, ඉහත පක්ෂ දෙකට තමන්ගේ අභ්‍යන්තර අර්බුදය සහමුලින්ම අමතක වී රැල්ලට ගසාගෙන යාම ආරම්භ විය. පක්ෂවල සැබෑ ප්‍රතිවිරෝධතා අමතක කර, ඔවුහු තමන්ට බාහිරින් පවතින ප්‍රතිවිරෝධයන් කළමනාකරණය කරමින් පවතියි. මෙම තත්ත්වයට අනුව, ජවිපෙ සහ පෙරටුගාමීන් අතර ප්‍රතිවිරෝධය ඒකීය වෙමින් පවතියි.

            සජිත් ප්‍රේමදාසගේ පක්ෂය සහ ජවිපෙ අතර ඇති පසමිතුරුතාවයට යටින් 94 දී චන්ද්‍රිකා බලයට ආ ආකෘතියේ ලක්ෂණ යළිත් ඉස්මතුව පෙනේ. ජවිපෙ සහ පෙරටුගාමීන් මහ පාරේ අරගලයට හැම අතින්ම සක්‍රීයව සහභාගී වෙයි. සජිත් ප්‍රේමදාස තම කාර්යය ලෙස සිදු කරමින් සිටින්නේ, ඉහත අරගලකරුවන් පොලීසියට සහ අධිකරණයට ඉදිරිපත් කළ විට දී, ඒ අය වෙනුවෙන් පෙනී සිටින නීති නිලධාරීන් සැපයීමයි.

            ඉහත තත්ත්වයෙන් ගම්‍ය වන්නේ, සජිත් විසින් දේශපාලනයේ සිවිල් කටයුතු සිදු කරන අතර අනුර සහ කුමාර විසින් අරගලයේ අශ්ලිල පැත්ත නඩත්තු කරන බවයි. සජිත් සහ අනුර-කුමාර අතර පවතින ප්‍රතිවිරෝධය ‘ප්‍රධාන ප්‍රතිවිරෝධයේ පැත්තක්’ නොවන අතර එය ද්විතීක ප්‍රතිවිරෝධයක දෙපැත්තක් පමණි. මෙම සාර්වත්‍රික නොවන ද්විතීක ප්‍රතිවිරෝධය නොදැන ඉදිරියට වර්ධනය වීමට ඉඩ දීමෙන් බිහි වන්නේ, පහත ආකාරයේ ආචරණයකි. මෙය, චන්ද්‍රිකා බණ්ඩාරනායක 94 දී බලයට ගෙන ආ ව්‍යාපෘතියේ දී, ප්‍රධාන ප්‍රතිවිරෝධය සහ අතුරු ප්‍රතිවිරෝධය අතර වෙනස කලින් හඳුනා නොගත් නිසා බිහි වූ ප්‍රතිවිපාකයකි. (චෞර රැජින පොත)

            “1994 පාර්ලිමේන්තු ජයග්‍රහණයට පසුව චන්ද්‍රිකා තම මන්දිරයේ සාදයක් සංවිධානය කරන ලදී. අලුතින් පත් කරන ලද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගි වූ මෙම සාදයේ දී, එක පිරිසක් එළිමහලේ කා බී සතුටු වන අතර ඒ පිරිසට මුසු නොවී මන්දිරය තුළ වෙනම එකතු වී කා බී සතුටු වූ සුපිරි ගණයේහි ලා සැලකිය හැකි කුඩා කණ්ඩායමක් ද සිටින ලදී. එළිමහනේ විනෝද වන අය අතරට අගමැතිනිය ගොස් ඇත්තේ, මන්දිරයේ ඉහළ මාලයේ සිටි සුපිරි පිරිස සමඟ විනෝද වීමෙන් අනතුරුව ය. මන්දිරයේ ඉහළ මාලයේ ජය පැන් බී ඇත්තේ, චන්ද්‍රිකාගේ හිතවත්ම කට්ටිය වූ තාරා ද මෙල්, රොනී පිරිස්, රාජන් බ්‍රිටෝ, රාජන් ආශිර්වාදන්, පද්මි මහරාජා, උදය නානායක්කාර, කුසුම්සිරි බාලපටබැඳි යනාදීන් ය. අගමැතිනිය ඔවුන් සමඟ කරන සාමීචියේ දී හැඟීම්බර ස්වරූපයකින් කියා ඇත්තේ, අප කිසිවෙකු මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ බවත් දැන් සියලු දෙනාට ප්‍රිතීමත් අනාගතයකට දොරටු විවෘත වී තිබෙන බවත්ය.

        බාහිර වශයෙන් බලන කල, චන්ද්‍රිකා පාලන යුගය තුළ රට පාලනය කළේ මෙම රාත්‍රී සංග්‍රහයේ දී එළිමහනේ කා බී ප්‍රීති වූ අය වුවත් (මංගල සමරවීර පවා ඇතුළත් වූයේ, මෙම කුලකයට ය), ඇත්තටම රට පාලනය කළේ ඔවුන් නොව එදින මේ පිරිසට මුහුණ නොදී මන්දිරය අභ්‍යන්තරයේ ජය පැන් බිව් කිහිපදෙනා ය. ඔවුන්ගෙන් සමහරු චන්ද්‍රිකා ජීවිත ආරක්ෂාව සඳහා යුරෝපයට පලා ගොස් සිටි සමයේ ඇයව රැකබලා ගත් අය වූහ. ඒ වෙනුවෙන්, ඇය තමන්ගේ පාලන කාලය තුළ පෙරලා ඔවුන් රැක බලා ගත්තාය. අවසාන විග්‍රහයේ දී, මේ කල්ලිය එම පාලන කාලය තුළ දී රටේ සාරය පමණක් නොව රටේ ඊරිමාංශය ද උරා බීවෝ ය. චන්ද්‍රිකා මහජන ධනය කොල්ල කෑවේ, සොරකම් කිරීමට නොදන්නා ඉතාමත් පිරිසිදු නායිකාවක ලෙස පෙනී සිටිමිනි”.

 

             දැන්, අප වෙත විශාල අභියෝගයක් සමඟ ගැටලුවක් ද ශේෂ වෙයි. ඉහත ප්‍රකාශය අප උපුටා ගත්තේ, වික්ටර් අයිවන්ගේ (පුදුමයට කාරණාව වන්නේ, වික්ටර් අය්වන් ජවිපෙ හිටපු සාමාජිකයෙක් වීමයි. එකල ජවිපෙ අනුගමනය කරන ලද්දේ, මාඕගේ ප්‍රතිවිරෝධතාව පිළිබඳ න්‍යාය යි. 94 දේශපාලන පෙරමුණ සකස් කිරීමේ දී, ඔහු මාඕවාදයෙන් කිසිදු ආලෝකයක් ලබා නැත.) ‘චෞර රැජිණ’ කෘතියෙනි. ගැටලුව මෙසේ ය. චන්ද්‍රිකා අගමැති වූ විට දී පවත්වන ලද සාදයේ දී චන්ද්‍රිකාගේ ‘යටිපෙළ’ අයිවන්ට අවබෝධ වූයේ නම්, ඇයව ජනාධිපති කරන තැනකට අයිවන් පත් වූයේ මන්ද යන කාරණය යි. [cynical distance as unknown known- Unconscious ] නමුත්, චන්ද්‍රිකාගේ යටිපෙළ අයිවන්ට නිවැරදිව කීමට හැකි වන්නේ, 2006 දී ය. ඒ, ඔහු ‘චෞර රැජින’ කෘතිය පළ කරන්නේ එම වසරේ දී වීම නිසා ය. කෘතියේ සඳහන් වන කරුණු ඊට පෙර ‘රාවය’ පුවත්පතේ පළ වූ ඒවා ය. එසේ නම්, අයිවන්ට චන්ද්‍රිකාගේ ‘අවිඥාණය’ නිවැරදිව කියවීමට හැකි වන්නේ, 1994 වර්ෂයේ දී නොව 2006 වසරේදී ය. මෙම ‘ප්‍රමාදය’[delay] කුමක්ද? දේශපාලනයේ දී, ඉතාමත් තීරණාත්මක වන්නේ මතුපිටින් පහුරු ගානා යථාර්ථය නොවේ. අයිවන් මතුපිටින් 94 දීම මම දැක්කා යැයි කියන දේ හරියටම දකින්නේ ඊට බොහෝ කලකට පසුවය.

        වික්ටර් අයිවන්ට ‘සත්‍යය’ මුණ ගැසී ඇත්තේ, 94 වර්ෂයේ චන්ද්‍රිකා ‘අගමැති’ වූ විට නොව ඇය ජනාධිපති තනතුරෙන් ඉවත් වූ 2005 වර්ෂයටත් පසුව 2006 වර්ෂයේ දීය. ඉන් අදහස් වන්නේ, ‘දෘෂ්‍යමානය’ තුළම පැවති චන්ද්‍රිකාගේ පැල්ලම (අශ්ලීල පැත්ත-සනත් ගුණතිලක) අයිවන්ට කියවීමට ප්‍රමාද වීම සරල නැති බවයි. ඉතිහාසයේ නිශ්චිත එක් මොහොතකට පසුව මනෝවිශ්ලේෂණය ලංකාවට අප හඳුන්වා දෙන්නේ, ඉහත ‘පැල්ලම’ අර්ථකථනය කිරීමට ය.

        වික්ටර් අයිවන්ට චන්ද්‍රිකාගේ අවිඥාණය 94 දී කියවීමට හැකි වූයේ නැත. එය ඔහුට කළ හැකි වූයේ, 2006 වසරේ දී පසු ආවර්තිතවය.[traversing fantasy ] හේගල්ට අනුව, අපගේ අවිද්‍යාව හෝ මෝහය අපට හමු වන්නේ ගොම්මන් වෙලාවට මිස හිමිදිරියේ නොවේ. මෙම ‘ව්‍යුහාත්මක ප්‍රමාදය’ නිසා, යමක් අපට අවබෝධ වන්නේ ඒ මොහොතේ නොව ප්‍රමාද වීමෙනි. වසර 2005 වර්ෂයේ දී, 94 රේ දී වික්ටර් අයිවන් විසින් චන්ද්‍රිකාට කළ දෙය ජවිපෙ විසින් මහින්ද රාජපක්ෂට කරන ලදී.[repetition] චන්ද්‍රිකා බලයට ගෙන ඒමේ   ‘අයිවන් ව්‍යාපෘතිය’ පිළිබඳ ඓතිහාසික ක්‍රියාවලිය ජවිපෙ නොසලකා රටට වඩා ආදරය කිරීමට ගිය නිසා, නැවතත් ඔවුන් ද අයිවන් චක්‍රයේ කරකැවී නතර විය.[vicious circle]

        ජවිපෙ විසින් ප්‍රවර්ධනය කර ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂව වාඩි කරවන ලද අතර ඊට අමතරව, රාජ්‍ය යන්ත්‍රය සිංහල ජාතිවාදයෙන් සන්තෘප්ත කරන ලදී. ලංකාව LTTE යෙන් බේරා ගැනීමට කළ හැකි සියලුම කැත වැඩ ජවිපෙ විසින් සංවිධානය කරන ලද අතර එහි ඵලයක් ලෙස අවසානයේ ලංකාව ද සහමුලින්ම විනාශ විය.

        මහින්ද රාජපක්ෂ විසින් සිදුකළ ඉතාම බිහිසුණු ආර්ථික විනාශය වන්නේ, කලාපයේ හොඳම ගුවන් සේවය වූ ‘එයාර් ලංකා’ සමාගම එමිරේට්ස් සමාගමෙන් ඉවත් කර, එය තමන්ගේ බිරිඳගේ සහෝදරයාට බාර දීමයි. එහි දී ඇත්ත වශයෙන්ම සිදු වී ඇත්තේ, ආත්මීය පලිගැනීමකි. ‘එයාර් ලංකා’ සමාගම එමිරේට්ස් සමාගමට ලබා දුන්නේ, චන්ද්‍රිකා නිසා ඇගෙන් පලිගැනීම මහින්දගේ මූලික වෑයම වී ඇත. එය කෙතරම් දුරදිග ගියේද යත්, ‘ඒයාර් ලංකා’ සමාගමේ සුන්දරම සන්නාහ නාමය වූයේ ‘රතු පාට’ සාරිය යි. මහින්ද පුද්ගලිකව මැදිහත් වී එම සාරිය ඉවත් කර, දැන් තිබෙන අවලස්සන සාරිය අනුමත කර ඇත. 

දේශපාලනයේ දී, ආත්මීය සාධක වාස්තවික කරුණුවලට වඩා සමකාලීන යුගයේ දී බලවත් ය.

        දෙන ලද දේශපාලන සැකසුමක ප්‍රධාන ප්‍රතිවිරෝධය සහ එහි ප්‍රධාන පැත්ත තීරණය වන්නේ, පන්ති මානයෙනි. [class parameter] මෙම තත්ත්වය, අනුර කුමාර සහ කුමාර් සහමුලින්ම නොසලකා හැර ඇත. බාහිර ප්‍රතිවිරෝධතා සලකා බලන විට දී, සුමන්දිරන්, සජිත්, අනුර කුමාර, කුමාර්, සිවිල් පුද්ගලයන් (දැන් සිවිල් සංවිධාන නැති අතර සිවිල් වෘත්තිකයන් පමණක් ඇත. උදාහරණයකට, සාලිය පීරිස් ගත හැකි ය.) සියලු දෙනා එක අතකින් බැසිල් විරෝධීන් වන අතර අනෙක් අතට, රනිල් විරෝධීන් ය. මෙය, ප්‍රධාන ප්‍රතිවිරෝධයේ ප්‍රධාන පැත්ත නොවේ. අප අමතක නොකළ යුත්තේ, මේ ඉහත ප්‍රතිපක්ෂයන් ඒකීය විය හැකි බවයි.

        උදාහරණයක් වශයෙන්, සජිත් ප්‍රේමදාස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට එකඟ සහ ජනාධිපති තනතුරට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ බව ජනමාධ්‍ය හරහා පෙන්නුම් කරයි. නමුත්, පෙරබිම මෙසේ වුවත් පසුබිම ගැන කරුණු දන්නා අයට අනුව, සජිත් ප්‍රේමදාස මේ ඉටු කරන්නේ, බැසිල්ගේ වුවමනාවකි. පසුගිය පාර්ලිමේන්තු ඡන්දයේ දී, සුමන්දිරන්ට වක්‍රව උදව් කරන ලද්දේ, බැසිල් ය. ප්‍රධාන උසාවියේ දී, සුමන්දිරන් වගන්තිගත කළ ප්‍රතිසංස්කරණ සියල්ල උසාවිය ප්‍රතික්ෂේප කර ඒවා ජනමත විචාරණයකට යටත් කළේය. මහජන මතය සකස් කිරීමේ දී, සුමන්දිරන් සහ සජිත් උපායශීලී ය. මෙම උපායික ගමන ගැන සංකේතීය මානයක් අනුරට, කුමාර්ට සහ පක්ෂ දහයේ හිටපු වාමාංශිකයන් සංවේදී නැති බව ද ඔවුහු දනිති. සුමන්දිරන් සහ සජිත් වඩා බියට පත් වන්නේ, රනිල් වික්‍රමසිංහ අරභයා ය. අනුර හෝ කුමාර ‘අපි ඕවා ගැන දන්නවා’ යැයි වහසි බස් දෙඩවිය හැකි ය. 94 දී, අයිවන් අගමැති චන්ද්‍රිකා ගැන දැන සිටි කරුණු විසින් එම වර්ෂයේදී ම ඇයව ජනාධිපති වීම වැලැක්වූයේ නැත. එපරිදිම, සජිත් සහ සුමන්දිරන් කරන දේවල් කෙනෙකු සවිඥාණක තලයේ දැන සිටියාට වැඩක් නැත. විපක්ෂයේ ප්‍රධාන ප්‍රතිවිරෝධතා අතර ප්‍රධාන පැත්ත වන්නේ, සජිත්ය. එසේ වීමට පන්ති මානයක් ඇත. ඔහුට මතවාදී යාන්ත්‍රණයක් සහ කාර්යක්ෂම උද්ඝෝෂණ යාන්ත්‍රනයක් නැත. එය ඇත්තේ, විපක්ෂයේ අනෙක් අයට ය.

        ජනමාධ්‍ය කතිකාව සහ සමාජ මාධ්‍යන් ද ඇතුළත්ව ගත්විට, සුමන්දිරන් සහ සජිත් ප්‍රේමදාස යනු, බැසිල්ගේ පසමිතුරන් ය. මෙය, සමහර සජබ මන්ත්‍රීවරුන්ට ද අදාළ ය. නමුත්, බාහිරින් අපට මේ පෙනෙන පසමිතුරු අක්ෂයට යටින් ඔවුන් මිතුරන් ය. අපෝහවාදී ලෙස කිවහොත්, මේ ප්‍රතිපක්ෂයන් අභ්‍යන්තරයෙන් ඒකීය වෙයි. මන්දයත්, සජිත්ට සහ බැසිල්ට ඇත්තේ, එකම උවමනාවකි. එනම්, 24 දී ජනාධිපති වීමට ය. මහින්ද, චමල් සහ නාමල් විසින් රනිල්ව කරළියට කැඳවන්නේ මේ නිසා ය. මොවුන්ට අනුව බැසිල්ගේ පැවැත්ම තහවුරු කරන්නේ, සජිත් සහ සුමන්දිරන් විසිනි.

    ප්‍රධාන ප්‍රතිවිරෝධයේ දෙපැත්තෙන් එක පැත්තක සුමන්දිරන්, සජිත්, බැසිල් සිටින අතර අනෙක් පැත්තේ සිටින්නේ, රනිල් වික්‍රමසිංහ ය. සාගල රත්නායක සහ නාමල්ගේ හිතවතුන් වික්‍රමසිංහට පාලන තන්ත්‍රය ගෙන යාමට උදව් කරන්නේ, මේ නිසා ය. මම මෙතැන දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීම මඟ හරිමි. මන්ද, එය තීරණාත්මක නැති නිසා ය. සුමන්දිරන්ට අනුව, වැඩේ කෑවේ ගෝඨාභය නොව රනිල් ය. ඔහුගේ පසමිතුරා රාජපක්ෂලා නොව රනිල් වික්‍රමසිංහ ය. නමුත්, සුමන්දිරන් සජබ තුළ තීරණාත්මක වන විට, එය තුළ සිටින සිංහල-බෞද්ධ බලවේග කලබල වෙයි. චම්පික රණවක විසින් ඕමල්පේ සෝභිතව මෙහෙය වන්නේ, මේ අක්ෂය ඔස්සේ ය. ඒ අනුව, අනුර හෝ කුමාර ඉහත විශාල පින්තූරයේ ප්‍රධාන ප්‍රතිවිරෝධයේ ප්‍රධාන පැත්තක් නියෝජනය නොකරයි. ඔවුන්ට සිදු වී ඇත්තේ, මුස්ලිම් පක්ෂවල නායකයන්ට වූ දේ ය. අනුර හෝ කුමාරට ප්‍රධාන ප්‍රතිවිරෝධයේ ප්‍රධාන එක පැත්තක් වීමට අවශ්‍ය නම්, තමන්ගේ උද්ඝෝෂණ තලය අතහැර පන්තිය මගින් මෙහෙයවන ‘කතිකාව’ වෙනස් කළ යුතු ය. නමුත්, ඒ සඳහා අවශ්‍ය න්‍යායික පරිචය ඔවුන්ට නැත. එම නිසා, සජිත්ට අභියෝග කිරීමට යාම වෙනුවට එකඟ වීමට ඔවුන්ට සිදු වෙයි. කරත්තයට පසුපසින් ගොනා දක්කන ලද ව්‍යාපාරයකට වෙනත් විකල්ප නැත

        කිසිම ප්‍රතිවිරෝධී පැත්තකට හුදෙකලාභාවයෙහි පැවතිය නොහැකි ය. දැනට ඇති තත්ත්වය තුළ, ප්‍රතිපක්ෂයන් තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අනෙකෙක් තෝරාගෙන ඇත. මන්දයත්, එකක් අනෙකේ පැවැත්ම සඳහා වන නිසා ය. එතැන දී, ජවිපෙට ප්‍රතිපක්ෂව කුමාර් සිටින්නේ ද බැසිල්ට පක්ෂව ය.

        ඊළඟ අදියරක දී සිදු වන්නේ, ඉහත කියූ ප්‍රතිපක්ෂයන් එකිනෙක බවට විපර්යාස වීමයි. උදාහරණයක් ලෙස, 1994 දී තාරා දි මෙල්ගේ සැමියා චන්දිම පදනම් ආයතනයේ එවකට සිටි සභාපති ඉවත් කර (උයන්ගොඩ) එම තනතුරට පත්වන බව සිහිනෙකින්වත් කිසිවෙකුට 94 දී සිතිය නොහැකිය. චන්ද්‍රිකාගේ 94ට පසුව, ප්‍රධාන තීරකයා බවට සනත් ගුණතිලක බවට පත් වීමක් ගැන අයිවන්ට ඊට පෙර කොහොමටවත් ඥාණනය කළ නොහැකි ය. ඒ අනුව, මේ මොහොතේ විපක්ෂයේ ප්‍රධාන චරිතය වන සජිත්ගේ මිතුරෙක් බවට අනුර පත් වන මුත්, කොයි මොහොතක දී හෝ සිදුවන සිදුවීමකින් එය සතුරු පැත්තකට ගමන් කළ හැකි ය. අයිවන්ට චන්ද්‍රිකාගේ ‘අවිඥාණය’ කියවීම දේශපාලනයට නොව කුස්සියේ ක්‍රියාකාරකමක් ලෙස පෙනී ගිය පරිදිම, ඊට වසර 25 කට පමණ පසුව අනුර හෝ වෙන විපක්ෂ ක්‍රියාකාරිකයෙකුට සජිත්ගේ අවිඥාණය කියවීම ද අදේශපාලනයට හේත්තු කරනු ඇත.

        ප්‍රතිපක්ෂයන්ට සාරාත්මක පැවැත්මක් හෝ ස්ථිතික පැවැත්මක් නොමැත. ඒවා ජංගමශීලී ය; තත්වාරෝපිත ය; තාවකාලික ය; සාපේක්ෂ ය. පිරිමින් දෙදෙනෙකු එකතු වීමෙන් දරුවෙකු බිහි වන්නේ නැත. ප්‍රතිවිරෝධයන් පිළිබඳව විශ්ලේෂණයකින් තොරව සජිත්ට හෝ බැසිල්ට රාජ්‍ය බලය ලබා ගත හැකි වුවත්, වමේ බලයකට එසේ නොකර රාජ්‍ය බලය ලබාගත නො හැකිය. ඇමෙරිකාවේ බර්නි සෑන්ඩර්ස්, එංගලන්තයේ ජෙරමි කෝබින්, ස්පාඤ්ඤයේ පොඩෙමෝස්, ප්‍රංශයේ මිලේෂෝන්, ග්‍රීසියේ සිරීසා යන සියලුදෙනාගේ දේශපාලන පරාජයන් හරහා අප වටහාගත යුත්තේ, ‘ප්‍රතිවිරෝධයන් විශ්ලේෂණය කිරීම’ ආත්මීය පසමිතුරුභාවයන් [antagonisms] සමඟ අනන්‍ය වීමට වඩා ප්‍රාථමික බවයි. ග්‍රීක ණය අර්බුදයේ දී, වාමාංශික වරුෆාකිස්ට ජර්මනිය ණය අනුමත කළේ නැත.

        මේ දක්වා ලියන ලද දේ කියවන ලද තාර්කික අනුභූතිවාදියෙකුට, මෙලෙස ප්‍රශ්නයක් වර නැඟිය හැකි ය: “දැනට රටේ පවතින සැබෑ ආර්ථික අර්බුදයට ඔබ ඉහත කී දේශපාලන විශ්ලේෂණය සම්බන්ධ නැහැ නේද ?” පිළිතුර, ‘ඔව්’. මගේ විශ්ලේෂණය පමණක් නොව, ලංකාවේ පවතින මේ ආර්ථික අර්බුදයට දැනට සිටින කිසිදු දේශපාලකයකු ද සම්බන්ධ නැත. ඔවුන් සම්බන්ධ වන්නේ, බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියකට මිස සමාජ-ආර්ථික අර්බුදයකට නොවේ. සර්ව පාක්ෂික ආණ්ඩුවකට රට ගොඩ දැමිය හැකිය යන මුළාව බිහි වන්නේ, ඉහත තත්වය නිසා ය. තමන් කඩේ ගියේ චන්ද්‍රිකාගේ පවුල හදන්න කියලා වික්ටර් අයිවන් දැන ගන්නේ, 1994 ට පසුව ය. ඒ වගේම අරගලයට සහභාගී වූ අයටත් තව කාලයකට පස්සේ තමයි වැටහෙන්නේ, තමන් කාට ද කඩේ ගියේ කියලා. දියුණු රටවල් උදව් කරන්නේ ද තක්කඩින්ට මිස යහපත් මිනිසුන්ට නොවේ.

        සියලු දෙනාම නිශ්චිතභාවයක (විශේෂයෙන්ම, පිරිමි) ගිලී සිටින බව පැහැදිලි ය. එවන් තත්ත්වයක දී, අවිනිශ්චිතභාවය නැතහොත්, යථාර්ථය හිස්ටෙරික කිරීම පුපුරා යන තත්වයකි. ඔබාමාගේ ‘yes we can’ සටන් පාඨයට සිදු වූයේ කුමක්ද?

        ප්‍රතිවිරෝධතා කට්ටල් පාලනය කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ ආයුධය අතට ගන්නේ නැතිව 87-89 සහ 2005 වසරවල ජවිපෙ ගිය මාර්ගය වැරදි ය. බලය තමන් අතට ගැනීමේ හදිස්සියක් මධ්‍යම පන්තියට ඇති බව දෘෂ්‍යමාන ය. නමුත්, දෘශ්‍යමානය සත්‍ය නම් ඒ මතම පැල්ලමක් නැතිනම් විද්‍යාවක් කුමකට ද? රනිල් වික්‍රමසිංහ ලවා සජිත් ප්‍රේමදාසව දිය කරනවා ද? නැතහොත්, එය සුමන්දිරන් හරහා කරනවා ද? එය, මුඛ්‍ය ප්‍රතිවිරෝධය බවට පත් වී ඇත. 

Deepthi kumara Gunarathne

Samabima Party.

අප සමග එකතු වන්න! 

=======================

Anushka- 0703232113

Nuwan – 0715324110.

Mihiran – 0774950204

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.