පසුගිය සතියේ අපි සාකච්ඡුා කළේ අනේකත්වය සම්මුඛ වීම නම් තත්ත්වය එක්තරා අයුරකින් යථක් වනවා මෙන්ම එය මරණය දක්වා දිගු විය හැකි බවයි.ඒ ස`දහා උදාහරණය වූයේ Basic Instinct (2) චිත‍්‍රපටයේ එන කැත්රින් ටුමල් සහ මයිකල් ග්ලාස් අතර සිදු වන දෛවෝපගත සම්බන්ධතාවය යි. ඇයගේ හමුවීමත් සමඟම ඔහු මෙතෙක් රඳවාගත් සමතුලිතතාවය ඔහුගේ පාර්ශ්වයෙන් ක්ෂතියකි. ඇයගේ පැත්තෙන් ගත් විට සියලූ මනුෂ්‍ය සබඳතා ඇයගේ නවකතාවල පිළිබිඹු වන ප‍්‍රබන්ධවල ‘නාසිස්මික’ ප‍්‍රතිබිම්භයකි. මෙම අන්ත දෙක ‘මානුෂික’ අවකාශයක කිසිදා මුණ නොගැසෙන අතර අපට මුණගැසෙන්නේ අපේ ම ප‍්‍රබන්ධයක් වන ෆැන්ටාස්මතිකයකි. නමුත් අසල්වැසියාට පේ‍්‍රම කිරීම නම් සන්දර්භයේ දී අනෙකා අපිට මුණගැසෙන්නේ හුදු මිතුරෙක්, යහළුවෙක් හෝ සමානයෙක් ලෙස නොව එම මිතුරුකමට ඉඳුරා පරස්පර පතුලක් නොපෙනෙන ඔහුගේ ආචාර්ධාර්මික අගාධය විද්‍යමාන වන මොහොතේ බව ජිජැක් සිය The Great Challenge of the Left නම් දේශනයේ දී පෙන්වා දෙයි.

අපි වාමාංශිකයන් ලෙස අද්‍යතන සංක‍්‍රමණික ප‍්‍රශ්නය තේරුම්ගත යුත්තේ ”අපි අකැමැති වුව ද අප අනෙකාට උදව් කළ යුතුය” යන දුරස්ථ ස්ථාවරයේ සිට බව ඔහු ප‍්‍රකාශ කරයි. ”මම ඔබට ආදරය නොකරමි එහෙත් සාර්වත‍්‍රික අර්ථයක් තුළ මම ඔබට ගෞරව කරමි” යන ආචාර ධාර්මික අභිචාර (Rituals) තුළ අපි අනෙකාට සම්බන්ධ විය යුතු යැයි ජිජැක් මෙහි දී පෙන්වා දෙයි. මෙයින් අදහස් කෙරෙන්නේ අපි අනෙකා සම`ග නරුමවාදී දුරක් නඩත්තු කරනවා යන්න නොවේ.

නමුත් මෙම ආචාර ධාර්මික හෝ අභිචාරාත්මක දුරස්ථ බව බිඳ වැටෙන මොහොතක් ද එක්වරම මනුෂ්‍ය ආත්මය කරා එළඹිය හැකිය. ”යම් මෝඩ ගැහැනියක් හෝ පිරිමියෙක් එක්වරම ඉහත අභිචාර කඩා බිඳගෙන ඔබ තුළට ඇතුළත් වී ඔබගේ සත්භාවී සමතුලිතතාව අසමතුලිත කළ හැකිය.’’ එතැන් පටන් ලොව අන් සියල්ලටම වඩා අර ඉහත මෝඩ ගැහැනිය මගේ ලොවේ එකම වස්තුව හෝ අර්ථය බවට පත්විය හැකි ය. ”ආදරය යනු සත්භාවී ව්‍යසනයකි.” (ජිජැක්ගේ ඉහත දේශනයේ අවසන් මිනිත්තු කිහිපයට සවන් දෙන්න*. වාමවාදීන් ලෙස අපේ අභියෝග ලෙස ඒත්තුගත යුතු එක් දෙයක් නම් ”ඔබ යමක් දැකීම වෙනුවෙන් නොදකින දෙය කුමක්ද” යන්න බව ජිජැක් අපිට පෙන්වා දෙයි. දේශපාලනය කරන විට මිනිසුන් ලෙස අප ‘දකින දෙය’ නොව එසේ අපි දකින දෙය තුළ ‘නොදකින දෙය’ ද අප අවබෝධ කරගත යුතුය. අපි වෙතට එන මිනිසුන්ගේ ආචාර ධාර්මික අපගමන මෙන්ම අතිරික්ත ප‍්‍රමෝද ද අපි හඳුනාගත යුතු වේ. දේශපාලනය කිරීමට එන තැනැත්තෙක් එක්වරම අපිට ‘අපි නොදකින පැත්ත’ පෙන්විය හැකි ය. ඇතැම් විට ඒ ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ඉඳුරා වෙනස් කළ මෝඩ ගැහැනිය හෝ පිරිමියා මුණගැසීම නිසා සිදුවූ සාන්දෘෂ්ටික හැරවුමක් විය හැකිය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව, LTTE  සංවිධානය මෙන්ම X කණ්ඩායමද සාක්ෂි දරනු ඇත.

දේශපාලනය උදෙසා හෝ වෙනත් කරුණක් උදෙසා හෝ අපි වෙත එන  ඕනෑම අයෙකු තුළ ඉහත යහපත් ආචාර ධාර්මික අභිචාර (හොඳ විනීත සමාචාර විධි සහ පැවතුම්* පැවතිය හැකි අයුරින් ම ඔහු හෝ ඇය තුළ ගුප්ත, අඳුරු සහ අපව ක්ෂතියට ලක් කළ හැකි අශ්ලීල පැවැත්මක් ද එකවිටම දරා සිටිය හැකි බව අවබෝධ කරගැනීමට තරම් අපි දේශපාලනිකව පරිණත විය යුතුය. මේ තත්ත්වය කාල්පනික – ප‍්‍රබන්ධ සන්දර්භයක පිළිබිඹු කරන අගනා චිත‍්‍රපටයකි ෆොරියන් හෙන්කල් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2010 වසරේ තිරගත වූ The Tourist චිත‍්‍රපටය.

ඇන්ජලීනා ජොලී යටි බිම්ගත ස්කොට්ලන්ඞ් යාඞ් ඔත්තු නිලධාරිනියක ලෙසත් ජොනී ඩෙෆ් ඇමරිකාවේ සිට ආදරවන්තයන්ගේ නගරය ලෙස නම් දැරූ වැනීසිය වෙත යන සංචාරකයකු ලෙසත් නිරූපණයේ යෙදෙන මෙම චිත‍්‍රපටයේ ඉතාම වැදගත් දර්ශනය ඔවුන් එකිනෙකා මුල්වරට මුණගැසෙන අවස්ථාවයි. ෆ‍්‍රෑන්ක්් (ජොනී ඩෙප්) සහ එලීස් (ඇන්ජලීනා ජොලී) යන පුද්ගල චරිත දෙකම යම් ක්ෂතිමය අතීත දෙකක් ඔස්සේ ගමන් කළ අය යි. මෙම හමුවීමේ මොහොත උදාවන විට ෆෑන්ක්ගේ බිරිඳ හදිසි රිය අනතුරකින් මිය ගොස් සිටි අතර එලීස් තම රාජකාරි දිවියේ ඇයට ලබා දුන් වගකීමක් ඉෂ්ට කිරීමට යාම තුළ තමා සොයා යන අපරාධකරු වන ඇලෙක්සැන්ඩර් පියර්ස් නම් මූල්‍ය සොරකමකට ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය සොයමින් සිටින පුද්ගලයකු සමඟ ආදර සම්බන්ධයක පැටලී ඇත. එම සම්බන්ධය විසින් තවමත් නිර්නාමිකව ඇයව මෙහෙයවමින් සිටින අතර ඇය එම නිර්නාමික බවින් තරමක් වෙහෙසට පත්ව ඇති බව අපිට චිත‍්‍රපටය ගෙනහැර දක්වයි. ඇය ඇලෙක්සැන්ඩර් පියස්ට කරන ආදරය තුළ පසුගිය වසර පුරාවට කිසිදු තොරතුරක් ඇයගේ සේවා ස්ථානය වන ස්කොට්ලන්ඞ්යාඞ් වෙත සපයා නැත.

ඇය තම ‘ආදරය’ සොය ගන්නේ තම රාජකාරි වගකීම නම් සංකේතීය පිළිවෙළ උකසට තබා ය. තම සාන්දෘෂ්ටික පැවැත්ම තුළ ඇය ඔහුගේ අඳුරු, අශ්ලීල, අපරාධමය සහ ගුප්ත ෆැන්ටාස්මතිකයට ආශා කරන්නී ය. නමුත් එම ගුප්ත නිර්නාමික බව තුළ සිරගතව සිටින ඇයට එක්වරම දුම්රිය මැදිරියේ දී මුණගැසෙන්නේ (එමෙන්ම ඔහුට ඇය මුණ ගැසෙන්නේ ද) අනපේක්ෂිතවය. නමුත් එම අනපේක්ෂිත බව තුළ ම ඇයට ඇයගේ මව කියා දුන් පාඩමක් සිහිපත් වේ. එනම් ”ලෝකයේ  ඕනෑම කෙනෙකුට ( ඕනෑම අනේකත්වයකට) ඔබට ආදරය කළ හැකිය” යන සාර්වත‍්‍රික කියමනයි. ඇයගේ මව තෑගි දුන් මාල පෙත්තේ නිරූපණය වී ඇති පරිදිම එසේ  ඕනෑම කෙනෙකුට ආදරය කිරීමට නම් එක් කොන්දේසියක් අපි පිළිගත යුතු වේ. එනම්  ඕනෑම අයෙක් තුළ පවතින යහපත් පැත්ත පමණක් නොව අඳුරු අගාධය ද අපි එකවිටම පිළිගැනීමට සූදානම් නම් සහ එසේ නම් පමණක් අපිට  ඕනෑම අයෙකුට ආදරය කළ හැකියි යන්න ඇයගේ මවගේ පාඩමයි. එම ෂෙලිනියානු පාඩම සිත්හි දරා ගනිමින් ම එලිස් තම නිර්නාමික ආදරවන්තයාගේ ‘නියමයන්’ පිළිපදිමින් තම පෙම්වතාගේ ශරීර ප‍්‍රමාණයට සහ උසට මහතට සරිලන කෙනෙක් පොලීසිය නොමඟ යැවීම සඳහා දුම්රිය මැදිරියේ සොයමින් යනවිට එක්වරම ෆ‍්‍රෑන්ක්ගේ නෙත ඇගේ නෙත සම`ග ගැටේ. දුම්රියේ මැදිරියේ දොරටුවේ සඳහන් දෙකේ ඉලක්කම මෙහි දී රූපකමය වැදගත්කමක් දරයි. ඇගේ පැවැත්මේ ද්වයිතය මෙන්ම අනෙකාගේ පැවැත්මේ ද්වයිතය පිළිගැනීමට ඈ තුළ ඇති හැකියාව එම දෙකේ ඉලක්කමෙන් අප වෙත ඉඟි කරයි. තව ස්වල්ප මොහොතකින් ඈ අනෙකා වෙත ප‍්‍රදානය කිරීමට යන්නේ ඇයගේ පැවැත්මේ දයලෙක්තිකය මතු නොව ඇය භාර ගැනීමට සූදානම් වන්නේ ද එම අනෙකාගේ පැවැත්මේ දෙබෙදුමයි. ඒ අර්ථයෙන් අනෙකාගේ ‘නම’ ඇයට කුමක් වුව ද ප‍්‍රශ්නයක් නැත. ඒ නම (ෆ‍්‍රෑන්ක්) වෙනුවට වෙනත් නමක් එතැනට ආදේශ වුව ද මහ ලොකු වෙනසක් සිදු වන්නේ නැත. මෙය පැවැත්මේ ගැඹුරුම සාන්දෘෂ්ටික තත්ත්වයකි.

එලිස්ගේ හමුවීමත් සමඟම ෆෑන්ක්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වීම ඇරඹෙයි. ඔහුගේ මෙතෙක් පැවති මෙලන්කොලික ජීවිතය ඇයගේ ක්ෂතිමය මුණගැසීම සමඟ ම වෙනස් වීම ආරම්භ වේ. හදිසි අනතුරකින් සිය බිරිඳ මියයෑමත් සමඟ ම ආරම්භ වන ඔහුගේ පසුබැසීම පිළිබිඹු කරන හොඳම රූපකය ඔහුගේ කෘති‍්‍රම ඉලෙක්ට්‍රොනික සිගරැුට්ටුව යි. එලිස් හමුවන විට ඔහු උරමින් සිටින්නේ එම ඉලෙක්ට්‍රොනික සිගරට්ටුව වන අතර එලිස් හමු වූ මොහොතට පසුව  එය ඔහු සාක්කුවේ දමා ගනී. එවිට එලිස් කියන්නේ එම ක‍්‍රියාවෙන් ඇය අපේකෂාභංගත්වයට පත්වූ බවයි. එවිට ෆෑන්ක් අසන්නේ ”මම ඇත්තටම සිගරට් බොනවට ද ඔබ කැමැති?” යනුවෙන් වන අතර එලිස් ඔහුට ප‍්‍රති-ජීවනය කරමින් කියන්නේ ”මා කැමැති තමන්ට අභිමත විදියට ජීවත් වන පිරිමියෙක් දකින්න” යනුවෙනි. ඇයගේ එම පිළිතුරේ අන්තර්ගතය නම් ”සිගරට් බීම ඔබගේ අතිරික්ත ප‍්‍රමෝදය (විනෝදය) නම් ඇත්තටම එම ආශාවට අවංකව ජීවත් වන්න” යන ෆ්‍රොයිඩියානු ප‍්‍රවේශයයි. සිගරට් බීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව සැබවි. එයින් යමෙක් ගමන් කරන්නේ තම මරණ ආශය වෙතටය. නමුත් ප‍්‍රමෝදය හැමවිටම මරණයම අපේක්ෂා කරයි. සත්‍ය ජීවිතය යනු ප‍්‍රමෝදයේ අඳුරු අගාධය වෙත තම පැවැත්ම ගමන් කරවීමයි. මරණ ආශය වෙත ගමන් කරන ඔබ සමහරවිට කිසිදා නැවත සාමාන්‍ය ජීවිතයට පැමිණේවි දයන්න නිශ්චිතව කිව නොහැකි ය.

ෆ්‍රොයිඞ්ගේ මරණ ආශය (Death Drive) ද්‍රව්‍යමය ජීවිතයේ අකාබනික පැවැත්මක් සොයන නිර්වාණය වැනි සංකල්පයකින් ඉඳුරා වෙනස් බව ජිජැක් සිය Paradox of the Freudian Death Drive (2006) ලිපියේ පෙන්වා දෙයි. ඔහු මෙසේ ප‍්‍රකාශ කරයි. ”ජීවිතයේ ආතතියෙන් විනිර්මුක්ත අකාබනික පැවැත්මක් වෙත ආපසු හරවනු ලැබූ ස්වයං උච්ෙඡ්දනයක් වෙනුවෙන් ආශා කරන්නා වූ කිසිවක් ෆ්‍රොයිඩියානු මරණ ආශයෙන් කිසිවිටක අදහස් නොවේ.” ඒ වෙනුවට එය ආශා කරන්නේ ‘නො-මැරුණ’ අමරණීයත්වයකි. අතොරක් නැතිව වරදකාරීත්වය සහ වේදනාවම බලාපොරොත්තු වෙන්නා වූ විෂම චක‍්‍රයක් තුළ සිරගත වීමට එය ආශා කරයි. Basic Instinct චිත‍්‍රපටයේ කැත්රින් ටුමෙල් මකුළු දැලක මෙන් පැටලී ඇත්තේ ඉහත ෆ්‍රොයිඩියානු මරණ ආශය නම් අමරණීයත්වයට ආශා කිරීමේ නාසිස්මික වේදනා හෝ වරදකාරී විෂම චක‍්‍රයේ ය. එවිට ඇයට ජීවිතයේ අතිරික්තය මරණය තුළින් සොයාගත හැකිය. පරිපූර්ණ බව නම් මාතෘත්වය වෙත ඇයට ළං වීමට උදවු වන පාර්ශ්වීය වස්තු නම් ඇය විසින් මරණය කරා රැුගෙන යන පිරිමි ය. අතිරික්ත ප‍්‍රමෝදයක් ඔස්සේ ඇය සමඟ යන ඔවුන්ට මුණගැසෙන්නේ මරණයයි. එය ඔවුන්ගේ අවසන් ලිබිඩෝවයි.

The Tourist චිත‍්‍රපටයේ ද එලිස් ෆෑන්ක් හට මුණගස්වන්නේ සත්‍යය ජීවිතයයි. සත්‍ය ලෙස සිගරට්ටුවක් බීම අරඹන ඔහු ඊළඟට සත්‍යය ලෙස ම ගමන් කරන්නේ ඇයගේ මරණය සම`ග ඔට්ටු අල්ලමින් කරන රහස් ඔත්තු සේවා ජීවිතයට ය. එම ෆැන්ටාස්මතිකය ඔස්සේ ගමන් කරන ඔහුට ඇයගේ සත්‍යය ජීවිතය මුණගැසේ. ඇය යනු තවදුරටත් තමාගේ ප‍්‍රතිබිම්භය දර්පණය කරන අසල්වැසියා නොවන බව ඇයගේ ජීවිතය ඔස්සේ ඔහු තේරුම් ගනී. ඇය යනුවෙන් ඔහුම මුණගැසෙන්නේ රැුඩිකල් අනේකත්වයකි. ඉංග‍්‍රීසියේ කැපිටල් අකුරකින් ලියවෙන මෙම අනේකත්වය යන්න එවිට ස්වාමීත්වයකි. කැත්රින් ටුමෙල් මෙන්ම එලිස් ද ඉහත පිරිමින්ගේ ස්වාමිත්වය බවට යම් නිමේෂයක දී පත්වේ. එය ඇන්ට්ගනියානු රාක්ෂභාවයකි. (කියවන්න Did Somebody Say Totalitarianism කෘතියේ 164 – 5 පිටු). ඇය ප‍්‍රමෝදයේ විද්‍යුත් දහරා විසින් පුරුෂ ආත්මය විනිවිදිනු ලබයි. තවදුරටත් හබමාසියානු සන්නිවේදනයේ මොහොතක් එකී පුරුෂ ආත්මයට උදාවන්නේ නැත. තම එකතැන පල්වෙන ආත්මයේ මෙලන්කොලියාවෙන් පුරුෂ ආත්මය මුදවාගන්නා ඇය අතිරික්ත ප‍්‍රමෝදය හරහා ඔහුගේ සත්භාවී විශ්වය නන්නත්තාර කර දමයි. අනතුරුව ඇය රැුගෙන යන්නේ ඔහු සැමදා ආශා කළ මරණය වෙතටය.

ඇය රැුගෙන එන අතිරික්ත ප‍්‍රමෝදය ඇය විනාශ කර දැමීම සඳහා හේතුවක් නොවේ. ඇය විසින් වේදිකාගත කරන එම අමානුෂික සත්භාවය විෂමතුලිත කරන්නා වූ මරණ ආශය කැටිකර ගත් අතිිරික්ත ප‍්‍රමෝදයට ඇයගේ අතිශය මානුෂික පැවැත්ම වේ. පිරිමි ආත්මය ජීවත් කරවන ‘මානුෂික’ බව ඇත්තේ ද එම අමානුෂික බව තුළ ම ය යන්න මනෝ විශ්ලේෂණයේ විරුද්ධභාෂී පාඩම ය. සංකේතීය පිළිවෙළට ඌනනය කළ නොහැකි එකම පිටස්තර මදය නම් මිනිස් ප‍්‍රමෝදය යි. අපි ත‍්‍රාසයට පත්කරන අගාධය නම් දෙයට ළඟාවිය හැක්කේ උල්ලංඝනයේ සියදිවි හානිකර ගන්නා වූ වීරත්වයක ක‍්‍රියාව ඔස්සේය. එය යමෙක් සංකේතීය සමාජයෙන් බහිස්කරණය කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණක් වුව ද ඊඩිපස් ඇන්ටිගනි වන් ශෝකාන්ත වීරයන් බිහි වූවේද එම මරණීය අතිරික්තය ඔස්සේම ය.

Mahesh Hapugoda

සාකච්ඡාව – ජයසිරි අලවත්ත

 

 

 

 

ඔබේ අදහස කියන්න...