ප්‍රාග්ධනය (capital) යනු කුමක්ද? 21 වැනි සියවසේ ජීවත් වන, අධිතාක්‍ෂණික දැනුමක් සහිත පුද්ගලයෙකුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවහොත් ඔහු නිරුත්තර වනු ඇත. නමුත් ඔහු මෙම ප්‍රශ්නයඋත්තරයක් තමා සතුව නැති වීම ගැන ලැජ්ජා නොවනු ඇත. අප ජීවත් වන සමාජ ක්‍රමයට ‘නමක්’ නැත. ඒ ගැන කිසිවකු පුදුම වන්නේ ද නැත. නමක් නැති සමාජයක ජීවත් වීම එක්තරා අතකින් අපූර්ව අත්දැකීමකි. අප ජීවත් වන සමාජයට නමක් නැති වුවත් අපට ‘නම්’ තිබෙන නිසා බිය වන්නට හේතුවක් නැත.

‘ප්‍රාග්ධනය’ ගැන ඉගෙන ගන්නට අවශ්‍ය අයට ඒ සඳහා බාධාවක් නැත. මේ වන විට ‘ප්‍රාග්ධනය’ ගැන වඩාත්ම තීක්ෂණ සහ න්‍යායාත්මක පොත වූ මාක්ස්ගේ ‘ප‍්‍රාග්ධනය’ සිංහලෙන් ද ප‍්‍රකාශ වී ඇත. නමුත් එම පොත කිසිවකු කියවන්නේ නැත. එය කියවන්න එපා යැයි කිසිවකු අපට කියා ද නැත. මෙම පොත කියවීමට අප තුළම විරෝධයක් ඇත. එය අවිඥාණය යි. අපි එම පොත නොකියවන්නේ අප පිළිබඳ කටුක සත්‍යයක් එම පොතේ අඩංගු යැයි අප විශ්වාස කරන නිසාය. පොතක් කියවන්නටත් පෙර ඒ ගැන මෙහෙම විශ්වාසයක් අපට ඇති වී තිබෙන්නේ කොහොමද?

අනෙක් අතට බොහෝ දෙනාට අනුව ‘ප්‍රාග්ධනය’ නම් පොත පරණය. එය අවුරුදු සිය ගණනක් පැරණිය (බුද්ධ ධර්මය අවුරුදු දහස් ගණනක් පැරණි බව අපට අමතකය). කියවා නැති සහ කිසිදා කියවන්නට අදහස් නොකරන පොතක් පැරණි යැයි අපට සිතෙන්නේ මන්ද? බොහෝ දෙනෙක් තමන් විසින් නොකියවන පොත් වල අඩංගු කරුණු ගැන කතා කිරීම මේ කාලයේ විලාසිතාවකි. [‘How to Talk about Books You Haven’t Read’] උදාහරණයක් ලෙස මේ දිනවල තෝමස් පිකටි නම් ප‍්‍රංශ ආර්ථික විශ්ලේෂකයෙකු විසින් ලියා ඇති ‘‘විසි එක් වැනි සියවසේ ප්‍රාග්ධනය’’ නම් පොත ගැන බටහිර මිනිසුන් බොහෝ දෙනෙකු කතා කරති. එම පොත ද විශාල වශයෙන් මිළට ගෙන ඇත. නමුත් බොහෝ දෙනා එම පොත තවම කියවා නැත.

පොත්වල නැති දේවල් එම පොත් වල ඇතැයි සිතා කතා කිරීම දාර්ශනික විලාසිතාවකි. පොත් නොකියවීම පශ්චාත්-නූතන යුගයේ මිනිසුන්ගේ පුරුද්දකි. පොත් නොකියවීමේ ආශාව ආදේශ වී ඇත්තේ අන්තර්ජාලය නැරඹීමට ය. ‘‘වචනය’’(word) වෙනුවට ‘‘ප‍්‍රතිරූපය’’ (image) ඊට ආදේශ වී ඇත.

ඇත්තටම ‘ප්‍රාග්ධනය’ යනු කුමක්ද? මෙමගින් අදහස් වන්නේ මිනිසුන්ට මුදල් සෙවීමට ඇති නොතිත් ආශාවද? ලංකාවේ මේ යුගයේ මිනිසුන් ප‍්‍රාග්ධනය ගැන දැන නොගත්තත් මුදල් (Money) ගැන හොඳින් දනිති. මුදල් සහ ප‍්‍රාග්ධනය යනු එකක් නොව දෙකකි. AIDS වෛරසය අපගේ දෘෂ්‍ය ඇසට නොපෙනේ. එපරිදිම ‘ප‍්‍රාග්ධනය’ යනු ද ඇසට හෝ මිනිසාගේ වෙනත් ඉන්ද්‍රියකට සංවේදනය වන ප‍්‍රපංචයක් නොවේ. එනම් ‘ප්‍රාග්ධනය’ නිවන මෙන්ම ඉන්ද්‍රීය දැනුමක් (එනම් අනුභූතික) නොවේ. එය ඊට වඩා (එනම් ඉන්ද්‍රිය දැනුම ඉක්මවා ගවේෂණය කළ යුතු) තීක්ෂණ ලෙස අවබෝධ කර ගත යුතු ක‍්‍රියාවලියකි. ‘ප්‍රාග්ධනය’ යනු කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට අවශ්‍ය කෙනෙක් ‘සංජානනයේ’ (Sensible) සිට ‘අධ්‍යාත්මික’ (Spiritual) ආකෘතිය දක්වා ගවේෂණය දිගු කළ යුතුය. ඉතාම සරල ලෙස කිවහොත් ‘ප‍්‍රාග්ධනය’ කුමක්ද කියා අවබෝධ කර ගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්ද්‍රිය-ගෝචර දැනුම විචාරය කර තර්ක-ඥාණය කරා නාභිගත විය යුතු වේ. ඒ අර්ථයෙන් ගත් විට ප්‍රග්ධනය’ අනුභූති-උත්තරය. සරල ලෙස කිවහොත් ආගමේ සාකච්ඡා වන්නේ මුළු මහත් සමාජයම පාලනය වන පුද්ගලික මායාවන් ගැනය. මාක්ස්ගේ ‘ප්‍රාග්ධනය’ පොතේ සාකච්ඡා වන්නේ මුළු මහත් සමාජයම පාලනය වන උත්තර-මායාවක් ගැනය. ‘ප්‍රාග්ධනය’ අවබෝධ කර ගැනීමට අවශ්‍ය දෙවන සාධකය වන්නේ දයලෙක්තික චින්තනයයි. ‘දයලෙක්තික’ යන වචනයේ අර්ථය මෙලෙස නිර්වචනය කළ හැක. (1) සංකල්පය සීමිතය (2) එනිසා සංකල්පයෙන් පිට ඇති එහි නොවන දේ අවබෝධ කර ගැනීමට සංකල්පය ස්වයංව වර්ධනය විය යුතු වේ. නැතහොත් එය එහි ප‍්‍රතිවිරුද්ධ දේ බවට පරිවර්තනය විය යුතු වේ. සමපේක්ෂණය (Speculation) යනු සංකල්පයක් ඇති ඉහත දෙබිඩිභාවය කාල්පනිකව ජය ගැනීමයි. (භක්තියේ පියවර)

‘ප්‍රාග්ධනය’ කුමක්ද කියා වටහා ගැනීමට අවශ්‍ය නම් සංකල්පය යනු සීමිත එකක් බව වටහා ගත යුතුය. ‘ප්‍රාග්ධනය’ සමාජ ක‍්‍රියාවලියකි. මේ නිසා චලනය වන සංකල්පයකින් මිස එය ස්ථිතික අදහසකින් වටහා ගත නොහැක. ‘ප්‍රාග්ධනය’ මුළු මහත් සමාජයකටම අවශ්‍ය ‘ආශාවන්’ සඳහා නිෂ්පාදනය කරන්නේ කොහොමද යන ගැටළුවට දී ඇති පිළිතුරකි. භාණ්ඩයක් යනු මිනිස් ආශාවක් ඉලක්ක කර ගත් නිෂ්පාදනයකි. සමාජය යොදාගෙන යම් මිනිසෙකුට ‘මුදල්’ සොයාගෙන A නම් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැක. ඒ සඳහා ශ‍්‍රමය අනිවාර්යයෙන් අවශ්‍ය වේ. (සෘජු ලෙස හෝ වක‍්‍රව) ඒ අනුව මෙම පුද්ගලයා ශ‍්‍රමයට යම් මිලක් ගෙවා A නම් භාණ්ඩය නිෂ්පාදනය කරයි. නමුත් ඉන් පසු ඔහුට අළුත් ගැටළුවක් හමු වෙයි. මෙම භාණ්ඩය මිලට ගන්නා කෙනෙක්ද මෙම සමාජයේ සිටිය යුතුය.

(01 රූපය බලන්න)

Deepthi

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. ප්‍රාග්ධනය – භාණ්ඩවල වටිනාකම (අංක 2)
    මාක්ස් ප්‍රාග්ධනය ප්‍රථම වෙළුමේ භාණ්ඩයක (commodity ) වටිනාකම (value ) විස්තර කිරීම සඳහා පරිච්චේද කීපයක් වැය කරනවා. සංක්ෂිප්තව ලිවීමේදී සමහර පැහැදිලි කිරීම් මග හැරෙන්නට පුළුවන්.

    පලවෙනි කොටසේදී භාණ්ඩයක ලක්ෂණ දෙකක් තිබෙන බව මාක්ස් කියනවා. ඒ භාවිතමය වටිනාකම (use value – පරිභෝජන වටිනාකම කියලත් කියමු ) හා හුවමාරු වටිනාකම (exchange value ) යනුවෙන්.

    ධනවාදී නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් සමාජයක භාණ්ඩ එහි ධනවත්කම සංකේතවත් කරයි. භාණ්ඩය යනු භාවිතමය වටිනාකමක් ඇති යම් දෙයක් වන අතර එය හැම සමාජ ක්‍රමයටමපොදුයි. නමුත් ධනවාදී සමාජයේදී මෙම භාවිතමය වටිනාකම මීට අමතරව හුවමාරු වටිනාකමේ ද්‍රව්‍යමය තැන්පතුව වෙයි. (material depository) .

    කිසියම් ද්‍රව්‍ය දෙකක් සංසන්දනය කිරීමේදී ඒ දෙකටම පොදු ගුණයක් තිබීමට කියන්නේ tertium comparationis කියල ලතින් වලින්.
    (It is the point of comparison which prompted the author of the comparison in question to liken someone or something to someone or something else in the first place. – wikipedia මේ කියන්නේ කිසියම් දෙයක් තව දෙයක් එක්ක සංසන්දනය කරන කොට මේ සංසන්දනය කරන්නාගේ සංසන්දනය කරන මුලික තැන tertium comparationis කියල ). මාක්ස් කියනවා හුවමාරු වටිනාකම මැනීමේදී ශ්‍රමය තමයි මේ tertium comparationis කියල. හරියටම කියනවනම් සමාජීය අවශ්‍යතාවයේ ශ්‍රම කාලය තම හුවමාරු භාණ්ඩයක් සංසන්දනය කිරීමේදී තියෙන්නේ කියල.

    “Exchange-value presupposes a tertium comparationis by which it is measured;” labor, the common social substance of exchange-values, to be precise, the socially necessary labor-time embodied in them.”

    එතකොට භාණ්ඩයේ මේ ද්විත්ව ස්වභාවය වගේම (හුවමාරු වටිනාකම හා භාවිතමය හෝ පරිභෝජන වටිනාකම වගේ ) ශ්‍රමයේත් ද්විත්ව ස්වභාවයක් තියෙනවා කියල. ඒ තමා නියත නිෂ්පාදන ක්‍රියාවලිය – උදාහරණයක් වශයෙන් කමිසයක් මැසීම සඳහා ශ්‍රමය , රෙදි නිපදවීම සඳහා ශ්‍රමය වගේ මේ වැඩදායි ශ්‍රමය හෙවත් “useful Labour “.
    අනිත් එක තමා මිනිසාගේ ශ්‍රමයේ බලය , පවතින සාමාන්‍ය ශ්‍රමය. (general or abstract labour )
    භාණ්ඩයක මුලික වටිනාකම සංසන්දනය කිරීම පහල තියෙන රුපයෙන් බලන්න.
    උදා : රෙදි යාර 20 = එක කබායක් හෝ රෙදි යාර විස්සක වටිනාකම එක කබායකි .

    එතකොට හුවමාරු වටිනාකමට මුදල්මය අගයක් ආවේ කොහෙන්ද ? මේකට කියනවා වටිනාකමේ විහිදුම් ස්වභාවය (expanded form of value ) කියල. (මේ මම පාවිච්චි කරන වචනය නිවැරදීමද කියන්න අමාරුයි . යෝජනා පිලි ගන්නවා )
    රෙදි යාර විස්සක් කබායකට සමානයි හෝ එයම තේ කොළ රාත්තල 10කට සමානයි හෝ එයම කෝපි රාත්තල් 40කට හෝ එයම තිරිඟු බුෂේල්ස් 8කට හෝ රත්රන් අවුන්ස දෙකකට හෝ යකඩ ටොන් භාගයකට සමානයි යනදී වශයෙන්. මෙහිදී මතක තබා ගන්න රත්රන් අවුන්ස දෙකකට සමාන කල බව.
    දැන් අපට වටිනාකමේ පොදු ස්වභාවයක් ලැබෙනවා. පහත රුපය බලන්න. කලින් කිවූ භාණ්ඩම තමා තියෙන්නේ.
    දැන් මේ වටිනාකම (value ) එකේ පොදු ස්වභාවය මුල්‍ය ස්වභාවයකට පරිවර්තනය වෙලා නැද්ද. පහත රුපය බලන්න.

    මෙන්න දැන් මේ භාණ්ඩ හුවමාරුවේදී අපි භාණ්ඩය මුදල් (මෙහිදී රත්රන්) වැනි දෙයකට හුවමාරු කරන්න පටන් ගත්ත.
    The elementary expression of the relative value of a single commodity, such as linen, in terms of the commodity, such as gold, that plays the part of money, is the price form of that commodity.
    එතකොට තනි භාණ්ඩයක සප්ක්ෂ වටිනාකම මුලිකව ඉදිරිපත් කරන කොට , රෙදි යන්න භාණ්ඩය වශයෙනුත් රත්රන් යන්න මුල්‍ය වටිනාකම වශයෙනුත් ගත්තොත් එතකොට ඒ රත්රන් ප්‍රමාණය භාණ්ඩයේ මිල හෙවත් මුල්‍යමය වටිනාකම බවට පත් වෙනවා.

    එනම් රෙදි යාර 20ක් රත්රන් අවුන්ස දෙකක් හෝ , නැත්නම් රත්රන් අවුන්ස 2ක් ස්ටර්ලිං £ පවුම් දෙකකට සමාන කාසි දෙකක බවට පරිවර්තනය කලොත් , රෙදි යාර විස්ස £ පවුම් දෙකකට සමාන වෙනවා.
    මෙන්න මෙතනදී මාක්ස් කියනවා ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියේදී හුවමාරු භාණ්ඩ විසින් පුද්ගල සම්බන්ධතාවයන් භෞතික ව වසා දමා තිබෙනවා කියල.
    https://kolambagamaya.blogspot.com/2014/03/i.html

  2. සංසරණ මාධ්‍යය

    භාණ්ඩ වල රූපාන්තරණය (වෙනස්වීම / පරිණාමය)

    හුවමාරුව සම්පුර්ණ වන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ රුපාන්තරණයන් දෙකක් වන භාණ්ඩ හා මුදල් එකිනෙකට පරිවර්තනය වීමය නිසයි. මේ දෙක එකින් පුරන්ත්වයට පත් කරනවා කියල මාක්ස් කියනවා. එතකොට කරන කාර්යය අවස්ථා දෙකකින් සිද්ධ වෙනවා. රෙදි මහන්නා එය විකිණීම – එහෙම නැත්නම් භාණ්ඩය මුදල් නමැති භාණ්ඩයට මාරු කිරීම – අනිත් පැත්තෙන් මිලදී ගැනීම – එනම් මුදල් නමැති භාණ්ඩය රෙදි නමැති භාණ්ඩයට හුවමාරු කර ගැනීම. ඇත්තටම මේ දෙකම එකක්.

    මේක මාක්ස් ලිව්වේ මෙහෙම.

    භාණ්ඩ – Commodity – මුදල්- Money

    Commodity – Money – Commodity. C–––––– M ––––––C.

    භාණ්ඩ – මුදල් – භාණ්ඩ : භා – මු – භා , ඉදිරියේදී ලේසියට මේක ඉංග්‍රීසි අකුරෙන්ම ගමු.

    C–––––– M ––––––C. – (අංක 1)

    කල්පනා කරලා බලන්න මේක අතරට තව මොනවහරි දාන්න පුලුවන්ද කියල?

    එතකොට මෙතැන භාණ්ඩය හැටියට ශ්‍රමය අරගන්න. එහෙම අරගත්තොත් ශ්‍රමයට තියෙන්නෙත් හුවමාරු වටිනාකමක්. මේක කම්කරුවෙකුගේ වෙන්නම ඕනේ නැහැ. ඕන කෙනෙකුගේ ඉන්ජිනේරුවෙකුගේ, දොස්තර කෙනෙකුගේ , ගුරුවරියකගේ හෝ ගොවියෙකුගේ, කම්කරුවෙකුගේ (මෙහිදී අත පය වෙහෙසා වැඩ කරන යන අරුතින්)

    එතකොට අර ඉහල අංක 1 නමැති සමීකරණය මෙහමත් ලියන්න පුලුවන්.

    L – M -………………? මෙතන කම්කරුවා තමන්ගේ ශ්‍රමය විකුනුවට පස්සේ ඒ මුදල නැවත භාණ්ඩ වලට හැරෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මුදල විශ්වීය හුවමාරු අගයක් (හෝ ලෝකය පුරාම කියමුකෝ) ගත්තට ශ්‍රමයට ඒක එන්නේ නැහැ නේද?

    මෙන්න මේක තම මාක්ස් කියන්නේ. ශ්‍රමය අපි විකුනුවට එකට අර මුදලට තියෙන පොදු (විශ්වීය ?) අගය නැහැ කියල.

    ඊළඟට මේ පෙනුමට තිබෙන තනි ක්‍රියාවලිය ඇත්තටම දෙකක් බව මාක්ස් කියනවා. එනම් භාණ්ඩය අයිතිකාර ත්නත්තගේ පැත්තෙන් ඒක විකිණීමක් sale , මුදල් අයිතිකාර තැනැත්තාගේ පැත්තෙන් ඒක මිලදී ගැනීමක්. හැබැයි විකිණීම තමා මිලදි ගැනීමත්. C–M is also M–C.

    ඊළඟට මේ C–––––– M ––––––C. එක වෘත්තාකාර හැඩයක් ගන්නවා කියල මාක්ස් කියනවා. “The two phases, each inverse to the other, that make up the metamorphosis of a commodity constitute together a circular movement, a circuit: commodity-form, stripping off of this form, and return to the commodity-form.”

    භාණ්ඩමය ආකාරය – මුදල්මය ආකාරය හා නැවත භාණ්ඩමය ආකාරය – නැවත එය විකිණීමෙන් මුදල් බවට හැරීම ඒ වගේ. අනික මෙහිදී මුදල් කගේ හරි අතේ හැම වෙලාවෙම තියෙනෙව. නමුත් භාණ්ඩය මේ වෘත්තයෙන් ගැලවී යන්න පුළුවන්. මහන්නා රෙද්දක් විකුණලා සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් පොතක් ගන්නවා කියා හිතමු. ඔහු/ඇය පොත නොවිකුනුවා කියා හිතමු. නමුත් පොතට ගෙවූ මුදල සංසරණයේ තව දුරත් පවතිනවා. පොත් අයින් වෙනවා.

    අපි හිතමු යකාගම කියන ටිකක් ආදිවාසී ගමක කම්මල් කරුවෙක් ඉන්නවා කියල. ඔහු යකඩ තලා හදන භාණ්ඩ ගොවියෙකුගේ කිරි හෝ හාල් වලට හුවමාරු කර ගත්තොත් වෙන්නේ C -C වගේ ක්‍රියාවක්. (commodity -commodity ) . හැබැයි ඔහුට අර භාණ්ඩ අවශ්‍ය නැත්නම් ඔහු මුදල් (රන් කාසියක් වගේ) ගන්නවා කියා හිතමු. ඔහු ඒ මුදල පාවිච්චි කරලා වඩුවා ගෙන් පුටුවක් ගත්ත කියා හිතමු. මෙහිදී සුරකෑමක් සිදු වෙන්නේ නැහැ. වෙන්නේ C–––––– M ––––––C එක. එතකොට කම්මල් කරුවාගේ හෝ වඩුවාගේ පුද්ගලික ව්‍යාපාර යකාගමේ මිනිසුන්ගේ ආධිපත්‍යට ගන්න ඕනේ නැහැ. ගොවියාගේ කුඹුර හෝ ඉඩම් ගන්න ඕනෙත් නැහැ. ඔවුන් සුරාකෑමක් කරන්නේ නැහැ. (අවාසනාවකට වගේ මාඕගේ චීනයේ හා සෝවියට් රුසියාවේ ඈත පළාත්වල ඕනෑවට වඩා උද්යෝගී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් මේ වගේ වැඩත් කලා. සපත්තු කාරයාගේ කම්මල් කාරයාගේ පුංචි ව්‍යාපාරත් ජනසතුයි කියල ආණ්ඩුවට අරන් රාජ්‍ය ඒකාධිකාරයක් හදන්න. නොදැන කරපු ඒ වැඩ වලින් කලේ ලොකු හානියක් )

  3. ප්‍රාග්ධනය අංක 8)

    අතිරික්ත වටිනාකම හෙවත් අපි සුලභව හඳුන්වන ලාභය ගැන මාක්ස් ලිව්වේ මෙහෙම දෙයක්. අපි පසුගිය ලිපියේ කතා කලේ භාණ්ඩ – මුදලට හා මුදල් නැවත භාණ්ඩ වීමේ ක්‍රියාවලිය. ( C – M – C – commodity – money – commodity )

    (මෙය මෙහි පැහැදිලි කර ඇත. සංසරණ මාධ්‍යය – ප්‍රාග්ධනය)

    දැන් අපි අරගමු මෙන්න මේ ක්‍රියාවලිය. මුදලින් භාණ්ඩයක් ගැනීම සහ එය නැවත විකිණීම (හෙවත් මුදලට හුවමාරු කිරීම ) – මුදල්-භාණ්ඩ – මුදල් හෙවත් M – C – M ක්‍රියාවලිය. මෙය බැලූ බැල්මට නැවත නැවතත් සිදුවන තේරුමක් වැඩිය නැති ක්‍රියාවලියක් වගේ. හුඟක් වෙලාවට මුදලේ ප්‍රමාණය වෙනස් වෙන්න හෝ භාවිතා කරන මුදලේ වර්ගය වෙනස් වෙන්න හෝ පුළුවන්. ඒ කියන්නේ පවුම් 10 කට අරගෙන එයම පවුම් විස්සකට හුවමාරු කිරීම (විකිණීම) නැත්නම් ඩොලර් 10 කට අරගෙන පවුම් 10කට දීම. මේ තේරුමක් නැති M – C – M ක්‍රියාවලියට තේරුමක් එන්නේ එහෙනම් භාවිතා කරන ප්‍රමාණය මත. වැඩි ගණනකට හුවමාරු වෙනවා නම් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වෙනව.

    අපි හිතමු වටින සේද රෙද්දක් පවුම් 100 කට ගත්ත කියල. ඒක මම විකුනනවා 110 ට. මේ ක්‍රියාවලිය අර සමිකරනයෙන්ම ලියුවොත් එන්නේ මෙහෙම.

    මුදල්-භාණ්ඩ – මුදල්’ හෙවත් M – C – M’.

    මෙන්න මේ ලකුණ ‘ බලන්න;

    ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.

    එනම් මුදල’ හෙවත් M’ = M +ΔM. මෙහිදී ΔM=පවුම් 10.

    [ මේ ලකුණ Δ ග්‍රීක අකුරක් වන ඩෙල්ටා – මෙහි ගණිතමය අදහස වන්නේ වෙනස (difference) හෝ අගයේ (සංඛ්‍යාත්මකව) වෙනස් වූ ප්‍රමාණය යන්නයි]

    මෙන්න මේ වෙනස් වූ අගයේ ප්‍රමානාත්මක වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)

    මෙන්න මේ ක්‍රියාවලිය මුදල් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කරනු ලබනවා.

    (මෙසේ කියා ඇත්තේ මාක්ස් ගේ ප්‍රාග්ධනය මුල් කොටසේ පලමුවන වෙළුමේ, මතක තබා ගත යුතු දෙයක් වන්නේ මාක්ස් මෙය තව දුරටත් විකාශනය කරමින් ප්‍රග්ධනය ඇතිවන හැටි පෙන්වා දෙනවා ප්‍රාග්ධනය 2 වන වෙළුමේ)

    ඒ කියන්නේ මාක්ස් කියන විධිහට මේ අතිරික්ත වටිනාකම හෙවත් ලාභය ප්‍රග්ධනය හැටියට පරිවර්තනය වෙනව. (මෙහිදී සඳහන් කරන්න ඕනේ මෙයට පිළිතුරු ලෙස බොහෙම් බෝවෙර්ක් ලියු ලිපියෙන් පසු මාක්ස් මේ ගැන දෙවන වෙළුමේ දීර්ඝ පැහැදිලි කිරීමක් කල බව. ඒවා මෙතන සාකච්චා වෙන්නේ නැහැ. )

    අනවරත (නොනවතින) ලෙස සිදුවන භාණ්ඩ – මුදල් – භාණ්ඩ C – M – C ක්‍රියාවලිය පාලනය කරන්නේ මුලිකවම පරිභෝජනය විසින්. එනම් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. නමුත් මුදල්-භාණ්ඩ- මුදල්; M – C – M, යන ක්‍රියාවලිය ගත්තොත් මුල හා අග ඇත්තේ මුදලයි. මෙය මෙම ක්‍රියාවලිය අනන්තය දක්වා දික් ගස්සනවා.

    M + ΔM ( delta M) යන්න නම් M මුල් මුදලේ අගයෙන් වෙනස් වන මුත් එයත් කිසියම් මුදල් ප්‍රමාණයක් විතරයි (උදා. 110). හැබැයි අපි එය වියදම් කලොත් එය තව දුරටත් ප්‍රාග්ධනය බවට පරිවර්තනය නොවේ. එසේම අපි එය මේ ක්‍රියාවලියෙන් (මේ සන්සරණයෙන්) ඉවත් කලොත් එය නිධානයක් (එකතු කර ගත්;තොගයක් හෝ සංචිතයක් – මාක්ස්ගේ වචනය hoards) බවට පත් වෙනවා. වටිනාකම ප්‍රසාරණය වීමේ උවමනාව හඳුනා ගත් පසු එය පසු; මුදල’ (M’ ) හා මුල් මුදල (M ) යන දෙක අතරේම පවතින බව පෙනේවි. ඒ නිසා ප්‍රග්ධනයේ චලිතය (ගමන) සිමා රහිත බවත් එහි අරමුණ මේ ක්‍රියාවලිය මුදුනේ හෝ අග හෝ සාක්ෂාත් කරගෙන නැති බවත් තේරුම් ගත යුතුවේ. (මාක්ස් මෙතන මේ කියන්නේ ලාභ ලබා ගැනීමේ කෙළවරක් නැති බවයි).

    මේ ක්‍රියාවලියේ ප්‍රධාන නියෝජිතයා වනමුදල් අයිතිකරුවා ධනපතියා (capitalist) බවට පත් වේ. මෙතැනදී කල්පනා කරන්න මෙහෙම. ඇයි ධනපති හෝ දිළිඳු රටවල බැංකු වලින් පුංචි ව්‍යාපාර සඳහා නය ආධාර දෙන්නේ. ඔබ යම් මුදල් ප්‍රමාණයක අයිතිකරුවකු වෙන තුරු ඔබ ධනපතියකු වීම සඳහා අඩිතාලම වැටෙන්නේ නැති නිසා. ඊළඟට හැමෝම ලොකුවට කතා කරන බිල් ගේට්ස් ගමු. ඔහු තමන් මුලින් බිස්නස් කල හොයා ගත මුදලින් සියැටල් කොම්පැනියකින් ඩොලර් 50000 ගෙවා ගත් පරිගණක මෙහෙයුම් පද්ධතිය මදක් වැඩි දියුණු කර IBM වලට විකිණුව. ඔහු ලාභය ගත්තේ එහි license හෙවත් බල පත්‍රය පාවිචි කරන ගානට විකිණීම හා එහි අයිතිය තමන් සතුව තබා ගැනීමෙන්. අනිත් අයට විකිණීමේදී එහි ලාභය හැම වෙලේම වැඩි කලා. එය අනවරත ක්‍රියාවලියක් නිසා ඔහුගේ ආදායමත් ඒ වගේම වැඩි වුණා. මෙතැනදී ඔහු විසින් එම මෙහෙයුම් පද්ධතිය අලුත්වැඩියා කිරීම හා රැකියා අවස්ථා ඇති කිරීම ගැන සාකච්චා කරන්නේ නැහැ.
    https://kolambagamaya.blogspot.com/2014/07/blog-post_10.html

Comments are closed.