නව අධිරාජ්‍යවාදය වටහා ගැනීමට ප්‍රවේශයක්.

              පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගී වූ  මහජනයාට එරෙහිව මුස්ලිම් මූලධර්මවාදීන් එල්ල කරන ලද ප්‍රහාරය අප දේශපාලනිකව හෙළා දකින අතර ඉන් මියගිය සහ තුවාල වූ ජනයාගේ පවුල්වලට අපගේ ශෝකය පළ කරන්නෙමු.

                   1956 වර්ෂයේ බණ්ඩාරනායක මහතා මැදිකොට ගෙන බිහිවූ දේශපාලන විපර්යාසය අර්ථකථනය කිරීමට අපට 1988 අගෝස්තු දක්වා බලා සිටීමට සිදුවිය. එනම් වසර 32 ක් ගත විය. නමුත් 21 වන ඉරිදා සිදු වූ සිදුවීම පිළිබඳව දේශපාලන අර්ථකථනයක් ප්‍රමාදයකින් තොරව සාරාංශගත කොට මෙලෙස අපි ඉදිරිපත් කරන්නෙමු.( මෙය සැකිල්ල පමණි ).                 

                  1977 සමාජ-ආර්ථික විප්ලවය J.Rගේ දේශපාලන මනස හරහා සිදුවිය. එමඟින් ලංකා ඉතිහාසයේ අන් කවරදාටත් වැඩිය සංගත ලෙස විවිධ කුල, පන්ති, සංස්කෘතික සහ වාර්ගික කණ්ඩායම්වලින්  පැමිණි සමාජ කණ්ඩායම් ධනවාදයට එකතු කිරීමට J.R සමත් විය. එමගින් පැරණි වම අභාවයට ගිය අතර ඊනියා තරුණ වම මුඛ්‍ය කතිකාවෙන් විස්ථාපනය විය. ඔහුට මෙම තත්ත්වය සාක්ෂාත් කරගත හැකි වූයේ ඇතුළතින් අවිධිමත් වුවත්,1977 දේශපාලනමය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්විය හැකි මතවාදයක් (දෘෂ්ටිවාදයක්)  ඔහු සතු වූ හෙයිනි. J.R මංසන්ධියට පසු විවිධ විෂම පුද්ගලයන් ධනවාදයට එකතු වූයේ එහෙයිනි. දෘෂ්ටිවාදීව කිවහොත් J.Rට පසු ධනවාදය ස්වභාවික විය.                     

                       සිංහල රණකාමී ජාතිකවාදීන් සහ ලිබරල් වාමාංශිකයන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වනු ඇත යන සිහිනයක පැටලී සිටියදී ගෝලීය ප්‍රාග්ධනය නිසා තීව්‍ර ලෙස පරාරෝපණය වූ තරුණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ‘චීන ප්‍රාග්ධනයට’ එරෙහිව බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. ධනවාදය පිළිබඳ සරලමතිකයන්ට අනුව ( අද ලංකාවේ ගැඹුරු දේශපාලන ගැටලු විවරණය කරන්නේ මාධ්‍ය කරුවන් සහ සරලමතිකයන් වන චතුර , සුදේව වැනි පුද්ගලයන් ය. මේ අය දහවලට ප්‍රඥාව ගැන කතා කරන අතර මධ්‍යම රාත්‍රියට ‘කොපි චැට්’ හරහා අප හමු වෙයි.)  නැතහොත් ධනවාදය කිසිදු ආකාරයකට සංකේතකරණයට ලක් කළ නොහැකි අයට අනුව මෙම ප්‍රහාරය ශ්‍රී ලංකාවට එරෙහි ඉස්ලාම් ආගම් වාදීන්ගේ ප්‍රහාරයකි. එම සංකේතකරණය සඳහා අපට දිය හැකි දේශීය නාමය මෙසේ ය ; මුඛ්‍ය ප්‍රතිවිරෝධය වෙනුවට පහසුව සඳහා තෝරාගත් ද්විතීයික ප්‍රතිවිරෝධය, නැතහොත් සිදුවීම පිළිබඳ දේශීය ජාතික චින්තනය යනුවෙන් ද මෙම තත්වය හඳුනාගත හැකි ය.

 ‘අප’ 2009 යුද්ධය ජයග්‍රහණය කරන ලද්දේ රාජපක්ෂ පවුල නිසා ය. මේ දේශීය චින්තනයේ අග්‍ර ඵලයයි. නමුත් ගෝලීය ධනවාදී සන්දර්භයක් තුළ මේ යුද්ධය රාජපක්ෂ පවුල ජයග්‍රහණය කරන ලද්දේ චීනයේ භෞතික සම්පත් නිසා සහ ඉන්දියාවේ මතවාදී මැදිහත්වීම් නිසා ය. පැවැති යුද්ධයේ ‘මිලිටරි මානය’ දේශපාලන තලය නම් ගුණාත්මක මට්ටමට ඇද වැටුණේ ඉහත සාධක දෙක නිසා ය. LTTE ය  යුද්ධය ප්‍රකාශ කරන විට මෙම චීන සාධකය ගැන සිතා සිටියේ නැත. ඔවුන් අවලෝකනය කළේ ඇමෙරිකාව, යුරෝපය සහ ඉන්දියාව ගැන පමණි. වැරදි මොහොතක යුද්ධයේ තීව්‍රතාවය වැඩි කිරීම නිසා ඉතිහාසය නම් විෂය ඔවුන්ව පරාජය කරන ලදී.

2010 ට පසුව රාජපක්ෂ පවුල සෘජු ලෙස ‘චීන ප්‍රාග්ධනය’ සමඟ සන්ධානගත වූ අතර නිදහසින් පසු කොළඹ නගරයේ යටිතල ව්‍යුහය නුතනකරණය කිරීමට පළමුවරට විදේශීය ප්‍රාග්ධනයක් මැදිහත් විය. එහි අතුරු ඵලයක් ලෙස රාජපක්ෂ පවුලට විශාල අතිරික්තයක් (බෝනස් එකක්) සම්මුඛ විය. ඔවුන් එමඟින් රාජසිංහ රජතුමා දක්වා අතීතයට උත්කර්ශනය විය. යථාර්ථය කිසිදා සන්සුන් නොවන බව LTTEයට මෙන්ම රාජපක්ෂ පවුලට ද අමතක විය. යථාර්ථයේ නියම ව්‍යුහය ප්‍රතිවිරෝධාත්මක ය. එයට සාරයක් සේම ආත්මයක්ද ඇත. අප පරිදිම ‘යථාර්ථයත්’ සිතයි. තත්ත්වය මෙසේ තිබියදී ඉන්දියාව නම් ආත්මය තමන්ගේ රාජ්‍ය ව්‍යුහයක්-Indian State -වන ‘Raw’ ඔත්තු සේවය සහ රාජපක්ෂලා අමතක කළ ඉතිහාසයේ ආත්මය  [Historical subject ] වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග එකතු වී 2015 දී චීන ප්‍රාග්ධනයට විකල්ප ලෙස බටහිර ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් යෝජනා කරන ලදී. 2009 වර්ෂයේ දී LTTE ය පරාජය වූ පරිදිම සිතාගත නොහැකි පරිදි 2015 දී රාජපක්ෂලා පරාජය විය. 2015 ජනවාරි 9 වන දා ශ්‍රී ලංකාවේ පිහිටවනු ලැබූයේ ‘චීන ප්‍රාග්ධනයට මානුෂික මුහුණුවරක්’  [Chinese Capital With Western Human Face ] සහිත ආණ්ඩුවකි. මෛත්‍රී-රනිල් ආණ්ඩුව යනු චීන ආර්ථිකය ඉදිරියට ගෙන යන මුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන ආණ්ඩුවකි. ජාතිකවාදීන් මෙය ලිබරල් ලෙස වහරන්නේ එහි චීන අඩංගුව අමතක කරමින්ය. අනෙක් අතට සිංහලකරණය වූ සිවිල් සමාජය ද මෙහි චීන අඩංගුව අමතක කර එය මෛත්‍රිපාලගේ ‘ග්‍රාමසේවක ආණ්ඩුව’ නමින් වහරයි. මේ කොට්ඨාස දෙකම මේ ආණ්ඩුවේ බල යාන්ත්‍රණය සහ දේශපාලන-ආර්ථිකය අමතක කරයි. තමන්ගේ කැඩපත් රූපයට අධික ලෙස අනන්‍ය වෙයි.

KANDAHAR, AFGHANISTAN: TV grabs taken secretly by BBC Newsnight shows Taliban’s one-eyed spiritual leader Mullah Mohammed Omar (C) during a rally of his troops in Kandahar before their victorious assault on Kabul in 1996. AFP PHOTO MANDATORY CREDIT BBC NEWS/NEWSNIGHT (Photo credit should read AFP/Getty Images)

                 2017 පමණ වන විට චීන ප්‍රාග්ධනයට තම ආයෝජන සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ‘UNP- ආර්ථික -කවුන්සිලය’ සමඟ පැවැති ප්‍රතිවිරෝධතා සමනය කළ නොහැකි මට්ටමට වර්ධනය විය. මේ හේතුව නිසා චීනය නිහඩ වීම ආරම්භ වූ අතර බැසිල් වෙතට එකවර චීනය සහ ඉන්දියාව යොමු විය. මෙසේ වූයේ පකිස්තානය අරභයා ඇමරිකානු ප්‍රතිපත්තිය වෙනස් වූ නිසාද යන්න අවිනිශ්චිතය. මෙම මංසන්ධියට පසුව ඇමරිකාව සහ යුරෝපය එක පැත්තකට ගිය අතර චීනය සහ ඉන්දියාව වෙන පැත්තකට ගියේය. එහි ඵලය වූයේ පළාත් පාලන ජයග්‍රහණයෙන් රාජපක්ෂලා මත් වීම ය. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය සමඟ යහපාලන ආණ්ඩුවේ දේශපාලන-ආර්ථික ව්‍යුහය බිඳ වැටිණි. එහි ආචරණ පශ්චාත්-නූතන මාධ්‍ය හරහා ප්‍රකාශ වූයේ මෙලෙසිනි. “චීන ප්‍රාග්ධනය පියවරක් ඉදිරියට ;  බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පියවර දෙකක් පසුපසට”. ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක් තේරීමට අවශ්‍ය වන්නේ මෙම මංසන්ධියට පසුව ය. එක පැත්තකින් ප්‍රාග්ධනයේ සහ වෙළෙඳපොළ බලවේගවලට අවශ්‍ය පරිදි ආර්ඵිකය නිදහසේ වර්ධනය වීමට අවශ්‍ය දේශපාලන ලිබරල්කරණය අවශ්‍යය. අනෙක් පැත්තෙන් ශ්‍රමය ජාතික රාජ්‍යය තුළ මට්ටු කළ යුතුය. ධම්මික පෙරේරාගේ භාෂාවෙන් කිවහොත් ආර්ථික ‍ප්‍රජාතන්ත්‍රවාදය සමග දේශපාලන අත්තනෝමතිකත්වය නැතිව රට සංවර්ධනය කිරීමට නොහැකිය. ‘අතිරික්තය’ නිපදවන ධනවාදී සමාජයක මේ අන්ත දෙක තුලනය කළ හැක්කේ ‘ගේට්ටු-සමාජයක්’ නිර්මාණය කිරීමෙන් පමණි. සමාජ මර්ධනය සහ පුද්ගලික ජීවිතයේ නිදහස යන එකිනෙකට පටහැනි කුන්දෙරාවාදී සාහිත්‍යය සටන් පාඨය නූතන ගෝලීය ධනවාදයේ දේශපාලන උපරි-ව්‍යුහයයි. 2018 ඔක්තෝබර් 26 වනදා සිදුවීම සිදු වන්නේ රට තුළට චීන ප්‍රාග්ධනය ඇද ගැනීමට සහ ‘නිදහස’ දේශපාලන තලයේ සීමා ඇති කිරීමටය. ඒ අනුව ආර්ථිකය හෝ යටිතල සංවර්ධනය මෛත්‍රී සමඟ ගැට ගැසී යාමත් උපරි-ව්‍යුහයේ නිදහස සහ සමානාත්මතාවය රනිල් සමඟ ගැට ගැසී යාමත් අහම්බයක් නොවේ.

                     2019 අප්‍රේල් 22න් පටන් ගන්නා සතිය තුළ UNP නායකත්වය  වෙනස් කිරීමේ දේශීය වැඩසටහනක් මෛත්‍රී පාර්ශවයට අවශ්‍ය වූයේ තම ‘අනාගතය’ නිදහසට වඩා ආර්ථිකය මත රඳා පවතින බව දන්නා නිසා ය. ‘චීන ප්‍රාග්ධනය’ ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව තුළ තහවුරු වුවහොත් එය ආසියානු කලාපයේ ඇමරිකානු හෙජමොනියට මරු පහරක් වනු ඇත. මෛත්‍රීට ප්‍රතිවිරුද්ධ අවශ්‍යතාවයක් ඉහත මංසන්ධියේ දී ඇමරිකාවට අවැසි විය. එනම් චීන ප්‍රාග්ධනයට සහ එහි අනාගත අවශ්‍යතාවලට මරු පාරක් දීම ඇමරිකාවට අත්‍යාවශ්‍ය ජාත්‍යන්තර කොන්දේසියකි. රැකියා අවස්ථා 83 000 ක් ඉදිරි දශකය තුළ වරාය නගර ආර්ථිකය මගින් උත්පාද වෙයි. මෙම තත්වය ඉන්දියාවට අතිශයින් අවදානම් සහගතය. ඔවුන්ගේ රට අසළ හොංකොං දේශයක් බිහිවීම ඉන්දීය ආරක්ෂාවට සහ ආර්ථිකයට ගැටලුවකි. එබැවින් මෙම ප්‍රහාරය නිශ්චිත ලෙස එල්ල වූයේ කිසිදු ආගමකට හෝ ජාතියකට එරෙහිව නොවේ. එහි අභිමතාර්ථය වන්නේ ගෝලීය හෙජමොනිය (Global Hegemony) පිළිබඳ ගැටලුවකි. [ ලෝකයේ අනාගතය පාලනය කරන්නේ කවුද ?] උකුණන් ලවා ගල් ඇද්ද විය නොහැකි මුත් මෙම ගෝලීය ගැටලුව වටහා ගැනීමට ලංකාවේ රාජ්‍ය ව්‍යුහය ප්‍රති-ව්‍යුහගත කළ යුතුය. අපගේ බුද්ධි සේවාවල අන්තර්ගතය දේශීය තැනින් ගෝලීය තැනකට විස්ථාපනය කළ යුතුය. ගෝලීය ගැටලුවලට අදාළ නායකයන් අපගේ රට තුළ නැත. ගැටලුවලට උත්තරය මුල්ලාවරුන් අල්ලා ගැනීම හෝ බුර්කාව තහනම් කිරීම නොවේ.

  -දීප්ති කුමාර ගුණරත්න-

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “ගෝලීය ප්‍රාග්ධනය නිසා තීව්‍ර ලෙස පරාරෝපණය වූ තරුණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ‘චීන ප්‍රාග්ධනයට’ එරෙහිව බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය.”
    I am extremely sorry to tell you this Deepthi, and in fact I never thought I would ever say anything like this for an article written by you, but the above statement is way off the mark and UTTERLY RIDICULOUS!
    And your subsequent analysis is a paradox in itself because almost each paragraph contradicts what is said in the paragraph above it!
    I must say I am utterly disappointed. With all your theoretical knowledge you do no better than the pseudo-leftist liberal academics who go on making the same “cookie cutter” statements which are various “interpretations” of the situation according to the their favorite ‘positions’ rather than offering an accurate analysis of the situation.
    I think you ought to put aside Hegal, Zizek et al and watch the movie “Pad Man” by R. Balki. The scene where Akshay Kumar watches a million dollar pad machine and adopt the basic functions to build his own version will perhaps give you a framework to put your theoretical knowledge in to a proper perspective.

    • The right wingers know that theoretical work brings to the world more than the so called practical work. Change the former, the latter cannot remain the same. – Agon Hamza

Comments are closed.