මහාමාර්ගයේ ගමන් කරන අවිනීත රියදුරන් ගැන අවධාරණය කරමින් ආණ්ඩුව රුපියල් 25,000 ක දඩය සුජාත කරයි. මහාමාර්ගයේ ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුහුණ දෙන්නට සිදුවන ‘හිංසනය’ අප පුරුද්දකට මෙන් සූචිගත කරන්නේ රියදුරාගේ අවිනීත චර්යාව තුළය.

මහාමාර්ගයේ ඇති වන හිංසාම අප ස්ථානගත කරන්නේ රියදුරාගේ ආත්මමූලිකත්වය (Subjectivity)  තුළය. ඉන් අදහස් වන්නේ රටේ රියදුරන් බහුතරයක් අවිනීතිකය. අසංවරය. නීතියට සැලකිල්ලක් දක්වන්නේ නැත.

නමුත් තත්ත්වය අප සිතන තරම් සරලද?

පුද්ගලික බස්රථවල රියදුරන් මේ තරම් අධික ප්‍රවේගයෙන්, අන් අය ගැන නොසිතා තම රථය පදවන්නේ ඇයි? ත්‍රීරෝද රියදුරන් පාරේ වම් පැත්තෙන් ඉස්සර කරන්නේ මන්ද? තරුණයන් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන්නේ ඇයි? පුංචි කාර් විශාල ප්‍රමාණයක් පාරට පැමිණ ඇත්තේ ඇයි? මේ පුංචි ඉන්දියානු මෝටර් රථ ආරක්ෂිත ද? මෝටර් රථයක තිබිය යුතු අවම ප්‍රමිතිය මේ මෝටර් රථවලට හිමි ද? එම මෝටර් රථ ලංකාවට ගෙන ඒම අනුමත කර විශාල පගාවක් ගන්නේ කුමන දේශපාලකයන් ද?

මිනිස්සු මහපාරේදී මෙතරම් හිංසාකාරී වී ඇත්තේ “ප්‍රාග්ධනය” (Capital) නිසා යැයි අප ප්‍රකාශ කළහොත් කුමක් සිදුවේද? මිනිසුන් මහමඟදී රථවාහන අනතුරු සිදු කරන්නේ ඔවුන්ගේ අශ්ලීලකම හෝ සමාජයක එය එසේ වන්නේ ලාභය තර කර ගැනීමට මිනිසුන් අතර ඇති තරගය නිසා යැයි තේරුම් කර දෙන්නේ කෙසේද?

පුද්ගලික බස් රථ රියදුරන්ට අධික තරගකාරී ක්ෂේත්‍රයක අධික ආතතියකින් යුක්තව ක්‍රියා කිරීමට බල කෙරී ඇත. අනෙක් අතට ඒවායේ හිමිකරුවන්ට කල් බදු වාරික ගෙවීමට බල කෙරී ඇත. මුදල් රජ කරන සමාජයක මෝටර් රථයක් හිමි කෙනෙකුට ගරු කරන නිසා සෑම පවුලක්ම වාහනයක් මිලට ගැනීමට පොරකයි. එනිසා අනාරක්ෂිත පොඩි වාහනවලින් මහපාර පිරී ගොස් ඇත. මේ සියල්ල සියලු දෙනා කරන්නේ ප්‍රීතිය ලුහු බැඳීමටය. කිසිවකු කතා නොකරන්නේ කුමක්ද? පවතින සමාජ ක්‍රමයේ වාස්තවික ව්‍යුහය (Objective Structure) විසින් රියැදුරු විඥානය රුදුරු කරන බව දේශපාලකයන් අවබෝධ කර තිබේ ද? මහපාරේ හිංසනය ගැන ආත්මමූලික විචේචනයක් වෙනුවට අද අපට අවශ්‍ය වාස්තවික විවේචනයක්ය. පුද්ගලයන් ගැන විවේචනය කරනවාට වඩා අද වැදගත් “ක්‍රමය” විවේචනය කිරීමය. ඒ සඳහා අප යොමු වන්නේ කවදාද? රියදුරන් අවිනීත වන්නේ ධනවාදී ආර්ථික ව්‍යුහය නිසා යැයි අප අවබෝධ කරගන්නේ කවදා ද?

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...