සියල්ල වෙනස්වීමේ ප්‍රවාහයක ගිලි ඇත. විශ්වීය සත්‍යය වනුයේ අන් කිසිවක් නොව මිනිසා ද ඇතුළු සමස්ත ජගත් විෂය ම (entire cosmos) එම වෙනස්වීමේ ප්‍රවාහය තුළ අනවරත ව ගමන් කිරීමයි. ලෝක දැක්ම, දර්ශනය, විද්‍යාව, ආගම, තාක්ෂනය, වටිනාකම්, මනුස්සකම්, ආර්ථිකය, දේශපාලනය වෙනස් වෙමින් ඇත.
අද ඉස්මතු වන අධ්‍යාත්මික මානයන් පවා අප විසි වන සියවසේ (හෝ ඊට පෙර) දැන සිටි අධ්‍යාත්මික සද්භාවයෙන් සපුරා වෙනස් ය. ජීවන අරමුණු ද එසේම වෙනස් ය. අද අප ඉදිරියේ දිගහැරෙන ජිවන ලෝකයන් ද වෙනස් ය. සතුරන් මිතුරන් අතර වෙනස්කම් මැකී යමින් ඇති අතර රුපියල දිනෙන් දින කඩා වැටෙමින් ඇත. රුපියල වෙනුවට ඩොලරය ලංකාවට හඳුන්වා දිය හැකිදැයි යන්න සමහරුන් විහිළුවට මෙන් අසමින් ඇත. පංචවිධ කාර් සිහින පමණක් නොව තවත් බොහෝ සිහින සුන් බුන් වී ඇති අතර කරන්නේ කුමක්දැයි කිසිවෙකුට පැහැදිළි නැත. ගිළෙන නැවක අප සියල්ලෝ ම ප්‍රීතියෙන් ගමන් කරමින් ඇති අතර එක් කණ්ඩායමක් තව කණ්ඩායමක ට බනිමින් සිටින අතර ඒ කණ්ඩායම අනෙක් කණ්ඩායම ට බැණීම සඳහා හේතු සොයයි. සියල්ලෝ ම හවස හය හමාරට සියල්ල වෙනස් වනු ඇතැ යි සිතා රූපවාහිනී තිර දෙස නෙත් යොමා සිටියත් පසුදා එළි වන්නේ ද පෙරදා පරිදිම ය. සියල්ල එක තැන කැරකෙමින් ඇත. සියල්ල අධි-යථාර්ත ප්‍රවාහයක විසඳෙමින් ඇතුවා මෙන් පෙනේ. නමුත් කිසිවක් තීරණාත්මක ලෙස වෙනස් වෙන්නේ නැත. සමස්තයක් ලෙස ගත්විට යම් සංකල්පීය පසුබිමක් (conceptual background) සහිත දේශපාලනයක් මේ මොහොතේ ඇත්නම් එය අයිති වන්නේ ජනාධිපති වරයා නියෝජනය කරන පාර්ශවයට පමණක් යැයි හැඟේ*
(1). කෙසේ වුවද මීට පෙර යුගයේ අප හුරුවී සිටි මනෝ රාජිකයන් තව දුරටත් නොපවතී යන්නෙන් අදහස් වන්නේ නව ශුන්‍ය අවකාශයක් වෙත අප පිය නගිමින් ඇති බවය. පවතින්නේ වෙළඳ පොලක් පමණි. අපගේ වටිනාකම් තීරණය කරන්නේ එම වෙළඳ පොළයි. පෙම්වතා, පෙම්වතිය, බිරිඳ, ස්වාමියා, පවුල, දරුවන් යන සියල්ල සමඟ අප පවත්වා ගත යුතු සම්බන්දයේ ස්වභාවය තිරණය කරන්නේ එම වෙළඳ පොළ වටිනාකම් විසින්ය. ලිංගිකත්වය යන්න පවා එම වෙළඳ පොළ අවකාශයේ තීරණයක් බව බ්‍රෝදිලා ගේ නිරීක්ෂණ යයි. ඉතිං සතුට දුක යන මුලික මිනිස් නිමේෂයන් අපගේ ම තීරණයන් වන්නේ නැත. සංකේතීය හුවමාරුව (symbolic exchange) පශ්චාත් නුතන බවේ සමාරම්භය නම් වෙළඳ පොළ හරහා අප දිනපතා පරිභෝජනය කරන්නේ සංඥා තොගයක් පමණි. අධ්‍යාත්මික බව පවා ඉහත සංකේතීය හුවමාරුවේ නව වෙළඳ පොළ නිමේෂයන් ය. ධනවාදයෙන් රෝගී වන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර එය මේ වනවිට ඉතාම ප්‍රභල වෙළඳ පළකි. එම වෙළඳ පොළේ වැඩි ම කොටස තරඟකාරීව තම ‘ආශ්‍රමය’ (පන්සල් නොවේ) වෙත මිලදී ගැනීම සඳහා අද දවස වනවිට ලංකාව තුළ රහත් බව පවා තම අහම ප්‍රවර්ධනය (promotion of the ego) වෙනුවෙන් විකුණා දමයි* (2).   

හිටපු ස්පයිස් ගර්ල්ස් (Spice Girls) ගායිකා කණ්ඩායමේ මෙල් බි. නම් ගායිකාවගේ රූපයක් රැගත් පහත දැක්වෙන චායාරූපය (1) යනු අප ට පරිභෝජනය සඳහා තබා ඇති පසු නුතන මනුෂ්‍ය සම්බන්දතාවයක ආකෘතියක් ය (එක්කෝ එය සත්‍යයක් නොවේය. නැත්නම් සත්‍යයක ට වඩා වැඩි දෙයකී). එය අර්බුදයට පත් බටහිර මනුෂ්‍ය සම්බන්දතාවයක සඥාවකි. අර්බුදය උත්කෘෂ්ට කරනු ලබන්නේ ඔවුන්ගේ වෙළඳ පොළ ය. සත්තකින්ම එය මනුෂ්‍ය ද නැත්ද යන්න ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවේ. වැදගත් වන්නේ එය ලාභ දයක ද නැත්ද යන්න ය. නමුත් ඔවුන් එම සඥා හරහා අපට ප්‍රක්ෂේපනය කරන්නේ ඔවුන්ගේ ම ශිෂ්ටාචාරයේ ගැටළුවයි. නමුත් දැන් දැන් පැහැදිලි වන ආකාරයට ඔවුන්ටමත් ඔවුන් ගොඩනැගූ ‘තාර්කික වෙළඳ පොළ’ ක්‍රමයේ සමස්ත අමානුෂික ගැටළුව අවබෝධ වෙමින් පවතී. සමාජවාදය හෝ ධනවාදය යන්න පවා මෙම ශිෂ්ටාචාර ගැටළුවේ ප්‍රක්ෂේපනයන්ය. හේතුව කුමක් වුව ද එම ක්‍රම දෙකට ම තරඟකාරී ලෙස මිණිමැරීම කිසිදා ගැටළුවක් වුවේ නැත. එම ශිෂ්ටාචාර යනු ‘හේතුව’ මත පදනම් වූ ඒවා ය. හේතුවේ සමස්තයෙන් පිටමං කරන සතුරු අනේකත්වයක් ඔවුන්ට අවශ්‍යයෙන්ම ඇත. හේතුවට හසු නොවන්නේ නම් එම අනේකත්වය නිශේධනය කරනු ලැබේ. නැත්නම් සමස්තයෙන් බහිස්කරණය කරනු ලැබේ (නලින් ගේ නාථ දෙවියන් හෝ කළු කුමාරයා පිළිබද කතා දෙස බලන්න). තමා මෙන්ම ‘විද්‍යාත්මකව’ නොසිතන්නේ නම් ‘මිනිසුන් නොවේ’ (පහත් ජීවින් කොටසක්) යැයි හංවඩු ගසා අවසානයේ මරා දමනු ලබයි. බහිස්කරණය තුලදී මිනිසුන් නොවන ‘පහත්’ ජීවින් (බල්ලන්, බළලුන්, කැරපොත්තන්) මරා දැමීම එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ (නමුත් පෙරදිග, විශේෂයෙන් බුදු දහම තුළ, එවන් සතෙක් මැරීම පවා කර්ම ක්‍රියාවකි). එසේනම් ප්‍රගතිය, නුතනත්වය, විද්‍යාව, හේතුව මෙන්ම තවත් බොහෝ දේ ගැන නැවත සිතිය යුතුව ඇත. අප සමස්තය තුළින් බහිස්කරණය කරන්නේ කුමක්ද (පෙරදිග, ගෝත්‍රික, ගුප්ත, ෆැන්ටස්මික, සම ලිංගිකයින්, නුගතුන්, ස්ත්‍රීන් හෝ දෙමළ මුස්ලිම් වාර්ගික කොටස්) යන්න මත පදනම් වන ව්‍යුහයක් තව දුරටත් නුතනත්වය ලෙස ගැනීමට ඉතිහාසයේ පාඩම් තුළින් අප පෙළඹෙන්නේ නැත. විසි වන සියවසේ සිදුවූ අත් වැරදීම් ඒ ලෙසම නැවත සිදුවන්නේ නම් අප දේශපාලනය කිරීමේ තේරුම කුමක්ද? නලින් ලා කරපු වරද ම නැවත ද සිදු කරන්නේ නම් ඉදින් අපගේ දේශපාලනය තේරුමක් නැත. කවුරුන් කෙසේ කුමක් සිතුවද ‘වෙනස බහිස්කරණය’ වෙනුවට ‘වෙනස අන්තර්කරණය’ කෙරෙහි න්‍යායාත්මක වන මේ නිමේෂය වනාහී අප පක්ෂයක් ලෙස දේශපාලනිකව ගමන් කළ උසස් ම අවධිය වනු ඇත.  (අපට සිනහ වන අයගෙන් අප ඉගෙන ගන්නා පාඩම එයයි). එතැනදී අප ඉගෙන ගන්නේ හබමාස් ගෙන් ද, ස්පිවැක් ගෙන් ද, ජිජැක් ගෙන් ද, සද්ගුරු ගෙන් ද යන්න එතරම් වැදගත් නොවේ යැයි සිතමු. ධනවාදී වෙළඳ පොළ තුල මේ සියල්ල මෙසේ සිදු වෙද්දී මනුෂ්‍ය සවිඥාණය සම්බන්දයෙන් මිනිසාට කළ හැක්කේ කුමක්ද යන්න විමසා බැලීම වෙනුවෙන් මෑතක ලිවූ ළිපි මාලාවේ ම තවත් එක් ලිපියක් ලෙස මෙම ලිපිය සැලකිය හැකිය.       

“වෙළඳ පොළ විසින් මනුෂ්‍ය සවිඥාණය වෙනස් කිරීමේ ලෝකය අවසන් කර මනුෂ්‍ය සවිඥාණය විසින් වෙළඳ පොළ වෙනස් කිරීමේ ක්‍රම වේදයක් අප සොයා ගත යුතුව ඇත”  (සත්ගුරු ජගී වාසුදේව්)                 

චායාරූපය (1) ප්‍රීතිමත් ශරීර දෙකක් ලෙස ගෝලීය මාධ්‍ය ඔස්සේ බාහිර ට ප්‍රක්ෂේපණය වන මිනිසුන් දෙදෙනෙක් පිටුපස ඇති කතාව කුමක් විය හැකිද? අපගේ දැක්ම (gaze) වෙනුවෙන් නිෂ්පාදනය කරන මෙම රූපරාමු වල ප්‍රීතිමත් බව ඇත්තට ම බටහිර අත් විඳින්නේ නම් මෙතරම් ඔවුන් සියදිවි හානි කර ගන්නේ ඇයි? පොඩ්ඩක් එහා මෙහා වනවිට තුවක්කුවක් රැගෙන පාසල් පංති කාමර කුඩුවෙන තුරු වෙඩි තියන්නේ ඇයි? මෙතරම් මිනිසුන් පිරිසක් සංකාවෙන් සහ ආතතියෙන් පීඩා විදින්නේ ඇයි? මේ වනාහී මනුෂ්‍යත්වයේ උතුම් පැවැත්මක් ද? නැත්නම් උමතුවක් ද?    

අනූව දශකය මුල හරියේ අප එවකට ඉතා ජනප්‍රිය වූ ස්පයිස් ගර්ල්ස් නම් බ්‍රිතාන්‍ය ගායිකා කණ්ඩායමට සවන් දුන්නේ යම් සංශය බවකින් යුතුව ය. හුදු ෆැන්ටසි ගොඩනැගීමක ට වඩා ඔබ්බට නොගිය ඔවුන්ගේ ගායනා සිත්කළු වුවද ඇතුලාන්තයේ තිබුණේ ශුන්‍ය බවක් පමණ ය. වික්ටෝරියා මෙන්ම මෙල් බි. අපට හුරුවුවේ ඉහත ගීත හරහා ය. ජනප්‍රිය තාවයේ හිණි පෙත්තටම නැගි මෙල් ගේ අද වනවිට ජීවිතය ගැන හෙළිදරව් වන දේ යනු ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ ඇති ගැඹුරු ශුන්‍යතාවය පිළිබද මනා කැඩපතකි. ඇයගේ කාමරයේ ගොඩ ගසා ඇත්තේ මිළ අධික මත්පැන් බෝතල පමණි. ඩොලරස් රියෝඩන් මෙන්ම මෙල් ද තෝරාගෙන ඇත්තේ මිය යාමයි. එයට පතුලක් නැත. සවිඥාණයෙන් ඇයට දැන් වැඩක් නැත. සිහිය විකල් වනතුරු මත්පැන් පානය කිරීමෙන් පසු තමන් ලිංගිකව හැසිරෙන්නේ කොහේදැයි කෙසේදැයි ඇයට මතක නැත. තමා අබියස ඉන්නේ දරුවන් ද වෙනත් කවුරුන්ද යන්න ගැන ඇයට තැකීමක් නැත. අනෙක් සෑම අයෙක් මෙන්ම ඇය ද සොයා ගියේ තම ජිවිතයේ සතුටයි. තම වෘත්තියේ සාර්ථක බව අත්පත් කර ගත්ත ද ඇය සොයාගිය සතුට එම සතුට සොයාගිය ආකෘතිය තුළ ඇයට ලැබුණේ නැත (ඒ වෙනුවෙන් දැන් ඇය පවත්නා ශිෂ්ට සීමා ඉරි උල්ලංඝනය කරමින් සිටි. එය දැන් ඩේලි මේල් වෙබ් අඩවියට දිනපතා මාකට් එකකි. නමුත් ඔවුන් විසින්ම ගොඩනැගූ ශිෂ්ටාචාරයේ ගැටළුව ඔවුන් ප්‍රශ්න කරන්නේ නැත). අන් සෑම කෙනෙකුට මෙන්ම ඇයට ද නොලැබුණේ සතුට නම් විශ්වීය අනන්‍යතාවය යි (cosmic identity). තමා නොසතුටින් නිසා තමා අවට මුළු ලෝකයම ඇය නොසතුටේ උල්පත් බවට පත් කරයි (ප්‍රීතිමත් නොවන කෙනෙක් තමා අවට ලෝකය ප්‍රීතිමත් කරන්නේ කෙසේද?). දරුවන් ට තම මවගේ දිනපතා ජීවිතය අපායක් ලෙස පෙනෙනු ඇත. ඉහත අපේක්ෂා භංග වීම තුළ දැන් ඇයට අවශ්‍ය මිය යාමට මිස වගකීමෙන් ජිවත් වීමට නොවේ. මේ බටහිරින් අපට දිනපතා ඩේලි මේල් ගෙන එන ‘අපේක්ෂා භංග සඥාවයි’. නමුත් ඔවුන් එම ජීවිත තොරොම්බල් කරන්නේ මෙන්න අපේ දියුණු ජීවිතය යනුවෙනි. ජනප්‍රියත්වයේ ගිණි කණා වැටුණ මාවතේ ගමන් කිරීම තෝරාගත් බොහෝ අයට සිදු වන්නේ තරුණ වියේදී ම සියදිවි නසා ගැනීමට ය. එය පවා මෝස්‌තරයකි. මිය යාම පවා වෙළඳ පොළකි. ඇයගේ ශරීරයේ ප්‍රභාව නැති වෙමින් යන විට සහ මිළ මුදල් නැති වෙන විට ඉතිරි සියල්ලෝ ම ඇය හැර යනු ඇත. මුලින් ම ඇයව අමතක කරන්නේ ඩේලි මේල් එකය. මේ දැන් අප අත්දකින ‘නුතනත්වයයි’ (ඉදින් මෙම අමානුෂික බවට නුතනත්වය කියන්නේ කෙසේද යන්න නොතේරේ).  

 
 

ඉතිහාසය ඔස්සේ නැවත ගමන් කරමින් පෙරදිග මුහුණුවරක් අප දේශපාලන විචාරයට ආරෝපණය කරන්නේ නම් යමෙකුට එකවරම අප පශ්චාත් නුතනවාදීන් ලෙස හංවඩු ගැසිය හැකිය. සාර්වත්‍රික බව (universalism) ප්‍රතික්ෂේප කරන්නෙකු අයිති වන්නේ පශ්චාත් නුතන කුලකයට ය. නුතන ප්‍රගතිය (progress) ප්‍රතික්ෂේප කිරීම ද පශ්චාත් නුතන විලාසිතාවකි. ඉහත කරුණු දෙකම අප කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. එසේ කිරීමට හේතුවක් ද නැත. නමුත් මෙතැනදී අපට බටහිර අරුතින් වැදගත් වන්නේ නව මානව වාදයේ ඉස්මතු වීමයි. එහි පුරෝගාමියා වන්නේ යර්ගන් හබමාස් ය. සිදුවෙමින් පවතින්නේ නව සබුද්ධික වාදයක ඉස්මතු වීමයි. ලෝක යුද්ධ දෙකකට සහ වියට්නාම් යුද්ධයට පසු ලෝකය තුළ පශ්චාත් නුතනවාදය ඉස්මතු වන්නේ ඉහත ප්‍රපංචයන්ගේ අපේක්ෂා භංග බව විසින් ය. මනුෂ්‍යත්වයට සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පසුගිය දශක පහක් තිස්සේ කතාබහට ලක්වූ ප්‍රධාන ම ප්‍රශ්නය විය. ෆ්‍රෑන්ක්පර්ට් ගුරුකුලය සිය සමස්ථ ජිවිත කාලය ගත කලේ මෙම ප්‍රශ්නය වරනැගීම සඳහාය. නමුත් බටහිර නුතන බව ගමන් කරමින් සිටින්නේ ද නුතන මානව වාදයේ ම අර්බුදයක් දෙසටය. ප්‍රගතිය නොව විනාශය හඹා යන පශ්චාත් නුතන දිශාවක ට ය. ඉහත ස්පයිස් ගර්ල්ස් උදාහරණය දෙස බලන්න. මෙල් බි. ගත කරන්නේ කාන්ටියානු අරුතකින් ගත හොත් ආදර්ශමත් චරිතයක් නොවේ. ඇය දෙස බලා අපට දරුවන්ට මේ වනාහි නුතන ජිවිතයක් යැයි පෙන්වා දිය නොහැකිය. ඩොනල්ඩ් ට්‍රුම්ප් දෙස බලා අපට කිව හැක්කේ කුමක්ද? උත්කෘෂ්ට මිනිසුන් නිර්මාණය කර ගැනීමට නොහැකි වීම නුතන දේශපාලනයේ ක්‍රියාත්මක මාධ්‍ය දෙක වූ ලිබරල්වාදය සහ මාක්ස්වාදයේ පරිණාමීය නොහැකියාව වේ. ඉහත ක්‍රම දෙකෙන්ම නිර්මාණය කලේ මනුෂ්‍යයින් නොවේ. කොතැනක හෝ ගැටළුවක් ඇති බව අපට පැහැදිළි විය යුතුය. මෙය X දේශපාලනයේ සත්‍ය පරාජය ද වේ (ෆ්‍රෑන්ක්ෆර්ට් ව්‍යාපෘතියෙන් හබමාස් ලා බිහිවන විට අපට සිදුවුවේ කුමක්ද? අපගේ ව්‍යාපෘතියෙන් නිපදවූ උත්කෘෂ්ට මිනිසා කවරෙක් ද? දීප්ති සොයුරා විසින් ගොඩ නැගීමට උත්සාහ කළ පරමාදර්ශ විනාශ කර දැමුවෝ කවරහුද? අවසානයේ එම ව්‍යාපෘතිය අවසන් වුවේ මෙල් බි ලා නිෂ්පාදනය කිරීමෙන් නම් කොතැනක හෝ අධ්‍යාත්මික ගැටළුවක් ඇතුවා නොවේද? අවසන් භාගයේ අපගේ සංවිධානය දැනුම් විරෝධයක් කරා ගමන් කරන්නේ ඉහත දැනුමේ උපාදාන සහ පොරත්ව (අහම) ගැටළුව නිසා නොවේද?). දුයිෂෙන් නුතනවාදී වනවිට මෙල් බි. යනු කවුද යන ගැටළුවට අප විසඳුම් සෙවිය යුතුය. මෙල් බි යන්න පසෙක දැමුවත් බටහිර ලෝකයේ බහුතරයක් ඉහත විපරීත බව දරා සිටියි. විජිතකරණය වූ ලංකාව වැනි දුපතක පවා අද තත්වය මෙල් බි. ගෙන් වෙනස් නැත. විශේෂයෙන් මිනිසුන් දේශපාලනය පාවිච්චි කරන්නේ තම අනන්‍ය තාවය ඉස්මතු කර ගැනීමට නම් එහිදී ගැටළුව අප පුද්ගලික අවකාශය විසඳා ගත යුතුව ඇත (පුද්ගල අධ්‍යාත්මික බව ඔප් නැංවීම). ‘නව දැනුම’ සමග අධි-අනන්‍යවීම නිසා දේශපාලනය කිරීම වෙනුවට කිසිවක් සමග අනන්‍ය නොවන්නෙක් (විශ්වීය සටන් කරුවෙක්) අපට නිෂ්පාදන කල හැකි වේද? එවැන්නෙක් යනු හුදු හිතළුවක් පමණක් ද?  

සාමාන්‍යයෙන් දැන් දැන් අපට ඇසෙන දෙය නම් දේශපාලනය කිරීමට අවශ්‍ය වන්නේ උසස් සදාචාරවත් මිනිසුන් නොව සාමාන්‍ය මිනිසුන් යන්නය. ලෝකය මේ තරම් අවුල් වුවේ එවන් සාමන්‍ය ලෞකික මිනිසුන් ලොකු පුටු වලට ගොස් පිස්සු නැටීම නිසාය (‘හිට්ලර්‘ චිත්‍රපටය බලන්න). සත්ගුරු කියන්නේ ලෝකයේ නායකයින් තම යෝගී ආශ්‍රමය වෙත දවස් පහක් පැමිණිය හොත් ලෝකය දෙස ඔවුන් බලන ආකාරය වෙනස් කරන බවයි. මෙයින් අදහස් කරන්නේ ගැඹුරු චින්තන ක්‍රියාවක දී ලෞකික සාමාන්‍ය බව අප ඉක්මවා යා යුතු බවයි. නමුත් X දේශපාලනය පිරී ඉතිරී ගියේ ‘සාමාන්‍ය’ (just ordinary) පුද්ගලයන් ගෙනි. ඔවුන්ගේ පරමාදර්ශය වුවේ ‘සාමාන්‍ය’ විදියට ජිවත් වීමයි (සාමාන්‍ය පවුල් ජිවිතයක් ගත කිරීම, සාමාන්‍ය විහිළු තහළු කිරීම). සාමාන්‍ය මිනිසුන් ලෙස වැඩකරනු වෙනුවට විසි වන සියවසේ කුමන ආර්ථික ක්‍රමයක දී වුව මිනිස් සවිඥාණය උසස් තත්වයක පැවති මිණිසුන් සිටියේ වී නම් බොහෝ දේ අපට වලක්වා ගත හැකිව තිබිණි (තමා මෙන්ම වූ තවත් මිනිසෙක් මරන්නේ කෙසේද යන ගැටළුව තමා තුලින් ම මතු වුවෙක් සිටියේ වී නම් යන්න මෙහි අර්ථයයි). හිට්ලර් තමන්ගේ ජර්මන් ජාතිකත්වය සමග අධි-අනන්‍ය වූ අතර ස්ටාලින් සමාජවාදී රුසියාව සමග අධි-අනන්‍ය විය. මාවෝ චීන සමාජවාදය උපාදානයක් කර ගත්තේය. හැමෝට ම තමන් ට වඩා දෙයක් වීමට අවශ්‍ය විය. ඉතිහාසය විසින් තමන්ට දුන් කාර්යය ට වඩා නාට්‍යයක් රඟ දැක්වීම ට ඔවුන්ට අවශ්‍ය විය. එය ඔවුන්ගේ අනන්‍යතාවය විය. තමන් විශ්වාස කල දෙය ම විශ්වාස නොකලවුන්ගේ මිනිස් ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට ඔවුන්ට සිදුවිය. නළු නිළියන් තම වෘත්තීය විසින් ඉල්ලා සිටින දෙයට වඩා දෙයක් වීමට උත්සාහ කරයි (more than yourself. සාමාන්‍ය උපදෙස වනුයේ තමාට වඩා වැඩි දෙයක් වන්න යන්න ය). එයින් යම් ලෞකික සාර්ථක තත්වයන් උදාකර ගැනීමට ඔවුන් සමත් වුවද ඔවුන් විශ්විය රංගනය තුළ සාර්ථක වී ඇත්ද? ඔවුන්ගේ රිදී තිරයේ රංගනය තුල නිමේෂයක සතුටක් අපට ගෙන දීමට ඔවුන්ට හැකිවිය. නමුත් ඔවුන්ගේ විශ්වීය පැවැත්ම ඔස්සේ ඔවුන් අපට ශේෂ කර ඇත්තේ කුමක්ද? ලොව විශිෂ්ට නළු නිළියන් තම ශක්තියේ සීමාව ඉක්මවා ගොස් සාර්ථක බව අත්කර ගෙන ඇති මුත් ඔවුන්ගේ ජිවිත තනිකර විනාශයෙන් අවසන් වී ඇත. එයට හේතුව නම් ඔවුන් මිනිස් පැවැත්මේ එක උපනතියක් පමණක් ස්පර්ශ කිරීමය. නමුත් මිනිස් පැවැත්ම යනු වෘත්තීය සාර්ථක බව පමණක් නොවේය. අප දේශපාලනය කලත් අප දේශපාලනයෙන් රෝගී විය යුතු නැත. දේශපාලනයට අප රෝගී කිරීමට ඉඩ දිය යුතු නැත. අප එතරම් අධ්‍යාත්මිකව දුප්පත් විය යුතු නැත. ජිවිතයට ඇත්තේ එක් මානයක් පමණක් නොවේ. එයට මානයන් ගණනාවක් ඇත. එක විශ්වාසයක් (මාක්ස්වාදය) පමණක් අප ජිවිත කාලය තුළ වැළඳ ගත යුතුද? විද්‍යාව පමණක් අපගේ ජීවිතය අර්ථවත් කළ යුතුද? වෙනත් විශ්වාසයක් විසින් අපගේ ජීවිතය අර්ථවත් කරන්නේ නම් මිනිසාට තම කුඩා ජිවිත කාලය තුළ වෙනත් ජිවන මානයක් (dimensions of life) අත්හදා බැලීමට අයිතියක් නැතිද? ස්ටෙප් තණ බිමේ හිස් තැනි තලාව මතුයෙහි අපට ඔහේ සිනා සෙමින් දිව යාමට ඇති බාධාව කුමක්ද? අප දෙස කිසිවෙක් බලා නොසිටින බව තරයෙහි සිතට ගන්න. මනුෂ්‍යත්වයේ තර්කයට හසු නොවන මානයේ අහේතුව තුළ නාථ දෙවියන් සිටිය හැකිය. විෂ්ණු දෙවියන් ද  සිටිය හැක. හෝටන් තැන්න තිබිය හැකිය. හිමාලය තිබිය හැකිය. ලාස් වේගාස් තිබිය හැක. ශුන්‍ය නිමේෂයන් තිබිය හැකිය. අර්ථයක් නැති දේ තිබිය හැක. තෙරක් පරක් නැති ස්වභාව ධර්මය තිබිය හැක. සමස්ත ජීවිතය තුළ මේ සියල්ල ම අර්ථවත් විය හැකිය. ගැඹුරු හේතු වාදියෙක් තුළ පවා අහේතුක මිත්‍යාමතික (mystery) බවක් තිබිය හැක. ඇතැම් විට හේතුවාදියෙකු ට වඩා සතුටින් අධ්‍යාත්මික වාදියෙක් මිය යනු ඇත. එවැන්නෙක් නිර්භය ව මරණය වැළඳ ගනු ඇත. හැම දෙයක් ම හේතුවාදී ලෙස තර්කණය ට ලක් කරන බැරෑරුම් මුහුණක් ආරුඪ කරගෙන සිටින ගාමිණී වියන්ගොඩ මහතා ගැන මොහොතක් සිතන්න! කිසිදා සිනහවක් නැති ඔහුගේ මුහුණ කොතරම් දුක්බර ද? විශ්වීය පැවැත්මක ගැඹුරු ප්‍රීතිමත් භාවයක් දරා නොසිටින ඔහුගේ මුහුණ පිළිකුල් භාවනාවක කමටහනක ට මැනවි…  

චායාරූපය (2) මේ තැනිතලාව යනු ඔබ තරණය කරන තවත් එක් අභියෝගයක් නොවේ. එම කන්ද යනු ඔබේ අහමේ විශාල බව පෙන්වීමේ අනේකත්වයක් නොවේ. සාමාන්‍යයෙන් වික්‍රම පුහුණු කඳවුරු වල (adventure camps) උගන්වන්නේ එසේ ස්වභාව ධර්මයේ අභියෝග ජය ගන්නා ලෙසයි. නමුත් පෙරදිග අධ්‍යාත්ම වේදයේ උගන්වන්නේ ඔබ එහෙම ම සිටිමින් මේ කන්ද ආශ්වාස කරන ලෙසයි. ‘කන්ද බවට පත්වන්න’ යනු පෙරදිග ඉගැන්වීමයි. පැය ගණනක් එසේම සිටිමින් ඔබ කන්ද සමග තම පැවැත්ම සමාන්තරකරණය කිරීම යනු ඔබ යම් අන්තරීක්ෂ අනන්‍යතාවයක් (cosmic identity) වෙත ළඟා වීමේ පළමු පියවරයි.   
               

කුමන අයුරකින් හෝ මිනිසත් බවේ සහ පැවැත්මේ ගැඹුර කිසියම් දෙයක් විසින් ස්පර්ශ කරන්නේ නම් එය අධ්‍යාත්මික යමක් විය හැක (එය අවශ්‍යයෙන්ම ආගමක් විය යුතු නොවේ). එය මිනිසෙක් ද දෙවියෙක් ද කන්දක් ද ගලක් ද ගහක් ද යන්න ගැටළුවක් කර ගත යුතු නැත. සියල්ල මේ ලෝකය තුලින්ම ඉස්මතු වූ දේ ය. යමෙක් තමාගේ හැඟීම්, ශක්තීන්, මනස සහ ශරීරය යම් පරිණත බවක් කරා ගෙන එන්නේ නම් එය අධ්‍යාත්මික ක්‍රියාවක ප්‍රතිඵලයකි. එය ඔබේ සබුද්ධික බවේ පරිණත වීමක් ලෙස සත්ගුරු හඳුන්වයි (maturity in rationale). මෙය තමා විසින්ම කළ යුතු දෙයක් මිස දෙවියන්ට කළ හැකි දෙයක් නොවේ. විශ්වාසය ඔබගේ මනසට ඇතුළු වූ මොහොතේම ඇතුළු වන අනෙක් දෙය නම් අන්ධ භාවයයි. දෙවියන් විශ්වාස කරන්නා සහ දෙවියන් විශ්වාස නොකරන්නා යන දෙදෙනා ම ඉන්නේ එකම බෝට්ටුවේ ය. දෙදෙනා ම කරන්නේ විශ්වාස කිරීමයි (ඇති බව විශ්වාස කිරීම සහ නැති බව විශ්වාස කිරීම).  අවශ්‍ය වන්නේ සියල්ල තිබෙන හැටියට දැකීමට පුරුදු වීමයි (as it is). දේවල් වෙනස් කරනවානම් කල යුත්තේ මිනිසාගේ විශ්වීය පැවැත්ම සාධනයට ලක් කරමිනි. එය තනිකරම පුද්ගලික තේරීමක් බව සත්ගුරු පවසයි (මා පවසන නිසා ම විශ්වාස නොකරන්න යනුවෙන් බුදුන් දේශනා කළේ එබැවිණි). කිසිවෙකුට මිනිසාගේ විශ්වීය පැවැත්මට (cosmic existence) බලහත්කාර කම් කල නොහැක. මේ ‘වෙනස ට විශ්වීය ලෙස ගරු කිරීමේ’ (cosmic respect for difference) මූල ධර්මය මත ඉන්දියානු අධ්‍යාත්මික වාද බොහෝ ගණනක් පැරණි භාරතයේ එකවිට ම පැවතිණි. සියල්ලෝ ම භෞතික ලෝකයේ සීමාව අවබෝධ කරගෙන සිටි අයයි. සියල්ලෝම යම් අන්තරීක්ෂ බවක් වෙත ළඟාවීම කෙරෙහි විශ්වාස තැබූ අයයි. ඔවුන්ට දින ගණනක් නිරාහාරව සිටිය හැකිවිය. මුහුදු මට්ටමෙන් අඩි පහළොස් දහසක් පමණ ඉහළ උසක ජීවත් වුවද සීතල උණුසුම මහා වදයක් නොවිය. මහා ලොකුවට කතා කිරීමට අවශ්‍ය නොවිය. කතා කර පැවසීමට තරම් අහමක් ඔවුන්ට නොවීය. විශ්වය සමග තමා අනන්‍ය වන මොහොතේ ඇතිවන පුළුල් ආදරය පමණක් ඔවුන් අත්දකිනු ලබයි. ක්‍රිස්තියානි ලෝකයට එය දෙවියන් වන (divinity) විට පෙරදිග ලෝකයට එය ශුන්‍යතාවය බවට පත්වේ (nothingness or emptiness). එතැන රූපයක් ඇත්තේ නැත (අරූප). ශරීරයක් ඇත්තේ ද නැත. පෞරුෂයක් නොපවතින අතර සාරයක් නොපවතී. දෙවියන් නැතිවී යන අතර පැවැත්මක් ද හදුනා ගත නොහැක.  අවසාන වශයෙන් ඇත්තේ කිසිවක් නොපවතින බවය. ඉන්දියානු සහ පෙරදිග චින්තනයේ ඇති තමා සහ අනෙකා සම්බන්ද ගැඹුරු සවිඥානික බව අපට අවශ්‍යව ඇත්තේ නුතන ලෝකය තුළ අර්බුදයට ගොස් තිබෙන මිනිස් වටිනාකම් වල ගැටළුව නිසාය.               

මිනිසත් බව විනාශ කරන මූලය ඇත්තේ ධනවාදය තුළ යැයි පැවසීම අප මේ දක්වා පුරුදු වී තිබූ චින්තන ආකෘතිය යි. ධනවාදය අමානුෂික බව නොපැකිලව පිළිගන්නා නමුත් පුද්ගලයින් ලෙස අපට කළ හැකි කිසිවක් ම නැද්ද අප අපගෙන් ම විමසා සිටිය යුතු තැනකට අප දැන් පත්වී ඇත. හිට්ලර් බිහිවීම හුදු ධනේශ්වර ජාතික රාජ්‍ය තරඟකාරිත්වයකට ඌනනය කල හැකිද? යම් දෙයකට ඇත්තේ එක් හේතුවක් පමණක් (ධනවාදය) විය හැකිද? මෙම පරිහාණියට මුල තනිකර ධනවාදය ලෙස ගැනීම පුළුල් ලෙස තර්ක ගෝචර නොවේ. පුද්ගල වගකීමේ කොටසක්ද මෙහි පවතී. අප සොයන සතුට (බටහිර මනෝ විශ්ලේෂණයේ විනෝදය) කුමක්ද යන ගැටලුව මෙහිදී අප සොයා බැලිය යුතුය. නුතන සාර්ථක බව (success) යන්න අප නැවත වරනැගිය යුතුව ඇත. උදේ සිට හවස් වන තුරු ලේලන්ඩ් බස් වල නැගී මේ තරම් මාරාන්තිකව අප සොයා යන සතුට සහ සාර්ථකත්වය කුමක්ද? සියල්ල අවසානයේ අප සතුටින් ද? මෙම මාරාන්තික ඇමෙරිකානු ‘සාර්ථක බව’ හඹා යාම තේරුම් ගැනීම පිණිස බලන්න I, Tonya (2017) චිත්‍රපටය. මෙම තේමාව තුල The Great Gatsby (2013) පවා සපයන්නේ හොඳ උදාහරණයකි. මෙල් බී., මැඩෝනා, ප්‍රින්ස්, මයිකල් ජැක්සන්, රියෝඩන් යන සැවොම අයිති වන්නේ ද මෙම සාර්ථක බවේ ලෝකයට ය. ද්‍රව්‍යමය ලෝකයේ සාර්ථක වන ඔවුන් කොතරම් මානසික ලෙස කඩා වැටෙන්නේද යන්න අප මෙහිදී සැලකිල්ලට ලක් කල යුතුය. අහම කොතරම් හඹා යෑම තුළ සාර්ථක වුවත් ඔවුන් කිසිවෙක් සමබර මානසික අවකාශයක ජිවත් වන්නේ නැත. ගැට්ස්බි ඩේසි නම් ආශා වස්තුව සමග අධි අනන්‍ය වන විට ටෝන්යා සාර්ථක හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකාවක් වීමේ ආශාවෙන් (මවගේ බලපෑම) ඔත්පළ වේ. සියල්ලෝම අධි අනන්‍යවීම නම් උපාදාන තත්වයේ රෝගීන් වේ. ජිවිතයේ ශුන්‍යතාවය මඟ හරිනු වස් ඔවුන් බොහෝ දේ කරයි. මුදල්, තනතුරු, විවාහ, විශාල මන්දිර, සුපිරි යාන වාහන, විශාල සම්භාෂණ, සොර අඹුවන්, ගණිකාවන් යන සියල්ල ම ඔස්සේ කරනු ලබන්නේ මෙම ශුන්‍යතාවය වෙනුවට අර්ථවත් බව ජීවිතයට රැගෙන එන්නේ කෙසේද යන ප්‍රස්තුතයට පිළිතුරු සෙවීමයි. උදාහරණ වශයෙන් ගැට්ස්බි ගේ විශාල මන්දිරය සහ එහි ඇති සම්භාෂණ විසින් ඔහුගේ ජීවිතය අර්ථවත් කරන්නේ නැත. ඔහුට අවශ්‍ය එක් කාලයක තමා ආදරය කළ තරුණියයි (ඩේසි). නමුත් දැන් ඇය වෙනකෙක් සතු බව (බුර්ෂුවා අරුතින්) තේරුම් ගැනීමට ඔහුගේ උපාදානය ඉඩ නොදෙයි. ඔහුගේ සමස්ත පැවැත්ම ම ඇය බවට පත්වි හමාර ය. ආශාව සමඟ පරතරයක් නැත. එම ආශාව ඔස්සේ ඔහු මරණය කරා යයි. සත්‍ය ආදරය මතු වන්නේ එම මරණය කරා ම ගමන් කිරීම තුළින් බව ජිජැකියානු ඉගැන්වීම යි. ඇද වැටීම යනු එයයි (එය සත්ගුරු පවා පිළිගන්නා නමුත් පෙරදිග අරුතින් අධ්‍යාත්මික නිෂ්ටාවක් ලෙස ගත්විට පුර්ණ ඇද වැටීම තුළ ඇති අන්ධ බව ගැට්ස්බි හට දැන් පවතින තත්වය ඒ සැටියෙන් ම තේරුම් ගැනීමට නොහැකි බාධාවක් බවට පත්වේ). ගැට්ස්බි සහ ඩේසි ගේ මුල් කාලීන ආදරයේ සමීප බව කොතෙක් වුවත් ඩේසි ගේ දැන් පවතින තත්වය වෙනස් ය. ඇය දැන් විවාහක ගැහැණියකි. එය කොතෙක් නික් විසින් තේරුම් කිරීමට උත්සාහ කල ද ගැට්ස්බි විසින් තේරුම් නොගනී. බටහිර ‘හේතුව’ යන්න එතැනදී අසමත් වේ.     
        
මෙවැනිම ඇද වැටීමේ අන්ධ භාවයේ ප්‍රපංචයක් රැගත් චිත්‍රපටයක් නම් 2018 වසරේ තිරගත වූ Unsane ය.  සම්පූර්ණයෙන්ම අයි ෆෝන් සෙවන් මොබයිල් (iPhone 7) දුරකතනයක් ඔස්සේ රූපගත කරන ලද චිත්‍රපටයක් වූ මෙය සෝයර් වැලන්ටිනි නම් තරුණියක් වටා ගෙතුන කතාවකි. I, Tonya චිත්‍රපටයේ මෙන්ම පියා සම්බන්ද රූපකය මෙහිදී ද නොපැහැදිලිය. ඩේවිඩ් නම් මිනිසෙකු සෝයර් පසුපසින් පැමිණෙන අතර ඇය ඔහුගෙන් ගැලවීමට උත්සාහ කරයි. පියාගේ ආරක්ෂාව මෙතැනදී ඇයට ජීවිතය තුළ නොමැත. පිරිමි හඹා යාමේ ගොදුරක් (victim) වන ඇය මේ ඔස්සේ මානසික සමතුලිත බව අහිමි කරගන්නා අතර පසුව ඇය මානසික රෝහලක ප්‍රතිකාර සඳහා යොමුවේ. ඒ ඔස්සේ නැවතත් ඩේවිඩ් ගේ ආශා ව්‍යුහය තුලට ඇය නොදැනීම ඇතුළු වේ. රෝහල් පවා දුෂිත ව්‍යුහයක ඇති අතර ඩේවිඩ් ට එම දුෂිත ව්‍යුහය තමාගේ වාසියට හරවා ගැනීමට හැකිවේ. අවසානයේ එම ව්‍යුහයෙන් නිදහස් වීමට ඩේවිඩ් ගේ අහම (පුරුෂ) තුවාල කිරීම ට පමණක් නොව ඔහුව මරා දැමීමට පවා ඇයට සිදුවේ. නමුත් යථාර්තය තුල ම මායා රූප පෙනීම (hallucinations) වැලැක්වීම ට ඇයට ඉන් පසුව පවා හැකිවන්නේ නැත. ඇය තමාට අකමැති බව දැන දැනත් ඩේවිඩ් ට තම ආශාව පාලනය කර ගත නොහැක. ගැට්ස්බි මෙන්ම අවසානයේ ජිජැකියානු මරණයක් වෙත ඔහු ගමන් කරයි. පවත්නා සැබෑ තත්වය (as it is) ඔහුට තේරුම් ගැනීමට ඔහුගේ ආශා අන්ධ භාවය ඉඩ දෙන්නේ නැත (obsession නැත්නම් ග්‍රස්තිය යනුවෙන් හදුන්වන තත්වය). ෂෝපන්හවරියානු (මෙන්ම කාන්ටියානු) ජිවිතයට ආශා කිරීම (will to life) අවසන් වන්නේ තමාගේ සහ අනෙකාගේ මරණය ළඟා කර ගැනීම ඔස්සේ ය. ගැට්ස්බි, ඩේසි වගේම ඩේවිඩ් මෙන්ම සෝයර් ගේ ජීවිත දෙස බැලුව ද ජිවිතය සඳහා ආශා කරන සෑම මොහොතක් ම අතෘප්තියේ මොහොතක් බවට පත්වේ (නිෂිටනි 1990: 14). මිනිසුන් ලෙස එසේනම් අපගේ සවිඥාණික බව සහ පැවැත්මේ ගැඹුර සම්බන්දයෙන් අප කුමක් හෝ කල යුතුව ඇත. අපගේ ආශාව යනු තව කෙනෙකුගේ (සහ තමාගේ ම) මරණය නම් එවිට එය ගැඹුරු පැවැත්මේ ගැටළුවකි. ඒ සඳහා නැවත වරක් නව මිනිස් අධ්‍යයනයක් අවශ්‍ය ව ඇත. නැත්නම් අපට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉතුරු වන්නේ දුෂිත මානසික රෝහල් පමණක් වනු ඇත. ඒ නව මිනිස් සවිඥාණිකත්වය සඳහා අවශ්‍ය න්‍යායික මුලයන් ඇත්තේ පෙරදිග බව අපගේ වැටහීමයි (පෙරදිග යනු අපගේ උපාදානයක් හෝ ග්‍රස්තියක් නොවේ). ඔබ සොලවා දැමීමට එය සමත් වන බව සත්‍ය වුවත් පෙරදිග සුළඟ ට බිය නොවන්න යන්න අපගේ දැනුම් දීමයි.   

Mahesh Hapugoda
———————
සටහන් 
* (1) මෙවන් ප්‍රකාශයක් කිරීමට හේතුව නම් කිසිවකුට කඩේ යාමට ඇති අවශ්‍යතාවයක් නොව ජනාධිපති වරයා විසින් අනුගමනය කිරීමට උත්සාහ කරන දේශීය සහ ග්‍රාමීය පසුබිම නුතනකරණය කිරීමට දරන ප්‍රයත්නයේ ඇති තාර්කික බව පෙන්වා දීමට ඇති අවශ්‍යතාවය යි. විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය සහ ගොවිතැන මුල් කරගත් දේශීය ඥානය (indigenous knowledge) නුතනත්වයට ගෙන ඒම සහ පරිසරයට ඇති හිතවත් බව තිරසාර සංවර්ධනයේ මුලයක් ලෙස හඳුනා ගත හැකිය. එම විකල්ප සංවර්ධන මාවත (දැවැන්ත නිෂ්පාදනය වෙනුවට) මේ මොහොතේ ඉස්මතුව ඇති ප්‍රධාන සංවර්ධන ධාරාවේ ගැටළු ගණනාවකට (පරිසර, සෞඛ්‍ය,  සමාජ, සංස්කෘතික, ආර්ථික) විසඳුම් සපයනු ඇත (අවම වශයෙන් විනාශය අවම කරනු ඇත). එය වැදගත් සංකල්පීය (සද්භාවී) එළඹුමක් ලෙස හැදින්වුයේ එබැවිණි. මා සිතන හැටියට මෙම ප්‍රවේශය අප සැවොම අගය කළ යුතු අතර තවත් සැඟවුණු දේශීය ඥාණ ගවේෂණයන් තව තවත් කළ යුතුය. මෙයින් නුතන බටහිර ප්‍රවේශය සම්පුර්ණයෙන් ප්‍රතික්‍ෂේප කිරීමක් සිදු නොවේ. සිදුවන්නේ නුතනත්වයේ යම් යම් සිරගත භාවයන් ගෙන් (deadlock) මිදීමට දේශීය ඥාණය යොදා ගැනීමයි. උදාහරණ වශයෙන් එල්ලංගා දේශීය ගොවි ජාලකය (network) වඩාත් කාර්යක්ෂම සහ පුරෝකතන අනුස්ථාපණිය ක්‍රම වේදයක් කර ගැනීමට අවශ්‍ය නම් තොරතුරු තාක්ෂණ ප්‍රවේශයක් හඳුන්වා දිය හැකිය (ජාලකයක් බැවින් මෙය කිරීම පහසුය). නව කාලගුණික තත්වයන් මත වාර්ෂික වර්ෂාපතනය (annual rainfall) වෙනස් වන බැවින් එයට සාපේක්ෂව කොතරම් කුඹුරු ප්‍රමාණයක් වගා කළ යුතුද යන්න සහ තවත් දේ එවන් ගණිතමය – සංඛ්‍යානමය තාක්ෂණ ප්‍රවේශයක් ඔස්සේ පුරෝකතනය කළ හැක. කොතරම් මි ගස් සංඛ්‍යාවක් කුඹුරු දෙපස සිටුවිය යුතුද වැනි තොරතුරු මේ ඔස්සේ දැනගත හැකිය. එමෙන්ම තවත් බොහෝ දේ පිලිබදව ගොවීන් මේ ඔස්සේ දැනුවත් කළ හැක. එවිට එවන් එල්ලංගා තොරතුරු තාක්ෂණ ජාලයක් (Ellanga Information Technology Network) නිෂ්පාදනය කිරීම යනු නුතනත්වය වෙත අප ගමන් කරන්නාවූ විකල්ප ප්‍රවේශයක් වනු ඇත. මේ යුගයේ විශිෂ්ටම දාර්ශනිකයෙක් වූ යර්ගන් හබමාස් යෝජනා කරන්නේ ආගම සහ ලෞකික බව අතර සිදුවන නොනවතින සංවාදයකි. එවන් සංවාදයකදී දෙපාර්ශවයට ම සන්නිවේදන කාර්යයක නිරත විය හැක. එවිට පුද්ගලික විශ්වාසය පොදු හේතුව බවට පත්විය හැකි බව ඔහු පෙන්වා දෙයි (නුතනත්වය යනු එයයි) (translating the religious claims into secular and publicly accessible reason). ඉදින් සම්ප්‍රදාය සහ නුතනත්වය අතර සිදුවන අවිච්චින්න සංවාදයක් අද දවසේ අප වැටී සිටින නරා වළෙන් ගොඩ ඒමට ද අවශ්‍ය කර තිබේ. එම නිසා හිනා වෙනු වෙනුවට සංවාදය ඉදිරියට ගෙන යන්න.  

*(2) ලංකාවේ ආශ්‍රම දෙකක් අතර ඇතිවී තිබෙන අශ්ලීල තරඟය දෙස බලන්න. මෙම සිද්ධියට සම්බන්ද භික්ෂුන් වහන්සේලා දෙනම ම කරනු ලබන්නේ සාමාන්‍යයෙන් අප දන්නා බෞද්ධ දර්ශනය විකෘති කිරීමයි. උදාහරණ වශයෙන් අහම (නැත්නම් මමත්වය) ප්‍රහීන කළ අයෙක් මෙතරම් අනෙකා කරන දෙය වෙනුවෙන් වද වෙන්නේ ඇයි? සත්‍යය අවබෝධ කරගත් අයෙක් ගෙන් විද්‍යාමාන වන තැන්පත් බව හෝ ගැඹුරු සවිඥානික බව මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් තුළවත් දැකගත හැකි වන්නේ නැත. එක් අයෙක් වෙහෙර විහාර වැසෙන කම් පලතුරු වලින් පුරවයි. භුතයින් ගුද මාර්ගයෙන් එළියට ගනී. ගාථා ගීතිකා බවට පෙරළයි (ගීතිකා විසින් ම ආශාව කුළු ගන්වයි). අනෙක් තැනැත්තා ස්ත්‍රී කේෂ කලාප මතුයෙන් ඇවිද යයි. තමාගේ ම පිළිම තනයි. මහා විශාල පුටුවක් සදා ඒ මත විරාජමාන වේ. තොර තෝංචියක් නැතිව මොනවාදෝ කියවයි. මමත්වය යන්න විශ්විය ශුන්‍යතාවයක් (විසංයෝජනය) බවට පත් කරනවා වෙනුවට මොවුන් දෙදෙනා කරන්නේ ‘මම’ යන්න මෝඩ පසු නුතන බෞද්ධයින් ඉදිරියේ තව තවත් ඉස්මත්තට නැංවීමයි. මේ පෙරදිග බව සහ බෞද්ධ දාර්ශනික ප්‍රවේශය විපරීත ලෙස වෙළඳ පොළ සමග බද්ධ කිරීමයි. ඒ සඳහා පන්සල ප්‍රමාණවත් නොමැති බැවින් ඔවුන් නිර්මාණය කරන්නේ අසපු ය. අසපු පසුව ආශ්‍රම බවට පත්වේ. ඉන් පසුව ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය මත ඔවුන් කැලිෆෝනියා සානුවේ ඕෂෝ ආශ්‍රමයක් ගොඩ නගනු ඇත. තමා කරන දෙය මොවුන් නොදන්නවා නොවේ. ගැටළුව ඇත්තේ එතැන ය. 

දැන් ඉතින් සැදැහැවත් පසු නුතන බෞද්ධයෙක් මෙසේ විමසනු ඇත. මමංකාරය පරාජය කරමින් බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවාට පසු මුලින්ම එතුමන් වහන්සේ විසින් සිංහනාද කළේ ‘මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මම ලොවට ජේෂ්ඨ වෙමි’ යනුවෙන් නොවේද? මමත්වය ප්‍රහීන කළ කෙනෙක් තමන්ගේ ප්‍රථම වචනය තුළින් නැවතත්  ‘මම’ යන්න අධි නිශ්චය කරන්නේ ඇයි? මෙය බුද්ධාගමේ පවතින විරුද්ධාභාෂයක් නොවේද? 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. I think with due respect to Mahesh’s work, Gatsby’s situation is exactly the opposite of a Christian Universe of Love. It is still Pagan, precisely because Gatsby presupposes an existence of a third person (Big Other/God of the beyond/Satan of the beyond – not only God, Satan too died with Crucifixion) that would guarantee the love of Daisy. If he is Christian, he will immediately accept the Truth of Daisy’s refusal just by her Word, and accept that true love is to sacrifice the very beloved (this is precisely there in Corinthians letter of St Paul), to accept to let go your most precious. It is to accept that love is an encounter and not a demand. True love is self-limitation. And this shows that the true opposite of Seeking is not Belief but Thinking. I think that Seeking presupposes that there is a Thing to be sought while it is only pure thinking that can uncover how we Believe (unconscious). Yet one needs a leap of Faith (conscious, opposite to Belief, a Transference) to See what is already here (before seeking). This corroborates to how disciples couldn’t See that Holy Spirit was already with them, with their Love, but Sought to find the resurrected Jesus as the true Holy Spirit. I think this is the legacy of Christianity. Eastern civilization is not only the legacy of Buddhist thought, but also the one created by the excluded, non-Western, radical Christians, Muslims and Jews.

Comments are closed.